Skip to content

පටුනට යන්න

තවදුරටත් අප වෙනුවෙන්ම ජීවත් නොවීම

තවදුරටත් අප වෙනුවෙන්ම ජීවත් නොවීම

තවදුරටත් අප වෙනුවෙන්ම ජීවත් නොවීම

‘[ක්‍රිස්තුස්] සියල්ලන් වෙනුවෙන් මිය ගියේ, ජීවත් වන අය තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවන පිණිසය.’—2 කොරින්ති 5:15.

1, 2. මුල් සියවසේ විසූ යේසුස්ගේ අනුගාමිකයන්ට ආත්මාර්ථයෙන් මිදීමට පෙලඹවූයේ යේසුස් දුන් කිනම් ආඥාවද?

යේසුස් සිය ගෝලයන් සමඟ ගත කළ අන්තිම රාත්‍රිය ගැන සිතමු. තමන් කෙරෙහි ඇදහිල්ල තබන සියල්ලන් වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමට යේසුස්ට වැඩි වේලාවක් ඉතිරි වී තිබුණේ නැත. ඒ නිසා යේසුස් සිටියේ තමන් කෙරෙහි ඇදහිල්ල තැබූ ප්‍රේරිතයන්ට වැදගත් පාඩම් බොහොමයක් කියා දෙමිනුයි. ඒ වැදගත් පාඩම් අතර එක් පාඩමක් නම් සිය ගෝලයන්ව හඳුනාගැනීමට ඉවහල් වන වැදගත් ගුණාංගයක් පිළිබඳව දුන් ආඥාවයි. ඔහු මෙසේ පැවසීය. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:34, 35.

2 මේ ආඥාවෙන් අදහස් කරන්නේ කුමක්ද? එය නම් සැබෑ ක්‍රිස්තියානීන් තමන් ගැන සිතනවාට වඩා තමන්ගේ සහෝදර සහෝදරියන් ගැන සිතිය යුතුය යන්නයි. එපමණක්ද නොව ඔවුන් ‘තම මිත්‍රයන් උදෙසා තමන්ගේ ජීවිතය දෙන්නටද’ කැමැත්තෙන් සිටිය යුතුයි. (යොහන් 15:13) යේසුස් දුන් මේ නව ආඥාවට මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? දෙවෙනි සියවසේ විසූ ටර්ටූලියන් නම් ලේඛකයා තමාගේ කෘතියක එම ක්‍රිස්තියානීන් ගැන ලීවේ මෙසේයි. ‘ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන සැටිත්, එකිනෙකා වෙනුවෙන් මිය යෑමට පවා සූදානම්ව සිටින සැටිත් බලන්න.’

3, 4. (අ) අප ආත්මාර්ථකාමී ස්වභාවය මර්දනය කළ යුත්තේ මන්ද? (ආ) මේ ලිපියෙන් ඉදිරියට සලකා බලන්නේ මොනවාද?

3 අපද ‘එකිනෙකාට තිබෙන දුෂ්කරතා නමැති බර ඉසිලීමට උදව් කිරීමෙන් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කළ’ යුතුයි. (ගලාති 6:2) නමුත් ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වී ‘අපගේ දෙවි වන යෙහෝවාට අපේ මුළු හදවතින්ද අපේ මුළු ජීවිතයෙන්ද අපේ මුළු මනසින්ද ප්‍රේම කිරීමටත් අපට මෙන් අපේ අසල්වැසියාට ප්‍රේම කිරීමටත්’ විශාල බාධා අපට තිබේ. ඉන් ප්‍රධාන එකක් නම් අප තුළ තිබෙන ආත්මාර්ථකාමී ස්වභාවයයි. (මතෙව් 22:37-39) අප අසම්පූර්ණ බැවින් ආත්මාර්ථකාමී ස්වභාවය අප තුළ සහජයෙන්ම පිහිටා ඇති දෙයකි. මීට අමතරව එදිනෙදා ජීවිතයේ පීඩනවලින්ද, පාසැලේ හෝ රැකියා ස්ථානයේ අප වට වී සිටින තරඟකාරී ස්වභාවය හේතුවෙන්ද, අපට අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් යනාදිය ලබාගන්නට අපට ලොකු සටනක් කිරීමට සිදු වී තිබෙන හේතුවෙන්ද, අප තුළ ඇති මේ සහජ ආත්මාර්ථකාමී ගතිය තවත් ප්‍රබල වේ. මිනිසුන් තුළ ඇති මෙම නැඹුරුවාව අඩු වෙන්නේද නැත. මන්ද ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේ මෙසේයි. “අවසාන කාලයේදී . . . මිනිස්සු ආත්මාර්ථකාමී . . . අය වන්නෝය.”—2 තිමෝති 3:1, 2, නව අනුවාදය.

