Skip to content

පටුනට යන්න

‘ඔබට යම් දෙයක් කරන්නැයි අණ කළහොත් ඔබ කරන්නේ කුමක්ද?’

‘ඔබට යම් දෙයක් කරන්නැයි අණ කළහොත් ඔබ කරන්නේ කුමක්ද?’

‘ඔබට යම් දෙයක් කරන්නැයි අණ කළහොත් ඔබ කරන්නේ කුමක්ද?’

“ඔය කරන දේ දැන් නවත්තනවා. ඇවිල්ලා මේ ගෝනිය උස්සගෙන යනවා.” මේ අන්දමින් පළමු සියවසේ රෝම හේවායෙක් වැඩක් කරමින් සිටි යුදෙව්වෙකුට කෑ ගසා අණ කළා නම් යුදෙව් ජාතිකයා කුමක් කරන්නට ඇද්ද? සිය කන්ද උඩ දේශනාවේදී යේසුස් මෙසේ කීවේය. “යම් නිලධාරියෙකු එක සැතැප්මක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතැප්ම දෙකක් යන්න.” (මතෙව් 5:41) යේසුස්ට සවන් දෙමින් සිටි පිරිස එම උපදෙස තේරුම්ගත්තේ කෙසේද? තවද අද දිනට එම උපදෙස අදාළ වන්නේ කෙසේද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට නම්, අප ඉපැරණි කාලවල මිනිසුන් ලවා බලෙන් වැඩගත් අයුරු ගැන දැනගත යුතුයි. යේසුස්ගේ කාලයේ ඊශ්‍රායෙල් දේශයේ විසූ අයට නම් බලෙන් වැඩ ගැනීම සාමාන්‍ය දෙයක් විය.

බලෙන් වැඩ ගැනීම

මැද පෙරදිග රටවල බලෙන් වැඩ ගැනීම ක්‍රි.පූ. 18වන සියවසේදී පවා පැවති බවට සාක්ෂි තිබේ. ඉපැරණි සිරියානු නගරයක් වූ අලලෙක් නමැති නගරයෙන් සොයාගත් රාජ්‍ය ලිපි ලේඛනවලට අනුව එවකට පැවති ආණ්ඩුව විසින් යම් පිරිසක්ව පෞද්ගලික වැඩකටයුතු කරගැනීම සඳහා බලෙන් බඳවාගනු ලැබූ බව පෙනී යයි. සිරියානු මුහුදු තීරයේ උගරිට් යන නගරයේද අඳගොවීන්ව ඒ හා සමාන වැඩවලට බලෙන් යොදාගනු ලැබූ අතර, ඉන් ඔවුන්ට නිදහස් වීමට අවකාශ තිබුණේ රාජ නියෝගයක් ලැබුණොත් පමණි.

ඇත්තෙන්ම පරාජය කරනු ලැබූ හෝ අල්ලාගනු ලැබූ ජනයාගෙන් බොහෝවිට බලෙන් වැඩ ගනු ලැබිණි. ඊජිප්තුවේ වැඩ බැලූ මුලාදෑනීහු ඊශ්‍රායෙලිතයන්ව වහල් වැඩට යොදවා ඔවුන් ලවා ගඩොල් සාදවාගත්හ. පසුව ඊශ්‍රායෙලිතයන් කානාන් දේශයේ වැසියන් ලවා පොරොන්දු දේශයේදී වහල් වැඩ ගත් අතර දාවිත්ගේ සහ සලමොන්ගේ කාලයේදී පවා මෙම සිරිත පැවතියේය.—නික්මයාම 1:13, 14; 2 සාමුවෙල් 12:31; 1 රාජාවලිය 9:20, 21.

ඊශ්‍රායෙලිතයන් රජෙකුව ඉල්ලා සිටි විට එම රජගේ අණසකට කීකරු වීමට ඔවුන්ට සිදු වන බව සාමුවෙල් පැහැදිලි කළේය. රජ තමාගේ යටත්වැසියන්ව, රථ දක්කන්නන් සහ අසරුවන් හැටියට යොදාගනු ඇති අතර ඔවුන්ව කෙත් වතු හෑමට හා අස්වැන්න නෙළීමටද, ආයුධ සෑදීම වැනි වැඩ සඳහාද යොදාගනු ඇති බව සාමුවෙල් කියා සිටියේය. (1 සාමුවෙල් 8:4-17) කෙසේවෙතත් යෙහෝවාට නමස්කාර කිරීම සඳහා දේවමාලිගාව සාදන කාලයේදී විදේශීන්ගෙන් බලෙන් වහල් වැඩ ගනු ලැබූ අතර, “[සලමොන්] ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් වහලුන් නොගත්තේය. ඔවුහු යුද්ධකාරයෝද ඔහුගේ මෙහෙකරුවෝද අධිපතියෝද සේනාපතීහුද ඔහුගේ රථ සහ අසරුවන්ට ප්‍රධානියෝද වූහ.”—1 රාජාවලිය 9:22.

