Skip to content

පටුනට යන්න

‘ඉතා වටිනා එක් මුතු ඇටයක් සම්බ වී’

‘ඉතා වටිනා එක් මුතු ඇටයක් සම්බ වී’

‘ඉතා වටිනා එක් මුතු ඇටයක් සම්බ වී’

“මිනිස්සු ස්වර්ග රාජ්‍යය ඉලක්ක කරගෙන මහත් පරිශ්‍රමයක් දරති. මහත් පරිශ්‍රමයක් දරන්නෝ එය අත් කරගනිති.”—මතෙව් 11:12.

1, 2. (අ) යේසුස් කතා කළේ යම් පුද්ගලයෙක් කලාතුරකින් කරන කවර ක්‍රියාව ගැනද? (ආ) මුතු ඇටයේ උපමාවේදී යේසුස් කී දේ කුමක්ද?

ඔබ අනර්ඝ කොට සලකන යම් වස්තුවක් ලබා ගැනීම සඳහා ඔබ සතු සෑම දෙයක්ම පරිත්‍යාග කිරීමට ඔබ කැමති වන්නෙහිද? මුදල්, කීර්තිය, බලය හෝ තනතුරු වැනි යම් ඉලක්කයක් අත් කරගැනීම සඳහා මිනිස්සු කැප වී වැඩ කරති. නමුත් යම් අනර්ඝ දෙයක් ලබාගැනීම සඳහා යමෙක් තමා සතු සෑම දෙයක්ම කැප කරයිද? එවැනි දෙයක් සිදු වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. යේසුස් ක්‍රිස්තුස් එසේ ක්‍රියා කළ පුද්ගලයෙක් ගැන කතා කළේය. ඒ ගැන සඳහන් වන්නේ දේවරාජ්‍යය පිළිබඳ එක් සිත්ගන්නාසුලු උපමාවකය.

2 එය යේසුස් සිය ගෝලයන්ට පෞද්ගලිකව කියූ උපමාවකි. සාමාන්‍යයෙන් එය හඳුන්වන්නේ මුතු ඇටයේ උපමාව ලෙසයි. මෙහිදී යේසුස් පැවසුවේ මෙසේයි. “ස්වර්ග රාජ්‍යය අගනා මුතු සොයා ගිය සංචාරක වෙළෙන්දෙකුට සමානය. ඉතා වටිනා එක් මුතු ඇටයක් ඔහුට සම්බ වූ විට, ඔහු එකෙණෙහිම ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිල දී ගත්තේය.” (මතෙව් 13:36, 45, 46) අප මේ උපමාවෙන් ඉගෙනගන්නේ කුමක්ද? එහි අර්ථය තේරුම්ගැනීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

මුතු කොපමණ වටීද?

3. පුරාණයේ සිට මුතු ඉතා වටිනා දෙයක් ලෙස සලකනු ලබන්නේ මන්ද?

3 පුරාණයේ පටන් මුතු ඉතා මිල අධික දෙයක් ලෙස සැලකිණි. මෙම කාරණය රෝම විශාරදයෙක් පවා පිළිගත්තේය. රන්, රිදී, මැණික් ගල් භූමියෙන් ලබාගත්තත් මුතු ලබාගන්නේ මුතු බෙල්ලාගෙනි. සාමාන්‍යයෙන් මුතු ඇටයක් සෑදෙන්නේ කෙසේද? මුතු බෙල්ලාගේ කටුව ඇතුළට වැලිකැටයක් ඇතුලු වූ විට, ඌට යම් වේදනාවක් දැනේ. මේ නිසා උගේ ශරීරයෙන් ශ්‍රාවයක් පිට වන අතර එය වැලිකැටය වටා බැඳෙන්නට පටන්ගනී. කල් යත්ම වැලිකැටය වටා බැඳී ඇති එම ශ්‍රාවය ගනවීමේ ප්‍රතිඵලයක් ලෙස මුතු ඇටයක් සෑදේ. හොඳම මුතු ලැබෙන්නේ රතු මුහුදෙන්, පර්සියානු බොක්කෙන් සහ ඉන්දියානු සාගරයෙන්ය. ඒවා පිහිටා ඇත්තේ ඊශ්‍රායෙල් දේශයට බොහෝ ඈතිනි. ඒ නිසා, යේසුස් පැවසූ උපමාවේ සඳහන් ‘අගනා මුතු සොයා ගිය සංචාරක වෙළෙන්දාට’ මුතු සෙවීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බව පැහැදිලිය.

4. සංචාරක වෙළෙන්දා පිළිබඳ යේසුස් කී උපමාවෙන් ගත හැකි ප්‍රධාන කරුණ කුමක්ද?

4 සාමාන්‍යයෙන් මුතුවල මිල අධික වුවද, පෙනෙන විදිහට යේසුස් කී උපමාවේ ප්‍රධාන කරුණ ලෙස අවධාරණය කෙරුණේ මුතු ඇටයේ ඇති මූල්‍යමය වටිනාකම නොවේ. මන්දයත්, යේසුස් දේවරාජ්‍යය ඉතා වටිනා මුතු ඇටයකට පමණක් සමාන කළේ නැත. ඔහු ‘අගනා මුතු ඇටයක් සොයා ගිය සංචාරක වෙළෙන්දෙකුට’ සහ එම මුතු ඇටය සම්බ වූ විට ඔහු දැක් වූ ප්‍රතිචාරයට යොමු දැක්වීය. මේ වෙළෙන්දා, අනික් සාමාන්‍ය වෙළෙඳුන් මෙන් හුදෙක් ලාභය තකා මුතු මිල දී ගෙන විකුණන කෙනෙක් නොවේ. ඔහු බාල මුතු ඇටවලට රැවටෙන්නේ නැති, අනගි මුතුවල නියම වටිනාකම හොඳින් තක්සේරු කළ හැකි විශේෂඥයෙකි.

5, 6. (අ) යේසුස් කී උපමාවේ සඳහන් වෙළෙන්දා ගැන විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද? (ආ) සැඟවුණු වස්තුව පිළිබඳ උපමාවෙන් සංචාරක වෙළෙන්දා ගැන හෙළිවන්නේ කුමක්ද?

5 මෙම වෙළෙන්දා ගැන තවත් යමක් සැලකිල්ලට ගැනීම වටී. සාමාන්‍ය වෙළෙන්දෙක් වෙළෙඳපොලේ මුතු ඇටයක විකුණුම් මිල කවරේද කියා පළමුව සොයා බලයි. ඔහු එසේ කරන්නේ විකුණුම් මිලට අඩුවෙන් මුතු ඇටය මිල දී ගෙන එය විකුණා ලාභයක් ලබාගැනීමේ අරමුණෙනි. එමෙන්ම හැකි විගසින් මුතු ඇටය විකුණාගැනීම සඳහා ඊට ඉල්ලුමක් තිබෙනවාද කියාත් ඔහු සොයා බලනවා විය හැකියි. මින් අදහස් කරන්නේ, ඔහුගේ පරමාර්ථය නම් මුතු ඇටය තමා ළඟ තබාගැනීම නොව ගත් මුතු ඇටය හැකි විගස විකුණා ලාභයක් ඉපයීම බවයි. නමුත් යේසුස්ගේ උපමාවේ සඳහන් වෙළෙන්දාගේ පරමාර්ථය එය නොවේ. ඔහු උනන්දු වූයේ ලාභ ඉපයීමට නොවේ. ඇත්තෙන්ම, තමා සොයමින් සිටි දෙය තමාට ලබාගැනීම සඳහා ඔහු “තමා සන්තක සියල්ල,” එනම් ඔහුගේ මුළු දේපොළ වස්තුව පවා දීමට කැමති වූයේය.

