Skip to content

පටුනට යන්න

මතභේද විසඳාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

මතභේද විසඳාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

මතභේද විසඳාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

එඩ් මරණාසන්නව සිටියා. ඒත් බිල් ඔහුට වෛර කළා. කලක හොඳ මිත්‍රයන්ව සිටි මේ දෙදෙනාට සිදු වුණේ කුමක්ද? වසර 20කට පමණ ඉහතදී එඩ් නිසා බිල්ට තම රස්සාව අහිමි වුණා. දැන් එඩ්ට ඕන වුණේ මැරෙන්න කලින් බිල් සමඟ සමාදාන වෙන්නයි. ඒ නිසා ඔහු උත්සාහ කළා බිල්ගෙන් සමාව ගන්න. ඒත් බිල් ඒකට කොහෙත්ම කැමති වුණේ නැහැ.

වසර 30කට පමණ පසුව බිල් මරණාසන්නව සිටියදී එඩ්ට සමාව දීමට තමා අකමැති වීමට හේතුව ඔහු පැහැදිලි කළා. “මම එඩ්ගේ හොඳම යාළුවා. ඔහු මට කළ දේ හරි නැහැ. අවුරුදු විස්සක් ගිහිං තිබුණත් මට ඔහුත් එක්ක නැවතත් යාළුකමක් ඇති කරගන්න ඕන වුණේ නැහැ. . . . සමහරවිට මම වැරදි ඇති. ඒත් මට හැඟුණේ එහෙමයි.” *

පුද්ගලයන් අතර ඇති වෙන මතභේදවලදී හැමවිටම මෙවැනි කනගාටුදායක දේවල් සිදු නොවුණත් බොහෝවිට පුද්ගලයන් තුළ ලොකු වේදනාවක් සහ කෝපයක් ඇති වෙනවා. එඩ්ගේ අද්දැකීමට සමාන අද්දැකීමකට මුහුණ දෙන පුද්ගලයෙකුගේ හැඟීම් ගැන ටිකක් සිතා බලන්න. තමා ගන්නා තීරණයක් නිසා වෙනත් කෙනෙකුට ලොකු පාඩුවක් සිදු වෙනවා කියා තේරුම්ගත්තොත් ඔහුගේ සිත ඔහුට නිතරම වද දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමාට අහිමි වූ මිත්‍රත්වය ගැනත් ඔහුට ලොකු දුකක් ඇති වෙනවා. නමුත් ඔහුගේ මිත්‍රයා ඔවුන් අතර තිබූ මිත්‍රත්වය ගැනවත් නොසිතා ඔහුට සමාව දීමට කැමති නොවීම ගැන හිතද්දී ඔහුට ලොකු වේදනාවකුත් දැනෙනවා.

බිල්ගේ තත්වයේ සිටින කෙනෙකුට හැඟෙන ආකාරය ගැන සිතා බලන්න. තමා අහිංසකයි. තමාගේ අතේ කිසිම වරදක් නැති බව ඔහුට හැඟෙයි. මේ නිසා ඔහුට ලොකු දුකක් සහ තම මිත්‍රයා කෙරෙහි දැඩි කෝපයක් ඇති වෙයි. ඔහුට හැඟෙන්නේ තම මිත්‍රයා ඕනෑකමින්ම මෙසේ කළ බවයි. බොහෝවිට පුද්ගලයන් දෙදෙනෙක් අතර මතභේදයක් හටගන්න විට එක් කෙනෙක් හිතන්නේ තමන්ගේ අතේ කිසි වරදක් නැති බව සහ වරද කර තිබෙන්නේ අනික් කෙනා බවයි. කලක් මිතුරන් වී සිටි දෙදෙනෙක් දැන් සතුරන් වෙලා.

එක් කෙනෙක් ළඟින් යන විට අනික් කෙනා අහක බලයි. කට්ටියක් සමඟ සිටින විට ඔවුන් එකිනෙකාව මඟහරියි. දුරින් සිට එකිනෙකා කරන දේවල් දෙස බලා සිටියත් ඔවුන්ගේ නෙත් ගැටෙන විට ඔවුන් වෛරයෙන් රවා බලයි. කතා කරන්න සිදු වන අවස්ථාවලදී සිත් පාරන වේදනාකාරී වචනවලින් එකිනෙකාට පහර දෙයි.

ඔවුන් අතර තිබෙන මතභේදය දරුණු වුණත්, ඔවුන් හැම දෙයක් ගැනම එකඟ නොවන බව කිව නොහැකියි. තමන් අතර බරපතළ ගැටලුවක් තිබෙන බවත් ඔවුන්ගේ මිතුදම බිඳී යෑම ඔවුන්ට මහත් වේදනාවක් බවත් ඔවුන් දෙදෙනාම පිළිගන්නවා වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් යමක් කළ යුතු බව දෙදෙනාටම හැඟෙනවා වෙන්නත් පුළුවන්. නමුත් පළවෙනි පියවර ගන්නේ කවුද? දෙන්නාගෙන් එක් කෙනෙක්වත් ඊට කැමති නැහැ.

මෙවැනිම සිදුවීම් අවුරුදු 2,000කට කලිනුත් සිදු වුණා. යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් අතරත් ඉඳහිට සැර විවාද ඇති වුණා. (මාක් 10:35-41; ලූක් 9:46; 22:24) මෙවන් සැර විවාදයක් ඇති වුණ එක් අවස්ථාවකදී “ඔබ මඟදී වාද කළේ කුමක් ගැනද” කියා යේසුස් ඔවුන්ගෙන් ඇසුවා. ඔවුන් ලජ්ජාවෙන් කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. (මාක් 9:33, 34) ඔවුන්ට නැවතත් සමාදාන වෙන්න උපකාරවත් වූයේ යේසුස් ඉගැන්වූ දේවල්. ඔහු දුන් උපදෙස් මෙන්ම ඔහුගේ ගෝලයන් දුන් උපදෙස් තවමත් මිනිසුන්ට උපකාර කරනවා ඔවුන් අතර ඇති වන මතභේද සමතයකට පත් කරගන්න. ඒ කෙසේද කියා අපි බලමු.

වහාම පියවර ගන්න

සමහරවිට අපට මෙසේ හැඟෙන්න පුළුවන්. “මං ආයේ කීයටවත් එයත් එක්ක කතා කරන්නේ නැහැ. මම එයාව ආයේ දකින්නවත් කැමති නැහැ.” එසේනම් ඔබ වහාම පියවර ගත යුතුයි. මතු දැක්වෙන බයිබල් වගන්ති සලකා බලන්න.

“ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න” කියා යේසුස් පැවසුවා. (මතෙව් 5:23, 24) ඔහු මෙසේත් පැවසුවා. “ඔබේ සහෝදරයා පාපයක් කළොත්, ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න.” (මතෙව් 18:15) ඔබ යමෙකුගේ සිත රිදවා තිබෙනවා විය හැකියි. එසේ නැත්නම් වෙනත් කෙනෙකු ඔබේ සිත රිදවා තිබෙනවා විය හැකියි. යේසුස් කාවද්දන්නේ අනිත් පුද්ගලයා සමඟ කාරණය සමථයකට පත් කරගැනීම සඳහා ඔබ වහාම පියවර ගත යුතු බවයි. ඔබ “මෘදුකමින්” එසේ කළ යුතුයි. (ගලාති 6:1) ඔබ මෙසේ පියවර ගැනීමේදී ඔබගේ පරමාර්ථය විය යුත්තේ කුමක්ද? ඔබගේ තත්වය රැකගෙන නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටවත් කෙසේ හෝ ඔහුගේ කටින්ම වරද පිළිගන්න පොලඹවන්නවත් නොවෙයි. නමුත් සමාදාන වීමයි. මේ උපදෙස ඇත්තටම ප්‍රායෝගිකද?

නිමල් ලොකු කාර්යාලයක වැඩ බලන නිලධාරියෙක්. * වසර ගණනාවක් පුරා ඔහු කළ රාජකාරියට ඇතුළත් වුණා විවිධ පසුබිම්වලින් එන පුද්ගලයන් සමඟ කතා කරගන්න අමාරු කාරණා කතා කර විසඳාගැනීම සහ ඔවුන් සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීම. එකිනෙකා අතර මතභේද පහසුවෙන් හටගත හැකි ආකාරය ඔහු දැක තිබෙනවා. ඔහු මෙසේ පවසනවා. “සමහර අවස්ථාවලදී ඇතැම් අය මාත් එක්ක මතභේද ඇති කරගන්නවා. ඒ වෙලාවලදී මම කරන්නේ ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ඒ ගැන කතා කරන එකයි. ඉතින් මම යෝජනා කරන්නේ මේකයි. එවැනි අය ගාවට යන්න. සමාදාන වීමේ අරමුණෙන් ඔවුන් සමඟ කෙළින් කතා කරන්න. ඒක කවදාවත් වරදින්නේ නැහැ.”

නොයෙකුත් පසුබිම්වල මිතුරියන් ඇති කරගෙන සිටින කාන්ති පවසන්නේ මෙවැනි දෙයක්: “සමහරවිට මම යමක් කියනවා. පස්සේ මට හිතෙනවා මම කාගේ හරි හිත රිදවන්න ඇති කියලා. ඉතින් මම ගිහිල්ලා ඒ අයගෙන් සමාව ඉල්ලනවා. සමහර වෙලාවට ඒ අයගේ හිත රිදිලත් නැහැ. ඒත් ගිහිල්ලා කතා කරලා කාගේවත් හිත රිදිලා නැහැ කියලා හරියටම දැනගත්තහම මට සහනයක් දැනෙනවා.”

බාධා ජයගැනීම

මතභේද සාමකාමීව විසඳාගැනීම හිතන තරම් පහසු නොවෙන්න පුළුවන්. ඔබට කවදා හරි මෙසේ හැඟී තිබෙනවාද? “ඇයි මම ගිහිල්ලා සමාදාන වෙන්න ඕනේ? ප්‍රශ්නය ඇති කළේ එයානේ.” එසේ නැතහොත් යම් ගැටලුවක් විසඳාගන්න ගිය අවස්ථාවේදී අනික් තැනැත්තා ඔබට මෙසේ පවසා තිබෙනවාද? “මේ ප්‍රශ්නය ගැන කතා කරන්න දෙයක් නැහැ!” සමහර අය මෙයාකාරයට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ සිතට දැනෙන වේදනාව නිසයි. ඒ සම්බන්ධයෙන් හිතෝපදේශ 18:19හි මෙසේ සඳහන් වෙනවා. “තරහ වූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් ජය ගන්නවාට වඩා අසීරුය; එබඳු ඩබර වනාහි කොටුවක අගුල් [හා] සමානය.” ඉතින්, අපි අනිත් පුද්ගලයාගේ හැඟීම් සැලකිල්ලට ගන්න අවශ්‍යයි. ඒ අවස්ථාවේදී කතා කරන්න කැමති නැත්නම්, වෙනත් වෙලාවක ගොස් කතා කරන්න. එසේ කරන විට “අගුල්” දැමූ එම ‘බලවත් නුවරේ’ දොරටු ඔබට විවෘත වී තිබෙන්න පුළුවන්. එවිට සමාදාන වෙන්න ඔබට හැකි වෙයි.

සමාව ඉල්ලීම නැත්නම් අමනාප වූ කෙනෙකු සමඟ කතා කිරීම සමහර අය සලකන්නේ තමාවම ඔහු ඉදිරියේ බාල්දු කරගැනීමක් ලෙසයි. මෙයත් සමාදාන වීමට බාධාවක් විය හැකියි. කෙනෙකු තම ආත්ම ගරුත්වය රැකගැනීමට උත්සාහ කිරීම හොඳ දෙයක්. නමුත් සමාදාන වීමට අකමැති වීමෙන් ඇත්තටම ආත්ම ගරුත්වය රැකෙනවාද? නැත්නම් එයට හානියක් සිදු වෙනවාද? ආත්ම ගරුත්වය රැකගැනීමට ඇති මෙම ආශාව පිටුපස තිබෙන්නේ උඩඟුකමද?

සමාව දීමට අකමැති විවාදශීලී ස්වභාවයක් හා උඩඟුකම අතර සම්බන්ධයක් ඇති බව බයිබලයේ ලේඛකයෙකු වූ යාකොබ් පෙන්වා දෙනවා. ඇතැම් ක්‍රිස්තියානීන් අතර වුණත් “යුද්ධ” සහ “දබර” හටගන්නා බව පැවසීමෙන් පසු ඔහු මෙම කාරණය අවධාරණය කරයි. “දෙවි උඩඟු අයට විරුද්ධව සිට, යටහත් අයට මහත් කරුණාව දෙන්නේය.” (යාකොබ් 4:1-3, 6) සමාදාන වීමට උඩඟුකම බාධාවක් වන්නේ කෙසේද?

