Skip to content

පටුනට යන්න

ඔබේ මාවත ආලෝකවත් කිරීමට දේවවචනයට ඉඩ දෙන්න

ඔබේ මාවත ආලෝකවත් කිරීමට දේවවචනයට ඉඩ දෙන්න

ඔබේ මාවත ආලෝකවත් කිරීමට දේවවචනයට ඉඩ දෙන්න

“ඔබගේ වචන මාගේ . . . මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.

1, 2. යෙහෝවාගේ වචනයෙන් අපගේ මාවත ආලෝකවත් වන්නේ අප කුමක් කළහොත්ද?

යෙහෝවාගේ වචනයෙන් අපට ආලෝකය ලැබෙන්නේ අප ඊට ඉඩහැරියොත් පමණි. එම ආලෝකය ලැබීමට නම්, අප දෙවිගේ ලිඛිත වචනය ඉතා ඕනෑකමින් අධ්‍යයනය කර එහි උපදෙස් අදාළ කරගත යුතුයි. “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය” කියා පැවසූ ගීතිකාකරු මෙන් අපටත් කීමට හැකි වන්නේ එවිට පමණි.—ගීතාවලිය 119:105.

2 දැන් අපි ගීතාවලිය 119:89-176 දක්වා පද සලකා බලමු. කොටස් 11කින් පිළියෙල කර තිබෙන මෙම පදවල මොන තරම් වටිනා තොරතුරු අඩංගු වෙනවාද! සදාකාල ජීවනයට යන මාර්ගයේ අපව රඳවා තබාගැනීමට මෙම පදවලට හැකිය.—මතෙව් 7:13, 14.

දෙවිගේ වචනයට ඇලුම් කළ යුත්තේ මන්ද?

3. අපට දේවවචනය කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව ගීතාවලිය 119:89, 90 පෙන්වන්නේ කෙසේද?

3 අප යෙහෝවාගේ වචනයට ඇලුම් කළහොත් අපට අපගේ ඇදහිල්ල ස්ථිරව තබාගත හැකිය. (ගීතාවලිය 119:89-96) ගීතිකාකරු මෙසේ ගායනා කළේය. “යෙහෝවා, සදාකාලේටම ඔබගේ වචන ස්වර්ගයෙහි පිහිටා තිබේ. . . . ඔබ පොළොව පිහිටෙව්වේය. ඒක පවතී.” (ගීතාවලිය 119:89, 90) දෙවි “අහසේ නියමයන්” හෙවත් ඉර සඳ තාරකා වැනි විශ්වනීය වස්තූන් මවා ඒවා නිසි තැන පිහිටුවා තිබෙන අතර ඒවා තමන්ගේ ගමන් පථය ඔස්සේ ගමන් කරයි. තවද දෙවි පොළොවද සදාකාලයටම ස්ථිර ලෙස පිහිටුවා තිබේ. (යෝබ් 38:31-33; ගීතාවලිය 104:5) මෙයින් පැහැදිලි වන්නේ යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයක් කෙරෙහිම විශ්වාසය තැබීමට අපට හැකි බවයි. මන්ද දෙවි පවසන දේ ‘සිදු කරන’ අතර, ඒ මගින් දෙවිගේ අරමුණ ඉටු වේ.—යෙසායා 55:8-11.

4. දුක් පීඩාවලට ගොදුරු වී සිටින දෙවිගේ සේවකයන් දේවවචනයට ඇලුම් කරන්නේ නම්, ඇති වන ප්‍රතිඵලය කුමක්ද?