6 යේසුස්ගේ උපමාවේ සඳහන් පුද්ගලයා එතරම් නුවණක්කාර වෙළෙන්දෙක් නොවන බව සාමාන්‍ය වෙළෙඳුන් වැඩිදෙනෙකුට පෙනී යනවා විය හැකියි. නුවණක්කාර ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් එවැනි අවදානම් සහිත ව්‍යාපාරයකට අතගසන්නේ නැත. එහෙත්, මේ සම්බන්ධයෙන් යේසුස් කී උපමාවේ සඳහන් වෙළෙන්දාට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් මතයකි. ඔහුට වැදගත් වූයේ ලාභ ලැබීම නොවේ. නමුත් ඉතා වටිනා යම් දෙයක් තමන් සතු කරගෙන ඉන් ඉමහත් ප්‍රීතියක් හා තෘප්තියක් ලැබීමයි. මෙම කාරණය යේසුස් ඉදිරිපත් කළාවූ තවත් ඒ හා සමාන උපමාවක පැහැදිලි කර තිබේ. ඔහු පැවසුවේ මෙසේයි. “ස්වර්ග රාජ්‍යය, තණබිමේ සඟවා තිබෙන වස්තුවකට සමානය. මිනිසෙකුට එය සම්බ විය. ඔහු එය සඟවා තබා, ඔහුට ඇති වූ ප්‍රීතිය නිසා ගොස් තමා සන්තක දේ විකුණා ඒ තණබිම මිල දී ගන්නේය.” (මතෙව් 13:44) මෙම වස්තුව සොයාගෙන එය අයිති කරගැනීමෙන් තමාට ලැබෙන ප්‍රීතිය කොතරම්ද කියා කල්පනා කළ මෙම පුද්ගලයා, තමා සතු සියලු දේ විකුණා දැමීමට කැමති වූයේය. අද දිනත් ඒ හා සමාන පුද්ගලයන් සිටිනවාද? තමන් සතු සියල්ල විකුණා මිල දී ගැනීමට තරම් වටිනා වස්තුවක් අද දින තිබේද?

රාජ්‍යයේ වටිනාකම තේරුම්ගත් අය

7. දේවරාජ්‍යයෙන් අතිවැදගත් කාර්යභාරය තමන් අවබෝධ කරගෙන සිටි බව යේසුස් පෙන්වූයේ කෙසේද?

7 මෙම උපමාවෙන් යේසුස් කතා කරමින් සිටියේ “ස්වර්ග රාජ්‍යය” ගැනයි. මෙම රාජ්‍යයේ අතිවැදගත් කාර්යභාරය යේසුස් ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටි බව නොකිවමනාය. ශුභාරංචි පොත්වල සඳහන් ප්‍රබල සාක්ෂිවලින් මෙය මොනවට පැහැදිලි වෙයි. යේසුස් ක්‍රි.ව. 29දී සිය බව්තීස්මයෙන් පසුව කළේ, “‘ජනයෙනි පසුතැවිලි වන්න. මන්ද, ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ යයි කියමින් දේශනා කරන්න” පටන්ගැනීමයි. වසර තුනහාමාරක් මුළුල්ලේම ඔහු කළේ රාජ්‍යය ගැන ජනයාට ඉගැන්වීමයි. දේශය පුරා ගමන් කළ ඔහු, “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමින්ද ප්‍රකාශ කරමින්ද නුවරින් නුවරටත් ගමින් ගමටත් ගමන් කළේය.”—මතෙව් 4:17; ලූක් 8:1.

8. රාජ්‍යය මගින් ඉටු කරනු ඇති දේවල් ගැන යේසුස් පැහැදිලිව පෙන්වූයේ කෙසේද?

8 යේසුස් තමන් ගමන් කළ දේශය පුරා බොහෝ ප්‍රාතිහාර්ය කළේය. රෝගාතුරයන්ව සුව කළේය. කුසගින්නෙන් සිටි අයට කෑම දුන්නේය. කුණාටු වැනි ස්වාභාවික තත්වයන් පාලනය කළේය. එපමණක්ද නොව මළවුන්ව පවා නැවත නැඟිට්ටෙව්වේය. මෙවැනි දේ කිරීමෙන් යේසුස් පැහැදිලි ලෙස පෙන්වා දුන්නේ දෙවිගේ රාජ්‍යය මගින් අනාගතයේදීද පොළොව මත මෙවැනි දේවල් සිදු කරනු ලබන බවයි. (මතෙව් 14:14-21; මාක් 4:37-39; ලූක් 7:11-17) අන්තිමේදී, යේසුස් දෙවිට සහ රාජ්‍යයට තමන් කොතරම් පක්ෂපාතද කියා ඔප්පු කළේ වධකණුවක් මත තම ජීවිතය පූජා කරමිනි. සංචාරක වෙළෙන්දා “වටිනා මුතු ඇටය” ලබාගැනීම සඳහා තමන් සතු සියලු දේ දීමට කැමති වූවාක් මෙන්, යේසුස් ජීවත් වුණේද මිය ගියේද රාජ්‍යය උදෙසායි.—යොහන් 18:37.

