Skip to content

පටුනට යන්න

ඔබේ ඇදහිල්ල ඔබව ක්‍රියාවට පොලඹවනවාද?

ඔබේ ඇදහිල්ල ඔබව ක්‍රියාවට පොලඹවනවාද?

ඔබේ ඇදහිල්ල ඔබව ක්‍රියාවට පොලඹවනවාද?

යේසුස් මෙලොව සිටි කාලයේදී එක්තරා හමුදා නිලධාරියෙකුගේ ඉල්ලීමට කන් දීමට සිදු වුණා. මෙම හමුදා නිලධාරියාට දැඩි විශ්වාසයක් තිබුණා අංශභාග රෝගයෙන් පෙළෙමින් සිටි තම මෙහෙකරුවාව සුව කිරීමට හැකි බව. නමුත් හමුදා නිලධාරියා ඔහුගේ නිවසට එන මෙන් යේසුස්ට ආරාධනා කළේ නැහැ. ඔහු එසේ ආරාධනා නොකරන්නට ඇත්තේ යේසුස් තම නිවසට පැමිණීමට තරම් තමා නොවටිනා පුද්ගලයෙකු බව සිතීම නිසා හෝ තමා අන්‍ය ජාතිකයෙකු වීම නිසා විය හැකියි. ඔහු කළේ යුදෙව් වැඩිමහල්ලන් කිහිපදෙනෙකු යවා යේසුස්ගෙන් මෙසේ ඉල්ලා සිටීමයි. “ස්වාමිනි, ඔබ මාගේ පියස්ස යටට ඒමට මම සුදුසු මිනිසෙකු නොවෙමි. ඔබේ වචනය පමණක් සෑහේ. එවිට මාගේ මෙහෙකරුවා සුව වන්නේය.” යම් දුරක සිට වුවත් යේසුස්ට තම මෙහෙකරුවාව සුව කිරීමට හැකි බව හමුදා නිලධාරියා විශ්වාස කළ බව වටහාගත් යේසුස් ඔහු පසුපස ආ සමූහයාට පැවසුවේ මෙසේයි. “මම ඔබට කියමි, ඊශ්‍රායෙලයේ කිසිවෙකු තුළ මෙතරම් මහත් ඇදහිල්ලක් මට සම්බ නොවීය.”—මතෙව් 8:5-10; ලූක් 7:1-10.

මෙම අද්දැකීමෙන් යමක් කාවද්දනවා. ඒ, ඇදහිල්ල සම්බන්ධව අතිශයින් වැදගත් පැත්තක්. සැබෑ ඇදහිල්ල යනු යමක් නිකම්ම විශ්වාස කිරීම නොවෙයි. ඒ පිටුපස යම් ක්‍රියාවන් තිබිය යුතුයි. යාකොබ් නම් බයිබල් ලේඛකයා පැහැදිලි කළේ “ඇදහිල්ල ක්‍රියා නැතිව තිබේ නම් එය මැරිලාය” කියායි. (යාකොබ් 2:17) මෙම සත්‍යය තවත් පැහැදිලි වෙන අවස්ථාවක් තිබෙනවා. එය තේරුම්ගන්නට, ඇදහිල්ල නැති වන විට සිදු වන දේ පිළිබඳ සැබෑ ආදර්ශයක් සලකා බලමු.

ක්‍රිස්තු පූර්ව 1513දී මෝසෙස්ට ලබා දුන් නීතිය මාර්ගයෙන් යෙහෝවා සමඟ ඊශ්‍රායෙල් ජාතිය ගිවිසුමකට එළඹුණා. එම ගිවිසුමේ මැදහත්කාරයා වූ මෝසෙස්, යෙහෝවාගේ පණිවුඩය ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ දැනුම් දුන්නා. “ඔබ සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහු නම්, . . . ශුද්ධ ජාතියක් වන්නහුය.” (නික්මයාම 19:3-6) මින් පැහැදිලි වන්නේ ඊශ්‍රායෙල් ශුද්ධ ජාතියක්ද යන වග තීරණය කෙරුණේ ඔවුන්ගේ කීකරුකම මතයි.

සියවස් ගණනාවකට පසුව යුදෙව්වන් නීතියේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්නවාට වඩා වැඩි අවධානයක් දුන්නේ නීතිය හැදෑරීමටයි. ඇල්ෆ්‍රඩ් එඩෂයිම් ලියූ මෙසියස් වන යේසුස් ජීවත් වූ කාලය හා ඔහුගේ ජීවිතය (ඉංග්‍රීසි ප්‍රකාශනයකි) නමැති කෘතියේ ඔහු මෙසේ පවසනවා. “ක්‍රියාවලට වඩා අධ්‍යයනය වැදගත් බවට ‘ප්‍රභූවරු’ හෙවත් [රබ්බිවරු] සම්මුතියකට පැමිණ සිටියහ.”

දෙවිගේ වචනයේ නීති රීති හොඳින් අධ්‍යයනය කරන ලෙසට ඉපැරණි ඊශ්‍රායෙලිතයන්ට ආඥා කර තිබූ බව ඇත්තයි. දෙවිම පැවසුවේ මෙයයි. “මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන ඔබේ හෘදයෙහි තිබිය යුතුය. ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.” (ද්විතීය කතාව 6:6, 7) දෙවි ඉන් අදහස් කළේ නීතියේ ප්‍රකාරයට කළ යුතු දේට වඩා එය හැදෑරීම වැදගත් බවද? දැන් අපි ඒ ගැන පරීක්ෂා කර බලමු.

නීතිය හැදෑරීමේ ප්‍රතිඵල

නීතිය හැදෑරීමට වැඩි අවධානයක් දීම ඉතා ඥානවන්ත දෙයක් බව ඊශ්‍රායෙලිතයන් සිතුවා විය හැකියි. මන්ද එක්තරා යුදෙව් සම්ප්‍රදායික ඉගැන්වීමක කියැවුණේ නීතිය හැදෑරීම සඳහා දෙවිම දවසකට පැය තුනක් වැය කරන බවයි. ඇතැම් යුදෙව්වන් මෙසේ කල්පනා කළා විය හැකියි. ‘දෙවිම නිතරම නීතිය හදාරනවා නම්, පොළොවේ ජීවත් වන ඔහුගේ සේවකයන් එසේම කිරීම සුදුසු නැද්ද?’

ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී රබ්බිවරු මෙසේ නීතිය අර්ථකථනය කරන්නට මහත් වෙහෙසක් දැරීම නිසා ඔවුන් තමන්ගේ සිතිවිලි මුළුමනින්ම විකෘති කරගෙන තිබුණා. යේසුස් පැවසුවේ, “ලියන්නෝද පරිසිවරුද . . . කියනවා මිස කරන්නේ නැත. ඔවුහු මහත් බර බැඳ මිනිසුන්ගේ කරේ තබති. නමුත් තමුන්ගේ ඇඟිල්ලකින්වත් ඒවා උස්සන්න කැමති නොවෙති” යනුවෙනුයි. (මතෙව් 23:2-4) ඒ ආගමික නායකයෝ නොයෙක් නීති රීති දමා මිනිසුන්ව අපහසුතාවකට ලක් කළා. නමුත් එම නීතිය තුළින් රිංගා යෑම සඳහා ඔවුන්ම ඉතා කුහක ලෙස නීතිය තුළ කුඩා සිදුරු සාදාගෙන තිබුණා. ඒ විතරක් නොවෙයි, ඒ අය වැඩි අවධානයක් දුන්නේ නීතිය හැදෑරීමටයි. ඒ නිසා “යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණා [ඔවුන්] නොසලකා හැර” තිබුණා.—මතෙව් 23:16-24.

ලියන්නන් සහ පරිසිවරුන් උත්සාහ කළේ තමන්ගේම ධර්මිෂ්ඨකම මුදුන් පමුණුවාගැනීමටයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආරක්ෂා කිරීමට තමන්ම බැඳී සිටිනවායයි කියන නීතියම ඔවුන් කඩ කළා. නීතියේ යම් යම් වචන සහ සුළු සුළු දේවල් ගැන සියවස් ගණනාවක් පුරා වාද කළත්, ඒ මගින් ඔවුන් දෙවිට ළං නොවූ බව නම් රහසක් නොවෙයි. ප්‍රේරිත පාවුල් සඳහන් කළ “හිස් වූ කතා,” “පරස්පර විරෝධී මත” සහ “දැනුම” යනුවෙන් හඳුන්වනු ලැබූ දේවලින් ඇති කළ භේදකාරී බලපෑම එම වාද විවාදවලින් ඇති වූ බලපෑමට සමානයි. (1 තිමෝති 6:20, 21) එහෙත් ඇති වූ තවත් බරපතළ ගැටලුවක් වූයේ නීතිය පිළිබඳව කළ නිමක් නැති පර්යේෂණවලින් ඔවුන්ට ඇති වූ බලපෑමයි. නිවැරදි ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වූ පෙලඹීමක් ඇති කරන ඇදහිල්ලක් ඒ මගින් ඔවුන් තුළ ඇති වුණේ නැහැ.

බුද්ධිමත් වුවත්, ඇදහිල්ලෙන් තොරය

යුදෙව් ආගමික නායකයන් දැරූ මත දෙවිගේ සිතිවිලිවලට වඩා කොතරම් වෙනස්ද! ඊශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්නට මොහොතකට පෙර, මෝසෙස් ඔවුන්ට මෙසේ පැවසුවා. “මේ ව්‍යවස්ථාවෙහි සියලු වචන රක්ෂා කරමින් පවත්වන පිණිස ඔබ විසින් ඔබගේ පුත්‍රයන්ට අණ කළ යුතු වූ මේ දවසේ මා සහතික කරන මේ සියලු වචනවලට ඔබගේ සිත් යොමු කරන්න.” (ද්විතීය කතාව 32:46) දෙවිගේ ජනයා හුදෙක් නීතිය හදාරන්නන් පමණක් නොව නීතිය පිළිපදින්නන් විය යුතු බව පැහැදිලි කරුණක්.

එහෙත් ඊශ්‍රායෙලිතයන් වතා ගණනාවක්ම යෙහෝවාට ද්‍රෝහි වුණා. නිවැරදි ක්‍රියා කරනවාට වඩා, ඊශ්‍රායෙල් පුත්‍රයෝ “දෙවි විශ්වාස නොකොට දෙවිගේ හඬ නොඇසුවහුය.” (ද්විතීය කතාව 9:23; විනිශ්චයකාරයෝ 2:15, 16; 2 ලේකම් 24:18, 19; යෙරෙමියා 25:4-7) අන්තිමේදී යුදෙව්වන් විදහාපෙන්වූ අවිශ්වාසවන්තකමේ බරපතළම ක්‍රියාව වූයේ ගැලවුම්කරු වූ යේසුස්ව ප්‍රතික්ෂේප කිරීමයි. (යොහන් 19:14-16) මේ අනුව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ප්‍රතික්ෂේප කර අන්‍ය ජාතීන් වෙතට සිය අවධානය යොමු කළා.—ක්‍රියා 13:46.

අපටද මෙයින් පාඩමක් ඉගෙනගත හැකියි. එය නම් ඇදහිල්ල පිරි හදවතක් නැතිව අපේ බුද්ධිය මත පමණක් රඳා සිටිමින් දෙවිට නමස්කාර කරන්නට හැකියයි සිතීම භයානක දෙයක් වන බවයි. අප ඒ ගැන පරෙස්සම් විය යුතුයි. අප බයිබලය පාඩම් කළ යුත්තේ දැනුම රැස් කිරීමේ අරමුණින්ම නොවේ. දැනුම රැස් කරගැනීමේ අරමුණින් අප බයිබලය පාඩම් කරනවා නම්, ඒ දැනුම අපේ හදවත්වලට කිඳා බසින්නේ නැහැ. ඒ නිසාම අප යහපත් ක්‍රියා කරන්න පෙලඹෙන්නෙත් නැහැ. එසේනම්, ඒ දැනුමෙන් ඇති පලය කුමක්ද? උදාහරණයකට එළවළු වගාව ගැන කොතරම් ඉගෙනගත්තත්, කිසිදා එළවළු බීජ වගා කර නැත්නම් ඒ දැනුමෙන් ඇති පලය කුමක්ද? එළවළු වගාව ගැන අප හොඳටම දන්නවා වෙන්නට පුළුවනි. නමුත් ඒ දැනුම නිසා අපට කිසිම අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඒ හා සමානව දෙවි මිනිසුන්ගෙන් ඉල්ලා සිටින දේවල් ගැන බයිබලයෙන් අධ්‍යයනය කරන අය සත්‍යය නමැති බීජ තමන්ගේ සිත් නමැති පස්වල සිටුවා ඒ බීජ පැළ වෙන්නට ඉඩ දිය යුතුයි. එවිට එය අපව ක්‍රියාවට පොලඹවයි.—මතෙව් 13:3-9, 19-23.

