Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය කොතරම් වටිනවාද?

ඔබේ ජීවිතය කොතරම් වටිනවාද?

ඔබේ ජීවිතය කොතරම් වටිනවාද?

පළමුවන ලෝක මහ යුද්ධයේදී යුරෝපයේ අසංඛ්‍යාත ගණන් ජීවිත බිලි වෙමින් තිබියදී, ඇන්ටාක්ටික් ප්‍රදේශයේ ජීවිත බේරාගැනීම සඳහා කෙනෙක් පුදුමාකාර වෑයමක් දැරුවා. අර්නස්ට් ෂැකල්ටන් නම් ගවේෂකයෙක් ඔහුගේ ගවේෂණ කණ්ඩායමට අයත් අය සමඟ නැවක යාත්‍රා කරමින් සිටියා. ඒ නැව හදිස්සියේම විශාල අයිස් කුට්ටියක හැප්පී මුහුදුබත් වුණා. ෂැකල්ටන්ට හැකි වුණා තම කණ්ඩායමට අයිති අයව කෙසේ හෝ යම් ආකාරයක ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්න. ඒ දකුණු අත්ලාන්තික් සාගරයේ තිබෙන එලිෆන්ට් දූපතටයි. නමුත් එතන වුණත් ඔවුන් සිටියේ සෑහෙන්න අනතුරුදායක තත්වයකයි.

ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට කළ හැකි එකම දෙය වුණේ කිලෝමීටර් 1,100ක් ඈතින් පිහිටි දකුණු ජෝජියා නම් දූපතේ තිබුණු එක්තරා ධීවර මධ්‍යස්ථානයකින් උපකාර ලබාගැනීම බව ෂැකල්ටන්ට වැටහුණා. ෂැකල්ටන්ට තිබුණේ නැවෙන් බේරාගත්තු මීටර් 7ක් පමණ දිග ජීවිතාරක්ෂක බෝට්ටුවක් විතරයි. ඔහුට මෙම මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට හැකි වෙයිද?

ඉතාමත්ම අසීරු දවස් 17කට මුහුණ දීමෙන් පසුව 1916 මැයි 10වන දා ෂැකල්ටන් සහ ඔහු සමඟ ගිය කිහිපදෙනෙක් දකුණු ජෝජියා දූපතට ගොඩබැස්සා. නමුත් මුහුද ඉතාමත්ම රළු වූ නිසා ඔවුන් ගොඩබැස්සේ වැරදි ස්ථානයේයි. ඒ නිසා නියමිත ස්ථානයට යෑම සඳහා හිමෙන් වැසුණු නුහුරු කඳු පෙළක් හරහා කිලෝමීටර් 30ක් පයින් ගමන් කිරීමට ඔවුන්ට සිදු වුණා. කඳු තරණය කිරීමට අවශ්‍ය උපකරණ ඔවුන්ට තිබුණේ නැහැ. උෂ්ණත්වය බිංදුවටත් වඩා පහත බැස තිබුණා. නමුත් මෙම බාධා මැද ෂැකල්ටන් සහ ඔහුගේ පිරිස තම ගමනාන්තය කරා ළඟා වුණා. ඊට පස්සේ ඔවුන්ට හැකි වුණා දූපතේ අතරමං වූ සියලුමදෙනා බේරාගන්න. ෂැකල්ටන් මෙතරම් වෑයමක් දැරුවේ ඇයි? ඔහුගේ ජීවිත කතාව ලියූ රොනල්ඩ් හන්ට්ෆඩ් පවසන්නේ “ඔහුගේ එකම අභිලාෂය වුණේ හැම කෙනෙකුවම බේරාගැනීම” බවයි.

‘එයින් එකක්වත් අඩු වී නැහැ’

‘අයිස්වලින් වැසුණු කිලෝමීටර් 30ක් පමණ දිග එම පාළු දූපතේ’ ගුලි ගැහී ෂැකල්ටන් පැමිණෙන තෙක් බලා සිටි අය තම බලාපොරොත්තු සුන් කර නොගත්තේ ඇයි? තම නායකයා වන ෂැකල්ටන් ඔවුන්ව බේරාගන්නා බවට දුන් පොරොන්දුව ගැන ඔවුන්ට කිසිම සැකයක් නොතිබුණු නිසයි.

එලිෆන්ට් දූපතේ අතරමං වූ මිනිසුන්ට අද දින මිනිස් වර්ගයා සිටින තත්වය සමාන කරන්න පුළුවන්. බොහෝදෙනෙක්ගේ ජීවිතය හරිම කටුකයි. ජීවත් වීම වුණත් ඔවුන්ට ලොකු සටනක්. නමුත් ‘දුක් විඳින්නන්’ අද්දකින දුක් කම්කටොලු පීඩා ආදියෙන් දෙවි ඔවුන්ව ‘මුදන’ බව ස්ථිර ලෙස විශ්වාස කරන්න සෑම කෙනෙකුටම පුළුවන්. (යෝබ් 36:15) දෙවිට සෑම ජීවිතයක්ම වටිනවා. මිනිස් වර්ගයාගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි පවසන්නේ “විපත්තියේදී මට හඬගසන්න; මම ඔබ මුදාහරින්නෙමි” කියායි.—ගීතාවලිය 50:15.

පෘථිවියේ සිටින බිලියන ගණනක් ජනයාගෙන් එක් කෙනෙක් වන ඔබව වටිනා පුද්ගලයෙක් හැටියට දෙවි සලකනවා කියා සිතීම අසීරු දෙයක්ද? එසේනම් මේ විශ්වයේ පිහිටා තිබෙන මන්දාකිනි බිලියන ගණන්වල තිබෙන තරු බිලියන ගණන ගැන අනාගතවක්තෘ යෙසායා ලිවූ දේ සලකා බලන්න. ‘අහස දෙස බලන්න. ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැව්වේ කවරෙක්ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිය. එතුමන්ගේ බලයේ මහත්කම නිසාද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසාද එයින් එකක්වත් නැති නොවේ’ කියා එහි සඳහන් වෙයි. (අකුරු ඇල කළේ අපය.)—යෙසායා 40:26, නව අනුවාදය.

එම බයිබල් වගන්තියෙන් අදහස් වන දෙය ඔබට තේරුණාද? අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ක්ෂීර පථය නමැති මන්දාකිනියේයි. එම මන්දාකිනියේ විතරක් අඩුම තරමින් තරු බිලියන 100ක් විතර තිබෙනවා. එහෙත් තවත් මන්දාකිනි කීයක් තිබෙනවාද? කවුරුත් හරියටම කියන්න දන්නේ නැහැ. සමහර අය කියන්නේ මන්දාකිනි බිලියන 125ක් පමණ තිබෙනවා කියායි. ඒක ඇත්ත නම් ඒ මන්දාකිනිවල තිබෙන තරු සංඛ්‍යාව අපට අදහාගන්නවත් බැරි තරම්! නමුත් ඒ තරු සියල්ල නම් වශයෙන් විශ්වයේ මැවුම්කරු හඳුනන බව බයිබලයේ සඳහන් වෙනවා.

“ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ”

‘නමුත් බිලියන ගණන් තරුවල නම් නැතහොත් මිනිසුන්ගේ නම් දැනගත් පමණින්, දෙවි ඔවුන් ගැන පෞද්ගලිකව සලකන බව අදහස් කරන්නේ නැහැ’ කියා සමහර අය කියන්න පුළුවන්. මේක සාධාරණ තර්කයක්. හොඳ පරිගණකයකට වුණත් පුළුවන් මිනිසුන් බිලියන ගණනකගේ නම් ගබඩා කරන්න. නමුත් ඒ පරිගණකය ඒ මිනිසුන් ගැන සලකන බව නම් කියන්න බැහැ. යෙහෝවා දෙවි ගැන බයිබලය කියන දේ බලන්න. ප්‍රේරිත පේතෘස් පැවසුවේ, “[දෙවි] ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න” කියායි. (1 පේතෘස් 5:7) ඉතින් දෙවි මිනිසුන් බිලියන ගණනකගේ නම් දන්නවා පමණක් නොවෙයි ඔවුන් ගැන ඔහු පෞද්ගලික උනන්දුවකුත් දක්වනවා.

යේසුස් ක්‍රිස්තුස් පැවසූ දේත් සලකා බලන්න. “ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද? එහෙත් ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.” (මතෙව් 10:29-31) ගේ කුරුල්ලන්ට හා මිනිසුන්ට සිදු වන දේ දෙවි දන්නවා පමණක් නොවෙයි ඔවුන් ගැන ඔහු සලකන බවත් යේසුස් පැවසූ බව ඔබ දුටුවාද? යේසුස් කීවේ “ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය” කියායි. ඔහු එසේ පැවසුවේ මන්ද? ඔබව ‘දෙවිගේ රූපයෙන්’ මවා තිබෙන නිසයි. ඔබට හැකියාවක් තිබෙනවා සදාචාර ගතිපැවතුම්, බුද්ධිය සහ දේවප්‍රතිපත්තිවලට එකඟ වූ ගුණාංග වර්ධනය කරගැනීමට. එම නිසා දෙවිගේ උතුම් ගුණාංග විදහාපෙන්වන්න ඔබට පුළුවන්.—උත්පත්ති 1:26, 27.

‘බුද්ධිමත් නිර්මාතෘවරයෙකු විසින් බිහි කරන ලද්දක්’

බොහෝ මිනිසුන් කියන්නේ මේ විශ්වයට මැවුම්කරුවෙකු නැහැ කියායි. ඔවුන් කියන්නේ ස්වභාව ධර්මයේ බලවේගයන් එකතු වී ඔබ ඇතුළුව සියලු දේ ඇති වූ බවයි. මේ තර්කයට අනුව ඔබ ‘දෙවිගේ රූපයට’ සමාන වෙන්න බැහැ. ඔබත් ගේ කුරුල්ලෙක් නැත්නම් වෙනත් සතෙක් හා සමානයි. මෙවැනි තර්කවලින් මුළා වෙන්න එපා!

ඉතින් ජීවීන් බිහි වුණේ අහම්බෙන් කියා ඔබ හිතනවාද? ජීව විද්‍යාඥ මයිකල් ජේ. බීහි පවසන්නේ “ජීවීන් බිහි කිරීමට සහ ජීවිතය පවත්වාගෙන යෑමට අපට අදහාගත නොහැකි තරම් සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් අවශ්‍ය” නිසා එය අහම්බෙන් සිදු වුණා කියා කොහොමටවත් සිතාගන්න බැහැ කියායි. ජෛව රසායනික ක්ෂේත්‍රයේ කර තිබෙන පරීක්ෂණවලින් ලැබී ඇති සාක්ෂිවලට අනුව ‘මිහිපිට සිටින ඉතාමත්ම සරල සැකැස්මක් ඇති ජීවියෙකු වුණත් බුද්ධිමත් නිර්මාතෘවරයෙකු විසින් නිර්මාණය කරනු ලැබූ’ බව අනිවාර්යයෙන්ම නිගමනය කළ යුතුයි.—Darwin’s Black Box—The Biochemical Challenge to Evolution.

සරල හෝ වේවා සංකීර්ණ හෝ වේවා මිහිපිට සිටින සියලුම ජීවීන් බුද්ධිමත් නිර්මාතෘවරයෙකු විසින් නිර්මාණය කරනු ලැබූ බව බයිබලයත් පවසනවා. ඒ බුද්ධිමත් මැවුම්කරුවා විශ්වයේ මැවුම්කරු වන යෙහෝවා දෙවියි.—ගීතාවලිය 36:9; එළිදරව් 4:11.

අපට දුක් ගැහැටවලින් පිරුණු ලොවක ජීවත් වීමට සිදු වන බව ඇත්තයි. නමුත් පෘථිවිය සහ එහි සිටින සියලුම ජීවීන් නිර්මාණය කළ මැවුම්කරුවෙකු සිටින බව ඒ නිසාම අවිශ්වාස කිරීමට ඔබ පෙලඹිය යුතුද? මේ සම්බන්ධයෙන් මේ මූලික කාරණා දෙක මතක තියාගන්න. පළමුවෙනි කාරණය නම් අප අවට තිබෙන දුක් ගැහැටවලට හේතුව දෙවි නොවන බවයි. දෙවෙනි කාරණය නම් මෙම දුක් ගැහැට සිදුවීමට යම් කාලයකට ඉඩහැරීමට අපගේ මැවුම්කරුට සාධාරණ හේතු තිබෙන බවයි. යෙහෝවා දෙවි නපුරු දේවල් සිදුවීමට ඉඩ දී තිබෙන්නේ කෙටි කලකට පමණක් බව මෙම සඟරාවේ කලින් ලිපිවලත් සඳහන් වී තිබෙනවා. ඔහු එසේ කර තිබෙන්නේ මිනිසුන් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී ඉස්මතු වූ අතිවැදගත් ප්‍රශ්න සදහටම විසඳීම සඳහායි. *උත්පත්ති 3:1-7; ද්විතීය කතාව 32:4, 5; දේශනාකාරයා 7:29; 2 පේතෘස් 3:8, 9.

‘ඔහු මොරගසන දිලින්දා මුදාහරින්නේය’

අද මිනිස්සු ගොඩාක් දුක් වේදනා වින්දත් ජීවිතය අනගි තෑග්ගක් ලෙස සැලකිය යුතුයි. එම නිසා එය ආරක්ෂා කරගැනීමට අප උපරිම උත්සාහයක් දරන්න අවශ්‍යයි. දූපතේ අතරමං වූ ෂැකල්ටන්ගේ මිත්‍රයන්ට සිදු වුණේ ඉතාමත්ම කටුක තත්වයන්ට මුහුණ දීමටයි. දෙවි අපට පොරොන්දු වන අනාගත ජීවිතය ඊට හාත්පසින්ම වෙනස්. දෙවිගේ අරමුණ වන්නේ අප දැනට විඳින වධ වේදනාවලින් අපව මුදාගෙන “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” අපට උපකාර කිරීමයි. මිනිස් වර්ගයා සඳහා මුලින් අරමුණු කළ දේ ඔහු ඉටු කරන්න යන්නේ ඒ ආකාරයටයි.—1 තිමෝති 6:19.

