Skip to content

පටුනට යන්න

ඔබ ක්‍රිස්තියානියෙකු වීම ගැන ආඩම්බර වන්න!

ඔබ ක්‍රිස්තියානියෙකු වීම ගැන ආඩම්බර වන්න!

ඔබ ක්‍රිස්තියානියෙකු වීම ගැන ආඩම්බර වන්න!

“ආඩම්බරයෙන් කතා කරන්නා, යෙහෝවා තුළ ආඩම්බරයෙන් කතා කරාවා!”—1 කොරින්ති 1:31.

1. අද දින ආගම කෙරෙහි බොහෝදෙනෙකුට තිබෙන්නේ කෙබඳු ආකල්පයක්ද?

මෑතකදී එක්තරා විචාරකයෙක් ආගම් ගැන යම් විවරණයක් කළේය. ඔහු කියා සිටියේ බොහෝදෙනෙක් තමාගේ ආගම ගැන එතරම් උනන්දුවක් නොදක්වන බවයි. ඔහු මෙසේද කීය. “අද දින ආගම් අදහන බොහෝදෙනෙකුට තමන්ගේ ආගම ගැන එතරම් තැකීමක් නැත.” බොහෝදෙනා “දෙවියන්ව විශ්වාස කළත්, . . . ඔවුන්ගේ ජීවිතවල දෙවියන්ට තැනක් නැත” යයි ඔහු තවදුරටත් පැවසීය.

2. (අ) ජනයා ආගම් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම ගැන පුදුම නොවිය යුත්තේ මන්ද? (ආ) එබඳු ස්වභාවයක් සැබෑ ක්‍රිස්තියානීන්ට අන්තරායක් වන්නේ මන්ද?

2 මිනිසුන් ආගම් කෙරෙහි දක්වන නොසැලකිල්ල ගැන බයිබලය අධ්‍යයනය කරන අය පුදුම වෙන්නේ නැත. (ලූක් 18:8) ඇරත්, ආගම් කෙරෙහි මිනිසුන් තුළ මෙවන් ආකල්පයක් ඇතිවීම අපේක්ෂා කිරීමට පුළුවන. මීට හේතුව නම් බොරු ආගම් මේ දක්වා කර තිබෙන්නේ මිනිස් වර්ගයාව නොමඟ යැවීමයි. (එළිදරව් 17:15, 16) එහෙත් ආගම් කෙරෙහි මිනිසුන් මෙවන් ආකල්පයක් දැරීම ලොව පුරා දක්නට තිබෙන නිසා, සැබෑ ක්‍රිස්තියානීහුද යම් තර්ජනයකට ලක්ව සිටිති. කෙසේවෙතත් අප අපේ ආගම ගැන උනන්දු විය යුතුයි. අපගේ දෙවිට සේවය කිරීම සඳහා තිබෙන උනන්දුව නැති වෙන්නට ඉඩහැරියොත් සහ බයිබලයෙන් අප ඉගෙනගත් සත්‍යය කෙරෙහි අප තුළ දැල්වෙන උද්‍යෝගී ස්වභාවය නිවෙන්නට ඉඩහැරියහොත් ප්‍රතිඵල කනගාටුදායක වනු ඇත. යේසුස් මුල් සියවසේ ලවොදිසීයෙහි පිහිටි සභාවේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවමින් කියා සිටියේ ඇල්මැරුණු ස්වභාවයකට පත් නොවන ලෙසටයි. ඔහු මෙසේ කීවේය. ‘ඔබ ශීතලව හෝ උණුසුම්ව හෝ නොසිටින බව මම දනිමි. ඔබ ශීතලව නැත්නම් උණුසුම්ව සිටියා නම් මම කැමැත්තෙමි. ඔබ ඇල් මැරී සිටින්නෙහිය.’—එළිදරව් 3:15-18.

අප කවුරුන්දැයි හඳුනාගැනීම

3. ක්‍රිස්තියානීන්ට ආඩම්බර විය හැක්කේ කිනම් පැතිවලින්ද?

3 බොහෝදෙනෙකු තමන්ගේ ආගම පිළිපදින්නේ නැති බව සත්‍යයකි. ඊට වෙනස්ව ක්‍රිස්තියානීන් වන අපි සැබවින්ම කවුරුන්දැයි පැහැදිලිව වටහාගෙන සිටිමු නම්, අපට අප ගැනම ආඩම්බර විය හැකියි. මන්ද අපි යෙහෝවා දෙවිගේ සේවකයන් සහ ක්‍රිස්තුස්ගේ ගෝලයන් වන්නෙමු. අප කවුරුන්ද කියා බයිබලයේ විස්තර කර ඇත. අප යෙහෝවාගේ “සාක්ෂිකාරයෝය.” “දෙවි සමඟ හවුල් වැඩකරුවෝ වන්නෙමු.” අප අනුන්ට “ශුභාරංචිය” කියා දෙන්නේ ඉතා ඕනෑකමිනි. (යෙසායා 43:10; 1 කොරින්ති 3:9; මතෙව් 24:14) අපි ‘එකිනෙකාට ප්‍රේම කරන්නෙමු.’ (යොහන් 13:34) සැබෑ ක්‍රිස්තියානීහු වනාහි “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව ඇති” පුද්ගලයෝය. (හෙබ්‍රෙව් 5:14) තවද අපි “ලෝකයෙහි ප්‍රදීප ලෙස” කැපීපෙනෙන අය වෙමු. (ෆිලිප්පි 2:15) ‘ජාතීන් අතරේ හැසිරීම ඔබින ලෙස පවත්වන්නේ’ අපයි.—1 පේතෘස් 2:12; 2 පේතෘස් 3:11, 14.

4. යෙහෝවාට නමස්කාර කරන කෙනෙක් සෙසු ලෝකයාට වඩා තමන් වෙනස් පුද්ගලයෙකු බව වටහාගෙන සිටින බව පෙන්වන්නේ කෙසේද?

4 යෙහෝවාට සැබෑ ලෙස නමස්කාර කරන ඔවුහු, තමන් ලෝකයේ සෙසු ජනයාට වඩා වෙනස් වන්නේ කිනම් ආකාරවලින්ද කියා හොඳින් වටහාගෙන සිටිති. ලෝකයේ කොටසක් නොවූ, ඔවුන්ගේ නායකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්, ඔවුන් ගැන පැවසුවේ “ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති” යනුවෙනි. (යොහන් 17:16) ‘මානසික වශයෙන් අන්ධකාරයෙහිද දෙවිගෙන් වූ ජීවනයෙන් ඈත්වද සිටින’ ජාතීන්ගෙන් ඔවුහු වෙන්ව සිටිති. (එෆීස 4:17, 18) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යේසුස්ගේ අනුගාමිකයෝ ‘අභක්තිකකමද ලෞකික ආශාද ප්‍රතික්ෂේප කර, දැන් පවතින සමාජ ක්‍රමය තුළ හොඳ සිහිකල්පනාවෙන්ද ධර්මිෂ්ඨකමින්ද දේවභක්තියෙන්ද යුක්තව ජීවත් වෙති.’—තීතස් 2:12.

5. ‘යෙහෝවා ගැන ආඩම්බරයෙන් කතා කිරීම’ යන යෙදුමෙන් අදහස් කරන්නේ කුමක්ද?

5 අප කවුරුන්දැයි පැහැදිලිව දැනගෙන සිටීම සහ විශ්වයේ පරමාධිපතියාණන් වන යෙහෝවා සමඟ තිබෙන අපගේ සම්බන්ධතාව නිසා ‘යෙහෝවා ගැන ආඩම්බරයෙන් කතා කිරීමට’ අපි පෙලඹෙන්නෙමු. (1 කොරින්ති 1:31) එසේ ආඩම්බරයෙන් කතා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් අපි අපේ දෙවි ලෙස යෙහෝවා දෙවිට නමස්කාර කරන්නට ලැබීම ගැන ආඩම්බර වෙමු. අප අනුගමනය කරන්නේ මෙම අවවාදයයි. “පොළොවේ කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන්නාවූ යෙහෝවා මමයයි දැන ඇඳින කාරණය ගැන [ආඩම්බර වෙන්න, NW]. මක්නිසාද මේ දේට මම ප්‍රිය වෙමියි යෙහෝවා කියන්නේය.” (යෙරෙමියා 9:24) දෙවිව දැනගෙන සිටීම නිසාත් අන්‍යයන්ට උපකාර කිරීම සඳහා ඔහු විසින් අපව යොදාගනු ලැබීම නිසාත් අපි “ආඩම්බර වෙමු.” එය අපට වරප්‍රසාදයකි.

අපට මුහුණ දීමට තිබෙන අභියෝගය

6. ඇතමුන්ට තමන් ක්‍රිස්තියානීන් බව නිතරම සිහියේ තබාගැනීම අභියෝගයක් වී තිබෙන්නේ මන්ද?

6 අප ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ වගකීම් යුතුකම් ගැන නිතරම සිහියේ තබාගෙන සිටීම සෑමවිටම පහසු කාර්යයක් නොවේ. ක්‍රිස්තියානියෙකු ලෙස ඇති දැඩි වූ එක්තරා තරුණයෙක් තමා යම් කලක් ආත්මිකව දුර්වල සිටි බව කියා සිටියේ මෙසේයි. “සමහරක් වෙලාවට මම කල්පනා කළා, ඇයි මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වුණේ කියලා. මම කුඩා කාලයේ ඉඳලාම සිටියේ සත්‍යයයේ. වෙලාවකට මට හිතුණා මේක තවත් පිළිගත් ආගමක් විතරයිද කියලත්.” තවත් සමහරුන් විනෝදාස්වාදයේ, ජනමාධ්‍යයවල හා වත්මන් හිතුවක්කාර ආකල්පවල බලපෑමට හසුවීම නිසා තමන්ගේ ක්‍රිස්තියානි ආකල්ප හා ප්‍රතිපත්ති වෙනස් කරගෙන තිබේ. (එෆීස 2:2, 3) තවත් සමහර ක්‍රිස්තියානීන්ගේ සිත්වල යම් යම් සැක පහළ වී, තමන්ගේ ප්‍රතිපත්ති සහ තමන්ගේ ඉලක්ක ගැන නැවත සිතා බලන්නට ඔවුන් වරින් වර පෙලඹී තිබේ.

7. (අ) දෙවිගේ සේවකයන් කළ යුත්තේ කුමන ආකාරයේ ආත්ම සෝදිසියක්ද? (ආ) මෙහිදී පරෙස්සම් විය යුත්තේ කුමක් ගැනද?

7 යමෙක් තමාවම සෝදිසි කරගැනීම වැරදි දෙයක්ද? නැත. ප්‍රේරිත පාවුල්ද ක්‍රිස්තියානීන්ට තමන්වම සෝදිසි කරගන්නා මෙන් අවවාද කළ බව ඔබට මතක් වෙනවා ඇති. ඔහු කීවේ මෙසේයි. “ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි නොකඩවා පරීක්ෂා කර බලන්න. ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න.” (2 කොරින්ති 13:5) පාවුල් මෙහිදී උනන්දු කළේ කෙනෙකු තුළ තිබිය හැකි දුර්වලකම් මොනවාදැයි සොයාගැනීමට තමන්වම සෝදිසි කරගන්නා ලෙසයි. එහි අරමුණ එවැනි දුර්වලකම් හඳුනාගෙන ඒවා හරිගස්සා ගැනීමට පියවර ගැනීමය. තමා නියම ක්‍රිස්තියානියෙක්දැයි කියා කෙනෙක් තමන්වම පරීක්ෂා කරගැනීමේදී, ඔහු තමාගේ කතා බහ සහ හැසිරීම තමා විශ්වාස කරන දේට එකඟව තිබෙනවාදැයි සෝදිසි කර බැලිය යුතුයි. නමුත් මෙම සෝදිසි කිරීම වැරදි විදිහටද කළ හැකියි. එය නම් යෙහෝවා සමඟ හෝ ක්‍රිස්තියානි සභාව සමඟ හෝ තිබෙන අපේ සම්බන්ධතාවන් අමතක කර දමා, ලෝකයේ ඇස්වලින් අප අපවම සෝදිසි කිරීමයි. එය ඉතා භයානකය. * මන්ද එය අපේ ආත්මික ජීවිතය විනාශ කර දමන්නට පුළුවන. ඇත්තෙන්ම ‘අපගේ ඇදහිල්ල නමැති නැව මුහුදුබත් කරගැනීමට’ අපට කිසිදා වුවමනා නැත.—1 තිමෝති 1:19.

සැක දුරු කරගැනීම

8, 9. (අ) මෝසෙස් තමාගේ හැකියාව ගැන සැක කළේ කෙසේද? (ආ) යෙහෝවා මෝසෙස්ට තිබූ සැක දුරු කළේ කෙසේද? (ඇ) යෙහෝවා දෙන සහතිකයන් ඔබට බලපාන්නේ කෙසේද?

