Skip to content

පටුනට යන්න

හෘදය සාක්ෂිය

හෘදය සාක්ෂිය

හෘදය සාක්ෂිය

හෘදය සාක්ෂිය සඳහා ග්‍රීක භාෂාවෙන් භාවිත කර ඇත්තේ සිනෙයිදෙසිස් යන වචනයයි. එහි තේරුම වන්නේ තමාව අවබෝධ කරගෙන සිටීම යන්නයි. ප්‍රේරිත පාවුල් තමාගේ හෘදය සාක්ෂියේ ක්‍රියාකාරිත්වය විස්තර කළේ මෙලෙසයි. “මගේ හෘදය සාක්ෂිය මා හා එක්ව සාක්ෂි දරන්නේය.” (රෝම 9:1) මේ අනුව කෙනෙකුගේ හෘදය සාක්ෂියට පුළුවන් ඔහුගේ හැසිරීමේ හොඳ නරක දෙස බලා ඒ පිළිබඳව විනිශ්චයක් කිරීමට.

හෘදය සාක්ෂිය මිනිසා තුළ සහජයෙන්ම පිහිටා ඇති දෙයක්. එය දෙවිගේ දීමනාවක්. එමනිසා ඕනෑම කෙනෙකුට සහජයෙන්ම හොඳ නරක හඳුනාගත හැකියි. කෙනෙකු කරන දෙය හෝ කල්පනා කරන දෙය අනුමත කිරීමට නැතහොත් හෙළා දැකීමට හෘදය සාක්ෂියට පුළුවන්. මින් පැහැදිලි වන්නේ අපගේ හෘදය සාක්ෂිය අප ගැන යම් විනිශ්චයක් හෝ ඇගයීමක් කරන බවයි. පුද්ගලයෙකු ලබන අද්දැකීම්වලින් සහ ඉගෙනගන්නා දේවලින් ඔහුගේ හෘදය සාක්ෂිය පුහුණු කළ හැකියි. ප්‍රතිඵලයක් ලෙස යම් සිතුවිලි, පුරුදු, මත සහ නීති ඔහුගේ මනසෙහි පැලපදියම් වෙනවා. එසේ පැලපදියම් වූ දේ ප්‍රමිතියක් ලෙස යොදාගනිමින් ඒ පුද්ගලයා ගන්නා හෝ ගැනීමට අදහස් කරන ක්‍රියාමාර්ගයක් පිළිබඳව හෘදය සාක්ෂිය මගින් ඇගයීමක් කරනවා. ප්‍රමිතියට පටහැනි දෙයක් සිදු වෙනවා නම් අනතුරු ඇඟවීමක් ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී හෘදය සාක්ෂිය “හංවඩු” ගැසී තිබෙනවා. මින් අදහස් කරන්නේ හෘදය සාක්ෂියේ ප්‍රමිතිය නැවත නැවතත් නොසලකා හැරීම නිසා එයින් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙන බවයි. “හංවඩු” ගැසී නැති හෘදය සාක්ෂියකින් පුද්ගලයෙකුට ආරක්ෂාවක් සැලසෙනවා.

මුල් මිනිසුන් දෙදෙනා වන ආදම් සහ ඒවටත් හෘදය සාක්ෂියක් තිබුණා. එය පැහැදිලි වුණේ ඔවුන් දෙවිගේ නීතිය කඩ කළ පසු දෙවිට මුහුණ නොදී සිටීමෙනුයි. (උත්පත්ති 3:7, 8) ආදම් සහ ඒවගෙන් පැවතෙන සියලුම මිනිසුන්ටත් හෘදය සාක්ෂියක් තිබෙනවා. රෝම 2:14, 15හි සඳහන් වන දේ සලකා බලන්න. “මන්ද නීතිය නොමැති ජාතීන් ස්වභාවයෙන්ම නීතියේ දේවල් කරන විට, නීතිය නොමැතිව සිටියත් ඔවුහු තමන්ටම නීතියක්ව සිටිති. ඔවුන්ගේම හෘදය සාක්ෂියද සාක්ෂි දරමින් ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ටම චෝදනා කරන විට හෝ ඔවුන්ව නිදොස් කරන විට නීතියේ සාරය ඔවුන්ගේ සිත්වල ලියා තිබෙන බව පෙන්වන්නේ ඔවුන්මය.” නිදසුනකට විවිධ ජන කොටස් විසින් සම්පාදනය කර ඇති නීති සලකා බලන්න. මෙම නීතිවලින් බොහොමයක් ක්‍රිස්තියානි කෙනෙකුගේ ප්‍රතිපත්තිවලට එකඟ වුණත් එම නීති සම්පාදනය කිරීමට ක්‍රිස්තියානි ඉගැන්වීම් උපකාරවත් වූ බව අනිවාර්යයෙන්ම පැවසිය නොහැකියි. මෙම නීති සම්පාදනය කරනු ලැබුවේ විවිධ පුද්ගලයන් තම හෘදය සාක්ෂියට එකඟව යම් ප්‍රමිති සම්මත කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ක්‍රිස්තියානි ප්‍රමිති සහ බයිබලයේ පණිවිඩය බොහෝදෙනෙකුගේ සිත්ගන්නේ එය ඔවුන්ගේ හෘදය සාක්ෂියේ සහජ නැඹුරුවාවට එකඟ වන නිසයි.—2 කොරින්ති 4:2.

