Skip to content

පටුනට යන්න

අපගේ දරු දැරියෝ අගනා උරුමයක්!

අපගේ දරු දැරියෝ අගනා උරුමයක්!

අපගේ දරු දැරියෝ අගනා උරුමයක්!

“බලව, දරුවෝ යෙහෝවා දෙන උරුමයකි; කුසේ පලයද ඔහුගෙන් ලැබෙන විපාකයකි.”—ගීතාවලිය 127:3.

1. මුල්ම දරුවා ලෝකයට බිහි වුණේ කෙසේද?

යෙහෝවා දෙවි මුල් මිනිසාව සහ ස්ත්‍රියව මැව්වේ ඔවුන්ට පුදුමාකාර හැකියාවක් ලබා දෙමිනුයි. එනම් ඒ දෙදෙනාගේ එකතු වීමෙන් සිදු වූ දරුවෙකුගේ උපතයි. ඒ දරුවා තමයි ලෝකයට බිහි වූ මුල්ම දරුවා. (උත්පත්ති 4:1) අද වුණත් දරුවෙකු පිළිසිඳගැනීම සහ දරුවෙකුගේ උපත සලකනු ලබන්නේ ආශ්චර්යයක් හැටියටයි.

2. මවකගේ ගර්භාශය තුළ සිදු වන දෙය ආශ්චර්යයක් කියා ඔබ පවසන්නේ ඇයි?

2 පියා සහ මවගේ එකතු වීමෙන් සෑදෙන මුල්ම සෛලය මවගේ ගර්භාශය තුළ වැඩීමට පටන්ගන්නා අතර දින 270කින් සෛල ප්‍රකෝටි ගණනාවකින් සෑදුණු දරුවෙක් බිහි වෙයි. මෙම මුල්ම සෛලයේ විවිධ සෛල වර්ග 200කට වඩා වැඩියෙන් නිපදවන්න අවශ්‍ය තොරතුරු ගබඩා කර තිබෙනවා. ඇත්තෙන්ම ඒ තොරතුරු කිසිම මිනිසෙකුට තේරුම්ගන්න අමාරුයි. එම පුදුමාකාර තොරතුරුවලට අනුව ඉතාමත්ම සංකීර්ණ වූ මෙම සෛල පිළිවෙළට බිහි වී දරුවෙක් සෑදෙයි.

3. දරුවෙකුගේ උපත දක්වා සිදු වන ආශ්චර්යවත් ක්‍රියාවලිය සිදු කරන්නේ දෙවි බව, ගැඹුරින් කල්පනා කරන බොහෝදෙනෙක් පිළිගන්නේ ඇයි?

3 ඇත්තෙන්ම දරුවෙකුගේ නිර්මාතෘවරයා කවුද? ජීවය ඇති කළ තැනැත්තායි. බයිබලයේ ගීතිකාකරු මෙසේ පවසා තිබෙනවා. “යෙහෝවා දෙවියයි දැනගන්න; ඔහු අප මැවුවේය.” (ගීතාවලිය 100:3) දෙමාපියෙනි, මෙවන් හුරතල් සිඟිත්තෙක් ඔබට ලැබුණේ ඔබේ විශේෂ දක්ෂකමක් නිසා නොවන බව ඔබ හොඳ හැටි දන්නවා. දරුවෙකු පිළිසිඳගැනීමේ සිට උපත දක්වා සිදු වන ආශ්චර්යවත් ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රශංසාව හිමි විය යුත්තේ ප්‍රඥා පූර්ණ දෙවි කෙනෙකුටයි. ගැඹුරින් කල්පනා කරන මිනිස්සු වසර දහස් ගණනක් පුරා ඒ ආශ්චර්යය වෙනුවෙන් උදාර මැවුම්කරුට ප්‍රශංසා කර තිබෙනවා. ඔබත් එසේ කරනවාද?—ගීතාවලිය 139:13-16.

4. මිනිසාට ඇති අඩු පාඩුව කුමක්ද?

4 මවකට සහ පියෙකුට දරුවන් උත්පාදනය කිරීමේ හැකියාව ලබා දුන් යෙහෝවා දෙවි කිසිම හැඟීමක් දැනීමක් නැති මැවුම්කරුවෙක් කියා පැවසිය හැකිද? සමහර මනුෂ්‍යයන්ට හැඟීම් දැනීම් නොමැති බව ඇත්තයි. නමුත් යෙහෝවා දෙවි එසේ නොවෙයි! (ගීතාවලිය 78:38-40) බයිබලයේ ගීතාවලිය 127:3හි පවසන දෙය සලකා බලන්න. “බලව, දරුවෝ යෙහෝවා දෙන උරුමයකි; කුසේ පලයද ඔහුගෙන් ලැබෙන විපාකයකි [හෙවත් ආශීර්වාදයකි].” අපි දැන් උරුමයක් යනු කුමක්ද කියාත් උරුමයක් දීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියාත් සලකා බලමු.

උරුමයක් හා ආශීර්වාදයක්

5. දරුවන් උරුමයක් කියා කිව හැක්කේ මන්ද?

5 උරුමයක් තෑග්ගක් හැටියටත් සලකන්න පුළුවන්. බොහෝවිට දෙමාපියන් දීර්ඝ කාලයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරනවා තම දරුවන්ට උරුමයක් ලබා දීම සඳහා. මේ උරුමය මුදල්, දේපොළ වස්තු හෝ සමහරවිට යම් වටිනා භාණ්ඩයක් විය හැකියි. ඒ උරුමය කුමක් වුවත් එය දෙමව්පියන් දරුවන්ට දක්වන ප්‍රේමයට සාක්ෂියක්. දෙවි දෙමාපියන්ට ලබා දී තිබෙන උරුමය ඔවුන්ගේ දරුවන් බව බයිබලය පවසනවා. ඇත්තෙන්ම දරුවන් දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ගක්. ඔබ මවක් හෝ පියෙක් වශයෙන් ඔබ ඔබේ දරුවන්ව සලකන්නේ විශ්වයේ මැවුම්කරු ප්‍රේමණීය ලෙස ඔබට භාර දුන් තෑග්ගක් හැටියටද? ඒ බව ඔබේ ක්‍රියාවලින් පැහැදිලි වෙනවාද?

6. දෙවි මනුෂ්‍යයන්ට දරුවන් බිහි කිරීමේ හැකියාව ලබා දුන්නේ කිනම් අරමුණක් ඇතුවද?

6 යෙහෝවා දෙවි මෙම තෑග්ග ලබා දුන්නේ ආදම් සහ ඒවගේ පැවතෙන්නන්ගෙන් පොළොව පිරවීමටයි. (උත්පත්ති 1:27, 28; යෙසායා 45:18) දෙවි මිලියන සංඛ්‍යාත දේවදූතයන්ව මැව්වා. නමුත් සෑම මනුෂ්‍යයෙකුවම මැව්වේ නැහැ. (ගීතාවලිය 104:4; එළිදරව් 4:11) ඒ වෙනුවට දෙවි තීරණය කළා ස්ත්‍රියක් හා පුරුෂයෙක් මවා ඔවුන්ට දරුවන් බිහි කිරීමේ හැකියාව ලබා දීමට. මෙම දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන්ගේ ගතිලක්ෂණ උරුම වුණා. මෙලෙස දරුවෙකු බිහි කර රැකබලා ගැනීම දෙමාපියන්ට ලැබී තිබෙන මොන තරම් මවිතකර වරප්‍රසාදයක්ද! දෙමාපියෙනි, යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන මෙම අනර්ඝ උරුමය වෙනුවෙන් ඔබ ඔහුට ස්තුති කරනවාද?

යේසුස්ගෙන් ඉගෙනගනිමු

7. සමහර දෙමාපියන්ගේ ක්‍රියාකලාපයන් එක්ක සසඳා බලද්දී යේසුස් “මනුෂ්‍ය පුත්‍රයන්” ගැන උනන්දු වුණේ සහ ඔවුන්ට දයාව කරුණාව පෙන්නුවේ කොහොමද?

7 කනගාටුවට කාරණයක් වන්නේ බොහෝ දෙමාපියෝ තමන්ගේ දරු දැරියන්ව ආශීර්වාදයක් හැටියට නොසැලකීමයි. බොහෝදෙනෙක් තම දරුවන්ට කරුණාවෙන් දයාවෙන් සලකන්නේ නැහැ. එවැනි අයට යෙහෝවාගේ හෝ ඔහුගේ පුත්‍රයා වන යේසුස්ගේ හෝ ආකල්පය නැහැ. (ගීතාවලිය 27:10; යෙසායා 49:15) ඒත් යේසුස් කුඩා දරුවන්ට සැලකූ ආකාරය ගැන සිතා බලන්න. යේසුස් මිනිසෙකු හැටියට මේ පොළොවට එන්න කලින් ඔහු ස්වර්ගයේ ඉතාමත්ම බලවත් දේවදූතයෙකුව සිටියා. ඒ කාලයේ වුණත් ඔහුගේ “සතුට මනුෂ්‍ය පුත්‍රයන් සමඟ” වූ බව බයිබලයේ සඳහන් වෙයි. (හිතෝපදේශ 8:31) ඔහු මනුෂ්‍යයන්ට කොතරම් ප්‍රේම කළාද කිවහොත් අප සදාකාල ජීවනය ලබන පිණිස ඔහු කැමැත්තෙන්ම තම ජීවිතය පූජා කළා.—මතෙව් 20:28; යොහන් 10:18.

8. යේසුස් දෙමාපියන්ට හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද?

8 යේසුස් මේ පොළොවේ විසූ කාලයේදී ඔහු දෙමාපියන්ට ඉතා හොඳ ආදර්ශයක් තැබුවා. ඔහු කුමක්ද කළේ? ඔහු වැඩ බහුලව සිටියත් මානසික පීඩනය යටතේ සිටියත් දරුවන් එක්ක කාලය ගත කළා. වෙළඳපොළේදී ඔවුන් සෙල්ලම් කරනවා බලා සිටි ඔහු, ඔවුන් කළ සමහර දේවල් ඔහුගේ ඉගැන්වීම්වලදී උදාහරණ හැටියට පාවිච්චි කළා. (මතෙව් 11:16, 17) යේසුස් අවසාන වරට යෙරුසලමට යන විට ඔහු දැනගෙන හිටියා තමාට පීඩාවලට හා මරණයට මුහුණ දීමට සිදු වන බව. එම නිසා මිනිස්සු තමන්ගේ දරුවන්ව යේසුස් ළඟට ගෙනා විට ඔහුගේ ගෝලයන් ඔවුන්ව හරවා යැව්වා. ඔවුන් එසේ කරන්නට ඇත්තේ යේසුස් ඒ වන විටත් මානසික පීඩනයෙන් හිටපු නිසා විය හැකියි. නමුත් යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ එසේ නොකරන්න කියායි. ඔහුගේ “සතුට මනුෂ්‍ය පුත්‍රයන් සමඟ” වූ බව ඒ අවස්ථාවේදීත් ඔප්පු කළ යේසුස් “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න” කියා ගෝලයන්ට පැවසුවා.—මාක් 10:13, 14.

9. අප කියන දේට වඩා අප කරන දේ ඉතා වැදගත් වන්නේ ඇයි?

9 අපට පුළුවන් යේසුස්ගේ ආදර්ශයෙන් යමක් ඉගෙනගන්න. කුඩා දරුවන් අප ළඟට එන විට, විශේෂයෙන් වැඩ ගොඩගැහිලා තිබෙන විටක අප කොහොමද ක්‍රියා කරන්නේ? යේසුස් ක්‍රියා කළ ආකාරයටද? යේසුස් දරුවන් සමඟ කාලය ගත කළා. ඔවුන්ට අවධානය දුන්නා. දරුවන්ට තම දෙමාපියන්ගෙන් විශේෂයෙන් අවශ්‍ය වන්නේද එයමයි. “මම පුතාට ආදරෙයි” හෝ “මම දුවට ආදරෙයි” යයි පැවසීම වැදගත් බව ඇත්තයි. ඒත් වචනවලට වඩා ක්‍රියාවෙන් එය පෙන්වීම ඊටත් වඩා වැදගත්. ඔබ කියන දෙයට වඩා ඔබ කරන දෙයින් ඔබේ ප්‍රේමය දරුවාට දැනෙයි. ඒ ප්‍රේමය දරුවාට දැනෙන්නේ ඔබ දරුවා සමඟ ගත කරන කාලයෙන්, දරුවාට අවධානය යොමු කිරීමෙන් සහ දරුවාට දක්වන සැලකිල්ලෙන්. ඒ සියල්ල කළත් සමහරවිට ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. එසේ නැත්නම් ඔබ බලාපොරොත්තු වන තරම් ඉක්මනින් එම ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. මෙහිදී ඔබ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. යේසුස් තම ගෝලයන් සමඟ කටයුතු කළ ආකාරය අප අනුකරණය කළොත් අපට පුළුවන් ඉවසිලිවන්තකම ඉගෙනගන්න.

යේසුස් පෙන්වූ ඉවසිලිවන්තකම හා ප්‍රේමය

10. යේසුස් යටහත් පහත්කම ගැන තම ගෝලයන්ට කියා දුන්නේ කෙසේද? ඉන් ඉක්මන් ප්‍රතිඵල ලැබුණාද?

10 යේසුස්ගේ ගෝලයන්ට ප්‍රසිද්ධ වීමට නැතහොත් අන්‍යයන් අතරේ කැපී පෙනෙන පුද්ගලයන් වීමට ආශාවක් තිබුණා. මේ ගැන ඔවුන් නිතර නිතර වාද කළ බව යේසුස් දැනගෙන සිටියා. දවසක් යේසුස් තම ගෝලයන් සමඟ කපර්ණවුමට පැමිණියායින් පසුව “‘ඔබ මඟදී වාද කළේ කුමක් ගැනද?’ යයි ඔවුන්ගෙන් ඇසීය. ඔවුහු නිශ්ශබ්දව සිටියහ. මන්ද, වඩා උතුම් කවුද කියා ඔවුහු මඟදී ඔවුනොවුන් සමඟ වාද කරගෙන තිබුණෝය.” යේසුස් ඔවුන්ට බැණ වැදුණේ නැහැ. නමුත් යේසුස් ආදර්ශ පාඩමකින් ඔවුන්ට යටහත් පහත්කම ගැන ඉවසිලිවන්තව ඉගැන්නුවා. (මාක් 9:33-37) යේසුස් බලාපොරොත්තු වූ දේ ඉන් ඉටු වුණාද? ඔහු බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් එය ඉටු වුණේ නැහැ. මන්ද යේසුස් එම ආදර්ශ පාඩම කියා දී මාස හයක් ගියේ නැහැ යොහන් සහ යාකොබ් දේවරාජ්‍යයේ උසස් තනතුරු තමන්ට ලබා දෙන ලෙස ඔවුන්ගේ මවගේ මාර්ගයෙන් යේසුස්ගෙන් ඉල්ලා සිටියා. නැවතත් යේසුස් ඉවසිලිවන්තව ඔවුන් කල්පනා කළ ආකාරය නිවැරදි කළා.—මතෙව් 20:20-28.

11. (අ) යේසුස් සමඟ උඩුමහල් කාමරයට පැමිණි ගෝලයෝ කුමන චාරිත්‍රය කිරීමටද අසමත් වුණේ? (ආ) යේසුස් කුමක්ද කළේ? ඔහුගේ වෑයම එවෙලේම සාර්ථක වුණාද?

11 ඉහත සිද්ධිය සිදු වී වැඩි කාලයක් ගත වෙලා නැහැ. යේසුස් තම ගෝලයන් දොළොස්දෙනා සමඟ ක්‍රිස්තු වර්ෂ 33 පාස්කුව සැමරීම සඳහා උඩුමහල් කාමරයක හමු වුණා. ඔවුන් එදා එම කාමරයට පැමිණියාම අන් අයගේ පාද සේදීමට එක් කෙනෙක්වත් ඉදිරිපත් වුණේ නැහැ. දූවිලි වැදී තිබූ පාද සේදීම එදා තිබූ චාරිත්‍රයක්. මෙය නිවසේ සිටින මෙහෙකරුවා හෝ මෙහෙකාරිය විසින් කරනු ලබන පහත් සේවයක් ලෙසටයි සලකනු ලැබුවේ. (1 සාමුවෙල් 25:41; 1 තිමෝති 5:10) තම ගෝලයන් දිගින් දිගටම තනතුරු පස්සේ එළවනවා දැකීමෙන් යේසුස් කොතරම් දුක් වන්නට ඇද්ද! ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන් එක් එක් කෙනාගේ පාද සෝදා අන් අයට සේවය කිරීම සම්බන්ධයෙන් ඔහු තැබූ ආදර්ශය අනුකරණය කරන්න කියා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. (යොහන් 13:4-17) ඔවුන් එසේ කළාද? එදා සවසම සිදු වූ දෙයක් ගැන බයිබලය මෙසේ වාර්තා කරනවා. “ඔවුන් අතරින් උතුම්ම තැනැත්තා ලෙස සලකනු ලබන්නේ කාවදැයි ඔවුන් අතර උණුසුම් විවාදයක්ද හටගත්තේය.”—ලූක් 22:24.

12. තම දරුවන්ව පුහුණු කිරීමේදී දෙමාපියන්ට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

12 දෙමාපියෙනි, ඔබේ දරුවන් ඔබට ඇහුම්කන් නොදෙන විට යේසුස් ගැන කල්පනා කරන්න. ගෝලයන් ඔහුට දුක් දුන් විට ඔහු ක්‍රියා කළේ කොහොමද? ඔවුන්ගේ අඩුලුහුඬුකම් හරිගැස්සවීමට ඉක්මන් වුණේ නැතත් යේසුස් බලාපොරොත්තු අත්හැරියේ නැති බව සැලකිල්ලට ගන්න. ඔහු ඉවසිලිවන්තව කටයුතු කළ නිසා අවසානයේදී සාර්ථක ප්‍රතිඵල ලැබුණා. (1 යොහන් 3:14, 18) දෙමාපියෙනි, ඔබත් යේසුස්ගේ ප්‍රේමය හා ඉවසිලිවන්තකම අනුකරණය කළ යුතුයි. ඔබේ දරුවන්ව පුහුණු කිරීමේදී උත්සාහය අත්හරින්න එපා.

13. දරුවෙක් ප්‍රශ්න අහන විට දෙමාපියෙක් බැණවැදීමෙන් වැළකිය යුත්තේ ඇයි?

13 තම දෙමාපියන් තමන්ට ආදරේ කරන බවත් තමන් ගැන උනන්දුවක් දක්වන බවත් දරු දැරියන්ට දැනෙන්න අවශ්‍යයි. යේසුස්ට අවශ්‍ය වුණා තම ගෝලයන්ගේ මනසේ තිබුණේ මොනවද කියලා දැනගන්න. එම නිසා ඔවුන් ප්‍රශ්න අහද්දී ඔහු ඔවුන්ට හොඳින් ඇහුම්කන් දුන්නා. සමහර දේවල් ගැන ඔවුන්ට හැඟුණේ කොහොමද කියා ඔහු ඔවුන්ගෙන් විමසුවා. (මතෙව් 17:25-27) හොඳ ගුරුවරයෙක් වීමට නම් හොඳින් සවන් දීම සහ අව්‍යාජ උනන්දුවක් දැක්වීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දරුවෙක් ප්‍රශ්න අහද්දී “යන්න යන්න. ඔයාට පේන්නේ නැද්ද මම වැඩක් කියලා?” යයි බැණවැදීමෙන් දෙමාපියෙක් වැළකිය යුතුයි. ඔහු හෝ ඇය ඇත්තටම ඒ අවස්ථාවේදී වැඩ බහුලව සිටී නම් දරුවාගේ ප්‍රශ්නයට පසු වෙලාවකදී පිළිතුරු සපයන බව දරුවාට පැවසිය යුතුයි. ඒ වගේම පසු වෙලාවකදී එය කරන්න අමතක නොකළ යුතුයි. දෙමාපියන් මෙසේ කරනවා නම්, තමා ගැන සැබෑ උනන්දුවක් දෙමාපියන්ට තිබෙන බව දරුවාට හැඟෙන අතර තමාගේ සිතේ තිබෙන දේවල් කිසිම බයක් සැකක් නැතුව දෙමාපියන්ට හෙළි කිරීමට ඔහු පෙලඹේවි.

14. තම දරු දැරියන්ට ආදරය සෙනෙහස පෙන්වීම සම්බන්ධයෙන් දෙමාපියන්ට යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

14 දෙමාපියන් තම දරුවන්ට ආදරය සෙනෙහස පෙන්වන්නේ කොහොමද? නැවතත් දෙමාපියන්ට පුළුවන් යේසුස්ගෙන් ඉගෙනගන්න. යේසුස් “දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබමින් ඔවුන්ට ආශීර්වාද” කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 10:16) ඔබ හිතන හැටියට ඒ කුඩා දරුවන්ට කොහොම හැඟෙන්න ඇද්ද? ඔවුන්ට අනිවාර්යයෙන්ම ලොකු සතුටක් දැනෙන්න ඇති. ඒ නිසා යේසුස් කෙරෙහි තිබූ ඔවුන්ගේ ආදරය වැඩි වෙන්නත් ඇති. දෙමාපියෙනි ඔබටත් පුළුවන් ඔබේ දරුවන්ව තුරුළු කරගෙන ඔවුන්ට ඔබේ ආදරය සෙනෙහස පෙන්වන්න. ඔබත් ඔබේ දරු දැරියනුත් අතර ඇල්මක් ප්‍රේමයක් තිබෙනවා නම්, ඔබට ඔවුන්ව හික්මවන්න හා පුහුණු කරන්න පහසු වේවි. ඔවුන් කැමැත්තෙන්ම ඔබට කීකරු වේවි.

දරුවන් එක්ක කොපමණ කාලයක් ගත කළ යුතුද?

15, 16. දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය වී තිබෙන්නේ කුමන මතයද? එවැනි මතයක් ඇති වුණේ කිනම් හේතුව නිසාද?

15 ‘දෙමාපියන් තම දරු දැරියන් සමඟ බොහෝ කාලයක් ගත කළ යුතුද? ඔවුන්ට ආදරය සැලකිල්ල දැක්විය යුතුද?’ සමහරුන් එසේ ප්‍රශ්න කරනවා. දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රචලිත වෙලා තිබෙන මතයක් තිබෙනවා. ඒ තමයි දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ, කෙටි කාලයක් වුණත් හොඳින් සූදානම් කරලා සැලසුම් කරලා අර්ථවත්ව ගත කරනවා නම් ඒකයි වටින්නේ යන මතය. මේ මතය නිවැරදිද? දරු දැරියන්ගේ යහපතට එය දායක වෙයිද?

16 බොහෝ දරුවන් සමඟ කතා කර තිබෙන එක් ලේඛකයෙක්, දරුවන්ට “තම දෙමාපියන්ගෙන් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කාලය” සහ “සම්පූර්ණ අවධානය” බව කියා සිටියා. එක්තරා මහාචාර්යවරයෙක් පැවසුවේ මෙයයි. “දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ යන මතය ජනප්‍රිය වී තිබෙන්නේ බොහෝ දෙමාපියන් වැඩි කාලයක් දරුවන් සමඟ ගත කරන්නේ නැති නිසයි. ඔවුන්ගේ නිදහසට කරුණක් හැටියට ඔවුන් මේ මතය ඉදිරිපත් කරනවා.” එසේනම් දෙමාපියන් තම දරු දැරියන් එක්ක කොපමණ කාලයක් ගත කළ යුතුද?

17. දරුවන්ට තම දෙමව්පියන්ගෙන් අවශ්‍ය වන්නේ කුමක්ද?

17 දෙමාපියන් තම දරු දැරියන් එක්ක කොපමණ කාලයක් ගත කළ යුතුද කියා බයිබලය පවසන්නේ නැහැ. නමුත් නිවසේ ඉන්න කල, පාරේ ඇවිදින කල, නිදන කල සහ නැඟිටින කල තම දරු දැරියන් සමඟ කතා කිරීමට දෙවි ඊශ්‍රායෙල් ජාතික දෙමාපියන්ට අණ කළා. (ද්විතීය කතාව 6:7) දෙමාපියන් තම දරු දැරියන් සමඟ නිතරම අදහස් හුවමාරු කළ යුතු බවත් ඔවුන්ට ඉගැන්විය යුතු බවත් මින් පැහැදිලි වෙනවා.

18. යේසුස් තම ගෝලයන්ව පුහුණු කිරීම සඳහා සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තේ කෙසේද? මින් දෙමාපියන්ට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

18 යේසුස් තම ගෝලයන්ව සාර්ථකව පුහුණු කළා. ඔහු කෑම කන විට, ගමන් බිමන්වල යෙදෙන විට සහ විවේක ගන්න විට පවා මෙය කළා. ඔහු ඔවුන්ට ඉගැන්වීම සඳහා සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. (මාක් 6:31, 32; ලූක් 8:1; 22:14) ඒ හා සමාන ආකාරයකින් ක්‍රිස්තියානි දෙමාපියනුත් තමන්ට ලැබෙන සෑම අවස්ථාවකදීම තම දරුවන් සමඟ හොඳින් අදහස් හුවමාරු කිරීමටත් ඔවුන්ට යෙහෝවාගේ නීති ප්‍රතිපත්ති ඉගැන්වීමටත් වෑයමක් දැරිය යුතුයි.

උගන්වන්නේ කුමක්ද? කෙසේද?

19. (අ) දරුවන් සමඟ කාලය ගත කරනවාට අමතරව කළ යුත්තේ කුමක්ද? (ආ) දෙමාපියන් තම දරුවන්ට මූලිකවම කියා දිය යුත්තේ කුමක්ද?

19 දරුවන්ව සාර්ථකව ඇති දැඩි කිරීම සඳහා ඔවුන් සමඟ නිකම්ම කාලය ගත කිරීම හෝ ඔවුන්ට ඉගැන්වීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. උගන්වන්නේ මොනවාද යන කාරණයත් වැදගත්. ඉගැන්විය යුත්තේ මොනවාද යන කාරණය ගැන බයිබලය පවසන දෙය සලකා බලන්න. ‘මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන, ඔබේ පුත්‍රයන්ට මනාකොට උගන්වන්න.’ දරුවන්ට ඉගැන්විය යුතු ‘මේ වචන’ මොනවාද? අනිවාර්යයෙන්ම ‘මේ වචන’ දෙවි ඊට කලින් සඳහන් කළ දේවල් විය යුතුයි. එනම් “ඔබේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න” යන්නයි. (ද්විතීය කතාව 6:5-7) දෙවිගේ ආඥාවලින් වඩාත්ම වැදගත් ආඥාව මෙය වූ බව යේසුස් පැවසුවා. (මාක් 12:28-30) දෙමාපියන් මූලිකවම තම දරුවන්ට යෙහෝවා දෙවි ගැන කියා දිය යුතුයි. අපගේ ගැඹුරු ප්‍රේමය හා භක්තිය ලබන්න වටින එකම තැනැත්තා ඔහු වීමට හේතුව ඔවුන් දරුවන්ට පැහැදිලි කළ යුතුයි.

20. මෝසෙස්ගේ කාලයේ විසූ මව්පියන්ට දෙවි අණ කළේ තම දරුවන්ට කුමක් කියා දෙන්න කියාද?

20 තම දරුවන්ට කියා දීමට දෙමාපියන්ට අණ කර තිබෙන ‘මේ වචනවලට’ ඇතුළත් වෙන්නේ දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කිරීම විතරක් නෙවෙයි. ද්විතීය කතාව පොතේ 5වන පරිච්ඡේදය ඔබ කියවා බැලුවොත් දෙවි ගල්ලෑලිවල ලිවූ නීති, එනම් දස පනත මෝසෙස් නැවතත් සඳහන් කරන බව ඔබ එහි දකීවි. මෙම නීතිවලට බොරු කීම, සොරකම් කිරීම, මිනී මැරීම සහ පරදාර සේවනයේ යෙදීම වැනි දේවල් තහනම් කරන අණ පණත් ඇතුළත් වුණා. (ද්විතීය කතාව 5:11-22) මෙලෙස තම දරුවන්ට හොඳ සදාචාර ප්‍රමිති කියා දීමේ වැදගත්කම ගැන මෝසෙස්ගේ කාලයේ විසූ මව්පියන්ට දෙවි විසින් පැහැදිලි කර තිබුණා. ක්‍රිස්තියානි දෙමාපියෙනි, ඔබේ දරුවන් සන්තෝෂවත් සුරක්ෂිත අනාගතයක් භුක්ති විඳිනවා දකින්න ඔබට ඕනෑ නම් ඔවුන්ට එවැනිම පුහුණුවක් ලබා දෙන්න.

21. දරුවන්ට දෙවිගේ වචනය ‘මනාකොට උගන්වන්න’ කියා අණ කළ විට ඉන් අදහස් කළේ කුමක්ද?

21 ‘මේ වචන’ නැතහොත් ආඥා දරුවන්ට ඉගැන්විය යුතු ආකාරය ගැන දෙමාපියන්ට පවසා තිබෙන බව සැලකිල්ලට ගන්න. ‘ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වන්න.’ ඒ කියන්නේ නැවත නැවත කීම, අවවාද කිරීම, දිරිගැන්වීම සහ ඒත්තුගැන්වීම වැනි දේවල් කළ යුතු බවයි. දෙවි දෙමාපියන්ට කියන්නේ තම දරුවන්ට බයිබල් උපදෙස් නිතිපතා සැපයීමට සැලසුම් කරන්න කියායි. එහි අරමුණ විය යුත්තේ දරුවන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නාවූ දේවල් ඔවුන්ගේ සිත්වලට කාවැද්දවීමයි.

22. තම දරුවන්ට ඉගැන්වීමේදී ඊශ්‍රායෙලයේ දෙමාපියන්ට දෙවි කරන්න කීවේ කුමක්ද? ඉන් අදහස් කරන්නේ කුමක්ද?

22 මෙලෙස නිතිපතා සැලැස්මකට අනුව දරුවන්ට ඉගැන්වීමට දෙමාපියන්ගේ පැත්තෙන් දැඩි වෑයමක් අවශ්‍ය වෙනවා. බයිබලය මෙසේ පවසයි. “ඔබේ අත පිට ලකුණක් පිණිස ඒවා [‘මේ වචන’ හෙවත් දේවආඥා] බැඳගන්න; ඒවා ඔබේ ඇස් අතරෙහි නළල් පටි පිණිස වන්නේය; ඒවා ඔබේ ගෙයි උළුවහු පිටද දොරවල් පිටද ලියන්න.” (ද්විතීය කතාව 6:8, 9) දෙමාපියන් දෙවිගේ නීති උළුවහු සහ දොරටුවල ලිවිය යුතු බවවත් තම දරුවන්ගේ අත්වල එහි පිටපතක් බැඳ තැබිය යුතු බවවත් ඔවුන්ගේ ඇස් අතරේ එනම් නළලේ ඒවා බැඳිය යුතු බවවත් මින් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙහිදී දෙවි කාවද්දන කරුණ වන්නේ දෙමාපියන් නිරතුරුවම දෙවිගේ ඉගැන්වීම් තම දරුවන්ට මතක් කර දිය යුතු බවයි. ඔවුන්ගේ දරුවන්ට ඔවුන් නොවරදවාම නිතිපතා ඉගැන්විය යුතුයි. එවිට හැම අවස්ථාවකදීම දෙවිගේ නීති හා ඉගැන්වීම් දරුවන්ගේ මතකයට නැඟේවි.

23. ඊළඟ සතියට තිබෙන පාඩමේදී අපි සලකා බලන්න යන්නේ කුමක් ගැනද?

23 දෙමාපියන් තම දරුවන්ට කියා දිය යුතු විශේෂයෙන් වැදගත් දේවල් සමහරක් මොනවාද? අද කාලයේ තමන්ව ආරක්ෂා කරගත යුතු ආකාරය ගැන දරුවන්ට උගන්වා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? තම දරුවන්ට හොඳින් කාරණා කියා දීම සඳහා දෙමාපියන්ට දැන් ලබාගත හැකි උපකාරය කුමක්ද? ඊළඟ ලිපියේදී අපි මෙම ප්‍රශ්න ගැනත් දෙමාපියන් සැලකිල්ලක් දක්වන වෙනත් ප්‍රශ්න ගැනත් සාකච්ඡා කරනවා.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දරුවන් අනර්ඝ උරුමයක් කියා දෙමාපියන් සැලකිය යුත්තේ මන්ද?

• දෙමාපියන්ට හා අන් අයට යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

• දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කොපමණ කාලයක් කැප කළ යුතුද?

• දරුවන්ට කියා දිය යුත්තේ කුමක්ද? එය කළ යුත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

යේසුස් ඉගැන්වූ ආකාරයෙන් දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

[11වන පිටුවේ පින්තූර]

ඊශ්‍රායෙල් මාපියන් තම දරුවන්ට ඉගැන්විය යුතුව තිබුණේ කෙසේද? කුමන අවස්ථාවලදීද?

[12වන පිටුවේ පින්තූර]

දෙමාපියන් දෙවිගේ ඉගැන්වීම් තම දරුවන්ට නිතරම මතක් කර දිය යුතුයි