වචනවලින් පහර දීම
වචනවලින් පහර දීම
“ඔබ අතරේ තිබෙන යුද්ධ කොතැනින්ද? දබර කොතැනින්ද?”—යාකොබ් 4:1.
බයිබලයේ ලේඛකයෙකු වූ යාකොබ් ඉහත සඳහන් ප්‍රශ්න ඇසුවේ කවුරුන්ගෙන්ද? රෝම හමුදාවේ සෙබළුන්ගෙන්ද? එසේ නැත්නම් රෝම හමුදාවට විරුද්ධව සටන් කරමින් සිටි යුදෙව් කැරලිකරුවන්ගෙන්ද? ඇත්තෙන්ම මෙහිදී යාකොබ් කතා කරමින් සිටියේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු විය හැකි මතභේද ගැනයි. ඔහු ඒවා යුද්ධවලට සමාන කළේ ඒවායින් හානිකර ප්‍රතිඵල ඇති විය හැකි නිසයි. බයිබලයේ සඳහන් මතු දැක්වෙන සිද්ධීන් සලකා බලන්න.
යාකොබ්ගේ පුත්‍රයන් තම සහෝදරයා වන යෝසෙප්ට කොතරම් වෛර කළාද කිවහොත් ඔහුව වහලෙක් ලෙසට විකුණුවා. (උත්පත්ති 37:4-28) ඊශ්‍රායෙල් රාජ්‍යයේ රජෙක් වූ සාවුල් දාවිත්ව මැරීමට උත්සාහ කළේ ඔහු දාවිත්ට ඊර්ෂ්‍යා කළ නිසයි. (1 සාමුවෙල් 18:7-11; 23:14, 15) පළමු ශතවර්ෂයේදී ක්‍රිස්තියානි සභාවේ සිටි ස්ත්‍රීන් දෙදෙනෙකු වූ යුවෝදියා සහ සින්ටිකී අතර මතභේදයක් ඇති වූ නිසා එය මුළු සභාවේම සාමයට බලපෑවා.—ෆිලිප්පි 4:2.
මෑත කාලවලදී මිනිස්සු මතභේද විසඳාගත්තේ කඩු හරඹවලින් හෝ පිස්තෝලවලින්. ඉන්, එක් කෙනෙක් ජය ලබනවා. පරදින කෙනා එක්කෝ මිය යනවා නැතහොත් බරපතළ ලෙස තුවාල ලබනවා. අදත් මෙවැනි දේවල් සිදු වුණත් මිනිස්සු වැඩි වශයෙන් සටන් කරන්නේ වචනවලින්. වචනවලින් ප්‍රහාර එල්ල කරන විට ශාරීරික තුවාල සිදු නොවුණත් කෙනෙකුගේ සිත බරපතළ ලෙස තුවාල විය හැකියි. ඔහුගේ නමටත් කැළලක් ඇති විය හැකියි. බොහෝවිට මෙවන් “ගැටුම්වලදී” පහර කන්නේ ඒවාට සම්බන්ධ නැති අහිංසක අයයි.
උදාහරණයකට අවුරුදු කිහිපයකට පෙරාතුව එංගලන්ත සභාවේ පූජකයන් දෙදෙනෙකු අතර සිදු වූ දෙයක් සලකා බලන්න. එක් පූජකයෙක් අනික් පූජකයාට චෝදනා කළේ ඔහු පල්ලියේ මුදල් වංචා කළ බවයි. ඔවුන් අතර තිබූ මෙම ප්‍රශ්නය නිසා සභාවේ සාමාජිකයන් පිල් දෙකකට බෙදුණා. තමන් අකමැති පූජකයා පල්ලියේ මෙහෙය සිදු කරද්දි ඊට සහභාගී වීමට පවා ඇතැම් අය කැමති වුණේ නැහැ. ඒ පිල් දෙක අතර කොතරම් අමනාපයක් තිබුණාද කිවහොත් ඔවුන් මෙහෙයට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවලදී පවා එකිනෙකාව මඟහැරියා. චෝදනාව එල්ල කළ පූජකයා ලිංගික අපචාරයේ යෙදුණු බවට චෝදනා ලැබූ විට ගැටලුව තවත් උග්‍ර වුණා.
