Skip to content

පටුනට යන්න

අපි ක්‍රිස්තියානීන් බව කිසිදා අමතක නොකරමු

අපි ක්‍රිස්තියානීන් බව කිසිදා අමතක නොකරමු

අපි ක්‍රිස්තියානීන් බව කිසිදා අමතක නොකරමු

‘ඔබ මාගේ සාක්ෂිකාරයෝයයි යෙහෝවා කියන්නේය.’—යෙසායා 43:10.

1. යෙහෝවා තමන් වෙතට ඇදගන්නේ කෙබඳු ආකාරයේ පුද්ගලයන්වද?

ඔබ රාජ්‍ය ශාලාවේ සිටින විට ඔබ අවට හොඳින් බලන්න. ඔබට පෙනෙන්නේ කාවද? බයිබලය අධ්‍යයනය කරමින් එහි අඩංගු ප්‍රඥාව තේරුම්ගැනීමට උත්සාහයක් දරන තරුණ තරුණියන්ව ඔබ දකීවි. (ගීතාවලිය 148:12, 13) එමෙන්ම පවුල් ජීවිතය අසාර්ථක වන ලෝකයක ජීවත් වුණත් දෙවිව සතුටු කිරීමට වෑයම් කරන දෙමාපියන්වද ඔබ දකිනවා ඇති. තවත් ඔබට මහලු වියේ පසුවන අයව පෙනේවි. ශාරීරික වශයෙන් දුර්වල තත්වයක සිටියත් ඔවුන් උත්සාහ කරන්නේ තමන් යෙහෝවාට කළ කැපවීමට අනුව ජීවත් වීමටයි. (හිතෝපදේශ 16:31) මේ හැමදෙනෙක්ම යෙහෝවාට ගැඹුරින් ප්‍රේම කරති. යෙහෝවා ඔවුන්ව තමා වෙතට ළං කරගෙන සිටින නිසා ඔවුන්ට දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගැනීමට හැකි වී ඇත. දෙවිගේ පුත්‍රයා සහතිකයක් දුන්නේ මෙසේයි. “මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක.”—යොහන් 6:37, 44, 65.

2, 3. අප ක්‍රිස්තියානීන් බව සෑමවිටම මතකයේ තබාගැනීම පහසු දෙයක් නොවන්නේ මන්ද?

2 යෙහෝවාගේ අනුමැතිය හා ආශීර්වාද ලත් ජනතාවකගේ කොටසක් වීමට අපට හැකිවීම ගැන අප සතුටු වන්නේ නැද්ද? එහෙත් මෙම ‘අන්තරාදායක කාලවලදී’ ක්‍රිස්තියානීන් වශයෙන් සෙසු ලෝකයාට වඩා වෙනස්ව සිටීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. (2 තිමෝති 3:1) ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ හැදී වැඩෙන යෞවන දරුවන් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සැබෑවකි. එක් යෞවනයෙක් මෙසේ පිළිගත්තේය. “මම ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වුණත් මට කිසිම පැහැදිලි ආත්මික ඉලක්කයක් තිබුණේ නැහැ. ඒ වගේම යෙහෝවාට සේවය කරන්න අවංක ආශාවක් තිබුණෙත් නැහැ.”

3 ඇතැම් අයට යෙහෝවාට සේවය කරන්නට ආශාවක් තිබුණත්, යහළුවන්ගෙන් හා ලෝකයෙන් එල්ල වන බලපෑම් නිසා හෝ පව්කාර නැඹුරුවාවන් නිසා හෝ ඔවුන් බාධාවට පත් වෙනවා විය හැකියි. අප පීඩනයට ලක් වෙද්දී අප ක්‍රිස්තියානීන් බව ටිකෙන් ටික අපට අමතක වී යෑමට ඉඩ තිබේ. නිදසුනක් වශයෙන්, ලෝකයේ අද දින සිටින බොහෝදෙනෙක් සිතන්නේ බයිබලයේ සදාචාර ප්‍රමිති යල්පැන ගිය ඒවා හෝ අද දිනට ප්‍රායෝගික නොවන ප්‍රමිති බවයි. (1 පේතෘස් 4:4) තවත් අයට හැඟෙන්නේ දෙවි කියන විදිහටම දෙවිට නමස්කාර කරන්නට අවශ්‍ය නැතැයි යනුවෙනි. (යොහන් 4:24) එෆීසවරුන්ට ලිවූ ලිපියේ පාවුල් මේ ලෝකයේ තිබෙන ‘ස්වභාවයක්’ ගැන කතා කළේය. (එෆීස 2:2) යෙහෝවා ගැන නොදන්නා මිනිසුන් සිතන විදිහට හැඩගැසෙන්නට මෙම ස්වභාවය මිනිසුන් මත ප්‍රබල බලපෑමක් ඇති කරයි.