දෙවි මේ සියල්ල කරන්නේ අපි සෑම කෙනෙක්ම ඔහුට බොහෝ සෙයින් වටින නිසයි. අපගේ ආදි දෙමාපියන් වූ ආදම් සහ ඒවගෙන් අපට උරුම වී ඇති පව්කාරකම සහ මරණයෙන් අපව මුදාගැනීමට තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය දීමට ඔහු කටයුතු කළා. (මතෙව් 20:28) යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ මෙයයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම . . . සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

දුක් පීඩාවලින් දැනට මිරිකී සිටින අය වෙනුවෙන් දෙවි මොනවා කරාවිද? දෙවිගේ පුත්‍රයා කරන දේ සම්බන්ධයෙන් දේවවචනයේ මෙසේ සඳහන් වෙයි. “ඔහු මොරගසන දිලින්දාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය; දිලිඳුන්ගේ ආත්මයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ආත්මය පීඩාව හා බලාත්කාරකමෙන් මුදන්නේය.” දෙවි මෙය කරනු ඇත්තේ මන්ද? “ඔවුන්ගේ ලේ [එනම් ජීවිතය] ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ” වන නිසයි.—ගීතාවලිය 72:12-14.

පව්කාරකම හේතුවෙන් මිනිස් සංහතිය අවුරුදු දහස් ගණනක් පුරා “කෙඳිරිගාමින්” මහත් වේදනාවක් විඳිමින් සිටිනවා. දෙවි එවැනි දෙයකට ඉඩහැරියේ ඊට ස්ථිරසාර විසඳුමක් තමාට ගෙන දිය හැකි බව දන්න නිසයි. (රෝම 8:18-22) ඉතාමත්ම ළඟදී ‘සියල්ල නැවත පිහිටුවනු ලබන්නේ’ දේවරාජ්‍යය මාර්ගයෙනුයි. එම ආණ්ඩුවේ පාලනය භාර වී තිබෙන්නේ දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ටයි.—ක්‍රියා 3:21; මතෙව් 6:9, 10.

අතීතයේ දුක් විඳ මිය ගිය මිනිසුන්ව දේවරාජ්‍යයේ පාලනය යටතේ නැවත නැඟිටුවනු ලබනවා. දෙවිට ඔවුන්ව අමතක වී නැහැ. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) ළඟදීම, දුක් වේදනා නැති පාරාදීසයක් බවට පත් වූ මේ පොළොවේ සදාකල් ජීවිතය භුක්ති විඳීමේ ප්‍රස්තාව ඔවුන්ට ලැබෙයි. (යොහන් 10:10; එළිදරව් 21:3-5) ඒ කාලයේදී සියලුදෙනාටම ජීවිතයෙන් උපරිම ප්‍රීතියක් භුක්ති විඳීමට හැකි වෙයි. ඒ විතරක් නෙවෙයි, ඔවුන් “දෙවිගේ රූපයෙන්” මවා තිබෙන බව සනාථ කරන උතුම් ගුණාංග වර්ධනය කරගැනීමටත් ඔවුන්ට හැකි වෙයි.

යෙහෝවා දෙවි මෙලෙස පොරොන්දු වී තිබෙන ජීවිතය භුක්ති විඳීමට ඔබටත් ප්‍රස්තාව ලැබෙයිද? ඒ ගැන තීරණයක් ගත හැක්කේ ඔබට පමණයි. මෙම ආශීර්වාද ලබාගැනීම සඳහා දෙවි සැලසුම් කර තිබෙන දේවලින් ප්‍රයෝජන ගන්නා මෙන් ඔබට දිරිගන්වන්නට අපි කැමතියි. මේ සඟරාවේ ප්‍රකාශකයන්ගෙනුත් ඔබට යම් මඟ පෙන්වීම් ලබාගත හැකියි.

[පාදසටහන]

^ 17 ඡේ. මේ කාරණය ගැන තවත් තොරතුරු දැනගැනීම සඳහා සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ, “දුක් වේදනා පැවතීමට දෙවි ඉඩ දී ඇත්තේ මන්ද?” යන මාතෘකාවෙන් යුත් අටවන පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[4, 5වන පිටුවේ පින්තූරය]

ෂැකල්ටන් තමන්ව බේරාගන්නා බවට දුන් පොරොන්දුව ගැන ඔහුගේ මිත්‍රයන් සැක කළේ නැහැ

[හිමිකම් විස්තර]

© CORBIS

[6වන පිටුවේ පින්තූරය]

“ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය”