Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් සහ ඔබ

යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් සහ ඔබ

යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් සහ ඔබ

මීට ඉහත ලිපියේදී අප සලකා බැලූ ලෙස, යේසුස්ගේ ඉගැන්වීම් මුළු ලෝකයටම ප්‍රබල බලපෑමක් කර ඇති බවට කිසිදු සැකයක් නැහැ. නමුත් වැදගත්ම ප්‍රශ්නය නම්, “යේසුස්ගේ ඉගැන්වීම් මගේ ජීවිතයට කොයි වගේ බලපෑමක් කරනවාද?” යන්නයි.

ජීවිතයේ විවිධ පැති ගැන යේසුස් ඉගැන්නුවා. ඔහු ඉගැන්වූ වටිනා පාඩම් ඔබේ ජීවිතයේ සෑම පැත්තකටම බලපෑමක් කරන්නට පුළුවන්. මේ නිසා අපි දැන් වැදගත් කරුණු පහක් ගැන සලකා බලමු. ඒවා නම්, ජීවිතයේ වැදගත් දේට මුල් තැන දීම, දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනැඟීම, අනුන් සමඟ සුහද සම්බන්ධතා ඇති කරගැනීම, තමන් මුහුණ දෙන ගැටලු විසඳාගැනීම හා සාපරාධී ක්‍රියාවලින් වැළකී සිටීම යන්නයි.

වැදගත් දේට මුල් තැන දීම

වේගයෙන් ඉදිරියට ඇදී යන වත්මන් සමාජයේ මිනිසුන්ට ‘හුස්ම ගැනීමටවත් වේලාවක් නැති තරම්!’ ඒ නිසාම ආගමික කටයුතුවලට කාල වේලාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. අපි සුනිල් නමැත්තෙක් ගැන සිතමු. ඔහු අවුරුදු 20ක විතර තරුණයෙක්. සුනිල් තවත් අය සමඟ ආගමික කාරණා ගැන කතා කරන, ඒවායේ වටිනාකම ගැන අගය කරන කෙනෙක්. නමුත් ඔහු කියන්නේ මෙහෙමයි. “නිතිපතා ආගමික කටයුතුවල යෙදෙන්නට මට වේලාවක් නැති එක තමයි ප්‍රශ්නේ. මම සතියට දවස් හයක්ම වැඩට යනවා. ඉරිදා තමයි මට නිවාඩු තියෙන්නේ. ඊට පස්සේ ගෙදර තියෙන නොයෙක් වැඩ කරපුවාම හරිම මහන්සියි.” ඔබත් සිටින්නේ සුනිල් සිටින තත්වයේ නම්, යේසුස් කන්ද උඩ දේශනාවේදී ඉගැන්වූ දේවලින් ඔබට ප්‍රයෝජන ගන්නට පුළුවන්.

තමා අවට රැස්ව සිටි ජනතාව අමතා යේසුස් කීවේ මෙහෙමයි. “කුමක් කන්නේද කුමක් බොන්නේද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න. කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් නැද්ද? අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැත. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද? . . . එබැවින් ‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය. එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” (මතෙව් 6:25-33) අප මෙයින් ඉගෙනගන්නේ කුමක්ද?

යේසුස් මෙහිදී ඇඟවූයේ අප අපගේ සහ අපගේ පවුලේ අයගේ කෑම බීම ඉඳුම් හිටුම් රැකියා ගැන කිසිදු සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය නැහැ කියා නොවෙයි. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකාහැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 5:8) එහෙත් යේසුස් පොරොන්දු වුණේ අප දෙවි ගැන සිතනවා නම්, දෙවිට අපේ ජීවිතයේ මුල් තැන දෙනවා නම්, කිසිදු සැකයක් නැතිව දෙවි අපේ අනෙකුත් අවශ්‍යතා සපුරාලනවා යන්නයි. මෙහිදී අප තේරුම්ගන්නට ඕනෑ කරන පාඩම තමයි, අප ජීවිතයේ වැදගත්ම දේට මුල් තැන දිය යුතු බව. මේ අවවාදය අපි පිළිපදිනවා නම්, අපට ජීවිතයේ සැබෑ සන්තෝෂය අද්දකින්න පුළුවන්. ඊට හේතුව, යම් කෙනෙක් දෙවි ගැන සිතනවා නම් ඔහු සන්තෝෂවත් පුද්ගලයෙක් වන නිසයි.—මතෙව් 5:3.

දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න

දෙවි ගැන සිතන අයට තේරෙනවා, තමන් දෙවි සමඟ හොඳ සම්බන්ධයක් ඇති කරගන්න ඕනෑ කියලා. කොහොමද අපි කෙනෙක් සමඟ හොඳ සම්බන්ධයක් ඇති කරගන්නේ? අපි ඒ තැනැත්තා ගැන හොඳට දැනගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නොවෙයි ඒ තැනැත්තාගේ අදහස් උදහස්, කැමති අකමැති දේවල්, ඔහුගේ හැකියාවන්, කුසලතා මේ වගේ දේවල් ගැනත් දැනගන්න අපි යම් කාලයක් ගන්න ඕනෑ. දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගනිද්දීත් අප කරන්න ඕනෑ මේකමයි. ඔහු ගැන නිවැරදි දැනුම ලබාගන්න අවශ්‍යයි. යේසුස් තම ගෝලයන් ගැන දෙවිට යාච්ඤා කරනකොට මෙහෙම කිව්වා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ඔව් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම්, අපි ඔහුව හොඳින් දැන හඳුනා ගත යුතුයි. එහෙම කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි, දෙවිගේ වචනය වන බයිබලයෙන් ඔහු ගැන ඉගෙනගැනීම. (2 තිමෝති 3:16) මේ නිසා අපි බයිබලය අධ්‍යයනය කිරීමට කාලය වෙන් කළ යුතුයි.

එහෙත්, දැනුම පමණක් මදි. යේසුස් එම යාච්ඤාවේම පැවසුවේ මෙයයි. “ඔවුහු [ඔහුගේ ගෝලයෝ] ඔබේ වචනය පිළිපැද්දෝය.” (යොහන් 17:6) අප දෙවි පිළිබඳ දැනුම ලැබිය යුතුවා පමණක් නොව, එම දැනුමට අනුව ක්‍රියා කිරීමද අවශ්‍යයි. එසේ කරන්නේ නැතිව අප දෙවිගේ මිත්‍රයන් වෙන්නේ කොහොමද? අප යම් කෙනෙකුගේ අදහස් හා ප්‍රතිපත්ති ගැන කිසිම තැකීමක් නොකර ක්‍රියා කරනවා නම්, ඔහු අපේ මිතුරෙක් වීමට කැමති වෙයිද? එසේනම්, අපේ ජීවිතයේ සියලු පැතිවලදී අපව මෙහෙයවිය යුත්තේ දෙවිගේ සිතිවිලි හා ප්‍රතිපත්තියි. මේ අනුව අප වෙනත් අය සමඟ පවත්වන සම්බන්ධතාවලදී අපි කටයුතු කළ යුතු ආකාරය ගැන දෙවි අපට පෙන්වා දී ඇති ප්‍රතිපත්ති දෙකක් ගැන පමණක් අපි දැන් සලකා බලමුද?

වෙනත් අය සමඟ සුහද සම්බන්ධතා පැවැත්වීම

එක්තරා අවස්ථාවකදී, යේසුස් මිනිස් සම්බන්ධතා පැවැත්වීමේදී අප මතක තබාගත යුතු වැදගත් පාඩමක් ගැන පුංචි කතන්දරයක් කියා දුන්නා. ඔහු කියූ විදිහට එක්තරා රජ කෙනෙකුගේ දාසයන් එම රජට ණය වෙලයි හිටියේ. ඉන් එක්කෙනෙකු හුඟාක් ලොකු මුදලක් ණයයි. හැබැයි ගෙවන්න කිසිම විදිහක් නැහැ. ඒ නිසා මේ රජ කිව්වා මේ මිනිසාවයි, ඔහුගේ බිරිඳවයි, ඔහුගේ දරුවන්වයි රජට විකුණන්න කියලා. මේ ණයකාරයා රජ ගාව බිම වැටිලා මෙහෙම කිව්වා. “මා ගැන ඉවසන්න. මම ඔබට සියල්ල ගෙවන්නෙමි.” අනුකම්පාවෙන් පෙලඹුණු මේ ස්වාමියා ඔහුගේ ණය අමතක කර දැම්මා. නමුත් මේ දාසයා ඔහුට එතරම් විශාල නොවූ මුදලක් ණයව සිටින තවත් දාසයෙකුව හමුවෙලා ඒ ණය දෙන්න කියලා ඔහුට බල කළා. මේ දාසයා තමාට අනුකම්පා කරන්න කියලා අර පළමුවට සඳහන් කළ දාසයාගෙන් අයැද සිටියත්, පළමුවට සඳහන් කළ ඒ දාසයා මේ අසරණයාව ණය ගෙවනකම් සිර ගෙයට දැම්මා. මේ සිද්ධිය ගැන රජුට දැනගන්න ලැබුණාම ඔහු උදහස් වුණා. “මා ඔබට අනුකම්පා කළාක් මෙන්ම ඔබත් ඒ දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේද?” රජ ඇසුවේ එහෙමයි. ඉතින් රජ කළේ අර පළමු දාසයාව ඔහුගේ ණය ගෙවන තුරු හිර ගෙට දැමීමයි. මේ උපමාවෙන් කියැවෙන පාඩම ඉස්මතු කරමින් යේසුස් මෙහෙම කිව්වා. “ඔබ එකිනෙකාත් තම තමාගේ සහෝදරයාට ඔබේ හදවතින්ම සමාව නොදුන්නොත්, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ද ඔබට එසේම කරනවා ඇත.”—මතෙව් 18:23-35.

අසම්පූර්ණ මිනිසුන් වශයෙන් අප අතින් බොහෝ වැරදි සිදු වෙනවා. අප දෙවිට විරුද්ධව පව් කිරීම නිසා අප කර ඇති පව් නමැති ණය කන්දරාව දෙවිට ආපසු ගෙවන්නට කවමදාකවත් අපට හැකි වෙන්නේ නැහැ. ඉතින් අපට කරන්නට තිබෙන එකම දෙය තමයි ඔහුගෙන් සමාව අයදින එක. ඉතින් යෙහෝවා දෙවි සූදානමින් සිටිනවා අප කරන වැරදිවලට සමාව දෙන්නට. හැබැයි ඒ අනික් අය අපට විරුද්ධව කරන වැරදිවලට අපි සමාව දුන්නොත් විතරයි. ඇත්තටම ඒක මොන තරම් ප්‍රබල පාඩමක්ද! යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලුවා මෙහෙම යාච්ඤා කරන්න කියලා. “අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන්, අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.”—මතෙව් 6:12.

ගැටලුවේ මුලටම යන්න

මිනිස් ස්වභාවය හඳුනාගැනීම අතින් යේසුස් විශේෂඥයෙක්. යම් ගැටලු විසඳීම ගැන උපදෙස් දෙද්දී ඔහු ගැටලුවේ මුලටම ගියා. පහත සඳහන් උදාහරණ දෙක ගැන සලකා බලන්න.

“පුරාණයේ විසූ අයට, ‘මිනී නොමරන්න’ කියාද ‘මිනී මරන ඕනෑම කෙනෙකු අධිකරණයට වග කිව යුතුයි’ කියාද කී බව ඔබ අසා ඇත” කියා පැවසූ යේසුස් මෙහෙමද කිව්වා. “එහෙත්, මම ඔබට මෙසේ කියමි: තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින සෑම කෙනෙකුම අධිකරණයට වග කිව යුතුය.” (මතෙව් 5:21, 22) යේසුස් මෙහිදී පෙන්වූයේ යමෙක් මිනීමැරීමට හේතු පාදක වන දේ ඔහුගේ සිතේ ගැඹුරින් මුල් බැසගෙන ඇති බවයි. එය නම් මිනීමරුවාගේ යටි සිතේ තිබෙන වෛරයයි. හැම කෙනෙක්ම තමාගේ යටි සිතේ අමනාපයක් හෝ කේන්තියක් පැසවන්නට ඉඩ නොදී, ඒ සිතුවිලි වලින් පවා වැළකී සිටිනවා නම්, කවදාකවත් අපරාධ කරන්න පෙලඹෙන්නේ නැහැ. මිනිසුන් මේ ඉගැන්වීම පිළිපැද්දා නම් කොතරම් මිනීමැරුම් වළක්වාගන්නට තිබුණාද!

පුද්ගලයන්ට මහත් සිත් වේදනා ඇති කිරීමට හේතු වන තවත් ගැටලුවක මුල යේසුස් හඳුන්වා දුන් ආකාරය ගැන හොඳින් බලන්න. ඔහු තමා අවට සිටි සමූහයාට කිව්වේ මෙහෙමයි. “පරදාර සේවනයේ නොයෙදෙන්න’ යයි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත. එබැවින් ඔබේ දකුණු ඇස ඔබව බාධාවට පත් කරන්නේ නම්, එය උගුලා අහකට විසි කරන්න.” (මතෙව් 5:27-29) යේසුස්ගේ වචනවලට අනුව මෙහි ගැටලුව දුරාචාරයේ යෙදීම විතරක් නොවෙයි. ඒ වගේ හැසිරීමකට හේතු පාදක වන කාමුක ආශාව මීට ප්‍රධාන හේතුව වෙයි. යම් පුද්ගලයෙක් වැරදි ආශාවන් ගැන හිතන්නේ නැතුව, ඒවා ඔහුගේ සිතෙන් ‘උගුලා අහකට විසි කරනවා නම්,’ ඔහුට පුළුවන් අනාචාරයෙන් වැළකී සිටින්න.

“ඔබේ කඩුව තිබුණු තැනට ආපසු දමන්න”

යේසුස්ව පාවා දෙනු ලැබූ සහ අත්අඩංගුවට ගනු ලැබූ රාත්‍රියේදී ඔහුගේ ගෝලයෙක් කඩුවක් ගෙන යේසුස්ව සතුරන්ගෙන් බේරාගන්න උත්සාහ කළා. නමුත් යේසුස් ඔහුට අණ කළේ මෙහෙමයි. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය.” (මතෙව් 26:52) පසුවදා උදේ යේසුස් ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ට කීවේ මෙහෙමයි. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.” (යොහන් 18:36) මොකක්ද ඔබ මේ ගැන හිතන්නේ? මේ ඉගැන්වීම් අද සමාජයට ගැළපෙන්නේ නැද්ද?

මුල් කාලයේ විසූ ක්‍රිස්තියානීන් සාපරාධී ක්‍රියාවලින් වැළකීම ගැන යේසුස් දුන් උපදෙස පිළිපැද්දාද? එක්තරා ග්‍රන්ථයක මෙහෙම සඳහන් වෙනවා. “යේසුස්ගේ ඉගැන්වීම්වලට අනුව අනුන්ට කිසිම අපරාධයක් හෝ හානියක් කිරීමට ක්‍රිස්තියානි භක්තිකයෙකුට නොහැක. යුද්ධයට සහභාගි වීමටද බැරිය. . . . මුල් ක්‍රිස්තියානීහු යේසුස්ගේ වචන ඔහු කී පරිදිම පිළිපැද්දෝය. ඔවුහු මුදු මොළොක්ව හා සන්සුන්ව කටයුතු කිරීම ගැන ඉගැන්වූ දේවලට කීකරු වූහ. ඔවුන්ගේ ආගම සාමයේ ආගමක් විය. යුද්ධය දැඩි සේ හෙළා දුටු ඔවුන් කිසිම විටෙකත් ලේ වැගිරීමට හවුල් වුණේ නැත.” ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තියානීන් කියා කියාගන්නා වූ හැමදෙනාම මේ ඉගැන්වීම් පිළිපැද්දා නම්, ඉතිහාසය කොතරම් වෙනස් වෙන්නට තිබුණාද!

යේසුස්ගේ ඉගැන්වීම්වලින් ඔබට ප්‍රයෝජන ගත හැකියි

අප සලකා බැලූ ආකාරයට යේසුස්ගේ ඉගැන්වීම් ඉතා අලංකාර, සරල සහ ප්‍රබල ඉගැන්වීම් බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා යේසුස්ගේ ඉගැන්වීම් ගැන හොඳින් දැනුවත් වී ඒවා පිළිපැදීමෙන් අපට බොහෝ ප්‍රයෝජන නෙළාගන්න පුළුවනි. *

ඔබ කැමතිද මේ පොළොවේ විසූ ශ්‍රේෂ්ඨතම තැනැත්තා ඉගැන්වූ ප්‍රඥාවන්ත ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගන්න? එසේනම් ඔබේ පළාතේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා කැමතියි ඔබට උපකාර කරන්න. ඒ සඳහා ඔවුන්ව හමු වන්න. නැත්නම් මේ සඟරාවේ 2වන පිටුවේ ලිපිනයකට ලියන්න කියා අපි ඔබට ඉතා සාදරයෙන් ආරාධනා කරමු.

[පාදසටහන]

^ 22 ඡේ. යේසුස්ගේ ඉගැන්වීම් සියල්ලම පිළිවෙළකින් සලකා බැලීම සඳහා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොත බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

“ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය”

[7වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ ඉගැන්වීම්වලින් ඔබේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි