Skip to content

පටුනට යන්න

අද දින ‘ඉතා වටිනා මුතු ඇටය සෙවීම’

අද දින ‘ඉතා වටිනා මුතු ඇටය සෙවීම’

අද දින ‘ඉතා වටිනා මුතු ඇටය සෙවීම’

“රාජ්‍යයේ මේ ශුභාරංචිය . . . සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය.”—මතෙව් 24:14.

1, 2. (අ) යේසුස් විසූ දවස්වල යුදෙව්වන්ට දේවරාජ්‍යය ගැන හැඟුණේ කෙසේද? (ආ) දේවරාජ්‍යය ගැන නිසි අවබෝධයක් ලබා දීම සඳහා යේසුස් කුමක් කළාද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

යේසුස් පොළොවට පැමිණ සිටි කාලයේදී යුදෙව්වන් අතර නිතරම කතා බහට ලක් වූ කාරණයක් වූයේ දේවරාජ්‍යයයි. (මතෙව් 3:1, 2; 4:23-25; යොහන් 1:49) එහෙත්, දේවරාජ්‍යයේ පාලනය කොතරම් පුළුල්ද, කොතරම් දුරට විහිදී යනවාද යන්න ගැන සහ එහි පාලනය සිදු වන ආකාරය ගැන මුලදී ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සම්පූර්ණයෙන්ම වටහාගත්තේ නැත. තවද ඔවුන් එය ස්වර්ගික ආණ්ඩුවක් වනු ඇතැයි යන කාරණයද තේරුම්ගත්තේ නැත. (යොහන් 3:1-5) යේසුස්ගේ ඇතැම් අනුගාමිකයන් පවා දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද කියා හෝ ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයන් බවට පත්වීම සඳහා තමන් කුමක් කළ යුතුද කියා හෝ මුළුමනින්ම වටහාගත්තේ නැත.—මතෙව් 20:20-22; ලූක් 19:11; ක්‍රියා 1:6.

2 කල් යත්ම, යේසුස් තම ගෝලයන්ට ඉතා ඉවසිලිවන්තව තවත් බොහෝ පාඩම් ඉගැන්වීය. අප මීට ඉහත ලිපියේ සලකා බැලූ ඉතා වටිනා මුතු ඇටයේ උපමාවද මීට ඇතුළත් වේ. මේ සියලු උපමාවලින් ඔවුන්ට කාවැද්දුවේ ස්වර්ගික රාජ්‍යය අත් කරගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමේ ඇති වැදගත්කමයි. (මතෙව් 6:33; 13:45, 46; ලූක් 13:23, 24) මෙම උපමා ඔවුන්ගේ සිත්වලට අනිවාර්යයෙන්ම කාවදින්නට ඇත. වැඩි කලක් ගත වෙන්නට පෙරාතුව පොළොවේ ඈත කෙළවර දක්වාම වෙහෙස නොබලා ඉතා නිර්භීතව රාජ්‍යයේ ශුභාරංචිය පතළ කිරීමට ඔවුන් පෙලඹුණේ ඒ නිසාය. මේ පිළිබඳව සාක්ෂි අපට ක්‍රියා පොතෙන් ඕනෑ තරම් සොයාගත හැකියි.—ක්‍රියා 1:8; කොලොස්සි 1:23.

3. අපේ කාලය සම්බන්ධ කරමින්, යේසුස් රාජ්‍යය ගැන පැවසුවේ කුමක්ද?

3 එසේනම්, අද දින ගැන කුමක් කිව හැකිද? එම රාජ්‍යය යටතේ පොළොව පාරාදීසයක් වන බවත්, බොහෝදෙනෙකු එහි ජීවත් වීමට භාග්‍යය ලබනු ඇති බවත් දේශනා කරනු ලැබේ. “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” පිළිබඳ අනාවැකියේදී යේසුස් විශේෂයෙන් සඳහන් කළේ මෙයයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:3, 14; මාක් 13:10) තවද මෙම අතිවැදගත් කාර්යය දරුණු බාධක සහ අභියෝග පමණක්ද නොව පීඩා මැද පවා කරගෙන යනු ලබන බවද ඔහු පැහැදිලි කළේය. කෙසේවුවද, යේසුස් සහතිකයක් දෙමින් කියා සිටියේ, “ගලවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තා” බවයි. (මතෙව් 24:9-13) නමුත් මේ සියලු දේවලට මුහුණ දීමට නම්, යේසුස්ගේ උපමාවේ සංචාරක වෙළෙන්දා විසින් විදහාපාන ලද ආකාරයේ ආත්ම පරිත්‍යාගයක් සහ කැපවීමක් අවශ්‍ය කෙරේ. අද දිනත් එවන් ඇදහිල්ලක් හා උද්‍යෝගයක් දක්වමින් රාජ්‍යය සොයන පුද්ගලයන් සිටිනවාද?

