Skip to content

පටුනට යන්න

යෙහෝවා සැමවිටම කරන්නේ හරි දෙයයි

යෙහෝවා සැමවිටම කරන්නේ හරි දෙයයි

යෙහෝවා සැමවිටම කරන්නේ හරි දෙයයි

“යෙහෝවා ස්වකීය මාර්ග සියල්ලෙහි ධර්මිෂ්ඨය.”—ගීතාවලිය 145:17.

1. යම් කෙනෙක් ඔබ ගැන වැරදි නිගමනයකට එළඹ සිටී නම්, ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද? එවන් අද්දැකීමකින් ඔබට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

කවදා හෝ යම් කෙනෙක් ඔබ ගැන වැරදි නිගමනයකට එළඹී තිබේද? සමහරවිට සියලුම කාරණා නොදැන, ඔබ කරන දේවල් සහ ඔබේ චේතනාවන් ගැන ප්‍රශ්න කර තිබේද? එවැනි දෙයක් සිදු වී ඇත්නම්, ඔබගේ සිත රිදුණු බවට සැකයක් නැත. එවන් අද්දැකීමකින් අපට ගත හැකි වැදගත් පාඩමක් තිබේ. එය නම්, අප යම් කාරණයක් සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු නොදැන ඉක්මන් වී වැරදි නිගමනවලට එළඹීමෙන් වැළකී සිටිය යුතු බවයි. ඥානවන්තයෙක් එසේ කිරීමෙන් වැළකෙයි.

2, 3. තමන්ට තිබෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු නැති බයිබල් වාර්තා ගැන ඇතමුන්ට හැඟෙන්නේ කෙසේද? එහෙත් බයිබලය යෙහෝවා ගැන අපට පවසන්නේ කුමක්ද?

2 මේ කාරණය අප විසින් මනසේ තබාගත යුතුම වන්නේ යෙහෝවා දෙවි ගැන යම් යම් නිගමනවලට බැසීමට අප පෙලඹෙන විටය. ඒ මන්ද? බැලූ බැල්මට තේරුම්ගත නොහැකියයි හැඟෙන වාර්තා බයිබලයේ සඳහන් වීම නිසාය. මෙම වාර්තා දෙස බලද්දී, අපට තිබෙන සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන තරමට විස්තර ඒවායේ අඩංගු නොවෙනවා විය හැකියි. සමහරවිට දෙවි අතීතයේ දුන් විනිශ්චයන් හෝ ඔහුට නමස්කාර කළ ඇතමුන්ගේ යම් යම් ක්‍රියා උදාහරණ වශයෙන් ගත හැකියි. කණගාටුවට කාරණයක් නම්, ඇතමුන් මෙවැනි වාර්තා ගැන විවේචනය කරමින් දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන සහ යුක්තිසහගතභාවය ගැන පවා ප්‍රශ්න කිරීමයි. එහෙත්, බයිබලය අපට කියන්නේ, “යෙහෝවා ස්වකීය මාර්ග සියල්ලෙහි ධර්මිෂ්ඨය” කියායි. (ගීතාවලිය 145:17) ඔහු ‘දුෂ්ට ලෙස ක්‍රියා නොකරන්නේය’ කියාද ඔහුගේ වචනය සහතික වෙයි. (යෝබ් 34:12; ගීතාවලිය 37:28) එසේනම්, මිනිසුන් ඔහු ගැන වැරදි නිගමනවලට එළඹෙන විට ඔහුට ඒ ගැන කෙසේ හැඟෙනවා ඇද්ද!

3 යෙහෝවාගේ විනිශ්චයන් හරි විනිශ්චයන් ලෙසට අප සැලකිය යුතු හේතු පහක් ගැන අපි සලකා බලමු. එම හේතු සිතේ තබාගනිමින් ඇතමුන්ට තේරුම්ගැනීමට අසීරු බයිබලයේ සඳහන් සිද්ධීන් දෙකක් ගැන අනතුරුව සලකා බලමු.

යෙහෝවාගේ විනිශ්චයන් නිවැරදි බවට අප පිළිගත යුත්තේ මන්ද?

4. දෙවිගේ ක්‍රියාවන් ගැන කල්පනා කිරීමේදී අප යටහත් පහත්ව අපේ සීමාවන් තේරුම්ගත යුත්තේ මන්ද? පැහැදිලි කරන්න.

4 පළමු හේතුව නම්, හැම දෙයක් ගැනම අප දන්නවාට වඩා යෙහෝවා දන්නා නිසා, ඔහුගේ ක්‍රියා ගැන කල්පනා කිරීමේදී අප යටහත් පහත්ව අපේ සීමාවන් තේරුම්ගත යුතුය යන්නයි. අපි මෙය මෙසේ නිදර්ශනය කරමු. කිසිවෙකුගේ පැති නොගන්නාවූ සාධාරණ කෙනෙකු ලෙස ප්‍රසිද්ධ වී ඇති එක්තරා විනිසුරුවරයෙක් නඩු විභාගයකදී තීන්දුවක් දුන්නායයි සිතමු. නමුත් යමෙක් ඒ නඩුවට අදාළ සියලු කාරණා හෝ ඊට අදාළ වන නීති රීති ගැන කිසිවක් නොදැන එම විනිසුරුවරයාගේ තීන්දුව විවේචනය කරන්නේ නම්, ඔබ ඒ ගැන සිතන්නේ මොනවාද? යමෙක් යමක් ගැන සියලුම කාරණා තොරතුරු නොදැන ඒ ගැන විවේචනය කරන්නේ නම්, ඔහු මෝඩයෙකි. (හිතෝපදේශ 18:13) එසේනම්, “මුළු පොළොවෙහි විනිශ්චයකාරයාණන්” වන දෙවිව දුර්වල මිනිසුන් විවේචනය කරන්නේ නම්, එය ඊටත් වඩා කොපමණ මෝඩ ක්‍රියාවක්ද!—උත්පත්ති 18:25.

5. දෙවි යම් යම් පුද්ගලයන්ව විනිශ්චය කළ ආකාරය පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තා කියවද්දී අප අමතක නොකළ යුතු කාරණය කුමක්ද?

5 දෙවිගේ විනිශ්චයන් නිවැරදි බවට පිළිගැනීමට තිබෙන දෙවෙනි හේතුව නම්, මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ දැනගැනීමට දෙවිට හැකිවීමයි. මේ හැකියාව මිනිසුන්ට නැත. (1 සාමුවෙල් 16:7) ඔහුගේ වචනයේ මෙසේ සඳහන් වේ. “[යෙහෝවා] වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල පල ලෙසද දෙන පිණිස සිත විභාග කොට, අදහස් සෝදිසි කරමි.” (යෙරෙමියා 17:10) මෙබැවින්, යම් යම් පුද්ගලයන්ව දෙවි විනිශ්චය කළ ආකාරය පිළිබඳ වාර්තාවන් අප කියවන විට මෙම කාරණය මතක තබාගනිමු. එනම් දෙවිගේ වචනයේ වාර්තා වී නැති, එම පුද්ගලයන්ගේ සැඟවුණු සිතිවිලි, චේතනා හා ආකල්ප ගැන දෙවි හොඳින් දන්නා බවය.—1 ලේකම් 28:9.

6, 7. (අ) තමාට මහත් පරිත්‍යාගයක් කරන්නට සිදු වුවත්, යෙහෝවා සෑමවිටම සිය යුක්තිසහගත හා ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටින බව පෙන්වා ඇත්තේ කෙසේද? (ආ) අප බයිබලයෙන් යම් සිද්ධියක් ගැන කියවන විට, දෙවි යුක්තිසහගත ලෙස හෝ හරි අන්දමට ක්‍රියා කර ඇද්දැයි අපට සැක සිතේ නම්, අප මතක තබාගත යුත්තේ කුමක්ද?

6 යෙහෝවාගේ විනිශ්චයන් නිවැරදි බවට පිළිගැනීමට තිබෙන තුන්වන හේතුව මෙන්න. තමන්ගේ පැත්තෙන් මහත් පරිත්‍යාගයක් කිරීමට සිදු වුවත්, ඔහු තමාගේම ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටී. නිදසුනක් සලකා බලන්න. කීකරු මිනිස් වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගලවා ගැනීම සඳහා තමාගේම පුත්‍රයාව මිදීමේ මිලයක් හැටියට දීමේදී යෙහෝවා කළේ සිය යුක්තිසහගත සහ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමයි. (රෝම 5:18, 19) එහෙත්, තම ප්‍රිය පුත්‍රයා දුක් විඳ වධකණුවක් මත මියයනවා දකින විට යෙහෝවාට නිසැකවම මහත් වේදනාවක් දැනෙන්නට ඇති. මේ මගින් දෙවි ගැන අපට කියාපාන්නේ කුමක්ද? “ක්‍රිස්තුස් යේසුස් ගෙවූ මිදීමේ මිලය” සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ මෙසේයි. “මෙසේ කළේ, [දෙවි] තමන්ගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.” (රෝම 3:24-26) තවත් පරිවර්තනයක රෝම 3:25හි සඳහන් වෙන්නේ මෙයයි. “එසේ කළේ, [ඔහුගේ] සාධාරණකම පෙන්වන පිණිසය.” (නව අනුවාදය) මින් පෙනී යන්නේ, මිදීමේ මිලය සැපයීමේදී යෙහෝවා කොතරම් පරිත්‍යාගයක් කළාද යන්නයි. ඉන් ඔහුගේ “සාධාරණකම” හෙවත් හරි දේ කිරීමට වූ කැමැත්ත මැනවින් පැහැදිලි වෙයි.

