Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි, ඔබේ අනර්ඝ උරුමය ආරක්ෂා කරගන්න

දෙමාපියෙනි, ඔබේ අනර්ඝ උරුමය ආරක්ෂා කරගන්න

දෙමාපියෙනි, ඔබේ අනර්ඝ උරුමය ආරක්ෂා කරගන්න

“ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. . . . එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂා කරන්නේය.”—දේශනාකාරයා 7:12, පැරණි අනුවාදය.

1. දෙමාපියන් තම දරුවන්ව තෑගි ලෙස සැලකිය යුත්තේ මන්ද?

දෙමාපියෙනි ඔබ දෙදෙනාගේ එකතුවෙන් බිහි වන දරුවාට තිබෙන්නේ ඔබේම ගතිලක්ෂණයි. සමහරවිට ඒ දරුවාට ඔබේම හැඩරුවත් තිබෙන්න පුළුවන්. බයිබලය පවසන්නේ එම සිඟිති දරුවා ඔබට “යෙහෝවා දෙන උරුමයක්” බවයි. (ගීතාවලිය 127:3) ජීවයේ උල්පත යෙහෝවා දෙවි වන නිසා ඔහු දෙමාපියන්ට භාර දී තිබෙන්නේ ඇත්තෙන්ම ඔහුට අයිති දෙයක්. (ගීතාවලිය 36:9) දෙමාපියෙනි, දෙවි ඔබට දී තිබෙන මෙම වටිනා තෑග්ග ඔබ සලකන්නේ කෙසේද?

2. තමා පියෙක් වෙන්න යන බව මානෝවා දැනගත් විට ඔහු කළේ කුමක්ද?

2 දෙමාපියෙනි, ඔබට ලැබුණු මෙම තෑග්ග ඔබ යටහත් පහත්ව පිළිගන්නවාද? ඔබ එය අගය කරනවාද? ඊශ්‍රායෙල් ජාතික මානෝවා එසේ කළා. අවුරුදු 3,000කට ඉහතදී ඔහුගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න යන බව ඔවුන්ට දේවදූතයෙක් මාර්ගයෙන් දැනගන්න ලැබුණා. ඒ ශුභාරංචිය දැනගත් විගස මානෝවා මෙසේ යාච්ඤා කළා. “අහෝ යෙහෝවා, ඔබ විසින් එවන ලද දෙවිගේ මනුෂ්‍යයා නැවත අප වෙත ඇවිත් උපදින්නාවූ දරුවාට අප විසින් කළ යුතු දේ අපට ඉගැන්නුවාවේ.” (විනිශ්චයකාරයෝ 13:8) දෙමාපියෙනි, මානෝවාගේ ආදර්ශයෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් දෙයක් තිබෙනවාද?

අද කාලයේ දිව්‍ය උපකාරය අවශ්‍ය වීමට හේතුව

3. දරුවන් ඇති දැඩි කිරීම සඳහා අද කාලයේදී දෙවිගේ උපකාරය විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ ඇයි?

3 වෙන කවරදාටත් වඩා අද දින දරුවන්ව ඇති දැඩි කිරීම සඳහා දෙමාපියන්ට යෙහෝවා දෙවිගේ උපකාරය අවශ්‍යයි. ඊට හේතුව යක්ෂයා වන සාතන්ව සහ ඔහුගේ දූතයන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළා තිබීමයි. ‘පොළොවට දුක් වේ’ කියා බයිබලය පවසයි. “යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.” (එළිදරව් 12:7-9, 12) සාතන් “ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින්” සිටින බව බයිබලය කියයි. (1 පේතෘස් 5:8) සිංහයන් සාමාන්‍යයෙන් ලේසියෙන් අල්ලගන්න පුළුවන් සතාවයි ගොදුරක් කරගන්නේ. බොහෝවිට ඒ පැටියෙක් විය හැකියි. එසේනම් තම දරුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රිස්තියානි දෙමාපියන් යෙහෝවාගේ මඟ පෙන්වීම සෙවීම ඥානවන්ත දෙයක්. දෙමාපියෙනි, එසේ කිරීමට ඔබ කොපමණ උත්සාහයක් දරනවාද?

4. (අ) නිවස අවට සිංහයෙක් ගැවසෙන බව දෙමාපියන් දැනගත්තොත් ඔවුන් වහාම කරන්නේ කුමක්ද? (ආ) දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද?

4 ඔබේ නිවස අවට සිංහයෙක් ගැවසෙන බව ඔබට දැනගන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම ඔබ මුලින්ම කරන්නේ ඔබේ දරුවන්ව ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමයි. සාතන් හරියට ගොදුරක් ඩැහැගන්න මාන බලන සතෙක් වගෙයි. ඔහු මාන බලන්නේ දෙවිගේ සෙනඟගේ සිත් දූෂ්‍ය කර දෙවිගේ අනුමැතිය ලැබීම වළක්වාලීමටයි. (යෝබ් 2:1-7; 1 යොහන් 5:19) දරුවන්ව හසු කරගැනීම ඉතා පහසු දෙයක්. මේ නිසා දරුවන් යෙහෝවා දෙවිව දැන හඳුනාගෙන ඔහුට කීකරු වෙන්න ඉගෙනගන්න අවශ්‍යයි. එවිට ඔවුන්ට සාතන්ගේ උගුල්වලින් වැළකී සිටිය හැකි වේවි. දේවවචනයෙන් ලබාගන්නා දැනුම මීට අත්‍යවශ්‍යයි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) දැනුමට අමතරව දරුවන්ට ප්‍රඥාව අවශ්‍යයි. තමන් ඉගෙනගන්න දේවල් තේරුම්ගෙන ඒවා තමන්ගේ ජීවිතවලට අදාළ කරගැනීමේ හැකියාව ප්‍රඥාව ලෙස විග්‍රහ කළ හැකියි. “ප්‍රඥාව ඇත්තාගේ ජීවිතය ආරක්ෂා” වන නිසා, ඔබේ දරුවන්ගේ සිත්වල දෙවිගේ අණ පනත් පැලපදියම් කිරීම අත්‍යවශ්‍ය දෙයක්. (දේශනාකාරයා 7:12) ඔබට මෙය කළ හැක්කේ කෙසේද?