8 ඉඳ හිට සැක ඇති වන ක්‍රිස්තියානීන් තමන් දුර්වල අය බව සිතිය යුතුද? කොහෙත්ම නැත! ඇත්තෙන්ම, එවන් සිතිවිලි තමන්ට පමණක් නොව මීට පෙර විසූ දේවසේවකයන්ටද තිබූ බව දැනගැනීමෙන් එවන් අයට සැනසීම ලබාගත හැකියි. උදාහරණයක් වශයෙන් මෝසෙස් ගැන කල්පනා කරන්න. ඔහු ඇදහිල්ල, පක්ෂපාතකම හා දේවභක්තිය පෙන්වූ සුවිශේෂී පුද්ගලයෙකි. කරන්නට අමාරුයයි ඔහුට පෙනී ගිය එක්තරා කාර්යයක් ඔහුට පවරනු ලැබූ අවස්ථාවේදී ඔහුම ඇසුවේ “මම කවුද” කියායි. (නික්මයාම 3:11) පෙනෙන විදිහට ඔහුගේ සිතේ තිබුණේ, ‘මට නම් ඒක කරන්න බැහැ’ යන අදහසයි. ඔහුට එසේ හැඟුණේ ඔහුගේ පසුබිම නිසා විය හැකියි. ඔහු වහල් ජාතියක කෙනෙක් විය. ඊශ්‍රායෙල්වරුන් කලින් ඔහුව නායකයෙකු හැටියට පිළිගැනීමට කැමති වූයේ නැත. ඔහු කතාවට දක්ෂ පුද්ගලයෙකුද නොවීය. (නික්මයාම 1:13, 14; 2:11-14; 4:10) ඔහු එඬේරෙකු විය. ඊජිප්තු වැසියෝ එඬේර වෘත්තිය පිළිකුල් කළහ. (උත්පත්ති 46:34) මේ අනුව වහල්භාවයේ සිටින්නාවූ දෙවිගේ ජනයාව මුදවාගැනීමට තරම් තමා සුදුසු නැතැයි ඔහුට හැඟීම ගැන පුදුම විය යුතු නැත.

9 යෙහෝවා මෝසෙස්ව ශක්තිමත් කළේ මෙම ප්‍රබල ද්විත්ව පොරොන්දුව ඔහුට දෙමිනි. “මම සැබවින් ඔබ සමඟ සිටින්නෙමි; මා විසින් ඔබ යැවූ බවට මේක ඔබට ලකුණක් වන්නේය; ඊජිප්තුවෙන් පිටතට සෙනඟ ගෙනා කල්හි ඔබ මේ කන්දේදී දෙවිට මෙහෙ කරන්නහුය.” (නික්මයාම 3:12) මෙම කාර්යයට අතගැසීමට අදිමදි කරන තම සේවකයාට දෙවි කියන්නේ දෙවි නිතරම ඔහු සමඟ සිටින බවයි. එපමණක්ද නොව තමාගේ ජනයාව ඔහු අනිවාර්යයෙන්ම මුදවාගන්නා බව යෙහෝවා කියා සිටියේය. සියවස් ගණනාවක් පුරා දෙවි එවැනි පොරොන්දු රාශියක් කර තිබේ. නිදසුනක් වශයෙන් ඊශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශයේ අද්දර සිටින විට යෙහෝවා මෝසෙස් මගින් ඔවුන්ට පොරොන්දු වූයේ මෙයයි. “ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි වූ යෙහෝවා බැවින් ශක්තිමත් වෙන්න. ඉතා ධෛර්යවත් වෙන්න. . . . දෙවි ඔබ දුර්වල වන්ට නොදෙන්නේය. අත් නොහරින්නේය.” (ද්විතීය කතාව 31:6) තවද යෙහෝවා යෝෂුවාට සහතික ලෙස කියා සිටියේ මෙයයි. “ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඔබට විරුද්ධව සිටින්ට කිසිවෙකුටවත් නොහැකි වන්නේය; . . . ඔබ සමඟත් සිටින්නෙමි; ඔබ දුර්වල වන්ට නොදෙන්නෙමි; ඔබ අත් නාරින්නෙමි.” (යෝෂුවා 1:5) තවද ඔහු ක්‍රිස්තියානීන්ට පොරොන්දු වෙන්නේ මෙයයි. “මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) එවන් ප්‍රබල උපකාරයක් අපට තිබීම ගැන අප ක්‍රිස්තියානීන් වශයෙන් කොතරම් ආඩම්බර විය යුතුද!

