Skip to content

පටුනට යන්න

රූත් පොතෙන් විශේෂාංග

රූත් පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

රූත් පොතෙන් විශේෂාංග

රූත් නමැති බයිබල් පොතේ කාන්තාවන් දෙදෙනෙක් අතර පැවති ප්‍රේමණීය බැඳීම ගැන සත්‍යය වාර්තාවක් අඩංගු වෙයි. යෙහෝවා දෙවිව ඉතා අගය කොට සලකනු ලැබූ ආකාරය සහ ඔහුගේ විධිවිධානයට පෙන්වනු ලැබූ කීකරුකම පිළිබඳවත් එහි සඳහන් වෙනවා. තම පුත්‍රයා වන යේසුස් ඉපදෙන්නට සිටි පෙළපත ගැන යෙහෝවා දෙවි දැක්වූ සැලකිල්ල ගැනද එම වාර්තාව ගෙනහැර දක්වයි. පුංචි පවුලක් අද්දකින ප්‍රීතිය මෙන්ම ශෝකය වැනි දේවල්ද එම වාර්තාවේ ඇතුළත් වෙනවා.

වසර 11ක පමණ කාලයක් තුළ සිදු වූ සිදුවීම් රූත් පොත මගින් ආවරණය කරනවා. ඒ සිදුවීම් සිදු වුණේ ‘විනිශ්චයකාරයන් ඊශ්‍රායෙල්හි විනිශ්චය කළ දවස්වලදීයි.’ (රූත් 1:1) එහි වාර්තා වී තිබෙන දේවල් සිදු වූයේ විනිශ්චයකරුවන් සිටි කාල පරිච්ඡේදයේ මුල් අවධියේ විය හැකියි. මෙම සැබෑ සිද්ධියට සම්බන්ධ එක්තරා ඉඩම් හිමියෙකු වූ බෝවස්, යෝෂුවාගේ කාලයේ විසූ රාහබ්ගේ පුත්‍රයා වීම ඊට හේතුවයි. (යෝෂුවා 2:1, 2; රූත් 2:1; මතෙව් 1:5) මෙම විස්තරයේ ලේඛකයා අනාගතවක්තෘ සාමුවෙල් විය හැකි අතර ඔහු එය ලියන්නට ඇත්තේ ක්‍රි.පූ. 1090දීයි. ඊශ්‍රායෙලිතයෙකු නොවන කාන්තාවකගේ නම දරන එකම බයිබල් පොත මෙයයි. එහි තිබෙන පණිවුඩය “ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙව් 4:12.

“ඔබ යන තැනට මමත් යමි”

(රූත් 1:1–2:23)

නායොමි සහ රූත් බෙත්ලෙහෙමට හැරී එන විට ඔවුන් දෙදෙනාව සැමෝගේම අවධානයට ලක් වෙනවා. මේ දෙදෙනාගෙන් නායොමි දෙස බලමින් “මේ නායොමිද?” කියා නගරයේ කාන්තාවන් අසනවා. නායොමි ඊට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “සර්වපරාක්‍රමයාණන් මට ඉතා තික්ත ලෙස ක්‍රියා කළ නිසා මට නායොමි නොකියා මාරා යයි කියන්න; මම සම්පූර්ණව පිටත්ව ගියෙමි; යෙහෝවා මා හිස් කොට නැවත ගෙනාවේය.”—රූත් 1:19-21.

ඊශ්‍රායෙලයේ ඇති වූ සාගතයක් නිසා නායොමිටත් ඇගේ පවුලේ අයටත් මෝවබ් දේශයට යන්න සිදු වුණා. ඒ අවස්ථාවේදී නායොමිට ස්වාමිපුරුෂයෙක් සහ පුත්‍රයන් දෙදෙනෙක් සිටි නිසා ඇය “සම්පූර්ණව” සිටියා කියා කිව හැකියි. කෙසේවෙතත් ඔවුන් මෝවබ් දේශයේ පදිංචි වී ටික කලක් ගත වුණායින් පසුව ඇගේ ස්වාමිපුරුෂයා වූ එලීමෙලෙක් මිය ගියා. පසුව ඇගේ පුත්‍රයන් දෙදෙනා මෝවබ් ජාතික කාන්තාවන් දෙදෙනෙකු වන ඔර්පා සහ රූත්ව විවාහ කරගන්නවා. වසර දහයක් පමණ ගත වුණාට පසුව නායොමිගේ පුත්‍රයන් දෙදෙනාත් මිය යනවා. ඔවුන්ට එක දරුවෙක්වත් සිටියේ නැහැ. දැන් මෙම කාන්තාවන් තුන්දෙනාම තනි වෙලා! නැන්දම්මා, එනම් නායොමි නැවතත් යූදාවට යෑමට තීරණය කරන විට ඇගේ ලේලීන් දෙදෙනාත් ඇය සමඟ යන්න පිටත් වෙනවා. ඒ යන අතරේදී නායොමි ඇගේ ලේලීන් දෙදෙනාට උනන්දු කරන්නේ නැවතත් මෝවබ් දේශයට ගොස් ඔවුන්ගේ සෙනඟ අතරින් ස්වාමිපුරුෂයන්ව හොයාගන්න කියායි. ඔර්පා මෙයට කැමති වෙනවා. නමුත් රූත් යන්නේ නැහැ. ඇය නායොමිට මෙසේ පවසනවා. “ඔබ යන තැනට මමත් යමි; ඔබ නවතින තැන මමත් නවතිමි; ඔබේ සෙනඟ මාගේ සෙනඟ වන්නෝය; ඔබේ දෙවි මාගේ දෙවි වන්නේය.”—රූත් 1:16.

මෙම වැන්දඹුවන් දෙදෙනා, ඒ කියන්නේ නායොමි සහ රූත් බාර්ලි අස්වැන්න නෙළන කාලය පටන්ගන්නකොට බෙත්ලෙහෙමට පැමිණෙනවා. විදේශීන්ට සහ දිලිඳුන්ට කෙත්වල කරල් අහුලන්න දේවනීතියේ අවසර දී තිබෙනවා. එමනිසා රූත් එලීමෙලෙක්ගේ නෑයෙක් වන පුද්ගලයෙකුගේ කෙතේ කරල් අහුලන්න යනවා. මෙම පුද්ගලයා වයසින් මුහුකුරා ගිය යුදෙව්වෙක්. ඔහුගේ නම බෝවස්. බෝවස් රූත්ට කරුණාව පෙන්වන නිසා “ඈ යව [හෙවත් බාර්ලි] කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිම වන තෙක්” ඔහුගේ කෙතේ කරල් අහුලනවා.—රූත් 2:23.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර

1:8—නායොමි තම ලේලීන්ට ඔවුන්ගේ පියවරුන්ගේ ගෙවල්වලට හැරී යන්න කියා නොකියා “තම තමන්ගේ මව්වරුන්ගේ ගෙවලට යන්න” කියා පැවසුවේ ඇයි? ඒ කාලයේදී ඔර්පාගේ පියා ජීවතුන් අතර සිටියාද නැද්ද කියා වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් රූත්ගේ පියා සිටියා. (රූත් 2:11) එහෙත් නායොමි මව්වරුන්ගේ ගෙවල් ගැන කතා කරන්නට ඇත්තේ මවකගේ සෙනෙහසේ සැනසුම ඔවුන්ට මතක් කර දීම සඳහා විය හැකියි. තම ආදරණීය නැන්දම්මාගෙන් වෙන්වීමට අකමැතිව දුකින් සිටි දියණියන්ට මෙම කාරණය මතක් කර දීම සැනසිලිදායක දෙයක් විය හැකියි. නායොමි මෙන් නොව රූත් සහ ඔර්පාගේ මව්වරුන්ට තමන්ටම කියා ගෙවල් තිබුණ නිසාත් නායොමි එහෙම පවසන්නට ඇති.

1:13, 21—නායොමිට ජීවිතය තික්ත වීමට සැලැස්සුවේත් ඇයට විපත්ති ඇති කළේත් යෙහෝවා දෙවිද? නැහැ. නායොමි දෙවිට එලෙස දොස් කීවේත් නැහැ. එහෙත් ඇයට සිදු වූ විපත්ති නිසා යෙහෝවා තමාව අත්හැරිය බවක් නායොමිට හැඟුණා. ඇයට ජීවිතය ගැන තික්තකමක් සහ කලකිරීමක් දැනුණා. ඒ විතරක් නොවෙයි, ඒ කාලයේදී කුසේ පලය ආශීර්වාදයක් හැටියටත් වඳභාවය ශාපයක් හැටියටත් සලකනු ලැබුවා. මුනුබුරු මිනිබිරියන් තමාට නොසිටි නිසාත්, පුත්‍රයන් දෙදෙනාත් මිය ගොස් සිටි නිසාත් යෙහෝවා තමාව නින්දාවට පත් කළා කියා සිතීම සාධාරණ බව නායොමිට හැඟෙන්න ඇති.

2:12—රූත් යෙහෝවාගෙන් ලැබූ “සම්පූර්ණ විපාකය” කුමක්ද? රූත්ට පුතෙක් ලැබුණා. ඔහු තුළින් ඉතිහාසයේ වැදගත්ම පරම්පරාවට, එනම් යේසුස් ක්‍රිස්තුස් පැමිණි පරම්පරාවට සම්බන්ධ වීමේ වරප්‍රසාදය ඇය ලැබුවා.—රූත් 4:13-17; මතෙව් 15, 16.

අපට ගත හැකි පාඩම්:

1:8; 2:20. නායොමි වේදනාකාරී අද්දැකීම් ලැබුවත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය හා කරුණාව ගැන ඇයට තිබුණු විශ්වාසය අඩු වුණේ නැහැ. අපත් විශේෂයෙන් දරුණු පීඩා අද්දකිද්දී නායොමි මෙන් දෙවිගේ ප්‍රේමය හා කරුණාව ගැන විශ්වාසය තැබිය යුතුයි.

1:9. නිවසක් කියන්නේ පවුලේ සාමාජිකයන් කා බී නිදාගන්න තැනක් පමණක් නොවෙයි. එය නිවාඩු පාඩුවේ සැනසිල්ලේ සිටිය හැකි තැනක්ද විය යුතුයි.

1:14-16. ඔර්පා “තමාගේ සෙනඟද දේවතාවන්ද වෙත හැරී ගියා.” රූත් එහෙම කළේ නැහැ. ඇගේ ගමේ ඇය ගත කළ සැපපහසු, සුරක්ෂිත ජීවිතය අත්හරිමින් ඇය යෙහෝවාට පක්ෂපාත ප්‍රේමය දැක්වූවා. අපත් දෙවිට පක්ෂපාත ප්‍රේමය පෙන්වමින් ආත්ම පරිත්‍යාගශීලී ලෙස කටයුතු කරනවා නම්, අපේම ආශාවන්ට ගොදුරු වී ‘විනාශ වී යෑමෙන්’ වැළකීමට හැකි වෙයි.—හෙබ්‍රෙව් 10:39.

2:2. විදේශීන්ට හා දිලිඳුන්ට කරල් ඇහිඳිමට නිදහස තිබුණා. රූත් මෙම සැලැස්මෙන් ප්‍රයෝජන ගැනීමට කැමති වුණා. ඇය සිතින් නිහතමානි කෙනෙක්. අගහිඟකම් ඇති ක්‍රිස්තියානියෙක් සෙසු ඇදහිලිවන්තයන් ප්‍රේමයෙන් සපයන උපකාර හෝ ආණ්ඩුවෙන් ලැබෙන ආධාර පිළිගැනීමට අකමැති වන තරමට අහංකාර වීම සුදුසු වන්නේ නැහැ.

2:7. රූත්ට කරල් අහුලාගැනීමට අයිතියක් තිබූ නමුත් ඇය එසේ කිරීමට පෙර අවසර ඉල්ලුවා. (ලෙවී කතාව 19:9, 10) එයින් ඇගේ මොළොක්ගුණය දිස් වුණා. අපත් “මොළොක්කම සොයන්න” උත්සාහ කිරීම නැණවත් දෙයක්. මන්ද “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය” කියා බයිබලය පවසන නිසයි.—ශෙපනියා 2:3; ගීතාවලිය 37:11.

2:11. රූත් නායොමිට නෑයෙකු පමණක් නොව සැබෑ මිතුරියක්ද වුණා. (හිතෝපදේශ 17:17) ඔවුන්ගේ මිත්‍රත්වය ගොඩනැඟුණේ ප්‍රේමය, පක්ෂපාතකම, සංවේදීභාවය, කරුණාවන්තකම සහ ආත්ම පරිත්‍යාගශීලීකම වැනි ගුණාංග මතයි. එමනිසා ඔවුන්ගේ මිත්‍රත්වය ඉතා ශක්තිමත් එකක් වුණා. ඔවුන්ගේ මිත්‍රත්වයට තවත් විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි යෙහෝවාට සේවය කිරීමටත් ඔහුගේ නමස්කාරකයන් අතර සිටීමටත් ඔවුන් දෙදෙනාටම තිබූ ආශාව. සැබෑ නමස්කාරකයන් සමඟ අව්‍යාජ මිත්‍රත්වයන් ඇති කරගැනීමට අපටත් කදිම අවස්ථා තිබෙනවා.