හෘදය සාක්ෂියට නිසි පුහුණුවක් ලබා දීම අවශ්‍යයි. එසේ නොකළහොත් පුද්ගලයෙකු එමගින් නොමඟ යා හැකියි. එය පුහුණු කළ යුත්තේ බයිබලයේ සඳහන් සත්‍ය වූ නිවැරදි වූ ප්‍රමිතිවලට එකඟවයි. ඇතැම් අවස්ථාවලදී හෘදය සාක්ෂිය හැඩගැසෙන්නේ පුද්ගලයෙකු ඇති දැඩි වන පරිසරයට අනුවයි. එනම් ඔහු අනුගමනය කරන සිරිත් විරිත් සහ පුරුදුවලට අනුවයි. එසේ නැතහොත් ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුවයි. පුද්ගලයෙක් එලෙස හැඩගැසී ඇති හෘදය සාක්ෂියකට අනුව යම් කාරණයක් ගැන විනිශ්චයක් කළහොත් ඇතැම්විට ඔහු වැරදි නිගමනවලට හෝ තීරණවලට එළඹිය හැකියි. මීට නිදසුනක් වශයෙන් යේසුස් යොහන් 16:2හි සඳහන් කළ දේ සලකා බලන්න. දෙවි වෙනුවෙන් මහත් සේවයක් කරනවායයි සිතා ඇතැම් මිනිසුන් දෙවිගේ සේවකයන්ව මරණයට පත් කරන බව යේසුස් පුරෝකථනය කළා. මීට හොඳ උදාහරණයකි සාවුල් හෙවත් ප්‍රේරිත පාවුල්. ක්‍රිස්තියානියෙකු වීමට පෙර ඔහු වියරුවෙන් යේසුස්ගේ ගෝලයන් මරා දැමීමට උත්සාහ කළා. එසේ කළේ තමා දෙවි වෙනුවෙන් අමිල සේවයක් කරනවායයි සිතූ නිසයි. (ක්‍රියා 9:1; ගලාති 1:13-16) යුදෙව් ජාතිකයනුත් දෙවිගේ වචනයට නිසි ලෙස ගෞරවයක් නොදැක්වූ නිසා ඔවුන් දෙවිට විරුද්ධව කැරලි ගැසුවා. (රෝම 10:2, 3; හොෂෙයා 4:1-3; ක්‍රියා 5:39, 40) ජීවිතයේ යම් කාරණා නිසි ලෙස හරිගැස්සවීමටත්, නිවැරදි විනිශ්චයන් කිරීමටත් හැකි වන්නේ දෙවිගේ වචනයේ තිබෙන ප්‍රමිතිවලට අනුව හැඩගස්වා ඇති හෘදය සාක්ෂියකට පමණයි. (2 තිමෝති 3:16; හෙබ්‍රෙව් 4:12) ක්‍රිස්තියානියෙකු අනුගමනය කළ යුත්තේ දෙවිගේ ප්‍රමිතියයි. ඊට ඉහළින් වෙනත් කිසිම ප්‍රමිතියක් නැහැ.