සත්‍යය සොයාගැනීමෙන් ලැබෙන ප්‍රීතිය

4. රාජ්‍යය පිළිබඳ සත්‍ය තොරතුරු අද දින ජනයාට ඇති කරන්නේ කුමන බලපෑමක්ද?

4 යේසුස්ගේ උපමාවේ සඳහන් වෙළෙන්දාට ඉමහත් ප්‍රීතියක් ඇති වුණේ, “ඉතා වටිනා මුතු ඇටයක්” තමාට සම්බ වූ බව ඔහු තේරුම්ගත් නිසයි. මේ ප්‍රීතිය නිසා ඔහු පෙලඹුණේ කුමක් කිරීමටද? තමා සතු සියල්ල දී ඒ මුතු ඇටය ලබාගැනීමටයි. (හෙබ්‍රෙව් 12:1) අද දිනත්, දෙවි සහ ඔහුගේ රාජ්‍යය පිළිබඳ සත්‍ය තොරතුරුවල අගය තේරුම්ගන්නා පුද්ගලයන් ප්‍රතිචාරය දක්වන්නේ එලෙසමයි. මේ කාරණය අපට පහත සඳහන් ආදර්ශයෙන් මනාව පැහැදිලි වෙයි. දෙවි ගැනත් මිනිස් වර්ගයා උදෙසා දෙවිගේ අරමුණ ගැනත් තමා පෞද්ගලිකව සොයා බැලූ ආකාරය ගැන සහෝදර ඒ. එච්. මැක්මිලන් තම පොතෙහි (Faith on the March) මෙසේ ලීවේය. “මා සොයාගෙන ඇති දේ සෑම වසරකම දහස් ගණන් අය තවමත් සොයමින් සිටිති. ඒ විවිධ ජාතීන්ගෙන්, වර්ගයන්ගෙන්, විවිධ පසුබිම්වලින් හා විවිධ වයස් මට්ටම්වලින් පැමිණෙන ඔබ සහ මා වැනි අයයි. සත්‍යය කාටත් එක හා සමානය. සියලු ආකාරයේ පුද්ගලයෝ ඒ වෙතට ආකර්ෂණය වෙති.”

5. වර්ෂ 2004 සේවා වාර්තාව තුළ අපට දක්නට ලැබෙන කදිම ප්‍රතිඵල මොනවාද?

5 එම වචනවල සත්‍යතාව අද දින අපට දැකිය හැකියි. මන්දයත් වසරක් වසරක් පාසා සියදහස් ගණන් අවංක පුද්ගලයන් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අසා ඒ ගැන ඉගෙනගෙන යෙහෝවාගේ කැමැත්ත කිරීම සඳහා තම ජීවිත කැප කරති. වර්ෂ 2003 සැප්තැම්බර් මාසයේ සිට 2004 අගෝස්තු මාසය දක්වා වූ සේවා වසරේදීද සත්‍යයක් වූයේ මෙයයි. එම මාස 12 ඇතුළත, පුද්ගලයන් 2,62,416දෙනෙක් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වූහ. මෙය රටවල් 235ක සිදු වූ අතර, එම රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබල් පාඩම් 60,85,387ක් සතිපතා පවත්වති. මේ මගින් සියලුම ජාතීන්ට, ගෝත්‍රවලට සහ භාෂාවලට අයත් සියලුම තරාතිරම්වල ජනයාට දෙවිගේ වචනයේ ජීවනදායක සත්‍යතාවන් ගැන ඉගෙනගැනීමට ඔවුහු උපකාර කරති.—එළිදරව් 7:9.

6. මේ දක්වා වසර ගණනාවක් පුරා රාජ්‍ය වැඩකටයුතුවල ස්ථිර වර්ධනයකට හේතු වන්නේ කුමක්ද?

