Skip to content

පටුනට යන්න

ඔබ උගන්වන අය තුළ සත්‍යය පල දරනවාද?

ඔබ උගන්වන අය තුළ සත්‍යය පල දරනවාද?

ඔබ උගන්වන අය තුළ සත්‍යය පල දරනවාද?

තරුණ එරික් යෙහෝවාගේ සංවිධානයෙන් ඉවත් වීමට හදිස්සියේම තීරණය කළා. ඔහු ගත් එම තීරණය ඔහුගේ දෙමාපියන්ට අදහාගන්න නොහැකි වුණා. එරික් කුඩා කාලේ සිට පවුලේ අයත් සමඟ බයිබලය පාඩම් කළා. ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලට සහභාගි වුණා. සභාවේ අය සමඟ දේශනා සේවයේ පවා හවුල් වුණා. ඔහු කළ මේ සෑම දෙයකින්ම පැහැදිලි වූයේ ඔහු සත්‍යය මාර්ගයෙහි ගමන් කරමින් සිටි බවයි. එනමුත් ඔහු සත්‍යය අත්හැරියා. ඊට හේතුව බයිබලයේ සඳහන් සත්‍යය ඔහුගේ සිතට කාවැදී නොතිබීමයි. ඔහුගේ දෙමාපියන් මේ බව තේරුම්ගන්නා විට ඔවුන් ප්‍රමාද වැඩියි. ඔවුන්ට දැනුණු දුක, කනගාටුව වචනවලින් විස්තර කරන්නට බැරි තරම්!

ඇතැම් අවස්ථාවලදී බයිබලය හොඳින් පාඩම් කළ කෙනෙකු හදිස්සියේම තම පාඩම නතර කිරීමට තීරණය කරනවා. පාඩම පවත්වන තැනැත්තාට මෙය පුදුමයට හේතුවක් විය හැකියි. බොහෝවිට ඔවුන් පුදුමයෙන් මෙන් මෙසේ කල්පනා කරනවා: ‘එහෙම දෙයක් වෙයි කියලා මට ඇයි කල් තියා තේරුම්ගන්න බැරි වුණේ?’ අප ගුරුවරුන් ලෙස සත්‍යය ඉගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉගෙනගන්නා පුද්ගලයා තුළ සත්‍යය පල දරන්න අවශ්‍යයි. එමනිසා ඉහත සඳහන් අමිහිරි අද්දැකීම්වලට මුහුණ දීමට පෙරාතුව සැබෑ තත්වය තේරුම්ගැනීමට ක්‍රමයක් තිබෙනවාද? අප උගන්වන අය තුළ පමණක් නොව, අප තුළත් සත්‍යය පල දරනවාද කියා අපට ස්ථිරව කිව හැක්කේ කොහොමද? මෙම ප්‍රශ්නවලට උත්තර දීමට මඟක් යේසුස් වපුරන්නාගේ උපමාව තුළින් සපයනවා.

සත්‍යය සිතට කාවැද්දිය යුතුයි

යේසුස් මෙසේ පැවසුවා: “බීජය නම් දෙවිගේ වචනය. සරු පසෙහි [වපුරන ලද] ඒවා නම්, අවංක යහපත් සිතකින් වචනය අසා, එය සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල දරන අයය.” (ලූක් 8:11, 15) මේ අනුව අපගේ ශිෂ්‍යයන් සත්‍යය නිසා යම් යම් වෙනස්කම් කිරීමට පෙලඹිය හැකි වුණත් ඔවුන්ගේ සිත්වල සත්‍යය කාවැදී තිබෙනවාද යන්න සැලකිල්ලට ගත යුතු කාරණයක් වෙයි. යේසුස් සිත සමාන කළේ සරු පසටයි. සත්‍යය නමැති බීජ යහපත් සිතකට කාවැදුණායින් පසු, එය පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙමින් පල දරන්න පටන්ගන්නවා. පල දරනවා කියද්දී අප අදහස් කරන්නේ මොන වගේ පලද?