4 ගීතිකාකරු ‘දෙවිගේ නීති කෙරෙහි ප්‍රීති නොවූවා නම්, ඔහුගේ දුකේදී ඔහු විනාශ වීමට’ ඉඩ තිබිණි. (ගීතාවලිය 119:92) ඔහුට පීඩා කළේ විදේශිකයන් නොවේ. ඔහුට පීඩා කළේ ඔහුට වෛර කළාවූ දේවනීතිය කැඩුවාවූ ඊශ්‍රායෙලිතයන්ය. (ලෙවී කතාව 19:17, 18) නමුත් මේ නිසා ඔහු අධෛර්ය වූයේ නැත. මන්ද තමාව පෝෂණය කර තමන්ව ඉසිලූ දේවනීතියට ඔහු ඇලුම් කළ නිසාය. ප්‍රේරිත පාවුල්ද කොරින්තියේදී ‘බොරු සහෝදරයන්ගෙන් පැමිණි උවදුරුවලට ලක්’ වූ අතර, ඔහුට විරුද්ධව චෝදනාවක් කිරීමට උත්සාහ කරමින් සිටි ‘බොරු ප්‍රේරිතයන්ද’ සමහරවිට මේ අතර සිටියා විය හැකියි. (2 කොරින්ති 11:5, 12-14, 26) එහෙත් පාවුල් ඇදහිල්ලෙන් වැටුණේ නැත. මන්ද ඔහු දේවවචනයට ඇලුම් කළේය. අප යෙහෝවාගේ ලිඛිත වචනයට ඇලුම් කරන නිසාත් එහි පවසන දේවල් අදාළ කරගන්නා නිසාත්, අපි අපේ සහෝදරයන්ට ප්‍රේම කරමු. (1 යොහන් 3:15) ලෝකයා අපට වෛර කළත් අප කිසිම විටක දෙවිගේ නීති අමතක කරන්නේ නැත. අප සදාකාලයටම ප්‍රීතියෙන් යෙහෝවාට සේවය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින්, අපි අපේ සහෝදරයන් සමඟ ප්‍රේමයෙන් එකමුතුව යෙහෝවාගේ කැමැත්ත කරමින් සිටිමු.—ගීතාවලිය 119:93.

5. ආසා රජ යෙහෝවාව සෙව්වේ කෙසේද?

5 යෙහෝවා කෙරෙහි ඇති භක්තිය ප්‍රකාශ කරමින් අපට මෙසේ යාච්ඤා කළ හැකියි. “මම ඔබගේය. මා ගැලෙව්ව මැනව. මක්නිසාද ඔබගේ ශික්ෂා පද අනුව ගියෙමි.” (ගීතාවලිය 119:94) ආසා රජු දෙවිව සෙවූ අතර, යූදාහි තිබූ බොරු නමස්කාරය උදුරා දැමීය. ආසා රජුගේ පාලන කාලයේ 15වන අවුරුද්දේදී (ක්‍රි.පූ. 963), යූදාහි වැසියෝ “යෙහෝවා සොයන්ට . . . ගිවිසුමක් කළෝය.” දෙවි “ඔවුන්ට සම්බව හාත්පසින් ඔවුන්ට නිවාඩු දුන්නේය.” මින් අදහස් වන්නේ අවට සිටි කිසිදු ජාතියකින් කිසිදු බලපෑමක් ඔවුන් වෙත එල්ල වූයේ නැති බවයි. (2 ලේකම් 15:10-15) ක්‍රිස්තියානි සභාවෙන් ඉවතට ගසාගෙන ගිය අයට නැවත දෙවිව සෙවීමට මෙම ආදර්ශය දිරිගැන්වීමක් විය යුතුයි. තම සෙනඟ සමඟ නැවත ක්‍රියාශීලී ලෙස ඇසුරු කරන අයට දෙවි ආශීර්වාද කර ඔවුන්ව ආරක්ෂා කරනවා ඇත.

6. අපගේ ඇදහිල්ල ආරක්ෂා කරගැනීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?