10, 11. යෙහෝවාට සේවය කිරීමේ වරප්‍රසාදය පිළිබඳ තම ආකල්පය නිවැරදි කරගැනීමට ආසාප්ට උපකාරවත් වූයේ කුමක්ද?

10 මෝසෙස් විසූ කාලයට සියවස් පහකට පමණ පසුව, ආසාප් නමැති භක්තිවන්ත ලෙවීවරයා, ධර්මිෂ්ඨ පුද්ගලයෙකු ලෙස ජීවත් වීමේ කිසිදු පලක් ඇද්දැයි කල්පනා කරමින් තමා තුළ වූ යම් සැකයන් අවංකව ලියුවේය. දෙවිට සේවය කිරීමේදී පරීක්ෂාවලට සහ වැරදි දේ කිරීමට තිබූ පෙලඹීම්වලට මුහුණ දෙන අතරේදී ආසාප් දුටුවේ, දෙවිට අපහාස කළ ඇතමුන් බලයෙන්ද ධනයෙන්ද සමෘද්ධිමත් වන බවයි. ආසාප්ට මෙය බලපෑවේ කෙසේද? “මාගේ පාද ඉවත යන්ට ළං විය. මාගේ අඩි නොලිස්සුවා පමණය. මක්නිසාද මම දුෂ්ටයන්ගේ දියුණුව දුටු කල අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යා වීමි” යයි ඔහු පිළිගත්තේය. යෙහෝවාට නමස්කාර කිරීමෙන් යම් ප්‍රයෝජනයක් ලැබේදැයි ඔහු සැක කරන්නට පටන්ගත්තේය. “සැබවින් මාගේ සිත පවිත්‍ර කිරීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵල විය” යයි ආසාප් සිතීය. “දවස මුළුල්ලේ පීඩාවද . . . ලැබීමි.”—ගීතාවලිය 73:2, 3, 13, 14.

11 ආසාප් තමා තුළ ඇති වූ කැලඹිලි සිතිවිලි සමඟ පොරබැදුවේ කෙසේද? ඔහු එවන් සිතිවිලි යටපත් කරගත්තාද? නැත. ඔහු ඒවා දෙවිට යාච්ඤාවෙන් පැවසූ බව අපට 73වන ගීතිකාවෙන් දැකගත හැකියි. නමුත් ඔහුගේ ආකල්පවල වෙනසක් ඇති වුණේ ඔහු දේවමාලිගාවට ගිය විටයි. එහි සිටින විට ඔහු වෙනත් දෙයක් තේරුම්ගත්තේය. එය නම්, දේවභක්තික ජීවිතයක් ගත කිරීම හොඳම ක්‍රියාමාර්ගය බවයි. යෙහෝවාට සේවය කිරීමේ වරප්‍රසාදය ඔහු යළිත් අගය කරන්නට විය. යෙහෝවා නපුරට ද්වේෂ කරන බවත් නියමිත කාලයේදී දුෂ්ටයන්ට නිසි දඬුවම් දෙන බවත් ඔහු තේරුම්ගත්තේය. (ගීතාවලිය 73:17-19) මෙසේ තම ආකල්ප වෙනස් කරගත් ආසාප්, යෙහෝවාට සේවය කිරීමේ වරප්‍රසාදය නැවතත් ගැඹුරින් අගය කරන්නට පටන්ගත්තේය. ඔහු දෙවිට පැවසුවේ මෙසේයි. “මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත ඇල්ලුවේය. ඔබගේ මන්ත්‍රණයෙන් මට මඟ පෙන්වන්නේය. පසුව තේජසට මා පිළිගන්නේය.” (ගීතාවලිය 73:23, 24) දේවසේවකයෙකු වීම ගැන ආසාප්ට යළිත් මහත් ආඩම්බරයක් දැනිණි.—ගීතාවලිය 34:2.

තමන් කවුදැයි ඔවුහු කිසිසේත් අමතක නොකළහ

12, 13. දෙවි සමඟ තිබූ සම්බන්ධතාව ගැන ආඩම්බර වූ බයිබල් චරිත මොනවාද?

12 අප ක්‍රිස්තියානීන් බව අමතක නොකර සිටීම සඳහා උපකාරවත් වන එක් ක්‍රමයක් නම්, පක්ෂපාත ලෙස සේවය කළ ඇදහිලිවන්තයන් තැබූ ආදර්ශය ගැන අධ්‍යයනය කර ඔවුන්ව අනුකරණය කිරීමයි. ඔවුන්ට කොතරම් බාධක ගැටලු තිබුණද, ඔවුහු දෙවි සමඟ තමන්ට තිබූ සම්බන්ධතාව ගැන ඉතා ආඩම්බර වූහ. යාකොබ්ගේ පුත් යෝසෙප් ගැන සලකා බලන්න. ඔහුගේ තරුණ වියේදීම ඔහුව ඊජිප්තුවට වහලෙකු ලෙස විකුණනු ලැබූ නිසා, තම දේවභක්තික පියාගෙන්ද තමා ප්‍රිය කළ පවුලේ අයගෙන්ද ඈත්වීමට සිදු විය. ඊජිප්තුවේදී ඔහුට දෙවිගේ උපදෙස් කියා දීමට කිසිවෙකු සිටියේ නැත. තවද ඔහුට එහිදී සිදු වුණේ තමා පිළිපැද්ද සදාචාර ප්‍රතිපත්ති හා දෙවි කෙරෙහි තිබූ විශ්වාසය සෝදිසි කළ පරීක්ෂණයකට මුහුණ දීමටයි. කෙසේවෙතත් දෙවිගේ සේවකයෙකු වශයෙන් ඔහුට තමාගේ ස්ථාවරය රැකගැනීමට මහත් වෑයමක් දැරීමට සිදු වූ බව පැහැදිලිය. තවද ඔහු දැන සිටි නිවැරදි ප්‍රතිපත්ති රැකගත්තේය. තම ඇදහිල්ලට තර්ජනයක් වූ පරිසරයක් මැද පවා යෙහෝවාට නමස්කාර කිරීමේ වරප්‍රසාදය ගැන ආඩම්බර වූ ඔහු තමාගේ පැහැදිලි ස්ථාවරය ගැන ප්‍රකාශ කිරීමටද පසුබට වූයේ නැත.—උත්පත්ති 39:7-10.

13 ඊට සියවස් අටකට පසුව සිරියේ හමුදා ප්‍රධානියෙකු වූ නාමන්ගේ වහලියක බවට පත් වූ ඊශ්‍රායෙල් දැරියක්, තමා යෙහෝවාට නමස්කාර කරන කෙනෙකු බව අමතක කළේ නැත. කතා කරන්නට තමාට අවස්ථාව ලැබූ විට, ඇය කළේ සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙකු ලෙස එලිෂාව හඳුන්වා දෙමින් යෙහෝවා වෙනුවෙන් කදිම සාක්ෂියක් දැරීමයි. (2 රාජාවලිය 5:1-19) ඊට අවුරුදු ගණනාවකට පසුව යොෂියා රජ ජීවත් වූයේද ආගමික වශයෙන් පිරිහුණු පරිසරයකය. නමුත් ඔහු ආගමික ප්‍රතිසංස්කරණයන් කර, දෙවිගේ මාලිගාව නැවත අලුත් වැඩියා කර, ජනයාව නැවතත් යෙහෝවාට නමස්කාර කිරීමට පෙලඹවීය. තම ඇදහිල්ල ගැනත් තමාගේ නමස්කාරය ගැනත් ඔහුට යම් ආඩම්බරයක් දැනිණි. (2 ලේකම් 34 සහ 35 පරිච්ඡේද බලන්න.) බැබිලෝනියට ගෙන ගිය හෙබ්‍රෙව් ජාතික දානියෙල් සහ මිතුරෝ තිදෙනා තමන් යෙහෝවාගේ සේවකයන් බව අමතක නොකළෝය. තමන් කෙරෙහි පීඩන හා පරීක්ෂා එල්ල වුවද ඔවුන් කිසිවිටෙකත් තම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. තමන් යෙහෝවාගේ සේවකයන් වීම ගැන ඔවුන් ඉතා ආඩම්බර වූ බවට කිසිදු සැකයක් නැත.—දානියෙල් 1:8-20.

ඔබ ක්‍රිස්තියානියෙකු වීම ගැන ආඩම්බර වෙන්න

14, 15. අප ක්‍රිස්තියානීන් වීම ගැන ආඩම්බර වීමට ඇති එක් හේතුවක් පැහැදිලි කරන්න.

14 දෙවිගේ මෙම සේවකයන් දෙවි ඉදිරියේ තමන් ගත් ස්ථාවරය නිසා ඔවුන්ට හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට හැකි විණි. තවද එය ඔවුන්ට ආඩම්බර වීමට හේතුවක් විය. අප ගැන කුමක් කිව හැකිද? ක්‍රිස්තියානින් වශයෙන් ආඩම්බර වීමට අපට ඇති හේතු මොනවාද?

15 යෙහෝවාගේ ආශීර්වාද සහ අනුමැතිය දිනාගෙන සිටින, ඔහුගේ නාමය දරන ජනතාව අතර සිටීමට ලැබීම ගැන අප කෘතඥපූර්වක විය යුතුය. මෙය අපට ආඩම්බර වීමට එක් මූලික හේතුවකි. තමාට අයිති වන්නේ කවුදැයි දෙවි හොඳින් දන්නා බවට කිසිදු සැකයක් නැත. ආගමික වශයෙන් සෑහෙන වියවුල්කම් තිබූ යුගයක ජීවත් වූ ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “යෙහෝවා තමාට අයිති අය දන්නේය.” (2 තිමෝති 2:19; ගණන් කතාව 16:5) “තමාට අයිති අය” ගැන යෙහෝවා ආඩම්බර වෙයි. තවද ඔහු මෙසේද ප්‍රකාශ කරයි. “ඔබට අතගසන තැනැත්තා [මාගේ] ඇසේ කළුරුවාවට අත ගසයි.” (සෙකරියා 2:8) දෙවි අපට ප්‍රේම කරන බව ඉතා පැහැදිලියි. එසේනම්, ඔහු සමඟ අපට තිබෙන සම්බන්ධය පදනම් විය යුත්තේ ඔහු කෙරෙහි අපට ඇති ගැඹුරු ප්‍රේමය මතය. පාවුල් මෙසේ සඳහන් කළේය. “යමෙක් දෙවිට ප්‍රේම කරන්නේ නම්, දෙවි ඔහුව දන්නේය.”—1 කොරින්ති 8:3.

16, 17. බාල මහලු ක්‍රිස්තියානීන් තමන්ගේ ආත්මික උරුමය ගැන ආඩම්බර විය යුත්තේ මන්ද?

16 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පවුල්වල ඇති දැඩි වූ යෞවනයන් ඉතා වැදගත් මෙම කාරණය ගැන සැලකිලිමත් විය යුතුය. එය නම් දෙවි සමඟ තමාට ඇති පෞද්ගලික සම්බන්ධතාව නිසා තමන්ගේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය තව තවත් ඔප්නැංවෙමින් තිබේද යන්නයි. යෞවනයෙකුගේ දෙමාපියන් ශක්තිමත් ඇදහිල්ලක් ඇති ක්‍රිස්තියානීන් විය හැකියි. එනමුත් සෑම යෞවනයෙකුම පෞද්ගලිකව ඇදහිල්ලක් ගොඩනඟා ගත යුතුයි. දෙවිට සේවය කරන සෑම පුද්ගලයෙකු ගැන පාවුල් ලීවේ මෙසේයි. “ඔහු සිටගෙන සිටියත් වැටුණත් ඒක අයිති ඔහුගේ ස්වාමියාටය.” මේ නිසා, පාවුල් තවදුරටත් කීවේ මෙසේයි. “අප එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දෙනු ඇත.” (රෝම 14:4, 12) එමනිසා දෙමාපියන් කරන දෙය කරන්නන් වාලේ කිරීම නිසාම යෞවනයෙකුට යෙහෝවා සමඟ ඉතා සමීප දීර්ඝ කාලීන සම්බන්ධතාවක් ගොඩනඟා ගත නොහැකි බව පැහැදිලිය.

