Skip to content

පටුනට යන්න

විනිශ්චයකාරයෝ පොතෙන් විශේෂාංග

විනිශ්චයකාරයෝ පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

විනිශ්චයකාරයෝ පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ ජනයා ඔහුව අමතක කොට බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගන්නා විට යෙහෝවා ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔවුන් යෙහෝවාට නැවත නැවත අකීකරු වී, විපත්තිවලට මුහුණ දෙන විට පමණක් ඔහුගේ පිහිට යදිනවා නම් යෙහෝවා ඔවුන්ට සවන් දේවිද? එවන් අවස්ථාවලදී පවා යෙහෝවා ඔවුන්ට ගැලවෙන මාර්ගයක් පාදා දෙනවාද? විනිශ්චයකාරයෝ පොත මෙම ප්‍රශ්නවලට සහ වෙනත් අතිවැදගත් ප්‍රශ්නවලට පිළිතුරු දෙයි. මෙම පොත අනාගතවක්තෘ සාමුවෙල් විසින් ක්‍රි.පූ. 1100දී පමණ ලියා අවසන් කෙරිණි. තවද යෝෂුවාගේ මරණය සිදු වූ අවස්ථාවේ සිට ඊශ්‍රායෙලයේ පළමු රජ බලයට පත්වීම දක්වා වූ වසර 330ක පමණ කාල පරිච්ඡේදයක, සිදු වූ සිද්ධීන් මෙම පොතේ වාර්තා වේ.

දෙවිගේ බලවත් වචනයේ හෙවත් පණිවුඩයේ එක් කොටසක් වන විනිශ්චයකාරයෝ පොතෙන් අපට ගත හැකි ප්‍රයෝජන බොහෝයි. (හෙබ්‍රෙව් 4:12) එහි සඳහන් වී ඇති කුතුහලය දනවන වාර්තාවලින් දෙවිගේ පෞද්ගලිකත්වය ගැන අපට ලැබෙන්නේ ගැඹුරු අවබෝධයකි. එම වාර්තාවලින් අප ඉගෙනගන්නා පාඩම් මගින් අපේ ඇදහිල්ල ශක්තිමත් වේ. තවද “සැබෑ ජීවිතය” හෙවත් දෙවි පොරොන්දු වී ඇති නව ලෝකයේ සදාකල් ජීවත් වීම පිළිබඳව ස්ථිර බලාපොරොත්තුවක් ඇති කරගැනීමට ඒවායින් අපට ලැබෙන්නේ ඉමහත් පිටුවහලකි. (1 තිමෝති 6:12, 19; 2 පේතෘස් 3:13) යෙහෝවා තම ජනයාව ගලවාගැනීම පිණිස කළ දේවල් මගින්, අනාගතයේදී සිය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙනු ඇති උතුම් ගැලවීම පිළිබඳව යම් ඉඟියක්ද ලබා දේ.

විනිශ්චයකරුවන් අවශ්‍ය වූයේ මන්ද?

(විනිශ්චයකාරයෝ 1:1–3:6)

යෝෂුවාගේ නායකත්වය යටතේ කානාන් දේශයේ රජවරුන්ව පරාජය කළායින් පසුව, ඊශ්‍රායෙල් ජාතියේ එක් එක් ගෝත්‍රයෝ තම උරුමයට අනුව දේශය අත් පත් කරගනිති. එහෙත්, එම දේශයන්හි වෙසෙන වැසියන්ව පලවාහැරීමට ඔවුහු අපොහොසත් වෙති. මෙය ඊශ්‍රායෙල් ජාතියට දරුණු මලපතක් වෙයි.