සාමාන්‍යයෙන් අප බැලිය යුත්තේ කෙනෙකුගේ බාහිර ක්‍රියාකාරකම් දෙස නොවෙයි, ඔහුගේ ඇතුළාන්තයේ තිබෙන හොඳ ගුණාංග දෙසයි. ශිෂ්‍යයා දේවසේවයට අයත් සියලු දේවල් කළත් ඔහුගේ සිත වෙනත් දේවලට යොමු වී තිබිය හැකියි. (යෙරෙමියා 17:9, 10; මතෙව් 15:7-9) එමනිසා කළ යුතු දේවල් ඔහු කරනවාද පමණක් නොව ඔහුගේ සිතේ තත්වයද අප දැනගත යුතුයි. ඔහුගේ ආශාවන්, ඔහුගේ චේතනා සහ ඔහු වැදගත්කොට සලකන දේවල්වලින් ඔහු ඉගෙනගන්නා දේවල් නිසා සැබෑ වෙනසක් ඇති වී තිබෙන බව පෙනෙන්න තිබෙනවාද? දෙවිගේ කැමැත්තට අනුව හැඩගැසී ඇති අලුත් පෞද්ගලිකත්වයක් ඔහු තුළ ක්‍රමානුකූලව බිහි වෙමින් තිබෙනවාද? (එෆීස 4:20-24) උදාහරණයකට තෙසලෝනිකයේ වැසියන් ගැන පාවුල් කියන දේ සලකා බලන්න. පාවුල් පවසන්නේ ඔවුන් ශුභාරංචිය දෙවිගේ වචනය හැටියට නොපමාව පිළිගත් බවයි. එනමුත් සත්‍යය ‘ඔවුන් තුළ ක්‍රියා කරන’ බව ඔප්පු වුණේ පසුවයි. එනම් ඔවුන්ගේ විඳදරාගැනීම, විශ්වාසවන්තකම සහ ප්‍රේමය ගැන ඔහුට ආරංචි වූ විටයි.—1 තෙසලෝනික 2:13, 14; 3:6.

මෙම ලිපියේ මුලදී සඳහන් කළ එරික් ගැන සලකා බලද්දී පෙනී යන්නේ ශිෂ්‍යයාගේ සිතේ සැබෑ තත්වය කවදාහරි ඔහුගේ හැසිරීම තුළින් හෙළි වන බවයි. (මාක් 7:21, 22; යාකොබ් 1:14, 15) කනගාටුවට කරුණක් වන්නේ සමහර නුසුදුසු ගතිලක්ෂණ ඉස්මතු වන විට ඒවා කොතරම් ගැඹුරට මුල් බැසගෙන තිබෙනවාද කියතොත් ඒවා නිවැරදි කිරීමට පහසු වන්නේ නැහැ. එසේනම් කළ යුතු වන්නේ පුද්ගලයෙකුගේ ආත්මික ජීවිතයට හානියක් සිදු වෙන්නට පෙරාතුව ඔහුගේ දුර්වලකම් මොනවාදැයි හඳුනාගැනීමයි. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නම් නොවෙයි. අපට සිදු වෙනවා සිත හොඳින් පරීක්ෂා කරන්න. එසේ කරන්න ක්‍රමයක් තිබෙනවාද?

යේසුස්ගෙන් ඉගෙනගනිමු

කෙනෙකුගේ සිතේ තිබෙන දේ නිවැරදිව දැනගැනීමේ හැකියාව යේසුස්ට තිබුණා. (මතෙව් 12:25) අපගෙන් කාටවත් ඒ හැකියාව නැහැ. එනමුත් පුද්ගලයෙකු ආශා කරන දේ, ඔහුගේ චේතනා සහ ඔහු වැදගත්කොට සලකන දේ මොනවාද කියා තේරුම්ගැනීමට ක්‍රමයක් තිබෙන බව යේසුස් පෙන්නුම් කළා. මෙය උදාහරණයකින් පැහැදිලි කරගනිමු. රෝගියෙකුගේ හෘදය වස්තුවේ යම් දෝෂයක් තිබෙනවා කියා වෛද්‍යවරයෙකු දැනගන්නේ නොයෙකුත් ක්‍රම භාවිත කිරීමෙනුයි. ඒ හා සමානව බැලූ බැල්මට කෙනෙකුගේ “සිතේ සිතුවිලිද චේතනාද” සැඟවී තිබුණත්, ඒවා මොනවාද කියා හඳුනාගෙන ගැඹුරු ළිඳකින් ජලය ‘ඇදගන්නාක්’ මෙන් ඒවා ඉවතට ගන්න යේසුස් දේවවචනය භාවිත කළා.—හෙබ්‍රෙව් 4:12; හිතෝපදේශ 20:5.

