අපි ගිය ගිය හැම තැනම මුල් තැන දුන්නේ දේවසේවයටයි
ජීවිත කතාව
අපි ගිය ගිය හැම තැනම මුල් තැන දුන්නේ දේවසේවයටයි
පැවසුවේ රීකාර්දෝ මාලික්සී
මගේ ක්‍රිස්තියානි විශ්වාසයන් නිසා මම දේශපාලනයට සම්බන්ධ කිසිම දෙයකට හවුල් වුණේ නැහැ. මේ හේතුව නිසාම මම මගේ රස්සාවෙනුත් අස් වුණා. මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට යාච්ඤා කළේ අපේ අනාගතය හොඳ විදිහට සැලසුම් කරන්න අපිට උදව් කරන්න කියලා. දේවසේවයේ වැඩියෙන් හවුල් වෙන්න අපිට උපකාර කරන්න කියාත් අපි විශේෂයෙන් යාච්ඤා කළා. ටික කලකට පස්සේ මහාද්වීප දෙකක තිබෙන රටවල් අටක කලින් කලට ජීවත් වෙන්න අපිට සිදු වුණා. සිද්ධ වෙච්ච හොඳම දේ තමයි අපි ගිය ඒ හැම රටකම අපිට අපගේ දේවසේවය පුළුල් ආකාරයෙන් කරන්නට පුළුවන් වීම.
මම ඉපදුණේ 1933 පිලිපීනයේදී. මගේ පවුලේ සාමාජිකයෝ 14දෙනෙක්. අපි ඔක්කොම පිලිපීනයේ එක්තරා පල්ලියක සාමාජිකයන්ව සිටියා. මගේ වයස අවුරුදු 12දී මම දෙවිට යාච්ඤා කළා මට සත්‍ය ආගම සොයාගන්න උදව් කරන්න කියලා. මට ඉගැන්නුව ගුරුවරයෙක් මාව ආගම උගන්වන පන්තියකට ඇතුළත් කළා. ඊට පස්සේ මම හොඳ කතෝලිකයෙක් වුණා. මම හැම සතියේම නොවරදවාම සෙනසුරාදා කොමිසන් කරලා ඉරිදා පූජාවට ගියා. ඒත් ටික කාලයක් ගියාම මට එක එක ඉගැන්වීම් ගැන සැක ඇති වෙන්න පටන්ගත්තා. විශේෂයෙන්ම නිරය, ත්‍රිත්වය වගේ ඉගැන්වීම් ගැනත්, කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ කියන කාරණය ගැනත් මගේ සිතේ ප්‍රශ්න ඇති වුණා. මේවා ගැන පූජකයන් දීපු පිළිතුරුවල කිසිම පදනමක් තිබ්බේ නැහැ.
මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා
මම උසස් අධ්‍යාපනය හදාරද්දී යෞවන සමාජයක සාමාජිකයෙකු වෙලා හිටියා. ඒ කාලයේදී මම අනිත් අයත් එක්ක රණ්ඩු සරුවල් කරන්නත්, සූදු කෙළින්නත්, සිගරට් බොන්නත් ඒ වගේ වෙනත් නරක දේවල් කරන්නත් පුරුදු වුණා. එක දවසක් මට මගේ යාළුවෙකුගේ අම්මාව හමු වුණා. ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක්. මම මගේ ආගම් ගුරුවරුන්ගෙන් අහපු ප්‍රශ්නම
ඇගෙනුත් ඇහැව්වා. ඇය මගේ හැම ප්‍රශ්නයකටම බයිබලයෙන් පිළිතුරු දුන්නා. ඒවා පිළිගන්න පදනමක් තිබුණු බව මට වැටහුණා.ඊට පස්සේ මම බයිබලයක් මිල දී ගෙන සාක්ෂිකරුවන් එක්ක එය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. වැඩි කල් ගන්නේ නැතුව මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හැම රැස්වීමකටම ගියා. “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” කියා බයිබලයේ තිබෙන නැණවත් උපදෙස් පිළිපදිමින් මම මගේ නරක මිතුරන්ගෙන් වෙන් වුණා. (1 කොරින්ති 15:33) ඒ නිසා මට පුළුවන් වුණා මගේ බයිබල් පාඩම හොඳින් කරගෙන යන්නත් ඉක්මනින් ප්‍රගතියක් ලබන්නත්. ඒ වගේම මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරන්නටත් මට හැකි වුණා. මම 1951දී බව්තීස්ම වුණා. ටික කලක් පූර්ණ කාලීන දේවසේවකයෙක් (පුරෝගාමියෙක්) හැටියට මම සේවය කළා. ඊට පස්සේ 1953 දෙසැම්බර් මාසයේදී මම ඕරියා මෙන්ඩෝසා කෘස් සමඟ විවාහ වුණා. ඇය මගේ ජීවන සහකාරිය විතරක් නෙවෙයි දේවසේවයේදී හොඳම හවුල්කාරියද වුණා.
යාච්ඤාවලට පිළිතුරු ලැබුණා
අපේ ලොකුම ආශාව වුණේ පූර්ණ කාලීනව දේවසේවය කරන්නයි. කොහොමවුණත් යෙහෝවාට වැඩියෙන් සේවය කරන්න තිබුණු ඒ ආශාව ඉක්මනින්ම ඉටු වුණේ නැහැ. ඒත් අපි අත්නෑර ඒ ගැන දිගටම යාච්ඤා කළා. අපි ගෙව්වේ හරිම අමාරු ජීවිතයක්. මොනවා වුණත් වැඩියෙන් දේවසේවයේ හවුල් වෙන්න තිබුණු අපේ ඉලක්ක අපි අමතක කළේ නැහැ. වයස අවුරුදු 25දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක මුලසුන භාර අවේක්ෂක හැටියට සේවය කරන්න මම සුදුසුකම් ලැබුවා.
මගේ බයිබල් දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න මට යෙහෝවාගේ ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් ලැබුණා. මට තේරුණා මගේ හිතට එකඟව නියම ක්‍රිස්තියානියෙකු හැටියට මගේ රැකියාවේ තවදුරටත් රැඳී ඉන්න බැහැ කියලා. (යෙසායා 2:2-4) රැකියාවෙන් අස් වෙන්න මම තීරණය කළා. අපේ ඇදහිල්ල දැන් පරීක්ෂණයට ලක් වුණා. මම මගේ පවුල රැකබලා ගන්නේ කොහොමද? අපි දිගටම යෙහෝවාට යාච්ඤා කළා. (ගීතාවලිය 65:2) අපේ බය සැක ගැන අපි දෙවිට කිව්වා. ඒත් එක්කම දේවරාජ්‍යය ගැන දේශනා කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන තැන්වල සේවය කරන්න තිබූ අපේ ආශාව ගැනත් අපි දෙවිට කිව්වා. (ෆිලිප්පි 4:6, 7) අපි මොහොතකටවත් හිතුවේ නැහැ වැඩි අවශ්‍යතාවක් තිබෙන තැන්වල සේවය කරන්න අපිට විවිධ අවස්ථා රැසක් උදා වෙයි කියලා.
අපේ ගමන ඇරඹෙයි
වර්ෂ 1965 අප්‍රියෙල් මාසයේදී මට ලාඕස් ජනරජයේ වියෙන්ටාන් නගරයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගිනි නිවන අංශයේ නිලධාරියෙක් හැටියට රස්සාවක් ලැබුණා. ඉතිං අපි වියෙන්ටාන් නගරයේ පදිංචි වෙන්න ගියා. ඒ නගරයේ සාක්ෂිකරුවන් 24දෙනෙක් හිටියා. පිට රටවලින් ඇවිත් සිටි පූර්ණ කාලීන සේවකයන් සහ දේශීය සහෝදරයන් සමඟ අපි දේශනා සේවයේ සතුටෙන් හවුල් වුණා. ඊට පස්සේ මට මාරුවක් ලැබුණා තායිලන්තයේ ඌඩොන් ටානී ගුවන් තොටුපොළේ සේවය කරන්න. ඌඩොන් ටානී නගරයේ සාක්ෂිකරුවන් එක් කෙනෙක්වත් සිටියේ නැහැ. අපි තුන්දෙනා තනියම සෑම රැස්වීමක්ම පැවැත්වූවා. අපි දේශනා සේවයේ ගියා. නැවත බැලීම් කළා. බයිබල් පාඩම් පැවැත්වූවා.
‘බොහෝ පල දරන්න’ කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් ආඥාව නිතරම අපේ මනසේ තිබුණා. (යොහන් 15:8) එම ගෝලයන් මෙන් අපිත් තීරණය කළා දිගටම ශුභාරංචිය දේශනා කරන්න. අපිට හොඳ ප්‍රතිඵල ලැබුණා. තායි ගැහැනු ළමයෙක් බයිබලය අධ්‍යයනය කර බව්තීස්ම වුණා. තවත් උතුරු අමෙරිකානු පිරිමි දෙදෙනෙක් බයිබලය පාඩම් කර බව්තීස්ම වුණා. පසු කාලයකදී ඔවුන් සභා අවේක්ෂකයන් හැටියටත් සේවය කරන්න පටන්ගත්තා. අපි අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක් උතුරු තායිලන්තයේ ශුභාරංචිය දේශනා කළා. ඌඩොන් ටානී නගරයේ දැන් සභාවක් තිබෙන බව දැනගන්න ලැබීමෙන් අපි සතුටට පත් වුණා. අපිට එදා හමු වූ සමහරදෙනෙක් දැන් හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා.
අපිට නැවතත් අපේ පදිංචිය මාරු කරන්න සිදු වුණ නිසා හරි දුකක් දැනුණා. දේශනා සේවයේ දිගටම හවුල් වීමට අපට උපකාර කරන්න කියා ‘අස්වැන්නේ ස්වාමියාගෙන්’ අපි ඉල්ලා සිටියා. (මතෙව් 9:38) අපි ගියේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවරටයි. ඒ කාලයේදී ඉරානය පාලනය කළේ රජ කෙනෙක්.
විවිධ අභියෝගවලට මුහුණ දීම
අපි ටෙහෙරානයට ගිය ගමන්ම කළේ අපේ සහෝදර සහෝදරියන්ව සොයාගැනීමයි. සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සිටි පුංචි කණ්ඩායමක් එක්ක අපි එහිදී සේවය කළා. ඒ කණ්ඩායමේ හිටියා විවිධ රටවල් 13කට අයිති අය. ඉරානයේදී ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපිට විවිධ සකස් කිරීම් කරන්නට සිදු වුණා. අපිට කෙළින්ම විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ නොවුණත්, අපි දේශනා සේවයේ ගියේ පරෙස්සමින්.
උනන්දුව දැක්වූ අයගේ රැකියා වේලාවන් නිසා
අපිට සිද්ධ වුණා සමහර බයිබල් පාඩම් මහ රෑ කරන්න. සමහර ඒවා අපි උදේ පාන්දර කළා. අපේ මහන්සිය අපතේ ගියේ නැහැ. පිලිපීන පවුල් කිහිපයක් සහ කොරියානු පවුල් කිහිපයක් බයිබල් සත්‍යය පිළිගෙන යෙහෝවා දෙවිට කැප වුණා. අපේ සන්තෝෂය විස්තර කරන්න වචන නැහැ!මට ඊළඟ රැකියා මාරුවීම ලැබුණේ බංග්ලාදේශයේ ඩකා නුවරටයි. අපි එහෙට ගියේ 1977 දෙසැම්බර් මාසයේයි. අපගේ දේශනා සේවය කිරීම අභියෝගයක් වුණ තවත් රටක් තමයි මේ රට. කොහොම වුණත් අපි අමතක කළේ නැහැ අපේ දේශනා සේවය අත්නෑර කළ යුතු බව. යෙහෝවා දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම තුළින් අපිට පුළුවන් වුණා ක්‍රිස්තියානීයයි කියා සිටි පවුල් කිහිපයක් සොයාගන්නට. ඔවුන්ගෙන් සමහරදෙනෙකුට ශුද්ධ ලියවිලිවල තිබෙන සත්‍යයට පිපාසයක් තිබුණා. (යෙසායා 55:1) මේ නිසා අපිට පුළුවන් වුණා බයිබල් පාඩම් බොහොමයක් පටන්ගන්නට.
දෙවිගේ කැමැත්ත වන්නේ “සියලු ආකාර මිනිසුන් ගැලවීම” ලැබීම බව අපි අමතක කළේ නැහැ. (1 තිමෝති 2:4) අපේ වැඩේට කිසිම කෙනෙකුගෙන් බාධාවක් සිදු වුණේ නැති එක සතුටට කරුණක්. අපි මිත්‍රශීලී වීමෙන් ජනයා සමඟ සුහද වුණා. ප්‍රේරිත පාවුල් වගේ අපිත් උත්සාහ කළා ‘සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල’ වෙන්න. (1 කොරින්ති 9:22) අපි නිවෙස්වලට ගියාම ගේහිමියෝ අපෙන් අපි ආපු හේතුව ඇහැව්වා. අපි කාරුණිකව අපි ආපු හේතුව පැහැදිලි කළාට පස්සේ වැඩිදෙනෙක් අපිව සාදරයෙන් පිළිගත්තා.
ඩකා නුවර සිටි සාක්ෂිකාරියක්ව අපිට හමු වුණා. අපි ඇයට අපගේ ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමටත් පසුව දේශනා සේවයේ හවුල්වීමටත් දිරිගැන්නුවා. මගේ භාර්යාව පවුලක් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. ඔවුන්ට රැස්වීම්වලට එන්න කියා ඇය ආරාධනා කළා. යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව නිසා ඒ මුළු පවුලම සාක්ෂිකරුවන් වුණා. පසුව ඔවුන්ගේ දූවරුන් දෙන්නා අපගේ ප්‍රකාශන බෙන්ගාලි භාෂාවට පරිවර්තනය කිරීමට උදව් කළා. ඔවුන්ගේ නෑදෑයන්ගෙන් හුඟදෙනෙක්ද සාක්ෂිකරුවන් වුණා. අපි බයිබල් පාඩම් පැවැත්වූ තවත් බොහෝදෙනෙක්ද සාක්ෂිකරුවන් වුණා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දැන් සභාවල වැඩිමහල්ලන් හැටියටත් පුරෝගාමීන් හැටියටත් සේවය කරනවා.
ඩකා ජනාකීර්ණ නගරයක් නිසා, අපි අපගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමහරදෙනෙකුට ආරාධනා කළා අපිත් සමඟ දේශනා සේවයේ හවුල් වෙන්න කියා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ඊට කැමති වී බංග්ලාදේශයට ආවා. ඒ රටේ ශුභාරංචිය දේශනා කිරීමට ලැබීම ගැන අපි ගොඩාක් සන්තෝෂ වන අතර ඒ ප්‍රස්තාව අපිට ලබා දීම ගැන අපි යෙහෝවාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බංග්ලාදේශයේ හිටියේ එක සාක්ෂිකරුවෙක් විතරයි. දැන් එහි සභා දෙකක් තිබෙනවා.
එක්දාස් නවසිය අසූදෙකේ ජූලි මාසයේදී බංග්ලාදේශයෙන් යන්න කාලය පැමිණියා. අපි සහෝදරයන්ගෙන් වෙන් වුණේ හරිම දුකෙන්. ටික කලකින් මට උගන්ඩාවේ එන්ටෙබ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැකියාවක් ලැබුණා. උගන්ඩාවල අපිට අවුරුදු හතරක් සහ මාස හතක් ඉන්න සිදු වුණා. ඒ රට තුළ යෙහෝවාගේ උසස් නාමය ගෞරවයට පත් කරන්න අපිට හැකි වෙයිද?
නැඟෙනහිර අප්‍රිකාවේදී යෙහෝවාට සේවය කිරීම
අපි එන්ටෙබ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියාම මගේ බිරිඳවයි මාවයි අපේ නවාතැනට එක්කරගෙන යෑමට රියැදුරෙක් පැමිණ සිටියා. අපි ගුවන් තොටුපොළෙන් පිටත් වෙද්දී මම රියැදුරාට දේවරාජ්‍යය ගැන සාක්ෂි දරන්නට පටන්ගත්තා. “මහත්තයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ද?” කියා ඔහු මගෙන් ඇහැව්වා. මම ඔව් කියා පිළිතුරු දුන්නාම රියැදුරා කිව්වා “ගුවන් තොටුපොළේ පාලක මැදිරියේ ඔයාලාගේ සහෝදරයෙක් වැඩ කරනවා” කියලා. මාව ඔහු ගාවට එක්කරගෙන යන්න කියා මම එකපාරටම කිව්වා. අපිට එම සහෝදරයාව හමු වුණා. අපිව දැනගන්න ලැබීමෙන් ඔහු ගොඩාක් සන්තෝෂ වුණා. අපි එතැනදී රැස්වීම් සහ දේශනා සේවය සඳහා සැලසුම් කළා.
ඒ කාලයේදී උගන්ඩාවේ සිටියේ සාක්ෂිකරුවන් 228දෙනෙක් විතරයි. එන්ටෙබ් නුවරේ පදිංචි වෙලා හිටපු මුල් අවුරුද්දේදී එහි සිටි සහෝදරයන් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා අපි දේශනා සේවයේ ගියා. එම නගරයේ මිනිස්සු පොත් පත් කියවන්න රුචියක් දක්වපු නිසා අපිට පොත් පත් බොහොමයක් සහ සඟරා සිය ගණනක් බෙදා දෙන්න හැකි වුණා. අපි රටේ අගනුවර වන කම්පාලාවල හිටපු සහෝදරයන්ට ආරාධනා කළා සති අන්තවල එන්ටෙබ්වලට ඇවිත් දේශනා සේවයේ අපිත් එක්ක හවුල් වෙන්න කියා. මගේ ප්‍රථම ප්‍රසිද්ධ කථාවට පැමිණ සිටි සංඛ්‍යාව වුණේ මාත් එක්ක පස්දෙනයි.
ඊළඟ අවුරුදු තුන පුරා අපි අපේ ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථා කිහිපයක් අද්දැක්කා. ඒ කාලයේදී අපි දැක්ක දෙයක් තමයි අපිත් එක්ක බයිබලය පාඩම් කළ අය ලැබූ ඉක්මන් ප්‍රගතිය. (3 යොහන් 4) එක් චාරිකා එක්රැස්වීමකදී අපිත් එක්ක බයිබලය පාඩම් කළ අයගෙන් හයදෙනෙක් බව්තීස්ම වුණා. ඒගොල්ලන්ගෙන් වැඩිදෙනෙක් අපිට කිව්වා ඒ අය පූර්ණ කාලීන සේවය තෝරාගැනීමට එක හේතුවක් වුණේ අපිට පූර්ණ කාලීන රැකියා තිබුණත් අපි පූර්ණ කාලීන දේවසේවකයන් ලෙස සේවය කරනවා ඔවුන් දැක්ක නිසා කියලා.
අපගේ රැකියා ස්ථානයේදීත් සාක්ෂි දැරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව අපිට වැටහුණා. එක් අවස්ථාවකදී මම ගුවන් තොටුපොළේ ගිනි නිවන හමුදාවේ නිලධාරියෙක් සමඟ පාරාදීස පොළොව ගැන බයිබලයේ දී තිබෙන පොරොන්දුව ගැන කතා කළා. දෙවිට කීකරු මිනිසුන්ට ඒ කාලයේදී සාමයෙන් හා සමඟියෙන් ජීවත් විය හැකි ආකාරය ගැන මම ඔහුට ඔහුගේම බයිබලයෙන් පෙන්නුවා. ඒ කාලයේදී දිලිඳුකම, නිවාස ප්‍රශ්න, යුද්ධ අසනීප සහ මරණය තිබෙන්න යන්නේ නැති බවත් මම ඔහුට පැහැදිලි කළා. (ගීතාවලිය 46:9; යෙසායා 33:24; 65:21, 22; එළිදරව් 21:3, 4) ඔහුගේම බයිබලයෙන් මේ දේවල් ගැන කියෙව්වාට පස්සේ ඔහුට ලොකු උනන්දුවක් ඇති වුණා. ඉක්මනින්ම බයිබල් පාඩමක් පටන්ගත්තා. ඔහු සියලුම රැස්වීම්වලට ආවා. වැඩි කලක් යන්නට කලින් ඔහු යෙහෝවාට කැප වී බව්තීස්ම වුණා. පසුව ඔහුත් අපිත් එක්ක පූර්ණ කාලීන සේවයේ හවුල් වුණා.
