Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

රජයේ සේවකයෙකුගෙන් යම් සේවාවක් සපයාගැනීම සඳහා ක්‍රිස්තියානියෙක් යම් මුදලක් හෝ තෑගි බෝග හෝ දීම සුදුසුද? එය අල්ලසක් ලෙස සැලකිය යුතුද?

ක්‍රිස්තියානීන් නිතරම උත්සාහ කරන්නේ ඔවුන් කොතැනක ජීවත් වුණත් ඥානවන්තව ක්‍රියා කිරීමටය. යම් දෙයක් නීත්‍යනුකූලද, එය පිළිගනු ලබනවාද යන්න ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බව ඔවුන් හොඳින් තේරුම්ගෙන තිබේ. (හිතෝපදේශ 2:6-9) කෙසේ නමුත් ‘යෙහෝවාගේ මණ්ඩපයෙහි සිටින්නට කැමති කෙනෙක්’ අල්ලස් දූෂණයෙන් වැළකී සිටිය යුතු බව ක්‍රිස්තියානීන් නිතරම සිහියේ තබාගත යුතුය.—ගීතාවලිය 15:1, 5; හිතෝපදේශ 17:23.

අල්ලස් දීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයට අනුව අල්ලසක් යනු “කෙනෙකුගෙන් ලාභ ප්‍රයෝජනයක් පතා ඔහුට දෙන නීති විරෝධී දීමනාව” වේ. නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය අල්ලස් දීම විග්‍රහ කරන්නේ “යම් කෙනෙකුව අයුක්තිය සඳහා පොලඹවා ගැනීමට දෙන දීමනාව, අයුතු සංග්‍රහය” ලෙසයි. මේ අනුව අප කොතැනක ජීවත් වුවත් යම් අයුක්තියක් සිදු කිරීමට හෝ කළ වරදකින් නිදහස් වීමට අප විනිසුරුවෙකුට හෝ පොලිස් නිලධාරියෙකුට යම් මුදලක් හෝ තෑග්ගක් දීම සැලකෙන්නේ අල්ලසක් ලෙසටයි. අප පෝළිමක සිටින විට අප ඉදිරියෙන් සිටගෙන සිටින අයට කලින් යම් සේවාවක් ලබාගැනීම සඳහා අප යමක් දුන්නොත් එයත් සලකනු ලබන්නේ අල්ලසක් ලෙසයි. ඇත්තටම එවැනි දේවල් කිරීමෙන් අප පෙන්නුම් කරන්නේ අප අන් අය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බවත් අප ගැන පමණක් සිතන බවත්ය.—මතෙව් 7:12; 22:39.

එහෙත් රජයේ සේවකයෙකුගෙන් යම් නීත්‍යනුකූල සේවයක් ලබාගැනීම සඳහා හෝ යම් අසාධාරණයක් සිදුවීම මඟහරවා ගැනීම සඳහා හෝ තෑගි බෝග හෝ මුදල් දීම අල්ලසක් ලෙස සැලකිය හැකිද? උදාහරණයකට ඇතැම් රටවල ළමුන්ව පාසැලකට ඇතුල් කිරීම සඳහා හෝ රෝගියෙකුව රෝහලකට ඇතුල් කිරීම සඳහා හෝ ගමන් බලපත්‍ර ඉක්මනින් වලංගු කරගැනීම සඳහා හෝ අදාළ නිලධාරීන්ට යම් දීමනාවක් ලබා දිය යුතුය. සමහර අවස්ථාවලදී දීමනාවක් නොලැබීම නිසා බලපත්‍ර, අවසර පත්‍ර ආදී දේවල් ලබා දීම ප්‍රමාද කළ හැකියි.

විවිධ රටවල්වල ජනයා යම් සේවාවක් සපයාගැනීම සඳහා මුදල් හෝ තෑගි බෝග දීම ගැන විවිධ මත දරයි. ඇතැම් රටවල මෙය සාමාන්‍ය දෙයක් වී තිබේ. වෙනත් රටවල නිලධාරීහු එවැන්නක් බලාපොරොත්තු වෙති. එවැනි රටවල ජීවත් වන ඇතැම් ක්‍රිස්තියානීන් දරන මතය වන්නේ එවන් සේවාවක් සපයාගැනීම සඳහා දීමනාවක් දීම නීති විරෝධී නොවන බවය. සමහර රටවල රජයේ සේවකයන්ට ඉතා අඩු ආදායමක් ලැබෙන නිසා මහජනයා සතුටින් දීමනාවක් දෙන්නේ ඒ අඩු ආදායමට පිටුවහලක් වීම සඳහාය. මෙහිදී මතක තබාගත යුතු දේ නම් යම් නීත්‍යනුකූල සේවාවක් ලබාගැනීමේ අදහසින් යම් දීමනාවක් ලබා දීම හා නීතිවිරෝධී දෙයක් කරවාගැනීම සඳහා අල්ලසක් දීම අතර ලොකු වෙනසක් තිබෙන බවය.

යෙහෝවා දෙවිගේ ඇතැම් සේවකයෝ යම් නීත්‍යනුකූල සේවයක් ලබාගන්නා අවස්ථාවලදී පරීක්ෂක නිලධාරීන්ට, රේගුවේ නිලධාරීන්ට හෝ වෙනත් අයට මුදල් හෝ තෑගි බෝග දීමෙන් වැළකී සිටිති. මහජනයා එවන් දීමනා දීමට පුරුදුව සිටියත් එම සාක්ෂිකරුවෝ එසේ නොකරන්නට තීරණය කරති. සාක්ෂිකරුවන් තම හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරන ඉතා අවංක පිරිසක් හැටියට නම් දරා ඇති නිසා වෙනත් අය මුදල් හෝ තෑගි බෝග දී ලබාගන්නා සේවාවන් ඔවුහු කිසිවක් නොදී ලබාගනිති.—හිතෝපදේශ 10:9; මතෙව් 5:16.

සාරාංශයක් ලෙස අපට කුමක් කිව හැකිද? යම් නීත්‍යනුකූල සේවාවක් ලබාගැනීමට හෝ යම් අසාධාරණයක් මඟහරවා ගැනීමට තමා යම් දීමනාවක් දෙනවාද නැද්ද යන්න සෑම ක්‍රිස්තියානියෙකුම පෞද්ගලිකව තීරණය කළ යුතුය. ඔහු ගන්නා තීරණය කවර එකක් වුවත් වැදගත් වන්නේ දෙවි සමඟ තමාගේ සම්බන්ධයට කිසිදු හානියක් සිදු නොවීමය. අනික් අතට යෙහෝවාගේ නාමයට කැලලක් ඇති නොකිරීමටත් අන් අයව බාධාවට පත් නොකිරීමටත් ඔහු වගබලා ගත යුතුය.—මතෙව් 6:9; 1 කොරින්ති 10:31-33; 2 කොරින්ති 6:3; 1 තිමෝති 1:5.