අපි එවැනි අවස්ථාවක් සලකා බලමු. මේ අවස්ථාවේදී ඉදිරියට බාධාවක් විය හැකි දුර්වලකමක් පේතෘස්ට තිබූ බව තේරුම්ගන්න යේසුස් ඔහුට උපකාර කළා. පේතෘස් තමාට ප්‍රේම කළ බව යේසුස් දැන සිටියා. යේසුස්ට ඒ විශ්වාසය තිබුණු නිසයි පේතෘස්ට “රාජ්‍යයේ යතුරු” දුන්නේ. (මතෙව් 16:13-19) නමුත් සාතන් ප්‍රේරිතයන් දෙස ඇහැ ගහගෙන සිටි බවත් යේසුස් දැන සිටියා. ඉදිරියේදී ඔවුන්ට යම් දැඩි පීඩාවලට මුහුණ දෙන්න සිදු වන බවත් ඔහු දැන සිටියා. ඔවුන් ස්ථිරව සිටීවිද? තම ගෝලයන්ගෙන් සමහරදෙනෙකුගේ ඇදහිල්ල එතරම් ශක්තිමත් නොවූ බව යේසුස්ට වැටහී ගියා. එමනිසා දියුණු විය යුතු පැති ඔවුන්ට පෙන්වා දෙන්න ඔහු පසුබට වුණේ නැහැ. ඔහු කාරණය සාකච්ඡාවට ගත් විදිහ සලකා බලමු.

මතෙව් 16:21හි මෙසේ සඳහන් වෙනවා. “එතැන් පටන් යේසුස් ක්‍රිස්තුස්, . . . දුක් විඳින්නත්, මරනු ලබන්නත් [සිදු වන] බව තම ගෝලයන්ට දන්වන්න පටන්ගත්තේය.” යේසුස් ඔවුන්ට ඒ කාරණා දැන්වූයේ කොහොමද? මිනිසාගේ ගැලවුම්කරු දුක් විඳ මිය යා යුතු බව පැහැදිලි කළ ගීතාවලිය 22:14-18 හෝ යෙසායා 53:10-12 වැනි බයිබල් වගන්ති ඔවුන්ට පෙන්නුවා විය යුතුයි. යේසුස් මෙම බයිබල් පද ඔවුන්ට කියවන්න ඇති. එසේ නැත්නම් ඒවා මතකයෙන් උපුටා දක්වන්න ඇති. එසේ කිරීමෙන් ඔහු පේතෘස් සහ අන් අයට අවස්ථාවක් දුන්නා මුළු හදවතින්ම පෙලඹී ක්‍රියා කරන්න. ඔවුන්ට පීඩා විඳින්නට සිදු වන බව යේසුස් ඔවුන්ට පවසද්දී ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

ඒ වන තෙක් පේතෘස් නිර්භීතව හා උද්‍යෝගයෙන් ක්‍රියා කළ කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වී සිටියා. එනමුත් පුදුමයට මෙන් පේතෘස්ගේ හදිසි ප්‍රතිචාරයෙන් පැහැදිලි වුණේ ඔහු වැරදි විදිහට සිතන බවයි. පේතෘස් ප්‍රතිචාරය දැක්වූයේ මේ ආකාරයටයි. “ස්වාමිනි, ඔබ ගැන හිතන්න. ඔබට එවැන්නක් කවදාවත් සිදු නොවේ.” පේතෘස් කල්පනා කළ ආකාරය වැරදි බව යේසුස් පැහැදිලි කළේ මෙලෙසයි. “ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ.” ඇත්තටම මෙමගින් බරපතළ හානි සිදුවීමට ඉඩ කඩ තිබුණා. ඉතින් යේසුස් මොනවාද කළේ? පේතෘස්ට තරවටු කළායින් පසු යේසුස් ඔහුට සහ අනිකුත් ගෝලයන්ට මෙසේ පැවසුවා. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා!” ඉන්පසුව ගීතාවලිය 49:9 සහ 62:12හි තිබෙන අදහස් පදනමක් හැටියට යොදාගනිමින් ඔහු කරුණාවන්ත ලෙස ඔවුන්ට මතක් කළේ සදාකල් ජීවනය ලබාගත හැක්කේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන් බවයි. මන්ද මිනිසුන්ට කිසිම කෙනෙකුව ගැලවීමට බලයක් නැහැ.—මතෙව් 16:22-28.