6 මේ නිසා කුමක් කිරීමට හැකි වී තිබේද? යෙහෝවා “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයව ඇදගන්නා බවට කිසිදු සැකයක් නැත. (යොහන් 6:65; ක්‍රියා 13:48) එහෙත්, දේවරාජ්‍යයට මුල් තැන දෙමින් ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් විදහාපෙන්වමින් වෙහෙස මහන්සි නොබලා සේවය කරන අයගේ උත්සාහය මෙහිදී කිසිසෙත් අඩුවෙන් තක්සේරු කිරීම සුදුසු නැත. වයස අවුරුදු 79දී සහෝදර මැක්මිලන් මෙසේ ලීවේය. “අසනීප වෙමින් මියයන මිනිස් වර්ගයා උදෙසා දී ඇති පොරොන්දු ගැන මා මුලින්ම ඉගෙනගත් දවසේ පටන්, බයිබලයේ පණිවුඩය තුළින් හෙළි වූ දෙය හා සම්බන්ධව මගේ බලාපොරොත්තුව හීන වී ගොස් නැත. ඒ මොහොතේ පටන් මගේ අධිෂ්ඨානය වූයේ බයිබලය උගන්වන දේවල් ගැන තව තවත් ඉගෙනගැනීමයි. සර්වබලධාරී යෙහෝවා දෙවි ගැනත් මිනිස් වර්ගයා උදෙසා ඔහුගේ යහපත් අරමුණු ගැනත් දැනගන්නට උත්සාහ කරමින් සිටින මා වැනි පුද්ගලයන්ට උපකාර කිරීමට එවිට මට හැකි වේවි.”

7. බයිබල් සත්‍යය සම්බ වෙන අය අද්දකින ප්‍රීතිය සහ උද්‍යෝගය දක්නට ලැබෙන්නේ කිනම් අද්දැකීමෙන්ද?

7 එම උද්‍යෝගිමත් ස්වභාවය අද දිනත් යෙහෝවාගේ ජනයා තුළ දක්නට ලැබේ. නිදසුනක් වශයෙන්, ඕස්ට්‍රියාවේ වියානා නුවර වෙසෙන ඩැනියෙලාගේ ආදර්ශය සලකා බලන්න. ඇය පැවසුවේ මෙසේයි. “මා බාල වියේ පටන් මගේ හොඳම මිතුරා වී සිටියේ දෙවියි. ‘දෙවි’ කියන වචනය මට මහා අමුතුයි. මම ආසාවෙන් හිටියේ ඔහුගේ නම දැනගන්න. නමුත් මට ඒ නම දැනගන්න ලැබුණේ මට වයස අවුරුදු 17දීයි. ඒ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මගේ ගෙදරට ආපු දවසේදීයි. මට දෙවි ගැන දැනගන්න තිබුණු හැම දෙයක්ම ඔවුන් පැහැදිලි කෙරුවා. අන්තිමේදී, මට තේරුණා මම සත්‍යය සොයාගත්තා කියලා. මට ඒ වෙලාවේ ඇති වුණ හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ! මට කොච්චර සන්තෝෂයක් ඇති වුණාද කිව්වොත්, මම හැම කෙනෙකුටම දේශනා කරන්න පටන්ගත්තා.” ඈ දැක්වූ උද්‍යෝගය නිසා වැඩි කල් යන්නට මත්තෙන් ඇයට පාසැලේ ළමුන්ගේ උසුළු විසුළුවලට මුහුණ දෙන්නට සිදු විය. “හැබැයි මම නම් තේරුම්ගත්තේ බයිබල් අනාවැකි ඉෂ්ට වෙනවා කියලයි. මොකද මම ඉගෙනගත්තා, යේසුස් කී විදිහට ඔහුගේ අනුගාමිකයන්ට වෛරයට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා. ඒ වගේම ඔහුගේ නාමය නිසා පීඩා කරනු ලබනවා කියලා. මට හරි සන්තෝෂයි, ඒ වගේම පුදුමයි.” වැඩි කල් නොගොස්, ඩැනියෙලා තම ජීවිතය යෙහෝවා දෙවිට කැප කොට, බව්තීස්ම වී, වෙනත් රටකට ගොස් සේවය කිරීමේ ඉලක්කය අල්ලාගැනීමට ක්‍රියා කළාය. විවාහ වීමෙන් පසුව ඇය තම සැමියා වන හෙල්මුට් සමඟ වියානා නුවර වෙසෙන අප්‍රිකානු, චීන, ෆිලිපීන සහ ඉන්දියානු ජනයාට දේශනා කිරීමට පටන්ගත්තාය. ඩැනියෙලා සහ හෙල්මුට් දැන් නිරිතදිග අප්‍රිකාවේ පූර්ණ කාලීනව දේවසේවයේ නිරතව වී සිටිති.

ඔවුන් අධෛර්ය වෙන්නේ නැත

8. දෙවි කෙරෙහි වූ තම ප්‍රේමය සහ දේවරාජ්‍යයට තමන් දක්වන පක්ෂපාතකම බොහෝදෙනෙකු විසින් පෙන්වනු ලබන එක් ක්‍රමයක් නම් කරන්න.

8 ඇත්ත වශයෙන්ම, වෙනත් රටකට ගොස් ශුභාරංචිය පතල කිරීම, අද දින යෙහෝවාගේ ජනයා දෙවිට තම ප්‍රේමයත් ඔහුගේ රාජ්‍යයට තමන් දක්වන පක්ෂපාතකමත් පෙන්වන එක් ක්‍රමයකි. යේසුස් කී උපමාවේ වෙළෙන්දා මෙන්, මේ සේවයට අවතීර්ණ වන අය දේවරාජ්‍යය වෙනුවෙන් දුර ඈත රටවලට යෑමට කැමති වෙති. ඇත්තෙන්ම, මේ අය යන්නේ රාජ්‍යය ශුභාරංචිය සොයන්නට නොවේ. ඈත එපිට රටවල වෙසෙන ජනයා කරා එය රැගෙන යෑමටය. ඔවුහු ජනයාට උගන්වමින් යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත්වීමට ඔවුන්ට උපකාර කරති. (මතෙව් 28:19, 20) ඔවුන්ට බොහෝ රටවලදී අතිමහත් දුෂ්කරතා විඳදරාගැනීමට සිදු වී තිබේ. නමුත් ඔවුන් එසේ විඳදරාගැනීම නිසා ලබා ඇති ආශීර්වාද බොහෝයි.

9, 10. මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව වැනි රටවල සේවය සඳහා ගිය අයගේ ප්‍රීතිමත් අද්දැකීම් විස්තර කරන්න.

9 නිදසුනක් වශයෙන්, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව ගැන සලකා බලන්න. එහි පසුගිය වසරේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 16,184ක් විය. එය එම රටේ රාජ්‍යය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව මෙන් හත් ගුණයකි. එම රටේ බොහෝ ප්‍රදේශවලට විදුලි බලය නැති නිසා, මිනිසුන් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගන්නේ එළිමහනේ ගසක් යට සෙවනේය. පිටරටවලින් පැමිණ සිටින දේවසේවකයන් බයිබල් පාඩම් පවත්වන්නේද එලෙසමයි. එනම් ගසක් යට සෙවනේ වාඩි වීය. එළිමහනේ හොඳ ආලෝකයක් හා සිසිලසක් තිබෙනවා පමණක් නොව, තවත් ප්‍රයෝජනද තිබේ. එනම්, එළිමහනේ බයිබල් පාඩමක් පැවැත්වෙන විට ඒ අසලින් යන එන අය ඒ ගැන කුතුහලයක් ඇති කරගෙන පාඩමට හවුල් වීමයි. ඊට හේතුව නම්, එහි වෙසෙන ජනයාට බයිබලය කෙරෙහි ඇල්මක් තිබීමයි. සාමාන්‍යයෙන් වෙනත් රටවල මිනිසුන්ගේ එදිනෙදා කතාබහට ලක් වෙන්නේ ක්‍රීඩා හෝ කාලගුණය වැනි දේවල්ය. නමුත් මේ රටේ මිනිසුන්ගේ එදිනෙදා කතාබහට ලක් වන්නේ ආගමික විෂයන්ය.

10 එක් දේවසේවකයෙක් එළිමහනේ බයිබල් පාඩමක් පවත්වමින් සිටින විට, පාරේ එහා පැත්තේ පදිංචි වී සිටි එක් තරුණයෙක් ඇවිත් ඉල්ලා සිටියේ ඔහුගේ නිවසටත් පැමිණ තමාටද බයිබල් පාඩමක් පවත්වන ලෙසටයි. ඔහුගේ මෙම ආරාධනාව සතුටින් පිළිගත් දේවසේවකයා ඔහු සමඟ පාඩම් කළ අතර, දැන් එම තරුණයා සත්‍යය තුළ ශීඝ්‍ර වර්ධනයක් ලබමින් සිටී. ඒ රටේ පොලිස් නිලධාරීහු සාක්ෂිකරුවන් පාරේ යනවා දුටු විට ඔවුන් අසල නතර වෙති. ඒ ඔවුන්ට දඩ කොලයක් දීමට නොවේ. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පිටපත් ලබාගැනීමටයි. එපමණක්ද නොව තමන් මීට පෙර කියවා ප්‍රයෝජන ගත් ලිපි ගැන එම පොලිස් නිලධාරීහු සාක්ෂිකරුවන්ට බොහෝවිට ස්තුති කරති.

