Skip to content

පටුනට යන්න

ඕස්ට්‍රේලියාවේ පිටිසරබද ප්‍රදේශවල සිටින සුදුස්සන්ව සෙවීම

ඕස්ට්‍රේලියාවේ පිටිසරබද ප්‍රදේශවල සිටින සුදුස්සන්ව සෙවීම

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ඕස්ට්‍රේලියාවේ පිටිසරබද ප්‍රදේශවල සිටින සුදුස්සන්ව සෙවීම

ඕස්ට්‍රේලියාවට අයත් වෙනවා විශාල පිටිසරබද ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයට අයත් සමහර පැතිවල වසර 12ක් පුරා ශුභාරංචිය ප්‍රකාශ කර තිබුණේ නැහැ. එම නිසා ඒ පැතිවල සිටින සුදුස්සන්ව සෙවීම සඳහා උතුරු ප්‍රාදේශීය රාජ්‍යය නමැති ප්‍රාන්තයේ අගනුවර වන ඩාවින්වල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දින නවයක් පුරා එම ප්‍රදේශයේ දේශනා කිරීමට සැලසුම් කළා.—මතෙව් 10:11.

ඒ සඳහා ඔවුන් සැලසුම් කරන්න පටන්ගත්තේ මාස 12කට කලින්. ඊට ඇතුළත් වුණා වර්ග කිලෝමීටර් 8,00,000ක ප්‍රදේශයක සිතියම් පිළියෙල කිරීම. මෙය ශ්‍රී ලංකාව තරම් 12ගුණයකින් විශාල ප්‍රදේශයක්. මේ හුදෙකලා ප්‍රදේශයේ විශාලත්වය ගැන යම් අදහසක් ලබාගැනීමට මේ ගැන සිතා බලන්න. සාමාන්‍යයෙන් ගවයන් ඇති කරන ගොවිපොළක ප්‍රධාන ගේට්ටුව ළඟ ඉඳලා නිවස දක්වා දුර කිලෝමීටර් 30ක් පමණ වෙනවා. සමහර ගොවිපොළවල් අතර දුර කිලෝමීටර් 300ක් හෝ ඊට වැඩියි.

සාක්ෂිකරුවන් 145දෙනෙක් මෙයට කැමැත්තෙන්ම සහභාගි වුණා. සමහරු හුඟාක් ඈත පිහිටි ටැස්මේනියාවෙන් පවා ආවා. සමහරුන් පැමිණියේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක පහසුවෙන්ම පදවාගෙන යා හැකි රෝද හතරෙන්ම ජවය ලබා දෙන වාහනවලයි. ඔවුන් එළිමහනේ රෑ ගත කිරීම සඳහා අවශ්‍ය උපකරණ, වාහනවලට අවශ්‍ය අමතර කොටස් සහ ඉන්ධන වැනි දේවල්ද රැගෙන ආවා. වෙනත් අය තමන්ගේ ගමන් මලු සහ වෙනත් දෑ පටවාගෙන ආවේ වඩාත් විශාල වාහනවලයි. මෙවැනි වාහන නැති අය වෙනුවෙන් මඟීන් 22දෙනෙකුට යා හැකි බස් රථ දෙකක් කුළියට ගනු ලැබුවා. බස්වල ගමන් කළ අය දේශනා කළේ කුඩා ගම්මානවල වෙසෙන අයටයි.

මේ ගමන ඇරඹීමට කලින් ඒ ප්‍රදේශයේ ශුභාරංචිය දේශනා කිරීමට උපකාරවත් වන කතා සහ නිරූපණ සහෝදරයන් විසින් සංවිධානය කරනු ලැබුවා. උදාහරණයකට ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන්ට දේශනා කරද්දී ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ගැන අවබෝධයක් තිබීම අවශ්‍යයි. ඒ විතරක් නොවෙයි, පරිසරයට හා වනජීවීන්ට හානියක් නොවන විදිහට හැසිරෙන ආකාරය ගැනත් සාකච්ඡා කරනු ලැබුවා.

මෙම සහෝදරයන්ට හොඳ අද්දැකීම් බොහොමයක් ලැබුණා. උදාහරණයකට මුල් පදිංචිකරුවන් වෙසෙන එක් ගම්මානයක ප්‍රසිද්ධ කථාවක් දීමට එහි දේශනා කළ සහෝදරයන් සැලසුම් කළා. ඒ ගම්මානයේ නායිකාව හැටියට පෙනී සිටි කාන්තාව මේ ගැන සියලු ගම්වාසීන්ට පෞද්ගලිකවම ගොස් දැනුම් දුන්නා. ප්‍රසිද්ධ කථාවෙන් පස්සේ පැමිණි අයට පොත් 5කුත් විවරණිකා 41කුත් බෙදා දෙන්න හැකි වුණා. තවත් ගම්මානයක මුල් පදිංචිකරුවෙකුට දේශනා කළා. ඔහු ළඟ පරණ බයිබලයකුත් තිබුණා. ඒක කොතරම් පරණ එකක්ද කිව්වොත් ඒකේ කෑලිත් හැලුණා. දෙවිගේ නම දන්නවාද කියා ඔහුගෙන් ඇහැව්වාම ඔහු ‘ඔව්’ කියා පවසමින් තම කබායේ සාක්කුවෙන් පරණ මුරටැඹ කලාපයක් එළියට ගත්තා. එම සඟරාවේ උපුටා දක්වා තිබූ මාක් 12:30 ඔහු කියෙව්වා. එහි සඳහන් වෙන්නේ “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින් . . . ප්‍රේම කරන්න” කියායි. තමා ඒ බයිබල් පදයට හරි කැමතියි කියා ඔහු පැවසුවා. දීර්ඝ සාකච්ඡාවක් කළායින් පසුව ඔහුට අලුත් බයිබලයක් සහ තවත් පොත් දුන්නා.

කාපෙන්ටේරියා බොක්ක ළඟ පිහිටි අක්කර මිලියන එකක් පමණ විශාල ගවයන් ඇති කරන ගොවිපොළක ප්‍රධානියා ශුභාරංචියට හොඳින් ඇහුම්කන් දුන්නා. ඔහුට මගේ බයිබල් කතන්දර පොත සහ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම * යන පොත් පෙන්නූ විට ඒ වගේ පොත් ක්‍රියොල් භාෂාවෙන් තියෙනවාද කියා ඔහු ඇහැව්වා. ක්‍රියොල් භාෂාව කියන්නේ මුල් පදිංචිකරුවන් කතා කරන භාෂාවයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට එම භාෂාව කියවන්න දන්නේ නැහැ. මෙම තැනැත්තාට පමණක් නෙවෙයි, ඔහු යටතේ වැඩ කළ 50දෙනාටත් එම භාෂාව කියවන්න පුළුවන් බව දැනගැනීමෙන් සාක්ෂිකරුවෝ සතුටට පත් වුණා. ඒ ප්‍රධානියා ක්‍රියොල් භාෂාවෙන් පොත් කිහිපයක්ම සතුටින් ලබාගත්තා. ඔහු තමාගේ දුරකථන අංකයත් දුන්නා.

දවස් නවයක් පුරා සාක්ෂි දැරීමේ ප්‍රතිඵලයක් හැටියට බයිබල් 120ක් පොත් 770ක් සඟරා 705ක් සහ විවරණිකා 1,965ක් බෙදා දීමට හැකි වුණා. ඊට අමතරව නැවත බැලීම් 720ක් කළ අතර අලුත් බයිබල් පාඩම් 215ක් පටන්ගැනුණා.

ඇත්තෙන්ම මෙම විශාල ප්‍රදේශය පුරා විසිරී ඇති සුදුස්සන් බොහෝදෙනෙකුගේ පිපාසය සංසිඳුවාලනු ලැබුවා.—මතෙව් 5:6.

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

[30වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඕස්ට්‍රේලියාව

උතුරු ප්‍රදේශය

ඩාවින්

කාපෙන්ටේරියා බොක්ක

සිඩ්නි

ටැස්මේනියාව