Skip to content

පටුනට යන්න

සාවුල්ගේ දේශනා සේවය නිසා විරෝධතා හටගනී

සාවුල්ගේ දේශනා සේවය නිසා විරෝධතා හටගනී

සාවුල්ගේ දේශනා සේවය නිසා විරෝධතා හටගනී

දමස්කයේ විසූ යුදෙව්වන්ට මෙය තේරුම්ගැනීමට නොහැකි විය. දැවෙන උද්‍යෝගයෙන් යුතුව සාම්ප්‍රදායික විශ්වාසයන් රැකගැනීමට මහත් සේ වෙර දැරූ පුද්ගලයෙක් එම විශ්වාසයන් අත්හරින්නේ කෙසේද? අප මෙහි කතා කරන්නේ යේසුස්ගේ නාමය දැරූ යෙරුසලම් නුවර විසූ අයට පීඩා කළ මිනිසා වූ සාවුල් ගැනයි. ඔහු දමස්කයට ඇවිත් තිබුණේද එහි විසූ යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කිරීමේ අටියෙනුයි. නමුත් දැන් ඔහු කරමින් සිටින්නේ කුමක්ද? දේවඅපහාස කළායයි චෝදනා ලැබ නින්දිත අපරාධකරුවෙකු මෙන් වධකණුවක ඇණ ගසනු ලැබූ යේසුස් මෙසියස් බව දේශනා කිරීමයි! සාවුල්ට කුමක් සිදු වීද? ඔහු උමතු වෙලාද?—ක්‍රියා 9:1, 2, 20-22.

ඔහුගේ වෙනසට යම් හේතුවක් තිබුණා විය හැකියි. යෙරුසලමේ සිට සාවුල් සමඟ ගමන් කළ අය මාර්ගයේදී සිදු වූ දේවල් ගැන දමස්කයේ වැසියන්ට පැවසුවා විය හැකියි. ඔවුන් දමස්කයට ළඟා වෙමින් සිටිනවාත් සමඟම, හදිසියේම ඉතා දීප්තිමත් ආලෝකයක් ඔවුන් වටා බැබළුණු හෙයින් ඔවුහු සියල්ලෝම බිම වැටුණහ. කටහඬක්ද ඇසිණි. සාවුල්ට හැර වෙන කිසිම කෙනෙකුට තුවාල නොවීය. ඔහු මාර්ගයේ වැතිර සිටියේය. පසුව ඔහු නැඟිට සිටිය විට, ඔහුගේ දෑස් අන්ධව තිබුණු බැවින් ඔහු සමඟ ගමන් කළ අයට ඔහුව දමස්කය කරා අතින් අල්ලාගෙන යෑමට සිදු විය.—ක්‍රියා 9:3-8; 26:13, 14.

සතුරෙක් මිතුරෙක් වෙයි

දමස්කයට යන අතරතුර මහා මාර්ගයේදී සාවුල්ට සිදු වූයේ කුමක්ද? ඔහු මුහුණ දුන් ඇබැද්දියට හේතු වූයේ මහා දවල් අව්වේ ගමන් කරමින් තද අව් රශ්මියට නිරාවරණය වීමද? සිදු වූ දේ ගැන විවේචකයෝ අද දින විවිධ මත පළ කරති. සාවුල් සිහි විකල් වුණායයි ඇතැම්හු කියති. තවත් අය සිතන්නේ ඔහුට අද්භූත දේවල් පෙනුණු බවයි. සාවුල්ගේ හෘදය සාක්ෂිය ඔහුට වධ දීම නිසා ඔහු ඉතා දරුණු ලෙස මානසික වැටීමකට ලක් වුණු බව තවත් අයගේ අදහසයි. ඔහුට ස්නායු ආබාධයක් ඇති වුණු බවටද ඔහුට අපස්මාර රෝගය වැලඳීමේ ලකුණු පහළ වුණු බවටද මත පළ වී තිබේ.

එහෙත් ඇත්තටම සිදු වූයේ මෙයයි. ඇස් අන්ධ කරවනසුලු ආලෝකයක් මැදින් යේසුස් ක්‍රිස්තුස් සාවුල්ට දර්ශනය වී, තමා මෙසියස් බව ඔහුට ඒත්තුගැන්වීය. මේ අවස්ථාවේදී සාවුල් අශ්වයෙකුගේ පිටින් බිම වැටෙනවා ඇතැම් කලා කෘතිවල දක්වා තිබේ. එය සිදු විය හැක්කක් වුවත්, බයිබලය කියන්නේ ඔහු ‘බිම වැටුණු’ බව පමණයි. (ක්‍රියා 22:6-11) සාවුල් මීට පෙර හොබවමින් සිටි අහංකාර උසස් තනතුරුවලින් පහතට වැටීම ගැන සිතද්දී මෙලෙස බිම වැටීම එතරම් ගණන්ගත යුතු දෙයක් නොවේ. දැන් ඔහු පිළිගත යුතුව තිබුණේ යේසුස්ගේ අනුගාමිකයන් දේශනා කරමින් සිටි දේ සත්‍යය බවයි. සාවුල්ට කරන්නට තිබූ එකම දේ වූයේ ඔවුන්ට එකතු වීම පමණි. යේසුස්ගේ පණිවුඩයට දැඩි සේ විරෝධතා පෑ සතුරෙකු වූ සාවුල් දැන් ක්‍රිස්තියානි ධර්මයට ඇලුම් කරන සැබෑ මිතුරෙක් වී ඇත. නැවත පෙනීම ලැබී බව්තීස්ම වූ පසු, “සාවුල් වැඩි වැඩියෙන් බලවත් වූ අතර, යේසුස් යනු ක්‍රිස්තුස්යයි තර්කානුකූලව ඔප්පු කිරීමෙන් දමස්කයේ විසූ යුදෙව්වරුන්ව පුදුමයට පත් කරමින් සිටියේය.”—ක්‍රියා 9:22.

මිනී මැරීමේ කුමන්ත්‍රණය අසාර්ථක වෙයි

පසු කාලෙකදී පාවුල් ලෙස හඳුන්වනු ලැබූ සාවුල් ක්‍රිස්තියානියෙකු වීමෙන් පසුව ගියේ කොතැනටද? ගලාතිවරුන්ට ලියන විට ඔහු පැවසුවේ, “මම අරාබියට ගොස්, නැවත දමස්කයට පැමිණියෙමි” කියාය. (ගලාති 1:17) මෙහි “අරාබියට” ගියා කීමෙන් අදහස් වන්නේ, අරාබි අර්ධද්වීපයේ යම් ප්‍රදේශයකට ඔහු ගමන් කළ බව විය හැකියි. පාවුල් සිරියානු කාන්තාරයට හෝ ඉපැරණි අරාබි රාජ්‍යයක්ව තිබූ 4වන අරෙතස් රජුගේ නබාටියානු රාජ්‍යයට අයත් යම් ප්‍රදේශයකට ගිය බව ඇතැම් විශාරදයන්ගේ විශ්වාසයයි. යේසුස්ගේ බව්තීස්මයෙන් පසුව ඔහු පාළුකරයට ගියාක් මෙන්, සාවුල්ද සිය බව්තීස්මයෙන් පසුව මෙනෙහි කිරීම සඳහා නිසසල තැනකට ගිය බව අපට සිතිය හැකියි.—ලූක් 4:1.

සාවුල් නැවත දමස්කයට පැමිණි අවස්ථාවේ, “ඔහුව නැති කර දැමීමට යුදෙව්වරු එකට එකතු වී තමන් අතරේ සාකච්ඡා කළෝය.” (ක්‍රියා 9:23) අරෙතස් රජුගේ නියෝජිතයෙකු ලෙස සේවය කළ ආණ්ඩුකාරයා, සාවුල්ව අල්ලගැනීම පිණිස නුවර තුළ මුරකාවල් යෙදීය. (2 කොරින්ති 11:32) නමුත් සතුරන් සාවුල්ව මරා දැමීමට කුමන්ත්‍රණය කරන අතරේදී, යේසුස්ගේ ගෝලයෝ ඔහුට බේරී යෑමට සැලසුම් යෙදූහ.

