Skip to content

පටුනට යන්න

විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් උපදෙස්

විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් උපදෙස්

විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් උපදෙස්

‘භාර්යාවෙනි, ස්වාමීන්ට මෙන් ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.’—එෆීස 5:22, 25.

1. අප විවාහය සැලකිය යුත්තේ කෙසේද?

විවාහයේදී පුරුෂයෙක් සහ ස්ත්‍රියක් “එක මාංසයක්” වන බවත් එය දෙවිගේ විධිවිධානයක් බවත් යේසුස් පැවසුවා. (මතෙව් 19:5, 6) විවිධ මත දරන පුද්ගලයන් දෙදෙනෙක් එක මාංසයක් වෙන්නේ සහයෝගයෙන් දේවල් කරන්න ඉගෙනගන්නා විටයි. විවාහය කියන්නේ ආවාට ගියාට කරන සැහැල්ලුවට ගත හැකි දෙයක් නොවෙයි. එය ජීවිත කාලය පුරා පැවතිය යුතු බැඳීමක්. නමුත් බොහෝ රටවල්වල යුවළකට දික්කසාද වීම ඉතාමත්ම පහසු දෙයක් වී තිබෙනවා. එහෙත් ක්‍රිස්තියානියෙක් විවාහය සැලකිය යුත්තේ ඉතාමත්ම පරිශුද්ධ දෙයක් හැටියටයි. විවාහ ගිවිසුම අවලංගු වෙන්නේ දෙදෙනාගෙන් එක් කෙනෙක් ඉතාමත්ම බරපතළ පාපයක් වන වේශ්‍යාකමට හසු වුණොත් විතරයි.—මතෙව් 19:9.

2. (අ) විවාහකයන්ට ලබාගත හැකි උපකාර මොනවාද? (ආ) තම විවාහය සාර්ථක කරගැනීමට උත්සාහ කිරීම වැදගත් වන්නේ ඇයි?

2 ශක්තිමත් හොඳ විවාහයක් ගැන අදහස් ප්‍රකාශ කළ එක් විවාහ උපදේශකයෙක් පැවසුවේ මෙයයි. “හොඳ විවාහයක් හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. අලුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී සහ ඒ ප්‍රශ්න ගැටලු විසඳාගැනීමට තමන්ට ලබාගත හැකි උපකාරවලින් ප්‍රයෝජන ගනිද්දී, යුවළක් ක්‍රමානුකූලව මේරු තත්වයකට පැමිණෙනවා.” ක්‍රිස්තියානි යුවළයන්ට නම්, බයිබල් උපදෙස් මගින් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ලැබෙන සහයෝගය මගින් සහ යෙහෝවා දෙවිත් එක්ක යාච්ඤාව තුළින් ඔවුන් ඇති කරගෙන තිබෙන කිට්ටු සම්බන්ධතාව මගින් උපකාර ලබාගත හැකියි. සාර්ථක විවාහයක් ගත කරන අයට දුෂ්කරතා වුණත් ජයගත හැකියි. කාලයක් ගත වෙද්දී එවන් විවාහ ජීවිතයක් භුක්ති විඳින පුරුෂයාටත් භාර්යාවටත් ප්‍රීතිය හා තෘප්තිය අද්දකින්න ලැබෙනවා. වැදගත්ම දෙය වන්නේ විවාහය ස්ථාපිත කළ තැනැත්තා වන යෙහෝවා දෙවිට එමගින් ගෞරවය ලැබීමයි.—උත්පත්ති 2:18, 21-24; 1 කොරින්ති 10:31; එෆීස 3:15; 1 තෙසලෝනික 5:17.

යේසුස්ව සහ ඔහුගේ සභාව අනුකරණය කරන්න

3. (අ) පාවුල් විවාහකයන්ට දුන් උපදෙස් ඔබේ වචනවලින් විස්තර කරන්න. (ආ) යේසුස් තැබූ කදිම ආදර්ශය විස්තර කරන්න.

3 වසර දෙදාහකට ඉහතදී ප්‍රේරිත පාවුල් විවාහ වූ ක්‍රිස්තියානීන්ට වටිනා උපදෙස් සැපයුවා. ඔහු ලීවේ මෙයයි. “සභාව ක්‍රිස්තුස්ට යටත්ව සිටින්නාක් මෙන්, භාර්යාවන්ද තම ස්වාමිපුරුෂයන්ට සියලු කාරණාවලදී යටත් විය යුතුය. ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.” (එෆීස 5:24, 25) පාවුල්ගේ වචනවලට අනුව පුරුෂයා සහ භාර්යාව ආදර්ශයට ගත යුත්තේ කාවද? යටහත් පහත්ව තම පුරුෂයන්ට යටත් වන ක්‍රිස්තියානි භාර්යාවන් ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වන සභාව ආදර්ශයට ගන්නවා. ඒ වගේම දුක සැප දෙකේදීම තම භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන ඇදහිලිවන්ත පුරුෂයන් ආදර්ශයට ගන්නේ සභාවට ප්‍රේම කරමින් එය රැකබලා ගන්නා ක්‍රිස්තුස්වයි.

4. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට පුරුෂයන්ට හැක්කේ කෙසේද?

4 පවුලේ මූලිකයා හැටියට කටයුතු කරන්නේ ක්‍රිස්තියානි පුරුෂයායි. නමුත් ඔහුත් යටත් විය යුතු මූලිකයෙක් සිටිනවා. ඒ යේසුස්. (1 කොරින්ති 11:3) යේසුස් තම සභාව රැකබලා ගත් ආකාරයට පුරුෂයන් ප්‍රේමණීය ආකාරයකින් තම පවුලේ අයගේ ආත්මික සහ ශාරීරික අවශ්‍යතා ගැන බලා කියා ගන්නවා. තමන්ගේ ආශාවන් පරිත්‍යාග කරන්න සිදු වුණත් ඔවුන් එසේ කරනවා. ඔවුන් මුල් තැන දෙන්නේ තමන්ගේ අවශ්‍යතාවන්ට නොව තම පවුලේ අයගේ අවශ්‍යතාවන්ටයි. යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12) ඒ ප්‍රතිපත්තිය විවාහය තුළ විශේෂයෙන් අදාළ වෙනවා. පාවුල් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය. . . . කිසි මිනිසෙක් කිසිදාක තමාගේම මාංසයට වෛර කළේ නැත. ඒ වෙනුවට, . . . එය පෝෂණය කර ඉතා ආදරයෙන් රැකබලා ගනියි.” (එෆීස 5:28, 29) පුරුෂයෙක් තමාගේ පෝෂණය ගැන සහ තමාගේ ඕනෑ එපාකම් ගැන සැලකිලිමත් වෙන ආකාරයටම තම භාර්යාවව පෝෂණය කර ඇගේ ඕනෑ එපාකම් ගැන සැලකිල්ල දැක්විය යුතුයි.

5. භාර්යාවන්ට ක්‍රිස්තියානි සභාව අනුකරණය කළ හැක්කේ කෙසේද?

5 දෙවිට ලැදි භාර්යාවන් ක්‍රිස්තියානි සභාව ආදර්ශයට ගන්නවා. යේසුස් පොළොවේ සිටි කාලයේදී ඔහුගේ අනුගාමිකයන් තමන් කරමින් සිටි දේවල් කැමැත්තෙන්ම අත්හැර දමමින් ඔහු පසුපස ගියා. ඔහුගේ මරණයෙන් පසුව ඔවුන් දිගටම ඔහුට යටත් වුණා. ඒ විතරක් නෙවෙයි දැනට ආසන්න වශයෙන් අවුරුදු 2000ක් පුරා සැබෑ ක්‍රිස්තියානි සභාව සෑම කාරණයකදීම යේසුස්ට යටත්ව ඔහුගේ නායකත්වයට කීකරුව කටයුතු කර තිබෙනවා. ක්‍රිස්තියානි භාර්යාවනුත් තම පුරුෂයන්ට අගෞරව කරන්නේවත් මූලිකත්වය පිළිබඳ බයිබල් විධිවිධානය සුළු කරන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔවුන් තම පුරුෂයන්ට අතහිත දෙමින් ඔවුන්ට යටත් වෙනවා. ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන භාර්යාවන් ඔවුන්ට ලොකු දිරිගැන්වීමක්ද ලබා දෙනවා. පුරුෂයා හා භාර්යාව එකිනෙකාට මේ ආකාරයට ප්‍රේමය පෙන්වන විට ඔවුන්ගේ විවාහය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. එයින් ඔවුන්ට ලොකු ප්‍රීතියක්ද අද්දැකිය හැකියි.

ඔවුන් සමඟ දිගටම වාසය කරන්න

6. පේතෘස් පුරුෂයන්ට දුන්නේ කවර උපදෙස්ද? එය වැදගත් වෙන්නේ ඇයි?

