Skip to content

පටුනට යන්න

ආරවුලක උපත

ආරවුලක උපත

ආරවුලක උපත

නිකලස් කොපර්නිකස් නම් සුප්‍රසිද්ධ තාරකා ශාස්ත්‍රඥයා පෝලන්ත ජාතික කතෝලිකයෙක් විය. වර්ෂ 1543දී අවුරුදු 70ක් වූ ඔහු මරණාසන්නව සිටියේය. ඔහුගේ ඇස් පෙනීම දුර්වල වුවත් ඔහුගේ දෑතේ ඉතා වැදගත් ලියවිල්ලක් තිබිණ. ඔහුගේ අදහස වූයේ කෙසේ හෝ එය මුද්‍රණය කර ප්‍රසිද්ධියේ බෙදාහැරීමය. එම ලියවිල්ලේ පළ වූ අදහස් නිසා විශ්වය පිළිබඳ මිනිස් වර්ගයා එතෙක් දැරූ මතවල සම්පූර්ණ පෙරළියක් ඇති විය. කතෝලික සභාවෙහි නායකයන් අතරද දැඩි මතභේදයක් හටගැනීමට එය හේතුවක් විය. එම මතභේදයේ ප්‍රතිඵල අද දක්වා සමාජයට බලපා ඇත.

කොපර්නිකස් පොතක් ලෙස පළ කළ එම ලියවිල්ලේ මාතෘකාව වූයේ ආකාශ වස්තු චලනය වන අයුරු (ඉංග්‍රීසි ප්‍රකාශනයකි) යන්නය. එම පොතේ ඔහු පවසන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටා තිබෙන්නේ පෘථිවිය නොව සූර්යයා බවයි. එවකට තිබූ සංකීර්ණ අපැහැදිලි මතය වෙනුවට ඉතාමත්ම සරල විස්තරයක් ඔහු මෙමගින් ඉදිරිපත් කළේය.

ඔහුගේ මෙම අදහස එවකට සිටි උගතුන් සැලකුවේ කෙසේද? කොපර්නිකස් තම අදහස් ප්‍රසිද්ධ කළේ ඉතා ඥානවන්තවයි. එමනිසා එය එතරම්ම ආන්දෝලනයකට ලක් වූයේ නැත. කතෝලික සභාවේ නායකයන්ද පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලය මැද පිහිටා ඇති බවට වූ මතයට අනුග්‍රහය දැක්වුවත්, ඔවුහු විද්‍යා ක්ෂේත්‍රයේ ඉදිරිපත් කළ අලුත් මතයන්ට එතරම් විරෝධයක් නොදැක්වූහ. එවකට සිටි පාප්වරයා පවා කොපර්නිකස්ට කියා සිටියේ ඔහුගේ ලේඛනය මුද්‍රණය කර බෙදාහරින ලෙසයි. කොපර්නිකස් එසේ කළ විට එහි පෙරවදන ලියූ සංස්කාරක පැවසුවේ සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටා ඇති බවට වූ මතය සැබෑවක් ලෙස නොව නමුත් ගණිත ශාස්ත්‍රය ඇසුරෙන් ප්‍රබන්ධ කළ මතයක් ලෙස පිළිගත යුතු බවයි. මෙම අලුත් අදහසට තම අනුග්‍රහය දැක්වීමට සංස්කාරකයා බිය විය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රබල මතභේදයක් හටගත්තේ කොපර්නිකස්ගේ අභාවයෙන් පසුවය.

මතභේදය උණුසුම් මුහුණුවරක් ගනියි

මෙම මතභේදයේ උණුසුම ඇත්තටම වැඩි කළ තැනැත්තා ඉතාලි ජාතික ගැලිලියෝ ගැලෙලිය. (1564-1642) ඔහු එවකට විසූ සුප්‍රසිද්ධ තාරකා ශාස්ත්‍රඥයෙක්, ගණිතඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක් වූයේය. ඔහු කතෝලිකයෙක්ද විය. ඒ කාලයේදී වීදුරුවලින් කාච නිපදවන අයුරු සොයාගෙන තිබූ නිසා එම කාච ඇසුරෙන් ඔහු දුරේක්ෂ කිහිපයක්ම නිර්මාණය කළේය. මේවා භාවිත කරමින් අහස් තලය ගවේෂණය කිරීමට ඔහුට හැකියාව ලැබිණ. වෙනත් කිසිම කෙනෙකුට වඩා පැහැදිලි ආකාරයකින් ආකාශ වස්තු දැක බලා ගැනීමට ඔහු සමත් විය. ඔහු නිරීක්ෂණය කළ දෙයින් ඔහු තේරුම්ගත්තේ කොපර්නිකස් ඉදිරිපත් කළ අදහස නිවැරදි බවය. සූර්යයා මතුපිට ලප පිහිටා ඇති ආකාරයද ගැලිලියෝ දුටුවේය. මෙයින්ද එවකට දාර්ශනිකයන් සහ ආගමික නායකයන් තරයේ විශ්වාස කළ තවත් මතයක් අභියෝගයට ලක් වූයේය. එනම් සූර්යයා වෙනස් නොවන, පිරිහෙන්නේ නැති වස්තුවක් වන බවට ඔවුන් විශ්වාස කළ මතයයි.

ගැලිලියෝ කොපර්නිකස්ට වඩා වෙනස් කෙනෙක් විය. ඔහු තම අදහස් එඩිතරව හා දැවෙන උද්‍යෝගයකින් පළ කළේය. ඔහුගේ කාලයේ ආගමික වාතාවරණයද වෙනස් වී තිබිණ. ඔහු ජීවත් වූයේ කතෝලික සභාව කොපර්නිකස් ඉදිරිපත් කළ අදහස ප්‍රසිද්ධියේම හෙළා දුටු අවදියකයි. සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටා ඇති බවට වූ අදහස නිවැරදි බව පමණක් නොව එය ශුද්ධ බයිබලයේ සඳහන් දේවලටද එකඟ බව ගැලිලියෝ තර්ක කළ විට කතෝලික සභාවේ නායකයෝ ඔහුව ධර්ම විරෝධියෙකු ලෙස සලකන්නට පටන්ගත්තෝය. *

තම ස්ථාවරය පැහැදිලි කර දීමට ගැලිලියෝ රෝමයට ගියත් ඉන් පලක් වූයේ නැත. වර්ෂ 1616දී කොපර්නිකස් ඉදිරිපත් කළ අදහසට පක්ෂව කතා නොකරන ලෙස කතෝලික සභාවේ නායකයෝ ඔහුට නියෝග කළෝය. ගැලිලියෝ කලකට නිහඬ විය. එනමුත් 1632දී ඔහු නැවතත් කොපර්නිකස්ගේ අදහස්වලට පක්ෂව පොතක් නිකුත් කළේය. ඊළඟ අවුරුද්දේදීම ධර්ම විරෝධීන් සඳහා කතෝලික සභාවෙන්ම පිහිටා තිබූ අධිකරණය (අධර්ම මර්දනාධිකරණය) ඔහුට නියම කළේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකි. එනමුත් ඔහු මහලු කෙනෙකු වූ නිසා ඔහුව නිවාස අඩස්සියේ තැබීමට තීරණය කරනු ලැබීය.

ගැලිලියෝ සහ කතෝලික සභාවේ නායකයන් අතර මෙලෙස ඇති වූ ගැටුම බොහෝදෙනෙකු සලකන්නේ විද්‍යාව ආගමික විශ්වාසයන් පරදවා ජයගත් විශිෂ්ට අවස්ථාවක් ලෙසය. ආගමික විශ්වාසයන්ට එරෙහිව පමණක් නොව එය බයිබලයට එරෙහිවද ලබාගත් ජයග්‍රහණයක් ලෙස සැලකේ. කෙසේවෙතත් මෙය හරි නිගමනයක් ලෙස සැලකිය නොහැක. ඊට හේතු අපි ඊළඟ ලිපිය මාර්ගයෙන් පරීක්ෂා කර බලමු.

[පාදසටහන]

^ 7 ඡේ. ගැලිලියෝගේ කටකාරකම නිසා උසස් තනතුරු දැරූ බොහෝදෙනෙකු ඔහුගේ සතුරන් බවට පත්වීමට වැඩි කාලයක් ගියේ නැත. සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටා ඇති බවට වූ අදහස ශුද්ධ බයිබලයේ සඳහන් දේවලටද එකඟ බව ඔහු තර්ක කළ නිසා ඔහු එවකට ආගමික නායකයන්ගේ දැනුමට පහර එල්ල කළේය. ඔවුන් ප්‍රකෝප වීමට මෙයද හේතුවක් වූ බවට සැකයක් නැත.

[3වන පිටුවේ පින්තූරය]

කොපර්නිකස්

[හිමිකම් විස්තර]

Taken from Giordano Bruno and Galilei (German edition)

[3වන පිටුවේ පින්තූරය]

රෝමයේ ධර්ම විරෝධීන් සඳහා පැවැත්වූ අධිකරණය ඉදිරියේ ගැලිලියෝ සිය ස්ථාවරය පැහැදිලි කරමින්

[හිමිකම් විස්තර]

The Historian’s History of the World නමැති පොතෙන්, වෙළු. IX, 1904

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් ]

පසුබිම: සෞරග්‍රහ මණ්ඩලය කොපර්නිකස් සටහන් කළ අයුරු