Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ඇත්තටම ඔබේ මිතුරාද?

යෙහෝවා දෙවි ඇත්තටම ඔබේ මිතුරාද?

යෙහෝවා දෙවි ඇත්තටම ඔබේ මිතුරාද?

බයිබලය ලියනු ලැබූ කාලයේදී ඇතැම් පුද්ගලයන් යෙහෝවා දෙවි සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන සිටියා. ඇත්තටම බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වා තිබෙන්නේ “ආබ්‍රහම්ගේ දෙවි,” “එලියාගේ දෙවි” සහ “දාවිත්ගේ දෙවි” ලෙසයි.—උත්පත්ති 31:42; 2 රාජාවලිය 2:14; 20:5.

මෙම පුද්ගලයන්ට දෙවි සමඟ එතරම් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වූයේ කෙසේද? මැවුම්කාර දෙවි වන යෙහෝවා සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන එය දිගටම පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ගේ ජීවිතවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

ආබ්‍රහම් ‘යෙහෝවා කෙරෙහි විශ්වාස කළා’

ආබ්‍රහම් ගැන බයිබලයෙහි සඳහන් වෙන්නේ ඔහු යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ කෙනෙකු හැටියටයි. පුද්ගලයෙකු ගැන මෙවැනි දෙයක් සඳහන් වන මුල්ම අවස්ථාව මෙයයි. ආබ්‍රහම්ට දෙවිගේ අනුමැතිය ලැබුණේ ඔහු දෙවි කෙරෙහි පුදුමාකාර ඇදහිල්ලක් පෙන්නුම් කළ නිසයි. දෙවි සහ ආබ්‍රහම් අතර කොතරම් කිට්ටු මිත්‍රත්වයක් ඇති වූවාද කිවහොත් මෝසෙස්ගේ කාලයේදී දෙවි තමාව “ආබ්‍රහම්ගේ දෙවි” සහ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ හා මුනුපුරු යාකොබ්ගේ දෙවි ලෙස හඳුන්වා දුන්නා.—උත්පත්ති 15:6; නික්මයාම 3:6.

ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි මෙතරම් ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගත්තේ කොහොමද? ආබ්‍රහම්ගේ ඇදහිල්ලට ශක්තිමත් අඩිතාලමක් තිබුණා. ඒ ශක්තිමත් අඩිතාලම ගොඩනැඟීමට නෝවාගේ පුත් ෂෙම් ඔහුට උපකාර කරන්නට ඇති. ෂෙම් යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන්ව ගලවාගත් ආකාරය ඇසින් දුටු කෙනෙක්. “අභක්තිකයන්ගෙන් යුත් ලෝකයක් පිට ජලගැල්මක් ගෙන ආ කල, ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු වූ නෝවාව තව සත්දෙනෙකු සමඟ [යෙහෝවා] ආරක්ෂා” කළ අයුරු ගැන ෂෙම් නොයෙකුත් අවස්ථාවලදී ආබ්‍රහම් සමඟ කතා කරන්නට ඇති. (2 පේතෘස් 2:5) යෙහෝවා දෙවි පොරොන්දුවක් දුන්නොත් එය සහතිකවම ඉටු කරන බවට මෙමඟින් ආබ්‍රහම් තුළ විශ්වාසයක් ඇති වෙන්න ඇති. පසුව දෙවි ආබ්‍රහම්ටත් පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව ගැන සන්තෝෂ වෙමින් ආබ්‍රහම් තම ජීවිතය ගත කළේ එය ඉටු වන බවට නිසැකකමක් ඇතුවයි.

ආබ්‍රහම්ට මේ අයුරින් ශක්තිමත් ඇදහිල්ලක් තිබුණු නිසා ඔහු ඊට එකඟව ක්‍රියා කළා. මෙයින් ඔහුගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වුණා. ප්‍රේරිත පාවුල් ඒ ගැන අදහස් දක්වමින් මෙසේ ලිව්වා. “ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ විට, තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු කීකරු විය. තමන් කොතැනට යනවාදැයි නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය.” (හෙබ්‍රෙව් 11:8) ආබ්‍රහම් දෙවිට කීකරු වූ නිසා ඔහුගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වුණා. ඒ ඇදහිල්ල ගැන පවසමින් යාකොබ් මෙසේ ලිව්වා. “ඔහුගේ ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියා කළ බවත්, ඔහුගේ ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවලින් සම්පූර්ණ කරනු ලැබූ බවත් ඔබට පෙනේ.”—යාකොබ් 2:22.