6 ප්‍රේරිත පේතෘස්ද විවාහකයන්ට උපදෙස් දුන්නා. ඔහු පුරුෂයන්ට දුන් උපදෙස් ඉතාමත්ම පැහැදිලියි. ඔහු කීවේ මෙයයි. “දැනගැන්මට අනුව [ඔබේ භාර්යාව] සමඟ වාසය කරමින්, වඩා දුර්වල භාජනයකට මෙන් [ඇයට] ගෞරවය දෙන්න. මන්ද ඔබ ජීවනය නමැති මහත් වරප්‍රසාදයට ඔවුන් සමඟ උරුමක්කාරයෝ වන නිසා, ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස එසේ කරන්න.” (1 පේතෘස් 3:7) ඒ පදයේ අවසානයේ සඳහන් වන දෙයින් පේතෘස් දුන් උපදෙස්වල බැරෑරුම්කම දැකගත හැකියි. පුරුෂයෙක් තම භාර්යාවට ගෞරව කරන්නේ නැත්නම් යෙහෝවා සමඟ තිබෙන ඔහුගේ සම්බන්ධයට එය අහිතකරව බලපෑ හැකියි. ඉන් අදහස් කරන්නේ ඔහුගේ යාච්ඤාවලට බාධාවක් ඇති වන බවයි.

7. පුරුෂයෙක් තම භාර්යාවට ගෞරව කළ යුත්තේ කෙසේද?

7 එසේනම් පුරුෂයන් තම භාර්යාවන්ට ගෞරව කළ යුත්තේ කෙසේද? භාර්යාවට ගෞරව කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඇයව සැහැල්ලුවට නොගෙන ඇයට කාරුණික ලෙස සැලකීමයි. මෙවන් කාරුණික සැලකිල්ලක් භාර්යාවකට දැක්වීම පේතෘස්ගේ කාලයේදී බොහෝදෙනෙකුට නුහුරු දෙයක් වන්නට ඇති. ඒ සම්බන්ධයෙන් ග්‍රීක් විද්වතෙක් ලීවේ මෙයයි. “රෝම නීතිය යටතේ කාන්තාවකට කිසිම අයිතිවාසිකමක් තිබුණේ නැහැ. නීතියෙන් ඇයට තිබුණේ දරුවෙකුට තිබෙන අයිතිවාසිකම් විතරයි. තම පුරුෂයාගේ අණසකට සම්පූර්ණයෙන්ම යටත් වී සිටීමට ඇයට සිදු වුණා. ඔහුට අයිතිය තිබුණා ඇයට ඕන දෙයක් කරන්න.” ක්‍රිස්තියානි ඉගැන්වීම් මීට වඩා මොන තරම් වෙනස්ද! ක්‍රිස්තියානි පුරුෂයා තම භාර්යාවට ගෞරව කළා. ඔහු ඇය සමඟ කටයුතු කළේ තමා කැමති කැමති විදිහට නොව ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟවයි. ඒ විතරක් නෙවෙයි ඇය වඩා දුර්වල කෙනෙක් බව මතක තබාගනිමින් ඔහු ඇය සමඟ “දැනගැන්මට අනුව” කටයුතු කළා.

“වඩා දුර්වල” කෙනෙක් වන්නේ කිනම් ආකාරයෙන්ද?

8, 9. ස්ත්‍රීන් පුරුෂයන්ට සමාන වන්නේ කිනම් ආකාරවලින්ද?

