Skip to content

පටුනට යන්න

අපට දැනුම වැඩිද?

අපට දැනුම වැඩිද?

අපට දැනුම වැඩිද?

එක්තරා විවාහක යුවළක් බටහිර අප්‍රිකාවේ වෙරළක වාඩි වී සිටියේ රිදී පාටින් පායා ඇති සඳේ සුන්දරත්වය පිරි ඒ රමණීය දසුන භුක්ති විඳිමිනුයි. “ඇත්තටම මිනිස්සු සඳ ගැන දන්නේ කොච්චර ටිකද? තව කොච්චර දේවල් දැනගන්නට තියෙනවාද?” කියා සැමියා මිමිණුවා.

භාර්යාව ඊට මෙසේ පිළිතුරු දුන්නා. “සඳ ගැන නෙමේ, අපි ඉන්න මේ පොළොව ගැන ටිකක් හිතන්න. ඇත්තටම අපි පොළොව ගැන දන්නේ කොච්චර ටිකද? පොළොව ගැනත් තව කොච්චර දැනගන්නට තියෙනවාද? මෙහෙම හිතන්න! පොළොව ඉර වටේ කැරකෙනවා වගේ, අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලයත් කැරකෙනවා. ඒ කියන්නේ අපි දැන් විශ්වයේ ඉන්න මේ ස්ථානයේ අපි ආයෙත් කවදාකවත් ඉන්නේ නැහැ කියන එකයි. අනික, අපි දැන් ඉන්න තැන හරියටම දන්නේ අනෙකුත් ග්‍රහ ලෝකවලට සාපේක්ෂවනේ. අපි සමහර දේවල් ගැන කොච්චර දන්නවා වුණත්, ඇත්තම කියනවා නම්, අපි දන්නේ නැහැ අපි ඉන්නේ කොහෙද කියලා!”

මේ දෙබස දිහා බලද්දී අපට යම් මූලික සත්‍යයන් කිහිපයක් ඉගෙනගන්න පුළුවන්. එනම්, තව බොහෝ දේවල් අපට ඉගෙනගන්නට තිබෙනවා කියන එකයි. අපි හැම දවසකම අලුත් අලුත් දේවල් ඉගෙනගන්නවා වෙන්න පුළුවනි. එහෙත් අපි කොච්චර ඉගෙනගත්තත් අප දැනගැනීමට කැමති දේවල් හිතන තරම් ඉක්මනින් දැනගන්නට හැකි වේවිය කියා නම් කියන්නට බැහැ.

අලුත් තොරතුරු ලබාගැනීමට ඇති හැකියාවට අමතරව, දැනටමත් ලබා තිබෙන දැනුම ගබඩා කිරීමට ඇති හැකියාවද බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. තාක්ෂණය මගින් මිනිසා ගබඩා කරගෙන ඇති දැනුම ඉතා ඉහළයි. පරිගණකවල (hard disks) දැන් කොපමණ විශාල දැනුමක් ගබඩා කිරීමට හැකිද කියනවා නම්, ඒවා ගැන විස්තර කිරීමට දැන් අලුතෙන් ගණිතමය යෙදුම් පවා යොදාගන්න සිදු වෙලා. පරිගණකවල භාවිත කරන සරල CD තැටියකට පුළුවන් තොරතුරු රාශියක් ගබඩා කරගන්න. එහි ධාරිතාව මෙගාබයිට්ස් 680ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍ය DVD තැටියකට පුළුවන් ඒ වගේ හත් ගුණයක් තොරතුරු ගබඩා කරගන්න. ඊටත් වඩා තොරතුරු ගබඩා කරගත හැකි DVD තැටි දැන් ලබාගත හැකිව තිබෙනවා.

නූතන මිනිසාට තොරතුරු හුවමාරු කරගන්නට ඇති හැකියාව අපට තේරුම්ගන්නටත් බැරි තරම්. අද පුවත්පත්, සඟරා සහ පොත් මුද්‍රණය වෙන්නේ පුදුමාකාර වේගයකින්. අන්තර්ජාලය මගින් කෙනෙකුට සැණින් තොරතුරු සම්භාරයක් ලබාගන්නට පුළුවන්. මේ මගින් සහ වෙනත් ක්‍රම මගින් තොරතුරු බෙදා දීම කෙනෙකුට හිතාගන්නටත් බැරි තරම් වේගවත් වෙලා. මේ තොරතුරු නියැදිය හරියට මුහුදකට සමාන කරන්න පුළුවන්. ඒ තරමටම තොරතුරු තිබෙන නිසා මෙම ‘තොරතුරු මුහුදේ’ පිහිනා යෑමට අපට පුළුවන්. හැබැයි එකක් මතක තබාගන්න. මේ ‘මුහුදේ’ ගිලෙන්න නම් එපා. තොරතුරු කන්දරාවක් තිබෙන නිසා තොරතුරු ලබාගැනීමේදී අප තේරීමක් කළ යුතුයි.

