Skip to content

පටුනට යන්න

පළමුවෙනි සාමුවෙල් පොතෙන් විශේෂාංග

පළමුවෙනි සාමුවෙල් පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

පළමුවෙනි සාමුවෙල් පොතෙන් විශේෂාංග

එය ක්‍රි.පූ. 1117 වසරයි. යෝෂුවා පොරොන්දු දේශය සම්පූර්ණයෙන්ම අත් පත් කරගෙන වසර තුන්සියයක් පමණ ගත වී ඇත. ඊශ්‍රායෙල් වැඩිමහල්ලෝ යෙහෝවාගේ අනාගතවක්තෘවරයා වෙතට ඇවිත් අපූරු ඉල්ලීමක් කරති. අනාගතවක්තෘවරයා මේ ගැන යෙහෝවාට යාච්ඤා කරන අතර, යෙහෝවා ඔවුන්ගේ ඉල්ලීමට කන් දෙයි. මේ සමඟම විනිශ්චයකාරයන්ගේ යුගය අවසන් වී රජවරුන්ගේ පාලන සමයක් ආරම්භ වන්නේය. පළමුවෙනි සාමුවෙල් පොතේ විස්තර කරන්නේ ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසයේ සිදු වූ මෙම සුවිශේෂී වෙනස ගැන හා ඊට සම්බන්ධ සිද්ධීන් පෙළක් ගැනයි.

පළමුවෙනි සාමුවෙල් පොත සාමුවෙල්, නාතාන් සහ ගාද් විසින් ලියනු ලැබූ අතර, ක්‍රි.පූ. 1180 සිට 1078 දක්වා වසර 102ක කාල පරිච්ඡේදයක් එහි ආවරණය වේ. (1 ලේකම් 29:29) එය ඊශ්‍රායෙල් පාලකයන් හතරදෙනෙකු පිළිබඳ වාර්තාවකි. දෙදෙනෙක් විනිශ්චයකාරයන් ලෙසද, දෙදෙනෙක් රජවරුන් ලෙසද සේවය කරති. දෙදෙනෙක් යෙහෝවාට කීකරු වෙති. අනෙක් දෙදෙනා අකීකරු වෙති. ඒ සමඟම ආදර්ශවත් කාන්තාවන් දෙදෙනෙකු ගැනද එඩිතර මෙන්ම මෘදු ගුණැති රණ විරුවෙකු ගැනද අපට මෙම වාර්තාවෙන් දැනගත හැකියි. මෙම චරිතවලින් අපට යම් යම් පාඩම් ඉගෙනගත හැකියි. එනම්, ඔවුන්ගේ ආකල්ප ගැන හා ක්‍රියා ගැන මෙම වාර්තාවේ සඳහන් වන නිසා, අපගේ ආකල්පයන් හා ක්‍රියාවන් සකස් කරගැනීමට ඒවා උපකාරවත් වේ. නමුත් මේ අනුව පළමුවෙනි සාමුවෙල් පොතේ වාර්තාව අපේ සිතිවිලිවලට හා ක්‍රියාවලට යම් බලපෑමක් ඇති කරන බව නිසැකය.—හෙබ්‍රෙව් 4:12.

ඒලී වෙනුවට සාමුවෙල් විනිශ්චයකාරයා වෙයි

(1 සාමුවෙල් 1:1–7:17)

එය මංගල්‍යය කාලයයි. රාමා නුවර වෙසෙන හන්නාද ඊට සහභාගි වන්නේ ඉතා ප්‍රීතියෙනි. * යෙහෝවා ඇගේ යාච්ඤාවට සවන් දී ඇති අතර, ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ. හන්නා ඇගේ බාරයට එකඟව ඇගේ පුත් සාමුවෙල්ව ‘යෙහෝවාගේ ගෘහයේ’ සේවයට භාර දෙන්නීය. මෙම පිරිමි දරුවා මෙහිදී ‘ඒලී නම් පූජකයා ඉදිරියෙහි යෙහෝවාට සේවය කරන්නෙකු’ වේ. (1 සාමුවෙල් 1:24; 2:11) සාමුවෙල් ළමා වියේ සිටිද්දී යෙහෝවා ඔහුට කතා කර, ඒලීගේ ගෘහයට එරෙහිව විනිශ්චය ගෙනෙන බව කියයි. සාමුවෙල් වැඩිවියට පත් වෙත්ම, ඔහුව යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙකු ලෙස ඊශ්‍රායෙලයේ සියලුම වැසියෝ පිළිගනිති.