6 යෙහෝවාගේ වචනය අපව ප්‍රඥාවන්තයන් බවට පත් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි සමඟ අපට ඇති සම්බන්ධතාවට කිසිදු හානියක් සිදු වන්නේ නැත. (ගීතාවලිය 119:97-104) දෙවිගේ ආඥාවන් අපේ සතුරන්ට වඩා අපව නැණවත් කරයි. ඔහුගේ සිහිගැන්වීම් අපට තීක්ෂ්ණ බුද්ධිය ලබා දෙන අතර, ‘දෙවිගේ ශීක්ෂා පද රක්ෂා කිරීමෙන් වයෝවෘද්ධයන්ට වඩා අවබෝධය ඇති’ කරගත හැකියි. (ගීතාවලිය 119:98-100) යෙහෝවාගේ කියමන් ‘මීපැණිවලට වඩා මිහිරි’ බව අපට දැනේ නම්, අප ‘සියලු බොරු මාර්ගවලින්’ වැළකී සිටිනු ඇත. (ගීතාවලිය 119:103, 104) මේ අන්තිම දවස්වලදී අප දෙවිව ප්‍රතික්ෂේප කරන උඩඟු හා දරුණු පුද්ගලයන්ගේ බලපෑම්වලට මුහුණ දෙන විට, අපගේ ඇදහිල්ල ආරක්ෂා කරගෙන සිටීමට දෙවිගේ වචන අපට මහඟු පිටුවහලක් වෙයි.—2 තිමෝති 3:1-5.

අපගේ පාදවලට පහනක්

7, 8. ගීතාවලිය 119:105ට එකඟව අප කුමක් කළ යුතුද?

7 දෙවිගේ වචනය වනාහි අපට නිරතුරුවම දෙවිගේ ආලෝකය ලබා දෙන ප්‍රභවයකි. (ගීතාවලිය 119:105-112) අප අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වුවත්, ඔවුන් හා ඇසුරු කරන “වෙනත් බැටළුවන්” වුවත්, “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය” කියා අපට කිව හැකියි. (යොහන් 10:16; ගීතාවලිය 119:105) දේවවචනය අපගේ මාවත එළිය කරන පහනකට සමානය. එම නිසා කිසිවකින් පැකිළෙන්නේ නැතිව, දෙවිගේ මාර්ගයෙන් ඉවත නොයා සිටීමට අපට හැකියි. (හිතෝපදේශ 6:23) නමුත් අප එක් එක් කෙනා පුද්ගලයන් වශයෙන් යෙහෝවාගේ වචනය අපේ පාදවලට පහනක් කරගත යුතුයි.

8 එකසිය දහනවවන ගීතිකාවේ ලේඛකයා මෙන් වීමට අපද අදිටන් කරගත යුතුයි. දෙවිගේ ශික්ෂාවලින් ඉවත නොයෑමට ඔහු අදිටන් කරගත්තේය. “[යෙහෝවාගේ] ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි” යයි ඔහු පැවසීය. (ගීතාවලිය 119:106) එසේනම්, නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමේ හා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමේ වටිනාකම අපි කිසිදා අඩුවෙන් තක්සේරු නොකරමු.

9, 10. යෙහෝවාට කැපවූ පුද්ගලයන්ට පවා ‘ඔහුගේ නියෝග අමතක කළ’ හැකි බව අප දන්නේ කෙසේද? මෙයින් වැළකිය හැක්කේ කෙසේද?

9 ගීතිකාකරු ‘දෙවිගේ නියෝග මතක නැති කළේ’ නැත. කෙසේවෙතත් යෙහෝවාට කැපවී සිටින කෙනෙකුට දෙවිගේ නියෝගය අමතක වී යා හැකියි. (ගීතාවලිය 119:110) සලමොන් රජු ගැන සලකා බලන්න. ඔහු යෙහෝවාට කැපවූ ජාතියක සාමාජිකයෙකුව සිටි අතර ඔහුගේ පාලනය ආරම්භයේදී දෙවි ඔහුට දානය කළ ප්‍රඥාවෙන් ක්‍රියා කළ පුද්ගලයෙකු වූයේය. නමුත් ඔහු දෙවිගේ නියෝග අමතක කළේය. බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔහුව පොලඹවාගනිමින් “අන්‍යජාති ස්ත්‍රීහු ඔහුට පව් කරන්ට සැලැස්වූවෝය.”—නෙහෙමියා 13:26; 1 රාජාවලිය 11:1-6.