4. අප ක්‍රිස්තියානීන් බව කිසිදා අමතක නොකළ යුතු බව යේසුස් අවධාරණය කළේ කෙසේද?

4 එහෙත් බාල මහලු අප කවුරුත් යෙහෝවාට කැපවූ ක්‍රිස්තියානීන් බව අමතක කළහොත් ඉන් ඇති වන ප්‍රතිඵල භයානක බව අපි වටහාගනිමු. අපව මවා ඇත්තේ දෙවිගේ ගුණාංග පිළිබිඹු කිරීමේ හැකියාව ඇතිවය. එමනිසා අපට ක්‍රිස්තියානීන් ලෙස ක්‍රියා කළ හැක්කේ දෙවිගේ ප්‍රමිති හා ඔහු අපෙන් බලාපොරොත්තු වන දේ ගැන සිහියේ තබාගෙන සිටියහොත් පමණි. (උත්පත්ති 1:26; මීකා 6:8) බයිබලයේ අපගේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය සමාන කර තිබෙන්නේ සියලුදෙනාටම පෙනෙන පරිදි අප පැළඳ සිටින වස්ත්‍රයකටය. අපගේ කාලය සම්බන්ධයෙන් යේසුස් අනතුරු ඇඟවූයේ මෙසේයි. “බලන්න! මම සොරෙකු මෙන් එන්නෙමි. නිර්වස්ත්‍රව නොඇවිද, තමාගේ ලජ්ජාව මිනිසුන් නොදකින පිණිස අවදිව සිට තම පිටත වස්ත්‍ර ආරක්ෂා කරගන්නා සන්තෝෂවත්ය.” * (එළිදරව් 16:15) මේ නිසා, අපගේ ක්‍රිස්තියානි ගුණාංග සහ ප්‍රමිති අත්හැර දමා සාතන්ගේ ලෝකයට අනුව හැඩගැසීමට අපට කොහෙත්ම වුවමනා නැත. එවැන්නක් සිදු වේ නම් අපට මෙම “පිටත වස්ත්‍ර” අහිමි වී යනු ඇත. එවන් තත්වයක් කනගාටුදායක මෙන්ම ලජ්ජාසහගතය.

5, 6. අප ආත්මික වශයෙන් ස්ථාවර පුද්ගලයන් වීම වැදගත් වන්නේ මන්ද?

5 යමෙක් තමා ක්‍රිස්තියානියෙකු බව සිහියේ තබාගෙන නොසිටී නම්, ඔහු ජීවිතය ගෙවන අන්දමට එය බොහෝ සෙයින් බලපෑම් කරයි. ඒ කෙසේද? යෙහෝවාට සේවය කරන කෙනෙක් තමා කවුදැයි යන්න අමතක කරන්නේ නම්, ඔහු හරියට මුහුදේ පාවෙන හබලක් නැති ඔරුවක් මෙනි. ඔහුට ජීවිතයේ කිසිදු ඉලක්කයක් නැත. දිශාවක් නැත. ඒ නිසයි බයිබලය මේ ගැන නිතර නිතර අනතුරු අඟවන්නේ. “මන්ද, සැක කරන්නා, සුළඟින් ගෙන යනු ලබන්නාවූ, ඔබ මොබ විසි වෙන මුහුදු රැල්ලක් මෙනි. ඇත්තෙන්ම, ඒ මිනිසා තමාට යෙහෝවාගෙන් කිසිවක් ලැබේයයි නොසිතාවා! ඔහු දෙගිඩියාවෙන් සිටින මිනිසෙකි. ඔහු තමාගේ සියලු මාර්ගයන්වල අස්ථිරව සිටියි.”—යාකොබ් 1:6-8; එෆීස 4:14; හෙබ්‍රෙව් 13:9.

6 අප ක්‍රිස්තියානීන් බව නිතරම මතකයේ තබාගත හැක්කේ කෙසේද? මහෝත්තම දෙවි යෙහෝවාට නමස්කාර කරන කෙනෙකු වීමට අපට තිබෙන වරප්‍රසාදය ගැන අප තුළ ඇති අගය අපට වැඩි කරගත හැක්කේ කෙසේද? අපි දැන් පහත සඳහන් ක්‍රම ගැන සලකා බලමු.