ඇත්තයි, පේතෘස් පසු අවස්ථාවක මනුෂ්‍යයන්ට භය වී තුන් වතාවක්ම යේසුස්ව නාඳුනන බව පැවසුවා. එනමුත් යේසුස් ඔහු සමඟ කළ මෙම සාකච්ඡාව සහ වෙනත් අවස්ථාවලදී කළ සාකච්ඡා තුළින් ඉක්මනින්ම තමාගේ ආත්මික ස්ථාවරය නැවත ලබාගන්න ඔහුට හැකි වුණා. (යොහන් 21:15-19) යේසුස්ගේ මරණයෙන් දින 50කට පසු පේතෘස් යෙරුසලමේ සමූහයන් ඉදිරියේ නිර්භීතව යේසුස්ගේ නැවත නැඟිටීම ගැන සාක්ෂි දැරුවා. ඉන්පසුව නොයෙකුත් අවස්ථාවලදී පේතෘස්ව අත්අඩංගුවට ගත්තා. ඔහුට පහර දී සිරභාරයටත් නියම කළ අවස්ථා තිබුණා. නමුත් මේ සියල්ලට ඔහු මුහුණ දුන්නේ එඩිතරවයි. ඔහුගේ නිර්භීතකම සහ විශ්වාසවන්තකම අපට කදිම ආදර්ශයක්.—ක්‍රියා 2:14-36; 4:18-21; 5:29-32, 40-42; 12:3-5.

අපට මෙම සිද්ධියෙන් ඉගෙනගත හැකි දේ සලකා බලමු. පේතෘස්ගේ සිතේ සැබෑ තත්වය දැනගැනීම සඳහා ඔහුගේ අදහස් ඉවතට ගන්න යේසුස් කළ දේ ඔබ තේරුම්ගත්තාද? මුලින්ම පේතෘස්ගේ අවධානය නියමිත තැනට යොමු කිරීම සඳහා ඔහු යෝග්‍ය ශුද්ධ ලියවිලි පාඨ තෝරාගෙන සඳහන් කළා. දෙවනුව, ඔහු පේතෘස්ට තමාගේ සිතේ තිබෙන අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දුන්නා. තුන්වෙනුව, පේතෘස්ගේ වැරදි අදහස් සහ හැඟීම් නිවැරදි කිරීමට ඔහු දේවවචනයෙන් අමතර උපදෙස් ලබා දුන්නා. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් එතරම් ඉහළ මට්ටමකින් උගන්වන්න ඔබට බැරි වෙයි කියා. එනමුත් අපි හොඳට සූදානම් වෙනවා නම්, යෙහෝවා දෙන උපකාර මත රඳා සිටිනවා නම් අපගෙන් ඕනෑම කෙනෙකුට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන්. මෙය මතු දැක්වෙන උදාහරණ දෙකින් පැහැදිලි වෙනවා.

සිතේ තිබෙන දේ ඉවතට ගැනීම

අපි එක්තරා ක්‍රිස්තියානි පියෙක් කළ දේ සලකා බලමු. පළමුවෙනි සහ දෙවෙනි ශ්‍රේණිවල සිටි ඔහුගේ පුතුන් දෙදෙනා ගුරුතුමාගේ මේසයෙන් රස කැවිලි හොරෙන් ගත් බව ඔහුට ආරංචි වුණා. ඔහු සිතුවා ඔවුන් සමඟ මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න. ඔවුන් කළ දේ කුඩා දරුවන් අතින් සිදු වන දඟකාර ක්‍රියාවක් හැටියට සලකා ඔහු එය ගණන් නොගෙන සිටියේ නැහැ. “මට ඕන වුණේ ඔවුන්ගේ සිතේ තිබුණු දේ එළියට ගන්න. මේ තරම් නරක දෙයක් කරන්න ඔවුන් පෙලඹුණේ ඇයි කියලා දැනගන්න” කියා ඔහු පවසනවා.

