Skip to content

පටුනට යන්න

“පීඩා මැද විශ්වාසවන්තව”

“පීඩා මැද විශ්වාසවන්තව”

“පීඩා මැද විශ්වාසවන්තව”

එක්දාස් නවසිය පනස් එකේ අප්‍රියෙල් මාසයේ මුලදී සෝවියට් දේශයේ බටහිර ප්‍රදේශයේ විසූ අහිංසක ක්‍රිස්තියානි කණ්ඩායමක් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සෝවියට් රජය හිටි හැටියේ ප්‍රහාරයක් එල්ල කළා. ඒ අවස්ථාවේදී පවුල් දහස් ගණනක් කෝච්චි පෙට්ටිවල පටවලා සයිබීරියාවට යැව්වා. සයිබීරියාවට යන්න ඔවුන්ට දවස් 20ක් ගත වුණා. මේ කණ්ඩායමේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන් සහ මහලු අයත් සිටියා. මෙසේ පිටුවහල් කරනු ලැබූ මොවුන්ට සිදු වුණා ඉතාමත්ම දුෂ්කර තත්වයන් යටතේ ජීවත් වෙන්න.

දෙදහස් එකේ අප්‍රියෙල් මාසයේදී මෙම ඓතිහාසික සිද්ධියේ 50වන සංවත්සරය මොස්කව්වල සමරනු ලැබුවා. ඒ අවස්ථාවේදී කලින් සෝවියට් සමූහාණ්ඩුවේ විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දශක ගණනාවක් පුරා විඳදරාගැනීමට සිදු වූ පීඩා ගැන වාර්තා කරන වීඩියෝ පටියක් මුදාහරිනු ලැබුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැඩි පීඩාවලට මුහුණ දුන්නත් ඔවුන් කොහොමහරි දිවි ගලවාගත් ආකාරයත් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගත් ආකාරයත් ගැන එම වාර්තාමය වැඩසටහනේ ඉතිහාසඥයන් හා ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කරනවා.

සෝවියට් දේශයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පීඩා මැද විශ්වාසවන්තව නමැති මෙම වාර්තාමය වැඩසටහන රුසියාවේ සහ වෙනත් රටවල්වල සිටින මිලියන සංඛ්‍යාත ජනකායක් දැන් නරඹා තිබෙන අතර එයට මහජනයාගේ හා ඉතිහාසඥයන්ගේ ප්‍රශංසාව ලැබී තිබෙනවා. පිටුවහල් කරනු ලැබූ සාක්ෂිකරුවන්ගෙන් පවුල් වැඩිගණනක්ව පදිංචි කරනු ලැබූ ප්‍රදේශයේ වෙසෙන රුසියානු විශාරදයන් දෙදෙනෙකු පැවසූ දේ සලකා බලන්න.

“මේ වීඩියෝ පටිය ඉතාමත්ම හොඳ එකක්! ඔයාලාගේ ආගමේ අයට මම කොහොමත් කැමතියි. හැබැයි මේ වීඩියෝ පටිය නැරඹුවාට පස්සේ ඔයාලා ගැන මට තිබුණු පැහැදීම තවත් වැඩි වුණා. එය අග්‍රගණයේ නිර්මාණයක්! මම විශේෂයෙන්ම කැමතියි ඒ වීඩියෝ පටයේ එක් එක් පුද්ගලයා ඔවුන්ගේ පෞද්ගලික අද්දැකීම් විස්තර කරන ආකාරයට. මම ඕතඩොක්ස් පල්ලියේ සාමාජිකයෙක්. මම මගේ ආගම වෙනස් කරන්න කැමති නැහැ. ඒ වුණත් මම සාක්ෂිකරුවන්ට කැමතියි. ඒ නිසා මම කැමතියි අපේ අධ්‍යාපන පීඨයේ මේ වීඩියෝ පටියේ පිටපතක් තබාගන්න. මාත් මා සමඟ වැඩ කරන අනිකුත් ගුරුවරුනුත් තීරණය කළා අපේ ශිෂ්‍යයන්ට මේ වීඩියෝ පටිය පෙන්වලා ඒක ඔවුන්ගේ පාඨමාලාවට ඇතුළත් කරන්න.—මහාචාර්ය සර්ජේ නිකොලෙයවිච් රූබ්ස්ටොෆ්, රුසියාවේ ඉර්කුට්ස් විශ්වවිද්‍යාලයේ ඉතිහාස පීඨයේ කුලපති.

