Skip to content

පටුනට යන්න

මහලු විය “ගෞරවයේ ඔටුන්නක්” වන විට

මහලු විය “ගෞරවයේ ඔටුන්නක්” වන විට

‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’

මහලු විය “ගෞරවයේ ඔටුන්නක්” වන විට

“මම ගත කළේ හරිම තෘප්තිමත් ජීවිතයක්!” එසේ පැවසුවේ 101 හැවිරිදි මියූරියල්. වයස අවුරුදු 70ක් වන තියෝඩොරොස් තම ජීවිතය ගැන පැවසුවේ “එය ඇත්තෙන්ම විශේෂ වරප්‍රසාදයක්” කියායි. “මගේ ජීවිතය ගත කරන්න මීට වඩා හොඳ විදිහක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ” කියා 73 හැවිරිදි මරියා කියා සිටියා. මේ හැම කෙනෙක්ම ඔවුන්ගේ ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවිට සේවය කළ අයයි.

ලොව පුරා යෙහෝවාට දිගටම සේවය කරන මහලු අය බොහෝදෙනෙක් සිටින අතර ඔවුනුත් මේ අයට සමානයි. වයසට යෑම, සෞඛ්‍ය ගැටලු සහ වෙනත් අසීරුතා තිබුණත් ඔවුන් යෙහෝවාට මුළු හදවතින්ම සේවය කරනවා. ක්‍රිස්තියානි සභාව තුළ දේවභක්තිය පෙන්වන එවන් ආදර්ශවත් ඇදහිලිවන්ත මහලු අයව ඉතා ගෞරවයෙන් සලකනු ලබයි. මහලු විය නිසා ඔවුන්ට යම් සීමාවන් තිබුණත් යෙහෝවා දෙවි ඔවුන් කරන සේවය ඉතා ඉහළින් අගය කරනවා. *2 කොරින්ති 8:12.

ඇදහිලිවන්ත මහලු අයට ගත කළ හැක්කේ කුමනාකාර ජීවිතයක්ද යන්න පිළිබඳව ගීතාවලිය පොතේ පැහැදිලි කරනවා. ඔවුන්ට දිගු කාලයක් පුරා නොකඩවා පල දරන ප්‍රතාපවත් ගසක් මෙන් විය හැකියි. මෙම ඇදහිලිවන්ත අය ගැන ගීතිකාකරු මෙලෙස ගායනා කළා. “ඔවුහු මහලු වයසේදී සපල වෙමින් සාරවත් වන්නෝය; සශ්‍රීක වන්නෝය.”—ගීතාවලිය 92:15.

සමහර අයට හිතෙන්න පුළුවන් තමන් මහලු වී ශක්තිය අඩු වූ කල තමන්ව අවලංගු කාසියක් බවට පත් වෙයි කියා. “මහලු වයසේදී මා අහක් නොකළ මැනව; මාගේ ශක්තිය අඩු වූ කල මා අත් නෑරිය මැනව” කියා දාවිත් දෙවිගෙන් අයද සිටියා. (ගීතාවලිය 71:9) මහලු වියේදී ශක්තිය පිරිහෙයි. එහෙත් ඇතමෙක් සපල වෙති. ඊට හේතුව කුමක්ද? ධර්මිෂ්ඨකම නමැති දිව්‍ය ගුණාංගයයි. ගීතිකාකරු මෙලෙස ගායනා කළා “ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය.”—ගීතාවලිය 92:12.

තම ජීවිත කාලය පුරා දෙවිට ඇදහිලිවන්තව සේවය කළ අය බොහෝවිට තම සැඳෑ සමයේදීත් යහපත් පල දරනවා. ඔවුන්ට තම ජීවිත කාලයේදී තමන්ගේ හෝ අනුන්ගේ ප්‍රයෝජනය සඳහා කර තිබෙන බොහෝ දේවල්වලින් හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා විය හැකියි. මෙය හරියට වැපුරූ බීජ පැළ වී, ගස මෝරා හොඳ අස්වැන්නක් ලැබෙනවා හා සමානයි. (ගලාති 6:7-10; කොලොස්සි 1:10) නමුත් දෙවිගේ මාර්ගවලට පටහැනිව ආත්මාර්ථකාමීව ජීවත් වෙමින් තම ජීවිත නාස්ති කළ අය මහලු වූ විට ඔවුන්ට සතුටු වීමට කිසිම දෙයක් ඉතුරු වී නැහැ.

මහලු වියට ඔටුන්නක් වන ධර්මිෂ්ඨකම ගැන බයිබලයේ හිතෝපදේශ පොතෙත් අවධාරණය කර තිබෙනවා. “පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක් වේ; එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බ වන්නේය” යනුවෙන් එහි සඳහන් වෙනවා. (හිතෝපදේශ 16:31) ඇත්තෙන්ම ධර්මිෂ්ඨකම ඇතුළාන්ත අලංකාරය ගැන කියාපෑමක්. දිගු කාලයක් තිස්සේ ධර්මිෂ්ඨව ජීවත් වීමට උත්සාහ කිරීම ගෞරවයට හේතු වෙයි. (ලෙවී කතාව 19:32) පැසුණු හිසකේ ඇති ප්‍රඥාවන්ත, සත්ගුණවත් අය ගෞරවයට පාත්‍ර වෙනවා.—යෝබ් 12:12.