මුලින්, පියා යෝෂුවා පොතේ 7වන පරිච්ඡේදයේ සඳහන් ආකාන්ට සිදු වූ දේ මතකයට නඟන්න කියා ඔවුන්ට කිව්වා. දරුවන්ට කාරණය එකපාරටම වැටහුණා. ඔවුන් කළ වරද පිළිගත්තා. ඒ වෙනකොටත් ඔවුන්ගේ සිත් ඔවුන්ට වද දෙමිනුයි තිබුණේ. පියා ඊළඟට එෆීස 4:28 ශබ්ද නඟා කියවන්න කියා ඔවුන්ට කිව්වා. “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් . . . වැඩ කරන්න” කියා එහි සඳහන් වෙනවා. මෙම බයිබල් උපදෙස ඔවුන්ට තවත් කාවැදුණේ රස කැවිලි මිල දී ගෙන ගුරුතුමාට දෙන්න කියා පියා ඔවුන් කියූ විටයි.

පියා මෙසේ පවසනවා. “අපි හැම තිස්සේම උත්සාහ කළේ ළමයින්ගේ සිත්වල යම් නුසුදුසු ගතිලක්ෂණයක් දුටු ගමන්ම ඒක මුලිනුපුටා දමන්නයි. දරුවන් එක්ක හොඳ සාකච්ඡාවක් කිරීමෙන් ඒ නුසුදුසු ගතිලක්ෂණ වෙනුවට හොඳ ඒවා පැළපදියම් කරන්න අපි වෑයම් කළා.” මේ දෙමාපියන් උත්සාහ කළේ තම දරුවන්ට උගන්වද්දී යේසුස්ව අනුකරණය කරන්නයි. කල් යත්ම ඔවුන්ට හොඳ ප්‍රතිඵල ලැබුණා. එම පුතුන් දෙදෙනා වැඩිහිටියන් වුණායින් පස්සේ දෙදෙනාම බෘක්ලින් මූලස්ථානයේ බෙතෙල් සේවයේ නිරත වුණා. අවුරුදු 25කට පසු තවමත් ඔවුන්ගෙන් එක් කෙනෙක් තවමත් ඒ සේවය කරමින් සිටිනවා.

ක්‍රිස්තියානි සහෝදරියක් තම බයිබල් ශිෂ්‍යාවට උපකාර කළ ආකාරයද සලකා බලමු. ඒ ශිෂ්‍යයාව රැස්වීම්වලට පැමිණියා. සේවයේත් හවුල් වුණා. බව්තීස්ම වෙන්න තමා කැමති බවත් පැවසුවා. නමුත් මේ සහෝදරියට තේරුණේ ඇය යෙහෝවා මත රඳා සිටිනවා වෙනුවට තමාගේ හැකියාවන් මත වැඩියෙන් රඳා සිටින බවයි. ඒ සහෝදරිය මෙසේ පවසනවා. “ඇය අවිවාහක කෙනෙක් වුණ නිසා හරිම ස්වාධීන විදිහට ක්‍රියා කළා. ඇයවත් දැනගෙන හිටියේ නැහැ ඇය කොච්චර ස්වාධීනද කියා. මේක ඇයට මානසිකව නැත්නම් ආත්මිකව බලපාලා ඇයට ලොකු අනතුරක් වෙයි කියා මට බය හිතුණා.”