ලබාගන්නා තොරතුරු තෝරා බේරාගැනීමට තවත් හොඳ හේතුවක් අපට තිබෙනවා. මන්ද තිබෙන සමහර තොරතුරු ප්‍රයෝජනවත් ඒවා නොවෙයි. ඇත්තෙන්ම සමහර තොරතුරු බොහොමයකින් නරක බලපෑමක් ඇති කරන්නට පුළුවනි. දැනුම ලැබීම යනු හොඳ හෝ නරක, ධනාත්මක හෝ ඍණාත්මක තොරතුරු ලබාගැනීම හැටියට සලකන්නට පුළුවන්. මෙහි තිබෙන තවත් නරක පැත්තක් තමයි, බොහෝදෙනෙකු සත්‍යයයි කියන සමහර තොරතුරු ඇත්තටම සත්‍ය තොරතුරු නොවීම. ඇතැම් බලධාරීන් කියා තිබෙන බොහෝ දේවල් පසුව වැරදි බව හෝ බොරු බව කොතරම් වතාවක් ඔප්පු වී තිබෙනවාද! උදාහරණයක් ගනිමු. උගත් නිලධාරියෙකුයයි සලකනු ලැබූ ඉපැරණි එෆීසයේ නගරාධිපතියා කී දේ බලන්න. “උතුම් ආටෙමිස්ගේ දේවස්ථානයේද අහසින් වැටුණු රූපයේද රැකවලා එෆීසයන්ගේ නගරය බව නොදන්නා මනුෂ්‍යයන් ඇද්ද?” (ක්‍රියා 19:35, 36) එම රූපය අහසින් වැටුණු එකක් බව බොහෝදෙනෙක් විශ්වාස කළත්, කිසිවෙක් ඒ ගැන සැක නොකළත්, ඇත්තෙන්ම එය අහසින් වැටුණු එකක් නොවෙයි. මේ අනුව, “බොරු ‘දැනුමෙන්’ අහක්ව සිටින්න” කියා ශුද්ධ බයිබලය ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවන්නේ හොඳ හේතු ඇතිවයි.—1 තිමෝති 6:20.

තෝරා බේරා ගෙන දැනුම ලබාගැනීමට අපට තිබෙන තවත් ප්‍රබල හේතුවක් නම්, අපගේ වත්මන් ආයු කාලය කෙටි එකක් වීමයි. ඔබ කුමන වයසක සිටියත්, බොහෝ දේවල් ගැන සොයා බැලීමට දැඩි ආශාවක් ඔබ තුළ තිබෙනවා විය හැකියි. නමුත් ඒ සියල්ලම ලබාගැනීමට ඔබගේ ආයු කාලය මදි බව ඔබට වැටහෙනවා ඇති.

එනම්, සැමදා දැනුම ලබාගත හැකි වන පරිද්දෙන් දිගුකල් ජීවත් වීමට, එසේ නැත්නම් සදාකාලයටම පවා ජීවත් වීමට අපට ප්‍රස්තාවක් තිබෙනවාද? එවන් සදාකාලික ජීවිතයක් භුක්ති විඳීමට ඉවහල් වන ආකාරයේ යම් දැනුමක් තිබෙනවාද? එසේනම්, එය සෑම මිනිසෙකුට ලබාගැනීමට හැකි විය යුතුයි. අපට ලැබෙන සෑම තොරතුරක්ම සැබෑ තොරතුරක් වන දවසක් උදා වේවිද? ඉහත සඳහන් කළ විවාහක යුවළ මේ සම්බන්ධයෙන් ඔවුන්ට තිබූ ප්‍රශ්නවලට සෑහීමකට පත් විය හැකි පිළිතුරු ලබාගෙන තිබෙනවා. ඔබටත් ඒ සම්බන්ධයෙන් තිබෙන ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්නට පුළුවන්. ඊළඟ ලිපියේ සඳහන් වෙන්නේ ඔබට සදහටම දැනුම ලබාගන්නට හැකි ආකාරයයි. එය කියවා බලන්න කියා ඔබට ආරාධනා කරන්නට අප කැමතියි.