Skip to content

පටුනට යන්න

යෙහෝවා දුන් ශක්තියෙන් ජයගත් සම්සොන්!

යෙහෝවා දුන් ශක්තියෙන් ජයගත් සම්සොන්!

යෙහෝවා දුන් ශක්තියෙන් ජයගත් සම්සොන්!

සම්සොන් වසර 20ක් පුරා ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකාරයෙකු ලෙස සේවය කළ යෙහෝවාගේ සේවකයෙකි. ඔහුගේ සතුරෝ ඔහුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔහුගේ ඇස් උගුල්ලා ඔහුව හිරේ දැමූහ. අනතුරුව එම හිර ගෙයින් ඔහුව පිටතට මිථ්‍යා දෙවියෙකුගේ දේවාලයකට ඔහුව ගෙන ගියේ ජනයාට යම් කිසි විනෝදයක් ලබා දීමටය. එහිදී ඔහුව දහස් ගණනක් ජනයා ඉදිරිපිටට ගෙනෙනු ලැබූ අතර, ඔහු ඔවුන්ගේ උසුළු විසුළුවලට ලක් විය. ඔහුට මෙසේ වූයේ ඔහු අපරාධකරුවෙකු වූ නිසාවත් සතුරු හමුදාවක නායකයෙකු වූ නිසාවත් නොවේ.

මෙතෙක් ජීවත් වූ මිනිසුන් අතරින් ශාරීරික ශක්තියෙන් වඩාත් බලසම්පන්න මිනිසා වූ සම්සොන් මෙවන් නින්දාසහගත තත්වයකට පත් වූයේ කෙසේද? ඔහුගේ ඒ අතිසුවිශේෂ ශක්තිය නිසා ඔහුට ඉහත සඳහන් විපතින් බේරීමට හැකි වීද? සම්සොන්ගේ ශක්තියේ රහස කුමක් වීද? ඔහුගේ ජීවිත කතන්දරයෙන් අපට යම් පාඩමක් ඉගෙනගත හැකිද? මේ ප්‍රශ්න ගැන අපි දැන් සලකා බලමු.

ඔහු ‘ඊශ්‍රායෙල් ගලවන්නෙහිය’

ඊශ්‍රායෙල් පුත්‍රයෝ මීට පෙර වතා ගණනාවකදීම සැබෑ නමස්කාරයෙන් ඉවත්ව ගොස් සිටියහ. ඔවුහු “යෙහෝවා ඉදිරියෙහි නපුරුව තිබුණු දේ නැවතත් කළෝය. යෙහෝවා හතළිස් අවුරුද්දක් ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට පාවා දුන්නේය” කියා බයිබල් වාර්තාවේ සඳහන් වේ.—විනිශ්චයකාරයෝ 13:1.

සම්සොන්ගේ කතාව ආරම්භ වෙන්නේ මානෝවා නමැති ඊශ්‍රායෙලිතයාගේ දරුවන් නැති බිරිඳට යෙහෝවාගේ දූතයා දර්ශනය වන අවස්ථාවෙනි. දේවදූතයා ඇයට දැනුම් දෙන්නේ ඔහු පුත්‍රයෙකු වදන බවයි. “ළදරුවා ගර්භයෙහි පටන් දෙවිට නාසරියයෙකු වන බැවින් දැළි පිහියක් ඔහුගේ හිසේ තබනු නොලැබේ. ඔහු පිලිස්තියයන්ගේ අතින් ඊශ්‍රායෙල් ගලවන්ට පටන්ගන්නේය” කියා දේවදූතයා ඇයට උපදෙස් දෙයි. (විනිශ්චයකාරයෝ 13:2-5) සම්සොන්ව පිළිසිඳ ගනු ලැබීමටත් කලින් යෙහෝවා තීරණය කර තිබුණේ සම්සොන්ට විශේෂ කාර්යයක් භාර දීමටයි. ඔහුගේ උපතේ පටන් ඔහු නසරීතවරයෙක් විය. එනම්, විශේෂාකාරයේ පරිශුද්ධ සේවයකට ඔහුව තෝරාගනු ලැබීය.

“මම ඇයට ප්‍රිය වෙමි”

සම්සොන් හැදී වැඩෙද්දී, “යෙහෝවා ඔහුට ආශීර්වාද කළේය.” (විනිශ්චයකාරයෝ 13:24) එක් දිනක් සම්සොන් තම පියා සහ මව් වෙතට පැමිණ මෙසේ පැවසීය. “පිලිස්තියයන්ගේ දූවරුන්ගෙන් ස්ත්‍රියක තිම්නාහිදී දුටිමි. ඇය මට භාර්යාව කොට ගෙන දුන මැනවි.” (විනිශ්චයකාරයෝ 14:2) මේ ඉල්ලීමෙන් ඔවුන් කොතරම් මවිතයට පත් වූවාදැයි ඔබට සිතාගත හැකිද? ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරන සතුරන්ගෙන් තම ජාතිය ගලවාගන්නවා වෙනුවට, ඔවුන්ගේ පුත්‍රයාට වුවමනා වී ඇත්තේ සතුරු ජාතියේ කාන්තාවක්ව විවාහ කරගැනීමටයි. මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් භාර්යාවක් පාවාගැනීම දේවනීතියට අනුව තහනම් විය. (නික්මයාම 34:11-16) මේ නිසා ඔහුගේ දෙමාපියෝ ඔහුට විරෝධය පෑවේ “ඔබ අචර්මඡේද්‍ය පිලිස්තිවරුන්ගෙන් භාර්යාවක පාවාගන්ට යන්නේ ඔබේ සහෝදරයන්ගේ දූවරුන් අතරේවත් මාගේ මුළු සෙනඟ අතරේවත් ස්ත්‍රියක් නැද්ද” යයි අසමිනි. එහෙත් සම්සොන් තදින්ම ඉල්ලා සිටියේ “මම ඇයට ප්‍රිය වෙමි. එබැවින් ලබා දුන මැනවි” යයි පියාට පවසමිනි.—විනිශ්චයකාරයෝ 14:3.

සම්සොන් මේ පිලිස්තීය කාන්තාවට “ප්‍රිය” වූයේ මන්ද? ඒ ඇය “රූමත් වූ, ලස්සන” කාන්තාවක් වූ නිසාම නොවන බවත් ඒ වෙනත් අරමුණක් උදෙසා බවත් එක්තරා විශ්වකෝෂයක කියැවේ. (McClintock and Strong’s Cyclopedia) විනිශ්චයකාරයෝ 14:4හි පවසන්නේ සම්සොන් “පිලිස්තියයන්ට විරුද්ධව කාරණයක්” හෙවත් ඔවුන්ට එරෙහිව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි බවය. සම්සොන් එම කාන්තාව කෙරෙහි උනන්දු වූයේ එම අරමුණ පෙරදැරි කරගෙනය. සම්සොන් හැදී වැඩෙත්ම “යෙහෝවාගේ ආත්මය [හෙවත් බලය] . . . ඔහු ලවා ක්‍රියා කරන්ට පටන්ගත්තේය” කියා අපට කියවන්නට තිබේ. (විනිශ්චයකාරයෝ 13:25) මේ අනුව, මිථ්‍යාදෘෂ්ටික ජාතියකින් භාර්යාවක් ඉල්ලා සිටීම පිටුපස තිබුණේද, විනිශ්චයකාරයෙකු හැටියට ඔහුගේ මුළු ජීවිතය පුරාම ක්‍රියාත්මක වූයේද, යෙහෝවාගේ බලයයි. සම්සොන් සොයමින් සිට අවස්ථාව ඔහුට පෑදුණාද? සම්සොන්ට යෙහෝවාගේ අනුග්‍රහය තිබූ බවට යෙහෝවා තහවුරු කළ ආකාරය ගැන අපි පළමුවෙන්ම සලකා බලමු.