11. දුෂ්කරතා තිබුණද, දිගු කලක් මුළුල්ලේ වෙනත් රටකට ගොස් සේවය කර ඇති අයට හැඟෙන්නේ කෙසේද?

11 මීට වසර 40කට හෝ 50කට පෙර වෙනත් රටක සේවය කිරීමට ගිය අය තවමත් විශ්වාසවන්තව එසේ සේවය කරමින් සිටිති. මේ අයගේ ඇදහිල්ල සහ විඳදරාගැනීම අප සියලුදෙනාටම කොතරම් ආදර්ශයක්ද! පසුගිය වසර 42 පුරා, එක් යුවලක් පූර්ණ කාලීන දේවසේවකයන් ලෙස රටවල් 3ක සේවය කර තිබේ. ස්වාමි පුරුෂයා මෙසේ කියයි. “අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණා. උදාහරණයක් හැටියට කියනවා නම්, අවුරුදු 35ක් තිස්සේ අපි ජීවත් වුණේ මැලේරියාව තිබුණු ප්‍රදේශයකයි. ඒත්, වෙනත් රටකට ගොස් පූර්ණ කාලීනව සේවය කිරීමට අප ගත් තීරණය ගැන අපි කවදාවක්වත් කණගාටු වුණේ නැහැ.” ඔහුගේ භාර්යාවද මෙසේ පවසන්නීය. “අපි කෘතඥවිය යුතු හුඟාක් දේවල් තියෙනවා. ක්ෂේත්‍ර සේවය හරිම ප්‍රීතිදායක අද්දැකීමක්. බයිබල් පාඩම් පටන්ගන්න හරිම ලෙහෙසියි. අපි සමඟ බයිබලය පාඩම් කරන අය රැස්වීම්වලට ඇවිල්ලා එකිනෙකාව හඳුනාගන්නවා දැක්කහම, අපිට හැඟෙන්නේ හරියට එක පවුලක කට්ටිය එකට එකතු වෙලා වගෙයි.”

ඔවුහු ‘නැති වූ සියල්ල කුණු ගොඩක්යයි සලකති’

12. දේවරාජ්‍යයේ වටිනාකම උදෙසා යම් පුද්ගලයෙකු තුළ ඇති සැබෑ අගය කිරීම පෙන්වනු ලබන්නේ කෙලෙසද?

12 සංචාරක වෙළෙන්දාට ඉතා වටිනා මුතු ඇටය හමු වූ විට, “ඔහු එකෙණහිම ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිල දී ගත්තේය.” (මතෙව් 13:46) මේ අනුව දේවරාජ්‍යයේ වටිනාකම සැබවින්ම අගය කරන පුද්ගලයන් තුළ එක්තරා සුවිශේෂී ලක්ෂණයක් තිබේ. එය නම්, තමා සතු වටිනා ඕනෑම දෙයක් දේවරාජ්‍යය උදෙසා අත්හැරීමට කැමති වීමයි. ක්‍රිස්තුස් සමඟ දේවරාජ්‍යයේ පාලනයට හවුල් වීමේ ප්‍රස්තාව ලැබූ ප්‍රේරිත පාවුල් කීවේ මෙයයි. ‘ඇත්තවශයෙන්ම, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුමෙහි ඇති මහත් වටිනාකම නිසා සියල්ල අවාසියක්යයි සලකමි. ඔහු නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු ගොඩක්යයි සලකමි. එසේ කරන්නේ මා ක්‍රිස්තුස් ලබාගන්නා පිණිසය.’—ෆිලිප්පි 3:8.

13. චෙක් සමූහාණ්ඩුවේ වෙසෙන එක් පුද්ගලයෙක් දේවරාජ්‍යය කෙරෙහි තම ඇල්ම පෙන්වූයේ කෙසේද?