4 යේසුස් මේ පොළොවේ විසූ අන්තිම කාලයේදී සිය ගෝලයන්ට යමක් කියා දුණි. එය නම් ආත්මාර්ථය නැති කරගැනීමට ඉවහල් වන පියවර තුනකි. ඒ පියවර තුන මොනවාද? තවද ඔහු දුන් උපදෙස්වලින් අපට අද ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

ආත්මාර්ථය නැති කරන පියවර තුනක්

5. ගලීලයේ උතුරු ප්‍රදේශයේ දේශනා කරමින් සිටින විට යේසුස් සිය ගෝලයන්ට හෙළි කළේ කුමක්ද? එය ඔවුන් තුළ කම්පනයක් ඇති කළේ මන්ද?

5 යේසුස් මෙම උපදෙස දීමට හේතු පාදක වූ පසුබිම දැන් අපි සලකා බලමු. මේ අවස්ථාවේදී යේසුස් සිටියේ ගලීලයේ උතුරු ප්‍රදේශයේ සිසේරිය ෆිලිප්පියේ දේශනා කරමිනුයි. මෙම ප්‍රදේශය ඉතා චමත්කාරජනක සාමකාමී සුන්දර පරිසරයකින් වට වී තිබුණි. මෙය වඩාත් ගැළපුණේ විනෝදයට බර පුද්ගලයෙකුට මිස ආත්ම පරිත්‍යාගශීලී පුද්ගලයෙකුට නම් නොවේ. එහෙත් එහිදී යේසුස් තම ගෝලයන්ට ඔවුන් බලාපොරොත්තු නොවූ යම් කාරණයක් හෙළි කළ බව සඳහන් වෙන්නේ මෙසේයි. “යේසුස් ක්‍රිස්තුස්, වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දුක් විඳින්නත්, මරනු ලබන්නත්, තුන්වන දා නැඟිටුවනු ලබන්නත් තමන් යෙරුසලමට යා යුතු බව තම ගෝලයන්ට දන්වන්න පටන්ගත්තේය.” (මතෙව් 16:21) මෙම ප්‍රකාශය යේසුස්ගේ ගෝලයන් තුළ මොන තරම් කම්පනයක් ඇති කරන්නට ඇද්ද! මන්ද ඔවුන් සිතා සිටියේ ඔවුන්ගේ නායකයා පොළොවේ රාජ්‍යයක් පිහිටුවාවි යන්නයි.—ලූක් 19:11; ක්‍රියා 1:6.

6. යේසුස් පේතෘස්ට තදින් තරවටු කළේ මන්ද?

6 මේ අවස්ථාවේදී ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ පේතෘස් “[යේසුස්ව] පැත්තකට ගෙන ගොස් ඔහුට තරවටු කරමින්, ‘ස්වාමිනී, ඔබ ගැන හිතන්න. ඔබට එවැන්නක් කවදාවත් සිදු නොවේ’ යයි කීවේය.” යේසුස් කීවේ කුමක්ද? “ඔහු හැරී ‘සාතන් මා පස්සට යන්න! ඔබ මට බාධාවට හේතුවකි. මන්ද, ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ’ යයි පේතෘස්ට කීවේය.” මේ දෙදෙනාගේ ආකල්ප අතර කොතරම් වෙනසක් තිබුණාද! යේසුස් කැමැත්තෙන්ම භාරගත්තේ දෙවි තමන්ට පවරා තිබුණු කාර්යය නිම කිරීමටයි. මේ නිසා තව මාස කිහිපයකින් තමා වධකණුවක් මත මිය යන බව ඔහු දැන සිටියේය. නමුත් පේතෘස් කල්පනා කළේ එසේ නොවෙයි. ඔහු යේසුස්ට කීවේ “ස්වාමිනී, ඔබ ගැන හිතන්න” කියායි. මෙහිදී පේතෘස් මෙසේ කීවේ හොඳ සිතින් බව අමතක නොකරමු. නමුත් පේතෘස් ඒ අවස්ථාවේදී තම සිතිවිලි බොඳ කිරීමට සාතන්ට ඉඩ දී තිබුණි. පේතෘස් සිතුවේ “මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ.” ඒ නිසයි යේසුස් ඔහුට තරවටු කළේ.—මතෙව් 16:22, 23.