7 එසේනම්, බයිබලයේ සඳහන් යම් සිද්ධියක් ගැන අප කියවන විට, දෙවි යම් යුක්තිසහගත සාධාරණ ආකාරයකට ක්‍රියා කර ඇද්දැයි අපට සැක සිතේ නම්, අප මතක තබාගත යුතු කරුණක් තිබේ. එය නම්, යෙහෝවා තම ධර්මිෂ්ඨ සහ යුක්තිසහගත ප්‍රමිතිවලට ඇලී සිටින දෙවි කෙනෙකු වන නිසා, තම පුත්‍රයාව වේදනා සහිත මරණයකින් වුණත් ගලවාගත්තේ නැත යන කාරණයයි. එසේනම්, වෙනත් කාරණාවලදී ඔහු එම ප්‍රමිති නොසලකාහැර සිටීවිද? සත්‍යය මෙයයි. එනම්, යෙහෝවා සිය ධර්මිෂ්ඨ සහ යුක්තිසහගත ප්‍රමිති කිසිදා උල්ලංගනය නොකරන බවයි. මේ අනුව, ඔහු සෑමවිටම හරි දේ සහ සාධාරණ දේ කරන බව ස්ථිර වීමට අපට ඇති තරම් හේතු තිබේ.—යෝබ් 37:23.

8. යෙහෝවා යම් අන්දමකින් ධර්මිෂ්ඨ නොවන බව හෝ යුක්තිසහගත නොවන බව හෝ සිතීම අසාධාරණ වන්නේ මන්ද?

8 හතරවෙනි හේතුව සලකා බලන්න. යෙහෝවා මිනිසාව මැව්වේ තමාගේ රූපයෙනි. (උත්පත්ති 1:27) මින් අදහස් කරන්නේ මිනිසුන්ට දෙවි හා සමාන ගුණාංග තිබෙන බවයි. මේ අනුව, යුක්තිය ඉටු වෙනවා දැකීමටත් ධර්මිෂ්ඨ ප්‍රමිති සඳහා අගයකුත් මිනිසුන් තුළ සහජයෙන් පිහිටා තිබේ. යම් අන්දමකින් යෙහෝවා ධර්මිෂ්ඨ නොවන බව හෝ යුක්තිසහගත නොවන බව හෝ අපට හැඟෙනවා නම්, එසේ හැඟීම සාධාරණ හෝ යුක්තිසහගත හෝ වන්නේ නැත. බයිබලයේ තිබෙන එක්තරා සිද්ධියක් කියවා අප ඒ ගැන කලකිරී බාධාවට පත් වේ නම්, අප මතක තබාගත යුත්තේ, අපට උරුම වූ පාපය නිසා යුක්තිය හා ධර්මිෂ්ඨකම පිළිබඳව සියයට සියයක නිවැරදි තක්සේරුවක් අපට නොමැති බවයි. යෙහෝවා දෙවි සාධාරණකමින් සහ ධර්මිෂ්ඨකමින් පූර්ණය. (ද්විතීය කතාව 32:4) මේ අනුව, මිනිසුන් දෙවිට වඩා යුක්තිසහගතය, ධර්මිෂ්ඨයයයි සිතීම පවා හාස්‍යයට කරුණකි!—රෝම 3:4, 5; 9:14.

9, 10. තමාගේ ක්‍රියාවන් ගැන හේතු දැක්වීමට යෙහෝවා බැඳී නොසිටින්නේ මන්ද?

9 යෙහෝවාගේ විනිශ්චයන් නිවැරදි බවට පිළිගැනීමට තිබෙන පස්වෙනි හේතුව නම්, ඔහු “මුළු පොළොවට මහෝත්තමයාණන්” වීමයි. (ගීතාවලිය 83:17, 1938 පැරණි අනුවාදය) මුළු පොළොවේ මහෝත්තමයාණන් ලෙස තමා කරන සෑම දෙයක් ගැනම මිනිසුන්ට හේතු දැක්වීමට ඔහු බැඳී නැත. මහා කුඹල්කරු ඔහුය. මැටි පිඩ අපය. ඒ නිසා ඒ මැටිවලින් තමන් කැමති භාජනයක් සෑදීමට ඔහුට අයිතියක් තිබේ. (රෝම 9:19-21) එසේනම්, ඔහුගේ තීරණ සහ ක්‍රියා ගැන ප්‍රශ්න කිරීමට, ඔහුගේ අතේ තිබෙන මැටි පිඩ වන අප කවුද? යෝබ්, දෙවි මිනිස් වර්ගයා සමඟ කටයුතු කළ අන්දම ගැන වැරදි ලෙස වටහාගත් අවස්ථාවේදී, යෙහෝවා ඔහුව නිවැරදි කළේ මෙසේ අසමිනි. “ඔබ මාගේ විනිශ්චය පවා අවලංගු කර ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලබන පිණිස මට වරද තබන්නෙහිද?” තමා කරුණු කාරණා හරි හැටි තේරුම් නොගෙන කතා කළ බව වටහාගත් යෝබ් තමා පැවසූ දේ ගැන පසුතැවිලි විය. (යෝබ් 40:8; 42:6) එසේනම්, දෙවි වැරදි කළායයි අපි කිසිදා නොසිතමු.