ඒ සහෝදරිය මුලින්ම ඇය සමඟ මතෙව් 6:33හි අදහස සාකච්ඡා කළා. එය පදනම් කරගෙන ඇය වැදගත් කියා සලකන දේවල් ආපසු තක්සේරු කර බලා, දේවරාජ්‍යයට මුල් තැන දී, සෑම දෙයක්ම යෙහෝවාට විශ්වාසයෙන් භාර දෙන්න කියා කිව්වා. ඊට පස්සේ ඇය කෙළින්ම මෙම ප්‍රශ්නය ඇගෙන් ඇසුවා: “ඔයා තනියෙන් ජීවත් වන හින්දා, ඔයාට අන් අයගේ සහ යෙහෝවාගේ උපකාර ලබාගන්න හිතෙන්නේ නැද්ද?” මෙම බයිබල් ශිෂ්‍යයාව අවංකවම කිව්වේ ඇය යාච්ඤා කළේ කලාතුරකින් බවයි. ඒ සහෝදරිය ගීතාවලිය 55:22හි අදහස පෙන්වා යෙහෝවා පිට ඇගේ බර තබන්න කියා ඇයට උනන්දු කළා. මන්ද 1 පේතෘස් 5:7හි කියන විදිහට ‘ඔහු අප ගැන සලකන’ නිසයි. මෙම අදහස් ස්වල්පය ඇගේ සිතට ඇත්තටම කාවැදුණා. එම සහෝදරිය මෙසේ පවසනවා. “ඇය සාමාන්‍යයෙන් අඬන කෙනෙක් නෙවෙයි. නමුත් මේ අවස්ථාවේදී ඇය හොඳටම ඇඬුවා.”

සත්‍යය ඔබ තුළත් පල දරමින් තිබේද?

අපගේ බයිබල් ශිෂ්‍යයන් ඔවුන් ඉගෙනගන්නා දේවල් ජීවිතයට අදාළ කරගන්නවා දකිද්දී අප තුළ ලොකු සතුටක් ඇති වෙනවා. අන් අයට උපකාර කරන්න අප දරන වෑයම සාර්ථක වෙන්න නම් අපිත් ආදර්ශවත් විය යුතුයි. (යූද් 22, 23) අපි සියලුදෙනාම “භයෙන් සහ වෙවුලමින් යුතුව [අපගේම] ගැලවීම ඉටු කරගන්න” දිගටම වෑයම් කරන්න අවශ්‍යයි. (ෆිලිප්පි 2:12) බයිබලයේ තිබෙන සත්‍යය හරියට පහනක් වගෙයි. එම පහනේ ආලෝකයෙන් අපගේ සිත් නිතරම නහවන්න අවශ්‍යයි. එමගින් අපගේ ආකල්ප සහ ආශාවන් අවශ්‍ය පැතිවලින් හැඩගස්වන්න අපට පුළුවන් වෙයි.—2 පේතෘස් 1:19.

උදාහරණයකට දෙවිට ඔබ කරන සේවය සඳහා ඔබට තිබූ උද්‍යෝගය අඩු වී තිබෙනවාද? එසේ අඩු වී ඇත්නම්, ඊට හේතුව කුමක්ද? ඔබ ඕනෑවට වඩා වැඩියෙන් ඔබේම හැකියාව මත රඳා සිටිනවා විය හැකියි. තත්වය ඒකද කියා ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? හග්ගයි 1:2-11 කියවන්න. නැවත හැරී ආ යුදෙව්වන්ට යෙහෝවා දෙවි දේවල් පහදා දුන් ආකාරය ගැන අවංකව සිතා බලන්න. පසුව ඔබෙන් මෙහෙම අහන්න. ‘මම මුදල් ඉතුරු කිරීම ගැන හෝ සැප පහසු ජීවිතයක් ගත කිරීම ගැන නිතරම හිත හිතා ඉන්නවාද? මම ආත්මික කාරණාවලට මුල් තැන දුන්නොත් මගේ පවුලේ අයගේ අවශ්‍යතා බලාගැනීමට යෙහෝවා මට උපකාර කරයි කියා මට විශ්වාසද? එහෙමත් නැත්නම් මගේ පෞද්ගලික කාරණාවලට මම මුල් තැන දිය යුතු බව මට හැඟෙනවාද?’ ඔබ කල්පනා කරන ආකාරයේ හෝ ඔබට හැඟෙන ආකාරයේ යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය බව ඔබට හැඟුණොත් ඒ වෙනස්කම් දැන්ම කරන්න. අපට අවශ්‍ය සහ අප සතුව තිබෙන දේපොළ වස්තුව ආදිය ගැන අප සමබරව බලන්නේ කොහොමද කියා මතෙව් 6:25-33, ලූක් 12:13-21 සහ 1 තිමෝති 6:6-12 වැනි බයිබල් පදවල අපට පෙන්වා දෙනවා. අප එසේ කරනවා නම් අපට යෙහෝවාගේ ආශීර්වාද දිගටම ලැබේවි.—මලාකි 3:10.