යෝෂුවාගේ මරණින් පසුව පැමිණෙන පරම්පරාව ‘යෙහෝවාවද ඊශ්‍රායෙල් උදෙසා ඔහු කළ ක්‍රියාද දන්නේ’ නැත. (විනිශ්චයකාරයෝ 2:10) එපමණක්ද නොව, ජනයා කානානීය වැසියන් සමඟ අවාහ විවාහ කරගෙන ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය කිරීමට පටන්ගනිති. මේ නිසා ඔවුන් තම සතුරන්ගේ පීඩාවලට ලක් වෙද්දී ඒවා නැවැත්වීමට යෙහෝවා මැදිහත් වෙන්නේ නැත. එහෙත්, එම පීඩාවල් දරුණු වෙද්දී ඊශ්‍රායෙල් පුත්‍රයෝ පිහිට පතා සැබෑ දෙවිට මොරගැසූහ. මෙම ආගමික, සමාජීය සහ දේශපාලනික වාතාවරණය මැදයි, යෙහෝවා තම ජනයාව සතුරන්ගෙන් ගලවාගැනීම සඳහා විනිශ්චයකරුවන් පෙළක් පත් කළේ.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

1:2, 4—දේශය බෙදන විට, මුලින්ම යූදා ගෝත්‍රයට ඔවුන්ගේ උරුමය දෙනු ලැබුවේ මන්ද? සාමාන්‍යයෙන්, මෙම වරප්‍රසාදය ලැබීමට තිබුණේ යාකොබ්ගේ කුලුඳුල් පුත්‍රයා වූ රූබන්ගේ ගෝත්‍රයටයි. නමුත් යාකොබ් තම මරණ මංචකයේදී, රූබන්ට උතුම්කම නොවන්නේය කියා පවසා තිබුණි. මීට හේතුව වූයේ රූබන් තම කුලුඳුල්කම අහිමි කරගෙන තිබීමයි. සිමියොන් සහ ලෙවී කුරිරු ලෙස ක්‍රියා කොට තිබූ නිසා ඊශ්‍රායෙල් දේශය තුළ ඔවුන්ව විසුරුවාහැරීමට නියමිතව තිබුණි. (උත්පත්ති 49:3-5, 7) උරුමය ලැබීමට ඊළඟට සිටියේ යාකොබ්ගේ හතරවෙනි පුත්‍රයා වූ යූදාය. යූදා ගෝත්‍රයට දෙනු ලැබූ විශාල ප්‍රදේශයේ තැනින් තැන පිහිටි කුඩා ඉඩම් කොටස් සිමියොන් ගෝත්‍රයට ලැබිණි. *යෝෂුවා 19:9.

1:6, 7—පරාජය කරනු ලැබූ රජවරුන්ගේ අත්වල සහ පාදවල මාපටැඟිලි කපා දමනු ලැබුවේ මන්ද? අත්වල සහ පාදවල මාපටැඟිලි අහිමි වූ පුද්ගලයෙකුට යුද්ධ කිරීමට හැකියාව නොතිබිණි. අතේ මාපටැඟිලි නොමැතිව යම් සොල්දාදුවෙකුට කඩුව හෝ හෙල්ලය හැසිරවීමට නොහැකි බව නොකිවමනාය. කෙනෙකුට තම පාදයේ මාපටැඟිලි අහිමි වූවා නම්, ඔහුට නිසි පරිදි ශරීරය සමබරව තබාගන්නට නොහැකි වනු ඇත.

අපට ගත හැකි පාඩම්:

2:10-12. ‘යෙහෝවාගේ උපකාර සියල්ල මතක නැති නොකිරීමට’ නම්, නිතිපතා සැලැස්මකට අනුව අප බයිබලය අධ්‍යයනය කළ යුතුය. (ගීතාවලිය 103:2) එසේම, දෙමාපියන් තම දරුවන්ගේ හදවත්වල දේවවචනයේ සත්‍යය පැලපදියම් කළ යුතුය.—ද්විතීය කතාව 6:6-9.

2:14, 21, 22. යෙහෝවාගේ අකීකරු ජනයාට විපත්ති සිදු වන විට, ඒවා නැවැත්වීම සඳහා ඔහු මැදිහත් නොවන්නේ, ඔවුන්ව හික්මවීමට, පවිත්‍ර කිරීමට හා පසුතැවිලි වී තමා වෙතට ඒමට ඔවුන්ව පොලඹවන පිණිසය.

යෙහෝවා විනිශ්චයකරුවන්ව පත් කරයි

(විනිශ්චයකාරයෝ 3:7–16:31)

විනිශ්චයකරුවන්ගේ වීරක්‍රියා පිළිබඳ මෙම කුතුහලය දනවන වාර්තාව ආරම්භ වන්නේ, මෙසපොතේමියානු රජ විසින් වසර අටක් තිස්සේ ඊශ්‍රායෙල් ජාතියව යටත් කරගෙන සිටි පාලනය ඔත්නියෙල් විසින් අවසන් කරනු ලබන අවස්ථාවෙනි. විනිශ්චයකරුවෙකු වූ ඒහුද් ඉතා දක්ෂ ලෙස නිර්භීතව උපායක් යොදාගනිමින් එග්ලොන් නමැති ස්ථූල මෝවබ් රජුව මරා දමයි. ධෛර්ය සම්පන්න ෂම්ගර් පිලිස්තියයන් 600දෙනෙකුට කෙවිටකින් පහර දී මරා දමයි. දෙබොරා ඊශ්‍රායෙල් දේශයේ අනාගතවක්තෘවරියක් ලෙස සේවය කරන්නීය. බාරක් සහ දසදහසකින් යුත් ඔහුගේ හමුදාව එතරම් අවි සන්නද්ධව නොසිටියත් ඔවුන් සිසෙරාගේ ප්‍රබල හමුදාව පරාජය කරන්නේ දෙබොරාගේ දිරිගැන්වීම සහ යෙහෝවාගේ අනුග්‍රහය ලබමිනි. ඊළඟට යෙහෝවා විනිශ්චයකරුවෙකු ලෙස ගිඩියොන්ව පත් කරන අතර, ඔහුටත් ඔහු සමඟ සිටින මිනිසුන් 300දෙනාටත් මිදියන්වරුන්ව පරාජය කිරීමට දෙවි හැකියාව ලබා දෙයි.

යෙප්තා මාර්ගයෙන් යෙහෝවා ඊශ්‍රායෙල් ජනයාව අම්මොන්වරුන්ගෙන් ගලවාගනී. තෝලා, යායිර්, ඉබ්ශාන්, ඒලොන් සහ අබ්දොන් යන විනිශ්චයකරුවෝ ඊශ්‍රායෙලය විනිශ්චය කළ 12දෙනා අතර වෙති. විනිශ්චයකරුවන්ගේ කාල පරිච්ඡේදය අවසන් වන්නේ පිලිස්තියයන් සමඟ සටන් කරන සැම්සන්ගෙනි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

4:8තමා සමඟ යුධ පිටියට යෑමට එන ලෙස බාරක් දෙබොරා අනාගතවක්තෘවරියගෙන් උදක්ම ඉල්ලා සිටියේ මන්ද? පෙනෙන විදිහට සිසෙරාගේ හමුදාව සමඟ සටන් කිරීමට තමන්ට නොහැකියයි බාරාක්ට හැඟුණා විය හැකියි. නමුත් තමා සමඟ අනාගතවක්තෘවරිය සිටීමෙන්, දෙවිගේ මඟ පෙන්වීම තමන්ට තිබෙන බවට ඔවුන්ට සහතිකයක් තිබේ. මේ නිසා ස්ථිර විශ්වාසයකින් යුතුව සටනට මුහුණ දීමට ඔහුටත් ඔහුගේ මිනිසුන්ටත් හැකි වනු ඇත. මෙසේ තමා සමඟ එන ලෙස බාරක් දෙබොරාගෙන් උදක්ම ඉල්ලා සිටීම ඔහුගේ ඇදහිල්ල දුර්වල බවට නොව ශක්තිමත් බවට සලකුණකි.

5:20අහසේ තාරකාවන් බාරක් වෙනුවෙන් සටන් කළේ කෙසේද? මෙම සටනට දේවදූතයන් සහය දුන් බව හෝ අසුභ ලකුණක් ලෙස සිසෙරාගේ ශාස්ත්‍රවන්තයන් සැලකූ උල්කාපාත වර්ෂාවක් ඇති වූ බව හෝ සිසෙරා විශ්වාස කළ ජ්‍යෝතිඃ ශාස්ත්‍රමය අනාවැකි බොරු වූ බව හෝ බයිබලයේ සඳහන් වෙන්නේ නැත. එහෙත්, යම් ආකාරයක දිව්‍යමය මැදිහත් වීමක් මෙහිදී සිදු වුණු බවට නම් කිසිදු සැකයක් නැත.

7:1-3; 8:10මෙහිදී 1,35,000දෙනෙකුගෙන් යුත් සතුරු හමුදාවක් සමඟ සටන් කිරීමට ගිඩියොන්ගේ පුරුෂයන් 32,000දෙනා වැඩියයි යෙහෝවා පැවසුවේ මන්ද? යෙහෝවා එසේ කීවේ ගිඩියොන්ට සහ ඔහුගේ පුරුෂයන්ට ජයග්‍රහණය දෙනු ඇත්තේ තමා බැවිනි. ඔවුන් මිදියන්වරුන්ව පරාජය කළේ ඔවුන්ගේම ශක්තියෙන්යයි කියා ඔවුන් සිතනවාට යෙහෝවා කැමති වූයේ නැත.

11:30, 31—යෙප්තා දෙවිට භාරයක් වන අවස්ථාවේදී ඔහුගේ මනසේ තිබුණේ මිනිස් යාගයක් දීම ගැනද? එවන් දෙයක් යෙප්තාගේ මනසේ තිබූ බව කීම උගහටය. මන්ද, නීතියේ පැහැදිලිව සඳහන් කර තිබුණේ මෙයයි. “තමන් පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවන කෙනෙකු . . . ඔබ අතරෙහි නොවිය යුතුය.” (ද්විතීය කතාව 18:10, 11) කෙසේවෙතත්, යෙප්තාගේ මනසේ තිබුණේ පුද්ගලයෙකු ගැන මිස සතෙකු ගැන නොවේ. මන්ද පූජා කිරීම සඳහා යොදාගන්නා සතුන්ව සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් නිවෙස් තුළ තබාගන්නේ නැත. ඇරත් සතෙකු පූජා කිරීම අතිවිශේෂ දෙයක් නොවේ. තම නිවස තුළ සිට තමාව හමුවීමට බොහෝදුරට පැමිණීමට ඉඩ ඇත්තේ තමාගේ දියණිය බව යෙප්තා හොඳින් දැන සිටියා විය හැකියි. මෙසේ නිවසින් පැමිණෙන පුද්ගලයාව “දවන පූජාවක්” ලෙස ඔප්පු කිරීමට නියමිතව තිබුණා කීමෙන් අදහස් කරන්නේ, එම තැනැත්තාව යෙහෝවාගේ ශුද්ධස්ථානය හා සම්බන්ධ වැඩකටයුතු කිරීමට කැප කරනවාය යන අදහසයි.

අපට ගත හැකි පාඩම්:

3:10. ආත්මික වැඩකටයුතු කිරීමේදී සාර්ථකත්වය ලැබෙන්නේ මිනිස් ප්‍රඥාවෙන් නොව, යෙහෝවාගේ ආත්මය මාර්ගයෙනි.—ගීතාවලිය 127:1.

3:21. ඒහුද් තම කඩුව හැසිරෙව්වේ ඉතා දක්ෂ ලෙස නිර්භීත අන්දමිනි. එසේම, “ආත්මයේ කඩුව වන දෙවිගේ වචනය” දක්ෂ ලෙස භාවිත කිරීමට අප ඉගෙනගත යුතුය. මේ සඳහා අප අපේ දේවසේවයේදී නිර්භීතව ශුද්ධ ලියවිලි යොදාගත යුතුය.—එෆීස 6:17; 2 තිමෝති 2:15.