9. යේසුස්ගේ මුල් ගෝලයන් අතර තිබුණේ කලාතුරකින් දක්නට ලැබෙන කවර ලක්ෂණයද?

9 යේසුස් දේවරාජ්‍යයට ජීවිතයේ මුල් තැන දුන්නා පමණක් නොව ඔහුව අනුගමනය කරන්නට කැමති පිරිසක්වද රැස් කළේය. මේ අයද රාජ්‍යයේ වටිනාකම ඉතා අනර්ඝකොට සැලකූ පුද්ගලයෝය. මේ අය අතර, කලින් යොහන් බව්තීස්තගේ ගෝලයෙකු වූ අන්දෘද විය. “දෙවිගේ බැටළු පැටවා” කියා යේසුස්ව යොහන් විසින් හඳුන්වා දෙනු ලබන විට, එය අසා සිටි අන්දෘ සහ යොහන්ගේ තවත් ගෝලයෙක්, එනම් යොහන්යයි නම් ලත් සෙබදීගේ තවත් පුත්‍රයෙක්, යේසුස් කෙරෙහි පැහැදී ඔහුගේ අනුගාමිකයන් බවට පත් වූහ. වැඩි කල් නොගොස්, අන්දෘ තම සහෝදරයාවූ සීමොන් වෙත ගොස්, “අපට මෙසියස් සම්බ විය” යයි කීය. ඒ සමඟම, සීමොන් (සීෆස් හෙවත් පේතෘස්) මෙන්ම ෆිලිප් සහ ඔහුගේ මිත්‍ර නතානියෙල්ද යේසුස්ව මෙසියස් හෙවත් ගැලවුම්කරු ලෙස හඳුනාගත්හ. නතානියෙල් යේසුස්ව මෙසියස් ලෙසට කොතරම් පැහැදිලිව හඳුනාගත්තේද යත් ඔහු කීවේ, “ඔබ දෙවිගේ පුත්‍රයාය. ඔබ ඊශ්‍රායෙලයෙහි රජ” කියායි.—යොහන් 1:35-49.

ක්‍රියාවට පෙලඹී

10. යේසුස්ට ගෝලයන්ව මුලින්ම හමු වී යම් කලකට පසුව ඔහු නැවත ගොස් ඔවුන්ට ආරාධනා කළ විට ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

10 අන්දෘට, පේතෘස්ට, යොහන්ට සහ තවත් අයට මෙසියස්ව හඳුනාගත් මොහොතේ ඇති වූ ප්‍රීතිය, සංචාරක වෙළෙන්දාට ඉතා වටිනා මුතු ඇටය සම්බ වූ අවස්ථාවේ ඇති වූ ප්‍රීතියට සමාන කළ හැකියි. දැන් මෙම ගෝලයන් කුමක් කරනු ඇද්ද? මුල් වතාවට මෙලෙස යේසුස්ව හමුවීමත් සමඟම ඔවුන් කළේ කුමක්දැයි ශුභාරංචි පොත්වල අපට පවසන්නේ නැත. පෙනෙන විදිහට ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තමන්ගේ සුපුරුදු ජීවිතය ගත කිරීමට පටන්ගත්හ. එහෙත්, මාස හයක් හෝ අවුරුද්දක් ඇතුළත යේසුස් ගලීල මුහුද අසල ධීවර කර්මාන්තයේ යෙදී සිටි අන්දෘ, පේතෘස්, යොහන් සහ යොහන්ගේ සහෝදරයාවූ යාකොබ් වෙතට නැවත වතාවක් ගියේය. * ඔවුන්ව දුටු යේසුස් ඔවුන්ට මෙසේ පැවසීය. “මා අනුව එන්න. මම ඔබව මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි.” ඔවුන් ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක් වීද? පේතෘස් සහ අන්දෘ ගැන මතෙව්ගේ වාර්තාවේ පවසන්නේ මෙයයි. “එකෙණෙහිම ඔවුහු දැල් අත්හැර, ඔහු අනුව ගියහ.” යාකොබ් සහ යොහන් ගැන අපට කියවන්නට තිබෙන්නේ, “එකෙණෙහිම ඔවුහු ඔරුවත් තම පියාවත් අත්හැර, ඔහු අනුව ගියහ” යනුවෙනි. ලූක්ගේ වාර්තාවේ තවදුරටත් කියන්නේ, ඔවුහු “සියල්ලම අත්හැර ඔහු අනුව ගියහ” කියායි.—මතෙව් 4:18-22; ලූක් 5:1-11.