7. මතෙව් 16:24හි සඳහන් වී ඇති පරිදි යේසුස් තම ගෝලයන්ට අනුගමනය කිරීමට පෙන්වා දුන් ක්‍රියාමාර්ගය කුමක්ද?

7 පේතෘස් එදා පැවසූ ඒ වචනවල දෝංකාරය අද දිනත් අපට විවිධ පැතිවලින් අසන්නට ලැබේ. මේ ලෝකය නිතරම පාහේ කෙනෙකුට දෙන පණිවුඩය නම් ‘ඔබ ගැනත් සිතන්න’ නැත්නම් ‘මොනවටද ඔච්චර මහන්සි වෙන්නේ?’ යන්නයි. යේසුස් කීවේ එය නොවේ. ඔහු අපට දිරිගන්වා ඇත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයක් ඇති කරගැනීමටයි. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා!” (මතෙව් 16:24) “මේ වචන ක්‍රිස්තියානීන් නොවන අයට කරන ආරාධනයක් නොවේ. නමුත් ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත් වී සිටින අයට ගෝලයෙකු වීමෙන් සැබවින්ම අදහස කරන දේ ගැන පැහැදිලිව කියා දීමකි” යයි එක්තරා බයිබල් පරිවර්තනයක සඳහන් වේ. (New Interpreter’s Bible) මේ අනුව එම පාඨයේ සඳහන් යේසුස් පෙන්වා දුන් පියවර තුන පිළිපැදිය යුත්තේ යේසුස්ගේ ගෝලයන් විසිනි. දැන් අපි ඒ එක් එක් පියවර වෙන වෙනම සලකා බලමු.

8. තමාවම නොසලකා හරිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න.

8 පළමු පියවර නම් අප අපවම නොසලකා හැරිය යුතු බවයි. “තමාවම නොසලකා” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙන් අදහස් වන්නේ තමාගේම සැප පහසුව හා ආශාවන් පසෙකට දැමීමයි. අපවම නොසලකා හැරීම කීමෙන් අදහස් කරන්නේ විනෝදයට අප කරන දේවල් ඉඳ හිට නවතා දැමීම නොවේ. එමෙන්ම නොකා නොබී සිට තාපසයෙකු ලෙස ජීවත් වීමවත් නොවේ. අප ‘තවදුරටත් අපටම අයිති නැත’ කීමෙන් අදහස් කරන්නේ අප අපේ මුළු ජීවිතයත් ඊට අයත් සියල්ලත් යෙහෝවාට අපේ කැමැත්තෙන්ම භාර දෙනවා යන්නයි. (1 කොරින්ති 6:19, 20) අප ගැනම සිතනවාට වඩා අප සිතන්නේ දෙවිට කීකරු වීම සහ ඔහුට සේවය කිරීම ගැනයි. අපවම නොසලකා හැරීම කීමෙන් අදහස් වන්නේ දෙවි කැමති විදිහට ජීවත් වීම අපට අමාරුයි කියා හැඟුණත් එලෙස ජීවත් වීමට දැඩි අධිෂ්ඨානයක් ගැනීමයි. අප කැප වී බව්තීස්ම වන අවස්ථාවේදී අප පෙන්වන්නේ අප තනිකරම දෙවිට කැප වී සිටින බවයි. ඉන්පසුව අප දැඩි ප්‍රයත්නයක් දරන්නේ අපගේ මුළු ජීවිත කාලය පුරාම අපගේ කැපවීමට එකඟව ජීවත් වීමටයි.

9. (අ) යේසුස් මේ පොළොවේ විසූ කාලයේදී වධකණුවක් ගැන කතා කරද්දී එයින් කියැවුණේ කුමක්ද? (ආ) අප අපේ වධකණුව රැගෙන යන්නේ කිනම් ආකාරයෙන්ද?