මීට අමතරව ආබ්‍රහම්ගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වුණේ ඒ ඇදහිල්ල පරීක්ෂා කිරීමට යෙහෝවා ඉඩ දුන් නිසයි. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඇදහිල්ලෙන්, ආබ්‍රහම් සෝදිසි කරනු ලැබූ කල, ඔහු ඊසාක්ව ඔප්පු කළා හා සමානවම ක්‍රියා කළේය.” මෙලෙස පරීක්ෂාවලට ලක්වීමෙන් සිදු වෙන්නේ ඇදහිල්ල ශක්තිමත් වීම සහ එය තව දුරටත් ස්ථිර වීමයි. එවැනි ඇදහිල්ලක් “රනට වඩා බොහෝ සේ” වටිනවා.—හෙබ්‍රෙව් 11:17; 1 පේතෘස් 1:7.

දෙවි පොරොන්දු වූ සියලු දේ ඉටු වන අයුරු දැකගැනීමට ආබ්‍රහම්ට හැකි වුණේ නැහැ. ඔහු ඊට පෙරාතුව මියගියා. එනමුත් වෙනත් අය ඔහුගේ ආදර්ශය අනුකරණය කරනවා දැකීමේ භාග්‍යය ඔහු ලැබුවා. බයිබලයේ ඔහුගේ භාර්යාව වූ සාරා ගැන මෙන්ම ඔහුගේ පවුලට අයිති තවත් තිදෙනෙක් වන ඊසාක්, යාකොබ් සහ යෝසෙප් විදහාපෙන්වූ ඇදහිල්ල ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා.—හෙබ්‍රෙව් 11:11, 20-22.

අද දින ආබ්‍රහම්ගේ මෙන් ඇදහිල්ලක්

යෙහෝවාව තම මිතුරා කරගන්න කැමති ඕනෑම කෙනෙකුට ඇදහිල්ල අත්‍යවශ්‍ය දෙයක්. “ඇදහිල්ල නැතිව කිසිසේත් [දෙවිව] සතුටු කළ නොහැක” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 11:6) අද දින සිටින දෙවිගේ සේවකයෙකුට ආබ්‍රහම්ගේ වගේ ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට පුළුවන් කොහොමද?

ආබ්‍රහම්ගේ ඇදහිල්ලට ශක්තිමත් අඩිතාලමක් තිබුණා. අපේ ඇදහිල්ලටත් එවැනි ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතුයි. අපේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ බයිබලය මෙන්ම බයිබලයේ තිබෙන කාරණා ගැන විස්තර කරන පොත් පත්, නිතිපතා අධ්‍යයනය කිරීමයි. බයිබලය කියවා එහි තිබෙන දේවල් ගැන මෙනෙහි කිරීමෙන් දෙවිගේ පොරොන්දු ස්ථිරයෙන්ම ඉටු වන බවට අප තුළ නිසැකකමක් ඇති වෙයි. එවිට ඒ ස්ථිර බලාපොරොත්තුවට එකඟව අපගේ ජීවිතය හැඩගස්වා ගැනීමට අප පෙලඹෙනවා. අප දෙවිට කීකරුව දේවල් කරන විට අපගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙයි. දේවසේවයේ හවුල් වීම සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම අපගේ කීකරු ක්‍රියාවලට අයිති වෙනවා.—මතෙව් 24:14; 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25.

අපගේ ඇදහිල්ල අනිවාර්යයෙන්ම පරීක්ෂණයට ලක් වෙනවා. සමහරවිට අපට විරුද්ධවාදිකම්වලට, බරපතළ අසනීප තත්වයකට, අප ප්‍රේම කරන කෙනෙකුගේ මරණයට හෝ වෙන යම් අසීරු තත්වයකට මුහුණ දීමට සිදු විය හැකියි. මෙවන් පරීක්ෂා යටතේ වුවත් අපි යෙහෝවාට ලැදිව කටයුතු කරනවා නම් අපගේ ඇදහිල්ල ගොඩාක් ශක්තිමත් වෙයි. එවැනි ශක්තිමත් ඇදහිල්ලක් රන්වලටත් වඩා අනර්ඝයි. දෙවිගේ පොරොන්දු සියල්ලක්ම ඉටු වෙනවා දකින්න අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයිද නැද්ද කියා අප දන්නේ නැහැ. නමුත් අපට ඇදහිල්ල තිබෙනවා නම් අප යෙහෝවා දෙවිට වඩාත් කිට්ටු වේවි. ඒ විතරක් නෙවෙයි, අපගේ ක්‍රියා දකින අනිත් අයට අපගේ ඇදහිල්ල අනුකරණය කිරීමට පෙලඹීමක් ඇති වේවි. (හෙබ්‍රෙව් 13:7) රැල්ෆ් තම දෙමාපියන්ගේ ඇදහිලිවන්ත ක්‍රියා දැක ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කළ කෙනෙක්. ඔහු පවසන දෙය සැලකිල්ලට ගන්න:

“මම ගෙදර ඉන්න කාලයේදී, මගේ දෙමාපියන් අපිව උදේ පාන්දර නැඟිට්ටෙව්වා පවුලක් හැටියට එකට ඉඳගෙන බයිබලය කියවීම සඳහා. අපිට පුළුවන් වුණා ඒ විදිහට මුළු බයිබලයම කියවන්න.” රැල්ෆ් තවමත් හැමදාම උදේට බයිබලය කියවනවා. ඔහුගේ දවසට එමගින් හොඳ ආරම්භයක් ලැබෙනවා. රැල්ෆ් එයාගේ තාත්තත් එක්ක හැම සතියේම දේවසේවයේ සහභාගි වුණා. “මම නැවත බැලීම් සහ බයිබල් පාඩම් කරන ආකාරය ඉගෙනගත්තේ තාත්තාගෙන්” කියා රැල්ෆ් කියනවා. ඔහු දැන් යුරෝපයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක ස්වේච්ඡා සේවකයෙක් හැටියට සේවය කරමින් සිටිනවා. ඔහුගේ දෙමාපියන්ගේ ඇදහිල්ලට මොන තරම් ආශීර්වාදයක්ද!

යෙහෝවාට ප්‍රසන්න මනුෂ්‍යයෙක්

ආබ්‍රහම්ගේ කාලයෙන් අවුරුදු 900කට පමණ පසුව දාවිත් උපත ලැබුවා. බයිබලයේ සඳහන් යෙහෝවාගේ සේවකයන් අතර ඔහු විශේෂ පුද්ගලයෙක්. යෙහෝවා දෙවි දාවිත්ව රජ කෙනෙකු ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් අනාගතවක්තෘ සාමුවෙල් ලිව්වේ “යෙහෝවා තමන් සිත ලෙස මනුෂ්‍යයෙකු” සොයාගනියි කියායි. යෙහෝවා දෙවි සහ දාවිත් අතර තිබූ බැඳීම ඉතා විශේෂ එකක් වූවා කියා කිව හැකියි. අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජුට “ඔබේ පිය වූ දාවිත්ගේ දෙවි වූ යෙහෝවා” කියා සඳහන් කිරීම මෙයට හේතුවක් ලෙස සඳහන් කළ හැකියි.—1 සාමුවෙල් 13:14; 2 රාජාවලිය 20:5; යෙසායා 38:5.

දාවිත් යෙහෝවාට ප්‍රසන්න කෙනෙක් වුවත්, දාවිත් තම ආශාවන්ට යටත් වී ක්‍රියා කළ අවස්ථා තිබුණා. ඔහු තුන් වතාවක්ම ඉතා බරපතළ වැරදි කළා. එක් අවස්ථාවකදී ඔහු යෙරුසලමට ගිවිසුම් පෙට්ටිය ගෙන ගියේ සුදුසු විදිහට නොවෙයි. තවත් අවස්ථාවකදී ඔහු බැත්ෂෙබා සමඟ පරදාර සේවනයේ යෙදීමෙන් පසුව ඇගේ ස්වාමිපුරුෂයාව මරා දැමීමට සැලසුම් යෙදුවා. එමෙන්ම යෙහෝවාගේ අනුදැනුමක් නැතිව ඊශ්‍රායෙල් සහ යූදාහි ජන ලේඛනයක් ඔහු සකස් කළා. මේ සෑම අවස්ථාවකදීම දාවිත් දෙවිගේ නීතිය උල්ලංගනය කළා.—2 සාමුවෙල් 6:2-10; 11:2-27; 24:1-9.

දාවිත්ගේ පාප සම්බන්ධයෙන් ඔහුගෙන් විමසන විට ඔහු තම වැරදි පිළිගත්තා. ඔහු වෙන අයට දොස් කියන්න ගියේ නැහැ. ගිවිසුම් පෙට්ටිය ගෙන ගියේ හොඳ සැලසුමක් නැතිව බව ඔහු පිළිගත්තා. “නියෝගය ලෙස අප [යෙහෝවා දෙවිව] නොසෙවූ” බව ඔහු කීවා. අනාගතවක්තෘ නාතාන් දාවිත් පරදාර සේවනයේ යෙදී තිබුණු බව හෙළි කළ විට, දාවිත් මෙහෙම පිළිතුරු දුන්නා. “මම යෙහෝවාට විරුද්ධව පව් කළෙමි.” තවද සෙනඟ ගණන් කිරීමේ තිබූ අඥානකම ගැන දාවිත්ට පැහැදිලි වූ විට ඔහු “මම මේ දේ කිරීමෙන් බොහෝ කොට පව් කළෙමි” කියා පැවසුවා. දාවිත් තමා කළ පව් ගැන පසුතැවිලි වී යෙහෝවා සමඟ දිගටම කිට්ටු සම්බන්ධයක් පැවැත්වූවා.—1 ලේකම් 15:13; 2 සාමුවෙල් 12:13; 24:10.

අපේ අතින් වැරදි සිදු වන විට

යෙහෝවා දෙවිව අපගේ මිතුරා කරගැනීමට අප උත්සාහ කරනවා නම්, දාවිත්ගේ ආදර්ශයෙන් අපට දිරිගැන්වීමක් ලැබිය හැකියි. දාවිත්ට යෙහෝවා ගොඩාක් ප්‍රිය කළත් ඔහුගේ අතින් බරපතළ වැරදි සිදු වුණා. එහෙම නම් අපි වැරදි නොකර සිටීමට ඉමහත් වෑයමක් දැරුවත් ඉඳ හිට අපේ අතිනුත් සුළු හෝ බරපතළ වැරදි සිදු වෙනවා නම් අප අධෛර්යයට පත් විය යුතු නැහැ. (දේශනාකාරයා 7:20) දාවිත් තම පව් ගැන පසුතැවිලි වූ විට ඔහුට සමාව ලැබුණු බව මතක් කරගැනීමෙන් අපට සහනයක් ලැබිය හැකියි. වසර කිහිපයකට පෙර උවී නම් සහෝදරයාටත් සිදු වුණේ ඒ හා සමාන දෙයක්. *

උවී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරමින් සිටියා. එක අවස්ථාවකදී ඔහු වැරදි ආශාවන්ට වහල් වී දුරාචාරයේ නියැලුණා. මුලදී උවී උත්සාහ කළා දාවිත් රජ වගේ කාරණය සඟවන්න. ඔහු සිතුවා යෙහෝවා දෙවි ඔහුගේ වරද ගණන් නොගෙන ඉඳියි කියලා. නමුත් උවීගේ හිත ඔහුට හුඟාක් වද දුන්නා. ඒ නිසා ඔහු තවත් වැඩිමහල්ලෙකුට මේ කාරණය ගැන කිව්වා. ඒ වන විටත් දෙවිට විරුද්ධව පව් කිරීමෙන් උවී දෙවි සමඟ තිබූ මිත්‍රත්වය පලුදු කරගෙනයි තිබුණේ. එහෙත් එය නැවත ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබුවා.

උවී තම පව් ගැන පසුතැවිලි වී යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති කරගත්තා. සභාව සමඟත් ඔහු දිගටම ආශ්‍රය කළා. ඔහු තමා ලැබූ උපකාරය සඳහා තම අවංක ස්තුතිය සහ හෘදයාංගම කෘතඥතාව ප්‍රකාශ කරමින් සති කිහිපයකට පසුව වැඩිමහල්ලන්ට ලිපියක් ලිව්වා. “යෙහෝවාගේ නමට ඇති වෙලා තිබුණු නින්දාව නැති කරන්න ඔබ මට උපකාර කළා” කියා ඔහු ඒ ලිපියේ සඳහන් කළා. උවීට හැකි වුණා යෙහෝවා දෙවිත් එක්ක තිබුණ සම්බන්ධය දිගටම පවත්වාගන්න. කල් යත්ම එම සභාවේම වගකීම් දැරීමට ඔහුට නැවතත් අවස්ථාව ලැබුණා.

‘අපට සමාන හැඟීම් ඇති මිනිසෙක්’

ඊශ්‍රායෙලයේ විසූ මුල් අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙකි එලියා. දාවිත්ට ශතවර්ෂයකට පමණ පසුවයි ඔහු ජීවත් වුණේ. එලියා ජීවත් වූ කාලයේදී දූෂණය සහ දුරාචාරය හැම තැනම දක්නට ලැබුණා. ඒත් ඔහු යෙහෝවා දෙවිට සේවය කළේ නොසැලෙන ස්ථාවරයක් ඇතුවයි. ඔහු සැබෑ නමස්කාරය වෙනුවෙන් නැඟී සිටි කෙනෙක්. මේ නිසා ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ එලිෂා වරක් දෙවිව, “එලියාගේ දෙවි” යනුවෙන් හැඳින්වීම පුදුමයක් නෙවෙයි.—2 රාජාවලිය 2:14.

එලියා සාමාන්‍ය මනුෂ්‍යයෙක්. යාකොබ් ඔහු ගැන ලීවේ “එලියා අප සමාන හැඟීම් ඇති මිනිසෙකු” කියායි. (යාකොබ් 5:17) එක් අවස්ථාවකදී ඊශ්‍රායෙලයේ බාල් නමස්කාරකයන්ව ඔහු අන්ත පරාජයට පත් කළා. ඒ අවස්ථාවේදී යෙසබෙල් රැජින ඔහුව ඝාතනය කරන බවට තර්ජනය කළා. එවිට එලියා කළේ කුමක්ද? ඔහු භය වී පාළුකරයට පලා ගියා. එහිදී ඔහු රෝතෙම් ගසක් යට වාඩි වී මෙසේ විලාප නැඟුවා. “ඉතින් ඇත; දැන් යෙහෝවා, මාගේ ප්‍රාණය ගත මැනව; මක්නිසාද මම මාගේ පියවරුන්ට වඩා උතුම් නොවෙමි.” එලියා කොතරම් අධෛර්යය වුණාද කිව්වොත් අනාගතවක්තෘ කෙනෙකු ලෙස තවදුරටත් සේවය කරන්න ඔහු කැමති වුණේ නැහැ. ඔහුට ඕනෑ වුණේ මැරෙන්නයි.—1 රාජාවලිය 19: 4.

කෙසේවෙතත් යෙහෝවා එලියාගේ හැඟීම් තේරුම්ගත්තා. සැබෑ නමස්කාරයට පක්ෂපාත තවත් අය සිටින නිසා එලියා තනි වී නැති බව ඔහුට පවසමින් දෙවි ඔහුව ශක්තිමත් කළා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දිගටම එලියාව විශ්වාස කරමින් ඔහුට කරන්න තවත් වැඩ භාර දුන්නා.—1 රාජාවලිය 19:5-18.

එලියා ඒ අවස්ථාවේදී සිතේ කලබලයෙන් කටයුතු කළ නිසා ඔහුට දෙවිගේ අනුමැතිය අහිමි වී තිබුණා කියා ඉන් අදහස් කළේ නැහැ. වසර 1,000කට පමණ පසුව පේතෘස් යාකොබ් සහ යොහන් ඉදිරියේ, යේසුස් ක්‍රිස්තුස් අන් ස්වරූපයකට පත්වීමේ දර්ශනයේදී යේසුස් අසල පෙනී සිටීමට යෙහෝවා දෙවි තේරුවේ කාවද? ඔහු තේරුවේ මෝසෙස් සහ එලියාවයි. (මතෙව් 17:1-9) යෙහෝවා එලියාව ආදර්ශවත් අනාගතවක්තෘවරයෙක් ලෙස සැලකූ බව පැහැදිලියි. “එලියා අප සමාන හැඟීම් ඇති මිනිසෙකු” වුවත් සැබෑ නමස්කාරය නැවත පිහිටුවාලීම සහ දෙවිගේ නාමය විශුද්ධි කිරීම සඳහා ඔහු වෙහෙස මහන්සි වී කළ සේවය දෙවි අගය කළා.

අපට තිබෙන සටන

අද දින යෙහෝවා දෙවිගේ සේවකයන් ඇතැම් අවස්ථාවලදී අධෛර්යයට පත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් භයෙන් කලබලයෙන් කටයුතු කරන්න පුළුවන්. එලියාටත් එවැනිම හැඟීම් තිබුණු බව දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද! යෙහෝවා එලියාගේ හැඟීම් තේරුම්ගත් ආකාරයටම අපගේ හැඟීම්ද තේරුම්ගන්නා බව දැනගන්න ලැබීම ඇත්තෙන්ම සහනයක්!—ගීතාවලිය 103:14.

අප දෙවිටත් අපගේ අසල්වැසියාටත් ප්‍රේම කරන අතරම දෙවි අපට භාර දී තිබෙන වැඩය වන දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට අප කැමැත්තෙන් සිටිනවා. අපි දේශනා කරද්දී මිනිස්සු ඊට හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට අපි අධෛර්යයට පත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සැබෑ නමස්කාරයට විරුද්ධ අයගෙන් එල්ල වෙන තර්ජන හමුවේ අප භය වෙන්න හෝ කලබල වෙන්න පුළුවන්. ඒ කෙසේවෙතත් යෙහෝවා දෙවි එලියාට ඔහුගේ සේවය දිගටම කරගෙන යෑමට උපකාර කළා වගේ අද දින සිටින ඔහුගේ සේවකයන්ටත් ඔහු උපකාර කරනවා නිසැකයි. හර්බර්ට් සහ ගර්ටෘට්ගේ ආදර්ශය සලකා බලන්න.

හර්බර්ට් සහ ගර්ටෘට් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් 1952දී බව්තීස්ම වුණා. ඔවුන් සිටියේ කලින් ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ ලයිප්සිග් නගරයේයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවයට තහංචි පනවා තිබූ නිසා ඒ කාලයේදී දෙවිගේ සේවකයන් ගත කළේ හරිම දුෂ්කර ජීවිතයක්. ගෙයින් ගෙට දේශනා කිරීම ගැන හර්බර්ට්ට හැඟුණේ කොහොමද?

“සමහර අවස්ථාවලදී අපි ගොඩාක් භයෙන් හිටියා. අපි ගෙයින් ගෙට යද්දී නිලධාරීන් හදිස්සියේම ඇවිත් අපිව අත්අඩංගුවට ගනීදෝ කියා අපි සැකෙන් හිටියා” යයි හර්බර්ට් පවසනවා. මෙම භය තුරන් කිරීමට හර්බර්ට්ටත් ඔහු සමඟ සිටි වෙනත් අයටත් උපකාර කළේ කුමක්ද? “අපි පෞද්ගලිකව බයිබලය ගොඩාක් අධ්‍යයනය කළා. අපගේ දේශනා වැඩය දිගටම කරගෙන යෑමට අපට අවශ්‍ය ශක්තිය යෙහෝවා අපට දුන්නා.” හර්බර්ට් දේශනා සේවයේදී ඔහුව ශක්තිමත් කළ අද්දැකීම් බොහොමයක් ලැබුවා. සමහර අද්දැකීම් හරිම හාස්‍යජනකයි.

එක් දිනක් හර්බර්ට්ට හමු වුණා බයිබල් පණිවුඩයට උනන්දුවක් දැක්වූ මැදි වියේ කාන්තාවක්. දින කිහිපයකට පසුව හර්බර්ට් ඇයව හමුවීමට නැවත ඇගේ නිවසට ගියා. එදා තරුණයෙකුත් ඒ නිවසේ සිටි අතර ඔහු සාකච්ඡාවට සවන් දුන්නා. විනාඩි කිහිපයක් ගත වුණාට පසුවයි හර්බර්ට් දැක්කේ පුටුවක් උඩ පොලිස් නිලධාරියෙකුගේ තොප්පියක් තිබෙනවා. හර්බර්ට් හොඳටම භය වුණා. සාකච්ඡාවට සවන් දුන් තරුණයා පොලිස් නිලධාරියෙක්. ඔහු හර්බර්ට්ව අත්අඩංගුවට ගන්න සූදානම් වුණා.

“ඔයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නේද? කෝ බලමු ඔයාගේ හැඳුනුම්පත.” හර්බර්ට් එයාගේ හැඳුනුම්පත ඒ තරුණයාට දුන්නා. එවිට බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වුණා. “මේ මනුෂ්‍යයා දේවසේවකයෙක්. එයාට මොකුත් කරන්න එපා. ඔයා මොනවා හරි කළොත් මීට පස්සේ ඔයාට මේ ගෙදරට එන්න තහනම්” කියා ඒ කාන්තාව පොලිස් නිලධාරියාට පැවසුවා.

ඒ තරුණයා ටිකක් වෙලා නිහඬව ඉඳලා හර්බර්ට්ගේ හැඳුනුම්පත ආපසු ඔහුට භාර දී ඔහුට යන්න ඉඩහැරියා. පොලිස් නිලධාරියා තමාට එසේ යන්නට ඉඩ දීමට හේතුව හර්බර්ට් පසුව දැනගත්තා. ඒ පොලිස් නිලධාරියා අර කාන්තාවගේ දුවගේ පෙම්වතායි. තමාගේ පෙම්වතියව අහිමි කරගන්නවාට වඩා හර්බර්ට යන්න දීම නුවණට හුරුයි කියා ඔහු සිතුවා විය හැකියි.

යෙහෝවා දෙවිව අපේ මිතුරා කරගනිමු

මෙම සිද්ධීන්වලින් අපට ඉගෙනගත හැකි යමක් තිබෙනවාද? ආබ්‍රහම් මෙන් අපටත් යෙහෝවා දෙවිගේ පොරොන්දු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබිය යුතුයි. දාවිත් මෙන් අපත් වැරදි කරන විට ඇත්තෙන්ම පසුතැවිලි වී යෙහෝවාට ළං විය යුතුයි. එමෙන්ම එලියා මෙන් අපත් භයෙන් හා කනස්සල්ලෙන් සිටින විට යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. අප එසේ කරනවා නම් අපට හැකි වේවි යෙහෝවා දෙවිව දැනටත් සදාකාලයටත් අපගේ මිතුරා කරගන්න. මන්ද ඔහු “සියලු ආකාර මිනිසුන්ගේ, විශේෂයෙන් ඇදහිලිවන්තයන්ගේ ගැලවුම්කරුවෙකු වන ජීවමාන දෙවි කෙනෙකු” වන නිසයි.—1 තිමෝති 4:10.

[පාදසටහන]

^ 20 ඡේ. නම වෙනස් කර තිබෙනවා.

[25වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් කීකරු වූ නිසා ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් වුණා

[26වන පිටුවේ පින්තූරය]

දාවිත් මෙන් අපත් පව් කළ විට පසුතැවිලි විය යුතුයි

[28වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි එලියාගේ හැඟීම් තේරුම්ගත් ආකාරයටම ඔහුට අපේ හැඟීම්ද තේරුම්ගන්න පුළුවන්