සම්සොන් තිම්නා නුවරට ගමන් කරමින් සිටියේය. ඒ ඔහුගේ අනාගත බිරිඳ වෙසෙන නුවරයි. ‘ඔහු තිම්නාහි මිදි වතුවලට ආවේය. බලන්න, තරුණ සිංහයෙක් ඔහු දැක නාද කළේය. යෙහෝවාගේ බලය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. ඔහු ඒ සිංහයා ඉරා දැමුවේය.’ සම්සොන් මේ අසාමාන්‍ය ශක්තිය පෙන්වූයේ ඔහු තනිව සිටින විටයි. ඒ සිද්ධිය වෙන කිසිවෙකු දුටුවේ නැත. සම්සොන් නසරීතවරයෙකු වශයෙන් දෙවි දුන් පැවරුම ඉටු කිරීමට හැකියාව තිබෙන පුද්ගලයෙකු බව ඔහුට ස්ථිර කරන්නට දෙවි මේ ක්‍රමය යොදාගත්තාද? බයිබලයේ ඒ ගැන කිසිවක් කියන්නේ නැත. නමුත් සම්සොන් පැහැදිලිව වටහාගත් දෙයක් නම්, මෙම අසාමාන්‍ය ශක්තිය තමාගේ ශක්තිය නොවන බවයි. එය දෙවි දුන් ශක්තිය විය යුතුමයි. එසේනම්, ඉදිරියට තිබෙන වැඩකටයුතු කිරීම සඳහා යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්නට ඔහුට හැකියි. සිංහයාව මරා දැමීමට හැකි වූ නිසා ඉන් තව තවත් ශක්තිමත් වූ සම්සොන්, “ගොස් ඒ ස්ත්‍රිය හා සමඟ කතා කළේය. ඈ ඔහුට ඉතා ප්‍රසන්න වූවාය.”—විනිශ්චයකාරයෝ 14:5-7.

පසුව සම්සොන් එම ස්ත්‍රියව පාවාගැනීමට නැවත යද්දී, “සිංහයාගේ මළකුණ බලන පිණිස හැරුණේය. බලන්න, සිංහයාගේ මළකුණේ මීමැසි කැලක් හා මීයක් විය.” මෙය මතක් කරමින් සම්සොන් තම විවාහ මංගල්‍යයට පැමිණ සිටි පිලිස්තිය ජාතික යහළු මනාලයන් 30දෙනාට මෙම තේරවිල්ල පැවසීය. “කන්නාගෙන් කෑම නික්මුණේය. බලවන්තයාගෙන් මිහිර නික්මුණේය.” ඔවුන්ට මෙම තේරවිල්ල හරියට තෝරන්නට හැකි වුණා නම්, සම්සොන් ඔවුන්ට හණ සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද දෙනවා ඇත. ඔවුන්ට එය කීමට නොහැකි වුණොත්, එම ප්‍රමාණයම ඔවුන් සම්සොන්ට දිය යුතුය. පිලිස්තිවරු දවස් තුනක් තිස්සේ මෙහි තේරුම ගැන කල්පනා කළහ. හතරවෙනි දවසේදී ඔවුන් කළේ සම්සොන් පාවාගත් ස්ත්‍රියට තර්ජනය කිරීමයි. ඔවුහු ඇයට මෙසේ පැවසූහ. “තේරවිල්ල අපට කියා දෙන්ට ඔබේ පුරුෂයා පොලඹවන්න. නැත්නම් ඔබත් ඔබේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමු.” එය මොන තරම් කෲර තර්ජනයක්ද! පිලිස්තියවරු තමන්ගේම ජාතියේ අයට මෙසේ සැලකුවා නම්, ඔවුන්ගේ පීඩනයට ලක්ව සිටි ඊශ්‍රායෙලිතයන්ගේ තත්වය කොයි වගේද කියා සිතා බලන්න!—විනිශ්චයකාරයෝ 14:8-15.