2:15-17. රූත්ගේ වැඩකොටස ලිහිල් කිරීමට බෝවස් කටයුතු සැලසුම් කළත්, ‘ඇය සවස් වන තෙක් කෙතේ කරල් ඇහුළුවා.’ රූත් වෙහෙස නොබලා වැඩ කළ කෙනෙක්. ක්‍රිස්තියානියෙකු කඩිසර ලෙස වැඩ කරන කෙනෙකු හැටියට නම් දැරිය යුතුයි.

2:19-22. නායොමි සහ රූත් සවස් වරුවල කතා බහේ යෙදුණා. නායොමි රූත්ට උනන්දුවෙන් සවන් දුන්නා. ඒ දෙදෙනාට තම අදහස් හා හැඟීම් බයක් සැකක් නැතුව ප්‍රකාශ කිරීමට හැකි වුණා. ක්‍රිස්තියානි පවුලකත් ඊට සමාන තත්වයක් තිබිය යුතුයි.

2:22, 23. යාකොබ්ගේ දියණිය වූ දීනාට වඩා වෙනස්ව රූත් ආශ්‍රය කළේ යෙහෝවා දෙවිට නමස්කාර කළ අයවයි. අපට ඇය මොන තරම් කදිම ආදර්ශයක්ද!—උත්පත්ති 34:1, 2; 1 කොරින්ති 15:33.

නායොමි “සම්පූර්ණ” වෙයි

(රූත් 3:1–4:22)

නායොමිට දැන් දරුවන් ලැබෙන වයස පහු වෙලා. එමනිසා ඇය රූත්ට පවසනවා ඇගේ ළඟ නෑයෙකු වන බෝවස් සමඟ විවාහ වෙන්න කියා. රූත් ඊට එකඟ වී මුදවාගන්නෙකු ලෙස යුතුකම් ඉටු කිරීමට බෝවස්ගෙන් ඉල්ලා සිටිනවා. බෝවස් ඊට එකඟ වෙනවා. කෙසේවෙතත් බෝවස්ටත් වඩා කිට්ටු නෑයෙක් නයෝමිට සිටින නිසා, මුදවාගැනිමේ කටයුතු ඉටු කිරීම සඳහා ඔහුටයි මුල් අවස්ථාව දිය යුත්තේ.

මේ කටයුත්ත නිම කිරීම සඳහා බෝවස් යුහුසුලු වෙයි. පසුදා උදෑසනම බෝවස් බෙත්ලෙහෙමේ සිටින වැඩිමහල්ලන් දසදෙනෙකු ඉදිරියේ එම නෑදෑයාගෙන් අසනවා ඔහු මුදවාගැනීමේ යුතුකම් ඉටු කිරීමට කැමතිද කියා. ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා බෝවස් මුදවාගන්නෙකුගේ යුතුකම ඉටු කරමින් රූත් සමඟ විවාහ වෙනවා. ඔවුන්ට බිහි වූ දරුවාගේ නම ඕබෙද්. ඔහු තමයි දාවිත් රජගේ සීයා වෙන්නේ. දැන් බෙත්ලෙහෙමේ කාන්තාවන් නායොමිට මෙහෙම පවසනවා. “යෙහෝවාට [ප්‍රශංසා] වේවා, . . . ඔහු ඔබට ජීවිතය නැවත දෙන්නෙක්ද ඔබේ මහලු වයසේදී සනසන්නෙක්ද වන්නේය; මක්නිසාද ඔබට ආදරේ ඇත්තාවූද ඔබට පුත්‍රයන් හත්දෙනෙකුට වඩා යහපත් වූද ඔබේ [ලේලී] ඔහු වැදුවාය.” (රූත් 4:14, 15) බෙත්ලෙහෙමට “හිස්” අතින් හැරී ආ කාන්තාව දැන් නැවතත් “සම්පූර්ණ” වී සිටිනවා!—රූත් 1:21.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර

3:11—“ගුණවන්ත ස්ත්‍රියක්” ලෙසට රූත් හොඳ නමක් දිනාගත්තේ කෙසේද? අන් අයට රූත් ගැන පැහැදීමක් ඇති වුණේ ඇය ‘කොණ්ඩය ගොතා රන් ආභරණ පැළඳගෙන සිටි ඇඳුම් පැළඳුම්’ බොහොමයක් ඇති කෙනෙකු වූ නිසා නොවෙයි. ඔවුන්ගේ සිත් ඇදී ගියේ ඇගේ ‘අභ්‍යන්තර’ ගුණාංග වෙතටයි. එනම් ඇගේ පක්ෂපාතකම හා ප්‍රේමය, ඇගේ නිහතමානිකම හා මොළොක්ගුණය මෙන්ම ඇගේ කඩිසරකම සහ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයටයි. රූත් වගේ හොඳ නමක් දිනාගැනීමට කැමති ඕනෑම දේවභක්තික කාන්තාවක් මෙම ගුණාංග වර්ධනය කරගැනීමට වෑයමක් දැරිය යුතුයි.—1 පේතෘස් 3:3, 4; හිතෝපදේශ 31:28-31.

3:14—රූත් සහ බෝවස් හිමිදිරි පාන්දර අවදි වුණේ ඇයි? මෙයට හේතුව ඔවුන් රාත්‍රියේදී අනාචාරයේ යෙදුණ නිසාවත් එය රහසිගතව තබාගැනීමට ඔවුන්ට ඕනෑ වූ නිසාවත් නොවෙයි. එදා රාත්‍රියේදී රූත් කටයුතු කළේ සාමාන්‍යයෙන් මුදවාගන්නෙකු සොයන කාන්තාවක් සිරිත් පරිදි කටයුතු කරන ආකාරයටයි. ඇය කටයුතු කළේ නායොමිගේ මඟ පෙන්වීම්වලට අනුවයි. ඒ විතරක් නොවෙයි, බෝවස්ගේ ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ රූත් කටයුතු කළ ආකාරයේ කිසිදු වැරැද්දක් ඔහු නොදුටු බවයි. (රූත් 3:2-13) රූත් සහ බෝවස් හිමිදිරි පාන්දර අවදි වන්නට ඇත්තේ, පදනමක් නැති කට කතා පැතිරීම වැළැක්වීමට විය හැකියි.

3:15—බෝවස් රූත්ට බාර්ලි නැළි හයක් දීමට විශේෂ හේතුවක් තිබුණාද? දවස් හයක් වැඩ කළාට පසු නිවාඩු දවසක් පැමිණෙනවා සේම රූත්ගේ නිවාඩු ගැනීමේ දවස ආසන්න බව මින් සමහරවිට අදහස් කරන්න ඇති. එනම් රූත්ට තම වැන්දඹු කාලය අවසන් කර ස්වාමිපුරුෂයෙකු සමඟ ‘නිවාඩු ලබාගන්න’ බෝවස් දේවල් සැලසුම් කරන බව ඉන් අදහස් කරන්න ඇති. (රූත් 1:9; 3:1) අනෙක් අතට රූත්ට හිසේ තබාගෙන ගෙන යා හැකි බර නැළි හයක් පමණක් වූවා විය හැකියි.

3:16—“මාගේ දියණියෙනි, ඔබ කවුදැයි” නායොමි රූත්ගෙන් ඇසුවේ ඇයි? තම ලේලීව අඳුරගන්න නායොමිට හැකි වුණේ නැද්ද? එසේ වෙන්නට පුළුවන්. ඊට හේතුව රූත් නැවත නිවසට පැමිණෙන විටත් එළිය වැටී නොතිබෙන්නට ඇති. අනික් අතට රූත්ව මුදවාගනු ලැබුවාද නැද්ද කියා දැනගැනීමටත් නායොමි එහෙම අසන්නට ඇති.

4:6—මුදවාගැනීමේ යුතුකම් ඉටු කිරීමෙන් මුදවාගන්නෙකු තමාගේ උරුමයට “අලාභ” හානි සිදු කරන්නේ කෙසේද? මුලින්ම දිලිඳු වී සිටින පුද්ගලයා තමාගේ උරුමය වෙනත් කෙනෙකුට විකුණා තිබුණා නම්, මුදවාගන්නාට සිදු වෙනවා එම ඉඩම නැවත මිළ දී ගැනීමට. එයට මිළ නියම වෙන්නේ ඊළඟ ජුබිලියට ඉතිරිව තිබෙන වසර ගණන අනුවයි. (ලෙවී කතාව 25:25-27) එසේ කිරීමෙන් ඔහු සතුව තිබෙන දේපොළ වස්තුවල වටිනාකම අඩු වෙනවා. ඇරත් රූත්ට පුතෙක් ලැබුණොත් ඔහුටයි මුදවාගත් ඉඩම උරුම වෙන්නේ. ඒක මුදවාගන්නාට නෑකම් කියන වෙනත් කෙනෙකුට ලැබෙන්නේ නැහැ.