11. යේසුස්ගේ ආරාධනාව ගෝලයන් ක්ෂණිකව පිළිගත්තේ කුමක් නිසා විය හැකිද?

11 ගෝලයන් ගත්තේ ක්ෂණික තීරණයක්ද? නැත. කොහෙත්ම නැත! යේසුස්ව පළමු වතාවට මුණගැසුණායින් පසුව ඔවුන් ධීවර කර්මාන්තයට නැවත ගියද, තමන් ඇසූ දුටු දේවල් ඔවුන්ගේ සිත් තුළ ඉතා ගැඹුරින් කාවැදුණු බවට කිසිදු සැකයක් නැත. ගත වූ වසරක පමණ කාලය තුළ ඔවුන්ට එම දේවල් ගැන ගැඹුරින් සිතා බැලීමටද ඇති තරම් කාලයක් තිබෙන්නට ඇත. දැන් තීරණයක් ගත යුතු කාලය එළඹ තිබේ. යේසුස් විස්තර කළ පරිදි, අනර්ඝ මුතු ඇටය සම්බ වූ විට, “එකෙණෙහිම ගොස්” එම මුතු ඇටය මිල දී ගත් සංචාරක වෙළෙන්දා මෙන් ඔවුනුත් ක්‍රියා කරනු ඇද්ද? ඇත්තෙන්ම, තමන් ඇසූ දුටු දෙයින් මහත් සේ පෙලඹුණු ඔවුහු දැන් යම් පියවරක් ගත යුතුයයි වටහාගත්හ. මේ අනුව, ඔවුන් දෙවරක් නොසිතා සියල්ල අත්හැර යේසුස් පසුපස ගිය බව අපට වාර්තාවේ කියැවීමට තිබේ.

12, 13. (අ) යේසුස්ට සවන් දුන් බොහෝදෙනෙක් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? (ආ) සිය විශ්වාසවන්ත ගෝලයන් ගැන යේසුස් පැවසුවේ කුමක්ද? ඔහුගේ වචනවලින් අඟවන්නේ කුමක්ද?

12 ශුභාරංචි පොත්වල පසුවට සඳහන් වී ඇති ඇතැම් පුද්ගලයන් දෙස බලන කල, මේ ඇදහිලිවන්තයන් කොතරම් වෙනස් අයද! යේසුස් විසින් සුව කරනු ලැබූ හෝ යේසුස්ගෙන් කෑම ලබාගත් බොහෝදෙනෙක් තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ නිරත වූහ. (ලූක් 17:17, 18; යොහන් 6:26) තමාගේ අනුගාමිකයන් වෙන්නැයි යේසුස් ආරාධනා කළ විට, ඇතැම්හු එය ප්‍රතික්ෂේප කළහ. (ලූක් 9:59-62) නමුත් තමන් පසුපස ආ විශ්වාසවන්ත පුද්ගලයන් ගැන යේසුස් පසුව පැවසුවේ මෙයයි. “යොහන් බව්තීස්තගේ දවසේ පටන් මේ දක්වා මිනිස්සු ස්වර්ග රාජ්‍යය ඉලක්ක කරගෙන මහත් පරිශ්‍රමයක් දරති. මහත් පරිශ්‍රමයක් දරන්නෝ එය අත් කරගනිති.”—මතෙව් 11:12.