10 “පක්ෂි වැද්දා” වන සාතන් බොහෝ උගුල් අටවන්නෙකි. (ගීතාවලිය 91:3) නිදසුනක් වශයෙන් යෙහෝවාගේ සේවකයන් සමඟ කලින් ඇසුරු කළ පුද්ගලයෙක් දෙවිගේ ආලෝකය තිබෙන මාර්ගයෙන් අපව ඉවත් කර ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසන අයගේ අන්ධකාර මාර්ග ඔස්සේ ගමන් කිරීමට අපව පෙලඹවිය හැකියි. තියතීරාහි ක්‍රිස්තියානීන් අතර සිටි ‘යෙසබෙල් නම් ස්ත්‍රිය,’ යයි හඳුන්වනු ලබන එක්තරා කාන්තාවෝ කණ්ඩායමක් වෙනත් අයව රූප වන්දනාවට හා වේශ්‍යාකම් කිරීමට පෙලඹවූහ. යේසුස් එවැනි ක්‍රියාවලට ඉඩ දුන්නේ නැත. එසේනම් අපත් ඒවාට ඉඩ නොදිය යුතුයි. (එළිදරව් 2:18-22; යූද් 3, 4) අප යෙහෝවාගේ නියෝග අමතක නොකර, ඔහු අපට පෙන්වන ආලෝකයේ මාර්ගයේ රැඳී සිටීම පිණිස ඔහුගේ උපකාර ඉල්ලා යාච්ඤා කරමු.—ගීතාවලිය 119:111, 112.

දෙවිගේ වචනයෙන් පෝෂණය වී

11. ගීතාවලිය 119:119ට අනුව දෙවි දුෂ්ටයන්ව සලකන්නේ කෙසේද?

11 අපි දෙවිගේ පණත් අමතක නොකරන්නෙමු නම්, දෙවි අපව රැකබලා ගන්නවා ඇත. (ගීතාවලිය 119:113-120) අද දින ක්‍රිස්තියානීන්යයි කියාගන්නා වූ ඇල්මැරී සිටින අයව යේසුස් අනුමත නොකරන්නාක් මෙන්, අපිද “දෙසිත් ඇත්තවුන්” අනුමත නොකරන්නෙමු. (ගීතාවලිය 119:113; එළිදරව් 3:16) අප යෙහෝවාට මුළු හදින්ම සේවය කරන නිසා, ඔහු ‘අපගේ සැඟවෙන ඉඩම’ වී අපට උපකාර කරනවා ඇත. වංචාවෙන් හා බොරුවෙන් ‘තම පනත්වලින් මුළා වී යන සියල්ලන්ව ඔහු නොසලකා හරින්නේය.’ (ගීතාවලිය 119:114, 117, 118; හිතෝපදේශ 3:32) ඔහු එවන් දුෂ්ටයන්ව සලකන්නේ රන් හා රිදී වැනි වටිනා ලෝහ උණු කරන විට ඉවත් වන ‘බොර’ මෙනි. (ගීතාවලිය 119:119; හිතෝපදේශ 17:3) එසේනම් අපි සෑමවිටම දෙවිගේ සිහිගැන්වීම්වලට ඇලුම් කරමු. මන්ද ලෝහ උණු කරන විට ඉවත් වන බොර මෙන් දුෂ්ටයන් සමඟ විනාශ වීමට අපට කිසිසේත් වුවමනා නැත!

12. යෙහෝවා කෙරෙහි ගරුබියක් ඇතිව සිටීම අතිවැදගත් දෙයක් වන්නේ මන්ද?