දෙවි ඉදිරියේ නිදොස් වූ හෘදය සාක්ෂියක්

කෙනෙකුට යෙහෝවා වෙතට ළං විය හැක්කේ කලින් කළ වැරදිවලින් මිදී පිරිසිදු වූ හෘදය සාක්ෂියක් ගොඩනඟා ගතහොත් පමණයි. (හෙබ්‍රෙව් 10:22) ක්‍රිස්තියානියෙකු සෑම කාරණයකදීම අවංකව ක්‍රියා කිරීමට නිරතුරුවම උත්සාහ කළ යුතුයි. (හෙබ්‍රෙව් 13:18) පාවුල් මෙසේ පැවසුවා. “මා දෙවිට විරුද්ධවවත් මිනිසුන්ට විරුද්ධවවත් කිසි වරදක් කළා යන හැඟීමක්වත් මා තුළ ඇති නොවන පිණිස නොකඩවා වෑයම් කරමි.” (ක්‍රියා 24:16) ඉන් ඔහු අදහස් කළේ ඔහු නිරතුරුවම දේවවචනයේ ප්‍රමිතිවලට හා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට අනුව තම ජීවිතය ගත කිරීමට උත්සාහ කළ බවයි. එයට හේතුව ඔහුට අවසාන විනිශ්චය ලැබෙන්නේ තමාගේ හෘදය සාක්ෂියෙන් නොව දෙවිගෙන් බව ඔහු දැන සිටි නිසයි. (1 කොරින්ති 4:4) බයිබලයේ ප්‍රමිතිවලට අනුව හැඩගස්වා ඇති හෘදය සාක්ෂියක මඟ පෙන්වීම අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පීඩාවලට පවා මුහුණ දීමට සිදු විය හැකියි. එනමුත් පේතෘස් මෙසේ දිරිගන්වයි. “යමෙක් දෙවි ඉදිරියෙහි ඇති තම හෘදය සාක්ෂිය නිසා, දුෂ්කරතා දරාගෙන අසාධාරණ ලෙස දුක් විඳින්නේ නම්, එය ප්‍රසන්න දෙයකි.” (1 පේතෘස් 2:19) එමනිසා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්නට සිදු වුවත් ක්‍රිස්තියානියෙක් දෙවි ඉදිරියේ නිදොස් වූ “යහපත් හෘදය සාක්ෂියක් ඇතිව” සිටිය යුතුයි.—1 පේතෘස් 3:16.

ඊශ්‍රායෙල් ජාතියට දෙන ලද නීතිය යටතේ කෙනෙකුගේ පව්වලට සමාව ලැබීම සඳහා සතුන්ව පූජා කරනු ලැබුවත්, ඔහුට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ලැබුණේ නැහැ. කෙනෙකුට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ලැබෙන්නේ ඔහු ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබුවොත් පමණයි. (හෙබ්‍රෙව් 9:9, 14) ඇත්තෙන්ම ගැලවීම ලබන්නට නම් පුද්ගලයෙකුට යහපත්, එනම් දෙවි ඉදිරියේ නිදොස් වූ හෘදය සාක්ෂියක් අත්‍යවශ්‍ය බව පේතෘස් පැහැදිලි කළා.—1 පේතෘස් 3:21.