ඔබ ක්‍රිස්තියානියෙකු බව තහවුරු කරගත හැකි අයුරු

7. අපව පරීක්ෂා කරන ලෙස යෙහෝවාගෙන් අයැද සිටීම ඉතා වැදගත් වන්නේ මන්ද?

7 දිගටම යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධතාවක් තබාගන්න. ක්‍රිස්තියානියෙකුට තිබෙන ඉතා වටිනාම සම්පත නම් දෙවි සමඟ ඔහුට තිබෙන සම්බන්ධතාවයි. (ගීතාවලිය 25:14; හිතෝපදේශ 3:32) ක්‍රිස්තියානීන් හැටියට අපගේ ස්ථාවරය ගැන අපට සැක ඇති වේ නම්, අපට දෙවි සමඟ ඇත්තටම කිට්ටු සම්බන්ධයක් තිබෙනවාද කියා ගැඹුරින් සලකා බැලීම ඉක්මනින්ම කළ යුත්තකි. ගීතිකාකරු මෙසේ අයැද සිටියේ එනිසාය. “යෙහෝවා, මා විභාග කොට පරීක්ෂා කළ මැනව. මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව.” (ගීතාවලිය 26:2) එවන් පරීක්ෂණයක් කිරීම අතිශයින් වැදගත් වන්නේ මන්ද? අප තුළ ඇති ගැඹුරු චේතනාවන් සහ ඇතුළාන්ත නැඹුරුවාවන් ගැන නිවැරදි තක්සේරුවක් කිරීමට අපට නොහැකි නිසයි. අපගේ ඇතුළාන්ත චේතනා, සිතිවිලි, හැඟීම් නිවැරදිව දැනගත හැක්කේ යෙහෝවාට පමණි.—යෙරෙමියා 17:9, 10.

8. (අ) යෙහෝවා විසින් සෝදිසි කරනු ලැබීම අපට යහපතක් වන්නේ කෙසේද? (ආ) මේ සම්බන්ධයෙන් ඔබේ පෞද්ගලික අද්දැකීම කුමක්ද?

8 අපව පරීක්ෂා කරන ලෙස යෙහෝවාගෙන් ඉල්ලා සිටීමෙන් අප කරන්නේ අපව සෝදිසි කරන ලෙස යෙහෝවාට ආරාධනා කිරීමයි. අපගේ චේතනා සහ සිතේ තිබෙන නියම තත්වය හෙළිවීම සඳහා ඔහු අපට යම් යම් තත්වයන්ට මුහුණ පෑමට ඉඩහරී. (හෙබ්‍රෙව් 4:12, 13; යාකොබ් 1:22-25) එවන් තත්වයන්ට අප කැමැත්තෙන් මුහුණ දිය යුතුයි. මන්ද අප යෙහෝවා කෙරෙහි දක්වන පක්ෂපාතකමේ ගැඹුර පෙන්වීමට ඒ මගින් අපට ප්‍රස්තාවක් උදා වේ. අප “කිසිවකින් අඩුව නොසිට, සම්පූර්ණව” සිටිනවාද නැද්ද කියා පෙන්වන්නේ එවන් තත්වයන් මගිනි. (යාකොබ් 1:2-4) මෙසේ පරීක්ෂාවලට මුහුණ දෙන විට අප ආත්මිකව ශක්තිමත් වේ.—එෆීස 4:22-24.

9. බයිබල් සත්‍යයන් ගැන අප අපටම තහවුරු කරගත යුත්තේ මන්ද? පැහැදිලි කරන්න.