12 “[යෙහෝවාට] භයින් මාගේ ශරීරය වෙවුළයි” කියා ගීතිකාකරු පැවසීය. (ගීතාවලිය 119:120) අප දෙවිට සැබෑ ගරුබියක් දක්වනවා නම්, ඒ ගරුබිය පෙන්විය හැක්කේ දෙවි අනුමත නොකරන දේවලින් වැළකී සිටීමෙනි. තවද ඔහු අපව රැකබලා ගන්නවාට අප කැමති නම්, නපුරු දේ කිරීමෙන් වැළකී සිටීම අපේ පැත්තෙන් අත්‍යවශ්‍ය කාරණයකි. ධර්මිෂ්ඨ ලෙස ජීවත් වීමට යෝබ්ව පෙලඹවූයේ යෙහෝවා කෙරෙහි තිබූ සැබෑ ගරුබියයි. (යෝබ් 1:1; 23:15) අපට කුමක් විඳදරාගැනීමට සිදු වුණත්, දෙවිට ප්‍රසන්න මාර්ගයක ගමන් කිරීමට අපව පොලඹවන්නේ දෙවිට තිබෙන ගරුබියයි. එහෙත් විඳදරාගැනීමට නම් අප ඇදහිල්ලෙන් යුතුව ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කළ යුතුය.—යාකොබ් 5:15.

ඇදහිල්ලෙන් යාච්ඤා කරන්න

13-15. (අ) අප කරන යාච්ඤාවලට පිළිතුරු ලැබෙන බවට අපට විශ්වාසයක් තබාගත හැක්කේ මන්ද? (ආ) අප යාච්ඤාවෙන් කුමක් පවසන්නදැයි කියා දන්නේ නැත්නම්, කුමක් සිදු විය හැකිද? (ඇ) අපගේ යාච්ඤාවලදී ‘කිව නොහැකි කෙඳිරිගෑම්’ තිබෙන විට, ගීතාවලිය 119:121-128 ඊට සම්බන්ධ වන ආකාරය පෙන්වා දෙන්න.

13 අපට පිහිට වන මෙන් ඇදහිල්ලෙන් යුතුව දෙවිට යාච්ඤා කිරීමට අපට හැකියි. (ගීතාවලිය 119:121-128) අපේ යාච්ඤාවලටද පිළිතුරු ලැබේය කියා ගීතිකාකරු මෙන් අපටද නිසැක විය හැකියි. ඊට හේතුව නම් අපි “රනට වඩා එසේය, පවිත්‍ර රනට වඩා” දිව්‍ය ආඥාවන්ට ඇලුම් කරන බැවිනි. ‘සියලු දේ ගැන දෙවි දී තිබෙන සියලු නියෝග හරි’ බවත් අපි සලකමු.—ගීතාවලිය 119:127, 128.

14 අප ඇදහිල්ලෙන් යාච්ඤා කරන නිසාත්, ඔහුගේ නියෝග අප ඉතා ඕනෑකමින් පිළිපදින නිසාත් දෙවි අපේ කන්නලව් අසයි. (ගීතාවලිය 65:2) නමුත් ඇතැම් අවස්ථාවලදී අපට තිබෙන ගැටලු ගැන අපට යාච්ඤාවෙන් දෙවිට කියාගන්නට බැරි විය හැකියි. එවිට, “[දෙවිගේ බලය] වචනයෙන් කිව නොහැකි කෙඳිරිගෑම්වලින් යුක්තව අප වෙනුවෙන් අයැදින්නේය.” (රෝම 8:26, 27) එවන් අවස්ථාවලදී දෙවි ඔහුගේ වචනය වන බයිබලයේ සඳහන් කර ඇති බයිබල් පද අපේ යාච්ඤා ලෙස පිළිගනී. ඊට හේතුව එවන් බයිබල් පදවල අපගේ අවශ්‍යතා ගැන සඳහන් වන බැවිනි.