එංගලන්ත සභාවේ නායක අගරදගුරු එම පූජකයන් අතර සිදු වූ ගැටුම “පිළිකාවක්” හැටියටත් “සමිඳුන්ගේ නාමයට ලොකු කැළලක්” හැටියටත් හැඳින්වූවා. වර්ෂ 1997දී එම පූජකයන්ගෙන් කෙනෙක් තම සේවා කාලයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළා. අනිත් පූජකයා තමාගේ නියමිත සේවා කාලය අවසන් වන තුරු තම පූජක තනතුරේ රැඳී සිටියා. ඔහු පූජක සේවයෙන් විශ්‍රාම ගත්තේ 2001 අගෝස්තු 7වන දා ඔහුගේ 70වන උපන් දිනයේදීයි. ඔහු සේවයෙන් විශ්‍රාම ගත් එම දිනය වික්ට්‍රිෂස් “සාන්තුවරයාගේ” මංගල්‍ය දිනය වූ බව පුවත්පතක සඳහන් වුණා. වික්ට්‍රිෂස් “සාන්තුවරයා” යනු කවරෙක්ද? මොහු හමුදා සේවයට බැඳෙන්න අකමැති වූ නිසා කස පහර කෑ හතරවන සියවසේ විසූ බිෂොප්වරයෙක්. ඒ “සාන්තුවරයා” සහ සේවයෙන් විශ්‍රාම ගත් මේ පූජකයා කොතරම් වෙනස්ද කියා සඳහන් කරමින් පුවත්පතේ මෙවැනි අදහසක් පළ වුණා. “සේවයෙන් විශ්‍රාම ගත් මෙම පූජකයා නම් සටන් කිරීමට අකමැති වූ කෙනෙක් බව පෙනෙන්නට නැහැ.”
ඉහත සඳහන් පූජකයන් දෙදෙනා රෝම 12:17, 18හි සඳහන් උපදෙස්වලට අනුව ක්‍රියා කළා නම් තමන්ටත් අන් අයටත් සිදු වූ මෙම හානිය වළක්වාගන්න ඉඩ තිබුණා. එම බයිබල් පදය පවසන්නේ “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න සිතෙහි තබාගන්න. පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” කියායි.
මෙවැනි තත්වයකට ඔබට මුහුණ දෙන්නට සිදු වුණොත් ඔබ කරන්නේ කුමක්ද? යම්කිසි කෙනෙක් ඔබට වරදක් කළ විට ඇති වෙන කෝපය නිසා වාචික ප්‍රහාර එල්ල කිරීමට ඔබ පෙලඹෙනවාද? එසේ නැත්නම් සිත් රිදවන වචන කීමෙන් වැළකී සමාදාන වීමට ඔබ කැමති වෙනවාද? ඔබ යම් කෙනෙකුට වරදක් කළ විට ඒ පුද්ගලයාව මඟහැරීමටත් කාලයත් සමඟම ඔහුට එය අමතක වී යාවියයි සිතීමටත් ඔබ පෙලඹෙනවාද? එසේ නැත්නම් ඔබ වහාම සමාව ඉල්ලනවාද? ඔබ සමාව ඉල්ලුවත් තවත් කෙනෙකුට සමාව දුන්නත් වැදගත් දෙය වන්නේ සමාදානයෙන් සිටීමට උත්සාහ කිරීමයි. එය ඔබේ සතුටට හේතු වෙයි. දිගු කාලයක් පුරා පවතින මතභේදයන් පවා සමථයකට පත් කරගන්න බයිබල් උපදෙස් ඔබට උපකාරවත් වෙයි. ඊළඟ ලිපියේ මේ ගැන කතා කරනවා.