13 ඒ ආකාරයෙන්ම, අද දින බොහෝදෙනෙක් රාජ්‍යයේ ආශීර්වාද අත් කරගැනීම සඳහා තමන්ගේ ජීවිතවල විශාල වෙනස්කම් කිරීමට කැමැත්තක් දක්වති. නිදසුනක් වශයෙන්, 2003 ඔක්තෝබර් මාසයේ, චෙක් සමූහාණ්ඩුවේ එක්තරා පාසැලක 60 හැවිරිදි විදුහල්පතිවරයෙකුට සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති බයිබල් අධ්‍යයන ආධාරක පොත සම්බ විය. එය කියවීමෙන් පසුව, ඔහු ඉක්මනින්ම ඔහුගේ පළාතේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වී බයිබල් පාඩමක් ආරම්භ කළේය. ඉතා කදිම ආත්මික ප්‍රගතියක් ලැබූ ඔහු වැඩි කල් නොගොස් රැස්වීම්වලට සහභාගි වීමට පටන්ගත්තේය. එහෙත් මුලින් ඔහුට තිබුණේ වෙනස් ඉලක්කයකි. ඒ, පළාතේ නගරාධිපති ධූරයට පත් වී පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වීමටය. මේ ඉලක්කවලට සිදු වූයේ කුමක්ද? වෙනස් ඉලක්කයක් අත් කරගැනීමට ඔහු තීරණය කළේය. ඒ දේවරාජ්‍යය ගැන දේශනා කිරීමයි. “මගේ ශිෂ්‍යයන්ට සත්‍යය ගැන පොත් පත් රාශියක් බෙදා දීමට මට පුළුවන් වුණා.” ඔහු යෙහෝවාට කැප වී 2004 ජූලි මාසයේ පැවති සමුළුවකදී බව්තීස්ම විය.

14. (අ) රාජ්‍යයේ ශුභාරංචිය මගින් මිලියන ගණනක් ජනයාව පොලඹවා තිබෙන්නේ කුමක් කිරීමටද? (ආ) අප සෑම කෙනෙකුටම අපෙන්ම ඇසිය හැක්කේ කිනම් වැදගත් ප්‍රශ්නද?

14 ලොව වටා සිටින තවත් මිලියන ගණනක් ශුභාරංචියට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඒ හා සමාන ආකාරයටයි. දුෂ්ට ලෝකයෙන් පිටතට ඇවිත් සිටින ඔවුහු තම පැරණි පෞද්ගලිකත්වය වෙනස් කර, තමාගේ පරණ යහළුවන්ගෙන් අහක් වී ලෞකික ඉලක්ක ලුහුබැඳීම අත්හැර දමා සිටිති. (යොහන් 15:19; එෆීස 4:22-24; යාකොබ් 4:4; 1 යොහන් 2:15-17) ඔවුන් මේ සියල්ල කරන්නේ මන්ද? දේවරාජ්‍යය මගින් ලැබෙන ආශීර්වාද මේ ලෝකයෙන් ලබාගත හැකි වෙන මොන යම් දේකටවත් වඩා බොහෝ සෙයින් උතුම් බව ඔවුන් දන්නා නිසාය. රාජ්‍යයේ ශුභාරංචිය සම්බන්ධයෙන් ඔබටත් හැඟෙන්නේ එලෙසද? ඔබේ ජීවිත රටාව, ඔබ අගය කරන සාරධර්ම සහ ඔබේ ඉලක්ක යෙහෝවා ඔබෙන් බලාපොරොත්තු වෙන දේට එකඟ කිරීම පිණිස ඔබේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කිරීමට ඔබ පෙලඹී සිටින්නෙහිද? ඔබ එසේ කරනවා නම්, දැනුත් අනාගතයේදීත් නිමක් නැති ආශීර්වාදවලට ඔබ හිමිකම් කියනවා නොඅනුමානයි.

අස්වැන්න නෙළීම අවසන් වේගන යයි

15. අනාවැකිවල පවසා ඇති ආකාරයට මෙම අන්තිම දවස්වලදී දෙවිගේ ජනයා කුමක් කරනවා ඇද්ද?

15 ගීතිකාකරු මෙසේ ලීවේය. “ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති.” තමාගේම කැමැත්තෙන් ඉදිරිපත් වන අය අතරට, ‘පිනි බඳු වූ තරුණයන්ද,’ එමෙන්ම “ශුභාරංචිය ප්‍රකාශ කරන” ‘මහත් සේනාවක් බඳු ස්ත්‍රීන්ද’ ඇතුළත් වෙති. (ගීතාවලිය 68:11; 110:3) මෙම අන්තිම දවස්වලදී, බාල මහලු පුරුෂයන් සහ කාන්තාවන් ඉතා උද්‍යෝගයෙන් ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වා තිබෙන නිසා ඇති වී තිබෙන ප්‍රතිපල මොනවාද?

16. දෙවිගේ සේවකයන් රාජ්‍යය ගැන ඉගෙනගැනීමට තවත් අයට උපකාර කරන ආකාරය ගැන උදාහරණයක් දෙන්න.