10 යෙහෝවා දෙවි සෑමවිටම හරි දේ කරන බව සිතීමට අපට හොඳ හේතු තිබේ. යෙහෝවාගේ මාර්ග ගැන මෙම අවබෝධය මුල් කරගෙන අපි දැන්, ඇතමුන්ට තේරුම්ගැනීමට අමාරු බයිබලයේ සඳහන් සිද්ධීන් දෙකක් ගැන සෝදිසි කර බලමු. පළමුව සලකා බලන්නේ දෙවිට නමස්කාර කළ කෙනෙකුගේ ක්‍රියාවන්ය. අනෙක නම්, දෙවි විසින්ම දෙනු ලැබූ විනිශ්චයක්ය.

ලොත් තම දියණියන්ව මැර පිරිසකට දීමට කැමති වුණේ මන්ද?

11, 12. (අ) දෙවි දේවදූතයන්ව සොදොමට යැවූ අවස්ථාවේ සිදු වූ දේ විස්තර කරන්න. (ආ) මෙම සිද්ධිය නිසා ඇතමුන්ගේ මනස්වල පැනනැඟී ඇති ප්‍රශ්න මොනවාද?

11 උත්පත්ති 19වන පරිච්ඡේදය තුළ අපට කියවන්නට තිබෙන්නේ දෙවි, දේවදූතයන් දෙදෙනෙකුව මිනිස් වෙස් ගන්වා සොදොම් නුවරට යැවූ ආකාරයයි. තමාගේ නිවසට පැමිණි මෙම අමුත්තන්ගෙන් ලොත් උදක්ම ඉල්ලා සිටියේ නිවසින් පිටතට නොයන ලෙසයි. එහෙත්, ඒ රාත්‍රියේදී නගරයේ මැර පිරිසක් ඔහුගේ ගෙය වටලා, තමන් සමඟ අනාචාරයේ යෙදෙන පිණිස අමුත්තන්ව එළියට ගෙනෙන මෙන් ලොත්ට බල කර සිටියෝය. කාරණා පහදා දීමට ලොත් උත්සාහ කළද ඉන් කිසිදු පලක් නොවීය. තම අමුත්තන්ව ආරක්ෂා කරනු පිණිස, ලොත් පැවසුවේ මෙයයි. “මාගේ සහෝදරයෙනි, මෙබඳු දුෂ්ටකම් නොකරන ලෙස ඔබගෙන් ඉල්ලමි; පුරුෂයෙකු නෑඳින්න දූවරු දෙදෙනෙක් මට ඇත්තෝය; ඔවුන් ඔබ ළඟට ගෙනෙන්ට අවසර දෙන ලෙස ඉල්ලමි; ඔබට යහපත්ව පෙනෙන ලෙස ඔවුන්ට කරන්න; එහෙත් මේ මනුෂ්‍යයන් මාගේ පියස්ස යටට ඇවිත් සිටින නිසා ඔවුන්ට කිසිවක් නොකරන්න.” මෙම ඉල්ලීම කිසිදු ගණනකට නොගත් මැරයෝ ඔහුගේ ගෙයි දොර කඩන්නට උත්සාහ කළහ. අන්තිමේදී අමුත්තන් මෙන් පැමිණි දේවදූතයෝ මේ උමතු මැරයන්ගේ ඇස් අන්ධ කළෝය.—උත්පත්ති 19:1-11.

12 මෙම වාර්තාව නිසා සමහරුන්ගේ සිත්වල යම් යම් ප්‍රශ්න පැන නැඟී ඇති බව පෙනී යයි. ඔවුහු මෙසේ කල්පනා කරති. ‘ලොත් මේ කාමාතුරයන්ට සිය දියණියන්ව දෙමින් තමාගේ අමුත්තන්ව ආරක්ෂා කරන්නට උත්සාහ කළේ ඇයි? ඔහු කළේ වරදක් නේද? ඇරත් ඔහු ක්‍රියා කර ඇත්තේ භයගුල්ලෙකු ලෙස නේද?’ දේවවචනයේ තිබෙන මේ වාර්තාව දෙස බලද්දී, මොහුව “ධර්මිෂ්ඨ මිනිසා” කියා හඳුන්වන්නට දෙවි පේතෘස්ව පෙලඹුවේ මන්ද? ලොත් ක්‍රියා කළ විදිහ දෙවි අනුමත කළාද? (2 පේතෘස් 2:7, 8) අපි මේ කාරණය ගැන හොඳින් කල්පනා කර බලමු. එවිට අප වැරදි නිගමනවලට එළඹීමට ඉක්මන් වන්නේ නැත.

13, 14. (අ) ලොත් කළ දේ සම්බන්ධව බයිබලයේ සඳහන් වාර්තාව ගැන අප සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද? (ආ) ලොත් භයගුල්ලෙක් ලෙස ක්‍රියා නොකළ බව අප දන්නේ කෙසේද?