8 ස්ත්‍රිය “වඩා දුර්වල” කෙනෙක් කියා පැවසීමෙන් ස්ත්‍රීන්ගේ බුද්ධි මට්ටම හෝ ආත්මික මේරූකම පුරුෂයන්ගේ බුද්ධි මට්ටමට හෝ ආත්මික මේරූකමට වඩා පහත් බව පේතෘස් අදහස් කළේ නැහැ. ක්‍රිස්තියානි පුරුෂයන් බොහෝදෙනෙකුට සභාවේ වරප්‍රසාද ලැබෙනවා. මෙම වරප්‍රසාද තමන්ටද ලැබිය යුතුයි කියා ස්ත්‍රීන් සිතන්නේ නැහැ. විවාහක ස්ත්‍රීන් තමන්ගේ පුරුෂයන්ට යටත්ව සිටිනවා. (1 කොරින්ති 14:35; 1 තිමෝති 2:12) ඒ කෙසේවෙතත් ස්ත්‍රීන් පුරුෂ දෙගොල්ලන්ගෙන්ම දෙවි එකම ආකාරයේ ඇදහිල්ලකුත් විඳදරාගැනීමකුත් බලාපොරොත්තු වෙනවා. ඔහුගේ උසස් සදාචාර ප්‍රමිති පැවැත්වීම සම්බන්ධයෙන්ද වෙනසක් නැහැ. එමෙන්ම පේතෘස් පැවසූ පරිදි පුරුෂයා සහ භාර්යාව ‘ජීවනය නමැති මහත් වරප්‍රසාදයට උරුමක්කාරයන්ද වෙනවා.’ ගැලවීම සම්බන්ධයෙන් ඔවුන් දෙගොල්ලන්ම යෙහෝවා දෙවි ඉදිරියේ සිටින්නේ එකම තලයකයි. (ගලාති 3:28) පේතෘස් ඒ වචන ලිව්වේ පළමුවන ශතවර්ෂයේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. එමනිසා ‘ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයන්’ වශයෙන් ඔවුන්ටත් ඔවුන්ගේ භාර්යාවන්ටත් එකම බලාපොරොත්තුවක් තිබූ බව ඔහු ක්‍රිස්තියානි පුරුෂයන්ට සිහිගන්වමින් සිටියා. (රෝම 8:17) ඒ දෙගොල්ලන්ම දෙවිගේ ස්වර්ගීය රාජ්‍යයේ පූජකයන් හා රජවරුන් ලෙස සේවය කරන්න නියමිතයි.—එළිදරව් 5:10.

9 පළමුවන ශතවර්ෂයේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානි භාර්යාවන් තමන්ගේ අභිෂේක ලත් ක්‍රිස්තියානි පුරුෂයන්ට වඩා පහත් තලයක සිටියේ නැහැ. ඒ ප්‍රතිපත්තියම පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන අයටත් අදාළ වෙනවා. “මහත් සමූහයට” අයිති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම බැටළු පැටවාගේ රුධිරයෙන් තම සළු සෝදා සුදු කරගන්නවා. ‘දිවා රෑ දෙකෙහිම’ යෙහෝවාට ප්‍රශංසා කිරීමෙහි ඒ දෙපාර්ශ්වයම හවුල් වෙනවා. (එළිදරව් 7:9, 10, 14, 15) “දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” භුක්ති විඳීම සඳහා ඒ දෙපාර්ශ්වයම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ බලාපොරොත්තුව ඉටු වෙද්දී ඒ දෙපාර්ශ්වයම දෙවි දෙන “සැබෑ ජීවිතය” සන්තෝෂයෙන් භුක්ති විඳින්න යනවා. (රෝම 8:21; 1 තිමෝති 6:19) අභිෂේක ලත් අයට අයිති වුවත් වෙනත් බැටළුවන්ට අයිති වුවත් සියලුම ක්‍රිස්තියානීන් යෙහෝවාට සේවය කරන්නේ “එක එඬේරෙකු යටතේ සිටින එක රැළක්” ලෙසටයි. (යොහන් 10:16) ක්‍රිස්තියානි පුරුෂයෙක් සහ භාර්යාවක් එකිනෙකාට ගෞරවය දැක්වීම සඳහා මෙය මොන තරම් ප්‍රබල හේතුවක්ද!

10. ස්ත්‍රීන් ‘වඩා දුර්වල’ අය වෙන්නේ කුමන අර්ථයෙන්ද?

10 එසේනම් ස්ත්‍රීන් “වඩා දුර්වල” අය කියා පේතෘස් සඳහන් කරන්නේ ඇයි? මෙහිදී ඔහු කාන්තාවන්ගේ ශාරීරික සැකැස්මට යොමු දක්වමින් සිටියා විය හැකියි. සාමාන්‍යයෙන් කාන්තාවන්ට තිබෙන්නේ පුරුෂයන්ට වඩා කුඩා ශරීර සැකැස්මක්. ශක්තිය අතිනුත් ඔවුන් පුරුෂයන්ට වඩා දුර්වලයි. ඒ විතරක් නෙවෙයි, දරුවන් බිහි කිරීම කාන්තාවන්ට මහත් ආශීර්වාදයක් වුණත් එය ඔවුන්ගේ සෞඛ්‍යයට බලපාන්නත් පුළුවන්. දරුවන් බිහි කිරීමේ වයසක සිටින කාන්තාවන් නිතරම පාහේ යම් යම් අපහසුතාවලට මුහුණ දෙනවා. එවැනි අපහසුතාවලට මුහුණ දෙන විට හෝ දරුවෙකු බිහි කිරීමේ වේදනාකාරී අද්දැකීමට මුහුණ දෙන විට ඔවුන්ට අනිවාර්යයෙන්ම විශේෂ සැලකිල්ලක් අවශ්‍යයි. තම භාර්යාවගෙන් ලැබෙන සහයෝගය අගය කරමින් ඇයට ගෞරව කරන පුරුෂයෙක් ඇයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මෙය ඔවුන්ගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වයට රුකුලක් වෙයි.

ආගමික වශයෙන් බෙදුණු පවුලක

11. පුරුෂයා සහ භාර්යාව ආගම් දෙකක සිටියත් ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක කරගත හැක්කේ කෙසේද?

11 විවාහ වී සිටින යුවළකගෙන් එක්කෙනෙක්, එනම් පුරුෂයා හෝ භාර්යාව බයිබලයේ සත්‍යය පිළිගත් නිසා දැන් ඔවුන් දෙදෙනාගේ ආගමික විශ්වාසයන් වෙනස්. එවිට සිදු වන්නේ කුමක්ද? එවැනි යුවළකට සාර්ථක වෙන්න පුළුවන්ද? බොහෝදෙනෙකුගේ අද්දැකීමෙන් පෙනී යන්නේ එවැනි යුවළකට සාර්ථක විය හැකි බවයි. පුරුෂයා හා භාර්යාව වෙනස් ආගමික මතිමතාන්තර දැරුවත් ඔවුන්ගේ විවාහය කල් පවතින මෙන්ම දෙදෙනාටම ප්‍රීතිය ගෙන දෙන එකක් කරගත හැකියි. එක් කෙනෙක් සත්‍යය පිළිනොගත් නිසා ඔවුන්ගේ විවාහය අවලංගු වෙන්නේ නැහැ. යෙහෝවා ඉදිරියේ ඔවුන් “එක මාංසයක්” වන බැවින් ඔවුන්ගේ විවාහය තවමත් වලංගුයි. එමනිසා ක්‍රිස්තියානීන්ට බයිබලයේ උපදෙස් දී තිබෙන්නේ තම පුරුෂයා හෝ භාර්යාව සත්‍යය පිළිගත්තේ නැතත් ඔහු හෝ ඇය එකට ජීවත් වෙන්න කැමති නම් එසේ කිරීමටයි. මෙවැනි යුවළකට දරුවන් සිටිනවා නම් ක්‍රිස්තියානි මවගේ හෝ පියාගේ ඇදහිල්ලෙන් ඔවුන්ටත් ප්‍රයෝජන ලැබෙනවා.—1 කොරින්ති 7:12-14.

12, 13. පේතෘස්ගේ උපදෙස් පිළිපදින ක්‍රිස්තියානි භාර්යාවන් සත්‍යය පිළිගැනීමට අකමැති තම පුරුෂයන්ට උපකාර කරන්නේ කෙසේද?

12 ආගමික වශයෙන් බෙදුණු පවුල්වල සිටින ක්‍රිස්තියානි භාර්යාවන්ට පේතෘස් කාරුණික උපදෙස් දුන්නා. ඔහුගේ එම උපදෙස්වල තිබෙන ප්‍රතිපත්තිය බෙදුණු පවුල්වල සිටින ක්‍රිස්තියානි පුරුෂයන්ටත් අදාළ වෙනවා. පේතෘස් පැවසුවේ මෙයයි. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එමගින්, ඔවුන්ගෙන් සමහරෙකු වචනයට කීකරු නොවී සිටියත්, වචනයක්වත් නොපවසා ඔබේ හැසිරීම මාර්ගයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය දකින්නෝය.”—1 පේතෘස් 3:1, 2.

13 ක්‍රිස්තියානි භාර්යාවකට තම විශ්වාසයන් ගැන ඇගේ පුරුෂයාට ගෞරවාන්විතව පැහැදිලි කර දෙන්න පුළුවන් නම් ඒක යහපත් දෙයක්. නමුත් ඔහු ඇහුම්කන් දෙන්න අකමැති නම්? ඒක ඔහුගේ පෞද්ගලික තීරණයක්. ඒත් භාර්යාව බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. ඊට හේතුව ක්‍රිස්තියානි ප්‍රමිතිවලට එකඟව හැසිරීම පවා බලවත් සාක්ෂියක් වන නිසයි. තම භාර්යාවන්ගේ ආගම ගැන මුලදී කිසිම උනන්දුවක් නොදැක්වූ, එහෙමත් නැත්නම් එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ බොහෝ පුරුෂයන් තම භාර්යාවන්ගේ කදිම හැසිරීම දැකීමෙන් පසුව “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඔවුන් තුළ ඇති වී තිබෙනවා. (ක්‍රියා 13:48) පුරුෂයෙක් ක්‍රිස්තියානි නමස්කාරකයෙක් බවට පත් වූයේ නැතත් තම භාර්යාවගේ හැසිරීම නිසා ඔහුට ඇය ගැන හොඳ පැහැදීමක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතය වඩාත් ශක්තිමත් වෙන්න පුළුවන්. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උසස් ප්‍රමිති පවත්වන්න තමාට කවදාවත් හැකි වුණේ නැති බව එක් පුරුෂයෙක් පිළිගත්තා. ඒත් තමාට හොඳ භාර්යාවක් සිටින නිසා තමා ඉතා සතුටින් සිටින බව ඔහු කියා සිටියා. ඔහු තම භාර්යාවටත් සෙසු සාක්ෂිකරුවන්ටත් අවංකව ප්‍රශංසා කරමින් පුවත්පතකට ලිව්වා.

14. සත්‍යය පිළිගැනීමට අකමැති භාර්යාවන්ට උපකාර කිරීමට පුරුෂයන්ට හැක්කේ කෙසේද?

14 පේතෘස්ගේ උපදෙස්වල අඩංගු ප්‍රතිපත්තිය අදාළ කරගෙන සිටින ක්‍රිස්තියානි පුරුෂයන්ටත් හැකි වී තිබෙනවා තම හැසිරීම නිසා තම භාර්යාවන්ගේ සිත් දිනාගන්න. සත්‍යය පිළිගන්න අකමැති භාර්යාවන් දැක තිබෙන දෙයක් වන්නේ ඔවුන්ගේ පුරුෂයන් වගකීම් කරට ගෙන වැඩ කරන ආකාරයයි. දුම්පානයට, මත්පැන්වලට සහ සූදුවට නැති නාස්ති වූ මුදල් දැන් ඉතිරි වෙනවා. තම පුරුෂයන්ගේ කටින් දැන් අසභ්‍ය වචන පිට වන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී මෙම භාර්යාවන්ට සභාවේ සිටින වෙනත් සාමාජිකයන්වද මුණගැසෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. සාක්ෂිකරුවන් අතර තිබෙන සහෝදර ප්‍රේමය දැකීමෙන් පැහැදී ඔවුන් යෙහෝවාට ළං වී තිබෙනවා.—යොහන් 13:34, 35.

“අභ්‍යන්තර පුද්ගලයා”

15, 16. සත්‍යය ගැන පැහැදීමක් පුරුෂයෙකු තුළ ඇති කිරීම සඳහා ක්‍රිස්තියානි භාර්යාවක් හැසිරිය යුත්තේ කෙසේද?

15 සත්‍යය ගැන පැහැදීමක් පුරුෂයෙකු තුළ ඇති කිරීම සඳහා භාර්යාවක් හැසිරිය යුත්තේ කෙසේද? එනම් ක්‍රිස්තියානි කාන්තාවන් හැසිරිය යුතු ආකාරයටයි. පේතෘස් පැවසුවේ මෙයයි. “ඔබේ අලංකාරය කොණ්ඩය ගෙතීමද රන් ආභරණ පැළඳීමද ඇඳුම් පැළඳුම්ද යන බාහිර අලංකාරය නොවේවා! ඒ වෙනුවට දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝ සේ වටිනා, තැන්පත් වූ මෘදු වූ ගතිය නමැති දිරා නොයන වස්ත්‍රය පැළඳ සිටින සිතේ අභ්‍යන්තර පුද්ගලයා ඔබේ අලංකාරය විය යුතුය. මන්ද අතීතයේ දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ ශුද්ධ ස්ත්‍රීහුද, තමුන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටිමින් මෙසේ අලංකාර වූහ. එලෙස සාරා ආබ්‍රහම්ට ‘ස්වාමිනි’ යයි කියමින් ඔහුට කීකරු වූවාය. ඔබත් යහපත කරමින්, බිය උපදවන කිසිදු කාරණයක් නිසා භය නොවී සිටිනවා නම්, ඔබ ඇගේ දරුවෝ වන්නහුය.”—1 පේතෘස් 3:3-6.

