Skip to content

පටුනට යන්න

ප්‍රාතිහාර්ය සැබෑවක්ද? මිථ්‍යාවක්ද?

ප්‍රාතිහාර්ය සැබෑවක්ද? මිථ්‍යාවක්ද?

ප්‍රාතිහාර්ය සැබෑවක්ද? මිථ්‍යාවක්ද?

පාරේ ගමන් කරමින් සිටි එක්තරා තැනැත්තෙකුගේ නෙත එකවරම ගැටුණේ ඔහු පසු කර ගිය කාරයක පිටුපස බෆරයේ අලවා තිබූ ස්ටිකරයක් වෙතටයි. “ප්‍රාතිහාර්ය ඇත්තයි—ඒවා ගැන දේවදූතයන්ගෙන් අහන්න” යනුවෙන් එම ස්ටිකරයේ මුද්‍රණය කර තිබුණා. ඔහු ආගමට ලැදි කෙනෙක් වුවත් ඉන් අදහස් කළ දේ හරියටම ඔහුට වැටහුණේ නැහැ. මෙම ස්ටිකරයෙන් කියා පෑ අදහස කුමක්ද? එම කාරයේ රියැදුරා ප්‍රාතිහාර්ය ගැන විශ්වාස කළ බවක්ද? නැත්නම් ඔහුට ප්‍රාතිහාර්ය ගැන විතරක් නොවෙයි, දේවදූතයන් ගැන පවා විශ්වාසයක් නැති බව හාස්‍ය උපදවන අන්දමකින් කියා සිටීමක්ද?

ප්‍රාතිහාර්ය ගැන සමාජය තුළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දෙකක් ඇති බව ජර්මානු ජාතික ලේඛක මාන්ෆ්‍රේට් බාර්ටල් පැහැදිලි කරනවා. එක් කොටසක් ප්‍රාතිහාර්යයන් සැබෑවක් ලෙස පිළිගන්නා විට අනෙක් කොටස තරයේ කියා සිටින්නේ ඒවා මිථ්‍යාවක් බවයි. * උදාහරණයක් හැටියට පසුගිය වසර කිහිපය පුරා ග්‍රීසියේ වැසියන්ගේ මතය වූයේ මසකට වරක් හෝ ප්‍රාතිහාර්යයක් සිදු වන බවයි. මේ නිසා ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ බිෂොප්වරයෙක් අවවාද කළේ මෙසේයි. “බැතිමතුන් දැන් දැන් ඕනෑවට වඩා සෑම සුළු දෙයකට වුණත් දෙවියන්ව, මරියාව මෙන්ම සාන්තුවරයන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඔවුන් මෙතරම් අන්තයකට යා යුතු නැහැ.”

ඇතැම් රටවල මිනිසුන්ට මෙම ප්‍රාතිහාර්ය පිළිබඳ එතරම් විශ්වාසයක් නැහැ. වර්ෂ 2002 ජර්මනියේ පළ වූ එක්තරා සමීක්ෂණයකදී පුරවැසියන්ගෙන් සියයට 71ක්ම පැවසුවේ ප්‍රාතිහාර්ය ඇත්තටම සිදු වන දේවල් නොව මිථ්‍යාවන් බවයි. එහෙත් ප්‍රාතිහාර්ය සිදු වන බවට විශ්වාස කරන සියයට 29 අතරින් කාන්තාවන් තුන්දෙනෙකු තරයේ කියා සිටියේ තමන් කන්‍ය මරියාගෙන් පණිවුඩයක් ලැබූ බවයි. දේවදූතයන් පිරිවරාගෙන පරෙවියෙකු සමඟින් මරියා තමන්ට දර්ශනය වූ බව කියා සිටීමෙන් මාස කිහිපයකට පසුව එක්තරා ජර්මානු පුවත්පතක (Westfalenpost) මෙසේ සඳහන් වුණා. “මේ දක්වා සුවය පතා එන පුද්ගලයන් මෙන්ම කුතුහලයෙන් පිරි වන්දනාකරුවන් 50,000ක් පමණ දෙනෙක් මෙම කාන්තාවන් දුටුවායයි කියන දර්ශන ගැන දැඩි උනන්දුවක් දක්වති.” මෙවන් දර්ශන දැකගැනීම සඳහා තවත් 10,000ක් පමණ ගම්මානයට ඇදී එතැයි අපේක්ෂා කෙරෙනවා. කන්‍යා මරියාගේ මෙවැනි දර්ශන 1858දී ප්‍රංශයේ ලූර්දු නගරයේ සහ 1917දී පෘතුගාලයේ ෆැටිමා නගරයේදී දක්නට ලැබුණු බව විශ්වාස කෙරෙනවා.