‘වචනය පිළිපදින්නෝ වෙන්න’

ප්‍රේරිත පාවුල් පැවසුවේ “ඇදහිල්ල පැමිණෙන්නේ අසන්න ලැබුණු දේට පසුව” බවයි. (රෝම 10:17) මුලින්ම අපට දෙවිගේ වචනය අසන්න ලැබූ අවස්ථාව ගැන සිතන්න. ඉන් පසු අප ක්‍රමානුකූලව බයිබලය අධ්‍යයනය කර දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ලක් ඇති කරගත්තා. දැන් අපට සදාකාල ජීවනය ගැන බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. ‘මම දෙවිව සහ ක්‍රිස්තුස්ව විශ්වාස කරනවා’ කියා කීමට වඩා බොහෝ දේ අවශ්‍ය බව මින් පැහැදිලි වෙනවා.

යේසුස් මෙසේ පැවසුවා. “ඔබ බොහෝ පල දරමින් මාගේ ගෝලයන් බව ඔප්පු කිරීම තුළින් මාගේ පියාණන්ව මහිමයට පමුණුවන්නේය.” (යොහන් 15:8) මින් යේසුස් අදහස් කළේ ක්‍රියාවට පොලඹවන ආකාරයේ ඇදහිල්ලක් තම ගෝලයන්ට තිබිය යුතු බවයි. පසුව යේසුස්ගේ අර්ධ සහෝදරයෙකු වූ යාකොබ්ද මෙසේ ලිව්වා. “වචනය අසන්නෝ පමණක් නොවී, එය පිළිපදින්නෝද වන්න.” (යාකොබ් 1:22) එහෙත් අප පිළිපැදිය යුතු දේ අපට දැනගත හැක්කේ කෙසේද? දෙවිව සතුටු කිරීමට අප කළ යුතු දේ ගැන යේසුස් තම වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්වා දුන්නා.

පොළොව මත විසූ අවදියේදී යේසුස් කළේ තම පියාගේ නාමය මහිමවත් කිරීම සඳහා රාජ්‍යය ගැන ශුභාරංචිය පැතිරවීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි. (යොහන් 17:4-8) කුමන ආකාරයෙන්ද? බොහෝදෙනෙකුට යේසුස් ගැන සඳහන් කරන විට මතක් වෙන්නේ ඔහු අසනීප වූවන් සහ ආබාධිතයන්ව සුව කළ ආකාරයයි. නමුත් මතෙව්ගේ ශුභාරංචියේ යේසුස් කළ ප්‍රධාන දේ අපට පැහැදිලිව පෙන්වා දෙනවා. “යේසුස් ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද . . . නුවරවලද ගම්වලද සංචාරය කළේය.” යේසුස් දේවරාජ්‍යය ගැන කතා කළේ තමාගේ හිත මිතුරන් කිහිපදෙනෙකුට හෝ තමාගේ අසල්වාසීන්ට පමණක් නොවන බව මෙහිදී සැලකිල්ලට ගනිමු. ඔහු “මුළු ගලීලය පුරා” වෙහෙස මහන්සි නොලබා ගමන් කරමින් මිනිසුන් හමු වී ඔවුන්ට ශුභාරංචිය පැවසුවා.—මතෙව් 4:23, 24; 9:35.

මිනිසුන්ව ගෝලයන් කිරීම සඳහා හවුල් වීමට යේසුස් සිය අනුගාමිකයන්ට මඟ පෙන්නුවා. ඇත්තෙන්ම ඔහු මේ සම්බන්ධයෙන් අපට දැක්වූයේ හොඳ ආදර්ශයක්. (1 පේතෘස් 2:21) යේසුස් තම විශ්වාසවන්ත ගෝලයන්ට පැවසුවේ මෙයයි. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.

දේශනා කිරීමෙහි හවුල් වීම අභියෝගයක් බව ඇත්තයි. යේසුස්ම කීවේ, “බලන්න! වෘකයන් මැදට බැටළු පැටවුන් මෙන් මම ඔබව යවමි” කියායි. (ලූක් 10:3) අපට විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්නට සිදු වන විට, අප සාමාන්‍යයෙන් නැඹුරු වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි නොවී පැත්තකට වී සිටින්නටයි. යේසුස්ව අල්ලාගත් රාත්‍රියේදී සිදු වූයේද මෙයයි. ප්‍රේරිතයන් භය නිසා පලා ගියා. එදා රෑ පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා තුන් සැරයක්ම කියා සිටියා.—මතෙව් 26:56, 69-75.