6:11-15; 8:1-3, 22, 23. ගිඩියොන්ගේ යටහත් පහත් ස්වභාවයෙන් අපට පාඩම් තුනක් ඉගෙනගත හැකියි. (1) අපට යම් සේවා වරප්‍රසාද ලැබෙන විට, අප කල්පනා කළ යුත්තේ ඒ තුළින් ලැබෙන ගරු නම්බුව, ප්‍රසිද්ධිය හෝ තත්වය ගැන නොව ඒ මගින් අපට පැවරෙන වගකීම ගැනයි. (2) කලහකාරී අය සමඟ කටයුතු කරන විට, නිහතමානි වීම ප්‍රඥාවන්තම දෙයයි. (3) අප නිහතමානි නම්, තනතුරු අත් කරගැනීමේ අභිලාෂයෙන් අප පසු වන්නේ නැත.

6:17-22, 36-40. අපද ඉතා සුපරීක්ෂාකාරී විය යුතු අතර, ‘ආනුභාව ලත් සෑම ප්‍රකාශයක්ම විශ්වාස නොකළ’ යුතුය. ඒ වෙනුවට, ‘ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බැලිය’ යුතුය. (1 යොහන් 4:1) අලුත පත් වූ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්, තමා දීමට අදහස් කරගෙන සිටින උපදෙස් දේවවචනයට මුළුමනින්ම එකඟද කියා ස්ථිර කරගැනීම පිණිස වඩාත් පළපුරුදු වැඩිමහල්ලෙකුගෙන් ඒ ගැන උපදෙස් පැතීම නුවණට හුරුය.

6:25-27. තමාගේ විරුද්ධකාරයන්ව අනවශ්‍ය ලෙස කෝප නොකිරීමට ගිඩියොන් ඉතා ඥානවන්තව වගබලා ගත්තේය. ඒ හා සමානව, ශුභාරංචිය දේශනා කරන විට, අප කතා කරන විලාසයෙන් අන්‍යයන්ව අනවශ්‍ය ලෙස කෝප නොකිරීමට අපද වගබලා ගත යුතුයි.

7:6. ගිඩියොන්ගේ මිනිසුන් 300දෙනා මෙන් අපද යෙහෝවාට සේවය කිරීමේදී ආත්මිකව අවදියෙන් හා සෝදිසියෙන් සිටිය යුතුය.

9:8-15. යම් තනතුරක් හෝ බලතල ලබාගැනීමේ අභිලාෂයෙන් උඩඟු ලෙස ක්‍රියා කිරීම කොතරම් අඥාන දෙයක්ද!

11:35-37. යෙප්තාගේ දියණියට ශක්තිමත් ඇදහිල්ලක් හා ආත්ම පරිත්‍යාගී ස්වභාවයක් වර්ධනය කරගැනීමට යෙප්තාගේ යහපත් ආදර්ශය මහෝපකාරී වූ බවට කිසිදු සැකයක් නැත. අද දින දෙමාපියන්ටද යෙප්තා මෙන් තම දරුවන්ට ආදර්ශවත් විය හැකියි.

11:40. යෙහෝවාට සේවය කිරීමට කොයි ආකාරයකින් හෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයව පැසසුමට ලක් කිරීමෙන් ඔවුන්ව දිරිගැන්වේ.

13:8. දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීමේදී යෙහෝවාගේ මඟ පෙන්වීම පතා යාච්ඤා කළ යුතු අතර, ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි.—2 තිමෝති 3:16.

14: 16, 17; 16:16. වැලපීමෙන් සහ නිතර නිතර කරදර කිරීමෙන් යම් බලපෑම් කිරීම නිසා සම්බන්ධතා බිඳී යා හැකියි.—හිතෝපදේශ 19:13; 21:19.