ක්‍රිස්තියානි නොවන ආගම් අදහන අය ප්‍රාතිහාර්ය විශ්වාස කරනවාද?

සෑම ආගමකම පාහේ ප්‍රාතිහාර්ය සිදු වන බවට උගන්වනු ලබනවා. ආගම් පිළිබඳ එක් විශ්වකෝෂයක (Encyclopedia of Religion) පැහැදිලි කරන්නේ බෞද්ධාගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම යන ආගම්වල කර්තෘවරුන් ප්‍රාතිහාර්ය ගැන විවිධ මත දැරූ බවයි. “මෙම ආගම්වල ඉතිහාසය දෙස බලද්දී පැහැදිලිව පෙනී යන කාරණයක් නම්, ප්‍රාතිහාර්යයන් සහ ප්‍රාතිහාර්ය පිළිබඳ කතා මිනිසාගේ ආගමික ජීවිතයේ ප්‍රධාන කොටසක් වී ඇත” යයි එහි තවදුරටත් සඳහන් වෙනවා. “බුදුන්ද ඇතැම් අවස්ථාවල ප්‍රාතිහාර්ය සිදු කළ” බව මෙම පොතේ සඳහන් වෙනවා. පසුව “බෞද්ධාගම චීනයේ පැතිරී ගිය විට, බෞද්ධ ධර්ම දූතයෝ බොහෝවිට ප්‍රාතිහාර්ය සිදු කළහ.”

සිදු වුණායයි කියැවෙන එවන් ප්‍රාතිහාර්ය ගැන කතා කරන එම විශ්වකෝෂයේ නිගමනය මෙයයි. “ආගමික බැතිමතුන් ප්‍රචාරය කරන ප්‍රාතිහාර්ය හා සම්බන්ධ කතන්දර සියල්ලම පිළිගැනීමට කෙනෙකු කැමති නැතුවා විය හැකියි. නමුත් එම කතන්දර ගොතන ලද්දේ තම අනුගාමිකයන්ට එවන් ප්‍රාතිහාර්ය සිදු කිරීමේ බලය දානය කිරීමේ හැකියාව සතු බුදුන්ව ගෞරවයට පත් කිරීමේ අදහසින් විය හැකි බවට කිසිදු සැකයක් නැත.” ඉස්ලාම් ආගම ගැන එම ග්‍රන්ථයේම සඳහන් වෙන්නේ මෙසේයි. “ඉස්ලාම් බැතිමත්හු බහුතරයක් තවමත් ප්‍රාතිහාර්ය සිදු වෙතැයි විශ්වාස කරති. මහම්මත් තුමාව සම්ප්‍රදායන්හි විස්තර කර ඇත්තේ බොහෝ අවස්ථාවලදී මහජනයා ඉදිරියේ ප්‍රාතිහාර්ය කරන්නෙකු ලෙසටයි. . . . සාන්තුවරුන්ගේ මරණින් පසුව පවා තම බැතිමතුන් වෙනුවෙන් ඔවුන් තමන්ගේ සොහොන් ගෙවල් අසලදී ප්‍රාතිහාර්ය සිදු කරන බව විශ්වාස කෙරෙන අතර, එම බැතිමත්හු සාන්තුවරයන්ගේ පිහිටෝපකාර බලාපොරොත්තුවෙන් ඔවුන්ව නමදිති.”

ක්‍රිස්තියානි ධර්මයේ සිදු වෙනවායයි කියන ප්‍රාතිහාර්ය ගැන කිව හැක්කේ කුමක්ද?