අපි උගන්ඩාවේ සිටිය කාලයේදී රටේ කලබල ඇති වුණා. ඒත් අපේ ආත්මික කටයුතු අපි නතර කළේ නැහැ. ජාත්‍යන්තර ආයතනවල රැකියා කළ අයගේ පවුලේ සාමාජිකයන්ව මාස හයකට කෙන්යාවේ නයිරෝබිවල පදිංචි කෙරෙව්වා. උගන්ඩාවේ ඉතුරුවෙච්ච සාක්ෂිකරුවන් අතර අපිත් හිටියා. අපි රැස්වීම් සහ දේශනා සේවය දිගටම කරගෙන ගියා. නමුත් ඒ කාලයේදී අපිට නැණවත්ව සහ සුපරීක්ෂාකාරීව කටයුතු කිරීමට සිදු වුණා.
එක්දහස් නවසිය අසූ අටේ අප්‍රියෙල් මාසයේදී ඒ රටේ මගේ සේවා කාලය අවසන් වුණා. එන්ටෙබ් සභාවෙන් අපි යද්දී අපිට තිබුණේ ලොකු තෘප්තියක්. එහි ඇති වූ ආත්මික වර්ධනය තමයි එයට හේතුව වුණේ. අපිට නැවතත් 1997 ජූලි මාසයේදී එන්ටෙබ්වලට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ වන විට අපිත් එක්ක කලින් බයිබලය පාඩම් කළ සමහර අය වැඩිමහල්ලන් හැටියට සේවය කරමින් සිටියා. ප්‍රසිද්ධ කථාවට 106දෙනෙක් පැමිණ සිටිනවා දැක්කාම අපිට ඇති වුණේ පුදුම සතුටක්!
දේශනා නොකළ ප්‍රදේශවල දේශනා කිරීම
ඊළඟට මට රැකියා පැවරුම ලැබුණේ සෝමාලියාවේ මොගඩිෂු ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවය කරන්නයි. ඒ රටේ කවදාවත් ශුභාරංචිය දේශනා කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගත්තා කොහොමහරි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ශුභාරංචිය දේශනා කරන්න.
අපිට දේශනා කරන්න පුළුවන් වුණේ තානාපති කාර්යාලයේ වැඩ කළ අයටත් ඒ රටේ සේවය කරමින් සිටි පිලිපීන ජාතිකයන්ටත් වෙනත් විදේශිකයන්ටත් විතරයි. ගොඩාක් වෙලාවට අපිට ඔවුන්ව හමු වුණේ පොළේදී. එහිදී ඇති වුණ මිත්‍රත්වය නිසා අපි ඔවුන්ගේ නිවෙස්වලටත් ගියා. ඔවුන් සමඟ ඥානවන්තව කටයුතු කිරීම නිසාත් යෙහෝවා මත සම්පූර්ණයෙන් රඳා සිටීම නිසාත් අපිට පුළුවන් වුණා බයිබල් සත්‍යයන් ගැනත් ඔවුන් එක්ක කතා කරන්න. අපිට හොඳ ප්‍රතිඵල
ලැබුණා. අවුරුදු දෙකකට පස්සේ අපි මොගඩිෂුවලින් වෙනත් පැවරුමකට ගියා. අපි එහෙන් පිට වුණා විතරයි යුද්ධය පටන්ගත්තා.ජාත්‍යන්තර සිවිල් ගුවන් ගමනා ගමන සංවිධානය මාව ඊළඟට යැව්වේ මියන්මාර් රටේ යැන්ගොන් ප්‍රදේශයටයි. අවංක සිත් ඇති අයට දෙවිගේ අරමුණු ගැන කියා දෙන්න නැවතත් අපිට හොඳ අවස්ථාවන් ලැබුණා. ඊට පස්සේ අපි ගියේ ටැන්සානියාවේ ඩා එස් සලාම් නගරයටයි. එහේ ඉංග්‍රීසි කතා කරන අය හිටිය නිසා ගෙයින් ගෙට දේශනා කිරීම අපිට ගොඩාක් පහසු වුණා.
අපි වැඩ කළ හැම රටකම වගේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට යම් යම් තහංචි දමා තිබුණත් අපගේ දේවසේවය කරගෙන යද්දී අපිට ඒ තරම් ගැටලු මතු වුණේ නැහැ. මං කළ රස්සාවල් ගොඩාක් වෙලාවට ආණ්ඩුවට හෝ ජාත්‍යන්තර සමාගම්වලට සම්බන්ධ වෙලා තිබුණ නිසා මිනිස්සු අපේ වැඩකටයුතු ගැන ප්‍රශ්න කළේ නැහැ.