5. (අ) ප්‍රඥාවන්තව තීරණ ගැනීමට දරුවෙකුව පුහුණු කරද්දී අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) හිතෝපදේශ පොත ප්‍රඥාවේ වටිනාකම විස්තර කරන්නේ කෙසේද?

5 ඔබේ දරුවන්ට ඇහෙන්න දේවවචනය කියවන්න ඔබට පුළුවන්. ඔබ එසේ කළ යුතුයි. නමුත් යෙහෝවාට ප්‍රේම කිරීමට සහ ඔහුට කීකරු වීමට ඔවුන්ට උපකාර කරන්න නම් ඊටත් වඩා වැඩි යමක් අවශ්‍යයි. ඔවුන් දේවල් හොඳින් අවබෝධ කරගත යුතුයි. මෙය උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැකියි. හොඳින් පාර දෙපැත්ත බලා පාර පනින්න කියා දරුවෙකුට දෙමාපියන් කියනවා. ඒත් සමහර දරුවන් කීකරු වන්නේ නැහැ. ඇයි? ඇතැම්විට වාහනයක හැප්පීමෙන් සිදු විය හැකි අනතුරේ බරපතළකම ඔවුන්ගේ මනසට කාවැදිලා නැතුව ඇති. ඒ නිසා “අඥාන” තීරණයක් ගැනීමෙන් වළකින්න දරුවාට තේරෙන්නේ නැහැ. ප්‍රඥාවන්තව තීරණ ගැනීමට දරුවෙකුව පුහුණු කරන්න සෑහෙන්න කාලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ සඳහා ඉවසීමත් අවශ්‍යයි. ඒ සඳහා ඔබ දරන වෑයම ඇත්තෙන්ම වටිනවා. ඊට හේතුව බයිබලයේ මෙසේ විස්තර කරනවා. “ඇගේ මාර්ගයෝ ප්‍රසන්නකමේ මාර්ගයෝය; ඇගේ සියලු මාවත්වල සමාදානය වේ. ඇය අල්ලාගන්නන්ට ජීවනදායක ගසකි; ඇය තබාගන්නෝ වාසනාවන්තයෝය.”—හිතෝපදේශ 3:13-18; 22:15.

ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට උපකාර කරන ආකාරය

6. (අ) බොහෝවිට දරුවන් වැරදි දේවල් කරන්නේ ඇයි? (ආ) සාතන් දරන්නේ මොන වගේ වෑයමක්ද?

6 බොහෝවිට දරුවන් වැරදි දේවල් කරන්නේ ඔවුන්ට හරි දෙය උගන්වා නැති නිසා නොවෙයි, ඉගැන්වූ දෙය ඔවුන්ගේ සිතට හොඳින් කාවැදිලා නැති නිසයි. යක්ෂයා දරුවන්ගේ සිත් දූෂණය කිරීමට දැඩි වෑයමක් දරමින් සිටිනවා. දෙවිගෙන් ඈත් වූ මේ ලෝකයේ බලපෑම්වලට ඔවුන්ව හසු කරගැනීමට ඔහු උගුල් අටවනවා. මේ සඳහා උරුම වී තිබෙන පාපය නිසා නරක දේවල් කිරීමට ඔවුන්ට තිබෙන නැඹුරුවාවෙන් ඔහු ප්‍රයෝජන ගන්නවා. (උත්පත්ති 8:21; ගීතාවලිය 51:5) තම දරු දැරියන්ගේ සිත් දිනාගෙන ඔවුන්ව නොමඟ යැවීමට සාතන් දරන මේ වෑයම ගැන දෙමාපියන් දැනුවත් විය යුතුයි.

7. දරුවෙකුට හරි වැරැද්ද කියා දීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?

7 දෙමාපියන් සාමාන්‍යයෙන් කරන්නේ දරුවෙකුට හරි වැරැද්ද කියා දීමයි. ඔවුන් හිතන්නේ එසේ කිරීමෙන් ඔවුන් දරුවාට සදාචාර ප්‍රතිපත්ති උගන්වා තිබෙන බවයි. ඔවුන් සමහරවිට දරුවාට මෙසේ කියනවා විය හැකියි. ‘බොරු කියන්න හොඳ නැහැ. සොරකම් කරන්න හොඳ නැහැ.’ එහෙමත් නැත්නම් ‘විවාහ වී සිටින දෙදෙනෙකුට විතරයි ලිංගික සම්බන්ධකම් පවත්වන්න පුළුවන්.’ නමුත් දරුවා මේවාට කීකරු විය යුත්තේ දෙමාපියන් කියන නිසාම නොවෙයි. ඊටත් වඩා ප්‍රබල හේතුවක් තිබිය යුතුයි. මෙම නීති දුන්නේ යෙහෝවා දෙවියි. දෙවිගේ ආඥාවලට කීකරු වීම ප්‍රඥාවන්ත දෙයක් බව දරුවා ඉගෙනගත යුතුයි.—හිතෝපදේශ 6:16-19; හෙබ්‍රෙව් 13:4.