මින් ඉමහත් භීතියට පත් මෙම ස්ත්‍රිය තේරවිල්ල හෙළි කරන ලෙස සම්සොන්ට ඇවිටිලි කළාය. සම්සොන්ට ද්‍රෝහී වූ ඇය හණික මෙම තේරවිල්ල යහළු මනාලයන්ට පැවසුවාය. ඔවුන් තේරවිල්ලේ අරුත කී අතර, ඔවුන් එය දැනගත්තේ කෙසේදැයි සම්සොන්ට හෙළි වුණි. “ඔබ මාගේ වැස්සිගෙන් නොහෑවහු නම් මාගේ තේරවිල්ල නොදන්නහුය” කියා සම්සොන් ඔවුන්ට කීවේය. සම්සොන් බලා සිටි අවස්ථාව දැන් පෑදී තිබුණි. “යෙහෝවාගේ [බලය] බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. ඔහු අෂ්කෙලොන්ට ගොස් මිනිසුන් තිස්දෙනෙකුට පහර දී ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන්නවුන්ට ඇඳුම් කුට්ටම් දුන්නේය.”—විනිශ්චයකාරයෝ 14:18, 19.

අෂ්කෙලොන්හිදී සම්සොන් කළ ක්‍රියාව කිරීමට ඔහුව පෙලඹවූයේ පළිගැනීමට ඔහු තුළ වූ ආශාවද? නැත. එය දෙවි විසින් තෝරාගනු ලැබූ ජාතියේ ගැලවුම්කරුවාගේ ක්‍රියාවක් වුණි. යෙහෝවා තම සෙනඟගේ සතුරන් සමඟ සටන් කිරීමට මුලින්ම පියවර ගත්තේ සම්සොන් මාර්ගයෙනි. තවද මෙම සටන මෙතැනින් අවසන් වූයේද නැත. ඊළඟ අවස්ථාව උදා වුණේ සම්සොන් තම බිරිඳව බැලීමට පැමිණි විටයි.

සම්සොන් තනිවම සටන් කරමින්

තිම්නා නුවරට පැමිණි පසු සම්සොන්ට දැනගන්නට ලැබුණේ තම බිරිඳගේ පියා ඇයව වෙනත් පුරුෂයෙකුට පාවා දුන් බවයි. ඔහු එසේ කළේ සම්සොන් ඇයට වෛර කළායයි සිතූ නිසාය. ඒ ගැන තමාට කෝපයක් ඇති වූ බව පෙනෙන්නට සැලැස්වූ සම්සොන්, හිවලුන් 300ක් අල්ලා දෙදෙනා බැගින් එකට තබා උන්ගේ වල්ගා දෙක එකට බැඳ හුළු අතු ගෙන ඒ වල්ගා දෙක මැද හුළු අත්තක් බැගින් තැබුවේය. උන්ව මුදාහැරිය විට උන් පිලිස්තිවරුන්ගේ ප්‍රධාන බෝග වගාවන් වූ කෙත්වතුද මිදි වතුද ඔලීව වතුද පිලිස්සුවේය. මේ ගැන කුපිත වූ පිලිස්තිවරුන් කළේ මහත් කෲර ක්‍රියාවකි. එනම් මෙයට වගකිව යුත්තේ සම්සොන්ගේ බිරිඳ හා ඇගේ පියා බව තීරණය කර ඔවුන්ව පුලුස්සා දැමූහ. ඔවුන්ගේ මෙම කෲර පළිගැනීම තුළින් තම ඉලක්කය ඉටු කරගැනීමට සම්සොන්ට අවස්ථාව පෑදුණි. මින් ප්‍රයෝජන ගත් ඔහු ඔවුන් සම්පූර්ණයෙන් නැති වන තෙක් ඔවුන්ට පහර දුන්නේය.—විනිශ්චයකාරයෝ 15:1-8.