9 බයිබල් සත්‍යයන් ඔබටම තහවුරු කරගන්න. ශුද්ධ ලියවිලි පිළිබඳ නිවැරදි දැනුමක් අපට නැත්නම් අප යෙහෝවාගේ සේවකයන් බව අපට අමතක වී යා හැකියි. (ෆිලිප්පි 1:9, 10) බාල මහලු කවුරු හෝ වේවා අප විශ්වාස කරන දෙය බයිබලය මත පදනම්ව තිබෙන බවත්, එය සත්‍යය බවත් අප අපටම ඒත්තුගන්වා ගත යුතුයි. ඒ ගැන අපට කිසිම සැකයක් නොතිබිය යුතුයි. පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙයයි. “සියල්ල සෝදිසි කර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.” (1 තෙසලෝනික 5:21) දේවභයැති පවුල්වල හැදී වැඩෙන ක්‍රිස්තියානි දරුවන් වටහාගත යුතු දෙයක් නම්, තම දෙමාපියන්ගේ භක්තිය හා ඇදහිල්ල නිසා ඔවුන්ගේ ආත්මිකත්වය ගොඩනැඟෙන්නේ නැති බවයි. සලමොන්ගේ පියා වූ දාවිත් ඔහුට අවවාද කළේ “ඔබේ පියාගේ දෙවි ඇඳිනගෙන සම්පූර්ණ සිතකින් හා කැමැත්තෙන් දෙවිට මෙහෙ කරන්න” යනුවෙනි. (1 ලේකම් 28:9) තම පියා වූ දාවිත් යෙහෝවා කෙරෙහි ඇදහිල්ල ගොඩනඟා ගත් අන්දම දැකීමෙන් පමණක් සලමොන්ගේ ඇදහිල්ල ගොඩ නැඟුණේ නැත. පෞද්ගලිකවම සලමොන් යෙහෝවාව දැන හඳුනා ගත යුතු විය. ඔහු එසේම කළේය. ඔහු දෙවිගෙන් ඇයද සිටියේ මෙයයි. “මේ සෙනඟ ඉදිරිපිට ඇතුළට එන්ටත් පිටතට යන්ටත් ප්‍රඥාවද දැනගැන්මද දුන මැනව.”—2 ලේකම් 1:10.

10. නිසි චේතනාවකින් යුතුව අවංක ප්‍රශ්න ඇසීම යෝග්‍ය වන්නේ මන්ද?

10 ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟෙන්නේ දැනුම මතය. “ඇදහිල්ල පැමිණෙන්නේ අසන්න ලැබුණු දේට අනුවය” යයි පාවුල් සඳහන් කළේය. (රෝම 10:17) ඒ මගින් ඔහු අදහස් කළේ කුමක්ද? යෙහෝවා කෙරෙහිත් ඔහුගේ පොරොන්දු සහ ඔහුගේ සංවිධානය කෙරෙහිත් විශ්වාසයක් සහ නිසැකකමක් ගොඩනැංවීමට නම් දේවවචනයෙන් පෝෂණය වීම අවශ්‍ය බවය. බයිබලයේ අඩංගු කාරණා පිළිබඳව අවංක ප්‍රශ්න කිරීමෙන් අපට සෑහීමකට පත් විය හැකි පිළිතුරු ලබාගත හැකියි. මීට අමතරව රෝම 12:2හි පාවුල් දෙන අවවාදය අපට මෙහිදී අදාළ කරගත හැකියි. ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්න.’ අපට එය කළ හැක්කේ කෙසේද? “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම” ලබාගැනීමෙනි. (තීතස් 1:1) යෙහෝවාගේ ආත්මය, අපට අසීරු විෂයන් පවා තේරුම්ගැනීමට උපකාර කරයි. (1 කොරින්ති 2:11, 12) එසේනම්, අපට යම් දෙයක් තේරුම්ගැනීම අමාරු නම් අප දෙවිගේ උපකාරය පතා යාච්ඤා කළ යුතුයි. (ගීතාවලිය 119:10, 11, 27) යෙහෝවාට වුවමනා වන්නේ අප ඔහුගේ වචනය තේරුම්ගෙන එය විශ්වාස කර එයට කීකරු වීමයි. නිසි චේතනාවෙන් යුතුව අසනු ලබන අවංක ප්‍රශ්න ඔහු පිළිගනී.

දෙවිව සතුටු කිරීමට අදිටන් කරගනිමු

11. (අ) අප තුළ තිබෙන කිනම් සහජ ආශාවද අපට උගුලක් විය හැක්කේ? (ආ) අන්‍යයන්ගෙන් අපට එල්ල වන පීඩනවලට ධෛර්යයෙන් යුතුව මුහුණ දීමට අපට හැක්කේ කෙසේද?