8. දරුවෙකුට ප්‍රඥාවන්තව ක්‍රියා කිරීම සඳහා ඔහුට ඉගැන්විය යුත්තේ කුමක්ද?

8 කුඩා දරුවෙකුට ඉතා ප්‍රඥාවන්ත දෙවි කෙනෙකුගේ පැවැත්ම ගැන කියා දීම සඳහා විශ්වයේ තිබෙන සංකීර්ණ දේවල්, විවිධ ජීවීන්, ඍතු වෙනස් වෙන ආකාරය වැනි දේවල් ගැන කතා කළ හැකියි. (රෝම 1:20; හෙබ්‍රෙව් 3:4) ඒ විතරක් නෙවෙයි, දෙවි ඔහුට ආදරේ කරන බවත් තම පුත්‍රයාගේ ජීවිත පූජාව මාර්ගයෙන් සදාකාල ජීවනය ලබාගැනීමට දෙවි ඔහුට අවස්ථාව සලසා දී තිබෙන බවත් දරුවාට ඉගැන්විය යුතුයි. දෙවිට කීකරු වීමෙන් දෙවිව සතුටු කළ හැකි බවත් දරුවා දැනගත යුතුයි. එවිට යක්ෂයා මොන විදිහේ බාධා ඇති කළත් දරුවා යෙහෝවා දෙවිට සේවය කිරීමට තීරණයක් ගන්න ඉඩ කඩ තිබෙනවා.—හිතෝපදේශ 22:6; 27:11; යොහන් 3:16.

9. (අ) දරුවෙකුට ආරක්ෂාව ලැබිය හැක්කේ කිනම් ආකාරයේ ඉගැන්වීමෙන්ද? (ආ) පියවරුන්ට ආඥා කර තිබෙන්නේ කුමක්ද? ඊට ඇතුළත් වන්නේ කුමක්ද?

9 දරුවෙකුව ආරක්ෂා කිරීමට සහ හරි දෙය කිරීමට ඔහුව පොලඹවන ආකාරයෙන් ඔහුට ඉගැන්වීමට නම් කාලය, අවධානය සහ හොඳින් සැලසුම් කිරීම අවශ්‍යයි. ඒ සඳහා දෙමාපියන් දෙවිගේ මඟ පෙන්වීම පිළිගත යුතුයි. බයිබලයේ මෙසේ කියයි. “පියවරුනි, ඔබේ දරුවන්ව . . . යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.” (එෆීස 6:4) යෙහෝවා සිතන ආකාරයට සිතන්න දරුවෙකුට ඉගැන්වීම මොන තරම් ආරක්ෂාවක්ද! දරුවන්ගේ සිත්වල දෙවිගේ සිතුවිලි පැලපදියම් කර තිබෙනවා නම් සහ ඔවුන්ට දෙවි සිතන ආකාරයට සිතන්න පුළුවන් නම්, වැරදි කිරීමෙන් ඔවුන් වැළකේවි.

සියල්ල කළ යුත්තේ ප්‍රේමය නිසයි

10. ඔබේ දරුවාව හොඳින් පුහුණු කිරීමට නම් ඔබ කුමක් දැනගෙන සිටිය යුතුද?

10 ඔබගේ දරුවාව හොඳින් ඇති දැඩි කිරීම සඳහා වූ ඔබේ ආශාවට හේතුව විය යුත්තේ ප්‍රේමයයි. මෙයට දායක වන වැදගත් සාධකයක් වන්නේ හොඳ අදහස් හුවමාරුවයි. ඔබේ දරුවා කරන දේවල් ගැන දැනගන්න උත්සාහ කරන්න. විවිධ දේවල් ගැන ඔහු දරන්නේ මොන වගේ මතයක්ද කියා දැනගන්න. දරුවාව අපහසුවට පත් නොකර ඔහුගේ හෝ ඇගේ අදහස් දැනගන්න උත්සාහ කරන්න. දරුවා කියන සමහර දේවල් ගැන ඔබට පුදුම හිතෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා. ඒ වෙනුවට දරුවාට හොඳින් ඇහුම්කන් දී දරුවාව තේරුම්ගන්න උත්සාහ කරන්න.

11. දෙවි සිතන ආකාරයට සිතන්න දරුවෙකුව පුහුණු කරන්නේ කෙසේද?