උඩඟු පුද්ගලයෙක් සාමාන්‍යයෙන් හිතන්නේ ඔහු අනිත් අයට වඩා හොඳයි කියා. ඒ නිසා අන් අයව විනිශ්චය කිරීමට තමාට සුදුසුකම් ඇති බව ඔවුන් සිතනවා. උදාහරණයකට යම් මතභේදයක් ඇති වන විට උඩඟු පුද්ගලයා අනිත් පුද්ගලයා ගැන බොහෝ දුරට සිතන්නේ ‘මෙයා නම් කවදාවත් හැදෙන්නේ නැති කෙනෙක්’ කියායි. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර දමනවා. එමෙන්ම එවැනි අය අනිත් පුද්ගලයා එතරම් සැලකිල්ලක් ලබන්න වටින්නේ නැති අය හැටියට සිතන අතර ඔවුන්ගෙන් අවංකව සමාව ඉල්ලීම තමාටම කරගන්නා නිග්‍රහයක් හැටියටත් ඔවුන් සලකනවා. මේ අනුව උඩඟු පුද්ගලයන් ගැටලු විසඳනවාට වඩා ඒවා දිගින් දිගට ගෙන යනවා.

උඩඟුකම මහමාර්ගයක් හරහා දමා තිබෙන මාර්ග බාධකයකට සමාන කරන්න පුළුවන්. මන්ද එය සමාදාන වීමට ගත යුතු පියවරවලට බාධාවක් වන නිසයි. යමෙකු සමඟ සමාදාන වීමට ඔබ අදිමදි කරනවා නම්, ඇත්තටම ඔබේ ප්‍රශ්නය උඩඟුකම විය හැකියි. උඩඟුකම නැති කර දැමීමට පිළියමක් තිබෙනවාද? ඔව්. යටහත් පහත්කමින් උඩඟුකම නැති කර දැමිය හැකියි.

යටහත් පහත්කම ඇති කරගනිමු

බයිබලයේ යටහත් පහත්කම සලකනු ලබන්නේ ඉතා උසස් ගුණාංගයක් හැටියටයි. එහි මෙසේ සඳහන් වෙනවා. “යටත්කමේද යෙහෝවාට භයවීමේද විපාකය නම් වස්තුවද ගෞරවයද ජීවනයද වේ.” (හිතෝපදේශ 22:4) යටහත් පහත් සහ උඩඟු පුද්ගලයන් පිළිබඳව දෙවිගේ ආකල්පය ගැන ගීතාවලිය 138:6හි පවසන්නේ “යෙහෝවා උසස් නමුත් පහත් තැනැත්තා සලකන්නේය; එහෙත් උඩඟු තැනැත්තා දුරදීම දකින්නේය” හෙවත් දැක නොසලකා හරින්නේය කියායි.

බොහෝදෙනෙක් යටහත් පුද්ගලයන්ව සලකන්නේ දුර්වල අය හැටියටයි. ලෝකයේ පාලකයන් මෙවැනි ආකල්පයක් දරන බවට සාක්ෂි තිබෙනවා. මුළු රටක්ම තම අණසක යටතේ තබාගන්නා දේශපාලන නායකයෝ තමන් අතින් වරදක් සිදු වන බව පිළිගන්නේ කලාතුරකින්. එසේ පිළිගත්තොත් එය පුදුමයට කාරණයක්. උදාහරණයකට මෑතකදී බොහෝ ජීවිත බිලිගත් සිද්ධියකදී තමා අතින් සිදු වූ අඩු පාඩුව ගැන ආණ්ඩුවේ හිටපු නිලධාරියෙක් සියලුදෙනාගෙන් සමාව ඉල්ලුවා. එය පුවත්පත්වල සිරස්තලයක් බවට පත් වුණා.

යටහත් පහත් පුද්ගලයෙක් කියන්නේ යටහත් පහත්කම මවාපාන පුද්ගලයෙක් නොවෙයි. ඔහුගේ යටහත් පහත්කම රඳා පවතින්නේ අන් අය ඔහු ගැන පවසන දේ මත නොවෙයි. ඔහු නිරහංකාර, නිහතමානී, එනම් තමා ගැන කිසි මානයක් නැති කෙනෙක්. එනිසා ඔහු නිතරම අන් අයව උසස් කොට සලකනවා. තමාගේ අසම්පූර්ණකම්ද අවබෝධ කරගෙන සිටිනවා. කෙනෙක් තමාගේ වැරදි අවංකව පිළිගෙන සමාව ඉල්ලනවා නම් ඔහු නින්දාවට පත් වන්නේ නැහැ. එයින් ඇත්තටම සිදු වන්නේ මිනිසුන් ඔහුට වැඩියෙන් ගෞරවය කිරීමයි. බයිබලයේ මෙවැනි දෙයක් පවසන්නේ ඒ නිසයි. “විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.”—හිතෝපදේශ 18:12, නව අනුවාදය.