13 ලොත් කළ ඒ ක්‍රියාව බයිබලයේ අනුමත කරන්නේ හෝ හෙළා දකින්නේ හෝ නැති බව අප මෙහිදී සිතේ තබා ගත යුතුයි. එම සිද්ධිය බයිබලයේ වාර්තා කර තිබෙනවා පමණි. ලොත් සිතමින් සිටි දෙය ගැනවත් ඔහු මෙසේ ක්‍රියා කරන්නට හේතු වූයේ ඇයිදැයි කියාවත් බයිබලය අපට කිසිවක් නොකියයි. ‘ධර්මිෂ්ඨයන්ගේ නැවත නැඟිටීම’ සිදු වන කාලයේදී ඔහුද නැවත නැඟිටින විට, ඔහු මේ ගැන තවත් තොරතුරු හෙළි කරන්නට ඉඩ කඩ තිබේ.—ක්‍රියා 24:15.

14 ලොත් භයගුල්ලෙකුයයි සිතීම උගහටය. ඔහු සිටියේ ඉතා අසීරු තත්වයකය. අමුත්තන් තමාගේ ‘පියස්ස යටට ඇවිත් සිටිනවා’ යයි පැවසීමෙන් ඔහු ඇඟවූයේ මේ අමුත්තන්ව ආරක්ෂා කිරීමට තමාට යම් වගකීමක් හැඟුණු බවයි. නමුත් එය පහසු දෙයක් වූයේ නැත. යුදෙව් ජාතික ඉතිහාසඥයෙකු වූ ජොසීෆස් මෙසේ ලියයි. සොදොමේ වැසියන් වනාහි “මිනිසුන්ට ඉතා අයුක්තිසහගත ලෙස සැලකූ, දෙවියන්ට ගරු නොකළාවූද පිරිසකි. . . . ඔවුහු අමුත්තන්ට දැඩි අකමැත්තක් දැක්වූහ. සොදොමේ වැසියෝ පහත් සමලිංගික ක්‍රියාවල නියැලී සිටියහ.” එහෙත්, ලොත් මේ දරුණු මැරයන්ට භය වූයේ නැත. ඔහු ගෙයින් පිටතට ගොස් ඔවුන්ට කාරණා ඒත්තු ගන්වන්නට උත්සාහ කළේය. ඔහු ‘දොරකඩින් නික්ම දොර වසාගෙන ඔවුන් වෙතට ගිය’ බවද බයිබලයේ වාර්තා වෙයි.—උත්පත්ති 19:6.

15. ලොත් දෙවි කෙරෙහි විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නට ඇති බව හැක්කේ මන්ද?

15 ‘එහෙත්, ලොත් ඔහුගේ දූවරුන්ව මැරයන්ට දීමට කැමති වුණේ ඇයි?’ කියා ඇතමුන් කල්පනා කරනවා විය හැකියි. ඔහුගේ චේතනා නරකයි කියා සිතනවාට වඩා, මීට හේතු පාදක විය හැකි යම් යම් කාරණා කිහිපයක් ගැන අපි දැන් සලකා බලමුද? පළමුවෙන්ම තේරුම්ගත යුතු කරුණක් වන්නේ, ලොත් දෙවි කෙරෙහි විශ්වාසයක් ඇතිව කටයුතු කළ බවය. ඒ කෙසේද? යෙහෝවා දෙවි ලොත්ගේ මාමා වූ ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරාව ආරක්ෂා කර තිබූ ආකාරය ගැන ලොත් දැනගෙන සිටි බවට කිසිදු සැකයක් නැත. සාරා ඉතා රූමත් කාන්තාවක් වූ බැවින්, වෙනත් අය තමාව මරා ඇයව පැහැරගනීය යන භය නිසා, තමාට සහෝදරයා කියා අමතන ලෙසට ආබ්‍රහම් සාරාට උපදෙස් දී තිබිණි. * ප්‍රතිඵලයක් වශයෙන්, සාරාව පාරාවෝගේ නිවසට ගෙන යන ලදි. එහෙත්, යෙහෝවා මැදිහත් වී පාරාවෝගේ අතින් සාරාට යම් අතවරයක් වීම වැළැක්වූයේය. (උත්පත්ති 12:11-20) ඒ හා සමානව තමන්ගේ දියණියන්වද ආරක්ෂා කරනු ඇතැයි යන විශ්වාසය ලොත්ට තිබුණා විය හැකියි. ඇත්තෙන්ම, මේ අවස්ථාවේදී යෙහෝවා ඇත්තටම මැදිහත් විය. ඒ දූතයන් මාර්ගයෙන් මේ කතුන්ව ආරක්ෂා කිරීමෙනි.

16, 17. (අ) සොදොම් මිනිසුන් අතර වියවුලක් ඇති කරන්නට ලොත් උත්සාහ කළේ කුමන අන්දමින් විය හැකිද? (ආ) ලොත් කල්පනා කළ ආකාරය අප නිශ්චිතව නොදන්නවා වුවද, අපට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද?