11 මිනිසුන්ව නොව දෙවිව සතුටු කිරීමට අදිටන් කරගන්න. අප සැමෝටම මිතුරන් අවශ්‍යයි. අන්‍යයන් අපව පිළිගන්නවාටද අප කැමතියි. එහෙත් අපේ තරුණ කාලයේ පමණක් නොව, ජීවිතයේ සැඳෑ සමයේද අපගේ මිතුරන්ගෙන් පැමිණෙන පීඩනය ඉතා ප්‍රබල විය හැකියි. මේ නිසා අනුන්ව සතුටු කිරීමට හෝ ඔවුන් කරන දේම කිරීමට දැඩි ආශාවක් අප තුළ ඇති වෙන්නට පුළුවන. නමුත් අපගේ මිත්‍රයන් සහ සගයන් සැමවිටම අපගේ යහපත ගැන සිතන්නේ නැත. සමහරවිට ඔවුන්ට වුවමනා වන්නේ ඔවුන් කරන වැරදිවලට ඔබවත් පටලවාගැනීමටයි. (හිතෝපදේශ 1:11-19) මේ අනුව, යම් ක්‍රිස්තියානියෙක් අන්‍යයන්ගේ පීඩනයට යට වුවහොත්, තමන් ක්‍රිස්තියානියෙකු බව ලෙහෙසියෙන්ම අමතක වී යා හැකියි. (ගීතාවලිය 26:4) ‘මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකෙන්න’ යයි ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේ ඒ නිසයි. (රෝම 12:2) ලෝකයේ ආකාරයට හැඩගැසීමට අපට ඇති වන ඕනෑම බාහිර පීඩනයකට එරෙහි වීමට අපට අවශ්‍ය ඇතුළාන්ත ශක්තිය යෙහෝවා අපට සපයයි.—හෙබ්‍රෙව් 13:6.

12. දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය සම්බන්ධ කාරණයේදී, අපට ආරක්ෂාවක් වෙන්නේ කිනම් ප්‍රතිපත්තියද? කාගේ ආදර්ශයද?

12 බාහිරෙන් පීඩනය ඇති වන විට, ජනප්‍රිය රැල්ලට හසු වී වැඩිදෙනෙකුව සතුටු කරනවාට වඩා දෙවිට පක්ෂපාතබව දැක්වීම වඩාත් වැදගත් බව ක්‍රිස්තියානීන් හැටියට අප හොඳින් සිහියේ තබාගත යුතුයි. මෙහිදී අපට ආරක්ෂාවක් වන ප්‍රතිපත්තියක් නික්මයාම 23:2හි සඳහන් වේ. එය නම් “නපුරක් කරන පිණිස සමූහයක් අනුව නොයන්න” යනුයි. ඊශ්‍රායෙලිතයන්ගෙන් බහුතරයක් යෙහෝවාට තමාගේ පොරොන්දු ඉටු කිරීමට තිබෙන හැකියාව ගැන සැක කරද්දී, ඔවුන්ගේ මතය දැරීම කාලෙබ් එකහෙළාම ප්‍රතික්ෂේප කළේය. දෙවිගේ පොරොන්දු ගැන ඔහුට පෞද්ගලිකව සැකයක් නොතිබුණු අතර, ඔහු දැරූ ඒ ස්ථාවරයට ඔහුට ආශීර්වාද ලැබිණි. (ගණන් කතාව 13:30; යෝෂුවා 14:6-11) එසේනම් දෙවි සමඟ තිබෙන ඔබේ සම්බන්ධතාව ආරක්ෂා කරගැනීම පිණිස බහුතරයකගේ මතයට එරෙහි වීමට ඔබ කැමතිද?

13. අප ක්‍රිස්තියානීන් බව කියා සිටීම ඥානවන්ත දෙයක් වෙන්නේ මන්ද?