15 අපගේ ‘කිව නොහැකි කෙඳිරිගෑම්’ කියාපාන යාච්ඤා සහ අදහස් ශුද්ධ ලියවිල්ලේ බහුලව දක්නට තිබේ. නිදසුනක් වශයෙන් ගීතාවලිය 119:121-128 දක්වා පද සලකා බලන්න. මෙහි කාරණා සඳහන් කර ඇති ආකාරය අපගේ තත්වයන්ට මනාව ගැළපෙනවා විය හැකියි. නිදසුනක් වශයෙන්, අප වංචනිකයන්ට හසුවේය කියා භයක් තිබේ නම්, ගීතිකාකරු කළාක් මෙන් අපටද දෙවිගේ පිහිට ඉල්ලා යාච්ඤා කළ හැකියි. (ගීතා. 119:121-123 පද) අපට ඉතා බැරෑරුම් තීරණයක් ගන්නට තිබෙනවායයි සිතන්න. ඊට අදාළ වූ යෙහෝවාගේ සිහිගැන්වීම් අපට මතක් කරගැනීමට යෙහෝවාගේ බලය දෙන මෙන් ඔහුට යාච්ඤා කිරීමට අපට පුළුවන. (ගීතා. 119:124, 125 පද) අප ‘සියලු බොරු මාර්ගයන් නුරුස්සතත්’ දෙවිගේ නීති කැඩෙන යම් පරීක්ෂාවකට අප හසු නොවෙන පිණිස අපට උපකාර කරන්නැයි දෙවිගෙන් ඉල්ලීම අවශ්‍ය විය හැකියි. (ගීතා. 119:126-128 පද) අප දිනපතා බයිබලය කියවන්නේ නම්, අප යෙහෝවාට කන්නලව් කරන විට, අපට උපකාරවත් වන මෙවන් පද අපේ මතකයට නැඟෙන්නට ඉඩ තිබේ.

යෙහෝවාගේ සිහිගැන්වීම් අපට උපකාරයකි

16, 17. (අ) අපට දෙවිගේ සිහිගැන්වීම් අවශ්‍ය වන්නේ මන්ද? අප ඒවා සැලකිය යුත්තේ කෙසේද? (ආ) අනුන් අපව කෙසේ සලකනවා විය හැකිද? නමුත් වඩා වැදගත්ම දේ වන්නේ කුමක්ද?

16 අප දෙවිගේ සිහිගැන්වීම්වලට අවනත විය යුතුයි. ඔහු අපගේ යාච්ඤාවලට සවන් දෙනවා කියා අපට හැඟෙන්නෙත්, ඔහුගේ අනුමැතිය අප ලබන්නෙත් එසේ කළහොත් පමණි. (ගීතාවලිය 119:129-136) අපට කාරණා අමතක වෙන නිසා යෙහෝවාගේ සිහිගැන්වීම් අපට අවශ්‍ය වේ. ඒ මගින් ඔහුගේ උපදෙස් සහ ආඥාවන් අපේ මතකයට නැංවේ. ඇත්තෙන්ම දෙවි පවසා ඇති දේ පිළිබඳ අපගේ අවබෝධය තව තවත් පුළුල් වන විට ඒ ගැන අපි කෘතඥ වෙමු. (ගීතාවලිය 119:129, 130) තවද අන්‍යයන් යෙහෝවාගේ නීති කඩ කරනවා දකින විට ‘අපේ ඇස්වලින් ජල ගංගා ගලා ගියද’ යෙහෝවා ‘සිය මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්’ අනුමැතිය දීම ගැන ස්තුතිපූර්වක වීමට අපට හැකියි.—ගීතාවලිය 119:135, 136; ගණන් කතාව 6:25.