9 දෙවෙනි පියවර නම් අප අපගේම වධකණුව රැගෙන යා යුතු බවය. පළමු සියවසේදී වධකණුවක් ගැන කතා කරද්දී ඉන් අදහස් කළේ දුක් විඳීමත්, ලජ්ජාවට පත්වීමත් මරණයත්ය. සාමාන්‍යයෙන් වධකණුවක් යොදාගත්තේ අපරාධකරුවන්ව පමණක් එල්ලා මරා දැමීමටය. එසේ නැතහොත් ඔවුන්ගේ මළ සිරුරු එල්ලා තැබීමටය. යේසුස්ගේ වචනවලින් අදහස් කළේ ක්‍රිස්තියානියෙකු ලෝකයේ කොටසක් නොවන නිසා ඔහු පීඩා අපහාස පමණක් නොව මරණය විඳීමට පවා සූදානම් විය යුතු බවයි. (යොහන් 15:18-20) අපට තිබෙන ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන විට, අප හැසිරෙන්නේ ලෝකයේ අන් මනුෂ්‍යයන්ට වඩා වෙනස් අන්දමකටයි. ඒ නිසා ඔවුහු අප ගැන ‘නිග්‍රහාත්මක ලෙස කතා කරති.’ (1 පේතෘස් 4:4) පාසැලේදී, රැකියා ස්ථානයේදී හෝ පවුල තුළම හෝ මෙය අපට සිදු විය හැකියි. (ලූක් 9:23) එහෙත් අපි ලෝකයාගේ අපහාස විඳීමට කැමති වෙමු. මන්ද අප තවදුරටත් ජීවත් වෙන්නේ අප වෙනුවෙන්ම නොවන නිසාය. යේසුස් පැවසුවේ මෙසේයි. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය. ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න, ප්‍රීතියෙන් පිනා යන්න.” (මතෙව් 5:11, 12) ඇත්තෙන්ම අපට වඩාත් වැදගත් වන්නේ දෙවිගේ අනුමැතිය ලැබීමයි.

10. යේසුස් අනුව දිගටම යෑම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

10 තුන්වෙනි පියවර මෙයයි. අප දිගටම ඔහු අනුව යා යුතු බව යේසුස් ක්‍රිස්තුස් පැවසීය. එක්තරා ශබ්දකෝෂයක් පවසන පරිදි ‘අනුව යනවා’ යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙන් අදහස් කරන්නේ “යමෙක් ගිය ගමන් මඟේම ගමන් කිරීමයි.” පළමුවෙනි යොහන් 2:6 කියන්නේ මෙසේයි. “[දෙවි] සමඟ එක්සත්ව සිටින්නේයයි කියන තැනැත්තා, [ක්‍රිස්තුස්] ගමන් කළාක් මෙන් ගමන් කිරීමටත් බැඳී සිටින්නේය.” යේසුස් ගමන් කළේ කෙසේද? සිය පියාණන්ටත් සිය ගෝලයන්ටත් තිබූ ප්‍රේමය නිසා යේසුස්ට තමා ගැන සිතීමට කිසිම වේලාවක්වත් කිසිම ඉඩක්වත් තිබුණේ නැත. “ක්‍රිස්තුස් . . . තමාවම සතුටු කර නොගත්තේය” යනුවෙන් පාවුල් ලීවේය. (රෝම 15:3) ඔහු වෙහෙසට පත් වී කුසගිනි දැනුණු විට පවා ඔහු කළේ තමා ගැන සිතනවාට වඩා අනිත් අය ගැන සිතීමයි. (මාක් 6:31-34) තවද ඔහු රාජ්‍යය ගැන දේශනා කළේ සහ ඉගැන්වූයේ දැඩි උනන්දුවකින් හා කැපවීමකිනි. මෙසේ යේසුස් තම මුළු ජීවිතයෙන්ම අපට ආදර්ශයක් තැබීය. අපත් ඔහුව එසේම අනුකරණය කළ යුතු නොවේද? මන්ද අපටත් ‘සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීමටත් යේසුස් අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට ඉගැන්වීමටත්’ අණක් ලැබී තිබේ. (මතෙව් 28:19, 20) ක්‍රිස්තුස් අපට ආදර්ශයක් වන නිසා අප “ඔහුගේ අඩි පාර කිට්ටුවෙන් අනුගමනය” කළ යුතුයි.—1 පේතෘස් 2:21.

11. අප අපවම නොසලකා හැර, අපගේ වධකණුව රැගෙන දිගටම යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කිරීම වැදගත් වෙන්නේ මන්ද?

11 අපේ ආත්මාර්ථකාමී ස්වභාවය නැති කර දැමීමට නම්, අප අපවම නොසලකා හැර, අපගේ වධකණුව රැගෙන, අපට ආදර්ශයක් දුන් යේසුස් අනුව දිගටම යා යුතුයි. අනුන්ට සැබෑ ප්‍රේමයක් පෙන්වීමට එම පියවර තුන අපට මහෝපකාරී වේ. තවදුරටත් යේසුස් මෙසේ කීමටද අමතක කළේ නැත. “යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමති වේද, ඔහුට එය නැති වන්නේය. නමුත් මා නිසා තම ජීවිතය නැති කරගන්නාට එය ලැබෙන්නේය. මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත්, තම ජීවිතය අහිමි කරගන්නවා නම් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? මිනිසෙකු තම ජීවිතය වෙනුවට කුමක් දෙන්නේද?”—මතෙව් 16:25, 26.

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කිරීමට අපට නොහැක

12, 13. (අ) යේසුස්ගෙන් උපදෙස් ගැනීමට පැමිණි තරුණයා ඇසූ ප්‍රශ්නය කුමක්ද? (ආ) මෙම තරුණයාට යේසුස් දුන්නේ කිනම් උපදෙසද? ඒ මන්ද?

12 තමාවම නොසලකා හැරීමේ ඇති වැදගත්කම ගැන යේසුස් සිය ගෝලයන්ට අවධාරණය කොට මාස කිහිපයක් ගතවීමෙන් පසු ඒ ගැන තවත් කතා කිරීමට ඔහුට අවස්ථාවක් ලැබිණ. එසේ වූයේ එක්තරා පොහොසත් තරුණයෙක් යේසුස් වෙත පැමිණ, “ගුරුතුමෙනි, සදාකාල ජීවනය ලබන්න මා කුමන යහපතක් කළ යුතුද?” කියා ඇසූ අවස්ථාවේදීයි. “දිගටම ආඥා පවත්වන්න” යනුවෙන් ඔහුට පැවසූ යේසුස් ආඥා කිහිපයක් සඳහන් කළේය. “මම මේ සියල්ල පැවැත්වූයෙමි” යන්න තරුණයාගේ පිළිතුර විය. මේ තරුණයා අවංක පුද්ගලයෙකු බවත් නීතියේ සඳහන් ආඥාවලට කීකරු වීමට ඔහුගේ උපරිමය කර තිබූ බවත් පැහැදිලි විය. ඉන්පසු “මට තව අඩු කුමක්ද” යයි ඔහු යේසුස්ගෙන් ඇසීය. මීට පිළිතුරු දෙමින් යේසුස් ඔහුට කළේ මොන තරම් සුවිශේෂී ආරාධනාවක්ද! “ඔබට සම්පූර්ණ වන්න ඕනෑ නම්, ගොස් ඔබ සන්තක දේ විකුණා දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඉන්පසු ඇවිත් මාගේ අනුගාමිකයා වන්න.”—මතෙව් 19:16-21.

13 යෙහෝවාට මුළු හදින් සේවය කිරීමට නම්, මෙම තරුණයා ඔහුට තිබෙන එක්තරා බාධකයක් ඉවත් කරගත යුතු බව යේසුස් පැහැදිලිව දුටුවේය. එය නම් ඔහු සතු ධන සම්පත්ය. ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කළ නොහැකියි. ඔහුට “මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.” (මතෙව් 6:24) නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට මුළු අවධානය දෙන ‘සරල ඇසක්’ ඔහුට තිබිය යුතුය. (මතෙව් 6:22) යමෙකු සතු දේපළ දිලිඳුන්ට දීම ආත්ම පරිත්‍යාගශීලී ක්‍රියාවකි. මෙම තරුණයා තම ධන සම්පත් දිලිඳුන්ට දෙන්නට කැමති නම්, යේසුස් ඔහුට ඉදිරිපත් කළේ අමිල වරප්‍රසාදයකි. ඒ ස්වර්ගීය සම්පත්ය. මේ සම්පත් රැස් කරගැනීමෙන් ඔහුට සදාකාල ජීවනය ලැබෙනවා පමණක් නොව ස්වර්ගයේ ක්‍රිස්තුස් සමඟ රජකම් කිරීමේ භාග්‍යයද ඔහු ඉදිරියේ විවෘත වනු ඇත. නමුත් මේ තරුණයා තමාවම නොසලකා හරින්නට කැමති වූයේ නැත. ඒ නිසා ඔහු “තමන්ට බොහෝ ධන සම්පත් තිබූ හෙයින් ශෝකයෙන් යන්න ගියේය.” (මතෙව් 19:22) එහෙත් යේසුස්ව අනුගමනය කළ වෙනත් අය කළේ එය නොවේ.