13 ‘මහත් පරිශ්‍රමයක් දරනවා’ යන පදයෙන් අඟවන්නේ කුමක්ද? මෙම පදය පරිවර්තනය කර ඇති ග්‍රීක් භාෂාවේ ක්‍රියාපදය සම්බන්ධව එක්තරා ශබ්ද කෝෂයක (Vine’s Expository Dictionary of Old and New Testament Words) මෙසේ පැවසේ. “මෙම ක්‍රියා පදයෙන් ඇඟවෙන්නේ මුළු ශක්තිය යොදා උත්සාහ කිරීමකි.” මෙම පදය සම්බන්ධයෙන් බයිබල් විශාරදයෙක් වන හයින්රික් මයර් මෙසේ සඳහන් කරයි. “මුළු මහත් ශක්තිය හා වැර යොදා දේවරාජ්‍යය පිටුපසින් ගොස් එය අල්ලාගැනීමට දැඩි උත්සාහයක් දැරීමක් මෙහි විස්තර කෙරේ. . . . දේවරාජ්‍යය සම්බන්ධයෙන් ඉතා දැඩි වූ උද්‍යෝගයක් හා උනන්දුවක් දැක්වීම මින් අඟවයි.” එම සංචාරක වෙළෙන්දා මෙන්, සැබවින්ම අනර්ඝ දේ කුමක්ද කියා ඉක්මනින්ම වටහාගන්නේ ඉතා සවල්ප පිරිසකි. ඒ ස්වල්ප පිරිස රාජ්‍යය වෙනුවෙන් තමන්ට තිබූ සියලු දේ කැමැත්තෙන්ම අත්හැරියෝය.—මතෙව් 19:27, 28; ෆිලිප්පි 3:8.

දේවරාජ්‍යය සෙවීමට හවුල් වූ තවත් අය

14. යේසුස් ප්‍රේරිතයන්ව රාජ්‍යය ගැන දේශනා කිරීමේ කාර්යය සඳහා සූදානම් කළේ කෙසේද? මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

14 සිය දේවසේවයේ දිගටම නිරත වන අතරේදී, යේසුස් තවත් අයට පුහුණුව දී දේවරාජ්‍යය සෙවීමට ඔවුන්ට උපකාර කළේය. තම ගෝලයන් අතරින් 12දෙනෙකු තෝරාගෙන ඔවුන්ව ප්‍රේරිතයන් (යවන ලද අය) ලෙස පත් කළේය. දේවසේවය කරගෙන යන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක උපදෙස් මේ අයට දුන් යේසුස් ඔවුන් ඉදිරිපිට තිබෙන අභියෝග සහ දුෂ්කරතා ගැනද අනතුරු ඇඟවූයේය. (මතෙව් 10:1-42; ලූක් 6:12-16) ඊළඟ අවුරුදු දෙක හෝ තුන තුළ මුළු දේශය පුරා යේසුස් සමඟ දේශනා ගමන්වල නිරත වූ ඔවුහු, ඔහු සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කරගත්හ. ඔවුහු ඔහුගේ කියමන් ඇසුවෝය. ඔහුගේ බලවත් ක්‍රියා දුටුවෝය. ඔහුගේ ආදර්ශයද දුටුවෝය. (මතෙව් 13:16, 17) මේ සියල්ල ඔවුන්ගේ සිත්වලට ඉතා ගැඹුරින් කාවැදුණු බවට කිසිදු සැකයක් නැත. ඒවා කොතරම් තදින් බලපෑවාද යත්, සංචාරක වෙළෙන්දා මෙන් ඔවුහු ඉතා උද්‍යෝගයෙන් හා පූර්ණ හදකින් රාජ්‍යය සෙවූහ.