“මෙවැනි වීඩියෝ පටියක් එළිදැක්වීම ගැන මම සතුටු වෙනවා. වධ හිංසා විඳිනු ලැබූවන් ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කරද්දී කතාව තර්කානුකූලව ගොඩනැඟීම අමාරු දෙයක්. හැබැයි ඔබ සාර්ථකව එය කර තිබෙනවා. මෙවැනි ඔබ නිපදවූ වෙනත් වීඩියෝ පටි තිබෙනවා නම් මට ලබා දෙන්න.—මහාචාර්ය සර්ජේ ඉල්යිච් කුස්නෙට්සොෆ්, රුසියාවේ ඉර්කුට්ස් විශ්වවිද්‍යාලයේ ඉතිහාස පීඨයේ කුලපති.

සයිබීරියාවේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවනුත් ඒ වාර්තාමය වැඩසටහන ඉතා අගය කළා. පහත සඳහන් වෙන්නේ ඔවුන් ඒ ගැන පැවසූ දේවල් ගැනයි.

“මෙම වීඩියෝ පටියේ දැක්වෙන සිදුවීම් සිදු වූ කාලයේදී රුසියාවේ සිටි බොහෝදෙනෙකුට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තිබුණේ වැරදි වැටහීමක්. ඒත් මේ වීඩියෝ පටිය නැරඹීමෙන් පසුව ඔවුන්ට පැහැදිලිවම තේරුම්ගැනීමට හැකි වී තිබෙන දෙයක් තමයි අපේ සංවිධානය කල්ලියක් නොවන බව. මෑතකදී සාක්ෂිකරුවන් වූ තවත් සමහරුන් කියන්නේ ‘මෙතරම් පීඩා විඳදරාගත් ක්‍රිස්තියානි සහෝදරයන් අපිත් එක්ක ඉන්න බව දැනගැනීමෙන් අපි පුදුමයට පත් වුණා’ කියලයි. ඒ වීඩියෝ පටිය නැරඹීමෙන් පසුව පූර්ණ කාලීන දේවසේවකයෙක් වශයෙන් සේවය කිරීමට එක් සාක්ෂිකරුවෙක් ඉදිරිපත් වුණා.”—සයිබීරියාවට පිටුවහල් කරනු ලැබූ ඇනා වොව්චූක්.

“රහස් පොලීසිය සාක්ෂිකරුවෙකුගේ නිවසේ දොරට තට්ටු කරන දර්ශනයක් ඒ වීඩියෝ පටියේ තිබෙනවා. ඒ දර්ශනය දකිද්දී මාව ගැස්සුණා. මට මතක් වුණා දවසක් අපේ දොරට පොලීසියෙන් තට්ටු කරපු ආකාරය. ඒ වෙලාවේදී මට මතකයි මගේ අම්මා කියනවා ‘සමහරවිට කොහේ හරි ගින්නක් ඇති වෙලා ඇති’ කියලා. මේ වීඩියෝ පටිය නරඹද්දී මට තේරුණා මම වින්ද පීඩාවලට වඩා ගොඩාක් දරුණු පීඩා බොහෝ සාක්ෂිකරුවන් විඳ තිබෙන බව. මේ හැම තොරතුරකින්ම යෙහෝවා දෙවිට දිගටම සේවය කරන්න ශක්තිය වඩවගන්නත් උනන්දුවෙන් ඔහුට සේවය කරන්නත් අපව පොලඹවනවා.—සයිබීරියාවට පිටුවහල් කරනු ලැබූ ස්ටෙෆාන් වොව්චූක්.

“පිටුවහල් කරනු ලැබූ අය අතර සිටි එක් යුවළක් තමයි මගේ දෙමාපියන්. ඒ නිසා මම හිතුවා ඒ කාලයේදී සිදු වූ දේවල් ගැන මම ඔක්කෝම දන්නවා කියලා. ඒත් මේ වීඩියෝ පටිය නැරඹුවාට පස්සේ තමයි මට තේරුණේ මම දන්නේ ටිකක් බව. එහි තිබෙන සම්මුඛ සාකච්ඡාවලට සවන් දෙද්දී මගේ ඇස්වල කඳුළු පිරුණා. දැන් මට ඒ අද්දැකීම් නිකම්ම නිකම් කතන්දර නෙවෙයි. ඒවා ඇත්ත සිදුවීම්. ඒ වීඩියෝ පටිය නිසා දෙවිත් එක්ක තිබූ මගේ සම්බන්ධය තවත් ශක්තිමත් වුණා. ඒ වගේම ඉදිරියට එන ඕනෑම පීඩාවක්, අමාරුකමක් විඳදරාගන්නත් මට ශක්තියක් ලැබුණා.”—ව්ලඩිමීර් කවාෂ් ඉර්කුට්ස්ක්.