ඊශ්‍රායෙලයේ සිදු වූ වෙනත් වැරදි

(විනිශ්චයකාරයෝ 17:1–21:25)

විනිශ්චයකාරයෝ පොතේ අවසාන කොටසෙහි කැපීපෙනෙන සිදුවීම් දෙකක් පිළිබඳ වාර්තා අඩංගු වේ. පළමු කොටසේ කියවෙන්නේ මීකා නම් මනුෂ්‍යයෙක් ගැනයි. ඔහු තමාගේ නිවසේ රූපයක් තබා, පූජකයෙකු ලෙස සේවය කිරීම පිණිස ලෙවීයෙකු යොදාගනී. ලායිෂ් හෙවත් ලෙෂෙම් නුවර විනාශ කිරීමෙන් පසුව, දාන්වරු තමන්ටම කියා නුවරක් සාදාගෙන ඊට දාන් යනුවෙන් නම් තබති. මීකාගේ නිවසේ තිබූ රූපය සහ ඔහුගේ පූජකයාව යොදාගනිමින් ඔවුහු දාන්හි තවත් ආකාරයක නමස්කාර පිළිවෙතක් ඇති කරති. යෝෂුවාගේ මරණයට පෙර මෙම ලායිෂ් නුවර අල්ලාගනු ලැබූ බව පෙනෙන්නට තිබේ.—යෝෂුවා 19:47.

දෙවෙනි සිද්ධිය සිදු වෙන්නේ යෝෂුවාගේ මරණින් ටික කලකට පසුවය. ගිබියා නුවර විසූ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසුන් පිරිසක් අතිදරුණු ලිංගික අපරාධයක් කළහ. එම නිසා බෙන්ජමින් ගෝත්‍රය සහමුලින්ම පාහේ විනාශ වී යන අතර, ඉතිරි වන්නේ මිනිසුන් 600දෙනෙකු පමණි. එහෙත්, යම් ප්‍රායෝගික සැලැස්මක් යෙදීම නිසා ඔවුන්ට භාර්යාවන් පාවාගැනීමට හැකි වන අතර, දාවිත්ගේ පාලන සමය වන විට ඔවුන්ගේ ගෝත්‍රයේ යුධ භටයන් 60,000ට ආසන්න සංඛ්‍යාවක් දක්වා වැඩි වී තිබේ.—1 ලේකම් 7:6-11.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

17:6; 21:25—‘එක් එක් කෙනා තමා තමාගේ ඇස්වලට සුදුසුයයි පෙනුණු හැටියට කළ’ නිසා ජනයා නීති රීති පිළි නොපදින තත්වයක් දේශයේ ඇති වූවාද? එසේ වූයේ නැත. මන්ද, යෙහෝවා තම ජනයාට මඟ පෙන්වීම සඳහා ප්‍රමාණවත් විධිවිධාන යොදා තිබිණි. ඔහු නීතිය දුන් අතර, තමාගේ මාර්ග ගැන ජනයාව දැනුවත් කිරීම සඳහා පූජක තන්ත්‍රයක්ද පිහිටුවා තිබිණි. උත්තම පූජකයාට ඌරිම් සහ තුම්මීම් මගින් වැදගත් කාරණා ගැන දෙවිගෙන් විමසීමට හැකි විය. (නික්මයාම 28:30) ජනතාවට නිවැරදි උපදෙස් දීම සඳහා සෑම නගරයකම සමර්ථ වැඩිමහල්ලෝ සිටියහ. යම් ඊශ්‍රායෙලිතයෙක් මෙම සැපයුම්වලින් ප්‍රයෝජන ගත්තා නම්, හරි තීරණ ගැනීම සඳහා ඔහුට හොඳ මඟ පෙන්වීමක් ලැබුණි. මේ නිසා ඔහු “තමාගේ ඇස්වලට සුදුසුයයි පෙනුණු හැටියට” කිරීම ඔහුගේ යහපතට හේතු විය. අනෙක් අතට, යම් පුද්ගලයෙක් දෙවිගේ නීතිය නොසලකාහැර හිතුමතේට හැසිරෙමින් නමස්කාරයේ යෙදුණා නම්, ඉන් ඇති වූයේ අයහපත් ප්‍රතිඵලයි.