අපට ගත හැකි පාඩම්:

3:12; 4:1-6. බෝවස් යෙහෝවාගේ විධිවිධානය අකුරටම පිළිපැද්දා. අපිත් දෙවිගේ සංවිධානයේ විධිවිධාන පිළිපැදීමට යුහුසුලු වෙනවාද?—1 කොරින්ති 14:40.

3:18. නායොමි බෝවස්ව විශ්වාස කළා. සෙසු ඇදහිලිවන්තයන්ව අපත් එලෙස විශ්වාස කළ යුතුයි. මුදවාගන්නෙකු සමඟ විවාහ වීමට රූත් කැමති වුණා. ඇය ඔහුව දැන හඳුනාගෙන සිටියේ නැහැ. ඔහුගේ නම බයිබලයේ සඳහන් වෙලාවත් නැහැ. (රූත් 4:1) ඇය එසේ කළේ ඇයි? ඇයට දෙවිගේ විධිවිධානය ගැන විශ්වාසයක් තිබූ නිසයි. අපටත් එවැනි විශ්වාසයක් තිබෙනවාද? නිදසුනක් වශයෙන් විවාහ වීමට කෙනෙක් සොයද්දී ‘ස්වාමීන් තුළ පමණක්’ එසේ කිරීමට දී තිබෙන උපදෙසට අප අවනත වෙනවාද?—1 කොරින්ති 7:39.

4:13-16. රූත් මෝවබ් ස්ත්‍රියක් වුවත්, ඇය කලින් කෙමොෂ් නමැති දෙවියාට නමස්කාර කළත් ඇයට ලැබුණු වරප්‍රසාදය මොන තරම්ද! ලැබෙන වරප්‍රසාද “රඳා පවතින්නේ කැමති වන තැනැත්තා මතවත් දුවන තැනැත්තා මතවත් නොව, දයාව දක්වන දෙවි මතය” යන කාරණය මෙහිදී හොඳින් පැහැදිලි වෙනවා.—රෝම 9:16.

“දෙවි සුදුසු කාලයේදී ඔබව උසස්” කරයි

රූත් පොත යෙහෝවාව විස්තර කරන්නේ තම පක්ෂපාත සේවකයන් වෙනුවෙන් ක්‍රියා කරන ප්‍රේමණීය කරුණාවෙන් පූර්ණ දෙවි කෙනෙකු ලෙසටයි. (1 ලේකම් 16:9) රූත්ට ලැබුණු ආශීර්වාද ගැන සිතා බලද්දී, දෙවිව “ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බව” කිසිම සැකයක් නැතුව විශ්වාස කරමින් දෙවි කෙරෙහි රඳා සිටීමේ වැදගත්කම අපිට පැහැදිලි වෙනවා.—හෙබ්‍රෙව් 11:6.

රූත්, නායොමි සහ බෝවස් යෙහෝවාගේ විධිවිධානය සම්පූර්ණයෙන් විශ්වාස කළා. එසේ කිරීම නිසා ඔවුන්ට හොඳ ප්‍රතිඵල ලැබුණා. ඒ හා සමානව ‘දෙවිගේ අරමුණට එකඟව කැඳවනු ලැබූ අයගේ, එනම් දෙවිට ප්‍රේම කරන අයගේ යහපත සඳහා, දෙවි තමන්ගේ සෑම ක්‍රියාවක්ම එකට එක් කර ක්‍රියාත්මක වීමට සලස්වනවා.’ (රෝම 8:28) එසේනම් “දෙවි සුදුසු කාලයේදී ඔබව උසස් කරන පිණිස, ඔහුගේ බලවත් හස්තයට යටත් වී නිහතමානී වන්න. ඔහු ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න” යන ප්‍රේරිත පේතෘස්ගේ උපදෙස් සිතින්ම පිළිපැදීමට අපි අදිටන් කරගනිමු.—1 පේතෘස් 5:6, 7.

[26වන පිටුවේ පින්තූරය]

රූත් නායොමිව අත් නොහැරීමට හේතුව ඔබ දන්නවාද?

[27වන පිටුවේ පින්තූරය]

“ගුණවන්ත ස්ත්‍රියක්” ලෙසට රූත් හොඳ නමක් දිනාගත්තේ මන්ද?

[28වන පිටුවේ පින්තූරය]

රූත් යෙහෝවාගෙන් ලැබූ “සම්පූර්ණ විපාකය” කුමක්ද?