Skip to content

පටුනට යන්න

අනාථ දරුවෙකුට ප්‍රේමණීය පියෙක් සම්බ වෙයි

අනාථ දරුවෙකුට ප්‍රේමණීය පියෙක් සම්බ වෙයි

ජීවිත කතාව

අනාථ දරුවෙකුට ප්‍රේමණීය පියෙක් සම්බ වෙයි

පැවසුවේ ඩිමිට්‍රිස් සිඩිරොපූලොස්

“අරගන්නවා මේ තුවක්කුව. වෙඩි තියනවා දැන්” කියා නිලධාරියා මගේ ඉස්සරහා තුවක්කුවක් තබමින් පැවසුවා. මම කලබල නොවී බැහැ කිව්වා. එතකොට නිලධාරියා වෙඩි තියන්න පටන්ගත්තා. උණ්ඩ මගේ උරහිස ළඟින් ගියා. මෙය දැක්ක සොල්දාදුවන් ගොඩාක් බය වුණා. මරණය අත ළඟ බව මට දැනුණා. ඒත් මගේ ජීවිතය බේරුණා! මගේ ජීවිතය අනතුරේ තිබුණු පළමු වතාව මෙය නොවෙයි.

තුර්කියේ කපදෝසියේ පිහිටි කයිසරි කියන ප්‍රදේශයේ ජීවත් වූ අපි සුළු ජාතියකට අයිති අයයි. මේ ප්‍රදේශයේ විසූ ඇතැම් පුද්ගලයන් ක්‍රිස්තු වර්ෂ පළමුවන ශතවර්ෂයේදී ක්‍රිස්තියානි ආගම වැලඳගෙන තිබෙනවා. (ක්‍රියා 2:9) කොහොම වුණත් 20වන ශතවර්ෂය ආරම්භ වෙද්දී තත්වයන් ගොඩාක් වෙනස් වෙලා තිබුණා.

සරණාගතයෙක් අනාථයෙක් වෙයි

මම ඉපදුණේ 1922දීයි. මම ඉපදිලා මාස කිහිපයකට පස්සේ ඒ ප්‍රදේශයේ ජනවාර්ගික ගැටුම් ඇති වුණා. ඒ නිසා මගේ දෙමාපියන් මාවත් අරගෙන සරණාගතයන් හැටියට ග්‍රීසියට පලා ගියා. මගේ දෙමාපියන් මොන තරම් කලබල වුණාද කිව්වොත් ඔවුන් කිසිම දෙයක් අරගෙන ගියේ නැහැ. ඒ ගමනේදී ඔවුන් වින්ද දුක විස්තර කරන්න බැරි තරම්. අන්තිමේදී ඔවුන් උතුරු ග්‍රීසියේ ඩ්‍රාමා අසල පිහිටි කීරියා ගමට එද්දී ඔවුන් හිටියේ හරිම අසරණ තත්වයකයි.

මගේ මල්ලි ඉපදුණාට පස්සේ මගේ තාත්තා මැරුණා. එතකොට ඔහුගේ වයස අවුරුදු 27ක් විතරයි. මට අවුරුදු හතරයි. සරණාගතයන් හැටියට අපි වින්ද දුක නිසා තාත්තා ගොඩාක් දුර්වල වුණා. තාත්තාගේ මරණයෙන් පස්සේ අම්මා ගත කළේ හරිම කටුක ජීවිතයක්. ඇයත් ඉක්මනින් මිය ගියා. මගේ මල්ලියි මායි අනාථ වුණා. අපිට සිදු වුණා කලින් කලට විවිධ අනාථ නිවාසවල ජීවත් වෙන්න. මට අවුරුදු 12 වෙද්දී මම හිටියේ තෙසලෝනිකයේ අනාථ නිවාසයකයි. එහිදී මම යන්ත්‍ර අලුත් වැඩියා කිරීම පිළිබඳ පුහුණුවක් ලැබුවා.

කිසිම ආදරයක් සෙනෙහසක් නැති අනාථ නිවාසවල සිටිද්දී මම නිතරම කල්පනා කළ දෙයක් තමයි, සමහර අයට විතරක් ඇයි මේ තරම් දුක් වේදනාවලට හා අයුක්තියට මුහුණ දෙන්න සිදු වෙන්නේ කියලා. මෙවැනි දුක්ඛිත තත්වයන්ට දෙවි ඉඩ දෙන්නේ ඇයි කියන ප්‍රශ්නය ගැනත් මම කල්පනා කළා. අපේ ආගම් පන්තිවලදී නම් අපිට ඉගැන්නුවේ දෙවිගේ බලයට ඉමක් කොනක් නැති බවයි. එහෙම නම් ඇයි මේ තරම් නපුරු දේවල් සිදු වෙන්නේ කියන ප්‍රශ්නයට නියම උත්තරයක් මට ලැබුණේ නැහැ. එක්තරා ප්‍රසිද්ධ කියමනක් තිබුණා ග්‍රීක ඕතඩොක්ස් පල්ලිය තමයි හොඳම ආගම කියලා. ඉතිං මම ඇහැව්වා හොඳම ආගම ඒක නම් ඇයි හැමෝම ග්‍රීක ඕතඩොක්ස් පල්ලියට යන්නේ නැත්තේ කියලා. ඒකටත් මට හොඳ උත්තරයක් ලැබුණේ නැහැ.

අපේ ගුරුවරයා බයිබලයට ගොඩාක් ගරු කළ කෙනෙක්. ඒක ශුද්ධ පොතක් කියන කාරණය ඔහු නිතරම අපිට කාවැද්දුවා. අනාථ නිවාසයේ අධ්‍යක්ෂක තුමාටත් තිබුණේ එවැනිම අදහසක්. නමුත් යම් හේතුවක් නිසා ඔහු ආගමික මෙහෙයන්ට සහභාගි වුණේ නැහැ. මම දවසක් මේකට හේතුව විමසුවාම මට දැනගන්න ලැබුණා ඔහු කලක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කර තිබූ බව. ඒ වෙනකොට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගම ගැන මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.

තෙසලෝනිකයේ අනාථ නිවසේදී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ පුහුණුව ලබා අවසන් වෙද්දී මට වයස අවුරුදු 17යි. ඒ වෙනකොට දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙලා තිබුණා. ග්‍රීසිය තිබුණේ නාට්සි පාලනය යටතේයි. කන්න බොන්න නැතුව මිනිස්සු පාරවල් දිගේ මැරෙනවා මගේ ඇස්වලින්ම මම දැක්කා. මගේ පණ රැකගන්න මම නගරයෙන් ගමට පලා ගිහින් කුලී වැඩ කළා.

බයිබලයෙන් පිළිතුරු ලැබෙයි

මම 1945 අප්‍රියෙල් මාසයේදී තෙසලෝනිකයට නැවත ආවා. මාත් එක්ක අනාථ නිවාස කිහිපයකදීම සිටි මගේ යාළුවෙක්ගේ අක්කා එහිදී මාව හමු වෙන්න ආවා. ඇයගේ නම පාෂාලීයා. ඇගේ මල්ලී අතුරුදහන් වෙලා කියා ඇය මට කිව්වා. ඔහු ඉන්න තැන මම දන්නවාද කියාත් ඇය මගෙන් ඇහැව්වා. තමා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බවත් ඇය මට කිව්වා. ඒ විතරක් නෙවෙයි, දෙවි මිනිසුන්ට දක්වන සැලකිල්ල ගැනත් ඇය මා සමඟ කතා කළා.

මගේ සිතේ තිබුණු කලකිරීම නිසා මම ඇය කිව්ව දේවල් පිළිගත්තේම නැහැ. කුඩා කාලයේ ඉඳලාම මට දුක් විඳින්න දෙවි ඉඩහැරියේ ඇයි? මම අනාථයෙක් වුණේ ඇයි? අපිට දෙවිගේ පිහිට අවශ්‍ය වෙලාවේදී දෙවි හිටියේ කොහෙද? වගේ ප්‍රශ්න මම ඇගෙන් ඇහැව්වා. ඇය මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වා. “මේ තත්වයන්ට වග කියන්න ඕනේ දෙවි කියලා ඔයාට හොඳටම විශ්වාසද?” දෙවි මිනිසුන්ට දුක් වේදනා නොදෙන බව ඇය බයිබලයෙන් මට පැහැදිලි කළා. මැවුම්කරු මිනිසුන්ට ප්‍රේම කරන බවත් ළඟදීම ඔහු දේවල් යහපත් තත්වයකට පත් කරන්න යන බවත් ඇය මට පැවසුවා. ඉදිරියේදී වෛරය, ලෙඩ රෝග, යුද්ධ, මරණය වැනි දේවල් නොතිබෙන බවත් ඇදහිලිවන්ත මනුෂ්‍යයන් මේ පොළොව මත සදාකල් ජීවත් වෙන්න යන බවත් ඇය යෙසායා 35:5-7 සහ එළිදරව් 21:3, 4 වැනි බයිබල් පදවලින් මට පෙන්නුවා.

මට අත හිත දුන් පවුලක්

පාෂාලීයාගේ මල්ලී ගරිල්ලා සටනකදී මරණයට පත් වූ බව මට දැනගන්නට ලැබුණා. මම ඇයගේ පවුලේ අයව සනසන්න හිතාගෙන ඇගේ නිවසට ගියා. නමුත් සිදු වුණේ ඒකේ අනිත් පැත්ත. ඇගේ පවුලේ අය බයිබලයේ පද පෙන්වමින් මාව සැනසුවා. මම ආයෙත් දවසක් ඔවුන්ගේ නිවසට ගියා බයිබලයේ තිබෙන තවත් සැනසිලිදායක දේවල් ගැන දැනගන්න හිතාගෙන. ඉක්මණින් මමත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායමක සාමාජිකයෙක් වුණා. ඔවුන් බයිබලය අධ්‍යයනය කරන්නත් දෙවිට නමස්කාර කරන්නත් එකට එකතු වුණේ රහසිගතවයි. සාක්ෂිකරුවන්ව සමාජයෙන් කොන් කරලා තිබුණත් මම අධිෂ්ඨාන කරගත්තා ඔවුන්ව දිගටම ආශ්‍රය කරන්න.

මට පුංචි කාලයේ ඉඳලා අහිමි වෙලා තිබුණු ආදරය, සෙනෙහස ඒ යටහත් පහත් ක්‍රිස්තියානි කණ්ඩායමේ සිටි අයගෙන් මම ලැබුවා. මට දෙවි ගැන දැනගන්න අවශ්‍ය වූ හැම දෙයක්ම ඔවුන් මට කියා දුන්නා. මට තේරුණා ඔවුන් මං ගැන ඇත්තටම සැලකිල්ලක් දක්වනවා කියලා. ඔවුන් ඕනෑම වේලාවක මට උපකාර කරන්න, මාව සනසන්න කැමැත්තෙන් සිටි නිසා ඔවුන් ඇත්තටම හොඳ මිත්‍රයන් බව මට තේරුණා. (2 කොරින්ති 7:5-7) වැදගත්ම දෙය තමයි යෙහෝවා දෙවිට සමීප වෙන්න මට ලැබුණු උපකාරය. මම ඔහුව සැලකුවේ මගේ ප්‍රේමණීය ස්වර්ගීය දෙවි පියාණන් හැටියටයි. යෙහෝවා දෙවිගේ ප්‍රේමය, දයාව සහ ඉමහත් සැලකිල්ල වැනි ගුණාංගවලට මගේ සිත ඇදී ගියා. (ගීතාවලිය 23:1-6) අන්තිමට මට ප්‍රේමණීය පියෙකුත් ඔහුට නමස්කාර කරන දේවභක්තික පවුලකුත් ලැබුණා! මට ලොකු සතුටක්, තෘප්තියක් දැනුණා. යෙහෝවා දෙවිට ඉක්මනින්ම මගේ ජීවිතය කැප කරන්න මට ඕන වුණා. මම 1945 සැප්තැම්බර් මාසයේදී බව්තීස්ම වුණා.

ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමෙන් මගේ දැනුම වැඩි වුණා විතරක් නෙවෙයි, මගේ ඇදහිල්ලත් ශක්තිමත් වුණා. අපේ ගමේ ඉඳන් රැස්වීම් පැවැත්වූ ස්ථානයට කිලෝමීටර් හතක් විතර දුරක් අපිට යන්න සිදු වුණා. අපිට ගමනාගමන පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා අපි කිහිපදෙනෙක් එකතු වෙලා පයින් රැස්වීම්වලට ගියා. ඒ යන අතරතුරේදී අපි බයිබල් ඉගැන්වීම් ගැන කතා කළ දේවල් මට තවමත් මතකයි. එක්දහස් නවසිය හතළිස් පහේ අන්තිමට වගේ මට දැනගන්න ලැබුණා පූර්ණ කාලීන දේවසේවය ගැන. ඊට පස්සේ මම පූර්ණ කාලීන සේවයේ හවුල් වෙන්න තීරණය කළා. ඊට පස්සේ මට දරුණු පීඩා පරීක්ෂාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මගේ ඇදහිල්ල සහ දෙවිට තිබූ පක්ෂපාතකම ස්ථිරව තබාගැනීම සඳහා යෙහෝවා දෙවිත් එක්ක ශක්තිමත් සම්බන්ධයක් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වුණා.

විරුද්ධවාදීන්ගේ අසාර්ථක උත්සාහයන්

නිතරම වගේ අපි රැස්වීම් පැවැත්වූ ස්ථානය පොලීසිය වැටලුවා. ග්‍රීසියේ සිවිල් යුද්ධය පැවති නිසා රට හමුදා පාලනයට යටත් වෙලා තිබුණා. සතුරු කණ්ඩායම් අතර තිබුණේ පුදුම වෛරයක්. ඒ තත්වයෙන් අනිසි ප්‍රයෝජන ගත් පූජක පක්ෂය අපි කොමියුනිස්ට්වාදීන් බව බලධාරීන්ට අඟවා අපිට දරුණු ලෙස පීඩා කරන්න සැලැස්සුවා.

වසර දෙකක කාලයක් ඇතුළත අපිව අනන්ත වාරයක් අත්අඩංගුවට ගත්තා. හය වතාවක් අපිට මාස හතරක සිර දඬුවම් ලැබුණා. ඒ වන විටත් දේශපාලන සිරකරුවන්ගෙන් සිරගෙවල් පිරී තිබුණු නිසා අපිව නිදහස් කළා. බලාපොරොත්තු නොවූ ලෙස ලැබුණු එම නිදහසෙන් අපි උපරිම ප්‍රයෝජන ගනිමින් අපි දිගටම දේශනා කළා. නමුත් ටික කලකින් ආයෙත් අපිව අත්අඩංගුවට ගත්තා. සතියක් ඇතුළත අපිව තුන් වතාවක් අත්අඩංගුවට ගත්තා. අපගේ සහෝදරයන්ගෙන් බොහෝදෙනෙක්ව පාළු දූපත්වලට පිටුවහල් කර තිබූ බව අපට දැනගන්න ලැබුණා. ඒ වගේ පරීක්ෂාවන් විඳදරාගන්න මට පුළුවන් වෙයිද කියා මම සිතුවා.

හැම දවසකම පොලීසියේ පෙනී සිටීමට මට සිදු වුණා. ඒක මගේ සේවයට ලොකු බාධාවක් වුණා. මං ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න පොලිසියට උවමනා වූ නිසා ඔවුන් මාව තෙසලෝනිකයේ ඉවොස්මොස් ගමට යැව්වා. මම පොලීසියට කිට්ටුවෙන් කාමරයක් කුලියට ගත්තා. මගේ වියහියදම් පිරිමසාගන්න ඕන නිසා මම ගෙවල්වලට ගිහිල්ලා ඔවුන්ගේ තඹ භාජන ඔපමට්ටම් කරලා දුන්නා. ඒ වගේ කරද්දී මට පුළුවන් වුණා පොලීසියට සැක නොසිතෙන විදිහට අවට ගම්වල දේශනා කරන්න. මේ නිසා බොහෝදෙනෙකුට ශුභාරංචියට සවන් දෙන්නටත් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නටත් අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් දහදෙනෙකුට වඩා වැඩි පිරිසක් යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තා.

වසර දහයක් ඇතුළත සිරගෙවල් අටක

එක්දහස් නවසිය හතළිස් නවය අවුරුද්ද අවසන් වන තුරුත් පොලිසිය මං ගැන සෝදිසියෙන් හිටියේ. ඊට පස්සේ මම තෙසලෝනිකයට ගියේ පූර්ණ කාලීන සේවය කිරීමේ ලොකු බලාපොරොත්තුවක් ඇතුවයි. මගේ පීඩා දැන් ඉවරයි කියලා මම හරියට සතුටු වුණා. ඒත් හදිස්සියේම වගේ 1950දී හමුදාවට බැඳෙන්න කියා මට නියෝගයක් ලැබුණා. ක්‍රිස්තියානියෙකු යුද්ධයේදී පැතිගැනීම සුදුසු නැති බව මම දැනගෙන හිටිය නිසා ‘යුද්ධ පුහුණුව’ ලබන්නේ නැහැ කියා මම අධිෂ්ඨාන කරගත්තා. (යෙසායා 2:4) මේ නිසා මට කාලයක් ග්‍රීසියේ තිබෙන දරුණුම සිරගෙවල්වල දැඩි පීඩා විඳින්න සිදු වුණා.

මේ ලිපියේ මුලින් සඳහන් වන සිද්ධිය සිදු වුණේ ඩ්‍රාමා කියන නගරයේදීයි. මම එහි සිර අඩස්සියේ සිටි මුල් සති කිහිපය තුළ අලුත බඳවාගනු ලැබූ සොල්දාදුවන්ට ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුවක් ලැබුණා. දිනක් ඔවුන් පුහුණුව ලබන තැනට මාව ගෙන ගියා. නිලධාරීන්ගෙන් කෙනෙක් මගේ ඉස්සරහා තුවක්කුවක් තබමින් ඉලක්කයට වෙඩි තියන්න මට අණ කළා. මම බැහැ කියලා කිව්වාම ඔහු මට වෙඩි තියන්න පටන්ගත්තා. මම ඔහුගේ ඉල්ලීමට එකඟ නොවූ බව අනිකුත් නිලධාරීන් දුටුවාම එයාලා මට අත මිට මොළවලා පහර දුන්නා. ඔවුන් සිගරට් පත්තු කරලා ඒවා මගේ අල්ලට තද කරලා නිව්වා. ඊට පස්සේ ඔවුන් මාව සිර කුටියක තනියම සිර කර තැබුවා. මම දවස් තුනක්ම මේ වද හිංසා වින්දා. සිගරට්වලට පිච්චිච්ච මගේ අත් දෙක ගොඩාක් රිදුනා. ඒ පිච්චිච්ච කැළැල් වසර ගණනාවක් යන තුරුත් මැකුණේ නැහැ.

මම හමුදා උසාවියක පෙනී සිටින්නට කලින් මාව ක්‍රීට්වල ඉරාක්ලීයන් නගරයේ හමුදා කඳවුරට මාරු කළා. එහිදී දෙවිට තිබූ මගේ පක්ෂපාතකම බිඳ දැමීමේ උත්සාහයෙන් ඔවුන් මට හොඳටම තැළුවා. මගේ පක්ෂපාතකම බිඳෙයි කියලා මට බය හිතුණා. නමුත් මට ශක්තිය දෙන්න කියා මගේ ස්වර්ගීය පියාණන්ගෙන් මම කන්නලව් කරලා ඉල්ලුවා. යෙරෙමියා 1:19හි වචන මට මතක් වුණා. “ඔවුහු ඔබට විරුද්ධව සටන් කරන්නෝය; එහෙත් ජය නොගන්නෝය; මක්නිසාද ඔබ ගලවන්ට මම ඔබ සමඟ සිටිමියි යෙහෝවා කියන්නේය.” ‘දෙවිගේ සමාදානයෙන්’ ලැබෙන සැනසිල්ලෙන් මගේ සිතට සන්සුන් බවක් දැනුණා. සියල්ලේදී යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම කොතරම් ප්‍රඥාවන්ත දෙයක්ද කියා ඒ අද්දැකීම මට කියා දුන්නා.—ෆිලිප්පි 4:6, 7; හිතෝපදේශ 3:5.

ඊට පස්සේ නඩු විභාගයේදී මට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සලකනු ලැබුවේ “ආණ්ඩුවේ දරුණුතම සතුරන්” හැටියටයි. මම මුලින්ම සිටියේ කාන්යා නගරයට පිටින් පිහිටි ඊට්සීඩයින් අපරාධ කඳවුරේ. පැරණි මාලිගාවක් තමයි සිර කඳවුරක් හැටියට පාවිච්චි කළේ. මම හිටිය කුටියේ මීයෝ හරියට හිටියා. මීයන්ගෙන් බේරෙන්න මම මගේ මුළු ඇඟම පරණ රෙද්දකින් ඔතාගත්තා. ඒ කාලයේදී මට නියුමෝනියාව හැදිලා මම හුඟාක් අසනීප වුණා. දොස්තර කිව්වා මාව එළිමහනේ තියන්න කියලා. මේ නිසා සිර ගෙදර මිදුලේ හිටපු සිරකරුවන් බොහෝදෙනෙක් එක්ක ශුභාරංචිය ගැන කතා කරන්න මට හැකි වුණා. නමුත් මගේ අසනීප තත්වය උග්‍ර වුණා. මගේ පෙණහැල්ලෙන් විශාල ලේ ගැලීමක් සිදු වුණාට පස්සේ මාව ඉරාක්ලීයන් ආරෝග්‍ය ශාලාවට ගෙන යනු ලැබුවා.

මගේ ක්‍රිස්තියානි පවුල නැවත වරක් මට උපකාරය අවශ්‍ය වෙලාවේ මට උපකාර කරන්න ආවා. (කොලොස්සි 4:11) ඉරාක්ලීයන්වල සිට සහෝදරයන් නිතරම මාව බලන්න ආවා. ඔවුන් මාව සනසා දිරිගැන්නුවා. උනන්දුව දක්වන අයට දේශනා කිරීම සඳහා මට පොත් පත් අවශ්‍ය බව මම ඔවුන්ට පැවසුවා. ඔවුන් මට සූට්කේස් එකක් ගෙනත් දුන්නා. ඒකේ පොත් පත් සඟවා තැබිය හැකි රහස් සාක්කුවක් තිබුණා. මම සිරගත වෙලා හිටපු ඒ කාලය තුළ අඩුම තරමින් සිරකරුවන් හයදෙනෙක්වත් සත්‍යය පිළිගත්තා. ඒක මට ලොකු සතුටක් වුණා.

ඒ අතරතුරේදී සිවිල් යුද්ධය අවසන් වෙලා තිබුණා. මගේ සිර දඬුවම වසර දහය දක්වා අඩු කළා. ඒ කාලය තුළ රිතීම්නෝ, ජෙන්ටී කූලේ සහ කැසැන්ඩ්‍රාවල පිහිටි සිරගෙවල්වල මම හිටියා. වසර දහයක පමණ කාලයක් ඇතුළත සිරගෙවල් අටක සිටීමෙන් පසුව අන්තිමේදී මට නිදහස ලැබුණා. ඊට පස්සේ මම තෙසලෝනිකයට ආවා. එහිදී මගේ ප්‍රේමණීය ක්‍රිස්තියානි සහෝදරයන් මාව ගොඩාක් ආදරයෙන් පිළිගත්තා.

ක්‍රිස්තියානි සහෝදරත්වය නිසා තවත් ශක්තිමත් වී

මේ වන විට ග්‍රීසියේ සිටි සාක්ෂිකරුවන්ට තමන්ගේ ආගම ඇදහීමට යම් ප්‍රමාණයක නිදහස තිබුණා. මම වහාම පූර්ණ කාලීන සේවයේ නිරත වෙන්න පටන්ගත්තා. ඉක්මනින්ම මට තවත් ආශීර්වාදයක් ලැබුණා. ඒ තමයි කාටීනා නමැති ඇදහිලිවන්ත ක්‍රිස්තියානි සහෝදරියක්ව දැන හඳුනාගැනීමට ලැබීම. ඇය යෙහෝවා දෙවිට ගොඩාක් ප්‍රේම කළ කෙනෙක්. ඒ වගේම ඇය දේශනා සේවයේ ක්‍රියාශීලීව සහභාගී වූ කෙනෙක්. අපි 1959 ඔක්තෝබර් මාසයේදී විවාහ වුණා. මගේ දියණිය වන අගාපේගේ උපතත්, මගේම කියා පවුලක් මට ලැබීමත් නිසා මම අනාථයෙක් වශයෙන් වින්ද දුක තවත් තුනී වුණා. අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන් වන යෙහෝවා දෙවිගේ රැකවරණය යටතේ ඔහුට සේවය කරන්න ලැබීමෙන් අපි පවුලක් වශයෙන් ලොකු තෘප්තියක් ලැබුවා.—ගීතාවලිය 5:11.

අපිට ඇති වූ ආර්ථික ප්‍රශ්න නිසා මට සිදු වුණා මගේ පුරෝගාමි සේවය නතර කරන්න. නමුත් මගේ භාර්යාවට දිගටම ඒ සේවය කරන්න අවශ්‍ය සහයෝගය මම ඇයට ලබා දුන්නා. එක්දහස් නවසිය හැට නවයේදී ජර්මනියේ නියූරම්බර්ග්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වූවා. මෙය මගේ ක්‍රිස්තියානි ජීවිතයේ විශේෂ අවස්ථාවක්. මම ඒ ගමනට සූදානම් වෙද්දී ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ඉල්ලුම් කළා. මාස දෙකක් ගත වෙලත් ගමන් බලපත්‍රයක් මට ලැබුණේ නැහැ. ඉතින් ඒ ප්‍රමාදයට හේතුව දැනගන්න මගේ බිරිඳ පොලිස් ස්ථානයට ගියා. පොලිස් නිලධාරියෙක් ලාච්චුවකින් ලිපි ගොනුවක් අරගෙන එයාට පෙන්නලා ඇහැව්වා ‘මේ පුද්ගලයාටද ඔයා ගමන් බලපත්‍රයක් ඉල්ලන්නේ?’ කියලා ‘ඔහුට ගමන් බලපත්‍රයක් ලැබුණොත් ඔහු ජර්මනියටත් ගිහිල්ලා දේශනා කරන්න පටන්ගනියි. එයාට නම් අපි ගමන් බලපත්‍රයක් නිකුත් කරන්නේ නැහැ. එයා හරිම භයානක පුද්ගලයෙක්!’

කොහොම වුණත් යෙහෝවා දෙවිගේ සහ සහෝදරයන්ගේ උපකාරය ඇතුව ඒ සමුළුවට යන කණ්ඩායමක පොදු ගමන් බලපත්‍රයකට මගේ නමත් ඇතුළත් කර මට ඒ සමුළුවට යන්න පුළුවන් වුණා. එම සමුළුවට 1,50,000දෙනෙක් පැමිණ සිටියා. මට ඒ අවස්ථාවේදී පැහැදිලිව පෙනී ගිය දෙයක් තමයි, දෙවිට පක්ෂපාත මේ ජාත්‍යන්තර පවුලට යෙහෝවාගේ මඟ පෙන්වීම තිබුණු බව සහ ඔහු ඔවුන් අතර එක්සත්කමක් ඇති කරමින් සිටි බව. දෙවිට පක්ෂපාත මෙම ක්‍රිස්තියානි සහෝදරයන්ගේ වටිනාකම පසු කාලයකදී මට තවත් වැටහුණා.

මගේ විශ්වාසවන්ත මිතුරිය වූ මගේ ආදරණීය බිරිඳ 1977දී මිය ගියා. අපේ දුවව බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ඇති දැඩි කරන්න මම උපරිම උත්සාහයක් දැරුවා. මට ඒක තනියෙන් කරන්න සිදු වුණේ නැහැ. නැවතත් මගේ ක්‍රිස්තියානි පවුල මට උපකාර කළා. ඒ අමාරු කාලයේදී සහෝදරයන් මට කළ උදව්, උපකාර මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔවුන්ගෙන් සමහර අය මගේ ගෙදර නතර වී මගේ දුවව බලාගන්නත් ඉදිරිපත් වුණා. ඔවුන් කළ ඒ කැප කිරීම් මම අද වන තුරුත් අගය කරනවා.—යොහන් 13:34, 35.

දැන් අගාපේ විවාහ වෙලා. ඇගේ පුරුෂයාගේ නම ඉලායස්. ඔවුන්ට පුතාලා හතරදෙනෙක් ඉන්නවා. ඒ හතරදෙනාම සත්‍යයේ. මට පහුගිය අවුරුදු කිහිපය ඇතුළත අංශභාගෙට වගේ ආවා. ඒ නිසා දැන් මගේ සෞඛ්‍ය තත්වය සෑහෙන්න දුර්වල වෙලා. මගේ දුවත් ඇගේ පවුලේ අයත් මාව හොඳින් බලාගන්නවා. මගේ සෞඛ්‍ය තත්වය දුර්වල වුණත් ප්‍රීති වෙන්න මට හේතු ගොඩාක් තියෙනවා. මට මතකයි ඒ කාලේ තෙසලෝනික නගරයේ හිටියේ සහෝදරයන් සියදෙනෙක් විතරයි. ඔවුන් පෞද්ගලික නිවෙස්වල රහසිගතව රැස්වීම් පැවැත්වූවා. දැන් එහේ දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන සාක්ෂිකරුවන් පන්දහසකට වඩා ඉන්නවා. (යෙසායා 60:22) සමුළුවලදී තරුණ සහෝදරයන් මගේ ළඟට ඇවිත් අහනවා “ඔයා අපේ ගෙදරට සඟරා ගෙනාවා මතකද?” කියලා. සමහරවිට මේ අයගේ දෙමව්පියන් සඟරා කියවන්න නැතුව ඇති. ඒත් ඒගොල්ලන්ගේ ළමයි සඟරා කියවලා දැන් හොඳ දේවභක්තික පුද්ගලයන් හැටියට ජීවත් වෙනවා.

යෙහෝවා දෙවිගේ සංවිධානය එන්න එන්න වර්ධනය වෙනවා දකිද්දී මට හිතෙනවා මම වින්ද හැම දුකක්ම වටිනවා කියලා. මම නිතරම මගේ මුනුබුරන්ටත් අනිකුත් තරුණ ළමයින්ටත් කියන්නේ ඔවුන්ගේ යෞවන කාලය දෙවි වෙනුවෙන් කැප කරන්න කියලා. ඔවුන් එහෙම කරනවා නම් දෙවි කවදාවත් ඔවුන්ව අත්හරින්නේ නැහැ. (දේශනාකාරයා 12:1, 2ආ) බයිබලයේ කියන විදිහට යෙහෝවා දෙවි “පියා නැත්තාට පියෙක්” වන බව මට ඔප්පු කළා. (ගීතාවලිය 68:5) මම පුංචි කාලයේදී අනාථයෙක් වුණත් මට ආදරය කරන මං ගැන සලකන පියෙක් මට දැන් හමු වෙලා තියෙනවා!

[22වන පිටුවේ පින්තූරය]

මම ඩ්‍රාමා සිර කඳවුරේ කෝකියෙක් හැටියට වැඩ කළා

[23වන පිටුවේ පින්තූරය]

කාටීනා සමඟ මම විවාහ වූ දිනය, 1959දී

[23වන පිටුවේ පින්තූරය]

තෙසලෝනිකය අසල පිහිටි කැලෑවක 1960 ගණන්වල අවසාන භාගයේ පැවැත්වූ සමුළුවක්

[24වන පිටුවේ පින්තූරය]

අපේ දුව සමඟ 1967දී