ගොඩනැඟිලි ව්‍යාපෘතිවලට ඊශ්‍රායෙලිතයන්ව යොදාගැනීම ගැන 1 රාජාවලිය 5:13, 14හි අපට මෙසේ කියවීමට තිබේ. “සලමොන් රජ මුළු ඊශ්‍රායෙල් සෙනඟගෙන් රාජකාරිය පිණිස මිනිසුන් ගත්තේය; ගනු ලැබූ මනුෂ්‍යයෝ තිස්දාහක්ය. ඔහු ඔවුන් වාර පිළිවෙළින් මාසයකට දහදාහක් බැගින් ලෙබනොන්ට යැවීය. ඔවුහු එක් මසක් ලෙබනොන්හිද දෙමසක් ගෙදරද සිටියෝය.” මේ සම්බන්ධයෙන් එක් විශාරදයෙක් මෙසේ කියයි. “ඊශ්‍රායෙල් රාජ්‍යයේ සහ යූදා රාජ්‍යයේ රජවරුන්, ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘතිවල මෙන්ම රජුගේ ඉඩකඩම්වල වැඩ සඳහා කුලියක් නොගෙවා යම් පිරිසකගෙන් වැඩ ගත් බවට සාක්ෂි ඇත.”

සලමොන්ගේ පාලනය යටතේ මෙලෙස බර වැඩ ගැනීම නිසා ජනයා බොහෝ සෙයින් පීඩා වින්දෝය. එම වැඩවලින් ජනයාට මොන තරම් පීඩනයක් ඇති වූවාද කියතොත්, බර වැඩ ගැනීම තවත් වැඩි කරනවායයි සලමොන්ගේ පුත් රෙහොබොවම් ජනයාට තර්ජනය කළ විට, සියලු ඊශ්‍රායෙලිතයෝ කැරලි ගසා ඔවුන් ලවා වැඩ ගැනීමට පත් කළ නිලධාරියාට ගල් ගසා මරා දැමුවෝය. (1 රාජාවලිය 12:12-18) එහෙත් වහල් වැඩ ගැනීමේ ක්‍රමය අවසන් වූයේ නැත. රෙහොබොවම්ගේ මුණුපුරා වූ ආසා රජ ගෙබා සහ මිෂ්පා නගර ගොඩනැඟීම සඳහා යූදා මුළුල්ලේ සිටි සැමදෙනාවම කැඳවූ අතර, “කිසිවෙකු අත් නොහැර” ඒ සඳහා යෙදවීය.—1 රාජාවලිය 15:22.

රෝම පාලනය යටතේ

පළමු සියවසේ විසූ යුදෙව්වන් තමන් ලවා බලෙන් වැඩ ගැනීම අද්දැක තිබූ බව කන්ද උඩ දේශනාවේ යේසුස් පැවසූ දෙයින් පෙනේ. බලෙන් වැඩ ගැනීම නමැති අදහස පරිවර්තනය කර ඇත්තේ අන්ගාරෙඕ යන ග්‍රීක් වචනයෙනි. මෙහි මුල් තේරුම සම්බන්ධ වී තිබෙන්නේ පර්සියානු රාජ දූතයන්ටය. මේ අයට තමන්ගේ රාජකාරිය කිරීම සඳහා මිනිසුන්ව, අශ්වයන්ව හෝ නැව් යොදවා වැඩ ගැනීමට බලතල දී තිබිණි.

යේසුස් විසූ කාලයේද ඊශ්‍රායෙල් දේශය රෝම අධිරාජ්‍යය මගින් පාලනය කරනු ලැබූ අතර, රෝමයද ඒ හා සමාන ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් සිටියේය. මැද පෙරදිග ප්‍රාන්තවල සාමාන්‍ය බදු අය කරනවාට අමතරව නිතර නිතර හෝ විශේෂ අවස්ථාවලදී මහජනයා ලවා බලෙන් වැඩ ගැනීම සිරිතක් විය. ඒ අන්දමින් වැඩ ගැනීම මහජනයා ඉතා පිළිකුල් කළ බව නොකිවමනාය. එපමණක්ද නොව, සතුන්ව, රිය පදවන්නන්ව හෝ කරත්ත අනවසරයෙන් අල්ලාගෙන රජයේ බඩු භාණ්ඩ එහා මෙහා ගෙන යෑමත් සිදු විණි. මයිකල් රොස්ටෝව්ට්සෙෆ් නමැති ඉතිහාසඥයා සඳහන් කරන පරිදි, පාලකයන් “මෙම ක්‍රමය වඩාත් විධිමත් කරන්නට උත්සාහ කළද ඉන් කිසිදු පලක් වූයේ නැත. මහජනයාගෙන් බලෙන් වැඩ ගැනීමේ මෙම පුරුද්ද කොතරම් කල් පැවතියාද ඒ තරමටම ඉන් ඇති වුණු ප්‍රතිඵල කටුකය, අමිහිරිය. මෙම ක්‍රමයේ ගැබ්ව තිබූ අසාධාරණකම වෙනස් කරන්නට ඉපැරණි රෝමයේ පාලකයන් අවංක ලෙස උත්සාහ කළද, මෙම ක්‍රමය තුළම ගැබ් වී තිබුණේ පීඩාව සහ කෲරකමයි. . . . එම ක්‍රමය වෙනස් නොවී එලෙසම පැවතිණි.”

“හමුදාවට අයත් බඩු තොගයක් යම්කිසි ස්ථානයකට රැගෙන යන ලෙස ඕනෑම කෙනෙකුට බල කරනු ලැබිය හැකියි. රෝම හේවායන් විසින් බල කරනු ලැබූ ඕනෑම වැඩක් කිරීමට රෝම යටත්වැසියෙකුට සිදු විය.” මෙසේ පවසන්නේ එක් ග්‍රීක් විශාරදයෙකි. යේසුස්ගේ වධ කණුව රැගෙන යන ලෙසයට රෝම හේවායන් විසින් සීමොන් නම් සිරේනියේ මනුෂ්‍යයාට ‘අණ කිරීම’ මීට හොඳ උදාහරණයකි.—මතෙව් 27:32.

මහජනයාගේ අප්‍රසාදයට ලක් වූ මෙම බලෙන් වැඩ ගැනීමේ ක්‍රමය ගැන යුදෙව් ආගමික නායකයන්ගේ පොත් පත්වලද සඳහන් වේ. නිදසුනක් වශයෙන් එක් යුදෙව් ආගමික නායකයෙකුව අල්ලාගෙන, එක්තරා දැව වර්ගයක් මාලිගයකට රැගෙන යන ලෙස බල කරනු ලැබිණි. ඇත්තෙන්ම ඕනෑම වැඩක් කරගැනීමට කුලීකරුවන්ව ඔවුන්ගේ ස්වාමිවරුන්ගෙන් බලෙන් ගැනීමට හැකියාව තිබිණි. එසේ කළත් ස්වාමිවරුන්ට එම කුලීකරුවන්ට වේතනයක් ගෙවීමටද සිදු විය. බර අදින සතුන්ව හෝ ගවයන්වද අල්ලාගනු ලැබිණි. එම සතුන්ව නැවත අයිතිකරුවන්ට භාර දුන්නත්, එම සතුන් කොතරම් දුර්වල වී සිටියාද කියතොත් නැවතත් එම සතුන්ගෙන් කිසිදු වැඩක් ගැනීමට ඔවුන්ට නොහැකි විය. මේ අනුව දේපොළක් බලධාරීන් විසින් බලෙන් පැහැරගනු ලැබීම එය රාජසන්තක කිරීමක් ලෙසට මහජනයා විසින් සලකනු ලැබීමට හේතුව ඔබට දැන් තේරුම්ගත හැකිද? එක් යුදෙව් ආප්තෝපදේශයක මෙසේ සඳහන් වී තිබේ. “දේපොළ බලෙන් අල්ලාගැනීම හරියට මරණය ගෙන දුන්නා මෙනි.” එක් ඉතිහාසඥයෙකු පවසන්නේ “බර ඇදීම සඳහා බර අදින සතුන් වෙනුවට සීසාන ගොනුන්ව පැහැරගෙන යෑම නිසා ගම්මානයක් සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකි” බවයි.

මෙලෙස බලෙන් වැඩ ගැනීම මහජනයා කොතරම් පිළිකුල් කළාද කියා ඔබට සිතාගත හැකිද? බොහෝවිට එවැනි අවස්ථාවලදී මිනිසුන්ට ඉතා කෲර ලෙස සහ අසාධාරණ ලෙස සලකන ලදි. තමන්ව යටත් කරගෙන සිටි ඒ විදේශීය පාලකයන් එලෙස තමන්ගෙන් අසීරු වැඩ ගැනීම නිසා යුදෙව්වෝ එම පාලකයන්ට වෛර කළෝය. මෙවැනි වැඩ ගැනීම සඳහා යම් පුරවැසියෙකුට කොතරම් බලපෑම් කළ හැකිද යන්න ගැනත් කිසිදු ලිඛිත නීතියක් සොයාගන්නට නැත. මේ නිසා තමන්ට පැවරූ වැඩයට වඩා වැඩියෙන් කිරීමට බොහෝදෙනෙකු කැමති නොවූ බව පෙනෙන්නට තිබේ.

එහෙත් යේසුස් මේ ගැන පැවසුවේ මෙයයි. “යම් නිලධාරියෙකු එක සැතැප්මක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතැප්ම දෙකක් යන්න.” (මතෙව් 5:41) මෙය ඇසූ ඇතැම්හු යේසුස්ගේ මෙම වදන් අසාධාරණ බව සිතුවා විය යුතුයි. ඇත්තටම යේසුස් මෙම වචනවලින් අදහස් කළේ කුමක්ද?

ක්‍රිස්තියානීන්ට මෙය අදාළ වන අන්දම

යේසුස් තමන්ට සවන් දුන් අයට කියා සිටියේ කුමක්ද? සරලව පැවසුවහොත් බලධාරීන් තමන්ට යම් නීත්‍යනුකූල සේවාවක් සපයන ලෙසට බල කර සිටියහොත් කිසිම නුරුස්සන ස්වභාවයකින් තොරව කැමැත්තෙන් එය කළ යුතු බවයි. මෙසේ ඔවුන් “සීසර්ගේ දේ සීසර්ට” දෙනවා ඇත. නමුත් ඔවුන් තමන් ‘දෙවිගේ දේ දෙවිට දීමටද’ අමතක නොකළ යුතුය.—මාක් 12:17. *

ප්‍රේරිත පාවුල්ද ක්‍රිස්තියානීන්ට අවවාද කළේ මෙලෙසයි. “සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට යටත් වන්න. මන්ද, දෙවිගෙන් මිස වෙන කිසි අධිකාරියක් නැත. දැන් සිටින බලධාරීන්ට හිමි සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවි විසිනි. එබැවින්, අධිකාරියට විරුද්ධ වන්නා දෙවිගේ විධිවිධානයට විරුද්ධව සිටින්නේය. . . . නමුත් ඔබ නපුර කරන්නේ නම්, බිය වන්න. මන්ද එය නිකරුණේ කඩුව නොදරයි.”—රෝම 13:1-4.

මේ අනුව යම් රටක යටත් වැසියන් නීති කඩ කරන විට ඔවුන්ට දඬුවම් කිරීමට අයිතියක් රජෙකුට හෝ ආණ්ඩුවකට තිබෙන බව යේසුස් මෙන්ම පාවුල්ද පිළිගත්තේය. දඬුවම් ලැබිය හැකි අයුරු ගැන ක්‍රි.ව. පළමු සහ දෙවන සියවස්වල විසූ ග්‍රීක් දර්ශනවාදියෙකු වූ එපික්ටීටස් මෙසේ පැහැදිලි කරයි. “හදිසි නියෝගයක් නිකුත් වී සොල්දාදුවෙක් ඔබට අයිති බුරුවාව ගෙන ගියහොත් ඊට ඉඩහරින්න. එයට එරෙහි නොවන්න. මැසිවිලි නොකියන්න. එසේ කළහොත් ඔබට පහර කන්නට වෙනවා පමණක් නොව ඔබේ බූරුවාවද ඔබට නැති වේවි.”

