ලෝ වැසියන්ගේ කුසගිනි නිවන්නේ කවුද?
ලෝ වැසියන්ගේ කුසගිනි නිවන්නේ කවුද?
කුසගින්නට එරෙහිව සටන් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂණයකට අනුව, මිලියන 800ක් පමණ ජනතාවක් දැන් සාගතයේ දොරටුව අබියස සිටී. මේ අයගෙන් වැඩිදෙනෙක් ළමුන්ය. මීට අමතරව දියුණු රටවල් බොහොමයකට මෙම ගැටලුවට පිළියම් යෙදීම සඳහා ආධාර සහ නිසි අවධානයක් දීමට හැකිකම තිබුණත්, ත්‍රස්තවාදය වැනි වෙනත් ගැටලු නිසා ඒවා නතර වූ බව එම ආයතනය මෑතකදී ප්‍රකාශ කළේය. බෝ වෙන රෝග පැතිරීම නිසා ගැටලුව තවත් උග්‍ර වී ඇත. මෙම ආයතනයෙන් පළ වූ තවත් වාර්තාවකින් (Global School Feeding Report) ඒඩ්ස් රෝගය පැතිර පවත්නා අප්‍රිකානු රටවල් පිළිබඳව සඳහන් වුණේ මෙසේයි. “මුළු දරු පරම්පරාවකටම ඔවුන්ගේ දෙමාපියන් අහිමි වී තිබේ. සියලුම දේවල් දරුවන්ට තනිවම කරගැනීමට සිදු වී ඇත. සාමාන්‍යයෙන් දරුවන්ට ගොවිතැන් කිරීමට හා වෙනත් කුසලතා දියුණු කරගැනීමට අවශ්‍ය පුහුණුව ලැබෙන්නේ දෙමාපියන්ගෙනි. නමුත් මේ දරුවන්ට එවන් උරුමයක් අහිමි වී තිබීම ඉතා ශෝචනීයයි.”
ලෝක ආහාර වැඩසටහන දැන් සැරසෙමින් සිටින්නේ අඩු තරමින් දවසකට එක කෑම වේලක්වත් දරුවන්ට පාසැල් කාලය අතරතුරේදී සපයා දීමටයි. කුසගින්න අවම කිරීමට පමණක් නොව, යෞවනයන් අතර HIV/AIDS පැතිරීම වැළැක්වීම සඳහා වෙනස් වැඩසටහන් මාර්ගයෙන්ද ඔවුන්ව දැනුවත් කිරීම මෙම ලෝක ආහාර වැඩසටහනේ අරමුණයි.
මෙම වැඩසටහන දියත් කර ඇති රටවල දරුවන්ට ශාරීරික පෝෂණය ලැබී ඇති අතර, සනීපාරක්ෂාව ගැන ඔවුන්ව දැනුවත් කර වෙනත් පැතිවලින් ඔවුන්ට උදව් උපකාර දී තිබේ. තවද ඔවුන්ගේ හැසිරීම යහපත් අතට හැරෙද්දී HIV/AIDS වැලඳීමට ඇති ප්‍රවණතාවද අවම වී තිබෙන බවද හෙළි වී ඇත.
මිනිසුන් මේවාට පිළියම් යෙදීමට ගන්නා උත්සාහයන් විධිමත් ආකාරයට සිදු නොවීමත්, සියලුම අයට ඒ නිසා ස්ථිරසාර විසඳුම් නොලැබීමත් කනගාටුවට කරුණකි. එහෙත් මිනිසාගේ කුසගින්න නිවීමට ස්ථිරසාර විසඳුමක් ලැබෙන ආකාරය ගැන බයිබලය අපට ඉදිරිපත් කරන්නේ ඉතා සැනසිලිදායක පොරොන්දුවකි. “පොළොවේ කඳු මුදුනේ බොහෝ ශස්‍ය වන්නේය” කියා ගීතාවලිය 72:16හි කියයි. දෙවිගේ රාජ්‍යය යටතේ වෙසෙන ජනතාවට යෙහෝවා දෙවි ගැන මෙසේ කීමට හැකි වෙනවා ඇත. “ඔබ පොළොව බලා එය තෙමන්නේය; බොහෝ සේ එය සාරවත් කරන්නේය. . . . මෙසේ පොළොව පිළියෙල කොට ඔවුන්ට ධාන්‍ය සපයා දෙන්නේය.”—ගීතාවලිය 65:9.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
WFP/Y. Yuge