17 යෙහෝවා දෙවිගේ නාමය දරන සාක්ෂිකරුවෝ ඈත අතීතයේ මෙන්ම අදත් සිටිති. ඔවුන්ගෙන් මුල්ම සාක්ෂිකරුවා වූයේ මීට සියවස් 60කට පමණ පෙර විසූ ඇදහිලිවන්ත ආබෙල්ය. වර්තමානයේද දෙවිගේ නාමය දරන මහත් සමූහයක් සිටිති. ඔව් යෙහෝවාට නමස්කාර කරන සාක්ෂිකරුවන් සේනාවක් අනාගතයේදීත් සිටිනු ඇත. මේ සියල්ලෝම නිම නොවන අනාගතයකට හිමිකම් කියති. (එළිදරව් 7:9; හෙබ්‍රෙව් 11:4) ඇත්තටම අපට තිබෙන්නේ මොන තරම් මහඟු ආත්මික උරුමයක්ද!

18. අපගේ සාරධර්ම සහ ප්‍රමිති ලෝකයෙන් අපව වෙන් කර තබන්නේ කෙසේද?

18 අප ක්‍රිස්තියානීන් හැටියට කැපීපෙනෙන්නේ අපට සුවිශේෂී සාරධර්ම, ගුණාංග හා ප්‍රමිති තිබෙන නිසයි. ජීවිතයේ එකම සැබෑ “මාර්ගය,” එසේය, දෙවිව සතුටු කරන මාර්ගය එයයි. (ක්‍රියා 9:2; එෆීස 4:22-24) ක්‍රිස්තියානීහු ‘සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලා ගනිති.’ (1 තෙසලෝනික 5:21) ක්‍රිස්තියානි මාර්ගය සහ දෙවිගෙන් ඈත් වූ ලෝකය අතර තිබෙන වෙනස ගැන පැහැදිලි අවබෝධයක් අප සතුය. සැබෑ නමස්කාරය හා බොරු වන්දනාව අතර වෙනස පැහැදිලිවම යෙහෝවා අපට පෙන්වා තිබේ. මලාකි නමැති සිය අනාගතවක්තෘවරයා තුළින් යෙහෝවා මෙසේ ප්‍රකාශ කළේය. “[ඔබ] ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවිට මෙහෙ කරන තැනැත්තා සහ ඔහුට මෙහෙ නොකරන තැනැත්තා අතරේද වෙනස දැනගන්නහුය.”—මලාකි 3:18.

19. සැබෑ ක්‍රිස්තියානීන් දැඩි උනන්දුවක් දක්වන්නේ කුමක් ගැනද?

19 වියවුල් වී ඇති මේ ලෝකයේ යෙහෝවා ගැන ආඩම්බරයෙන් කතා කිරීම අප සතු විශේෂ වරප්‍රසාදයකි. අප සතු මෙම වරප්‍රසාදය සහ ක්‍රිස්තියානීන් හැටියට අප දරන නාමය අගය කිරීමට අපට උපකාරවත් වන යෝජනා ඊළඟ ලිපියේ දක්නට ලැබේ. මේවා ගැන සලකා බැලීමේදී ඔබට මේ කරුණ ගැන සහතික විය හැකියි. සැබෑ ක්‍රිස්තියානීන් යනු තමන්ගේ ආගම ගැන සැබවින්ම දැඩි උනන්දුවක් දක්වන අයයි.

[පාදසටහන]

^ 7 ඡේ. මෙහිදී අදහස් කරන්නේ ආත්මික වශයෙන් අප කෙබඳු පුද්ගලයන්ද යන්න සෝදිසි කිරීමකි. යම් අයට මානසික රෝග තිබිය හැකි නිසා සමහරවිට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

ඔබට මතකද?

• ක්‍රිස්තියානීන්ට ‘යෙහෝවා ගැන ආඩම්බර’ විය හැක්කේ කෙසේද?

• මෝසෙස්ගේ හා ආසාප්ගේ ආදර්ශ තුළින් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• තමන් දෙවිගේ සේවකයන් වීම ගැන ආඩම්බර වූ බයිබල් චරිත නම් කරන්න.

• ක්‍රිස්තියානීන් වශයෙන් අප දරන නාමය ගැන ආඩම්බර වීමට තිබෙන හේතු මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූරය]

එක් අවස්ථාවකදී මෝසෙස්ට තමා ගැනම යම් සැක ඇති විය

[15වන පිටුවේ පින්තූරය]

පුරාණයේ විසූ යෙහෝවාගේ සේවකයන් බොහෝදෙනෙක් තමන් දැරූ නාමය ගැන ආඩම්බර වූහ