කල් ගත වෙත්ම පිලිස්තිවරු ඊශ්‍රායෙල්ට එරෙහිව යුධ වදිති. ගිවිසුම් පෙට්ටිය පැහැරගන්නා ඔවුහු ඒලීගේ පුත්‍රයන් දෙදෙනාව ඝාතනය කරති. මේ ගැන ඇසීමෙන් “හතළිස් අවුරුද්දක් ඊශ්‍රායෙල් විනිශ්චය” කළ මහලු වියේ පසුවන ඒලී මිය යයි. (1 සාමුවෙල් 4:18) ගිවිසුම් පෙට්ටිය තබාගැනීම පිලිස්තිවරුන්ට මහත් විපත් ගෙන දෙන බැවින්, ඔවුහු ඊශ්‍රායෙලිතයන්හට ආපසු එය යවති. සාමුවෙල් දැන් ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකාරයෙකු ලෙස කටයුතු කරන අතර, දේශයේ සාමය ඇත.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

2:10—ඊශ්‍රායෙල් දේශයේ රජෙකු නොසිටි කාලයේදී “ස්වකීය රජ්ජුරුවන්ට ශක්තිය” දෙන්නැයි කියා හන්නා යෙහෝවාට යාච්ඤා කළේ මන්ද? ඊශ්‍රායෙලිතයන්ට අනාගතයේ රජෙකු සිටිනු ඇති බව මෝසෙස්ගේ නීතියේ පුරෝකථනය කර තිබුණි. (ද්විතීය කතාව 17:14-18) යාකොබ් සිය මරණයට මොහොතකට පෙර කී අනාවැකිය මෙයයි. “ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තය [රාජකීය බලයේ සංකේතය] . . . පහ නොවන්නේය.” (උත්පත්ති 49:10) එපමණක්ද නොව ඊශ්‍රායෙලිතයන්ගේ මුතුන් මිත්තණියක වන සාරා සම්බන්ධයෙන් යෙහෝවා පැවසුවේ මෙසේයි. “වර්ගයන්ගේ රජවරු ඇගෙන් වන්නෝය.” (උත්පත්ති 17:16) එසේනම් හන්නා යාච්ඤා කරමින් සිටියේ අනාගතයේ සිටින්නට යන රජ කෙනෙකු ගැනයි.

3:3—ඇත්තෙන්ම සාමුවෙල් අතිශුද්ධස්ථානයේ නිදාගෙන සිටියාද? නැත. සාමුවෙල් යනු පූජකයන් නොවන කොහත්වරුන්ගේ පවුලේ ලෙවීවරයෙක් විය. (1 ලේකම් 6:33-38) ඒ නිසා ඔහුට “ශුද්ධස්ථානය දක්නට” යෑමට අවසර දී තිබුණේ නැත. (ගණන් කතාව 4:17-20) මණ්ඩපය තුළ සාමුවෙල්ට යෑමට අවසර දී තිබුණේ මණ්ඩපයේ මළුවට පමණි. ඒ නිසා ඔහු නිදා සිටියේ එහි විය යුතුයි. ඒලී පූජකයාද මණ්ඩපයේ මළුවේ යම් තැනක නිදා සිටි බවක් පෙනී යයි. මේ අනුව, “දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තිබුණාවූ” තැන කීමෙන් අදහස් කරන්නේ මණ්ඩපය තිබූ ප්‍රදේශයයි.