14. තමා අනුව එන ලෙසට යේසුස් කළ ආරාධනාවට ධීවරයන් හතරදෙනෙකු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

14 ඊට වසර දෙකකට පමණ පෙර, පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් නම් ධීවරයන් හතරදෙනාට යේසුස් කර තිබුණේද ඒ හා සමානම ආරාධනයකි. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ අවස්ථාවේදී මසුන් අල්ලමින් සිටි අතර, අනෙක් දෙදෙනා තම දැල් අලුත්වැඩියා කරමින් සිටියෝය. “මා අනුව එන්න. මම ඔබව මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යයි යේසුස් ඔවුන්ට පැවසීය. ඒ හතරදෙනා අන්තිමේදී තම ධීවර වෘත්තිය අතහැර තම ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ යේසුස්ව අනුගමනය කරමිනි.—මතෙව් 4:18-22.

15. වර්තමානයේ එක්තරා සාක්ෂිකාරියක් යේසුස්ව අනුගමනය කරන පිණිස පරිත්‍යාගයන් කළේ කෙසේද?

15 අද දින ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු එම තරුණයා මෙන් නොවී එම ධීවරයන් හතරදෙනාගේ ආදර්ශය අනුගමනය කර තිබේ. ඔවුහු තමන්ට මේ ලෝකයේ තිබූ ධනය සැප සම්පත් හා නම්බුව පසෙක දමා යෙහෝවාට සේවය කිරීම පිණිස කැප වී සිටිති. ඩෙබ්රා එවැනි තැනැත්තියකි. ඇය මෙසේ කියන්නීය. “මට වයස අවුරුදු 22දී ලොකු තීරණයක් ගන්න සිදු වුණා. ඒ වෙනකොට මම බයිබලය පාඩම් කරලා තිබුණේ මාස හයක් විතරයි. මට වුවමනා වුණා යෙහෝවාට මගේ ජීවිතය කැප කරන්න. ඒත් මගේ පවුලේ අය මට හුඟාක් විරුද්ධ වුණා. ඔවුන් කෝටිපතියෝ. ඒ අය හිතුවා මම සාක්ෂිකාරියක් වුණොත් ඒක ඒ අයට හරි අවනම්බුවක් කියලා. ඒ නිසා ඔවුන් මට තීරණයක් ගන්න දුන්නේ පැය 24ක් විතරයි. සැප සම්පත් වෙනුවෙන් සත්‍යය අත්හරිනවාද නැත්නම් සැප සම්පත් අත්හැරලා සත්‍යය පිළිගන්නවාද කියලා තීරණය කරන්නට මට සිද්ධ වුණා. සාක්ෂිකරුවන් සමඟ තිබෙන ආශ්‍රය මම අත්හැරියේ නැත්නම්, මට ලැබෙන්න තිබෙන කිසිම දෙයක් මට දෙන්නේ නැහැ කියලා ඔවුන් මට කිව්වා. යෙහෝවා මට නිවැරදි තීරණය ගන්න පිහිට වුණා. ඒ විතරක් නොවේ ඒ තීරණයට අනුව ජීවිතය ගෙනියන්නත් ඔහු මට දුන්නේ ලොකු ශක්තියක්. මම දැන් අවුරුදු 42ක් තිස්සේ පූර්ණ කාලීන සේවය කරනවා. මම ගත් ඒ තීරණය ගැන කවදාවත් කනගාටු වෙන්නේ නැහැ. මම මගේ ජීවිතය දිහා ආපසු හැරිලා බලනකොට, මට එක දෙයක් හොඳටම පැහැදිලියි. ඒ තමයි, ඒ විනෝදයට බර ආත්මාර්ථකාමී ජීවිතය මම අත්හැරිය නිසා, අද මගේ පවුලේ අය විඳින පාළුව හිස්කම අසන්තෝෂය මට නැහැයි කියන එක. මම මගේ සැමියා සමඟ පුද්ගලයන් සියයකට වඩා වැඩිදෙනෙකුට සත්‍යය ඉගෙනගන්න උපකාර කරලා තිබෙනවා. ඔවුන් හරියට අපේම දරුවෝ වගේ. ඒක ධන සම්පත්වලට වඩා කොච්චර වටිනවාද?” යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ඇය සමඟ එකඟ වෙන බවට කිසිදු සැකයක් නැත. ඔබටත් හැඟෙන්නේ එලෙසමද?