තමන් අතින් සිදු වන වැරදිවලට සමාව ඉල්ලීමට අකමැති දේශපාලන නායකයන් ගැන එක් විශාරදයෙක් මෙසේ පැවසුවා. “කනගාටුදායක කාරණයක් වන්නේ ඔවුන් තම වැරදි පිළිගැනීම සලකන්නේ දුර්වලකමක් ලෙසයි. ඇත්තම කියනවා නම් සමාව ඉල්ලන්නේ නැත්තේ ආත්ම විශ්වාසයක් නැති දුර්වල අයයි. තමා අතින් වරදක් සිදු වූ බව පිළිගන්නේ කාරුණික හා ධෛර්යසම්පන්න අයයි. එසේ කිරීමෙන් ඔවුන්ගේ ආත්ම ගරුත්වයට කිසිම හානියක් සිදු වන්නේ නැහැ.” මෙය දේශපාලනඥයන් සම්බන්ධයෙන් විතරක් සත්‍යයක් නොවෙයි. උඩඟු වී සිටීම වෙනුවට ඔබ යටහත් පහත්කමින් ක්‍රියා කිරීමට වෑයම් කළහොත් මතභේද ඇති වන විට සමාදාන වීම පහසුයි. මෙය එක පවුලක් අද්දුටු ආකාරය සලකා බලන්න.

ජූලි සහ ඇගේ මල්ලි විලියම් අතර මතභේදයක් ඇති වුණා. ජූලි සහ ඇගේ පුරුෂයා වන ජෝසෆ් සමඟ විලියම් කොතරම් අමනාපයක් ඇති කරගත්තාද කිවහොත් ඔහු ඔවුන් සමඟ තිබූ සම්බන්ධකම් සියල්ලම අත්හැරියා. ජූලි සහ ජෝසෆ් ඔහුට දී තිබුණු තෑගි සියල්ලත් ඔහු ආපසු දුන්නා. කල් යත්ම, ඔවුන් අතර තිබුණු මිතුදම වෙනුවට වෛරයක් හටගත්තා.

ඒත් ජෝසෆ් තීරණය කළා මතෙව් 5:23, 24හි සඳහන් ප්‍රතිපත්තිය අදාළ කරගන්න. ඔහු ප්‍රේමණීයව තම මස්සිනාගේ සිත දිනාගැනීමේ අරමුණින් ඔහුව අමනාප කළාට සමාව ඉල්ලමින් ලිපි කිහිපයක්ම ලියා යැව්වා. මල්ලිට සමාව දෙන්න කියා ජෝසෆ් තම භාර්යාවගෙනුත් ඉල්ලා සිටියා. කල් යත්ම විලියම්ට තේරුණා ජූලි සහ ජෝසෆ්ට සමාදාන වෙන්න අවංක ආශාවක් තිබෙන බව. ඔහුගේ සිත උණු වී ගියා. දවසක් විලියම් සහ ඔහුගේ භාර්යාව, ජූලි සහ ජෝසෆ්ව හමු වෙන්න ගියා. හැමෝම එකිනෙකාව වැලඳගෙන සමාව ඉල්ලුවා. ඔවුන්ගේ මිත්‍රත්වය යළිත් දළුලන්න පටන්ගත්තා.

තවත් කෙනෙකු සමඟ ඇති වූ මතභේදයක් විසඳගන්න ඇත්තටම ඔබට ආශාවක් ඇත්නම්, බයිබලයේ උගන්වා ඇති ප්‍රතිපත්ති ඉවසිලිවන්තව අදාළ කරගනිමින් ඒ පුද්ගලයා සමඟ සමාදාන වීමට උත්සාහ කරන්න. යෙහෝවා දෙවි ඔබට උපකාර කරනවා නිසැකයි. පුරාණයේ විසූ ඊශ්‍රායෙල් ජනතාවට දෙවි පැවසූ දේ ඔබ සම්බන්ධයෙන්ද සැබෑවක් වෙයි. “අහෝ, ඔබ මාගේ ආඥාවලට කන් දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන් . . . වන්නේය.”—යෙසායා 48:18.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ස්ටැන්ලි ක්ලවුඩ් සහ ලින් ඕල්සන් විසින් රචිතThe Murrow Boys—Pioneers on the Front Lines of Broadcast Journalism පොත ඇසුරෙන්.

^ 12 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[7වන පිටුවේ පින්තූර]

සමාදාන වීමට මඟ සමාව ඉල්ලීමයි