යෙහෝවා දෙවි සම්සොන්ට ආශීර්වාද කරමින් සිටි බවත් පිලිස්තිවරුන්ගේ පාලනයෙන් ඔවුන්ව මුදවාගැනීමට සම්සොන්ව යොදාගනිමින් සිටි බවත් ඊශ්‍රායෙලිතයන්ට වැටහුණාද? කොහෙත්ම නැත. තමන් මහත් කරදරයකට ලක් වෙන්නට යනවායයි සිතූ යූදාහි මිනිස්සු, පුරුෂයන් 3,000දෙනෙක් යවා දෙවි තෝරාගත් නායකයාව අත්අඩංගුවට ගෙන ඔහුව ඔහුගේ සතුරන්ට භාර දුන්හ. කෙසේවෙතත්, ඊශ්‍රායෙලිතයන් කළ මේ ද්‍රෝහි ක්‍රියාව හරහා සම්සොන්ට තවත් අවස්ථාවක් පෑදුණේය. ඒ ඔහුගේ සතුරන් තවත් ප්‍රමාණයක් නසා දැමීමටය. පිලිස්තිවරුන් අතට පාවා දෙනු ලැබීමට මොහොතකට පෙර, “යෙහෝවාගේ [බලය] බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. ඔහුගේ අත් බැඳ තිබුණු ලණු ගින්නෙන් දා ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී ගියේය.” අනතුරුව සම්සොන් කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් අහුලාගෙන එයින් මිනිසුන් දහසක් මැරීය.—විනිශ්චයකාරයෝ 15:10-15.

යෙහෝවාගේ පිහිට පතමින් සම්සොන් යාච්ඤා කළේ මෙසේයි. “ඔබ තමන් මෙහෙකරුවා ලවා මේ මහත් ගැලවීම සැලැස්වුවේය. දැන් මම පිපාසයෙන් නැසී අචර්මච්ඡේද්‍යයන්ගේ අතට අසුවෙම්ද?” සම්සොන්ගේ යාච්ඤාව ඇසූ යෙහෝවා ඊට පිළිතුරු දුන්නේය. “දෙවි ලෙහියේ තිබෙන වළ විවර කළේය. එයින් වතුර නික්මුණේය. ඔහු බිව් කල ශක්තිය ලැබ ප්‍රාණවත් විය.”—විනිශ්චයකාරයෝ 15:18, 19.

සම්සොන් පිලිස්තිවරුන් සමඟ තනිවම සටන් කිරීමට අදිටන් කරගෙන තිබුණි. ඔහු ගාසා නුවර ගණිකාවකගේ ගෙදර නැවතී සිටියේද දෙවිගේ සතුරන් සමඟ සටන් කිරීමේ අදහසිනුයි. සතුරන්ගේ නගරයක රාත්‍රියේ නවාතැන් ගැනීමට සම්සොන්ට ස්ථානයක් අවශ්‍ය වූ අතර, ඔහුට හමු වුණේ ගණිකාවකගේ නිවසකි. ගණිකාවව ඇසුරු කිරීමට ඔහුට කිසිදු අදහසක් තිබුණේ නැත. මධ්‍යම රාත්‍රියේ ඇගේ නිවසින් පිට වූ ඔහු නුවර වාසල් දොර හා උළුවහු දෙකත් රැගෙන ගාසා නුවරට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි හෙබ්‍රොන් නුවර ඉදිරිපිට කන්ද මුදුනට ගියේය. මේ සඳහා ඔහුට දෙවිගේ අනුමැතිය ලැබුණු අතර, ඔහු එසේ කළේ දෙවි දුන් ශක්තියෙනි.—විනිශ්චයකාරයෝ 16:1-3.

මෙම අසාමාන්‍ය තත්වයන් දෙස බලද්දී සම්සොන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ ආකාරය අපූරුය. මින් පැහැදිලි වන්නේ අද දින දෙවිගේ සේවකයන්ව ශක්තිමත් කිරීම සඳහා එම බලයම ක්‍රියාත්මක වන බවයි. යෙහෝවා “තමන්ගෙන් ඉල්ලන්නන්ට . . . ශුද්ධාත්මය [හෙවත් බලය] දෙනු” ඇතැයි යේසුස් සිය අනුගාමිකයන්ට සහතිකයක් දුන්නේ ඒ නිසාය.—ලූක් 11:13.

