“පිම්” නමැති මිනුම් පඩිය බයිබලයේ නිරවද්‍යතාවට සාක්ෂියකි
“පිම්” නමැති මිනුම් පඩිය බයිබලයේ නිරවද්‍යතාවට සාක්ෂියකි
සාවුල් රජගේ කාලයේදී ඊශ්‍රායෙලිතයන්ට පිලිස්තීය ජාතික ලෝහ වැඩකරුවන් ලවා තම ආවුද මුවහත් කරගැනීමට සිදු විණි. බයිබලයේ මෙසේ පැවසේ. “උදලුද දෑකැතිද හීවැල්ද පොරෝද මුවහත් කිරීමට රිදී කාසියකින් තුනෙන් දෙකක් . . . ඔවුහු අය කළෝය.”—1 සාමුවෙල් 13:21, නව අනුවාදය.
මෙම පදයේ “රිදී කාසියකින් තුනෙන් දෙකක්” යන යෙදුම සඳහා දී තිබූ මුල් හෙබ්‍රෙව් වචනය “පිම්” වන අතර, එය බයිබලයේ සඳහන් වන්නේ එක් වතාවක් පමණි. “පිම්” යනු කුමක්ද? එය මිනුම් පඩියකි. ක්‍රිස්තු වර්ෂ 1907දී ගෙශෙර් නම් ඉපැරණි නගරයේ නටඹුන් අතරින් තිබී එවන් මිනුම් පඩියක් සොයාගන්නා තෙක්, එය ඇත්තටම මිනුම් පඩියක් බව කිසිවෙකු දැන සිටියේ නැත. මුල් කාලවල විසූ බයිබල් පරිවර්තකයන්ට මෙම “පිම්” යන වචනය පරිවර්තනය කිරීම ගැටලුවක් විණි. මීට උදාහරණයක් අපට සිංහල බයිබලයෙන් දැකගත හැකියි. එහි 1 සාමුවෙල් 13:21 පරිවර්තනය කර ඇත්තේ මෙසේයි. “උදලු හා දෑකැති හා යකඩ කොකුද පොරෝද මුවහත් කරන්ටත් කෙවිට හරිගස්සන්ටත් ඔවුන්ට පීරක් තිබුණේය.”
“පිම්” පඩියෙහි බර ග්‍රෑම් 7.82ක් හෙවත් දළ වශයෙන් හෙබ්‍රෙව් සමාජයේ බර මනින මූලික ඒකකය වූ රිදී කාසියක බර මෙන් තුනෙන් දෙකක් බව වත්මන් විශාරදයෝ දනිති. රිදී කැබැල්ලක “පිම්” බර යනු ඊශ්‍රායෙලිතයන්ගේ ආවුද මුවහත් කිරීම සඳහා පිලිස්තියයන් අය කළ මිල වූයේය. ක්‍රිස්තු පූර්ව 607දී යූදා රාජ්‍යය සහ එහි අගනුවර වූ යෙරුසෙලම වැටී යෑමත් සමඟම රිදී කාසිවලින් බර මැනීමේ ක්‍රමය භාවිතයෙන් තුරන් විය. එසේනම්, බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලේ නිරවද්‍යතාව මෙම “පිම්” මිනුමෙන් තහවුරු වෙන්නේ කෙසේද?
ඇතැම් විශාරදයන් කියා සිටින්නේ පළමුවෙනි සාමුවෙල් පොත ඇතුළු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල ලියනු ලැබුවේ, ග්‍රීක-රෝම යුගවලදී හෙවත් ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවස තරම් පසු යුගවලදී බවයි. එම නිසා, “එම ලියවිලිවල සඳහන් දේ ඉතිහාසයේ සිදු වූ ඒවා නොවේ. මේවා ඉපැරණි ඊශ්‍රායෙල් දේශයක් ගැන කියන්නට උත්සාහ කරමින් හුදෙක් නවීන යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් විසින් ‘දේවල් අතින් දමා’ ලියනු ලබා ඇති කිසිදු වටිනාකමක් නැති පොත්ය” යයි ඔවුහු කියා සිටිති.
එහෙත්, 1 සාමුවෙල් 13:21හි සඳහන් “පිම්” නමැති මිනුම ගැන කතා කරමින්, මැද පෙරදිග රටවල පුරාවිද්‍යාව හා මානව විද්‍යාව හදාරන මහාචාර්ය විලියම් ජී. ඩෙවර් මෙසේ කියයි. “මෙම මිනුම් අතුරුදහන් වී මිනිසාගේ මතකයෙන් බැහැර වී ගියාවූ කාලයක, එනම් ඊට සියවස් ගණනාවකට පසුව පැවති ග්‍රීක-රෝම ශිෂ්ටාචාරයන් පැවති යුගයක විසූ ලේඛකයන් මේවා නිකම්ම ‘අතින් දමා’ ලීවායයි කියන්නට බැරිය. ඇත්තෙන්ම, හෙබ්‍රෙව් ලියවිල්ලේ ‘පිම්’ යනුවෙන් සඳහන් වී ඇති සුළු දෙයින් අදහස් කළේ කුමක්ද යන්න තේරුම්ගැනීමට 20වන සියවසේදී පුරා විද්‍යාත්මක ගවේෂණ කරන තෙක්ම නොහැකි විය.” මෙම මහාචාර්යවරයා තවදුරටත් මෙසේද කියයි. “බයිබලයේ සඳහන් සිද්ධීන් සියල්ල ග්‍රීක-රෝම යුගවලදී ‘දේවල් අතින් දමා’ ලීවා නම්, “පිම්” යන මිනුම පිළිබඳ මෙම සුළු කාරණය හෙබ්‍රෙව් බයිබලයට පැමිණියේ කෙසේද? මෙම “පිම්” යන මිනුම ඉතා සුළු කාරණයක්යයි ඇතමෙකු කියන්නට පුළුවන. එය එසේ විය හැකියි. නමුත් ඉන් පෙන්වන්නේ ඉතිහාසයේ තිබූ දේවල් ගැන ඉතා කුඩාම තොරතුරු ගැන පවා නිවැරදිව ලියන්නට ලේඛකයන් උත්සුක වූ බවයි.”
[29වන පිටුවේ පින්තූරය]
“පිම්” මිනුම් පඩිය රිදී මිල තුනෙන් දෙකක් පමණ විය