Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දාවිත් සහ ඔහුගේ සෙබළුන් පිදීමේ රොටි කෑමෙන් අඟවන්නේ දුෂ්කර තත්වයන් යටතේදී දේවනීති උල්ලංගනය කර දඬුවමින් බේරී සිටිය හැකි බවක්ද?—1 සාමුවෙල් 21:1-6.

ලෙවී කතාව 24:5-9හි පවසන පරිදි සෑම සබත් දවසකම පූජාසනය මත තබන ලද පිදීමේ රොටි කෑමට නියම වූයේ පූජකයන්ට පමණි. මේ පිටුපස යම් ප්‍රතිපත්තියක් තිබුණි. එනම් රොටි ශුද්ධ දෙයක් ලෙස සලකනු ලැබූ බවත් ඒවා කෑමට නියමව සිටියේ දෙවිගේ සේවයේ යෙදී සිටි පුරුෂයන්ට පමණක් බවත්ය. මෙම රොටි සාමාන්‍ය වැඩකරුවෙකුට කෑමට දීම හෝ තමන් කැමති ආකාරයකට කෑම නිශ්චිතවම වරදක් වුණි. එහෙත් පූජක අහිමෙලෙක්, පිදූ රොටි දාවිත්ට සහ ඔහුගේ සෙබළුන්ට කෑමට දීම පාපයක් වූයේ නැත. ඒ මන්ද කියා දැන් අපි බලමු.

මෙහිදී දාවිත් සාවුල් රජුගෙන් ලද විශේෂ පැවරුමක් ඉටු කරමින් සිටි බවක් දකින්නට තිබේ. දාවිත් සහ ඔහුගේ සෙබළුන් සිටියේ කුසගින්නෙනි. ඔවුන් චාරිත්‍රානුකූලව පිරිසිදුව සිටි බව අහිමෙලෙක් දාවිත්ගෙන් දැනගත්තේය. පූජකයන් නොවන ඔවුන් විසින් පිදීමේ රොටි කෑමට ගැනීම නීතියට අනුව වැරදි දෙයක් වුවද, පිදූ රොටි මූලික වශයෙන් භාවිත කළ යුතු අන්දමට මෙය පටහැනි වූයේ නැත. එනම් ඒවා භාවිත කළ යුතුව තිබුණේ දේවසේවයේ නියැලී සිටිය යුතු අය පමණක්ය යන නීතියට එය පටහැනි වූයේ නැත. මේ අනුව අහිමෙලෙක් පූජකයා මෙහිදී නීතිය උල්ලංගනය කළා නොවේ. තවද යේසුස් ක්‍රිස්තුස් පවා මේ සිද්ධිය ගෙන හැර දැක්වූ බව මතකයට නඟන්න. ඔහු එසේ කළේ සබත් දවස සම්බන්ධයෙන් පරිසිවරුන්ගේ දැඩි නීති රීති පිළිපැදීම අනවශ්‍ය බව පැහැදිලි කිරීමටයි.—මතෙව් 12:1-8.

කෙසේවෙතත් ඉහත සඳහන් සිද්ධියෙන් කියාපාන්නේ දුෂ්කර තත්වයන් යටතේදී දේවනීතිය උල්ලංගනය කළ හැකි බවක් නොවේ. එක්තරා උදාහරණයක් මේ ගැන අපට මනාව පැහැදිලි කර දෙයි. ඊශ්‍රායෙල් යුධ භටයෝ පිලිස්තිවරුන් සමඟ සටන් කළ අවස්ථාවේදී ඉතා අසීරු තත්වයකට මුහුණ දුන්හ. සාවුල් රජ මෙසේ පවසා තිබුණි. “මාගේ සතුරන්ගෙන් පළිගන්නා තෙක් සවස දක්වා කොයි කෑමක්වත් කන තැනැත්තාට ශාප වේවා.” බයිබලය මෙසේ කියයි. “ඔවුහු එදා . . . පිලිස්තියයන්ට පහර දුන්නෝය.” සටනට ගිය භටයෝ ඉතා වෙහෙසට පත් වී කුසගින්නේ සිටියහ. ඔවුහු කුමක් කළෝද? ‘කොල්ල කෑමට දුව ගොස් සතුන්ව රැගෙන බිම හෙළා මරා ලේත් සමඟ කෑවෝය.’ (1 සාමුවෙල් 14:24, 31-33) රුධිරය පිළිබඳ දේවනීතිය උල්ලංගනය කිරීමෙන් ඔවුහු පව් කළහ. මන්දයත් දෙවි රුධිරය භාවිත කිරීමට නියම කළේ පව් උදෙසා ‘සමඟිකමක් කිරීමට’ පමණි. (ලෙවී කතාව 17:10-12; උත්පත්ති 9:3, 4) නමුත් ඔවුහු රුධිරය අනුභව කළහ. කෙසේවෙතත් යෙහෝවා දයානුකම්පිත දෙවිකෙනෙකු වන බැවින්, පව් කළ අය වෙනුවෙන් කළ විශේෂ පූජාවන් ඔහු පිළිගත්තේය.—1 සාමුවෙල් 14:34, 35.

සියලු තත්වයන් යටතේදී තම නීතිවලට කීකරු වීම යෙහෝවා අපගෙන් බලාපොරොත්තු වන බව සහතිකයි. ප්‍රේරිත යොහන් කියන්නේ මෙසේයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය.”—1 යොහන් 5:3.

[30වන පිටුවේ පින්තූරය]

සෑම සබත් දවසකදීම මණ්ඩපය ඇතුළේ අලුත් පිදීමේ රොටි තබන ලදි