16 ඉන්දියාවේ එක්තරා පූර්ණ කාලීන පුරෝගාමි සහෝදරියක්, එම රටේ සිටින මිලියන දෙකක් පමණ බිහිරි ජනයාට දේවරාජ්‍යය ගැන ඉගෙනගැනීමට උපකාර කරන්නේ කෙසේදැයි කල්පනා කළාය. (යෙසායා 35:5) බැංගලෝරයේ සංඥා භාෂාව උගන්වන පාසලකට ඇතුල් වී එම භාෂාව ඉගෙනගන්නට ඇය තීරණය කළාය. එහිදී ඇයට බිහිරි පුද්ගලයන් බොහෝදෙනෙකුට දේවරාජ්‍ය පිළිබඳ බලාපොරොත්තුව ගැන කතා කිරීමට හැකි වූ අතර, කණ්ඩායම් වශයෙන් බයිබලය පාඩම් කිරීමට සැලසුම් කෙරිණි. සති කිහිපයක් ඇතුළත, රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට කිහිපදෙනෙක්ම පැමිණෙන්නට පටන්ගත්හ. පසුව, එක්තරා විවාහ මංගල්‍යයකදී, මෙම පුරෝගාමි සහෝදරියට කල්කටා නගරයේ සිට පැමිණි එක්තරා බිහිරි තරුණයෙකුව හමු විය. ඔහුට බයිබලය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න තිබූ අතර, යෙහෝවා ගැන ඉගෙනගැනීමට ඉතා ගැඹුරු උනන්දුවක් දැක්වූයේය. එහෙත්, තිබූ ගැටලුව වූයේ ඔහුට කිලෝමීටර් 1,600ක් තරම් දුරින් පිහිටි කල්කටාවේ පාසැලට නැවත යෑමට සිදුවීමයි. නමුත්, සංඥා භාෂාව දන්නා කිසිදු සාක්ෂිකරුවෙක් ඒ නගරයේ නොවීය. මීට විසඳුමක් ලෙස ඔහු කළේ, කල්කටාවේ පාසැලකට යනවා වෙනුවට බැංගලෝර් නගරයේ පිහිටි පාසැලකට යෑමට තමාට අවසර දෙන ලෙස තම පියාගෙන් ඉල්ලා සිටීමය. ඔහුගේ පියා ඊට කැමති විය. මේ තරුණයා ඉතා කදිම ආත්මික ප්‍රගතියක් ලැබූ අතර, වසරකට පමණ පසුව, ඔහු යෙහෝවාට සිය ජීවිතය කැප කළේය. අනතුරුව, ඔහු බිහිරි පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ බයිබලය පාඩම් කළේය. පාසැල් සමයේ ඔහුගේ මිතුරෙක්ද ඉන් කෙනෙක් විණි. ඉන්දියාවේ ශාඛා කාර්යාලය දැන් එම රටේ සිටින සංඥා භාෂාව කතා කරන අයට උපකාර කිරීම සඳහා පුරෝගාමීන්ව සූදානම් කරමින් සිටී.

17. මෙම සඟරාවේ 19 සිට 22 දක්වා පිටුවල 2004 සේවා වසරේ වාර්තාව දෙස බලන කල, විශේෂයෙන්ම ඔබට දිරිගැන්වීමක් වී ඇත්තේ කුමක්දැයි සඳහන් කරන්න.

17 මෙම සඟරාවේ 19 සිට 22 දක්වා පිටුවල, 2004 වසර සඳහා ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාව ඔබට දැකිය හැකියි. එය පරීක්ෂා කිරීමට මඳ වේලාවක් ගන්න. ලොව පුරා වෙසෙන යෙහෝවාගේ ජනයා අද දින “ඉතා වටිනා මුතු ඇටය” සෙවීමට දරන බලවත් උත්සාහය පිළිබඳ සාක්ෂි ඔබම දැකගන්න.

“පළමුකොට රාජ්‍යය . . . නොකඩවාම සොයන්න”

18. සංචාරක වෙළෙන්දා සම්බන්ධ උපමාවට යේසුස් ඇතුළත් නොකළේ කිනම් තොරතුරුද? ඒ මන්ද?