13 ඔබ ක්‍රිස්තියානියෙකු බව කෙළින්ම කියා සිටින්න. මෙය ඔබට ආරක්ෂාවකි. එස්රා විසූ කාලයේදී යෙහෝවාගේ කැමැත්ත කිරීමට ගත් උත්සාහයට විරුද්ධවාදිකම් ඇති වූ විට, ඇදහිලිවන්ත ඊශ්‍රායෙලිතයන් කියා සිටියේ “අපි ස්වර්ගයෙහිත් පොළොවෙහිත් දෙවිගේ මෙහෙකරුවෝ” කියායි. (එස්රා 5:11) අපගේ විරුද්ධවාදීන් කියන කරන දේවලට හා ඔවුන්ගේ විවේචනවලට අප සැලෙන්නේ නම්, ඉන් පෙනී යන්නේ අප මිනිසුන්ට භය වී සිටින බවයි. හැමෝවම සතුටු කරන්නට යෑමෙන් අපි අපටම හානියක් කරගන්නෙමු. ඒ නිසා භය වෙන්න එපා. ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බව පැහැදිලිව කියා සිටින්න. ක්‍රිස්තියානියෙකු වශයෙන් ඔබේ ප්‍රතිපත්ති, විශ්වාසයන් සහ ඔබ දරන ස්ථාවරය ගැන ගෞරවනීය හා ස්ථිර අන්දමින් පැහැදිලි කර දෙන්න. සදාචාර ප්‍රතිපත්ති සම්බන්ධ කාරණාවලදී යෙහෝවාගේ උසස් ප්‍රමිති රැකීමට ඔබ අදිටන් කරගෙන සිටින බව අන්‍යයන්ට පෙන්වන්න. තවද ඔබේ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති කොයි අන්දමකින්වත් පාවා නොදෙන බව පැහැදිලිව කියා සිටින්න. ඔබගේ සදාචාර ප්‍රතිපත්ති ගැන ඔබ ආඩම්බර වන බව පෙන්වා දෙන්න. (ගීතාවලිය 64:10) ක්‍රිස්තියානියෙකු ලෙස කැපීපෙනීම, ඔබට ආරක්ෂාවකි, ඔබට ශක්තියකි. තවද යෙහෝවා සහ ඔහුගේ ජනයා ගැන විමසීමට තවත් අය ඒ නිසා පෙලඹෙන්නට පවා පුළුවන.

14. සමච්චල් සහ විරුද්ධවාදිකම් නිසා අප අධෛර්ය විය යුතුද? පැහැදිලි කරන්න.

14 ඇතමුන් ඔබට සමච්චල් කරන්නට හෝ විරුද්ධ වෙන්නට ඉඩ තිබේ. (යූද් 18) ඔබගේ ප්‍රතිපත්තිවල වටිනාකම පැහැදිලි කර දෙන්නට ඔබ උත්සාහ කරද්දී ඔවුන් එය ගණනකටවත් නොගනී නම් ඒ ගැන අධෛර්ය වෙන්න එපා. (එසකියෙල් 3:7, 8) අප කොපමණ උත්සාහ කළත්, ඇතමුන්ට සත්‍යය ඒත්තුගැන්වීමට අපට නොහැකියි. පාරාවෝ ගැන ඔබට මතකද? මොන පීඩාවක් ආවත්, මොන ප්‍රාතිහාර්යයක් කළත්, තමාගේම කුලුඳුල් පුත්‍රයාව නැති වුණත්, මෝසෙස් කතා කරන්නේ යෙහෝවා වෙනුවෙන් බව පාරාවෝ පිළිගත්තේ නැත. එමනිසා මිනිසුන්ට භය වෙන්න එපා. අපට දෙවි කෙරෙහි විශ්වාසයත් ඇදහිල්ලත් තිබෙනවා නම් අප භය විය යුතු නැත.—හිතෝපදේශ 3:5, 6; 29:25.

අතීතය සිහි කර අනාගතය ගොඩනඟමු

15, 16. (අ) අපගේ ආත්මික උරුමය කුමක්ද? (ආ) දේවවචනයේ උපකාරයෙන් අපගේ ආත්මික උරුමය ගැන මෙනෙහි කරන විට අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

15 ඔබේ ආත්මික උරුමය රැකගන්න. දේවවචනයේ උපකාරයෙන් ක්‍රිස්තියානීහු තමන් සතු මහඟු ආත්මික උරුමය ගැන මෙනෙහි කර ඉන් බොහෝ ප්‍රයෝජන ගනිති. මෙම උරුමයට ඇතුළත් වන දේවල් නම්, යෙහෝවාගේ වචනයෙන් ලැබෙන සත්‍යය, සදාකාල ජීවනය ගැන ඇති බලාපොරොත්තුව, ශුභාරංචිය ප්‍රකාශ කරමින් දෙවිව නියෝජනය කිරීමේ ගෞරවය යනාදියයි. සාක්ෂිකරුවන් අතර ඔබ සිටින තැන ඔබට පෙනෙනවාද? ඔබ සිටින්නේ මිනිසුන්ගේ ජීවිත ගලවාගැනීම සඳහා රාජ්‍යය ගැන දේශනා කරන ජන සමූහයක් අතරයි. මෙය මතක තබාගන්න. එනම් “ඔබ මාගේ සාක්ෂිකාරයෝය” කියා යෙහෝවා දෙවිම අපට පවසන බව.—යෙසායා 43:10.