කෙනෙක් යෙහෝවාට සේවය කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරනවා නම් එය දෙවිට බොහොම ප්‍රසන්න දෙයක්. “ඔබගේ මහලු වයස දක්වාම මම [යෙහෝවාය]; හිසකේ පැසෙන තෙක් ඔබ ගෙන යන්නෙමි; මම සෑදීමි; උසුලන්නෙමි; එසේය, මම්ම ඔබ ගෙන ගොස් ගලවන්නෙමි” කියා ශුද්ධ ලියවිලිවල කියවෙයි. (යෙසායා 46:4) අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන්ට පක්ෂපාතකම පෙන්වූ අය මහලු වූ විට ඔවුන්ව උසුලන බවටත් ඔවුන්ට පිහිට වන බවටත් ඔහු පොරොන්දු වී තිබෙන බව දැනගැනීමට ලැබීම මොන තරම් සහනයක්ද!—ගීතාවලිය 48:14.

යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කරමින් ගත කරන ජීවිතයක් ඔහුට ප්‍රසන්න නම්, අන් අයගේ ගෞරවය ලැබීමටත් එය වටින්නේ නැද්ද? මහලු ඇදහිලිවන්තයන්ව දෙවි සලකන ආකාරයටම අපත් ඔවුන්ව ඉතා අනර්ඝ කොට සලකමු. (1 තිමෝති 5:1, 2) ඔවුන්ගේ අවශ්‍යතා ගැන සොයා බලා ඒවා ඉටු කර දීමෙන් අපි ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වමු.

මහලු වියේදී ධර්මිෂ්ඨකමේ මාවතට පිවිසීම

“ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහි ජීවනය ඇත” කියා සලමොන් අපිට සහතිකවම පවසයි. (හිතෝපදේශ 12:28) කෙනෙක් මහලු වියේ පසු වන නිසා ඔහුට ධර්මිෂ්ඨකමේ මාවතට පිවිසීමට හැකියාවක් නැතුවා නොවෙයි. නිදසුනක් සලකා බලන්න. මෝල්ඩෝවාවේ වෙසෙන 99 හැවිරිදි මිනිසෙක් තම යෞවන කාලය කැප කර තිබුණේ කොමියුනිස්ට් සංකල්ප පතුරුවාහැරීම සඳහායි. සුප්‍රකට කොමියුනිස්ට් නායකයෙක් වූ වී. අයි. ලෙනින් වැනි අය සමඟ පෞද්ගලිකව කතා බහ කිරීමට අවස්ථාව ලැබීම ගැන ඔහු ඉතා ආඩම්බර වුණා. ඒත් කොමියුනිස්ට්වාදයේ පිරිහීම සහ අභාවයත් සමඟම මෙම මහලු තැනැත්තාගේ ජීවිතයට අරමුණක් නැතුව ගියා. නමුත් මිනිස් වර්ගයාගේ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ දෙවිගේ රාජ්‍යයෙන් පමණක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුට පෙන්වා දුන්නා. එවිට ඔහු එම සත්‍යයන් පිළිගෙන උද්‍යෝගයෙන් බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. යෙහෝවාගේ සේවකයෙකු ලෙස බව්තීස්ම වෙන්න කලින් ඔහු මිය ගිය එක හරිම දුකක්.

දෙවිගේ සදාචාර ප්‍රමිති ගැන ඉගෙනගත් හංගේරියාවේ වෙසෙන 81 හැවිරිදි කාන්තාවකට වැටහුණා ඇය වසර ගණනාවක් පුරා එකට ජීවත් වූ පුරුෂයා සමඟ විවාහ විය යුතු බව. ඒ කාන්තාව බයිබලයෙන් වටහාගත් කරුණු ඉතා නිර්භීත ලෙස තමා සමඟ එකට ජීවත් වූ තැනැත්තාට පැහැදිලි කළා. ඇය සමඟ විවාහ වීමට ඔහු එකඟ වූ විට ඇයට දැනුණේ මහත් විමතියක් වගේම ප්‍රීතියක්. ඔවුන්ගේ විවාහය නීත්‍යනුකූලව ලියාපදිංචි කිරීමෙන් පසුව ඇගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වුණා. බයිබලය ඉගෙනගැනීමට පටන්ගෙන මාස අටක් ඇතුළත ඇය බව්තීස්ම නොලත් ප්‍රචාරිකාවක් වී, පසුව ටික කලකින් බව්තීස්ම වුණා. මහලු අයට ධර්මිෂ්ඨකම අලංකාර ඔටුන්නක් වන බව මොන තරම් සැබෑවක්ද!

ඇත්තෙන්ම ඇදහිලිවන්ත මහලු ක්‍රිස්තියානීන් ගැන දෙවි සැලකිලිමත් වන බවට නිසැක වෙන්න පුළුවන්. තමන්ට පක්ෂපාතව සේවය කරන අයව යෙහෝවා කිසි දිනක අත්හරින්නේ නැහැ. ඔහු පොරොන්දු වෙන්නේ ඔවුන්ට මඟ පෙන්වීම සපයමින් අවසානය දක්වා ඔවුන්ව උසුලන බවයි. ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’ යන වචන සැබෑ බවට මහලු අය සාක්ෂි සපයනවා.—ගීතාවලිය 121:2.

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනය 2005, ජනවාරි සහ පෙබරවාරි බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක් වේ; එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බ වන්නේය.”—හිතෝපදේශ 16:31

[8වන පිටුවේ කොටුව]

යෙහෝවා තම මහලු සේවකයන්ට සලකයි

“පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැඟී සිටින්න; මහල්ලාගේ මුහුණට ගෞරව කරන්න; ඔබේ දෙවිට භය වෙන්න. යෙහෝවා මමය.”—ලෙවී කතාව 19:32.

“ඔබගේ මහලු වයස දක්වාම මම ඔහුය; හිසකේ පැසෙන තෙක් ඔබ ගෙන යන්නෙමි.”—යෙසායා 46:4.