Skip to content

පටුනට යන්න

යෙහෝවාට ප්‍රශංසා කිරීමෙන් තරුණ ජීවිත සාර්ථක වේ

යෙහෝවාට ප්‍රශංසා කිරීමෙන් තරුණ ජීවිත සාර්ථක වේ

‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’

යෙහෝවාට ප්‍රශංසා කිරීමෙන් තරුණ ජීවිත සාර්ථක වේ

“මට ජීවිතයේ උපරිමය භුක්ති විඳින්න ඕනෑ!” අවුරුදු 15ක් වයසැති එක්තරා නහඹරයෙක් තමාගේ ජීවිතයේ බලාපොරොත්තු ගැන කීවේ එහෙමයි. නමුත් තරුණයෙකුට හෝ තරුණියකට තමාගේ ජීවිතයේ උපරිමය භුක්ති විඳින්නට හැකි වෙන්නේ කොහොමද? බයිබලය මෙයට දෙන්නේ ඉතාම ඍජු පිළිතුරක්. ‘ඔබේ යොවුන් වියේදී ඔබේ මැවුම්කාර දෙවිව සිහි කරන්න.’—ධර්මදේශකයා [දේශනාකාරයා] 12:1, නව අනුවාදය.

යෙහෝවාට ප්‍රශංසා කිරීම හා සේවය කිරීම සීමා වී ඇත්තේ වැඩිහිටි අයට පමණක් නොවෙයි. එල්කානා සහ හන්නාගේ පුත් සාමුවෙල් මණ්ඩපයේදී යෙහෝවාට සේවය කරන විට ඔහු සිටියේ ළමා වියේයි. (1 සාමුවෙල් 1:19, 20, 24; 2:11) හෙබ්‍රෙව් ජාතියට අයත් තවත් කුඩා දැරියක් හිටියා. සිරියානු හමුදාවේ නායකයෙකු වූ නාමන් ඔහුට වැලඳී තිබුණු කුෂ්ඨ රෝගයෙන් සුවය ලබන්නට නම් එලිෂා අනාගතවක්තෘවරයා වෙතට ඔහු යා යුතු බවට ඈ කියා සිටි අවස්ථාවේ ඈ යෙහෝවා කෙරෙහි දැක්වූයේ ලොකු විශ්වාසයක්. (2 රාජාවලිය 5:2, 3) ගීතාවලිය 148:7 සහ 12 පදවල කියා තිබෙනවා, තරුණයන් හා තරුණියන් යෙහෝවාට ප්‍රශංසා කළ යුතුයි කියා. * යේසුස්ට වයස අවුරුදු 12දී ඔහු සිය පියාණන්ගේ සේවයට ඉතා දැඩි උද්‍යෝගයක් හා උනන්දුවක් පෙන්වූවා. (ලූක් 2:41-49) ශුද්ධ ලියවිලි මාර්ගයෙන් යම් පුහුණුවක් ලැබ සිටි පිරිමි ළමුන් කිහිපදෙනෙක්, දේවමාලිගාවේදී යේසුස්ව දැක, “දාවිත්ගේ පුත්‍රයාව ආරක්ෂා කරන්න!” කියා මහ හඬින් මොරගැසුවා.—මතෙව් 21:15, 16.

අද දින යෙහෝවාට ප්‍රශංසා කරන තරණ තරුණියෝ

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින වත්මන් තරුණ තරුණියන් බොහෝදෙනෙක් තම විශ්වාසයන් ගැන ඉතා සන්තෝෂයෙන් හා ඉතා ධෛර්යයෙන් යුතුව පාසැලේදී සහ වෙනත් තැන්වලදී කතා කරනවා. මේ කාරණය තහවුරු කරන උදාහරණ දෙකක් සලකා බලමු.

බ්‍රිතාන්‍යයේ වෙසෙන 18 හැවිරිදි ස්ටෙෆනී මුහුණ දුන් අද්දැකීම ගැන බලන්න. ඇය සිටි පංතියේ ගබ්සාව සහ වෙනත් සදාචාරමය කාරණා ගැන සාකච්ඡාවක් කෙරෙමින් තිබුණා. පංතියේ ගුරුවරයා කියා සිටියේ දැන් ගබ්සාව කවුරුත් පිළිගන්නා දෙයක් බව සහ කිසිම කාන්තාවකට ඒ ගැන විරුද්ධ වීමට කිසිම හේතුවක් නැති බවයි. පංතියේ හැම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ඔහුගේ මතයට එකඟ වුණා. නමුත් ස්ටෙෆනීට නම් මේ ගැන ඉවසුම් නැතුව ගියා. ඈට තදින්ම හැඟුණා බයිබලයට එකඟව තමන් මේ ගැන විශ්වාස කරන දේ කොහොම හරි පන්තියට කියන්න ඕනෑ කියලා. ඒත් එක්කම ගුරුවරයා ස්ටෙෆනීගෙන් ඇහැව්වා ඈ මේ ගැන කියන්නේ මොනවාද කියලා. ඇයට මුලින්ම ටිකක් භය හිතුණත්, දෙවි මේ ගැන දරන දෘෂ්ටිය ගැන ඒ අවස්ථාවේදී ඇය නිර්භීතව පැහැදිලි කළා. නික්මයාම 21:22-24හි සඳහන් දේ තමන්ගේම වචනයෙන් කී ඇය, පැහැදිලිවම කියා සිටියා නූපන් දරුවෙකුට හානියක් කිරීම වැරදි නම්, ගබ්සාවක් කිරීමත් දෙවිගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම පටහැනියි කියලා.

පැවිදි පුද්ගලයෙකු වූ මේ ගුරුවරයා කිසිදාක මේ බයිබල් පාඨ කියවලා තිබුණේ නැහැ. ස්ටෙෆනී ඉතා නිර්භීතව සාක්ෂියක් දුන් නිසා පංතියේ ළමුන් හුඟදෙනෙක් විවිධ විෂයන් ගැන ඇය සමඟ සාකච්ඡා කරන්නට පටන්ගත්තා. ඇගේ පංතියේ එක් තරුණියක් දැන් සෑම මාසයකම මුරටැඹ සහ පිබිදෙව්! කලාප ඇගෙන් ලබාගන්නවා. තවත් තරුණියන් දෙදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වුණා. ඒ සමුළුවේදී තමයි ස්ටෙෆනී කැපවී බව්තීස්ම වුණේ.

දකුණු අමෙරිකාවේ සුරිනාම් රටේ වයස අවුරුදු හයක් වූ වෙරෙටාත් දෙවිට ප්‍රශංසා කිරීමට අවස්ථාව පාදාගත්තා. ඒ ඇගේ ගුරුවරියට බයිබලයෙන් යම් සැනසිල්ලක් ලබා දෙමින්. මේ ගුරුවරිය දවස් තුනක්ම පාසැල් ආවේ නැහැ. ඊළඟට ඇය පාසැල් ආ දවසේ ඇය ළමුන්ගෙන් ඇහැව්වා, ඇය පසුගිය දින තුනේ පාසැල් නොඒමට හේතුව ඔවුන් දන්නවාද කියලා. “ටීචර් අසනීප වෙලා හිටියාද?” පංතියේ සිසුන් ඇහැව්වා. “නැහැ. මගේ අක්කා මැරුණා. මට ඒ ගැන හරි දුකයි. මගේ හිස කකියනවා. කරුණාකරලා පංතියේ සද්ද කරන්න එපා” කියා ගුරුවරිය පැවසුවා.