16 මේ සිද්ධිය හා සම්බන්ධව සිදු විය හැකි තවත් දෙයක් ගැන සලකා බලමු. ලොත් එම මැරයන් අතර වියවුලක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටියාද විය හැකියි. සොදොමේ වැසියන් සමලිංගිකයන් නිසා පැමිණ සිටි මැරයන් තමන්ගේ දූවරුන්ට ආශා නොවනු ඇතැයි කියාද ඔහු සිතුවා විය හැකියි. (යූද් 7) මීට අමතරව, මෙම තරුණියන් නගරයේ තරුණයන් හා විවාහ ගිවිසගෙන සිටි බැවින්, ඔහුගේ අනාගත බෑනාවරුන්ගේ නෑදෑයන්, මිතුරන් හෝ ව්‍යාපාර සගයන්ද මේ මැර පිරිස අතර සිටින්නට ඇත. (උත්පත්ති 19:14) මේ නිසා, එම මැර පිරිස අතර සිටින එවන් පුද්ගලයන් තම දියණියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කතා කරාවි කියා ලොත් බලාපොරොත්තු වුණාද විය හැකියි. මේ අන්දමින්, වියවුල් වූ මැර පිරිසගෙන් එතරම් දරුණු හානියක් සිදු නොවනු ඇතැයි ලොත් සිතුවා විය යුතුය. *

17 ලොත් කල්පනා කළ ආකාරය හා ඔහුගේ චේතනා ගැන අපට නිශ්චිතව යමක් පවසන්නට නොහැකි වුවත්, අපට එක් දෙයක් ගැන ස්ථිර විය හැකියි. එනම්, යෙහෝවා සැමවිටම හරි දෙය කරන නිසා ලොත්ව ‘ධර්මිෂ්ඨ මිනිසෙකු’ ලෙස සැලකීමට දෙවිට හොඳ හේතු තිබුණා විය යුතුය යන්නයි. ඇරත්, සොදොමේ ඒ උමතු මැරයන්ගේ ක්‍රියා ගැන කල්පනා කරද්දී, යෙහෝවා එම දුෂ්ට නගරයේ වැසියන්ට දඬුවම් කළ ආකාරය සම්පූර්ණයෙන්ම යුක්තිසහගතය හා සාධාරණය කියා නිගමනය කිරීමට අපට හැකියි.—උත්පත්ති 19:23-25.

යෙහෝවා උස්සාට පහර දී මරා දැමුවේ මන්ද?

18. (අ) දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමට උත්සාහ කළ විට සිදු වූයේ කුමක්ද? (ආ) මෙම සිද්ධියෙන් පැන නඟින ප්‍රශ්නය කුමක්ද?

18 ඇතැම් අය විසින් වරදවා තේරුම්ගනු ලැබිය හැකි තවත් වාර්තාවක් බයිබලයේ සඳහන් වේ. එය නම්, දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවයි. ගිවිසුම් පෙට්ටිය කරත්තයක තබා තිබූ අතර, එය දක්කන ලද්දේ උස්සා සහ ඔහුගේ සහෝදරයා විසිනි. මේ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේය. “ඔවුන් නාකොන්ගේ පාවරට ආ කල හරක් වැටෙන්ට ගිය නිසා උස්සා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දෙසට අත දිගු කොට එය ඇල්ලුවේය. යෙහෝවාගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය. දෙවි ඔහුගේ වරද නිසා එහිදී ඔහුට පහර දුන්නේය. ඔහු දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.” ඊට මාස කිහිපයකට පසුව, දෙවි පවසා තිබූ ආකාරයටම, එනම් කොහාත්ගේ පුත්‍රයන් වන ලෙවීවරුන්ගේ කරේ තබාගෙන ගිවිසුම් පෙට්ටිය ඉතා සාර්ථක ලෙස යෙරුසලමට ගෙන යන ලදි. (2 සාමුවෙල් 6:6, 7; ගණන් කථාව 4:15; 7:9; 1 ලේකම් 15:1-14) ‘යෙහෝවා මෙතරම් කෝපයෙන් ක්‍රියා කළේ ඇයි? උස්සා වෑයම් කළේ ගිවිසුම් පෙට්ටිය වැටෙන්න නොදී අල්ලගන්න නේද?’ කියා ඇතමුන් කල්පනා කරනවා විය හැකියි. මෙහිදී අපි වැරදි නිගමනවලට එළඹෙනවා වෙනුවට, කාරණා නිසි ලෙස තේරුම්ගැනීමට උපකාරවත් වන යම් තොරතුරු ගැන සලකා බලමු.

19. අයුක්තිසහගත ලෙස ක්‍රියා කිරීමට යෙහෝවාට බැරි ඇයි?