එහෙත් අතීතයේදී මෙන්ම වර්තමානයේදීද තම හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරන ක්‍රිස්තියානීන්ට හැඟී ගොස් තිබෙන්නේ යම් අවස්ථාවලදී තමන්ට ආණ්ඩුවේ නියෝගවලට කීකරු විය නොහැකි බවය. මේ නිසා ඔවුන්ට දැඩි දඬුවම් විඳින්නට සිදු වී තිබේ. ඇතැම් ක්‍රිස්තියානීන් මරණ දඬුවම පවා ලබා ඇත. තවත් අය තමන්ගේ ක්‍රිස්තියානි ස්ථාවරය බිඳෙන ක්‍රියාවල නියැලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට වසර ගණනාවකට සිර දඬුවම් පවා විඳීමට සිදු වී තිබේ. (යෙසායා 2:4; යොහන් 17:16; 18:36) එහෙත් වෙනත් අවස්ථාවලදී ආණ්ඩුව තමන්ගෙන් ඉල්ලා සිටින දේ කිරීමට තමන්ට හැකි බව ක්‍රිස්තියානීන්ට පෙනී ගොස් ඇත. නිදසුනක් වශයෙන් තම රටේ ආණ්ඩුව මගින් ප්‍රජාවගේ යහපත උදෙසා යම් යම් සේවාවන්හි නියැලීමට කරන ඉල්ලීමට එකඟ විය හැකි බව ඇතැම් ක්‍රිස්තියානීන් තම හෘදය සාක්ෂියට එකඟව තීරණය කර ඇත. වයස්ගත හෝ ආබාධිතයන්ව බලාගැනීම, ගිනි නිවන හමුදාවල වැඩ කිරීම, උද්‍යානවල, වනාන්තරවල හෝ පුස්තකාලවල යම් යම් කාර්යයන් ඉටු කිරීම මීට ඇතුළත්ය.

රටින් රටට තත්වයන් වෙනස්ය. එමනිසා ක්‍රිස්තියානීන්ට කළ හැකි හෝ කළ නොහැකි සේවාවන් මොනවාද කියා තීරණය කිරීමේදී එක් එක් පුද්ගලයා බයිබලයේ මඟ පෙන්වීම් සැලකිල්ලට ගනිමින් තම හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතුයි.

තවත් සැතපුමක් යෑම

නීත්‍යනුකූලව අපෙන් ඉල්ලා සිටින ඕනෑම දෙයක් කැමැත්තෙන් කරන ලෙසට යේසුස් ඉගැන්වූ ප්‍රතිපත්තිය, ආණ්ඩුවේ නීති රීතිවලට පමණක් නොව අන්‍යයන් සමඟ එදිනෙදා කටයුතු කරන විටද අදාළ වේ. නිදසුනක් වශයෙන් ඔබට වඩා ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක් ඔබට යම් වැඩක් පැවරුවායයි සිතන්න. ඒ දේ කිරීමට ඔබ අකමැති විය හැකියි. එහෙත් ඔබට පවරා ඇති වැඩය කිරීම දෙවිගේ නීතියට පටහැනි නැත්නම් ඔබ කරන්නේ කුමක්ද? ඒ තැනැත්තා අසාධාරණ ලෙස ඔබේ කාලයෙන් හා ශ්‍රමයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනවායයි ඔබට හැඟුණොත් ඔබ තරමක් කුපිතව ක්‍රියා කරන්නට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ දෙදෙනා අතර යම් අමනාපයක් ඇති විය හැකියි. අනෙක් අතට, ඔබ ඊට එකඟ වන්නේ හිතේ තරහක් තබාගෙන නම්, ඔබේ සිතේ සාමය නැතිව යාවි. කුමක්ද විසඳුම? යේසුස් කළාක් මෙන් කරන්න. තවත් සැතපුමක් යන්න. එනම් ඔබට පවරා ඇති වැඩය පමණක් නොව ඊටත් වඩා වැඩියෙන් වුවත් කරන්න. ඒ දේ කැමැත්තෙනුත් කරන්න. ඔබ කැමැත්තෙන්ම ඒ දේ කරනවා නම් ඔබෙන් යමෙක් අයුතු ප්‍රයෝජන ගන්නා බවක් ඔබට හැඟෙන්නේ නැත.