16 එසේනම් ක්‍රිස්තියානි කාන්තාවන්ට පේතෘස් උපදෙස් දෙන්නේ තමාගේ බාහිර අලංකාරය ගැන විතරක් සිතන්න එපා කියායි. ඒ වෙනුවට බයිබල් ඉගැන්වීම් නිසා ඇගේ හැසිරීම වෙනස් වී ඇති ආකාරය ඇගේ පුරුෂයා දැකිය යුතුයි. අලුත් පෞද්ගලිකත්වය ඇගේ එදිනෙදා ජීවිතයේදී දිස් විය යුතුයි. සමහරවිට ඔහුගේ භාර්යාවට තිබූ පරණ පෞද්ගලිකත්වය සමඟ මෙම අලුත් පෞද්ගලිකත්වය සසඳා බැලීමට ඔහු පෙලඹෙන්න පුළුවන්. (එෆීස 4:22-24) ඇගේ “තැන්පත් වූ මෘදු වූ ගතිය” වෙතට අනිවාර්යයෙන්ම ඔහු ඇදී යයි. භාර්යාවක් එලෙස හැසිරීම ඇගේ පුරුෂයා තුළ සතුටක් ඇති කරනවා. ඒ වගේම ඇගේ එම හැසිරීම ‘දෙවිගේ ඇස් ඉදිරියෙහිත් බොහෝ සෙයින් වටිනවා.’—කොලොස්සි 3:12.

17. සාරා ක්‍රිස්තියානි භාර්යාවන්ට කදිම ආදර්ශයක් වෙන්නේ කෙසේද?

17 ආදර්ශවත් භාර්යාවක් ලෙසට බයිබලයේ සාරාව හඳුන්වා තිබෙනවා. තම පුරුෂයන් සත්‍යය පිළිගත්තත් නැතත් ක්‍රිස්තියානි භාර්යාවන්ට පුළුවන් සාරාව අනුකරණය කරන්න. සාරා ආබ්‍රහම්ගේ මූලිකත්වයට යටත් වුණේ කැමැත්තෙනුයි. ඇගේ සිතින් පවා ඇය ඔහුව සැලකුවේ තමාගේ “ස්වාමියා” හැටියටයි. (උත්පත්ති 18:12) ඇය එහෙම කළ නිසා ඇගේ ආත්ම ගරුත්වයට හානියක් වුණේ නැහැ. ඇයට යෙහෝවා දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබුණා. ඒ නිසා ඇය ආත්මික වශයෙන් මේරූ කෙනෙක් වූ බව අපට පැහැදිලියි. ඇය අනිවාර්යයෙන්ම ‘විශාල වලාකුළක් වැනි වූ සාක්ෂිකරුවන් සමූහයට’ අයිති වෙනවා. “අප ඉදිරියෙහි තබා තිබෙන තරඟය විඳදරාගනිමින්” දිවීමට සාරා ඇතුළු මෙම සාක්ෂිකාර සමූහයේ ආදර්ශය අපව පෙලඹවිය යුතුයි. (හෙබ්‍රෙව් 11:11; 12:1) ක්‍රිස්තියානි භාර්යාවක් සාරාව අනුකරණය කිරීම වටී.

18. ආගමික වශයෙන් බෙදුණු පවුලක අදාළ කරගත යුතු ප්‍රතිපත්ති මොනවාද?

18 ආගමික වශයෙන් බෙදුණු පවුලක වුවත් මූලිකයා වන්නේ පුරුෂයායි. එය වෙනස් වෙන්නේ නැහැ. සත්‍යය පිළිපදින්නේ ඔහු නම් ඔහු තම ආගමික ස්ථාවරය අත්හරින්නේ නැතුව තම භාර්යාවට ඇගේ ආගම ඇදහීමට ඉඩ දෙයි. අනික් අතට සත්‍යය පිළිපදින්නේ භාර්යාව නම් ඇයත් ඇගේ ආගමික ස්ථාවරය අත්හරින්නේ නැහැ. (ක්‍රියා 5:29) එමෙන්ම ඇගේ පුරුෂයාගේ මූලිකත්වයට ඉහළින් යන්න උත්සාහ කරන්නේත් නැහැ. ඔහුගේ මූලිකත්වයට ගරු කරන ඇය ‘ස්වාමිපුරුෂයාගේ නීතියට’ යටත් වෙයි.—රෝම 7:2.

බයිබලයේ තිබෙන ඥානවන්ත මඟ පෙන්වීම

19. විවාහ ජීවිතයට තර්ජනයක් විය හැකි දේවල් සමහරක් මොනවාද? එවැනි තර්ජන ජයගත හැක්කේ කෙසේද?

