Skip to content

පටුනට යන්න

විවාහ ජීවිතය සාර්ථක කරගත හැකියි!

විවාහ ජීවිතය සාර්ථක කරගත හැකියි!

විවාහ ජීවිතය සාර්ථක කරගත හැකියි!

“ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලොස්සි 3:14.

1, 2. (අ) ක්‍රිස්තියානි සභාව දෙස බැලීමෙන් අපට ආඩම්බර විය හැක්කේ ඇයි? (ආ) සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා විස්තර කරන්න.

ක්‍රිස්තියානි සභාවේ විවාහ වී ඇති අය දෙස බලන්න. සමහරුන් අවුරුදු 10ක්, 20ක්, 30ක් තරම් කාලයක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් පුරා විවාහ ජීවිතය භුක්ති විඳිමින් සිටිනවා. බොහෝ බාධා මැද වුවත් ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වී තිබෙනවා. ඔවුන් ගැන අපට හැඟෙන්නේ ලොකු ආඩම්බරයක්!—උත්පත්ති 2:24.

2 සාර්ථක විවාහ ජීවිතයක වුණත් ගැටලු නැහැ කියා කිව නොහැකියි. මේ සම්බන්ධයෙන් එක් කාන්තාවක් ලියූ දේ සලකා බලන්න. “ප්‍රීතිමත් විවාහයක් ප්‍රශ්න ගැටලුවලින් තොරයි කියලා කියන්න බැහැ. දුක සැප දෙකම බෙදාගන්න ඔවුන්ට සිදු වෙනවා. ඔවුන් ජීවිතයේ බොහෝ කම්කටොලු අද්දැක්කත් ඔවුන් එකිනෙකාව අත්හරින්නේ නැහැ.” ඔව් ජීවිතය කටුක අද්දැකීමක් විය හැකියි. දරුවන් ඇති දැඩි කිරීම විශේෂයෙන් අභියෝගයක්. නමුත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන අය මෙම අභියෝගවලට හොඳින් මුහුණ දෙමින් සිටිනවා. අද්දැකීමෙන්ම ඔවුන් දන්නවා සැබෑ ප්‍රේමය ‘කිසි කලක පහ වන්නේ නැති’ බව.—1 කොරින්ති 13:8.

3. අද සමාජයේ විවාහයට සිදු වී තිබෙන්නේ කුමක්ද? විවාහය සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න මොනවාද?

3 අද සමාජයේ තිබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක්. විවාහ ගණනාවක්ම කඩාකප්පල් වී තිබෙනවා. එක් වාර්තාවකට අනුව “එක්සත් ජනපදයේ සිදු වන සියලු විවාහවලින් අඩක්ම අනාගතයේදී දික්කසාදයෙන් අවසන් වනු ඇතැයි සැක කරනවා. එසේ දික්කසාද වනු ඇති විවාහවලින් සියයට පනහක්ම දික්කසාද වන්නේ විවාහ වී අවුරුදු 7.8ක් ඇතුලතයි. . . . දික්කසාද වන අයගෙන් සියයට 75ක් නැවත විවාහ වන බවට සාක්ෂි තිබෙනවා. ඒ අය අතරිනුත් සියයට 60ක්ම නැවත දික්කසාද වෙයි.” කලින් දික්කසාදයට එතරම් ප්‍රසිද්ධියක් නොඉසුලූ රටවල පවා දැන් දික්කසාද වීම් ගැන අසන්නට ලැබෙනවා. උදාහරණයකට මෑතකදී ජපානයේ දික්කසාද වන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබෙනවා. සමාජයේ දක්නට තිබෙන මෙම තත්වය ක්‍රිස්තියානි සභාවට පවා බලපා තිබෙන බව කිව හැකියි. විවාහයක් කඩාකප්පල් වීමට දායක වන හේතු සාධක මොනවාද? විවාහයක් කඩාකප්පල් කිරීමට සාතන් කොතරම් වෑයමක් දැරුවත් විවාහය සාර්ථක කරගැනීමට හැකි වන්නේ කොහොමද?

මඟ හැරිය යුතු දේවල්

4. විවාහයකට අභියෝගයක් විය හැකි හේතු සාධක සමහරක් මොනවාද?

4 විවාහයකට අභියෝගයක් විය හැකි හේතු සාධක තේරුම්ගැනීමට දේවවචනය අපිට උපකාර කරනවා. නිදසුනකට අපගේ කාලයේ මිනිසුන් තුළ දක්නට ලැබෙන ගතිලක්ෂණ ගැන ප්‍රේරිත පාවුල් පැවසූ දෙය සලකා බලන්න. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය. ඔවුන්ගෙන් අහක් වෙන්න.”—2 තිමෝති 3:1-5.

5. ‘තමාටම ප්‍රේම’ කරන කෙනෙකුට ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්න අපහසු වන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් උපදෙස කුමක්ද?

5 පාවුල්ගේ එම වචන සලකා බලද්දී අපිට පැහැදිලි වන දෙයක් වන්නේ ඔහු සඳහන් කරන ගතිලක්ෂණ බොහොමයක් විවාහයක් කඩාකප්පල් කිරීමට හේතු විය හැකි බවයි. උදාහරණයකට ‘මිනිසුන් තමුන්ටම ප්‍රේම කරන’ බව ඔහු පැවසුවා. එවැනි අය අනිත් අය ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමී අයයි. පුරුෂයෙක් හෝ භාර්යාවක් තමාට විතරක් ප්‍රේම කරනවා නම් ඔහු හෝ ඇය නිතරම උත්සාහ කරන්නේ තමන්ට ඕන ඕන දේ කරන්නයි. එවැනි කෙනෙකුට මුරණ්ඩු ස්වභාවයක් තිබෙනවා. එවැනි කෙනෙකු සමඟ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ප්‍රේරිත පාවුල් විවාහකයන් ඇතුළුව සියලු ක්‍රිස්තියානීන්ට දුන් මෙම ඥානවන්ත උපදෙස සලකා බලන්න. “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත් පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න. ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.”—ෆිලිප්පි 2:3, 4.

6. මුදලට ප්‍රේම කිරීම නිසා විවාහයකට හානියක් සිදු විය හැක්කේ කෙසේද?

6 ඊළඟට මුදලට ප්‍රේම කිරීම නමැති කාරණය සලකා බලන්න. මේ කාරණය නිසා පුරුෂයෙක් හා භාර්යාවක් එකිනෙකාගෙන් දුරස් විය හැකියි. පාවුල් අවවාද කළේ මෙසේයි. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය. මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.” (1 තිමෝති 6:9, 10) කනගාටුදායක දෙයක් තමයි පාවුල් අනතුරු ඇඟවූ මෙම තත්වය අද දින බොහෝ විවාහයන් තුළ දක්නට ලැබීම. විවාහ ජීවිතය තුළ වැදගත් වන දෙයක් වන්නේ පුරුෂයා සහ භාර්යාව එකිනෙකාගේ හැඟීම් බෙදාගැනීම සහ කිට්ටු ප්‍රේමණීය ඇසුරක් භුක්ති විඳීමයි. නමුත් සිදු වන්නේ ධනයට තිබෙන කෑදරකම නිසා විවාහකයන් බොහෝදෙනෙක් එකිනෙකාගේ ඒ අවශ්‍යතා නොසලකා හැරීමයි.

7. ඇතැම් අවස්ථාවලදී විවාහය තුළ ද්‍රෝහිකමක් සිදුවීමට හේතු වී තිබෙන්නේ කුමක්ද?

7 පාවුල් තවදුරටත් පවසන්නේ අන්තිම දවස්වල සිටින සමහර අය ‘පක්ෂපාතිත්වයක් නැති, ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන’ අයව සිටින බවයි. විවාහ ගිවිසුම කියන්නේ සැහැල්ලුවට ගත හැකි පොරොන්දුවක් නොවෙයි. දෙදෙනෙකු අතර ඉන් ඇති වන බැදීම ජීවිතාන්තය දක්වා තිබිය යුතුයි. එමනිසා ද්‍රෝහිකමක් සිදු වුණොත් එය මොන තරම් කනගාටුදායක දෙයක්ද! (මලාකි 2:14-16) ඒත් සමහරුන් වෙනත් අය සමඟ ආලයෙන් බැඳී තිබෙනවා. උදාහරණයකට එක් භාර්යාවකට සිදු වූ දෙය සලකා බලන්න. ඇගේ පුරුෂයා ඇයව අත්හරිද්දී ඇය සිටියේ තිස්ගණන්වලයි. ඇය කියන්නේ ඇයව අත්හරින්න කලිනුත් ඔහු වෙනත් කාන්තාවන් සමඟ ඕනෑවට වඩා කුලුපග ලෙස හැසිරුණා කියායි. විවාහ වී සිටින පුරුෂයෙක් මෙලෙස හැසිරීම නුසුදුසුයි කියා ඔහු තේරුම්ගත්තේ නැහැ. සිදු වන දෙය ඇයට වැටහුණු විට ඇයට ලොකු වේදනාවක් ඇති වුණා. ඇය කාරුණිකව ඔහුට ඒ ගැන අනතුරු ඇඟෙව්වත් ඔහු ඇයව ගණන්ගත්තේ නැහැ. අන්තිමට සිදු වුණේ ඔහු දුරාචාරය නමැති උගුලට හසු වී ඇයට ද්‍රෝහිවීමයි.—හිතෝපදේශ 6:27-29.

8. ද්‍රෝහිකමට හේතු විය හැක්කේ කුමක්ද?

8 බයිබලයේ අනතුරු ඇඟවීම ඉතා පැහැදිලියි. “ස්ත්‍රියක සමඟ කාමමිථ්‍යාචාරය කරන තැනැත්තේ තේරුම් නැති කෙනෙකි; තමාගේ ප්‍රාණය විනාශ කරගන්ට කැමති අය එසේ කරන්නේය.” (හිතෝපදේශ 6:32) සාමාන්‍යයෙන් විවාහයක් තුළ ද්‍රෝහිකමක් සිදුවීම හිටි හැටියේ වන දෙයක් නොවෙයි. බයිබල් ලේඛක යාකොබ් පෙන්වා දෙන්නේ දුරාචාරය වැනි පාපයක නියැලීම සඳහා ආශාවක් ඇති කරගෙන ඒ ආශාව වර්ධනය කරගත් විට ද්‍රෝහීකම සිදු වන බවයි. (යාකොබ් 1:14, 15) ජීවිතාන්තය දක්වා විශ්වාසවන්තව සිටීමට දුන් පොරොන්දුව පුද්ගලයෙකුට ක්‍රමානුකූලව අමතක විය හැකියි. ඒ ගැන යේසුස් කීවේ මෙයයි. “‘පරදාර සේවනයේ නොයෙදෙන්න’ යයි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.”—මතෙව් 5:27, 28.

9. හිතෝපදේශ 5:18-20හි සඳහන් වන ඥානවන්ත උපදෙස කුමක්ද?

9 හිතෝපදේශ පොතේ සඳහන් වන ඥානවන්ත උපදෙස මෙයයි. “ඔබේ උල්පතට ආශීර්වාද ලැබේවා; ඔබේ යෞවන කාලයේ භාර්යාව කෙරෙහි සතුටු වෙන්න. ඇය ආදර ඇති මුවදෙනෙකු සහ ප්‍රියකරු මුවදෙනෙකු මෙන් ඇගේ පියයුරු සැමවිටම ඔබ පිණවත්වා; සැමදාම ඇගේ ආදරයෙන් ප්‍රීතිමත් වෙන්න. මාගේ පුත්‍රය, ඔබ මක්නිසාද අන් ස්ත්‍රියක කෙරෙහි ප්‍රීතිමත්ව අන් තැනැත්තියකගේ ළය වැලඳ ගන්නෙහිද?” (හිතෝපදේශ 5:18-20) මෙසේ කිරීමෙන් විවාහකයන්ට පුළුවන් එකිනෙකාට විශ්වාසවන්තව සිටින්න.

හදිස්සි වෙන්න එපා!

10. විවාහ වීමට බලාපොරොත්තු වන දෙදෙනෙක් එකිනෙකාව දැන හඳුනා ගැනීමට කාලය ගැනීම ඥානවන්ත දෙයක් වෙන්නේ ඇයි?

10 විවාහ වීමට හදිස්සි වුණොත් ගැටලු ඇතිවීමේ ඉඩ කඩ වැඩියි. සමහරුන් තරුණ වැඩියි. ඔවුන්ට ජීවිතයේ අද්දැකීම් නැහැ. එහෙමත් නැත්නම් ඔවුන් එකිනෙකාව හරියට දැන හඳුනා ගෙන නැහැ. ඒ නිසා අනිත් පුද්ගලයාගේ ඕනෑ එපාකම්, ඉලක්ක සහ පවුල් පසුබිම ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ. විවාහ වීමට හදිසි නොවී මුලින්ම ඔබේ අනාගත සහකරුවා හෝ සහකාරිය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීම ඥානවන්ත දෙයක්. උදාහරණයකට ඊසාක්ගේ පුත් යාකොබ් ගැන සිතන්න. රාකෙල් හා විවාහ වෙන්න කලින් ඇගේ පියා යටතේ අවුරුදු හතක් වැඩ කිරීමට ඔහුට සිදු වුණා. ඔහු ඒ දේ කළේ කැමැත්තෙන්. එයට හේතුව ඔහුට රාකෙල් කෙරෙහි සැබෑ ප්‍රේමයක් තිබුණු නිසයි. ඔහු නිකම්ම ඇගේ රුවට වශී වූ කෙනෙක් නොවෙයි.—උත්පත්ති 29:20-30.

11. (අ) විවාහයකදී මතක තබාගත යුතු දේවල් මොනවාද? (ආ) විවාහයකදී වචන හසුරුවන විදිහ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

11 විවාහයක් කියන්නේ නිකම්ම ලිංගික ආකර්ෂණයක් මත ගොඩනැඟෙන සම්බන්ධයක් නොවෙයි. විවාහ වන පුද්ගලයන් දෙදෙනාට පවුල් පසුබිම් දෙකක් තිබෙනවා. ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් සහ හැඟීම් දැනීම් වෙනස්. සමහර අවස්ථාවලදී අධ්‍යාපන පසුබිමත් වෙනස් වෙන්න පුළුවන්. ඉඳ හිට සංස්කෘතියත් භාෂාවත් වෙනස් වන අවස්ථා තිබෙනවා. ඉහත සඳහන් වෙනස්කම් නොතිබුණා කියා සිතුවත් අඩුම තරමින් පුද්ගලයන් දෙදෙනෙකුට එකිනෙකට වෙනස් මත තිබෙන බව පිළිගත යුතුයි. එමනිසා අපි අපගේ වචන හසුරුවන විදිහ ගැන සැලකිලිමත් විය යුතුයි. අපගේ වචනවලින් අපට පුළුවන් එක්කෝ කෙනෙකුට දොස් කියන්න, එහෙමත් නැත්නම් ඔහුව හෝ ඇයව කාරුණිකව නඟා සිටුවන්න. විවාහයකදී මෙම යථාර්ථය කොහොමටවත් නොසලකා හැරීමට බැහැ. අපි වචන හැසිරවීම ගැන සැලකිලිමත් වුණේ නැත්නම් විවාහ බැම්මට ඉන් හානි සිදු විය හැකියි.—හිතෝපදේශ 12:18; 15:1, 2; 16:24; 21:9; 31:26.

12, 13. විවාහ වීම ගැන කල්පනා කරද්දී තේරුම්ගත යුතු දෙය කුමක්ද?

12 විවාහ වීමට කලින් අනිත් පුද්ගලයාව හොඳින් දැන හඳුනා ගැනීමට කාලය ගැනීම කොතරම් ඥානවන්ත දෙයක්ද කියා මෙයින් පැහැදිලි වෙනවා. වයසින් මුහුකුරා ගිය එක් ක්‍රිස්තියානි සහෝදරියක් පැවසූ දේ සලකා බලන්න. “ඔබ කෙනෙකුට කැමති නම් ඒ පුද්ගලයා තුළ ඔබ දකින්න කැමති ගතිලක්ෂණ දහයක් ගැන හිතන්න. ඒ පුද්ගලයා තුළ ඔබ දකින්නේ ඒ දහයෙන් හතක් කියා සිතමු. ඒ ගතිලක්ෂණ තුන නැති කෙනෙකු සමඟ ජීවත් වෙන්න ඔබට පුළුවන්ද කියා සිතා බලන්න. ඔහුගේ හෝ ඇයගේ එම දුර්වලකම් තුන ඔබට දිනපතාම දරාගන්න පුළුවන්ද කියාත් ඔබෙන්ම අසාගන්න. ඔබට ඒ ගැන යම් සැකයක් තිබෙනවා නම් ඔහු හෝ ඇය සමඟ විවාහ වීම ගැන නැවත සිතා බලන්න.” මේවා ප්‍රායෝගික මඟ පෙන්වීම්. නමුත් ඔබ තේරුම්ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ඔබට කවදාවත් කිසිම වරදක් නොකරන කිසිම අඩු පාඩුවක් නැති සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්නට ලැබෙන්නේ නැති බව. ඔබ තුළත් අඩු පාඩු තිබෙන බවත් ඔබේ අතිනුත් වැරදි සිදු වන බවත් ඔබ මතක තබාගත යුතුයි.—ලූක් 6:41.

13 විවාහයක් සාර්ථක කරගැනීමට නම් යම් පරිත්‍යාගයන් කිරීම අවශ්‍ය වෙනවා. පාවුල්ගේ වචනවලින් මෙම කාරණය පැහැදිලි වෙනවා. “ඔබ කරදරවලින් නිදහස්ව සිටිනවාට මම කැමැත්තෙමි. අවිවාහක පුරුෂයා ස්වාමීන්ව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්ගේ දේ ගැන කරදර වන්නේය. නමුත් විවාහක පුරුෂයා තම භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ දේ ගැන කරදර වන්නේය. ඔහු ඒ අතර මැදි වී සිටියි. එලෙසම අවිවාහක ස්ත්‍රියත් කන්‍යාවත් තම ශරීරයෙන්ද ආත්මයෙන්ද ශුද්ධව සිටින පිණිස ස්වාමීන්ගේ දේ ගැන කරදර වන්නෝය. එහෙත් විවාහක ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ දේ ගැන කරදර වන්නීය.”—1 කොරින්ති 7:32-34.

සමහර විවාහ අසාර්ථක වීමට හේතුව

14, 15. ශක්තිමත් විවාහයක බැම්ම බිඳී යන්නේ කුමන හේතු සාධක නිසාද?

14 මෑතකදී ක්‍රිස්තියානි කාන්තාවක් දික්කසාදය නමැති කම්පා කරවනසුළු අද්දැකීමට මුහුණ දුන්නා. අවුරුදු 12ක විවාහ ජීවිතයක් ගත කිරීමෙන් පසුව ඇගේ පුරුෂයා ඇයව අත්හැරලා වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධයක් පටන්ගත්තා. මෙවැනි දෙයක් සිදු වෙන්න යනවා කියා මේ ක්‍රිස්තියානි කාන්තාව කල් තියාම තේරුම්ගත්තාද? ඇය පවසන දෙය සලකා බලන්න. “එයා යාච්ඤා කිරීම නතර කළා. එතරම් වැදගත් නැති හේතූන් ඉදිරිපත් කරමින් ක්‍රිස්තියානි රැස්වීම් සහ දේශනා සේවය අතපසු කළා. මාත් එක්ක කාලය ගත කරන්නත් අදිමදි කළා. එයා නිතරම කිව්වේ ‘මට දැන් වැඩ තියෙනවා,’ නැත්නම් ‘මට හරි මහන්සියි’ කියලයි. ආත්මික කාරණා ගැනත් එයා මාත් එක්ක කතා කළේ නැහැ. මම එයත් එක්ක විවාහ වෙද්දී එයා එහෙම හිටියේ නැහැ. එයාගේ වෙනස ගැන මට ගොඩාක් දුක හිතුණා.”

15 දික්කසාදයකට මුහුණ දුන් වෙනත් අයත් කියන්නේ ඔවුන්ගේ සහකරුවනුත් බයිබලය අධ්‍යයනය කිරීම, යාච්ඤා කිරීම සහ රැස්වීම්වලට යෑම වැනි දේවල් අතපසු කරන්න පටන්ගත් බවයි. තවත් විදිහකින් කියනවා නම් තම සහකරුවන්ව අත්හැර ගිය බොහෝදෙනෙක් එසේ කිරීමට කලින් යෙහෝවාගෙන් ඈත් වුණා. ඔවුන් යෙහෝවාගෙන් ඈත් වුණාම ආත්මික කාරණා ඔවුන්ට තවදුරටත් වැදගත් වුණේ නැහැ. යෙහෝවා දෙවි ජීවමාන දෙවි කෙනෙක් කියා ඔවුන්ට තවදුරටත් හැඟුණේ නැහැ. ධර්මිෂ්ඨකම රජයන නව ලෝකය ගැන ඔවුන්ට සැකයන් මතු වුණා. සමහර අවස්ථාවලදී මේ ආත්මික වැටීම සිදු වුණේ ඒ සහකරුවා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්නත් කලිනුයි.—හෙබ්‍රෙව් 10:38, 39; 11:6; 2 පේතෘස් 3:13, 14.

16. විවාහයක් ශක්තිමත් වෙන්නේ කෙසේද?

16 මීට හාත්පසින්ම වෙනස්ව ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන එක් යුවළක් කියන්නේ ඔවුන්ගේ විවාහයේ සාර්ථකත්වයට හේතුව වෙන්නේ ඔවුන්ගේ ශක්තිමත් ආත්මික බැඳීම කියායි. ඔවුන් දෙදෙනා එකට යාච්ඤා කරනවා. එකට බයිබලය අධ්‍යයනය කරනවා. ඒ ස්වාමිපුරුෂයා එය තහවුරු කරන්නේ මෙසේ පවසමිනුයි. “අපි එකට බයිබලය කියවනවා. දේවසේවයේ එකට සහභාගි වෙනවා. අපි එකට එකතු වෙලා දේවල් කිරීමෙන් ලොකු සතුටක් ලබනවා.” යෙහෝවා දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම ශක්තිමත් විවාහයකට බොහෝ සෙයින් දායක වෙනවා කියන කාරණය මෙයින් ඉතා පැහැදිලි වෙනවා.

සමබර වෙන්න, අදහස් හුවමාරු කරගන්න

17. (අ) සාර්ථක විවාහයකට දායක වන කාරණා දෙකක් සඳහන් කරන්න. (ආ) පාවුල් ක්‍රිස්තියානි ප්‍රේමය විස්තර කරන්නේ කෙසේද?

17 සාර්ථක විවාහයකට දායක වන තවත් කාරණා දෙකක් තිබෙනවා. එනම් ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීම සහ අදහස් හුවමාරු කරගැනීමයි. පුද්ගලයන් දෙදෙනෙක් ආලයෙන් බැඳී සිටින විට ඔවුන්ට එකිනෙකාගේ අඩු පාඩු බොහෝදුරට පේන්නේ නැහැ. සමහරවිට ඔවුන් ප්‍රේම කතාවල කියෙව්ව දේවල් හෝ චිත්‍රපටිවල දැක්ක දේවල් සිතේ තබාගෙන ලොකු බලාපොරොත්තු ඇතුව විවාහ ජීවිතයට පිවිසෙන්න ඉඩ තිබෙනවා. නමුත් කවදාහරි ඔවුන්ට යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණාම එක් සහකරුවෙකුට අනිත් කෙනාගේ සුළු සුළු අඩු පාඩුකම් පේන්න පටන්ගෙන ඒවා ලොකු ගැටලු බවට පත් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී ක්‍රිස්තියානීන්ට සිදු වෙනවා ආත්මයේ පල ඔවුන්ගේ ජීවිතයේ විදහාපාන්න. ඉන් එකක් වන්නේ ප්‍රේමයයි. (ගලාති 5:22, 23) ප්‍රේමය හරිම බලවත්. අපි මෙහිදී අදහස් කරන්නේ ලිංගික ආකර්ෂණය නිසා ඇති වන ප්‍රේමය නොවෙයි. අපි කතා කරන්නේ ක්‍රිස්තියානි ප්‍රේමය ගැනයි. පාවුල් එම ක්‍රිස්තියානි ප්‍රේමය ගැන මෙසේ පැවසුවා. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. . . . තමන්ගේම කාරණා සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත. . . . සියල්ල දරාගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේය. සියල්ල විඳදරාගන්නේය.” (1 කොරින්ති 13:4-7) අවංක ප්‍රේමය තිබෙන කෙනෙක් අනුන්ගේ දුර්වලකම් ඉවසනවා කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා. එවැනි කෙනෙක් තවත් කෙනෙකු අතින් සුළු සුළු වැරදි සිදු වන බව තේරුම්ගන්නවා.—හිතෝපදේශ 10:12.

18. අදහස් හුවමාරු කරගැනීම විවාහයක් ශක්තිමත් කරන්නේ කෙසේද?

18 අදහස් හුවමාරු කරගැනීමත් ශක්තිමත් විවාහයකට අත්‍යවශ්‍ය දෙයක්. විවාහ වී අවුරුදු ගණනාවක් ගත වී තිබුණත් යුවළක් එකිනෙකා සමඟ අවංකව කතා කළ යුතුයි. එකිනෙකාට හොඳින් සවන් දිය යුතුයි. එක පුරුෂයෙක් මෙහෙම පැවසුවා. “අපි දෙන්නා අපේ හැඟීම් විවෘතව ප්‍රකාශ කරනවා. නමුත් අපි ඒක කරන්නේ මිත්‍රශීලී ස්වභාවයකිනුයි.” කාලයාගේ ඇවෑමෙන් පුරුෂයෙකුට හෝ භාර්යාවකට හැකි වෙනවා අනිත් කෙනා කියන දේ විතරක් නොවෙයි, අනිත් කෙනා නොකියා අඟවන දේත් තේරුම්ගන්න. වෙනත් විදිහකින් කියනවා නම් විවාහ වී කාලයක් ගත වන විට සන්තෝෂයෙන් සිටින යුවළකට පුළුවන් වෙනවා එකිනෙකාගේ සිතුවිලි සහ හැඟීම් තේරුම්ගන්න. නමුත් තම පුරුෂයන් තමන්ට හොඳින් සවන් දෙන්නේ නැති බවට සමහර භාර්යාවන් චෝදනා කරනවා. අනිත් අතට සමහර පුරුෂයන් දොස් කියන්නේ තම භාර්යාවන් තමන් සමඟ කතා කිරීමට තෝරගන්නේ නුසුදුසුම වේලාවන් බවයි. අදහස් හුවමාරු කරගැනීමට අනුකම්පාවත් අනිත් තැනැත්තාගේ තත්වය වටහාගැනීමේ හැකියාවත් තිබිය යුතු බව අපි මතක තබාගත යුතුයි. හොඳින් අදහස් හුවමාරු කරගැනීම පුරුෂයාටත් භාර්යාවටත් ගොඩාක් ප්‍රයෝජනවත්.—යාකොබ් 1:19.

19. (අ) සමහරවිට සමාව ඉල්ලීම අමාරු වෙන්නේ ඇයි? (ආ) සමාව ඉල්ලීමට අප පෙලඹෙන්නේ අපිට කුමන ගුණාංගය තිබෙන විටද?