“වැඩිදෙනෙකු දේවල් කරන්නේ ඔවුන් ඒවා කළ යුතු නිසාමයි. එවැනි අයට ජීවිතය කටුක අද්දැකීමකි. ඔවුහු නිතරම වෙහෙසට පත් වී සිටිති. තව පිරිසක් අනුන් සඳහා දේවල් කරන්නේ කරන්න ඕනෑ නිසා නොව, තමන්ගේ කැමැත්තෙනි, ආශාවෙනි.” මෙසේ පැවසුවේ එක්තරා කර්තෘවරයෙකි. මින් අදහස් කරන්නේ සෑම කෙනෙකුටම යම් තේරීමක් කිරීමට සිදු වන බවයි. එනම් කළ යුතු දේ පමණක් ඔහු කරනවාද නැත්නම් කැමැත්තෙන් වැඩියෙන් කරනවාද යන්නයි. කළ යුතු දේ පමණක් කරන තැනැත්තා නිතරම බලන්නේ තම අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමටය. කැමැත්තෙන් වැඩියෙන් කරන පුද්ගලයා ජීවිතයෙන් වැඩි තෘප්තියක් ලබයි. ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ කරන දේවල් නිකම්ම යුතුකමක් හෝ කරන්නට සිදු වන නිසා කරනවාට වඩා ඔබේ කැමැත්තෙන්ම ආශාවෙන්ම කරනවා නම් ඔබ ඉන් ලබන සතුට මහත්ය.

ඔබ යම් නිලතල දරන පුද්ගලයෙක් නම්, ඔබ මේ සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද? ඔබ යම් පුද්ගලයෙකු ලවා යම් දෙයක් බලෙන් කරවාගැනීමට උත්සාහ කරන්නෙහි නම් එය ප්‍රේමණීය ක්‍රියාවක්වත් ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟ ක්‍රියාවක්වත් නොවේ. “ජාතීන්ගේ පාලකයන් ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වන බවත්, උත්තමයන් ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පතුරුවන බවත්” යේසුස් කීවේය. නමුත් මෙය ක්‍රිස්තියානි ක්‍රමය නොවේ. (මතෙව් 20:25, 26) ඕනෑම කෙනෙකුට දැඩි නීති රීති දමා වැඩ ගැනීමට පුළුවන. නමුත් යමක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින විට, එම ඉල්ලීම ගෞරවයෙන් භාරගෙන ප්‍රීතියෙන් ඉටු කරයි නම්, කොයිතරම් කදිම සුහදතාවක් එකිනෙකා අතර ඇති වෙයිද! එසේය සැතපුමක් වෙනුවට දෙකක් යෑමට කැමති වීමෙන් ඔබේ ජීවිතයට සැබෑ තෘප්තියක් ලැබෙනවා නොඅනුමානය.

[පාදසටහන]

^ 18 ඡේ. “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද දෙන්න” යන්නෙහි අර්ථය ගැන දැනගැනීමට 1996 මැයි 1වන දා මුරටැඹ කලාපයේ 15-20 දක්වා පිටු බලන්න.

[25වන පිටුවේ කොටුව]

අතීතයේදී මිනිසුන්ගෙන් බලෙන් වැඩ ගත් අන්දම

මිනිසුන්ගෙන් බලෙන් වැඩ ගැනීම ඈත අතීතයේ සිටම සිදු වූ අසාධාරණ ක්‍රියාවක් බව පෙනී යන්නේ එවැනි අසාධාරණකම් අවම කිරීමේ අරමුණින් බොහෝ නීති සම්පාදනය කිරීම මගිනි. උදාහරණයකට ක්‍රි.පූ. 118දී ඊජිප්තුවේ දෙවන ටොලමි යුවර්ජීටිස් රජ තම නිලධාරීන්ට අණ කළේ මෙසේය. “ඔබේ පෞද්ගලික වැඩ කරගැනීම සඳහා පුරවැසියන්ව හෝ සතුන්ව බලෙන් යොදා නොගත යුතුය. කවර හේතුවකට වුවත් පෞද්ගලික දේවල් කරගැනීම සඳහා නැව් ආදී රජයේ සම්පත් භාවිතයට නොගත යුතුය.” ඊජිප්තුවේ ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක ක්‍රි.ව. 49දී කළ සෙල් ලිපියක සඳහන් වූයේ රෝම සෙබළුන් මෙවැනි දේවල් නීති විරෝධී ලෙස කළ බවයි. එමනිසා රෝම ආණ්ඩුකාර වර්ජිලියස් කපීතෝ තමාගේ අනුදැනුමෙන් තොරව කිසිම කෙනෙකුගෙන් බලෙන් වැඩ ගැනීම තහනම් කළ බවට එහි තවදුරටත් සඳහන් වේ.

[24වන පිටුවේ පින්තූරය]

සිරේනියේ සීමොන් සේවය කිරීමට අණ ලැබීය

[26වන පිටුවේ පින්තූරය]

තම ක්‍රිස්තියානි ස්ථාවරය රැකගැනීම නිසා බොහෝ සාක්ෂිකරුවන් සිර දඬුවම් විඳ තිබේ