19 අප මෙහිදී මතක තබාගත යුතු කාරණයක් ඇත. එය නම්, යෙහෝවාට අයුක්තිසහගත විදිහට ක්‍රියා කරන්නට බැරි බවයි. (යෝබ් 34:10) ඔහු එසේ කරනවා නම්, එය ඔහුගේ ප්‍රේමයට පටහැනිය. මන්ද “දෙවි ප්‍රේමය” කියා අපි බයිබලයෙන් ඉගෙනගෙන සිටිමු. (1 යොහන් 4:8) මීට අමතරව, ශුද්ධ ලියවිල්ලේ අපට පවසන්නේ, “ධර්මිෂ්ඨකමත් යුක්තියත් [දෙවිගේ] සිංහාසනයේ අත්තිවාරම” කියාය. (ගීතාවලිය 89:14) එසේනම්, යෙහෝවාට අයුක්තිසහගත ලෙස ක්‍රියා කිරීමට කිසිම විටෙකත් හැකිද? ඔහු එසේ කරනවා නම්, විශ්වයේ පරමාධිපති හැටියට ඔහු හොබවන පාලක ධුරයට හානි සිදු කරගනී.

20. ගිවිසුම් පෙට්ටිය හා සම්බන්ධ නීති ගැන උස්සා හොඳින් දැන සිටියායයි පැවසිය හැක්කේ මන්ද?

20 උස්සා මේ පිළිබඳ දේවනීතිය ගැන හොඳින් දැන සිටි බව මෙහිදී මතක තබාගන්න. යෙහෝවා තම ජනයා සමඟ සිටි බව සංකේතවත් කළේ ගිවිසුම් පෙට්ටිය මාර්ගයෙනි. අවසර නැති පුද්ගලයන්ට එය ඇල්ලීම දේවනීතියට අනුව තහනම් විය. විශේෂයෙන්ම මෙම නීතිය කඩ කරන පුද්ගලයන්ට මරණ දඬුවම නියම වී තිබිණි. (ගණන් කතාව 4:18-20; 7:89) එබැවින්, එම ශුද්ධ ගිවිසුම් පෙට්ටිය රැගෙන යෑම සැහැල්ලුවට ගත හැකි දෙයක් නොවේ. පෙනෙන විදිහට උස්සා (පූජකයෙකු නොවුවත්) ලෙවීවරයෙකි. එසේනම්, ඔහු නීතිය හොඳින් දැන සිටියා විය යුතුයි. වසර කිහිපයකට පෙරාතුව, ගිවිසුම් පෙට්ටිය ආරක්ෂාව පිණිස ඔහුගේ පියාගේ ගෘහයට ගෙනැවිත් තිබිණි. (1 සාමුවෙල් 6:20-7:1) එය වසර 70ක් එහි තිබී, පසුව දාවිත් විසින් යෙරුසලමට ගෙන එන ලදි. මේ අනුව, උස්සා ළමා වියේ පටන්ම ගිවිසුම් පෙට්ටිය පිළිබඳ නීති හොඳින් දැන සිටි බවට කිසිදු සැකයක් නැත.

21. උස්සා සම්බන්ධ සිද්ධිය දෙස බලද්දී, යෙහෝවා යමෙකුගේ සිතේ චේතනා දකින බව මතක තබාගැනීම වැදගත් වන්නේ මන්ද?

21 යෙහෝවා යමෙකුගේ සිතේ තිබෙන දේවල් දන්නා බව මීට පෙරද සඳහන් කළෙමු. උස්සා කළ ක්‍රියාව “වරදක්” යයි දේවවචනයේ පවසන බැවින්, මෙම වාර්තාව තුළ සඳහන් කර නැති, උස්සා තුළ වූ ආත්මාර්ථකාමී චේතනා යෙහෝවා දුටුවා විය හැකියි. සමහරවිට උස්සා තමාගේ සීමාවන් ඉක්මවා යෑමේ ප්‍රවණතාවක් තිබූ උඩඟු පුද්ගලයෙකු වූවා විය නොහැකිද? (හිතෝපදේශ 11:2) තමාගේ පවුලේ අය විසින් පෞද්ගලිකව ආරක්ෂා කරනු ලැබූ ගිවිසුම් පෙට්ටිය ප්‍රසිද්ධියේ රැගෙන යන විට ඔහුට තමන් ගැන යම්කිසි ආඩම්බර හැඟීමක් ඇති වූවා විය නොහැකිද? (හිතෝපදේශ 8:13) බිම වැටීම නිසා මෙම ශුද්ධ පෙට්ටියට යම් හානියක් සිදු වුණායයි සිතමු. නමුත් ගිවිසුම් පෙට්ටිය යනු යෙහෝවා තම ජනයා සමඟ සිටින බවට වූ සංකේතයයි. එසේ නම්, එය ආරක්ෂා කිරීමට ඔහුට හැකියාවක් නැද්ද? එම හැකියාව කෙරෙහි උස්සාට කිසිම විශ්වාසයක් තිබුණේ නැද්ද? සිදු වුණේ කුමක් වුවද, යෙහෝවා කළේ හරි දෙය බවට අපට ස්ථිර විය හැකියි. පෙනෙන විදිහට උස්සාගේ සිතේ යම් වැරදි නැඹුරුවාවක් තිබිණි. සමහරවිට යෙහෝවා එය දකින්නට ඇත. ඒ නිසා ඔහුට එවෙලේම දඬුවම් කළේය.—හිතෝපදේශ 21:2.