ක්‍රිස්තියානි ධර්මය පිළිගෙන තිබෙන බොහෝදෙනෙකුට තිබෙන්නේ එකිනෙකට පරස්පරවිරෝධී මතයන්. යේසුස් ක්‍රිස්තුස් විසින් හෝ ක්‍රිස්තුස්ට පෙර විසූ දෙවිගේ සේවකයන් විසින් හෝ කරන ලද ප්‍රාතිහාර්ය පිළිබඳ බයිබලයේ සඳහන් වාර්තා සත්‍යයක් ලෙස ඇතමුන් පිළිගන්නවා. එහෙත්, බොහෝදෙනෙක් දරන්නේ රෙපරමාදු නායක මාටින් ලූතර් මේ සම්බන්ධයෙන් දරන අදහසයි. මීට පෙර සඳහන් වූ විශ්වකෝෂයේ (Encyclopedia of Religion) ඔහු ගැන පවසා තිබෙන්නේ මෙසේයි. “ලූතර් සහ කැල්වින් යන දෙදෙනාම ලීවේ ප්‍රාතිහාර්ය සිදු වූ යුගය අවසන් වී ඇති බවත්, ප්‍රාතිහාර්යයන් නැවත නැවත සිදු වේයයි අපේක්ෂා නොකළ යුතු බවත්ය.” කතෝලික සභාව ප්‍රාතිහාර්යයන් “සිදු වන ආකාරය ගැන පැහැදිලි, තර්කානුකූල පදනමක් ඉදිරිපත් නොකර” ප්‍රාතිහාර්ය ගැන විශ්වාස කළ බව එම ග්‍රන්ථයේ කියැවෙනවා. අනෙක් අතට “රෙපරමාදු ධර්මයේ උගතුන් විශ්වාස කළේ ක්‍රිස්තියානි ආගම පිළිපැදීමට නම් එහි සදාචාරමය ප්‍රතිපත්ති අනුගමනය කිරීම ප්‍රමාණවත් වන බවයි. මේ අනුව ඔවුන් කියා සිටියේ මිනිස් ජීවිතයට දෙවියන් හෝ දේවදූතයන් හෝ විශේෂ අන්දමකින් සම්බන්ධ වන බව විශ්වාස නොකළ යුතු බවයි.”

පැවිදි පිරිස් ඇතුළු, ක්‍රිස්තියානියයි කියා සිටින තවත් අයට බයිබලයේ සඳහන් ප්‍රාතිහාර්යයන් ගැන තිබෙන්නේ සැකයක්. නිදසුන් වශයෙන් බයිබලයේ නික්මයාම 3:1-5හි සඳහන් ගිනි ඇවිළෙන පඳුර පිළිබඳ වාර්තාව ගැන සලකා බලන්න. ජර්මානු ජාතික දේවධර්මාචාර්යවරු ගණනාවක්ම මෙම වාර්තාව ඇත්තටම සිදු වූ දෙයක් ලෙස පිළිගන්නේ නැතැයි කියා එක්තරා පොතක (What the Bible Really Says) සඳහන් වෙනවා. ඒ වෙනුවට ඔවුන් කියා සිටින්නේ එම ගිනි ඇවිළෙන පඳුර “මෝසෙස්ගේ ඇතුළාන්ත සිතිවිලි කැලඹීම සහ ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට වධ දීම සංකේතවත් කළාවූ යමක්” හැටියටයි. “දෙවියන් කතා කරන අතරතුර සූර්යාලෝකය වැටී හදිසියේම පිපුණු මල්, ගින්දර ලෙස පෙනුණායයි” එම පොතේ සඳහන් වෙනවා.

එවන් අර්ථකථනයක් පිළිගැනීමට අපහසු දෙයක් බව ඔබට පෙනෙනවා ඇති. එසේනම් ඔබ විශ්වාස කළ යුත්තේ කුමක්ද? ප්‍රාතිහාර්ය සිදු වූ බවට විශ්වාස කිරීම සාධාරණද? අද දින ප්‍රාතිහාර්ය සිදු වෙනවාද? අපට දේවදූතයන්ගෙන් ඇසිය නොහැකි නිසා අප ඒ ගැන ඇසිය යුත්තේ කාගෙන්ද?