15. ප්‍රීතිවීම සඳහා සිය අනුගාමිකයන්ට තිබූ නියම හේතුව ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

15 ප්‍රේරිතයන් 12දෙනාට අමතරව, යේසුස් “වෙනත් හැත්තෑදෙනෙකුව පත් කොට, තමන් යන්න සිටි සෑම නුවරකටම සහ ස්ථානයකටම ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවීය.” ඉදිරියට මුහුණ දීමට සිදු වන පරීක්ෂා සහ දුෂ්කරතා ගැන ඔවුන්ට පැවසූ ඔහු, “දෙවිගේ රාජ්‍යය ඔබ ළඟට පැමිණ තිබේ” යනුවෙන් ජනයාට පවසන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය. (ලූක් 10:1-12) හැත්තෑදෙනා නැවත හැරී ආ කල, ඉතා සතුටින් යේසුස්ට මෙසේ කීහ. “ස්වාමිනි, ඔබේ නාමය භාවිත කිරීම නිසා, භූතයෝ පවා අපට යටත් වෙති.” නමුත් ඔවුන්ව පුදුමයට පත් කරවමින් යේසුස් ඔවුන්ට කීවේ රාජ්‍යය කෙරෙහි ඔවුන් දැක්වූ උද්‍යෝගය හේතුවෙන් මීටත් වඩා මහත් ප්‍රීතියක් ඔවුන් ඉදිරියේදී භුක්ති විඳින බවයි. ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට ආත්මයන් යටත් කර දී තිබෙන නිසා ප්‍රීති නොවන්න. නමුත් ඔබේ නම් ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීති වන්න.”—ලූක් 10:17, 20.

16, 17. (අ) තම විශ්වාසවන්ත ප්‍රේරිතයන් තමන් සමඟ සිටි අන්තිම රාත්‍රියේදී යේසුස් ඔවුන්ට පැවසුවේ කුමක්ද? (ආ) යේසුස්ගේ වචනවලින් ප්‍රේරිතයන් ලැබූ ප්‍රීතිය සහ සහතිකය කුමක්ද?

16 යේසුස් සිය ප්‍රේරිතයන් සමඟ ගත කළ අවසන් දිනය වූයේ ක්‍රි.ව. 33 නීසාන් 14වෙනි දායි. එදින රාත්‍රියේ අවසන් වරට ඔවුන් සමඟ රැස්වෙද්දී ඔහු ඔවුන් සමඟ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ප්‍රථම වරට පැවැත්වූයේය. ඉන් අනතුරුව එය වාර්ෂිකව සිහි කිරීමටද ඔහු අණ කළේය. එම සැන්දෑවේ යේසුස් ඉතිරි වූ 11දෙනා අමතමින් පැවසුවේ මෙයයි. “මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය. මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි. එසේ කරන්නේ ඔබ මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයෙහිදී කන බොන පිණිසත්, සිංහාසන පිට ඉඳ ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළොස විනිශ්චය කරන පිණිසත්ය.”—ලූක් 22:19, 20, 28-30.

17 යේසුස් මේ වචන පැවසූ අවස්ථාවේදී ප්‍රේරිතයන්ගේ හදවත්වල උතුරා ගියේ මොන තරම් සතුටක් හා ප්‍රීතියක්ද! ඔවුන්ට පුදනු ලැබුවේ මිනිසෙකුට ලැබිය හැකි උසස්ම ගෞරවය හා වරප්‍රසාදයයි. (මතෙව් 7:13, 24; 1 පේතෘස් 2:9) ඒ සංචාරක වෙළෙන්දා මෙන්, රාජ්‍යය සොයමින් යේසුස්ව අනුගමනය කිරීමට ඔවුන් බොහෝ දේ අත්හැර තිබිණි. මේ දක්වා තමන් කළ පරිත්‍යාගයන් නිෂ්ඵල නොවූ බවට දැන් ඔවුන්ට සහතිකයක් ලැබිණි.

18. ප්‍රේරිතයන් 11දෙනාට අමතරව, පසු කාලවලදී දේවරාජ්‍යය මගින් ආශීර්වාද ලබනු ඇත්තේ කවරහුද?