16 ඔබට ඔබෙන්ම මෙවන් ප්‍රශ්න අසාගත හැකියි. ‘මේ ආත්මික උරුමය මට කොච්චර වටිනවාද? දෙවිගේ කැමැත්ත කිරීම මගේ ජීවිතයේ පළමු තැනට දැමිය යුතු දෙයක් කියා මා සිතනවාද? වෙන කිසිම දෙයකට එය මගෙන් උදුරාගැනීමට ඉඩ නොදෙන තරමට මම එය අගය කරනවාද?’ අපට තිබෙන මේ ආත්මික උරුමය නිසා අපට මහත් ආත්මික ආරක්ෂාවක් දැනේ. මෙම ආරක්ෂාව දැනෙන්නේ යෙහෝවාගේ සංවිධානය තුළ සිටින අයට පමණි. (ගීතාවලිය 91:1, 2) යෙහෝවාගේ සංවිධානයේ නවීන දින ඉතිහාසය දෙස බලන කල, අප දකින සුවිශේෂී සිදුවීම් ගැන කල්පනා කරද්දී, අපට යමක් ඉතා පැහැදිලි වේ. එනම්, කිසිම පුද්ගලයෙකුට හෝ කිසිම දෙයකට යෙහෝවාගේ ජනයාව පොළොවෙන් තුරන් කර දැමිය නොහැකි බවයි.—යෙසායා 54:17; යෙරෙමියා 1:19.

17. අපගේ ආත්මික උරුමය කෙරෙහි පමණක් රඳා සිටීම ප්‍රමාණවත් නොවන්නේ මන්ද?

17 ඇත්ත වශයෙන්ම අපගේ ආත්මික උරුමය කෙරෙහි පමණක් රඳා සිටින්නට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. අප සෑම කෙනෙක්ම දෙවි සමඟ කිට්ටු සම්බන්ධතාවක් ගොඩනඟා ගත යුතුයි. පාවුල් ෆිලිප්පියේ විසූ ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ගොඩනැංවීමට වෙහෙස මහන්සි වී වැඩ කළ පසු, ඔහු ඔවුන්ට ලීවේ මෙසේයි. “මාගේ ප්‍රේමණීය තැනැත්තෙනි, මා ඔබ ළඟ සිටියදී පමණක් නොව, මා ඔබෙන් ඈත්ව සිටින විටදීත් ඔබ ඊටත් වඩා කැමැත්තෙන් කීකරුව සිටියාක් මෙන් භයෙන් සහ වෙවුලමින් යුතුව ඔබගේම ගැලවීම ඉටු කරගන්න.” (ෆිලිප්පි 2:12) අපට ගැලවීම ලබා දීමට කිසිම මිනිසෙකුට නොහැකියි.

18. අපගේ ක්‍රිස්තියානි වැඩකටයුතුවලට උද්‍යෝගයෙන් සහභාගි වීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

18 ක්‍රිස්තියානි වැඩකටයුතුවල උද්‍යෝගයෙන් හවුල් වන්න. දෙවි පිහිටුවා ඇති රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ අතිවැදගත් වැඩය කිරීමට අද දින ක්‍රිස්තියානීන්ට පවරනු ලැබ තිබේ. පාවුල් ප්‍රකාශ කළේ මෙයයි. “ඇත්ත වශයෙන් මා අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙකුව සිටින බැවින් මම මාගේ සේවය මහිමයට පත් කරමි.” (රෝම 11:13) අපගේ දේශනා සේවය අපව ලෝකයෙන් වෙන් කර තබයි. මීට අමතරව ක්‍රිස්තියානි රැස්වීම්, රාජ්‍ය ශාලා ඉදි කිරීම, අගහිඟකම් ඇති අයට උපකාර කිරීම වැනි කටයුතුවල අප දිගටම හවුල් වෙන්නේ නම්, එය අපේ ක්‍රිස්තියානි ගුණාංග තවත් ඔපමට්ටම් කරයි.—ගලාති 6:9, 10; හෙබ්‍රෙව් 10:23, 24.

ස්ථිරව සිටීමෙන් බොහෝ ආශීර්වාද ලැබිය හැකියි

19, 20. (අ) ක්‍රිස්තියානියෙකු වීම නිසා ඔබ පෞද්ගලිකව ලබාගෙන ඇත්තේ කිනම් ප්‍රයෝජනද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් අපට මහත් සේ සතුටු විය හැක්කේ මන්ද?