17 අප දෙවිගේ ධර්මිෂ්ඨ සිහිගැන්වීම්වලට එකඟව ජීවත් වුවොත් ඔහුගේ අනුමැතිය අපට තිබෙන බවට අපට ස්ථිර විය හැකියි. (ගීතාවලිය 119:137-144) ස්වකීය ධර්මිෂ්ඨ සිහිගැන්වීම් අපගේ මතකයට නැඟීමට යෙහෝවාට අයිතියක් තිබෙන බව අපි පිළිගනිමු. තවද ඒවා දෙවිගේ ආඥා වන අතර අප ඒවාට කීකරු විය යුතුයි. (ගීතාවලිය 119:138) ගීතිකාකරු දෙවිගේ ආඥාවලට කීකරු විය. එහෙත් ඔහු “මම කුඩා එකෙක්ය, නින්දා ලැබීමි” යනුවෙන් පැවසීය. ඔහු එසේ පැවසුවේ මන්ද? (ගීතාවලිය 119:141) පෙනෙන විදිහට ඔහු මෙහිදී සඳහන් කළේ ඔහුගේ සතුරන් ඔහුව සැලකූ අන්දම ගැනයි. අප හරි දේ කරමින් නොසැලෙන ස්ථාවරයක සිටින විට අනික් අය අපව හෙළා දකින්නට ඉඩ තිබේ. එහෙත් වැදගත්ම දේ වන්නේ යෙහෝවා අප දෙස බලන ආකාරයයි. මන්ද අප ඔහුගේ ධර්මිෂ්ඨ සිහිගැන්වීම්වලට අනුව ජීවත් වන බැවිනි.

සමාදානයෙන් සුරක්ෂිතව

18, 19. දෙවිගේ සිහිගැන්වීම්වලට අවනත වීමේ ප්‍රතිඵලය කුමක්ද?

18 දෙවිගේ සිහිගැන්වීම්වලට අවනත වීම අපව ඔහු වෙතට ළං කරයි. (ගීතාවලිය 119:145-152) අප යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අවධානය දෙන විට, අපේ මුළු හදවතින්ම ඔහුට කතා කිරීමට අප පෙලඹෙන අතර, ඔහු අපට සවන් දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. “අලුයමට පළමුවෙන් නැඟිට” යෙහෝවාගේ උපකාර ඉල්ලා යාච්ඤා කරන්නට අපට පුළුවන. ඇත්තටම අලුයම් කාලය යාච්ඤා කිරීමට කොතරම් කදිම වේලාවක්ද! (ගීතාවලිය 119:145-147) දෙවි අපට ළංව සිටී. මන්ද අපි නින්දිත හැසිරීමෙන් වැළකී සිටින අතර, යේසුස් මෙන් ඔහුගේ වචනය සත්‍යයක් ලෙස පිළිගන්නෙමු. (ගීතාවලිය 119:150, 151; යොහන් 17:17) මෙම අර්බුදකාරී ලෝකය තුළ වෙසෙන අපව යෙහෝවා සමඟ තිබෙන අපේ සම්බන්ධතාවෙන් උසුලනු ලබන අතර, අර්මගෙදොන් නමැති මහත් යුද්ධයෙන්ද ඔහු අපව ආරක්ෂා කරනවා ඇත.—එළිදරව් 7:9, 14; 16:13-16.