16. අප තවදුරටත් අප උදෙසාම ජීවත් නොවන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?

16 යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරින් දහස් ගණනක් පූර්ණ කාලීන රාජ්‍ය ප්‍රචාරකයන් ලෙස සේවය කිරීම පිණිස ඉදිරිපත් වී සිටිති. මේ අය තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවීමටත් අනුන්ට සේවය කිරීමටත් පෙලඹී සිටිති. යම් යම් තත්වයන් නිසා පූර්ණ කාලීන සේවය කිරීමට නොහැකි අයට පුරෝගාමීන් තුළ තිබෙන හැඟීමම තිබෙන අතර, තමන්ගේ උපරිමයෙන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට ඔවුහු දායක වී සිටිති. දෙමාපියන්ටද තිබෙන්නේ මෙවැනිම ආකල්පයකි. මන්ද තම දරුවන්ට සැබෑ ක්‍රිස්තියානීන් වීමට උපකාර කිරීම සඳහා හොඳ පුහුණුවක් දීමට ඔවුන් තම කාලයෙන් වැඩි හරියක් මිඩංගු කර තිබේ. මේ මොනයම් ක්‍රමයකින් හෝ වේවා, දේවරාජ්‍යය සම්බන්ධ කාරණා අපේ ජීවිතයේ මුල් තැන ගන්නා බව පෙන්වීමට අප සියල්ලන්ටම හැකියි.—මතෙව් 6:33.

අප කෙරෙහි බලපවත්වන්නේ කාගේ ප්‍රේමයද?

17. පරිත්‍යාගයන් කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද?

17 කෙසේවෙතත් තමන්වම නොසලකා අනුන්ට ප්‍රේම කිරීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් මේ සඳහා අපව පොලඹවන එක්තරා බලවේගයක් තිබේ. ඒ ගැන පාවුල් ලීවේ මෙයයි. “ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය. සියල්ලන් උදෙසා එක් මිනිසෙකු මිය ගිය බව අපි නිගමනය කළෙමු. . . . තවද, ඔහු සියල්ලන් වෙනුවෙන් මිය ගියේ, ජීවත් වන අය තවදුරටත් තමන් උදෙසාම ජීවත් නොවී, ඔවුන් වෙනුවෙන් මැරී මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා උදෙසා ජීවත් වන පිණිසය.” (2 කොරින්ති 5:14, 15) එසේනම්, තවදුරටත් අප උදෙසා ජීවත් නොවී සිටීමට අපව පොලඹවන්නේ ක්‍රිස්තුස් අපට දැක්වූ ප්‍රේමයයි. එය මොන තරම් අපව පොලඹවන බලවේගයක්ද! ක්‍රිස්තුස් අප වෙනුවෙන් මිය ගිය හෙයින් අප ඔහු වෙනුවෙන් ජීවත් විය යුතු බව අපේ සිත අපට කියන්නේ නැද්ද? ඇත්ත වශයෙන්ම දෙවි සහ ක්‍රිස්තුස් අපට පෙන්වා ඇති ප්‍රේමය ගැන ගැඹුරින් කල්පනා කරන කල, ඒ සඳහා අප තුළ කෘතඥතාවක් ඇති වෙයි. දෙවිට අපේ ජීවිත කැප කොට ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත්වීමට අපව පොලඹවන්නේ ඒ කෘතඥතාවේ හැඟීමයි.—යොහන් 3:16; 1 යොහන් 4:10, 11.

18. ආත්ම පරිත්‍යාගශීලී ජීවිතයක් වටින්නේ ඇයි?