18 දේවරාජ්‍යයේ ආශීර්වාද භුක්ති විඳින්නේ එම රාත්‍රියේදී යේසුස් සමඟ සිටි ප්‍රේරිතයන් පමණක් නොවේ. ස්වර්ගික රාජ්‍යයේ තේජසින් යුතුව යේසුස් ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයන් හැටියට 1,44,000දෙනෙකුව රාජ්‍ය ගිවිසුමට ඇතුළත් කරගැනීම යෙහෝවාගේ කැමැත්ත වූයේය. මීට අමතරව, ප්‍රේරිත යොහන් දර්ශනයකදී “කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් . . . සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටිනවා” දිටීය. එම මහත් සමූහය “‘ගැලවීම අපට ලබා දුන්, සිංහාසනය මත ඉඳගෙන සිටින අපේ දෙවිටත් බැටළු පැටවාටත් අපි ණයගැතිව සිටිමු’ යි කියති.” මොවුහු දේවරාජ්‍ය පාලනය යටතේ පොළොවේ ජීවත් වන අය වෙති. *එළිදරව් 7:9, 10; 14:1, 4.

19, 20. (අ) සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට විවෘත වී ඇති ප්‍රස්තාව කුමක්ද? (ආ) ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරෙනු ඇත්තේ කිනම් කාරණය ගැනද?

19 යේසුස් ස්වර්ගයට යෑමට ස්වල්ප මොහොතකට පෙර ඔහු සිය විශ්වාසවන්ත අනුගාමිකයන්ට අණ කළේ මෙසේ කිරීමටයි. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න. බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:19, 20) මේ අනුව, සියලු ජාතීන්ට අයත් මිනිසුන් යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත්වීමට නියමිතය. සංචාරක වෙළෙන්දා අනර්ඝ මුතු ඇටය ලබාගැනීමට දැඩි වෑයමක් ගත්තා මෙන්, මේ අයද තමන්ට තිබෙන බලාපොරොත්තුව ස්වර්ගික හෝ භූමික හෝ වේවා, තම සිත් යොමු කරනු ඇත්තේ දේවරාජ්‍යය කෙරෙහිය.

20 යේසුස්ගේ වචනවලින් ඇඟවූයේ මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා” විහිදෙනු ඇති බවය. එසේනම්, සංචාරක වෙළෙන්දා මෙන් අපගේ කාලයේදීත් දේවරාජ්‍යය වෙනුවෙන් තමන් සතු සියල්ලම දීමට කැමති අය සිටිනවාද? මෙම ප්‍රශ්නයට පිළිතුරු ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනු ඇත.

[පාදසටහන්වල]

^ 10 ඡේ. සෙබදීගේ පුත්‍රයා වූ යොහන්, යේසුස් මුල් වතාවට හමුවීමෙන් පසුව, ඔහු පසු පස ගොස් ඔහු කළාවූ යම් දේවල් සියැසින්ම දුටුවා විය හැකියි. මේ නිසා ඒවා විස්තරාත්මකව තමා ලියූ ශුභාරංචි පොතට ඇතුළත් කරන්නට ඔහුට හැකියාව ලැබිණි. (යොහන් 2 සිට 5 දක්වා පරිච්ඡේද බලන්න.) කෙසේවෙතත්, යේසුස් යොහන්ට තමා අනුව එන්නැයි ආරාධනා කිරීමට පෙර යම් කලක් ඔහු ධීවර කර්මාන්තයේ යෙදී සිටියේය.

^ 18 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 10වන පරිච්ඡේදය බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• සංචාරක වෙළෙන්දා පිළිබඳ යේසුස් කී උපමාවෙන් ගත හැකි ප්‍රධාන කරුණ කුමක්ද?

• දේවරාජ්‍යය සම්බන්ධයෙන් තමාට ඉතා ගැඹුරු අගය කිරීමක් තිබූ බව යේසුස් පෙන්වූයේ කෙසේද?

• යේසුස් කළ ආරාධනාවට විගස ප්‍රතිචාර දැක්වීමට අන්දෘට, පේතෘස්ට, යොහන්ට සහ තවත් අයට හේතු වූයේ කුමක්ද?

• සියලු ජනයා ඉදිරියේ තිබෙන්නේ කිනම් පුදුමාකාර ප්‍රස්තාවද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

‘ඔවුහු සියල්ල අත්හැර යේසුස් පසුපස ගියහ’

[12වන පිටුවේ පින්තූරය]

ස්වර්ගයට යෑමට පෙර, යේසුස් මිනිසුන්ව ගෝලයන් කරන ලෙස සිය අනුගාමිකයන්ට අණ කළේය