Skip to content

පටුනට යන්න

මුළු මහත් ලෝකයටම යේසුස් කළ බලපෑම

මුළු මහත් ලෝකයටම යේසුස් කළ බලපෑම

මුළු මහත් ලෝකයටම යේසුස් කළ බලපෑම

“බයිබලයේ පොත් හතරක සඳහන් වී ඇති, යේසුස් ක්‍රිස්තුස් ප්‍රසිද්ධියේ සහ සිය ගෝලයන් සමඟ කී සියලුම වචන එක දිගටම කියාගෙන ගියොත් පැය දෙකක් ඇතුළත කියා නිම කිරීමට යේසුස්ට හැකිය. එහෙත් ඔහුගේ ඒ වචන ස්වල්පය කොතරම් පොලඹවනසුලුද හිත්වලට කාවදිනසුලුද කියනවා නම් ඔහු තරම් ලෝකයට බලපෑමක් කළ වෙන කිසිවෙකු නැත.” මෙසේ ලීවේ බයිබල් පරිවර්තකයෙකු වන එඩ්ගර් ගුඩ්ස්පීඩ් නමැත්තායි.

ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස් ක්‍රිස්තුස් සිය දේවසේවය අවසන් කරන විට, ඔහුගේ අනුගාමිකයන් හැටියට ස්ත්‍රීන් හා පුරුෂයන් 120දෙනෙකු පමණ සිටියා. (ක්‍රියා 1:15) එහෙත් වසර 2,000කට පමණ පසුව අද දින ක්‍රිස්තියානීන්යයි කියා සිටින බිලියන දෙකක් පමණ ජනකායක් සිටිනවා. මිලියන සිය ගණනකට වැඩි පිරිසක් යේසුස්ව අනාගතවක්තෘවරයෙකු ලෙසටත් පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම ඔහුගේ ඉගැන්වීම් මුළු මහත් මිනිස් සංහතියටම ප්‍රබල බලපෑමක් කර ඇති බවට කිසිදු සැකයක් නැහැ.

යේසුස් මුළු මහත් ලෝකයටම කර ඇති බලපෑම ක්‍රිස්තියානීන් නොවන නායකයන් පවා පිළිගෙන තිබෙනවා. නිදසුනක් වශයෙන් යුදෙව් නායකයෙකු වන හයිමන් එන්ලෝ මෙසේ ලීවා. “මිනිසාගේ ආගමික ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය වූ, වඩාත්ම අධ්‍යයනය කරනු ලැබූ, වඩාත්ම බලපෑමක් කළ චරිතය වී තිබෙන්නේ යේසුස්ය. මිනිස් සංහතිය කෙරෙහි යේසුස් කළ බලපෑම යමකින් මනින්නට හැක්කේ කාටද? එකිනෙකාට ප්‍රේමය දක්වන ලෙස මිනිස් වර්ගයාට කළ දිරිගැන්වීම, ඔහු දී ඇති සැනසිල්ල, ඔහු කළ යහපත, මිනිසුන් තුළ දැල්වූ බලාපොරොත්තුව සහ ප්‍රීතිය යන මේ සියල්ල සැලකිල්ලට ගත් කල, මිනිස් ඉතිහාසයේ ඔහුට සම කළ හැකි වෙන කිසිවෙකු නැත. මිනිස් සංහතිය අතර විසූ ශ්‍රේෂ්ඨ යහපත් පුද්ගලයන් දෙස බලද්දී, මුළු මහත් මිනිස් වර්ගයාගේ යහපත උදෙසා මෙතරම් ප්‍රබල බලපෑමක් කළ යේසුස් තරම් කෙනෙක් නැත. ඉතිහාසයේ ජනයාගේ වඩාත්ම ආකර්ෂණීය වූ චරිතය යේසුස්ය.” හින්දු නායක මොහන්දාස් කේ. ගාන්ධි මෙසේ කීවා. “යේසුස් තරම් මිනිස් සංහතියට යහපතක් කළ වෙන කිසිවෙකු ගැන මම නොදනිමි. ඇත්තෙන්ම ක්‍රිස්තියානි ඉගැන්වීම්වල කිසිදු වරදක් නැත.” නමුත් ඔහු මෙසේද කීවා. “ක්‍රිස්තියානීන්යයි කියා සිටින අය ඒ ඉගැන්වීම් පිළිපදින්නේ නැති නිසා, බොහෝ ගැටලු ඇති වී තිබේ.”

ක්‍රිස්තුස්ව අනුගමනය කරනවායයි කියා සිටින බොහෝ අය යේසුස්ගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙලා නැහැ. ක්‍රිස්තියානි ඉගැන්වීම් හැදෑරූ එක්තරා ඉතිහාසඥයෙක් වන සෙසිල් ජෝන් කේඩූ මෙසේ සඳහන් කළා. “ක්‍රිස්තියානි පල්ලිය තුළ ක්‍රමානුකූලව සදාචාර ප්‍රමිතිවල බිඳවැටීමක් දක්නට ඇත. මුල් ක්‍රිස්තියානි සභාව තුළ තිබූ සදාචාර ප්‍රමිතිවල පිරිහීම, ලෝකයේ ලිහිල් ආකල්ප ආදේශ කරගැනීමට තුඩු දුන් අතර, එය ක්‍රි.ව.140දී තරම් මුල් යුගවල ක්‍රිස්තියානි නායකයන්ගේ අවධානයට ලක් වුණි.”

මෙම පිරිහීම වඩාත් වේගවත් වුණේ, හතරවෙනි සියවසේදී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැලඳගත් විටයි. “කොන්ස්ටන්ටයින්ගේ බලපෑමට හසු වූ පල්ලිය, මුල් ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් බොහෝ දුරට ඈත් වූ බව ඉතිහාසඥයෝ පැහැදිලිව පෙන්වා දෙති. තවද මෙම ඉතිහාසඥයන්ගෙන් සමහරදෙනෙක් එමගින් ක්‍රිස්තියානි ආගමට සිදු වූ හානිය හෙළා දැක තිබේ” යයි කේඩූ නම් ඉතිහාසඥයා පවසනවා. එතැන් පටන්, ගත වූ සියවස් ගණනාව තුළදී ක්‍රිස්තියානීන්යයි කියා සිටි බොහෝදෙනෙක් ක්‍රිස්තුස්ගේ නාමයට අගෞරව කරමින් ඉතා පහත් පිළිකුල් ක්‍රියා කර තිබෙනවා.

එසේනම්, අපට මෙහිදී ප්‍රශ්න කිහිපයක් පැන නඟිනවා. ඇත්තටම යේසුස් ඉගැන්වූයේ මොනවාද? ඔහුගේ ඉගැන්වීම් අප කෙරෙහි කුමන බලපෑමක් ඇති කළ යුතුද? යන්න ඒ ප්‍රශ්නයි.

[3වන පිටුවේ පින්තූරය]

“යේසුස් තරම් මිනිස් සංහතියට යහපතක් කළ වෙන කිසිවෙකු ගැන මම නොදනිමි”—මොහන්දාස් කේ. ගාන්ධි

[3වන පිටුවේ පින්තූරය]

“ලෝකයට බලපෑමක් කළ වෙන කිසිවෙකු නැත”—එඩ්ගර් ගුඩ්ස්පීඩ්

[හිමිකම් විස්තර]

Culver Pictures