18 අප වෙනුවෙන් තවදුරටත් ජීවත් නොවීම වටිනවාද? පොහොසත් තරුණයා ක්‍රිස්තුස්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පේතෘස් යේසුස්ට කීවේ මෙයයි. “බලන්න! අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවෙමු. ඇත්තටම අපට කුමක් ලැබෙයිද?” (මතෙව් 19:27) පේතෘස් සහ අනෙක් ප්‍රේරිතයන් සැබවින්ම තමන්වම නොසලකා හැර තිබුණි. ඔවුන්ට ලැබෙන ආශීර්වාද මොනවාද? තමා සමඟ ස්වර්ගයේ පාලනය කිරීමේ වරප්‍රසාදය ගැන යේසුස් පළමුව ඔවුන් සමඟ කතා කළේය. (මතෙව් 19:28) එම අවස්ථාවේදීම යේසුස් කතා කරමින් තම අනුගාමිකයන්ට ලැබෙන්නට යන ආශීර්වාද ගැන කීවේ මෙසේයි. “මා නිසාත් ශුභාරංචිය නිසාත් ගේ දොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතු පිටි හෝ අත්හැර තිබෙන කවරෙකු වුවත්, දැන් මේ කාල පරිච්ඡේදයේදී සිය ගුණයකින් [හා]. . . මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයද ලබන්නේය.” (මාක් 10:29, 30) අප පරිත්‍යාග කළාට වඩා බොහෝ දේවල් අපට ලැබී තිබේ. අපට සත්‍යය තුළ සිටින පියවරු, මව්වරු, සහෝදරයන් සහෝදරියන් සහ දරුවන් ගැන සිතා බලන්න. අප දේවරාජ්‍යය වෙනුවෙන් කර ඇති මොනයම් පරිත්‍යාගයකටත් වඩා මේ අය අපට වටින්නේ නැද්ද? වැඩියෙන්ම ආශීර්වාද ලැබුවේ කවුද? පොහොසත් තරුණයාද නැත්නම් පේතෘස්ද?

19. (අ) සැබෑ සන්තෝෂය රැඳී ඇත්තේ කුමක් මතද? (ආ) අප ඊළඟ ලිපියේදී සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

19 යේසුස් තම වචනයෙන් හා ක්‍රියාවෙන් එක් දෙයක් පෙන්වීය. එය නම් සැබෑ සන්තෝෂය කෙනෙකුට ලබාගත හැක්කේ ආත්මාර්ථකාමී වී තමා ගැනම සිතීමෙන් නොව අනුන්ට සේවය කිරීමෙන් බවයි. (මතෙව් 20:28; ක්‍රියා 20:35) අපි තවදුරටත් අප වෙනුවෙන්ම ජීවත් නොවී, දිගටම ක්‍රිස්තුස්ව අනුගමනය කරන්නෙමු නම්, දැනුත් අපට වඩාත් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අතර, අපට අනාගතයේදීද සදාකාල ජීවිතයක් භුක්ති විඳීමට හැකිය. අප අපවම නොසලකා හරින විට අප යෙහෝවාට අයිති වන බව අමතක නොකළ යුතුය. මේ අනුව අපි දෙවිගේ දාසයන් වන්නෙමු. දෙවිගේ දාසයන් වීම ආශීර්වාදයක් වන්නේ මන්ද? අප ජීවිතයේ ගන්නා තීරණවලට මේ කාරණය බලපාන්නේ කෙසේද? ඊළඟ ලිපියේදී මෙම ප්‍රශ්න සලකා බැලේ.

ඔබට මතකද?

• අප තුළ තිබෙන ආත්මාර්ථකාමී ස්වභාවය අප නැති කරගත යුත්තේ මන්ද?

• මේවායේ අර්ථය විස්තර කරන්න. (1) අපවම නොසලකා හැරීම (2) වධකණුව රැගෙන යෑම (3) දිගටම යේසුස් අනුව යෑම.

• තවදුරටත් අප වෙනුවෙන් ජීවත් නොවීමට අපව පොලඹවන බලවේගය කුමක්ද?

• අප ගැනම නොසිතා අනුන්ට සේවය කිරීම වටින්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූරය]

“ස්වාමිනි, ඔබ ගැන හිතන්න”

[13වන පිටුවේ පින්තූරය]

යේසුස්ව අනුගමනය කිරීමට පොහොසත් තරුණයාට තිබූ බාධාව කුමක්ද?

[15වන පිටුවේ පින්තූර]

රාඡ්‍යයේ ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ ප්‍රේමයයි