සාවුල්ට බේරී යෑමට උපකාර කළ අය අතර, අනනියස්ද සාවුල් ක්‍රිස්තියානියෙකු බවට පත් වූ පසු ඔහුව ඇසුරු කළ වෙනත් ගෝලයෝද වූහ. * (ක්‍රියා 9:17-19) සාවුල් දමස්කයේ කළ දේශනා සේවයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇදහිලිවන්තයන් බවට පත් වූ ඇතමුන්ද ඔහුට උපකාර කළා විය හැකියි. මන්ද ක්‍රියා 9:25හි පවසන්නේ මෙයයි. “ඔහුගේ ගෝලයෝ රාත්‍රියේ ඔහුව ගෙන ගොස්, කූඩයක බහා පවුරේ හිදැසකින් ඔහුව බැස්සෙව්වෝය.” මෙහි “ගෝලයෝ” යන යෙදුමෙන් පවසන්නේ සාවුල්ගෙන් ඉගෙනගත් අය ගැන විය හැකියි. සාවුල්ගේ දේශනා සේවය සාර්ථක වීම නිසා ඔහුට ඒ වන විට එල්ල වෙමින් තිබූ විරෝධය තවත් වැඩි වූ බවට කිසිදු සැකයක් නැත.

අපට ඉගෙනගත හැකි පාඩමක්

සාවුල් ක්‍රිස්තියානි ධර්මය වැලඳගෙන බව්තීස්ම වූ කාලයේ සිදු වූ සමහර සිද්ධීන් ගැන සොයා බලද්දී අපට පැහැදිලිව පෙනී යන කාරණා මේවායි. අනුන් තමා ගැන සිතන ආකාරය ගැන ඔහු අනවශ්‍ය ලෙස කලබල වූයේවත් එල්ල වූ දැඩි පීඩා නිසා ඔහු කළ සේවය නැවැත්වූයේවත් නැත. ඔහු අතිශයින් වැදගත් කොට සැලකුවේ දේශනා කිරීමට ඔහු ලබා තිබූ පැවරුමයි.—ක්‍රියා 22:14, 15.

ශුභාරංචිය පිළිබඳව දේශනා කිරීමේ වැදගත්කම ඔබට හොඳින් එත්තුගොස් තිබේද? එසේනම්, සැබෑ ක්‍රිස්තියානීන් සියල්ලන්ම රාජ්‍ය ගැන දේශනා කළ යුතු බව ඔබ දන්නෙහිය. ඔබ දේවසේවයේ යෙදෙන විට ඇතැම් අවස්ථාවලදී යම් යම් විරෝධතා එල්ල වනවා නම් ඔබ ඒ ගැන පුදුම විය යුතු නැත. (මතෙව් 24:9; ලූක් 21:12; 1 පේතෘස් 2:20) විරෝධතා මතු වන විට පාවුල් ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය අපට ආදර්ශයකි. දුෂ්කරතා හමුවේ විඳදරාගෙන සේවය කරන ක්‍රිස්තියානීහු දෙවිගේ අනුමැතිය ලබති. “මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනවා ඇත” යයි යේසුස් සිය ගෝලයන්ට පැවසුවේය. එහෙත්, ඔහු ඔවුන්ට දුන් සහතිකය මෙයයි. “ඔබේ විඳදරාගැනීම නිසා ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේය.”—ලූක් 21:17-19.

[පාදසටහන]

^ 10 ඡේ. ක්‍රිස්තියානි ධර්මය දමස්කය පුරා පැතිර ගියේ යේසුස් ගලීලයේ දේශනා කිරීමෙන් පසුව හෝ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසින් පසුව විය හැකියි.—මතෙව් 4:24; ක්‍රියා 2:5.

[28වන පිටුවේ පින්තූරය]

යේසුස් දර්ශනය වූ අවස්ථාවේදී සාවුල් ‘බිම වැටුණේය’

[29වන පිටුවේ පින්තූරය]

දමස්කයේදී සාවුල්ව මරා දැමීමට කුමන්ත්‍රණය කර තිබුණත්, ඔහු ඉන් බේරී පලා ගියේය