19 අප ජීවත් වන මේ කාලයේදී විවාහ ජීවිතයට තර්ජනයක් විය හැකි බොහෝ දේවල් තිබෙනවා. සමහර පුරුෂයන් තම වගකීම් කරට ගෙන වැඩ කරන්නේ නැහැ. සමහර භාර්යාවන් ඔවුන්ගේ පුරුෂයන්ගේ මූලිකත්වයට යටත් වෙන්න කැමති නැහැ. සමහර විවාහයන් තුළ එක් සහකරුවෙක් අනික් සහකරුවාගේ අඩන්තේට්ටම්වලට ලක් වෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්න, එකිනෙකා අතින් සිදු වන දුර්වලකම් මෙන්ම දුරාචාරය සහ සාරධර්ම පිරිහී තිබෙන මේ ලෝකයේ බලපෑම නිසා ක්‍රිස්තියානියෙක් පක්ෂපාත වෙන්නේ කාටද යන ප්‍රශ්නය මතු වෙන්න පුළුවන්. ඒ කෙසේවෙතත් කුමන තත්වයක සිටියත් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන ක්‍රිස්තියානි පුරුෂයන් හා භාර්යාවන් යෙහෝවාගෙන් ආශීර්වාද ලබනවා. දෙදෙනාගෙන් එක් කෙනෙක් හරි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගතහොත් අනිවාර්යයෙන්ම වඩා හොඳ වාතාවරණයක් ගොඩනැඟේවි. දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුවත් තම විවාහ ගිවිසුමට විශ්වාසවන්තව සිටින තම සේවකයන්ට යෙහෝවා දෙවි ප්‍රේම කරනවා. ඔහු ඔවුන්ට අනිවාර්යයෙන්ම උපකාර කරනවා. ඔවුන් දෙවිට දක්වන පක්ෂපාතකම දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ.—ගීතාවලිය 18:25; හෙබ්‍රෙව් 6:10; 1 පේතෘස් 3:12.

20. පේතෘස් සියලු ක්‍රිස්තියානීන්ට දුන්නේ කුමන උපදෙස්ද?

20 විවාහක පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට උපදෙස් දීමෙන් පසුව ප්‍රේරිත පේතෘස් මෙම කාරුණික දිරිගැන්වීම ඔවුන්ට දුන්නා. “ඉතින්, ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව, යටහත් පහත් මනසක් ඇතිව සිටින්න. නපුරට නපුරවත් නිග්‍රහයට නිග්‍රහයවත් නොකර, ආශීර්වාද කරන්න. මන්ද, ඔබව මේ මඟට කැඳවනු ලැබුවේ ඔබට ආශීර්වාදයක් උරුම වන පිණිසය.” (1 පේතෘස් 3:8, 9) මේවා විශේෂයෙන්ම විවාහකයන්ට ඥානවන්ත උපදෙස් වනවා නොවේද?

ඔබට මතකද?

• පුරුෂයන්ට යේසුස්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?

• ක්‍රිස්තියානි සභාව අනුකරණය කිරීමට භාර්යාවන්ට හැක්කේ කෙසේද?

• තම භාර්යාවන්ට ගෞරව කිරීමට පුරුෂයන්ට හැක්කේ කෙසේද?

• සත්‍යය පිළිගන්න අකමැති පුරුෂයෙක් සිටින ක්‍රිස්තියානි භාර්යාවක් කළ යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි පුරුෂයෙක් තම භාර්යාවව ආදරයෙන් රැකබලා ගනියි

ක්‍රිස්තියානි භාර්යාවක් තම පුරුෂයාව සැහැල්ලුවට නොගෙන ඔහුට ගෞරව කරයි

[17වන පිටුවේ පින්තූරය]

රෝම නීතියට වෙනස්ව ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට අනුව පුරුෂයෙකු තම භාර්යාවට ගෞරව කිරීම අවශ්‍ය වුණා

[18වන පිටුවේ පින්තූරය]

‘මහත් සමූහයට’ අයත් ස්ත්‍රීන් සහ පුරුෂ දෙපාර්ශ්වයේම බලාපොරොත්තුව වන්නේ පාරාදීසයේ සදාකල් ජීවත් වීමයි

[20වන පිටුවේ පින්තූරය]

සාරා ආබ්‍රහම්ව සැලකුවේ තම ස්වාමියා ලෙසටයි