යෙහෝවා ‘සම්සොන් කෙරෙන් අහක්ව ගියේ’ මන්ද?

පසුව සම්සොන් දෙලීලා නම් ස්ත්‍රියකට පෙම් බැන්දේය. පිලිස්තීය සන්ධානයකට අයත් ස්වාමිවරුන් පස්දෙනෙක් සම්සොන්ව නැසීමට දැඩි සේ අදිටන් කරගෙන දෙලීලාගෙන් ඒ සඳහා උපකාර පැතූහ. “ඔහු පොලඹවා ඔහුගේ මහත් ශක්තිය පිහිටා තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහු පරදවා ඔහුට පීඩා කරන පිණිස බඳින්ට පුළුවන් කොහොමද කියාත් සොයන්න.” මේ ස්වාමිවරු පස්දෙනාම “රිදී එක්දාස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු” කියා ඇයට අල්ලස් දීමට පොරොන්දු වූහ.—විනිශ්චයකාරයෝ 16:4, 5.

මෙම රිදී, ෂෙකෙල් වූවා නම් එය ෂෙකෙල් 5,500ක විශාල අල්ලසක් වුණි. ආබ්‍රහම් තම භාර්යාවගේ සුසාන භූමිය සඳහා ෂෙකෙල් 400ක් ගෙවූ අතර, වහලෙකුව විකුණනු ලැබුවේ ෂෙකෙල් 30කට පමණි. (උත්පත්ති 23:14-20; නික්මයාම 21:32) මෙහිදී අප වටහාගත යුතු කරුණක්ද තිබේ. පිලිස්තිය සන්ධානයේ ස්වාමිවරුන්ගෙන් දෙලීලා මෙම අල්ලස ලබාගත්තේ මුදලට ඇය තුළ ඇති තණ්හාව නිසා මිස ඇගේ ජාතියේ මිනිසුන්ට ඇති ඇල්ම නිසා නොවේ. මේ මගින් පෙනී යන්නේ දෙලීලා සමහරවිට ඊශ්‍රායෙල් කාන්තාවක් විය හැකි බවය. එසේ වුවත් නැතත්, දෙලීලා මෙම අල්ලස භාරගත්තාය.

සම්සොන්ගේ ශක්තිය තිබෙන්නේ කොහේදැයි දැනගැනීමට දෙලීලා ඔහුගෙන් තුන් වතාවක්ම ප්‍රශ්න කළත්, ඒ තුන් වතාවේදීම සම්සොන් ඇයට දුන්නේ ඇයව මුළා කරවන පිළිතුරුයි. තවද ඒ අවස්ථා තුනේදීම ඇය ඔහුව ඔහුගේ සතුරන්ට පාවා දීමට උත්සාහ කළාය. නමුත් “ඇගේ වචනවලින් දවස්පතා ඔහුට කරදර කරමින් බලහත්කාර කළ කල්හි ඔහුගේ ප්‍රාණය හානි වන තරම් ඔහුට දුක් විය.” අන්තිමේදී සම්සොන් රහස හෙළි කළේය. එනම්, ඔහුගේ හිස කෙස් කිසිදා කපනු ලැබ නැත. එය කපා දැමුවොත්, ඔහුගේ ශක්තිය පිරිහී ඔහු අනෙක් මිනිසුන් හා සමාන වනවා ඇත.—විනිශ්චයකාරයෝ 16:6-17.

සම්සොන්ගේ ශක්තිය පිරිහෙන්නට පටන්ගත්තේ එතැන් සිටයි. දෙලීලා ඔහුව රවටා ඔහුගේ හිසකෙස් කපා දැමුවාය. එහෙත් සම්සොන්ගේ ශක්තිය තිබුණේ ඔහුගේ හිසකෙස්වල නොවේ. ඔහුගේ හිසකෙස් වනාහි ඔහු නසරීතවරයෙක් හැටියට දෙවි සමඟ තිබූ විශේෂ සම්බන්ධතාවේ සලකුණකි. ඔහුගේ හිසකෙස් කපා දැමීම නිසා ඔහු තවදුරටත් නසරීතවරයෙකු නොවූ බැවින්, ‘යෙහෝවා ඔහු කෙරෙන් අහක්ව ගියේය.’ අනතුරුව පිලිස්තිවරුන් ඔහුව අල්ලා ඔහුව අන්ධ කර, සිරගෙට දැමූහ.—විනිශ්චයකාරයෝ 16:18-21.

මෙය අපට මොන තරම් ප්‍රබල පාඩමක් උගන්වනවාද! යෙහෝවා සමඟ තිබෙන අපේ සම්බන්ධතාව ඉතා වටිනා එකක් හැටියට අප සැලකිය යුතු නොවේද? අප යම් විදිහකින් අපේ ක්‍රිස්තියානි කැපවීම සැහැල්ලුවට ගෙන කටයුතු කරන්නේ නම්, දෙවිගේ ආශීර්වාද බලාපොරොත්තු වීමට අපට හැක්කේ කෙසේද?

“මම පිලිස්තියයන් සමඟ නැසෙම්වා”

සම්සොන්ව අල්ලාගැනීමෙන් අධික සේ ප්‍රීතියට පත් වූ පිලිස්තිවරු තම දෙවියන් වූ දාගොන්ට ස්තුති කළහ. තම ජයග්‍රහණය සමරමින් ඔවුහු තම සතුරා වන සම්සොන්ව දාගොන්ගේ දේවාලයට ගෙන ආහ. නමුත් තමාගේ පරාජයට නියම හේතුව කුමක්දැයි සම්සොන් දැන සිටියේය. යෙහෝවා තමා වෙතින් අහක්ව ගිය බව දැනගත් සම්සොන් තමාගේ පරාජය ගැන මහත් සේ පසුතැවිලි වූයේය. සම්සොන් සිරගෙයි සිටින අතරතුර ඔහුගේ හිස කෙස් නැවතත් ඉතා දිගට වැඩී තිබුණි. ඔහු සිටියේ පිලිස්තිවරුන් දහස් ගණනක් ඉදිරියෙහිය. දැන් කුමක් වේද?

සම්සොන් කළේ යෙහෝවාට කන්නලව් කිරීමයි. “ස්වාමි වූ යෙහෝවා, මා සිහි කරන ලෙස ඉල්ලමි; දෙවි, මාගේ ඇස් දෙක ගැන පිලිස්තියයන්ගෙන් එක් වරක් පළිගන්ට පුළුවන් වන ලෙස මේ වර පමණක් මට ශක්තිය දෙන ලෙස ඉල්ලමි.” ඒ ඔහුගේ කන්නලව්වයි. ඉන්පසු ඔහු එම ගොඩනැඟිල්ලේ ප්‍රධාන කණු දෙක දෙසට බර වී “තමන් මුළු ශක්තියෙන් නැඹුරු විය.” සිදු වූයේ කුමක්ද? “ගෙයද ස්වාමිවරුන් සහ එහි සිටි මුළු සෙනඟ පිට වැටුණේය. මෙසේ ඔහුගේ මරණයේදී ඔහු මැරූ අය ජීවත්ව සිටියදී මැරූ අයට වඩා වැඩි විය.”—විනිශ්චයකාරයෝ 16:22-30.

සම්සොන්ගේ ශාරීරික ශක්තිය කිසිම මිනිසෙකුගේ ශක්තියට කිසිසේත් සම කිරීමට නොහැක. ඇත්තෙන්ම ඔහු කළ බලවත් ක්‍රියාද අතිවිශේෂය. නමුත් වඩාත් වැදගත්ම කාරණය නම්, සම්සොන්ව බලවත් ඇදහිලිවන්තයෙකු හැටියට බයිබලයේ සඳහන් කර තිබීමයි.—හෙබ්‍රෙව් 11:32-34.

[26වන පිටුවේ පින්තූරය]

සම්සොන්ගේ ශක්තියේ රහස කුමක් වීද?