11 ලිංගික දුරාචාරය පිළිබඳ දෙවිගේ නීතිය ගැන ඔබ ඔබේ දරුවාට බයිබලයෙන් සමහරවිට කිහිප වතාවක්ම කියවා තිබෙනවා විය හැකියි. (1 කොරින්ති 6:18; එෆීස 5:5) මෙසේ කිරීම නිසා යෙහෝවාව සතුටු කරන දේවල් මොනවාද සහ ඔහුව අසතුටු කරන දේවල් මොනවාද කියා දරුවා දන්නවා ඇති. කෙසේවෙතත් යෙහෝවාගේ නීති ඇත්තටම වටිනවා කියා තේරුම්ගැනීමට දරුවන්ට උපකාරය අවශ්‍යයි. ඔහුගේ නීති හරි බවත් යහපත් බවත් ඔවුන්ම මුළු හෘදයෙන් පිළිගත යුතුයි. ඒ වගේම ඒ නීති පිළිපැදීම සුදුසු බවත් ඒවා පිළිපැදීමෙන් ඔවුන්ට මෙන්ම අන් අයටත් ප්‍රයෝජනදායක වන නිසා එය ප්‍රේමණීය දෙයක් බවත් දරුවන් පිළිගත යුතුයි. ඔබ දේවවචනය පාවිච්චි කරමින් දරුවන් සමඟ තර්කානුකූලව කාරණා පැහැදිලි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් දෙවි දේවල් දිහා බලන ආකාරයට බලන්න පුරුදු වේවි. ‘දෙවි සිතන ආකාරයට සිතන්න’ ඔබ ඔවුන්ව පුහුණු කර තිබෙනවා කියා කියන්න හැකි වෙන්නේ එවිටයි.

12. ලිංගික සම්බන්ධකම් ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා දරුවාට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

12 ලිංගික කාරණා ගැන පැහැදිලි කරද්දී ඔබට පුළුවන් දරුවාගෙන් මෙසේ අසන්න. “විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන්න එපා කියා කියන යෙහෝවාගේ නීතියට කීකරු වීම නිසා කෙනෙකුගේ සතුට අහිමි වෙයි කියා ඔයා හිතනවාද?” ඔහු දෙන පිළිතුරට හේතු දක්වන්න කියා දරුවාට කියන්න. ඉන් පසු ඔබට හැකියි දරුවෙකු පිළිසිඳගැනීමේ ආශ්චර්යය ගැන කතා කර දරුවාගෙන් මෙසේ අසන්න. “ඔයා හිතනවාද අපගේ ප්‍රේමණීය දෙවි යෙහෝවා අපේ සතුට නැති කරන්න නීති සම්පාදනය කරයි කියලා? ඔහු නීති සම්පාදනය කරලා තියෙන්නේ අපිව සතුටින් තියන්න සහ අපිව ආරක්ෂා කරන්න කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?” (ගීතාවලිය 119:1, 2; යෙසායා 48:17) දරුවා ඒ ගැන හිතන දේ දැනගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ලිංගික දුරාචාරයේ ප්‍රතිඵලයක් හැටියට ඇති වන ශෝකය සහ මුහුණ දීමට සිදු වන ප්‍රශ්න ගැන කාවැද්දීම සඳහා උදාහරණ පෙන්වන්න. (2 සාමුවෙල් 13:1-33) දෙවි දේවල් දෙස බලන ආකාරය දරුවාට තේරුම්ගන්න සහ පිළිගන්න පුළුවන් වන ආකාරයකින් ඔහුට දේවල් පැහැදිලි කරන්න ඔබට පුළුවන් වුණොත්, එවිට ඔබ දෙවි සිතන ආකාරයට සිතන්න ඔහුව බොහෝ දුරට පුහුණු කර තිබෙනවා කියා කිව හැකියි. කෙසේවෙතත් ඔබට කළ හැකි තවත් දෙයක් තිබෙනවා.

13. යෙහෝවාට කීකරු වීමට දරුවෙක් තුළ විශේෂ පෙලඹීමක් ඇති කළ හැක්කේ ඔවුන්ට කුමක් තේරුම්ගැනීමට උපකාර කිරීමෙන්ද?

13 යෙහෝවාට අකීකරු වීමෙන් ඇති වන නරක ප්‍රතිඵල ගැන විතරක් නොවෙයි, අප ජීවත් වන ආකාරය යෙහෝවාට බලපාන විදිහ ගැනත් ඔබ ඔබේ දරුවාට කියා දීම අවශ්‍යයි. අප යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට අසමත් වීමෙන් ඔහුව දුකට පත් කරන්න පුළුවන් බව ඔබේ දරුවාට බයිබලයෙන් පෙන්වා පැහැදිලි කරන්න. (ගීතාවලිය 78:41) ඔබට දරුවාගෙන් මෙසේ අසන්න පුළුවන්. “ඔයා යෙහෝවා දෙවිගේ හිත රිදවන්න කැමති නැත්තේ ඇයි?” ඊට පස්සේ ඔහුට මෙසේ පැහැදිලි කරන්න. “අපි යෙහෝවා දෙවිට සේවය කරන්නේ අපේ වාසි ප්‍රයෝජන නිසා මිසක් අපි දෙවිට ආදරේ නිසා නෙවෙයි කියලා දෙවිගේ සතුරා වන සාතන් කියනවා.” දෙවි ඉදිරියේ නිර්දෝෂ ජීවිතයක් ගත කළ නිසා යෝබ් දෙවිගේ සිත ප්‍රීතිමත් කළ ආකාරය ඊට පස්සේ විස්තර කරන්න. යෝබ් ජීවත් වූ ආකාරය නිසා සාතන්ගේ චෝදනා බොරු බව ඔප්පු කරන්න දෙවිට හැකි වූ ආකාරයත් පැහැදිලි කරන්න. (යෝබ් 1:9-11; 27:5) තමා හැසිරෙන ආකාරයෙන් එක්කෝ යෙහෝවාට දුක් දෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔහුව ප්‍රීතිමත් කරන්න පුළුවන් බව ඔබේ දරුවා තේරුම්ගත යුතුයි. (හිතෝපදේශ 27:11) උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත පාවිච්චි කිරීමෙන් මේ කරුණ මෙන්ම වෙනත් වටිනා කාරණාද දරුවන්ට කියා දිය හැකියි. *

හොඳ ප්‍රතිඵල

14, 15. (අ) උතුම් ගුරුවරයා පොතේ තිබෙන කිනම් පරිච්ඡේදවලින්ද දරුවන් තුළ හොඳ පෙලඹීමක් ඇති වී තිබෙන්නේ? (ආ) එම පොත භාවිත කිරීමෙන් ඔබ ලබා තිබෙන හොඳ ප්‍රතිඵල විස්තර කරන්න. (18-19වන පිටුවල තිබෙන කොටුවද බලන්න.)

14 ක්‍රෝඒෂියාවේ වෙසෙන සීයා කෙනෙක් ඔහුගේ අවුරුදු හතක් වයසැති මුනුබුරා සමඟ එකතු වී උතුම් ගුරුවරයා පොත කියවනවා. එක් අවස්ථාවක මුනුබුරා පැවසූ දෙයක් ඔහු මෙසේ ලියා එවා තිබෙනවා. “අම්මා මට වැඩක් දුන්නා කරන්න. ඒත් මං කැමති වුණේ නැහැ ඒක කරන්න. පස්සේ මට මතක් වුණා ‘කීකරුකම ඔයාට ආරක්ෂාවක්’ කියන පරිච්ඡේදයේ අපි කියවපු දේවල්. ඉතිං මම අම්මා ළඟට ගිහිල්ලා කිව්වා මම අම්මා කියපු වැඩේ කරන්නම් කියලා.” “අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?” කියන පරිච්ඡේදය ගැන අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ වෙසෙන යුවළක් පැවසුවේ මෙසේයි. “දරුවන්ට ඔවුන්ගේ සිතේ තිබෙන දේවල් පවසන්න සහ ඔවුන් කරන වැරදි පිළිගන්න ඒ පරිච්ඡේදයේ තිබෙන ප්‍රශ්න උපකාරවත් වෙනවා.”

15 උතුම් ගුරුවරයා පොතේ පින්තූරු 230කට වැඩියෙන් තිබෙන අතර සෑම පින්තූරයකටම අදාළ කෙටි විස්තරයක් සපයා තිබෙනවා නැතහොත් ප්‍රශ්නයක් අසා තිබෙනවා. මේ පොත අගය කරන මවක් මෙසේ පවසනවා. “මගේ පුතා පින්තූරයක් දිහා හුඟාක් වෙලා බලාගෙන ඉන්නවා. අපි වෙන පිටුවකට පෙරළනවාට එයා කොහොමටවත් කැමති නැහැ. ඒ පින්තූරු හරිම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි, ඒ පින්තූරුවලින් යමක් කියා දෙනවා. ඒ පින්තූරු දිහා බලලා දරුවෝ ප්‍රශ්න අහනවා. දරුවෙක් අඳුරු කාමරයක ඉඳගෙන රූපවාහිනිය නරඹන පින්තූරය දිහා බලලා මගේ පුතා මගෙන් මෙහෙම ඇහැව්වා. ‘අම්මේ මේ පිරිමි ළමයා මොනවාද කරන්නේ?’ එයා ඒ ප්‍රශ්නේ අහපු විදිහෙන් මට තේරුණා ඒ පිරිමි ළමයා සුදුසු නැති යමක් කරන බව පුතාට වැටහුණා කියලා.” එම පින්තූරයත් එක්ක මෙවැනි ප්‍රශ්නයක් අසා තිබෙනවා. “අපි කරන හැම දෙයක්ම දකින්න පුළුවන් කාටද?”

අපගේ කාලයට අත්‍යවශ්‍ය පුහුණුව

16. අද කාලයේදී දරුවන්ට කුමන වැදගත් කාරණය ගැනද කියා දීම වැදගත් වෙන්නේ? එසේ කළ යුත්තේ ඇයි?

16 ලිංගික අවයව තිබෙන්නේ මොන අරමුණක් සඳහාද කියා දරුවන්ට පැහැදිලිව කියා දිය යුතුයි. ඒත් මේ ගැන කතා කිරීම හැම විටම පහසු වන්නේ නැහැ. එක් ලේඛිකාවක් පැවසුවේ ඇගේ කුඩා කාලයේදී ලිංගික අවයව හඳුන්වන නම් පවා කීම නුසුදුසු දෙයක් හැටියට සලකනු ලැබූ බවයි. මේ දේවල් ගැන ඇගේ දරුවන්ට ඉගැන්වීම ගැන ඇය ලීවේ මෙයයි. “මට මගේ ලජ්ජාව අමතක කරලා දාන්න වෙයි.” තමන්ට දැනෙන අපහසුතාව නිසා දෙමාපියන් ලිංගික කාරණා ගැන කතා නොකරන විට ඉන් දරුවාව කොහෙත්ම ආරක්ෂා වෙන්නේ නැහැ. දරුවෙකුගේ නොදැනුවත්කම නිසා ලිංගික අතවර කරන්නන් අනිසි ප්‍රයෝජන ගන්නවා. උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත එම කාරණය ඉතා පැහැදිලි ලෙසත් ගෞරවනීය ලෙසත් සාකච්ඡා කරනවා. චූටි දරු දැරියන්ට ලිංගික කාරණා ගැන අවශ්‍ය දැනුම ලබා දුන්නා කියලා ඔවුන්ගේ අහිංසකකම ඔවුන්ට අහිමි වෙන්නේ නැහැ. එසේ නොකළොත් එය සිදු විය හැකියි.

17. දරුවන්ට ලිංගික කාරණා පිළිබඳව කියා දීමට උතුම් ගුරුවරයා පොත දෙමාපියන්ට උපකාරවත් වන්නේ කෙසේද?

17 එම පොතේ 10වන පරිච්ඡේදයේ කතා කරන්නේ භූතයන් පොළොවට පැමිණ ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූ නිසා එම ස්ත්‍රීන් ඔවුන්ට දාව දරුවන් බිහි කිරීම ගැනයි. ඊට පස්සේ අපේ දරුවන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසනවා. “ලිංගික සම්බන්ධකම් ගැන ඔයා මොනවාද දන්නේ?” එම පොත සරල, අපහසුතාවට පත් නොකරන ආකාරයේ පිළිතුරක් සපයනවා. ලිංගික අතවර කරන්නන්ගෙන් දරුවන්ව ආරක්ෂා කරගත හැකි ආකාරය ගැන 32වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කරනවා. අපට ලැබී තිබෙන ලිපි බොහොමයක සඳහන් වන්නේ එවැනි පුහුණුවක් දරුවන්ට අත්‍යවශ්‍ය බවයි. එක මවක් මෙසේ ලියා තිබුණා. “පසුගිය සතියේ මගේ පුතා ජවාන්ව එයාගේ වෛද්‍යවරියට පෙන්වන්න ගිය අවස්ථාවේදී ඇය ඇහැව්වා අපි ලිංගික අවයව ගැන දරුවාව දැනුවත් කර අතවර කරන්නන්ගෙන් ආරක්ෂා වන අයුරු ඔහුට පැහැදිලි කර දී තිබෙනවාද කියලා. අපේ අලුත් පොත පාවිච්චි කරමින් අපි ඒ ගැන දරුවාව දැනුවත් කර තිබෙන බව පැවසුවාම ඇය පුදුමයට පත් වුණා.”

18. ජාතික සංකේතවලට වැඳ වැටීම සම්බන්ධ කාරණය ගැන උතුම් ගුරුවරයා පොත සාකච්ඡා කරන්නේ කෙසේද?

18 ඒ පොතේ තව පරිච්ඡේදයක බැබිලෝනිය ආණ්ඩුව නියෝජනය කළ රූපයකට වැඳ වැටීම ප්‍රතික්ෂේප කළ හෙබ්‍රෙව් ජාතික තරුණයන් තිදෙනෙක් වූ ෂද්‍රක් මේෂක් සහ අබෙද්නෙගෝ ගැන සඳහන් වෙනවා. (දානියෙල් 3:1-30) උතුම් ගුරුවරයා පොතේ පෙන්වා දෙන ආකාරයට රූපයකට වැඳ වැටීමත් කොඩියට ආචාර කිරීමත් අතර තිබෙන සම්බන්ධය සමහර අයට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් යූ.එස්. කැතොලික් සඟරාවේ කර්තෘ එඩ්වඩ් ගැෆ්නී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසූ දෙය සැලකිල්ලට ගන්න. තම දියණිය පාසැලට ගිය මුල් දවසේදී ඇය “අලුත් යාච්ඤාවක් ඉගෙනගත්තා” කියා තමාට පැවසූ විට එම යාච්ඤාව කියලා පෙන්වන්නයයි ඔහු ඇගෙන් ඉල්ලා සිටියා. “ඇය පපුවට අත තියලා හරිම ආඩම්බරයෙන් මෙහෙම කියන්න පටන්ගත්තා. ‘මම කොඩියට මුළු හදින්ම ආචාර කරනවා.’ එකපාරටම මට කාරණය පැහැදිලි වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන දේ හරි. අපගේ දරු දැරියන්ගේ ළා බාල කාලයේදීම පාසැල් මගින් රට ජාතිය ගැන මහත් භක්තියක්, පක්ෂපාතකමක් ඔවුන්ගේ මනස්වලට පැලපදියම් කරනු ලබනවා” කියා ගැෆ්නි පවසනවා.

වෑයම අපතේ යන්නේ නැහැ

19. දරුවන්ට ඉගැන්වීමෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද?

19 ඇත්තෙන්ම ඔබ ඔබේ දරුවන්ට ඉගැන්වීමට ගන්නා වෑයම කවදාවත් අපතේ යන්නේ නැහැ. එක්සත් ජනපදයේ කන්සාස් ප්‍රාන්තයේ වෙසෙන මවකට තම පුතාගෙන් ලැබූ ලිපියක් කියවීමෙන් දෙනෙතට කඳුළු පිරුණා. “මම හොඳ ස්ථාවරයක් ඇති පුද්ගලයෙක් වෙලා තියෙන්නේ අම්මයි තාත්තයි මට හැම අතින්ම දුන්නු හොඳ පුහුණුව නිසයි. මම හරිම භාග්‍යවන්තයි. අම්මත් තාත්තත් කළ ඒ දේවල් මම ගොඩාක් අගය කරනවා.” (හිතෝපදේශ 31:28) අනර්ඝ උරුමයක් වන ඔබේ දරුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඔබටත් උපකාරවත් විය හැකියි.

20. දෙමාපියන් නිතරම මතක තබාගත යුතු කාරණය කුමක්ද? එය ඔවුන්ට බලපෑ යුත්තේ කෙසේද?

20 අපගේ දරුවන් වෙනුවෙන් අප වැය කරන කාලය, ඔවුන්ට දෙන අවධානය සහ ඔවුන් වෙනුවෙන් දරන වෑයම ඇත්තෙන්ම වටිනවා. ඔවුන්ගේ ළමා කාලය පවතින්නේ ඉතාමත්ම කෙටි කාලයකටයි. ඔවුන් සමඟ කාලය ගත කිරීමටත් ඔවුන්ට උපකාර කිරීමටත් ඔබට ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගන්න. ඒ ගැන ඔබ කවදාවත් කනගාටු වෙන්නේ නැති බව සහතිකයි. ඔබ එසේ කළොත් ඔවුන් ඔබට ගොඩාක් ප්‍රේම කරාවි. මේ කාරණය අමතක කරන්න එපා. දරුවෝ දෙවි ඔබට දී තිබෙන තෑග්ගක්. ඔවුන් මොන තරම් වටිනා උරුමයක්ද! (ගීතාවලිය 127:3-5) ඔවුන්ව ඇති දැඩි කරන ආකාරය ගැන ඔබ දෙවිට ගණන් දිය යුතුයි. ඒ හැඟීමෙන් යුතුව ඔවුන්ට සලකන්න. ඔවුන්ව ඇති දැඩි කරන්න.

[පාදසටහන]

^ 13 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. “දෙවිව සතුටු කරන විදිහ” නමැති මාතෘකාවෙන් යුත් 40වන පරිච්ඡේදය බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• විශේෂයෙන් අද කාලයේදී දෙමාපියන් තම දරුවන්ව ආරක්ෂා කළ යුත්තේ මන්ද?

• දරුවෙකු තුළ ප්‍රඥාව ඇති කිරීම සඳහා ඔහුට ඉගැන්විය යුත්තේ කුමක්ද?

• ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කළ යුතු අතිවැදගත් කාරණා මොනවාද?

• තම දරු දැරියන්ට ඉගැන්වීම සඳහා උතුම් ගුරුවරයා පොත දෙමාපියන්ට ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18, 19වන පිටුවේ කොටුව⁄පින්තූර]

හැමෝටම ප්‍රයෝජනවත් පොතක්

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත සකස් කර තිබෙන්නේ කුමන අරමුණක් ඇතුවද? යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ගැන දරුවන්ට කියවා ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහායි. නමුත් වැඩිහිටියනුත් ඒ පොත කියවා එයින් ඉමහත් ප්‍රයෝජන ලබා තිබෙනවා. ඒ සඳහා ඔවුන් අවංකව තමන්ගේ අගය ප්‍රකාශ කර තිබෙනවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න.

අමෙරිකාවේ ටෙක්සස්වල වෙසෙන කෙනෙක් මෙහෙම දෙයක් කිව්වා. “උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත සරල වුණත් ඉතාමත්ම කදිම පොතක්. මට වයස අවුරුදු 76ක් වෙනවා. නමුත් ඒ පොතේ අදහස් ඉදිරිපත් කරලා තියෙන ආකාරය ඕනෑම වයස් මට්ටමක සිටින කෙනෙකුගේ සිතට කාවදිනවා. යෞවන කාලයේ සිට යෙහෝවාට සේවය කළ කෙනෙක් හැටියට මම කැමතියි ඒ පොත සකස් කිරීම ගැන ඔබට ස්තුති කරන්න.”

එංගලන්තයේ ලන්ඩන් නුවර වෙසෙන පාඨකයෙක් මෙහෙම ලිව්වා. “ඒ පොතේ තිබෙන ලස්සන පින්තූරු අනිවාර්යයෙන්ම දරුවන්ගේ වගේම දෙමාපියන්ගේ සිත් ඇදගන්නවා. තොරතුරු පිළියෙල කර තිබෙන විදිහ සහ ප්‍රශ්න යොදාගෙන තිබෙන ආකාරයත් ගොඩාක් හොඳයි. ඒ විතරක් නෙවෙයි, ‘යේසුස්ව ආරක්ෂා කළ සැටි’ විස්තර කරන 32වන පරිච්ඡේදය තුළ බරපතළ කාරණා වුණත් ඉදිරිපත් කර තිබෙන ආකාරය කදිමයි.” ඇගේ ලිපියේ අවසානයේ ඇය මෙහෙම සඳහන් කළා. “මේ පොත මූලිකවම පිළියෙල කර ඇත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ව සිතේ තබාගෙන බවට සැකයක් නැහැ. ඒත් මේ පොත ලබාගැනීමට සාක්ෂිකරුවන් නොවන ගුරුවරුන් සහ වෙනත් අය ගොඩාක් සතුටු වෙයි කියා මම හිතනවා. ඉදිරි මාස හා අවුරුදු ගණනාව පුරා එය පාවිච්චි කිරීමට මම ආසාවෙන් බලා සිටිනවා.”

අමෙරිකාවේ මැසචුසෙට්ස් නගරයේ වෙසෙන කාන්තාවක් “හොඳට හිතලා ඇඳ තිබෙන පින්තූරු” ගැන මෙහෙම කිව්වා. “ඒ පොත දරුවන්ට සකස් කරලා තිබුණත්, යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන සම්බන්ධය ගැන සලකා බැලීම සඳහා එහි සාකච්ඡා කර තිබෙන විෂයන් අපට උපකාරවත් වෙනවා.”

“මෙය ඇත්තෙන්ම කදිම පොතක්!” එහෙම පැවසුවේ අමෙරිකාවේ මේන් නගරයේ වෙසෙන කාන්තාවක්. “මේ පොත දරුවන්ට විතරක් නෙවෙයි, දෙවිගේ දරුවන් වන අපි සියලුදෙනාටම සකස් කර තිබෙන පොතක්. ඒ පොත මගින් යෙහෝවා දෙවි මගේ සිතේ යටපත් වෙලා තිබූ වේදනාව තුනී කරලා මට සැහැල්ලුවක් දැනෙන්න සලස්වා තිබෙනවා. එය කියවීමෙන් පසුව මම යෙහෝවා දෙවිට ගොඩාක් සමීප වූ බවක් මට දැනෙනවා. වසර ගණනාවක් පුරා මට දැනුණ වේදනාව ඔහු ඉවත් කරලා තියෙනවා. ඔහුගේ අරමුණ දැන් මට ගොඩාක් පැහැදිලියි. හැමෝටම මම කියන්නේ ඒ පොත කියවන්න කියලයි.”

තම මිනිබිරියන් හා මුනුබුරන් එක්ක ඒ පොත කියවද්දී ඔවුන් මෙවැනි ප්‍රශ්න ඇසූ බව ජපානයේ කයොටෝ නගරයේ වෙසෙන කාන්තාවක් පැවසුවා. “‘ඒ පිරිමි ළමයා මොනවද කරන්නේ? ඇයි අර ගැහැනු ළමයාට බනින්නේ? මේ අම්මා කෙනෙක් මොනවද කරන්නේ? අර සිංහයා මොනවද කරන්නේ?’ අපි ආස කරන දේවල් ගැන එහි කියා තිබෙන නිසා, පුස්තකාලයකින් ලබාගත හැකි ඕනෑම පොතකට වඩා වැඩියෙන් මම මේ පොතට ආසයි.”

කැනඩාවේ කැල්ගරිවල වෙසෙන පියෙක් පවසනවා ඔහුට පොත ලැබුණු ගමන්ම ඔහු තම දුවත් පුතාත් එක්ක එකතු වෙලා ඒ පොත කියවන්න පටන්ගත්නා කියලා. ඔහුගේ දුවට වයස අවුරුදු හයයි. පුතාට නවයයි. “ඔවුන් මුල ඉඳලාම ඒ පොත කියවීමෙන් ලොකු සතුටක් ලැබුවා” කියා ඔහු පවසනවා. “මගේ දරුවෝ දෙන්නා හොඳට සවන් දීලා අහලා තිබෙන ප්‍රශ්නවලට ඔවුන්ගේ හදවතින්ම පිළිතුරු දුන්නා. ඔවුන් පාඩමට හොඳට සහභාගි වුණා. ඔවුන්ගේම අදහස් ප්‍රකාශ කිරීමට එමගින් ඔවුන්ට අවස්ථාවක් ලැබුණා. ඔවුන්ට දැන් ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මගේ දුව කියනවා ඇයට හැමදාම රෑට ඒ පොතෙන් පාඩමක් කරන්න ඕනේ කියලා.”

එක දවසක් සිදු වූ දෙය ඒ පියා මෙහෙම විස්තර කරනවා. “මගේ පුතයි මායි පැය කිහිපයක් පුරා යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් කතා කළා. ඒ පොතේ තිබෙන තොරතුරුවලට සම්බන්ධ ප්‍රශ්න ගොඩාක් ඔහුට තිබුණා. ‘අපිට පුළුවන්ද තාත්ති ආයෙත් මෙහෙම කතා කරන්න? මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා තාත්තාගෙන් අහන්න. යෙහෝවා දෙවි ගැන හැමදෙයක්ම දැනගන්න මට ඕනේ’ කියා එදා රෑ ඔහු පැවසූ විට මගේ දෙනෙත්වලට කඳුළු පිරුණා.”

[15වන පිටුවේ පින්තූරය]

දෙමාපියනි, ඔබට මානෝවාගේ ආදර්ශයෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

[16වන පිටුවේ පින්තූරය]

බාලයෙනි, ඔබට හෙබ්‍රෙව් ජාතික තරුණයන්ගෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

[17වන පිටුවේ පින්තූර]

“උතුම් ගුරුවරයා” පොතේ තිබෙන පින්තූරු සහ ඒවාට අදාළ විස්තර හෝ ප්‍රශ්න, ඉගැන්වීම සඳහා කදිම ආධාරකයන්

අනනියස් පේතෘස්ට කියන්නේ මොනවාද?

අපි කරන හැම දෙයක්ම දකින්න පුළුවන් කාටද?