බයිබලයේ ඒ ගැන පවසන දේ

දෙවි ඉපැරණි කාලවලදී මිනිසාගේ ශක්තියෙන් කොහොමටවත් කරන්නට බැරි ක්‍රියාවන් සිදු කිරීමට මැදිහත් වූ බව බයිබලයේ සඳහන් වී තිබීම කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්නට නොහැකියි. දෙවි ගැන අපට කියවන්නට තිබෙන්නේ මෙසේයි. ‘ඔබ ඔබගේ සෙනඟ වූ ඊශ්‍රායෙල් ලකුණුවලින්ද ආශ්චර්යවලින්ද බලවත් අතින්ද දිගු කළ බාහුවෙන්ද මහත් භීතියෙන්ද ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේය.’ (යෙරෙමියා 32:21) ප්‍රබලම පීඩා දහයක් ගෙන ඒම මගින් එදා සිටි බලවත්ම ජාතිය දරුණු ලෙස නින්දාවට ලක් කිරීම ගැන සිතා බලන්න. එම ජාතියට අයත් පවුල්වල කුලුඳුල් පුත්‍රයන්ව මරණයට පත් කිරීම ඉන් එක් පීඩාවක්. ඇත්තෙන්ම ඒවා ප්‍රාතිහාර්යයන්!—නික්මයාම 7 සිට 14 දක්වා පරිච්ඡේද බලන්න.

ඊට සියවස් ගණනාවකට පසුව, ශුභාරංචි පොත් ලිවූ ලේඛකයන්, යේසුස් විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යය 35ක් පමණ වාර්තා කර තිබෙනවා. ඇත්තෙන්ම, ඔවුන් ලියා ඇති වචනවලින් පෙනී යන්නේ ඔවුන් වාර්තා කර ඇති ගණනටත් වඩා ප්‍රාතිහාර්ය යේසුස් විසින් සිදු කර තිබෙන බවයි. මේ වාර්තාවල සඳහන් දේවල් ඇත්තටම සිදු වූවාද? නැත්නම් ඒවා නිකම්ම මිථ්‍යා කථාද? *මතෙව් 9:35; ලූක් 9:11.

බයිබලය වනාහි දෙවිගේ සත්‍ය වූ වචනය බව එහිම කියා සිටිනවා නම්, ප්‍රාතිහාර්ය ගැන එහි කියා තිබෙන දේ විශ්වාස කිරීමටද ඔබට හොඳ හේතු තිබෙනවා. අතීතයේදී සුව කිරීම්, නැවත නැඟිටුවීම් වැනි ප්‍රාතිහාර්ය සිදු වුණු බව බයිබලය පැහැදිලිව කියා සිටින අතරේදී, එහි තවදුරටත් සඳහන් වෙන්නේ එවැනි දේවල් තවදුරටත් සිදු වෙන්නේ නැති බවයි. (හතරවෙනි පිටුවේ තිබෙන “අද දින ඇතැම් ප්‍රාතිහාර්ය සිදු නොවීමට හේතුව” නමැති කොටුව බලන්න.) එසේනම්, මින් අදහස් කරන්නේ බයිබලයේ සඳහන් ප්‍රාතිහාර්ය සැබෑවක් බව පිළිගන්නා අය පවා අද දින ප්‍රාතිහාර්ය සිදු වන්නේ නැතැයි කියා විශ්වාස කරන බවද? මීට පිළිතුර අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 3 ඡේ. එක්තරා බයිබල් ශබ්දකෝෂයක “ප්‍රාතිහාර්ය” පිළිබඳව මෙවැනි අදහසක් පළ වෙනවා. “මිනිසාට තේරුම්ගත නොහැකි ලෙසින් හෝ ස්වාභාවික බලවේගයන් අබිබවා යමින් භෞතික ලෝකය තුළ සිදු වන සිද්ධීන් ප්‍රාතිහාර්යය ලෙස හැඳින්වෙන අතර මේවා මනුෂ්‍යත්වය ඉක්මවූ බලවේගයන් මගින් සිදු කරනු ලබන බවට විශ්වාස කෙරේ.”