ආත්ම සෝදිසියක් කිරීමෙන් එළිදරව් වන දේට මුහුණ දීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. වෙනත් කෙනෙකු අපගේ දුර්වලකමක් අපට පෙන්වන විටත් එය දරාගන්න අපහසු විය හැකියි. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔබේ දරුවෙකුට හෝ බයිබල් ශිෂ්‍යයෙකුට පෞද්ගලිකව බලපාන, පිළිගන්න ටිකක් අමාරු දේවල් ගැන කතා කරන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔබ ප්‍රේමණීය ලෙස අවශ්‍ය කාරණය ඔවුන්ගේ සිත්වලට කාවද්දනවා නම් ඔවුන්ගේ ජීවිත පවා බේරාගත හැකියි. ඔබ අවංකව ඔබ දෙස බලා අවශ්‍ය වෙනස්කම් කළොත් ඔබේ ජීවිතයද බේරාගත හැකියි.

එහෙත් ඔබ කොතරම් වෑයම් කළත් හොඳ ප්‍රතිඵල නැත්නම්? අපගේ සිතේ බොහෝ වැරදි නැඹුරුවාවන් තිබෙන නිසා ඒවා හරිගැස්වීම සෑහෙන කාලයක් වැය වන අමාරු දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට ඔබ ටිකක් කලකිරෙන්නත් පුළුවන්. නමුත් ඔබේ උත්සාහය ලෙහෙසියෙන් අත්හරින්න එපා. හොඳ ප්‍රතිඵල ඔබට ලැබෙයි.

අප මේ ලිපියේ ආරම්භයේදී එරික් නමැති තරුණයෙක් ගැන සඳහන් කළා ඔබට මතක ඇති. අන්තිමේදී ඔහුටම වැටහුණා ඔහු වැරදි තීරණයක් ගත් බව. ඔහු නැවතත් “සත්‍යයෙහි ගමන්”කරන්න පටන්ගත්තා. (2 යොහන් 4) “මට අහිමි වෙච්ච දේවල තරම මට තේරුණාම තමයි මම යෙහෝවා වෙතට හැරී එන්න තීරණය කළේ” කියා ඔහු පවසනවා. එරික්ට ඔහුගේ දෙමාපියන් උපකාර කළා. ඔහු දැන් විශ්වාසවන්ත දේවසේවකයෙක්. තම සිත සෝදිසි කර බලන්න කියා එරික්ගේ දෙමාපියන් සෑහෙන්න කලක් තිස්සේ ඔහුට උනන්දු කළා. ඒත් ඒ කාලයේදී ඔහු ඒකට කැමති වුණේ නැහැ. නමුත් ඔවුන් දැරූ වෑයම ඔහු දැන් බොහෝ සෙයින් අගය කරනවා. “මගේ දෙමාපියන්ට නම් ඇත්තටම ප්‍රශංසා කරන්න වටිනවා. ඔවුන් කවදාවත් මාව අත්හැරියේ නැහැ” කියා ඔහු පවසනවා.

දේවවචනය ආධාරයෙන් අප උගන්වන අයගේ සිත් පැහැදිය යුතුයි. මෙය අප කරන ප්‍රේමණීය කරුණාවේ ක්‍රියාවක්. (ගීතාවලිය 141:5) දිගටම ඔබේ දරුවන්ගේත් ඔබේ බයිබල් ශිෂ්‍යයන්ගේත් සිත් සෝදිසි කරන්න. ඔවුන් තුළ ක්‍රිස්තියානීන්ට තිබිය යුතු නව පෞද්ගලිකත්වය ගොඩනැඟෙනවාද කියාත් බලන්න. ‘සත්‍යයේ වචනය හරියාකාරව හැසිරවීමෙන්’ ඔබ තුළත් අන්‍යයන් තුළත් සත්‍යය ක්‍රියා කරන බවට ස්ථිර වන්න.—2 තිමෝති 2:15.

[29වන පිටුවේ පින්තූරය]

පේතෘස්ට දුර්වලකමක් ඇති බව තේරුම්ගැනීමට යේසුස් පැවසූ දේ උපකාරවත් වුණා

[31වන පිටුවේ පින්තූරය]

සිතේ තිබෙන දේ එළියට ගන්න බයිබලය පාවිච්චි කරන්න