7:7-9, 17—නිතිපතා පූජා ඔප්පු කරනු ලැබීමට නියමිතව තිබුණේ යෙහෝවා විසින් තෝරාගනු ලැබූ තැනක බැවින්, සාමුවෙල් මිශ්පාහි දවන පූජාවක් ඔප්පු කර රාමාහි පූජාසනයක් සෑදුවේ මන්ද? (ද්විතීය කතාව 12:4-7, 13, 14; යෝෂුවා 22:19) ෂීලෝහි මණ්ඩපයෙන් ගිවිසුම් පෙට්ටිය ඉවත් කරනු ලැබීමෙන් පසුව, තවදුරටත් යෙහෝවාගේ අනුග්‍රහය එහි තිබුණේ නැත. ඒ නිසා, දෙවිගේ නියෝජිතයා වශයෙන් සාමුවෙල් මිශ්පාහි දවන පූජාවක් ඔප්පු කර රාමාහි පූජාසනයක් සෑදුවේය. ඔහු කළ මේ ක්‍රියාවලට යෙහෝවාගේ අනුමැතිය ලැබුණ බව පෙනී යයි.

අපට ගත හැකි පාඩම්:

1:11, 12, 21-23; 2:19. හන්නා යාච්ඤාවට ලැදි වීම, ඇගේ යටහත් පහත්කම, යෙහෝවාගේ කරුණාව කෙරෙහි ඇය දැක්වූ කෘතගුණ හා ඇගේ නොමියෙන මව් සෙනෙහස යන ගුණාංග අද දින දේවගරුබියෙන් හැසිරෙන කාන්තාවන්ට ආදර්ශයකි.

1:8. වචනවලින් අනුන්ව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එල්කානා මොන තරම් කදිම ආදර්ශයක්ද! (යෝබ් 16:5) මානසිකව වැටී සිටි හන්නාගෙන් “ඔබ කුමක් හෙයින් ඔබේ සිත ශෝක වන්නේද?” යනුවෙන් ඇසූ ප්‍රශ්නය චෝදනා කරනසුලු ප්‍රශ්නයක් වූයේ නැත. ඉන්පසුව එල්කානා තම ස්නේහය ඇයට සහතික කළේ මෙසේ කියමිනි. “මම ඔබට පුත්‍රයන් දහදෙනෙකුට වඩා හොඳ නොවෙම්ද?”

2:26; 3:5-8, 15, 19. දෙවි අපට දී ඇති කාර්යයෙහි නොකඩවා යෙදීමෙන්, නමස්කාරය හා සම්බන්ධ කාරණා ගැන දෙන පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් සහ ආචාරශීලී හා ගෞරව සම්පන්න වීමෙන් අපි දෙවිටත් මිනිසුන්ටත් වඩාත් ප්‍රියමනාප පුද්ගලයන් වෙමු.

4:3, 4, 10. ගිවිසුම් පෙට්ටිය වැනි ශුද්ධ වස්තුවක් තිබීමෙන් පවා ආරක්ෂාව ලබාගැනීමට නොහැකි විය. අප ‘දේවතා රූපවලින් පරෙස්සම් විය’ යුතුය.—1 යොහන් 5:21.

ඊශ්‍රායෙලයේ පළමු රජ සාර්ථක වූවාද? අසාර්ථක වූවාද?

(1 සාමුවෙල් 8:1-15:35)

සාමුවෙල් සිය මුළු ජීවිත කාලය පුරාම යෙහෝවාට විශ්වාසවන්තව සිටියත්, ඔහුගේ පුත්‍රයෝ දේවභක්තික ජීවිතයක් ගත නොකරති. ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් රජෙකුව ඉල්ලා සිටින අවස්ථාවේදී යෙහෝවා ඊට ඉඩහරියි. යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ සාමුවෙල් කඩවසම් බෙන්ජමින් පුත්‍රයෙකු වූ සාවුල්ව රජු ලෙස අභිෂේක කරයි. අම්මොන්වරුන්ව පරාජය කිරීමෙන් සාවුල් රජකම ස්ථිර කරගනී.

සාවුල්ගේ නිර්භීත පුත් යොනාතාන් පිලිස්තීය හමුදාවකට පහර දී ඔවුන්ව පරාජය කරයි. පිලිස්තිවරු විශාල හමුදාවක් කැටුව ඊශ්‍රායෙල්ට විරුද්ධව සටන් කිරීමට එති. මින් බියට පත් වන සාවුල් පූජාවක් ඔප්පු කරන්නේ දෙවිට අකීකරු වෙමිනි. තමාගේ ආයුද රැගෙන යන්නාව පමණක් කැටුව යමින් නිර්භීත යොනාතාන් පිලිස්තිවරුන්ගේ තවත් කඳවුරකට පහර දෙයි. එහෙත් සාවුල් ඉක්මන් වී කරන බාරය නිසා, ජයග්‍රහණය සම්පූර්ණ කරන්නට ඊශ්‍රායෙල් හමුදාවට නොහැකි වෙයි. සාවුල් “ඔහුගේ සියලු සතුරන්ට විරුද්ධව සටන්” කරයි. (1 සාමුවෙල් 14:47) ඔහු අමෙලෙක්වරුන්ව පරාජය කරයි. එහෙත්, “[විනාශයට] කැප කළ” මිනිසුන්ව, සතුන්ව හා යම් දේවල් විනාශ නොකර සිටීමෙන් ඔහු යෙහෝවාගේ නීතියට අකීකරු වෙයි. (ලෙවී කතාව 27:28, 29) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවා සාවුල්ව රජු හැටියට ප්‍රතික්ෂේප කරයි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

9:9—“දැන් අනාගතවක්තෘ කෙනෙකැයි කියනු ලබන ඔහුට පූර්ව කාලයෙහිදී කියනු ලැබුවේ දිවැස් ඇත්තෙක් කියාය” යන යෙදුමේ තේරුම කුමක්ද? මෙම වචනවලින් අඟවන්නේ අනාගතවක්තෘවරුන් සාමුවෙල්ගේ දවස්වලදී හා ඊශ්‍රායෙල් රජවරුන්ගේ කාලවලදී සමාජයේ සම්භාවනීය පුද්ගලයන් බවට පත් වූ බවත්, ‘දිවැස් ඇත්තා’ යන පදවි නාමය වෙනුවට “අනාගතවක්තෘ” යන පදවි නාමය ඔවුන්ට යොදාගනු ලැබූ බවත්ය. මේ අනුව, අනාගතවක්තෘවරුන්ගෙන් පළමුවැන්නා ලෙසට සලකනු ලැබුවේ සාමුවෙල්ය.—ක්‍රියා 3:24.

14:24-32, 44, 45—සාවුල්ගේ දිවුරුම කඩ කරමින් මී පැණි කෑම නිසා යොනාතාන්ට දෙවිගේ අනුමැතිය අහිමි වුණාද? යොනාතාන් කළ මේ ක්‍රියාව නිසා දෙවිගේ අනුමැතිය ඔහුට අහිමි වූ බවක් දක්නට ලැබෙන්නේ නැත. පළමුව යොනාතාන් තම පියාගේ දිවුරුම ගැන දැනගෙන සිටියේ නැත. එපමණක්ද නොව සාවුල්ට ඇති වූ අනවශ්‍ය උද්‍යෝගයක් නිසා හෝ ඔහුගේ රාජකීය බලය ගැන තිබූ වැරදි ආකල්පයක් නිසා හෝ ඔහු මෙම දිවුරුම කරන්නට යෑමෙන් ඊශ්‍රායෙල් ජනයා ගැටලුවකට මුහුණ දුන්හ. එවන් දිවුරුමකට දෙවිගේ අනුමැතිය ලැබෙනවායයි සිතිය හැකිද? දිවුරුමක් කඩ කිරීම නිසා ලැබෙන දඬුවම බාරගන්නට යොනාතාන් කැමති වුණත්, ඔහුගේ ජීවිතය බේරුණි.

15:6—කේනිවරුන්ට සාවුල්ගේ විශේෂ සැලකිලි ලැබුණේ මන්ද? කේනිවරුන් වනාහි මෝසෙස්ගේ මාමණ්ඩියගේ පුත්‍රයෝය. ඊශ්‍රායෙල්වරු සීනායි කන්දෙන් නික්ම ගිය පසු ඔවුන්ට උදව් කළේ කේනිවරුන්ය. (ගණන් කතාව 10:29-32) මෙම කේනිවරු කානාන් දේශයේදී යූදා පුත්‍රයන් සමඟ යම් කාලයක් එකට වාසය කළහ. (විනිශ්චයකාරයෝ 1:16) පසුව මෙම කේනිවරුන් අමලෙක්වරුන් සහ වෙනත් ජාතීන් සමඟ වාසය කළත්, ඔවුහු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මිත්‍රත්වයක් තබාගත්හ. ඒ නිසා සාවුල් කේනිවරුන්ව ඉතුරු කළේ හොඳ හේතු ඇතිවයි.

අපට ගත හැකි පාඩම්:

9:21; 10:22, 27. සාවුල් රජ බවට පත් වෙද්දී, ඇතැම් “බෙලියල්ගේ පුත්‍රයෝ [කිසි කමකට නැති මිනිස්සු, NW]” ඔහුගේ රජකම පිළිනොගත්තත්, ඔහුගේ යටහත් පහත්කම නිසා ඔහු රළු ලෙස ක්‍රියා කළේ නැත. මෝඩ ක්‍රියාවලින් වැළකී සිටීමට යටහත් පහත්කම මොන තරම් ආරක්ෂාවක්ද!

12:20, 21. “නිරර්ථක දේ,” එනම්, මිනිසුන් කෙරෙහි හෝ ජාතීන්ගේ හමුදා කෙරෙහි හෝ රූප හා ප්‍රතිමා කෙරෙහි හෝ විශ්වාසය තැබීමට යෑමෙන් යෙහෝවාගෙන් ඈත් වෙන්න එපා.

12:24. යෙහෝවා කෙරෙහි ගරුබියක් ඇති කරගෙන, ඔහුට මුළු හදින්ම සේවය කිරීමට මූලිකවම අවශ්‍ය වන්නේ ඉපැරණි කාලවලදී මෙන්ම වර්තමානයේදීත් ඔහු ‘කළ මහත් කාරණා සිහි කිරීමයි.’

13:10-14; 15:22-25, 30. අකීකරු වෙමින් හෝ අහංකාර ආකල්පයක් ඇති කරගනිමින් හෝ කිසිවිටෙකත් උඩඟු පුද්ගලයෙකු නොවන්න.—හිතෝපදේශ 11:2.

එඬේර කොලුවෙක් රජකමට තෝරාගැනේ

(1 සාමුවෙල් 16:1–31:13)

සාමුවෙල් යූදා ගෝත්‍රයට අයත් දාවිත්ව අනාගත රජු ලෙස අභිෂේක කරයි. ඉන් ටික කලකට පසුව දාවිත් ගොලියත් නමැති පිලිස්තිය යෝධයාව මරා දමන්නේ තනි ගල් කැටයකිනි. දාවිත් සහ යොනාතාන් අතර දැඩි මිත්‍රත්වයක් ඇති වේ. සාවුල් දාවිත්ව හමුදා නායකයා බවට පත් කරයි. දාවිත් බොහෝ ජයග්‍රහණ ලබාගත් බැවින්, ඊශ්‍රායෙල් කාන්තාවෝ මෙසේ ගී ගයති. “සාවුල් දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද නැසුවෝය.” (1 සාමුවෙල් 18:7) ඊර්ෂ්‍යාවෙන් පිරී ගිය සාවුල් දාවිත්ව මැරීමට සොයයි. සාවුල්ගෙන් එල්ල වූ ප්‍රහාර තුනකට පසුව දාවිත් භයෙන් පලා යයි.

පලා ගොස් සැඟවී සිටින කාලය අතරතුරේදී සාවුල්ගෙන් පළිගන්නට දාවිත්ට අවස්ථා දෙකක්ම පෑදුණත් ඔහු පළිගත්තේ නැත. ඔහුට රූමත් අබිගායිල්ව හමු වෙන අතර, පසුව ඇයව විවාහ කරගනී. පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට එරෙහිව ආ විට, සාවුල් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලයි. නමුත් යෙහෝවාගේ අනුග්‍රහය ඔහුට නැති වී ඇත. සාමුවෙල් මිය ගොසිනි. මේ නිසා මායාකාරියකගෙන් විචාරණ සාවුල්ට දැනගන්නට ලැබෙන්නේ ඔහු පිලිස්තිවරුන්ට විරුද්ධව කරන සටනේදී ඔහුව ඝාතනය කරනු ලබන බවය. ඒ සටනේදී සාවුල් දැඩි සේ තුවාල ලබන අතර, ඔහුගේ පුත්‍රයෝ ඝාතනයට ලක් වෙති. සාවුල් අන්ත පරාජයක් ලබමින් මිය යන ආකාරය ගැන සඳහන් කරමින් මෙම වාර්තාව අවසන් වේ. දාවිත් තවමත් සැඟවී සිටී.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

16:14—සාවුල්ව කැළඹූ නපුරු ආත්මය කුමක්ද? සාවුල්ගේ හිතේ සාමය නැති කළ නපුරු ආත්මය නම් ඔහුගේ මනස හා සිත තුළ වූ නපුරු නැඹුරුවාවය. එනම්, වැරදි දේ කිරීමට ඔහු තුළ වූ ඇතුළාන්ත ආශාවය. යෙහෝවා සිය බලය සාවුල්ගෙන් ඉවත් කළ විට, සාවුල්ට ඉන් ලැබුණු ආරක්ෂාව අහිමි වී ඔහුගේම නරක ස්වභාවය ඔහුව පාලනය කරන්නට පටන්ගත්තේය. දෙවි තම බලය ඉවත් කර, සාවුල්ගේ නරක ස්වභාවයෙන් පාලනය වන්නට ඉඩහැරිය නිසා, මෙම නරක ස්වභාවය “යෙහෝවා කෙරෙන් නපුරු ආත්මයක්” බව කිව හැකියි.

17:551 සාමුවෙල් 16:17-23හි සඳහන් දේ සලකා බලන විට දාවිත් කාගේ පුත්‍රයාදැයි සාවුල් ඇසුවේ මන්ද? සාවුල් එසේ ඇසුවේ දාවිත්ගේ පියාගේ නම දැනගැනීමටම නොවේ. යෝධයෙකුව මරා දමමින් මෙම පුදුම ජයග්‍රහණය අත් කරගත් කොලුවෙකුව ජාතක කළේ කෙබඳු ආකාරයේ පියෙකුදැයි දැනගැනීමට ඔහුට වුවමනා වූ බව පැහැදිලිව පෙනී යයි.

අපට ගත හැකි පාඩම්:

16:6, 7. අනුන්ව පිටාතර පෙනුමෙන් මනිනවා වෙනුවට හෝ නිවැරදි තොරතුරු නොදැන හදිසි වී ඔවුන්ව විනිශ්චය කරනවා වෙනුවට, යෙහෝවා ඔවුන් දෙස බලන ආකාරයට ඔවුන් දෙස බැලීමට අප උත්සාහ කළ යුතුයි.

17:47-50. ගොලියත් බඳු සතුරන්ගෙන් අපට එල්ල වෙන විරුද්ධවාදිකම් හෝ පීඩාවලට ධෛර්යයෙන් යුතුව මුහුණ දීමට අපට හැකියි. මන්ද “සටන යෙහෝවාගේය.”

18:1, 3; 20:41, 42. සැබෑ මිතුරෙක් වෙන්නේ යෙහෝවාට ප්‍රේම කරන තැනැත්තෙකි.

21:12, 13. අපේ ජීවිතයේ යම් යම් තත්වයන්ට අප මුහුණ දෙන විට අපේ මානසික ශක්තිය හා හැකියාවන් යොදාගැනීම යෙහෝවා අපෙන් බලාපොරොත්තු වේ. ඔහු සිය වචනය අපට දී තිබෙන අතර ඉන් අපට නුවණ, දැනුම හා සිහිකල්පනාව ලැබේ. (හිතෝපදේශ 1:4) පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ උපකාරයද අපට තිබේ.

24:6; 26:11. යෙහෝවාගේ අභිෂේක ලත් අයට අවංක ලෙස ගෞරව කිරීම සම්බන්ධයෙන් දාවිත් අපට තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

25:23-33. අබීගායිල්ගේ ඥානවන්තකම ආදර්ශයට ගනිමු.

28:8-19. මිනිසුන්ව රැවටීමට හෝ ඔවුන්ට හානි කිරීම සඳහා හෝ මියගොස් සිටින යම් යම් පුද්ගලයන්ගේ වෙස් ගැනීමට භූතයන්ට හැකියාව තිබේ. අප භූතයන්ට සම්බන්ධ සියලුම දේවලින් වැළකී සිටිය යුතුය.—ද්විතීය කතාව 18:10-12.

30:23, 24. ගණන් කතාව 31:27 මත පදනම්ව ඇති මෙම තීරණයෙන් පෙන්නුම් කරන්නේ, යෙහෝවා සභාවේ වැඩකටයුතුවලට සහයෝගය දක්වන අයව උසස් කොට සලකන බවයි. එසේනම්, අපි කුමක් කළත්, ‘මිනිසුන්ට නොව, යෙහෝවාට කරන්නාක් මෙන් මුළු හදවතින් එය කරමු.’—කොලොස්සි 3:23.

‘පූජාවලට වඩා උතුම්’ කුමක්ද?

ඒලී, සාමුවෙල්, සාවුල් සහ දාවිත්ගේ අද්දැකීම්වලින් අවධාරණය කෙරෙන මූලික සත්‍යය කුමක්ද? ඒ මෙයයි. “පූජාවලට වඩා කීකරු වීමද බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමද උතුම්ය. . . . මක්නිසාද කැරලි ගැසීම මායාව නමැති පාපය හා සමානය; මුරණ්ඩුකම දේවතාවුන් සහ රූප වැඳීම හා සමානය.”—1 සාමුවෙල් 15:22, 23.

රාජ්‍ය දේශනා කිරීමේ සහ ගෝලයන් කිරීමේ වැඩය අපට මොන තරම් වරප්‍රසාදයක්ද! අප යෙහෝවාට “තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව” ඔප්පු කරත්ම, යෙහෝවා සිය වචනයෙන් හා සිය භූමික සංවිධානය මාර්ගයෙන් අපට දෙන මඟ පෙන්වීම්වලට උපරිම ලෙස කීකරු වෙමු.—හොෂෙයා 14:2; හෙබ්‍රෙව් 13:15.

[පාදසටහන]

^ 3 ඡේ. පළමුවෙනි සාමුවෙල් පොතේ සඳහන් කර ඇති විවිධ ස්ථාන ගැන දැනගැනීම සඳහා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පළ කර ඇති ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති සිතියම් පොතේ 18-19 පිටු බලන්න.

[23වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙලයේ පළමු රජ යටහත් පහත් නිහතමානි පාලකයෙකුව සිට අහංකාර උඩඟු ඒකාධිපතියෙකු බවට වෙනස් වූයේය

[24වන පිටුවේ පින්තූරය]

අප ගොලියත් බඳු සතුරන්ගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට අපට නිසැක විය හැක්කේ කුමක් ගැනද?