19 සමහර අවස්ථාවල අදහස් හුවමාරු කරගනිද්දී සමාව ඉල්ලීමටත් සිදු වෙනවා. සමාව ඉල්ලීම හැමවිටම පහසු නැහැ. තම වැරදි පිළිගැනීමට නම් කෙනෙකුට යටහත් පහත්කම තිබිය යුතුයි. එහෙත් විවාහක යුවළක් එකිනෙකාගෙන් සමාව ඉල්ලන විට ඔවුන්ගේ විවාහය තව තවත් ශක්තිමත් වෙනවා. අවංකව සමාව ඉල්ලන විට, පසු කලෙක මතභේදයකට තුඩු දිය හැකි ප්‍රශ්නයක් එවෙලේම විසඳාගත හැකි වන අතර සැබවින්ම සමාව ලබාගැනීමටද හැකි වෙයි. ඒ සම්බන්ධයෙන් පාවුල් මෙහෙම පැවසුවා. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න. නමුත් මේ සියල්ලට අමතරව, ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලොස්සි 3:13, 14.

20. විවාහක ක්‍රිස්තියානි යුවළක් පෞද්ගලික ජීවිතයේදී සහ වෙනත් අය අතර සිටින විට ඔවුන් එකිනෙකාට සැලකිය යුත්තේ කෙසේද?

20 විවාහයක් ශක්තිමත් කරගැනීමට අත්‍යවශ්‍ය තවත් කාරණයක් තිබෙනවා. ක්‍රිස්තියානි පුරුෂයෙකුට හා භාර්යාවකට එකිනෙකාව විශ්වාස කිරීමට හැකියාව තිබිය යුතුයි. එක් කෙනෙක් අනික් කෙනාව අධෛර්යයට පත් කිරීම සුදුසු වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔහුට හෝ ඇයට තිබෙන ආත්ම විශ්වාසය නැති කර දැමීම සුදුසු නැහැ. අපේ විවාහක සහකරුවන්ව ප්‍රේමණීය ලෙස පැසසීම මිසක ඔවුන්ව විවේචනය කිරීම නොකළ යුතුයි. (හිතෝපදේශ 31:28ආ) අනවශ්‍ය විහිළු තහළු කිරීමෙන් අපි ඔවුන්ව පහත් නොකළ යුතුයි. (කොලොස්සි 4:6) ඒ විතරක් නොවෙයි නිරතුරුවම එකිනෙකාට ආදරය ප්‍රකාශ කිරීමත් උපකාරවත් වෙනවා. කතා කරන විලාසයෙන් සහ සහකරුවා දෙස බලන ආකාරයෙන් වුණත් ඔහුට ඔබ ආදරය කරන බවත් ඔහු ඔබට වටින බවත් දැනෙන්න සැලැස්විය හැකියි. අපි ජීවත් වන මේ අසීරු කාලවලදී වුණත් විවාහ සහකරුවන් අතර හොඳ බැඳීමක් ඇති කරගැනීමටත් විවාහ ජීවිතය සාර්ථක කරගැනීමටත් උපකාරවත් වන හේතු සාධක කිහිපයක් අපි මේ ලිපියේදී සාකච්ඡා කළා. තවත් හොඳ හේතු සාධක ගැන අපි ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනවා. විවාහය සාර්ථක කරගැනීමට උපකාරවත් වන බයිබලයේ සඳහන් තවත් මඟ පෙන්වීම් ගැනත් අපි ඒ ලිපියේ සලකා බලනවා. *

[පාදසටහන]

^ 20 ඡේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන පවුලේ සන්තෝෂයට රහස නමැති පොත බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• විවාහයකට අභියෝගයක් විය හැකි හේතු සාධක සමහරක් මොනවාද?

• විවාහ වීමට හදිසි වීම නැණවත් දෙයක් නොවන්නේ ඇයි?

• කෙනෙකුගේ ආත්මික තත්වය විවාහයට බලපාන්නේ කෙසේද?

• විවාහයක් ශක්තිමත් වෙන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

විවාහය කියන්නේ ලිංගික ආකර්ෂණය මත පමණක් පදනම් වූ සබඳතාවක් නොවෙයි

[14වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වාගැනීම සාර්ථක විවාහ ජීවිතයකට දායක වෙනවා