අනුන්ගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වීම

ඉහත දැක්වූ පරිදි නිවැරදි ඇගයීමක් කිරීම සඳහා හෘදය සාක්ෂිය තුළ දේවවචනයේ ප්‍රමිති පැලපදියම් කළ යුතුයි. එසේ නොකළහොත් වෙනත් පුද්ගලයෙකු කරන ඇතැම් දේවල් දරාගැනීමට ඒ හෘදය සාක්ෂියට අපහසු විය හැකියි. ඉන් අදහස් කරන්නේ වෙනත් කෙනෙකු අතින් කිසිම වරදක් සිදු වී නැතත් ඔහු කරන කියන දෙයින් අනික් පුද්ගලයාට යම් අපහසුතාවක් ඇති විය හැකි බවයි. උදාහරණයකට කෑම බීම ගැන සහ එක් දවසක් තවත් දවසකට වඩා උතුම් බව තීරණය කිරීම වැනි දේවල් ගැන පාවුල් කතා කළා. (රෝම 14:1-23; 1 කොරින්ති 8:1-13) බයිබල් ප්‍රමිති ගැන මනා දැනුමක් ලබා ඇති ක්‍රිස්තියානීන්ට ඔහු පැවසුවේ බයිබල් ප්‍රමිති ගැන මනා දැනුමක් නැති නොමේරූ අය ගැන සැලකිලිමත් වන්නට කියායි. තමාට කැමති දේ කරන්නට නිදහස තිබුණත් ඔවුන් නිතරම තම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමට උත්සාහ නොකළ යුතු බව ඔහු පැවසුවා. (රෝම 15:1) සෙසු ක්‍රිස්තියානියෙකුව එලෙස බාධාවට පත් කරන කෙනෙකු “පව් කරන්නේ ක්‍රිස්තුස්ට විරුද්ධවය.” (1 කොරින්ති 8:12) එමනිසා පාවුල් වැනි මේරූ අය වඩාත් දුර්වල සහෝදරයන්ව බාධාවට පත් නොකිරීමට ක්‍රියා කිරීම අවශ්‍ය බව පැහැදිලියි. එනමුත් පාවුල් තවත් කාරණයක්ද අවධාරණය කළා. එනම් ඒ දුර්වල පුද්ගලයාත් බයිබල් ප්‍රමිති ගැන ඔහුගේ දැනුම හා අවබෝධය වැඩි කරගත යුතු බවයි. ඊට හේතුව එසේ නොකළහොත් ඔහු සෙසු සහෝදරයන් ගැන ඉක්මනින් වැරදි නිගමනවලට එළඹිය හැකි නිසයි. ඔහු බයිබල් ප්‍රමිති ගැන ඔහුගේ දැනුම හා අවබෝධය වැඩි කරගැනීමෙන් ඔහුට වඩාත් මේරූ ලෙස දේවල් දෙස බලන්නට හැකි වන නිසා ඔහු තවදුරටත් බාධාවට පත් නොවන අතර තම සහෝදරයන් ගැන වැරදි නිගමනවලට එළඹීමට ඉක්මන් වන්නේත් නැහැ.—1 කොරින්ති 10:29, 30; රෝම 14:10.

හැඟීම් දැනීම් නැති හෘදය සාක්ෂියක්

තම හෘදය සාක්ෂිය තමා පිළිබඳව කරන ඇගයීම කෙනෙක් නිතරම නොසලකා හරිනවා නම් එය හැඟීම් දැනීම් නැති තත්වයකට පත් විය හැකියි. එයින් අදහස් කරන්නේ ඔහු මොනවා කළත් එයින් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙන බවයි. එවැනි දෙයක් සිදු වුණොත් ඒ පුද්ගලයාගේ හෘදය සාක්ෂියට ඔහුව නොමඟ යැවිය හැකියි. (තීතස් 1:15) එවැනි පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය පාලනය වන්නේ දඬුවමක් ලැබීමට ඇති වන බියෙන් පමණයි. ඔහු කළ වරද කිසිම කෙනෙකු නොදැන සිටින තාක් කල් ඔහුට ඒ ගැන කිසිම තැකීමක් ඇති වන්නේ නැහැ. (රෝම 13:5) පාවුල් එවැනි පුද්ගලයන්ගේ හෘදය සාක්ෂිය හඳුන්වන්නේ “හංවඩු” ගසන ලද හෘදය සාක්ෂියක් ලෙසයි. ඉන් අදහස් වන්නේ එම හෘදය සාක්ෂිය කොතරම් දැඩි වී ඇද්ද කිවහොත් ඊට කිසිම දෙයක් හැඟෙන්නේ හෝ දැනෙන්නේ නැති බවයි. (1 තිමෝති 4:2) එවැනි හෘදය සාක්ෂියක් ඇති අයට හරි වැරැද්ද අතර වෙනස තේරෙන්නේ නැහැ. දෙවි ඔවුන්ට ලබා දී තිබෙන නිදහස අගය නොකරන ඔවුන් කැරලිකාර ලෙස හැසිරෙනවා. ඔවුන් වැරදි ක්‍රියාවලට වහලුන් වෙනවා. මෙවැනි දෙයක් ඉතා ලෙහෙසියෙන් සිදු විය හැකි නිසා ක්‍රිස්තියානියෙකුගේ පරමාර්ථය විය යුත්තේ ක්‍රියා 23:1හි සඳහන් පාවුල්ගේ ආදර්ශය අනුගමනය කිරීමයි. ඔහු පැවසුවේ “සහෝදරයෙනි, මම අද දක්වාම දෙවි ඉදිරියෙහි සැම අතින්ම පිරිසිදු [හෙවත් නිදොස්] හෘදය සාක්ෂියක් ඇතිව හැසිරුණෙමි” කියායි.