20:17-48බෙන්ජමින් ගෝත්‍රයට දඬුවම් කළ යුතුව තිබුණද, වෙනත් ගෝත්‍ර දෙවරක් පරාජය කිරීමට යෙහෝවා බෙන්ජමින් ගෝත්‍රයට ඉඩහැරියේ ඇයි? මුලින් දරුණු විපත්තිවලට මුහුණ දීමට එම විශ්වාසවන්ත ගෝත්‍රවලට ඉඩහැරීමෙන් යෙහෝවා කළේ ඊශ්‍රායෙල් දේශයෙන් නපුර මුලිනුපුටා දැමීම සඳහා ඔවුන්ට තිබූ අධිෂ්ඨානය පරීක්ෂා කර බැලීමයි.

අපට ගත හැකි පාඩම්:

19:14, 15. ගිබියා නුවර ජනයා ආගන්තුක සත්කාරය දැක්වීමට නොකැමති වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ සාරධර්ම පිරිහී තිබුණු බවයි. ක්‍රිස්තියානීන්ට දිරිගන්වා තිබෙන්නේ ‘ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින’ ලෙසටයි.—රෝම 12:13.

ඉදිරියේ තිබෙන ගැලවීම

වැඩි කල් යන්නට මත්තෙන්, ක්‍රිස්තුස් යේසුස්ට භාර දී ඇති දෙවිගේ රාජ්‍යය මගින් දුෂ්ට ලෝකය විනාශ කර, ධර්මිෂ්ඨ හා නිර්දෝෂ අයට මහත් ගැලවීමක් ලබා දෙනවා ඇත. (හිතෝපදේශ 2:21, 22; දානියෙල් 2:44) ‘යෙහෝවාගේ සියලු සතුරෝ මෙසේ විනාශ වී යන අතරේදී, දෙවිට ප්‍රේම කරන්නෝ තදින් බබළන සූර්යයා මෙන් වෙනවා ඇත.’ (විනිශ්චයකාරයෝ 5:31) එම නිසා, අප විනිශ්චයකාරයෝ පොතෙන් ඉගෙනගෙන ඇති දේට අනුව ජීවත් වෙමින්, අපද යෙහෝවාට ප්‍රේම කරන බව ඔප්පු කරමු.

විනිශ්චයකාරයන් පිළිබඳ වාර්තාවල පුන පුනා පෙන්වා දී තිබෙන මූලික සත්‍යය මෙයයි. යෙහෝවාට කීකරු වීමෙන් මහඟු ආශීර්වාද ලැබේ. අකීකරු වීමෙන් දරුණු විපාක විඳීමට සිදු වේ. (ද්විතීය කතාව 11:26-28) එසේනම්, හෙළි වී තිබෙන දේවකැමැත්තට “සිතින්ම කීකරු වීම” මොන තරම් වැදගත්ද!—රෝම 6:17; 1 යොහන් 2:17.

[පාදසටහන]

^ 5 ඡේ. ලෙවීවරුන්ට පොරොන්දු දේශයේ උරුමයක් ලැබුණේ නැත. ඔවුන්ට ලැබුණේ ඊශ්‍රායෙල් දේශය පුරා විසිර තිබූ නගර 48ක් පමණි.

[25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

“යෙහෝවා ඔවුන් කොල්ලකාරයන් අතින් ගලවාගන්ට විනිශ්චයකාරයන් නැඟිටෙව්වේය.”—විනිශ්චයකාරයෝ 2:16

විනිශ්චයකාරයෝ

1. ඔත්නියෙල්

2. ඒහුද්

3. ෂම්ගර්

4. බාරක්

5. ගිඩියොන්

6. තෝලා

7. යායිර්

8. යෙප්තා

9. ඉබ්ශාන්

10. ඒලොන්

11. අබ්දොන්

12. සැම්සන්

දාන්

මනස්සේ

නප්තලී

ආෂෙර්

සාබුලොන්

ඉස්සාඛර්

මනස්සේ

ගාද්

එප්‍රායිම්

දාන්

බෙන්ජමින්

රූබන්

යූදා

[26වන පිටුවේ පින්තූරය]

තමා සමඟ යුධ පිටියට යෑමට පැමිණෙන මෙන් බාරක් දෙබොරාගෙන් උදක්ම ඉල්ලා සිටියේය. මින් ඔබ ඉගෙනගත් පාඩම කුමක්ද?