ඒ විතරක් නොවෙයි, ප්‍රේරිත පාවුල් පවා දේශනා කිරීමට මහත් පොරබැදීමක් කළ බව දැනගැනීමෙන් ඔබ පුදුම වෙන්නට පුළුවන්. තෙසලෝනික සභාවට ඔහු ලීවේ මෙයයි. “බොහෝ වෙහෙස දරමින් ඔබට දෙවිගේ ශුභාරංචිය කීමට අපි අපේ දෙවිගෙන් නිර්භීතකම ලැබුවෙමු.”—1 තෙසලෝනික 2:1, 2.

පාවුල් සහ සෙසු ප්‍රේරිතයන්ට හැකි වුණා දේවරාජ්‍යය ගැන භය නැතුව කතා කරන්න. එහෙම නම් ඔබටත් එසේ කරන්න පුළුවන්. ඒ කොහොමද? වැදගත්ම දේ තමයි යෙහෝවා කෙරෙහි රඳා සිටීම. අප යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති කරගන්නවා නම්, ඒ විශ්වාසය අපව ක්‍රියාවට පොලඹවාවි. ඒ වගේම දෙවිගේ කැමැත්ත කිරීමටත් අපට හැකි වේවි.—ක්‍රියා 4:17-20; 5:18, 27-29.

ඔබ කරන වැඩවලට ආශීර්වාද ලැබෙයි

යෙහෝවාට සේවය කිරීමට අප දරන ප්‍රයත්න ගැන ඔහු හොඳින් දන්නවා. උදාහරණයක් වශයෙන් අප අසනීප වී සිටින අවස්ථා ගැන හෝ වෙහෙසට පත් වී සිටින අවස්ථා ගැන දෙවි දන්නවා. අප අප ගැනම ආත්ම විශ්වාසයක් නැතිව සිටින අවස්ථාවලදී දෙවි අප ගැන සැලකිල්ල දක්වනවා. අපට තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා හෝ අපගේ අසනීප නිසා හෝ අප සිටින මානසික තත්වය නිසා අපට සේවය කරගන්නට බැරි වුණත්, අප සිටින තත්වය යෙහෝවා හොඳින් තේරුම්ගන්නවා.—2 ලේකම් 16:9; 1 පේතෘස් 3:12.

අප තුළ කොතරම් දුර්වලකම් තිබුණත්, කොතරම් අමාරුකම් අපට තිබුණත් අපගේ ඇදහිල්ල නිසා අප යම් ක්‍රියා කරනවා නම්, යෙහෝවා කොතරම් සතුටු වෙනවා විය යුතුද! සිය විශ්වාසවන්ත සේවකයන් කෙරෙහි යෙහෝවා දක්වන ස්නේහවන්ත සැලකිල්ල නිකම්ම නිකම් හැඟීමක් නොවෙයි. ඒ පිටුපස යම් පොරොන්දුවක්ද තිබෙනවා. ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් මෙසේ ලිව්වා. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේම කරමින්ද සිටින්නහුය.”—හෙබ්‍රෙව් 6:10.

යෙහෝවා වනාහි “අයුතුකමින් තොරවූ විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි” කියාත් “ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු” කියාත් බයිබලයේ විස්තර කරනවා. ඒ ගැන ඔබට සම්පූර්ණයෙන්ම විශ්වාසය තබන්න පුළුවනි. (ද්විතීය කතාව 32:4; හෙබ්‍රෙව් 11:6) නිදසුනක් වශයෙන්, අ.එ.ජ. කැලිෆෝනියාවේ එක්තරා කාන්තාවක් මෙසේ සිහිපත් කරනවා. “අපි ඉපදෙන්න කලින් මගේ තාත්තා අවුරුදු දහයක් පූර්ණ කාලීන සේවය කරලා තියෙනවා. ඔහු පූර්ණ කාලීන සේවය කරන කාලයේදී යෙහෝවා කොහොමද ඔහුව ඉසිලුවේ කියලා ඔහු මට කියලා තියෙනවා. ඒ ගැන අහද්දී මට දැනුණේ හරිම සතුටක්. හුඟක් අවස්ථාවල ඔහුගේ අතේ තිබුණු මුදල වියදම් කළේ සේවයේ යන්න වාහනයට ඉන්ධන පුරවාගන්නයි. ඔහු දේශනා සේවයේ ගිහින් ආපසු ගෙදර එනකොට, හුඟක් අවස්ථාවලදී ගේ දොර ගාව ආහාර සහිත මල්ලක් තිබිලා තියෙනවා.”

අපගේ දෛනික අවශ්‍යතා වෙනුවෙන් යම් යම් උපකාර දෙනවාට අමතරව, ‘දයානුකම්පාවේ පියාණන් සහ සැනසිල්ලේ දෙවි’ අපව ශක්තිමත් කර අපට අවශ්‍ය ධෛර්යය ලබා දෙනවා. (2 කොරින්ති 1:3) “යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම මට මහත් ශක්තියක්. දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තබන විට ඔහු මට පිහිට වෙන හැටි මම ඇස් දෙකෙන්ම දකිනවා.” මෙහෙම කියන්නේ වසර ගණනාවක් පුරා නොයෙක් කරදර විඳදරාගත් සාක්ෂිකාරියක්. ‘යාච්ඤා අසන දෙවිට’ යටහත් පහත් ලෙස කතා කිරීමට අපට හැකියි. ඒ වගේම ඔබ කියන දේවලට ඔහු සවන් දෙනවා නියතයි.—ගීතාවලිය 65:2.

යේසුස් වෙනුවෙන් සේවය කරන අයට ලැබෙන ආශීර්වාද බොහෝයි. (මතෙව් 9:37, 38) දේශනා සේවයේ සහභාගි වීමෙන් බොහෝදෙනෙකුට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි වී තිබෙනවා. ඔබටත් එය අද්දකින්නට පුළුවනි. එහෙත් වඩා වැදගත් දේ වන්නේ අනුන්ට දේශනා කිරීමෙන් දෙවි සමඟ ඇති අපේ සම්බන්ධය තව තවත් ශක්තිමත් කරගැනීමට හැකිවීමයි.—යාකොබ් 2:23.

යහපත් දේවල් කිරීම

මහලු වයසේ පසුවන කෙනෙක් තමාගේ අසනීප හෝ අබල දුබල තත්වයන් නිසා තමාට රිසි පරිදි දෙවිට සේවය කරන්නට බැහැ කියා කලකිරීම සුදුසු දෙයක් නොවෙයි. එමෙන්ම අසනීප තත්වයන් නිසා හෝ පවුල් වගකීම් නිසා හෝ වෙනත් තත්වයන් නිසා හෝ තමන්ට කරන්නට පුළුවන් දෙයින් සීමා වී සිටින අයද එසේ කලකිරෙන්නට අවශ්‍ය නැහැ.

යම් ශාරීරික ආබාධයක් හෝ වෙනත් බාධාවක් නිසා තමන් සීමා වී සිටින්නේයයි හැඟුණු ප්‍රේරිත පාවුල් ‘එය තමා කෙරෙන් ඉවත් කරන ලෙස තුන් වතාවක් ඒ ගැන ස්වාමීන්ගෙන් බැගෑපත්ව ඉල්ලූ’ බව මතක තබාගන්න. යෙහෝවාගේ සේවය තුළ වැඩියෙන් නියැලීම සඳහා පාවුල්ව සුව කරනවා වෙනුවට දෙවි පැවසුවේ, “මගේ මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය. මන්ද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය” කියායි. (2 කොරින්ති 12:7-10) එම නිසා ඔබ මොන තරම් දුෂ්කර තත්වයක් විඳදරාගත්තත්, ඔබගේ ස්වර්ගික පියාණන් ඔහුගේ සේවය සඳහා ඔබ කරන ඕනෑම දෙයක් අගය කරන බවට සහතික වෙන්න.—හෙබ්‍රෙව් 13:15, 16.

අපගේ ප්‍රේමණීය මැවුම්කරුවාණන් කිසිම විටෙක අපට දිය නොහැකි දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු අපෙන් ඉල්ලා සිටින්නේ ක්‍රියාවට පොලඹවන ඇදහිල්ලක් ඇතුව සිටින ලෙසයි.

[26වන පිටුවේ පින්තූරය]

නීතිය හැදෑරීම පමණක් ඇද්ද?

[29වන පිටුවේ පින්තූරය]

අපගේ ඇදහිල්ල ක්‍රියාවෙන් පෙනෙන්නට තිබිය යුතුයි