“මට නම් මේ වීඩියෝ පටිය ලිඛිත වාර්තාවක් කියවනවාට වඩා මගේ සිතට බලපෑවා. ඒ සහෝදරයන් එක්ක පවත්වනු ලබන සම්මුඛ සාකච්ඡාවලට සවන් දෙද්දීත් ඒවා දකිද්දීත් මට දැනුණා හරියට මමත් ඒ කාලයේදී ඔවුන් එක්ක ජීවත් වුණා වගේ. සිරගෙයි සිටියදී තම දියණියන්ට තැපැල් පත්වල චිත්‍ර ඇන්ද සහෝදරයාගේ ආදර්ශයෙන් මට ලොකු පෙලඹීමක් ලැබුණා බයිබල් සත්‍යතාවන් මගේ දරුවන්ගේ සිත්වලත් පැලපදියම් කරන්න. ඔබට ගොඩාක් ස්තූතියි! මෙම වීඩියෝ පටිය නිසා රුසියාවේ සිටින සහෝදරයන්ට දැනෙනවා ඔවුනුත් යෙහෝවාගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ කොටසක් කියා.”—ටාට්‍යානා කලීනා ඉර්කුට්ස්ක්.

“මේ වීඩියෝ පටිය එක වතාවක්වත් බලන එක වටිනවා ඔවුන්ට සිදු වූ දේවල් ගැන සිය වතාවක් කියවනවාට වඩා. මේ වීඩියෝ පටිය බලද්දී හරියට ඒ සිද්ධීන් අපේ ඇස් ඉදිරිපිට සිදු වෙනවා වගේයි. ඒ තරම් සිතට කාවදිනවා. එය නැරඹීමෙන් පස්සේ ඒ ගැන කල්පනා කරන්න මම ගොඩාක් කාලය ගත්තා. අපි වර්තමානයේ මුහුණ දෙන ගැටලු එක්ක ඔවුන් වින්ද දුෂ්කරතා සංසන්දනය කරද්දී මම තේරුම්ගත්ත දෙයක් තමයි අපි මුහුණ දෙන මේ ප්‍රශ්න ඉතා සුළු දේවල් කියන එක.”—ලිඩියා බියේඩා ඉර්කුට්ස්ක්.

පීඩා මැද විශ්වාසවන්තව නමැති මෙම වීඩියෝ පටිය දැන් භාෂා 25කින් නිකුත් වී තිබෙන අතර, එයට හොඳ ප්‍රතිචාරයක් ලෝකය වටෙන්ම ලැබී තිබෙනවා. * එම වාර්තාමය වැඩසටහන රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්, ඔම්ස්ක් සහ වෙනත් නගරවල මෙන්ම යූක්‍රේනියාවේ වීන්නෙට්සියා, කර්ච්, මෙලිටොපොල් සහ ලෙවිෆ් ප්‍රාන්තයේද රූපවාහිනී වැඩසටහනක් ලෙසට විකාශනය කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට විචාරකයන්ගෙන් සම්මාන පවා එයට හිමි වී තිබෙනවා.

අවුරුදු ගණනාවක් පීඩා මැද අසාමාන්‍ය ධෛර්යයකින් සහ ඇදහිල්ලකින් ක්‍රියා කළ දහස් ගණන් සාමාන්‍ය මිනිසුන්ගේ ආදර්ශ මෙම වැඩසටහනේ අන්තර්ගතයි. එම ආදර්ශවලින් උගන්වන පාඩම ප්‍රබලයි. සෝවියට් දේශයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන් ඇත්තෙන්ම පීඩා හමුවේ විශ්වාසවන්තව සිටි බව නිරූපණය කළා. මෙම වාර්තාමය වැඩසටහන නැරඹීමට ඔබ කැමති නම් ඔබට පිටපතක් ලබා දීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටෙන් සිටී. ඒ සඳහා ඔබගේ පළාතේ සිටින සාක්ෂිකරුවන්ව හමු වන්න.

[පාදසටහන]

^ 13 ඡේ. මෙම වීඩියෝ පටිය ඉංග්‍රීසි, ඉතාලි, ඉන්දුනීසියානු, ඕලන්ද, කැන්ටනීස්, කොරියානු, ග්‍රීක්, චෙක්, ඩේනිෂ්, ජපන්, ජර්මන්, නොවේජියානු, පෝලන්ත, ප්‍රංස, බල්ගේරියන්, මැන්ඩරින්, රුසියානු, රොමේනියානු, ලිතුවේනියන්, ස්පාඤ්ඤ, ස්ලොවැක්, ස්ලෝවේනියානු, සේවීඩන, හංගේරියානු සහ ෆීනිෂ් යන භාෂාවලින් ලබාගත හැකියි.

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ස්ටාලින්: U.S. Army photo

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ස්ටාලින්: U.S. Army photo