මගේ රස්සාව නිසා අවුරුදු තිහක් පුරා මගේ බිරිඳටයි මටයි තැනින් තැන ජීවත් වෙන්න සිදු වුණා. ඒ කොහොම වුණත් අපි මගේ රැකියාව සැලකුවේ අපේ ඉලක්කය අත් කරගැනීමට උදව් වුණු දෙයක් හැටියට විතරයි. අපි අපේ ජීවිතයේ හැම වෙලේම මුල් තැන දුන්නේ දේවරාජ්‍යය වෙනුවෙන් කැප වී වැඩ කරන්නයි. අපිට අද්දකින්නට සිදු වුණ වෙනස් තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපට උපකාර කළාටත් ශුභාරංචිය විවිධ රටවල්වල දේශනා කිරීමේ වරප්‍රසාදය අපට ලබා දීම ගැනත් අපි යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.
නැවතත් මව්බිම කරා
මට වයස අවුරුදු 58ක් වුණාම මම තීරණය කළා විශ්‍රාම අරගෙන නැවත පිලිපීනයේ පදිංචියට යන්න. අපි පිලිපීනයේ පදිංචි වුණාට පස්සේ අපි යෙහෝවාට යාච්ඤා කළා අපිට හොඳ මඟ පෙන්වීමක් ලබා දෙන්න කියා. අපි කවීතේ ප්‍රාන්තයේ ට්‍රේසේ මාර්තිරේස් නගරයේ පිහිටි සභාවක සේවය කරන්න පටන්ගත්තා. අපි ආපු මුල් දවස්වල ඒ සභාවේ හිටියේ ප්‍රචාරකයන් 19දෙනෙක් විතරයි. දිනපතාම දේශනා සේවයේ යෑමට සැලසුම් යෙදුව නිසා බයිබල් පාඩම් බොහොමයක් පටන්ගන්න පුළුවන් වුණා. එන්න එන්න සභාවට පැමිණෙන සංඛ්‍යාව වැඩි වෙන්න පටන්ගත්තා. එක කාලයකදී මගේ බිරිඳට බයිබල් පාඩම් 19ක් සහ මට 14ක් තිබුණා.
සභාවට පැමිණෙන අයගේ සංඛ්‍යාව වැඩි වුණ නිසා රාජ්‍ය ශාලාවේ ඉඩ මදි වුණා. අපි මේ ගැන යෙහෝවාට යාච්ඤා කළා. අපේ සහෝදරයෙක් සහ ඔහුගේ භාර්යාව ඔවුන්ගේ ඉඩමකින් කොටසක් පරිත්‍යාග කරන්න තීරණය කළා. අලුත් රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීම සඳහා අපිට ණය මුදලක් ලබා දීමට ශාඛා කාර්යාලය කැමති වුණා. අපේ අලුත් රාජ්‍ය ශාලාව ගොඩනැඟුවාට පස්සේ මිනිස්සු අපේ පණිවුඩයට වැඩියෙන් ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. ප්‍රතිඵලය වුණේ අපේ රැස්වීම්වලට එන අයගේ සංඛ්‍යාව තව තවත් වැඩිවීමයි. අද අපි ප්‍රචාරකයන් 17දෙනෙක් සිටින තවත් සභාවකට උපකාර කරමින් ඉන්නවා. ඒ සභාවට යන්න අපිට පැයකට වැඩි කාලයක් ගත වෙනවා.
විවිධ රටවල්වල සේවය කිරීමට ලැබුණු ප්‍රස්තාව ගැන මටත් මගේ බිරිඳටත් ලොකු සතුටක් දැනෙනවා. අපි තැනින් තැනට ගොස් ගත කළ ජීවිතය දිහා ආපසු හැරී බලද්දී අපිට ලොකු තෘප්තියක් දැනෙනවා. මොකද අපි ඒ කාලය ගත කළේ හොඳම විදිහටයි. ඒ යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න අන් අයට උපකාර කිරීමෙනුයි.
[24, 25වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ටැන්සානියාව
උගන්ඩාව
සෝමාලියාව
ඉරානය
බංග්ලාදේශය
මියන්මාර්
ලාඕස්
තායිලන්තය
පිලිපීනය
[23වන පිටුවේ පින්තූරය]
මගේ බිරිඳ ඕරියා සමඟ