^ 14 ඡේ. ඔබට මේ ගැන බයිබලයෙන්ම සොයා බැලිය හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද සියලුම ජනයා සඳහා පොතක් යන ප්‍රකාශනයෙන් ඒ පිළිබඳ තොරතුරු සොයාගත හැකියි.

[4වන පිටුවේ කොටුව]

අද දින ඇතැම් ප්‍රාතිහාර්ය සිදු නොවීමට හේතුව

නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්ය ගණනාවක් සිදු වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 7:19-21; 1 රාජාවලිය 17:1-7; 18:22-38; 2 රාජාවලිය 5:1-14; මතෙව් 8:24-27; ලූක් 17:11-19; යොහන් 2:1-11; 9:1-7) යේසුස් පොරොන්දු වූ ගැලවුම්කරු බව මෙම ප්‍රාතිහාර්ය බොහොමයකින් පෙන්වූවා. ඒ විතරක් නොවෙයි දෙවිගේ බලයෙන් තමයි ඒවා සිදු වුණේ. යේසුස්ගේ මුල් ගෝලයන්ද ප්‍රාතිහාර්ය සිදු කළා. අන්‍යභාෂාවලින් කතා කිරීම සහ අනාවැකි කීම ඊට ඇතුළත් වුණා. (ක්‍රියා 2:5-12; 1 කොරින්ති 12:28-31) එවන් දීමනා ක්‍රිස්තියානි සභාවේ මුල් කාලයේදී ඉතා ප්‍රයෝජනවත් වුණා. ඒ කොහොමද?

එක් හේතුවක් නම්, ශුද්ධ ලියවිලිවල පිටපත් තිබුණේ ඉතා ස්වල්ප ගණනක්. හකුළන ලද ලියවිලි හෙවත් පොත් සාමාන්‍යයෙන් තිබුණේ ධනවතුන් ළඟයි. ක්‍රිස්තියානි නොවන රටවල මිනිසුන්ට බයිබලය ගැනවත් එහි කර්තෘ වන යෙහෝවා දෙවි ගැනවත් කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා ක්‍රිස්තියානි ඉගැන්වීම් බෙදාගත යුතුව තිබුණේ කට වචනයෙන්. මේ අනුව, ක්‍රිස්තියානි සභාවට දෙවිගේ අනුග්‍රහය තිබෙන බව පෙන්වීමට මෙම දීමනා බොහෝ සෙයින් උපකාරවත් වුණා.

නමුත් පාවුල් පැහැදිලි කළා මෙම දීමනා කල් ගත වෙද්දී අවශ්‍ය නොවන බව. “අනාවැකි කීමේ දීමනා වුවද නැති වන්නේය. අන්‍යභාෂා කතා කිරීමේ දීමනා වුවද අවසන් වන්නේය. දැනුම තිබුණත් එය නැති වන්නේය. මන්ද, සම්පූර්ණ දැනුමක් අපට නැත. අපේ අනාවැකි කීමද සම්පූර්ණ නැත. එහෙත් සම්පූර්ණ වූ ඒ දේ පැමිණෙද්දී, අසම්පූර්ණව තිබෙන ඒ දේ නැති කර දමනු ලබන්නේය” කියා ඔහු පැවසුවා.—1 කොරින්ති 13:8-10.

අද ඒ වගේ නෙවෙයි. අද මිනිසුන්ට බයිබලය තියෙනවා. ඒ වගේම බයිබල් අකාරාදි සහ විශ්වකෝෂ තිබෙනවා. පුහුණුව ලත් ක්‍රිස්තියානීන් මිලියන හයකට අධික සංඛ්‍යාවක් දෙවි පිළිබඳව බයිබලයේ තිබෙන දැනුම අන්‍යයන් සමඟ බෙදා හදා ගනිමින් සිටිනවා. මේ නිසා, යේසුස් ක්‍රිස්තුස්, දෙවි පත් කර තිබෙන ගැලවුම්කරුවා බවට හෝ යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන්ට අනුග්‍රහය දක්වනවා කියා සහතික කරන්නට හෝ අද දින ප්‍රාතිහාර්යයන් අවශ්‍ය නැහැ.