එදා වෙරෙටා ගෙදර ගිය පසු මද්දහනේ ඇගේ මව ටිකක් නිදාගෙන ඉන්නකොට, වෙරෙටා කළේ පැරණි සඟරා ටිකක් අරගෙන ඒවායේ මාතෘකාවල් මොනවාද කියලා පරීක්ෂා කිරීමයි. ඇයට හමු වුණා, 2001 ජූලි 15වන දා මුරටැඹ කලාපයේ “මරණින් පසු ජීවිතයක් තිබේද?” යන ලිපිය. එය දැකපු ගමන්ම මව වෙත දිව ගිය ඇය “අම්මේ, අම්මේ, මේ බලන්නකෝ. මරණය ගැන කතා කරන මේ සඟරාව මට හම්බ වුණා. මේක නම් මගේ ටීචර්ට දෙන්න පුළුවන්!” වෙරෙටා ලියූ ලිපියක්ද සමඟින් එම සඟරාව ගුරුවරියට යවනු ලැබුවා. “මේ සඟරාව විශේෂයෙන්ම ටීචර්ටයි. ටීචර්ගේ අක්කාව ටීචර්ට පාරාදීසයේදී දැකගන්න ලැබෙයි. යෙහෝවා දෙවි බොරු කියන්නේ නැහැනේ. දෙවි අපිට පොරොන්දු වෙලා තියෙනවා පාරාදීසයක් ගෙනෙනවා කියලා. ස්වර්ගයේ නෙමේ. මේ පොළොවේම.” බයිබලයේ තොරතුරු අඩංගු මෙම ලිපිවලින් ලැබුණු සැනසීම ගැන තමා ඉතා කෘතඥ වෙන බව මෙම ගුරුවරිය කියා සිටියා.

අනාගතය ගොඩනැංවීම

යෙහෝවා දෙවි “සන්තෝෂවත් දෙවි” හැටියට බයිබලයේ හඳුන්වනවා. ඔහු කැමති තරුණ අය සන්තෝෂයෙන් ඉන්නවා දකින්නයි. (1 තිමෝති 1:11) දෙවිගේම වචනය වන බයිබලයේ මෙහෙම කියනවා. “ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න. ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේවා!” (ධර්මදේශකයා 11:9, න.අ.) යෙහෝවාට ළඟ විතරක් නොවේ, දුරත් හොඳට පේනවා. ඒ නිසා ඔහු දන්නවා හොඳ හා නරක හැසිරීමෙන් ඇති වන විපාක ගැන. ඒ නිසයි දේවවචනයේ තරුණයන්ට මෙහෙම උනන්දු කරන්නේ. “විපත්ති දවස් පැමිණෙන්නට පෙර, ඔබේ යොවුන් වියේදී ඔබේ මැවුම්කාර දෙවි සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැයි ඔබ කියන දවස් උදා වන්නේය.”—ධර්මදේශකයා 12:1, න.අ.

ඔව්, යෙහෝවා කැමති තරුණ තරුණියන් තමන්ගේ ජීවිතවල උපරිමය භුක්ති විඳිනවා දකින්නයි. නමුත් මේ තරුණයන්ට තමන්ගේ ජීවිත ආශීර්වාද ලැබෙන විදිහට වඩාත් අරුත්බර ලෙස ගෙවන්නට හැකි වෙන්නේ දෙවිව මතක තබාගෙන ඔහුට ප්‍රශංසා කිරීමෙන් පමණයි. දුෂ්කරතා ඇති වන විටදී පවා ඔවුන්ට හැකියි, මෙසේ කියන්න. ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය.’—ගීතාවලිය 121:2.

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2005 දිනදර්ශනයේ මාර්තු/අප්‍රියෙල් බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘පොළොවේ සිට තරුණයන් හා තරුණියනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න.’—ගීතාවලිය 148:7, 12.

[8වන පිටුවේ කොටුව]

යෙහෝවා තරුණ තරුණියන්ට පිහිට වෙයි

“ස්වාමි වූ යෙහෝවා, මාගේ බලා සිටීම ඔබ කෙරෙහිය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.”—ගීතාවලිය 71:5.

“රාජාලියෙකු මෙන් ඔබේ යෞවනකම අලුත් වන පිණිස, [දෙවි] ඔබේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවන්නේය.”—ගීතාවලිය 103:5.