19 සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් අප භුක්ති විඳින බොහෝ ප්‍රයෝජන හා ආශීර්වාද ගැන මෙනෙහි කිරීමට මදක් කාලය ගන්න. යෙහෝවා අපව පෞද්ගලිකව හඳුනාගෙන සිටීම ඇත්තෙන්ම වරප්‍රසාදයකි. අනාගතවක්තෘ මලාකි පැවසුවේ මෙයයි. “එකල යෙහෝවාට භය ඇත්තෝ ඔවුනොවුන්ට කතා කළෝය; යෙහෝවා කන් දී ඇසුවේය; යෙහෝවාට භය ඇතුව ඔහුගේ නාමය සිහි කළවුන් නිසා ඔහු ඉදිරිපිට සිහිවීමේ පොතක් ලියන ලද්දේය.” (මලාකි 3:16) එසේය දෙවිගේ මිත්‍රයන් වීමට අපට හැකියි. (යාකොබ් 2:23) දීප්තිමත් බලාපොරොත්තුවකින්, ගැඹුරු අර්ථයකින් හා ඵලදායී ඉලක්කවලින් අපේ ජීවිත අලංකාර වී තිබේ. අපේ බලාපොරොත්තුව සදාකාලයටම ජීවත් වීමයි.—ගීතාවලිය 37:9.

20 ක්‍රිස්තියානියෙකු හැටියට ඔබේ වටිනාකම මනිනු ලබන්නේ, වෙනත් අය ඔබ ගැන සිතන විදිහ අනුව නොව දෙවි ඔබ ගැන සිතන විදිහ අනුව බව මතක තබාගන්න. වෙනත් අය අපව තක්සේරු කරන්නේ දුර්වල මිනිස් ප්‍රමිතිවලට අනුවය. නමුත් දෙවිගේ ප්‍රේමය සහ ඔහු අප කෙරෙහි දක්වන පෞද්ගලික උනන්දුව අපට නියම වටිනාකමක් ලබා දෙයි. අප අයිති දෙවිටයි. (මතෙව් 10:29-31) අනෙක් අතට, අපද දෙවිට ප්‍රේම කරන නිසා අපට සතුටු විය හැකියි. මන්ද “යමෙක් දෙවිට ප්‍රේම කරන්නේ නම්, දෙවි ඔහුව දන්නේය” කියා බයිබලයේ පවසන බැවිනි. (1 කොරින්ති 8:3) මේ අනුව, ක්‍රිස්තියානීන් වශයෙන් අපට හොඳ නාමයක්ද පැහැදිලි මඟ පෙන්වීමක්ද තිබේ.

[පාදසටහන]

^ 4 ඡේ. මෙම වචනවලින් අඟවන්නේ යෙරුසලමේ කන්ද උඩ පිහිටි දේවමාලිගාවේ සේවය කළ නිලධාරියෙකුගේ සේවා කටයුතුවලට විය හැකියි. ඔහු රාත්‍රි යාමයේදී දේවමාලිගාව වටා ගොස් එක් එක් මුරපොලවල සිටින ලෙවී මුරකරුවන් අවදිව හෝ නිදා සිටිනවාදැයි පරීක්ෂා කර බැලීය. යම් මුරකරුවෙක් නිදාගෙන සිට අසු වේ නම්, ඔහුට කෝටුවකින් තළනු ලැබූ අතර ඊට දඬුවම වශයෙන් ඔහුගේ පිටත සළුව පුලුස්සා දමන ලදි. මුරකරුවාට එය මහත් ලජ්ජාවක් විණි.

ඔබට මතකද?

• අප ක්‍රිස්තියානීන් බව නිතරම මතකයේ තබාගැනීම වැදගත් වන්නේ මන්ද?

• අප ක්‍රිස්තියානීන් බව අපටම තහවුරු කරගත හැක්කේ කෙසේද?

• සතුටු කරන්නේ කාවද යන ප්‍රශ්නයේදී හරි තීරණය ගැනීමට අපට උපකාර වන්නේ කිනම් සාධකද?

• අප ක්‍රිස්තියානීන් බව නිතරම මතකයේ තබාගැනීම අපේ අනාගතයට බලපාන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩකටයුතුවල උද්‍යෝගයෙන් හවුල් වන විට අපගේ ක්‍රිස්තියානි ගුණාංග තවත් ඔප් නැංවේ