යෙහෝවා කෙරෙහි ස්ථිර විශ්වාසයක් තැබීමට හොඳ පදනමක්

22. යම් සිද්ධීන් පිළිබඳ සම්පූර්ණ විස්තර බයිබලයේ සඳහන් වී නොතිබීමෙන් යෙහෝවාගේ ප්‍රඥාව අප දකින්නේ කෙසේද?

22 යෙහෝවාගේ අසමසම ප්‍රඥාව කොතෙක්ද යත් ඇතැම් අවස්ථාවලදී ඔහුගේ වචනය තුළ සමහරක් විස්තර අන්තර්ගත වී නැත. ඒ මගින් යෙහෝවා අපට අප තුළ ඔහු කෙරෙහි ඇති විශ්වාසය පෙන්වීමට ප්‍රස්තාවක් ලබා දෙයි. යෙහෝවාගේ විනිශ්චයන් නිවැරදියයි පිළිගැනීමට හොඳ හේතු තිබෙන බව අප මෙතෙක් සලකා බැලූ දෙයින් පැහැදිලි වෙන්නේ නැද්ද? එසේය, අප අවංක සිතකින් හා විවෘත මනසකින් යුතුව දේවවචනය අධ්‍යයනය කරන විට, අපට වැඩි වැඩියෙන් දැනගන්නට ලැබෙන කාරණය නම්, යෙහෝවා සෑමවිටම යුක්තිසහගත සහ හරි දෙය කරන බවයි. මෙබැවින්, බයිබලයේ යම් සිද්ධීන් ගැන කියවද්දී, අපට ඉක්මනින් පිළිතුරු සොයාගත නොහැකි යම් ප්‍රශ්න පැන නඟී නම්, යෙහෝවා ඒ සෑම සිද්ධියකදීම හරි දෙය කළ බවට අපි පූර්ණ විශ්වාසයක් තබාගනිමු.

23. යෙහෝවා අනාගතයේදී කරන දේවල් කෙරෙහි අපට තබාගත හැක්කේ කුමන ආකාරයේ පූර්ණ විශ්වාසයක්ද?

23 යෙහෝවා අනාගතයේදී කරන දේ ගැන අපට ඒ හා සමාන පූර්ණ විශ්වාසයක් ඇතිව සිටිය හැකියි. මෙබැවින්, ළඟදීම පැමිණෙන මහත් පීඩාවේදී ඔහු විනිශ්චය ඉටු කරන විට, ඔහු ‘දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශ නොකරන’ බව සහතිකයි. (උත්පත්ති 18:23) ධර්මිෂ්ඨකමට හා යුක්තියට ඔහු දක්වන ඇල්ම නිසා ඔහු කිසිවිටෙකත් එසේ කරන්නේ නැත. තවද, පැමිණෙන නව ලෝකයේදී ඔහු අප සියල්ලන්ගේ අවශ්‍යතාවන් ඉතා හොඳින් සපුරාලන බවටද පූර්ණ විශ්වාසයක් අපට තබාගත හැකියි.—ගීතාවලිය 145:16.

[පාදසටහන්වල]

^ 15 ඡේ. ආබ්‍රහම් තුළ සාධාරණ හේතු නිසා යම් භයක් තිබුණු බවට නිගමනය කළ හැකියි. මන්දයත් ඊජිප්තුවේ එක්තරා රජ කෙනෙක් අවි සන්නද්ධ මිනිසුන් යවා එක් සැමියෙකු මරා ඔහුගේ රූමත් බිරිඳව පැහැරගත් බව එක් පුරාණ පැපිරස් ලේඛනයක සඳහන් වන බැවිනි.

^ 16 ඡේ. අමතර තොරතුරු සඳහා, 1979 දෙසැම්බර් 1වන දා වොච්ටවර් කලාපයේ 31වන පිටුව බලන්න.

ඔබට මතකද?

• අප යෙහෝවාගේ විනිශ්චයන් පිළිගත යුත්තේ කිනම් හේතු නිසාද?

• යෝබ් තම දියණියන්ව මැර පිරිසකට දීමට කැමති වීම ගැන අප වැරදි නිගමනවලට එළඹීමෙන් වැළකී සිටිය යුත්තේ මන්ද?

• යෙහෝවා උස්සාට පහර දී මරා දැමීමට හේතුව තේරුම්ගැනීමට අපට උපකාර වන්නේ කිනම් කාරණාද?

• යෙහෝවා අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන් අපට තබාගත හැකි විශ්වාසය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]