18 දැන් නැවතත් සංචාරක වෙළෙන්දා සම්බන්ධ යේසුස්ගේ උපමාවට අවධානය යොමු කරමු. එම සංචාරක වෙළෙන්දා තමා සතුව තිබූ සියලු දේ විකුණූ පසුව ඔහු තම අවශ්‍යතා පිරිමසාගන්නේ කෙසේද යන්න ගැන යේසුස් කිසිවක් සඳහන් කළේ නැත. ඇතමෙක් මෙම යථාර්ථවාදී ප්‍රශ්න අසනවා විය හැකියි. ‘මොහු ළඟ කිසිවක් නැහැ. ඔහු සේරම දේවල් වික්කා. එහෙනම් ඔහුට ආහාර ඇඳුම් හා ඉන්න තැනක් කොහෙන්ද? ඔහුට මේ මුතු ඇටයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?’ ලෞකික දෘෂ්ටි කෝණයකින් බලන කල, මේවා සාධාරණ ප්‍රශ්න විය හැකියි. නමුත් යේසුස් සිය ගෝලයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙයයි. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” (මතෙව් 6:31-33) එම උපමාවේ මූලික කරුණ වූයේ දෙවිට මුළු හදින්ම කැපවීම සහ දේවරාජ්‍යය සම්බන්ධ කාරණාවල උද්‍යෝගිව කටයුතු කිරීමයි. මේ තුළින් අපට යම් පාඩමක් ඉගෙනගැනීමට තිබේද?

19. ඉතා වටිනා මුතු ඇටය සම්බන්ධව යේසුස්ගේ උපමාවෙන් අපට ඉගෙනගත හැකි මූලික පාඩම කුමක්ද?

19 දේවරාජ්‍යය ගැන පුදුමාකාර ශුභාරංචිය අප ඉගෙනගත්තේ මෑතකදී වුවද, නැතහොත් දශක ගණනාවක් පුරා රාජ්‍යය හා සම්බන්ධ කටයුතුවල නියැලෙමින් ඉන් ලැබෙන ආශීර්වාද ගැන අන්‍යයන්ට පවසමින් සිටියද, අප දිගටම අපේ ජීවිතවල මුල් තැන දිය යුත්තේ දේවරාජ්‍යටයි. අප දැන් ජීවත් වෙන්නේ ඉතාමත් දුෂ්කර කාලයකයි. නමුත්, වෙළෙන්දාට හමු වූ වටිනා මුතු ඇටය මෙන්, අප මේ හඹා යන්නේ කිසිම දෙයකට සැසඳිය නොහැකි අගනා වස්තුවක් ලබාගැනීමට බව අපි තදින්ම විශ්වාස කරමු. ලෝක සිද්ධීන් හා ඉටු වූ බයිබල් අනාවැකි දෙස බලන කල පැහැදිලිව ඔප්පු වන්නේ කුමක්ද? අප ජීවත් වෙමින් සිටින්නේ ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේ’ බවයි. (මතෙව් 24:3) අපිද, ඒ සංචාරක වෙළෙන්දා මෙන්, දේවරාජ්‍යය සම්බන්ධ වැඩ කටයුතුවලදී අපගේ හෘදයාංගම උද්‍යෝගය පෙන්වමු. එමෙන්ම ශුභාරංචිය පතළ කිරීමට අපට තිබෙන වරප්‍රසාදය ගැන ප්‍රීති වෙමු.—ගීතාවලිය 9:1, 2.

ඔබට මතකද?

• වසර ගණනාවක් පුරා, සැබෑ නමස්කාරකයන්ගේ වර්ධනයට හේතු වී තිබෙන්නේ කුමක්ද?

• වෙනත් රටකට ගොස් පූර්ණ කාලීනව සේවය කරන අය අතර කුමන ආකල්පයක් දක්නට තිබේද?

• රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය නිසා පුද්ගලයන් තමන්ගේ ජීවිතවල ඇති කරගෙන තිබෙන වෙනස්කම් මොනවාද?

• ඉතා වටිනා මුතු ඇටය පිළිබඳව යේසුස්ගේ උපමාවෙන් අපට ඉගෙනගත හැකි වටිනා පාඩම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19-22වන පිටුවේ වගුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2004 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව

(මුද්‍රිත පිටපත බලන්න)

[14වන පිටුවේ පින්තූරය]

‘සත්‍යය සියලු ආකාර පුද්ගලයන්ව ආකර්ෂණය කරයි’—ඒ. එච්. මැක්මිලන්

[15වන පිටුවේ පින්තූරය]

ඩැනියෙලා සහ හෙල්මුට් වියානා නුවර විදේශ භාෂාවක් කතා කළ අයට දේශනා කළහ

[16, 17වන පිටුවේ පින්තූර]

සංචාරක වෙළෙන්දා මෙන් වෙනත් රටවලට ගොස් සේවය කරන අය බොහෝ ආශීර්වාද ලබති

[17වන පිටුවේ පින්තූරය]

“ඔබගේ සෙනඟ කැමැත්තෙන්ම පූජා වෙති”