19 දේවවචනය කෙරෙහි අපට තිබෙන ගැඹුරු ගෞරවය නිසා අපි සැබෑ සුරක්ෂිතභාවයක් අද්දකින්නෙමු. (ගීතාවලිය 119:153-160) දුෂ්ටයන් මෙන් නොව, අපි ‘යෙහෝවාගේ සාක්ෂිවලින් හෙවත් සිහිගැන්වීම්වලින් ඉවත්ව ගොස් නොසිටිමු.’ අපි දෙවිගේ නියෝගවලට ඇලුම් කරමු. ඒ නිසා ඔහුගේ ප්‍රේමණීය කරුණාව අප අද්දකින අතර සුරක්ෂිතභාවයේ හැඟීමක් අපට ඇති වේ. (ගීතාවලිය 119:157-159) යෙහෝවාගේ සිහිගැන්වීම් අපගේ මතකය පුබුදුවාලන අතර, විවිධ තත්වයන්වලට මුහුණ දෙද්දී අප කළ යුතු දේ ගැන අපට මතක් වෙයි. දෙවිගේ නියෝග ඔහු අපට දී තිබෙන ආඥා බව අප තේරුම්ගත යුතුය. එවැනි ආඥා පැනවීමට අපේ මැවුම්කරුවාණන්ට අයිතියක් තිබෙන බව අප පිළිගත යුතුයි. ‘දෙවිගේ වචනයෙහි මූලික සාරය සත්‍යය’ වන බැවින් අපට තනිවම අපේම පියවර මෙහෙයවීමට නොහැක. ඒ නිසා අපි දෙවිගේ මඟ පෙන්වීම ඉතා සතුටින් භාරගනිමු.—ගීතාවලිය 119:160; යෙරෙමියා 10:23.

20. අපට “මහත් සමාදානය” ඇත්තේ මන්ද?

20 යෙහෝවාගේ නීතියට අප ඇලුම් කරන නිසා අපට මහත් සමාදානයක් භුක්ති විඳිය හැකියි. (ගීතාවලිය 119:161-168) අපට පීඩා එල්ල වුවත් කිසිවකට සම කළ නොහැකි “දෙවිගේ සමාදානය” අපෙන් ඉවත් කරන්නට ඒ පීඩාවලට නොහැක. (ෆිලිප්පි 4:6, 7) අප යෙහෝවාගේ විනිශ්චයන් කොතරම් අගය කරනවාද කියනවා නම්, අපි ඔහුට බොහෝ අවස්ථාවලදී “දවසට සත් වරක්” ප්‍රශංසා කරමු. (ගීතාවලිය 119:161-164) “ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙන්නන්ට මහත් සමාදානය ඇත. පැකිළීමට කිසිවක් නැත” යයි ගීතිකාකරු ගායනා කළේය. (ගීතාවලිය 119:165) අපි එක් එක් කෙනා යෙහෝවාගේ නීතියට ඇලුම් කොට එය පවත්වන්නෙමු නම්, ඕනෑම කාරණයක් ගැන වෙනත් අය කියන හෝ කරන දේවල් නිසා අප බාධාවට පත් වන්නේ නැත.

21. සභාව තුළ යම් දුෂ්කරතා පැන නැඟුණත් අප බාධාවට පත් නොවිය යුතු බව පෙන්වන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් කිනම් ආදර්ශවලින්ද?

21 බයිබලයේ සඳහන් බොහෝ පුද්ගලයෝ තමන්ට දිගු කාලීනව බාධාවක් වීමට කිසිවකට හෝ කිසිවෙකුට ඉඩ නුදුන්හ. නිදසුනක් වශයෙන් දියොත්‍රෙපස් නමැත්තා දුෂ්ට ලෙස ක්‍රියා කළද, ගායස් නමැති ක්‍රිස්තියානිවරයා ඉන් බාධාවට පත් නොවී ‘දිගටම සත්‍යයෙහි ගමන් කරමින් සිටියේය.’ (3 යොහන් 1-3, 9, 10) යුවෝදියා සහ සින්ටිකී යන ක්‍රිස්තියානි කාන්තාවන් අතර යම් ගැටලු තිබුණු බවක් පෙනෙන්ට තිබේ. ඒ නිසා ඔවුන්ට “ස්වාමීන් තුළ එක්සිත්ව සිටින ලෙස” පාවුල් අවවාද කළේය. ඔවුන් තමන්ගේ ගැටලුව විසඳාගෙන, දිගටම යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළ බවක් පෙනී යයි. (ෆිලිප්පි 4:2, 3) සභාවේ යම් යම් ගැටලු පැනනඟින විට අප බාධාවට පත් නොවිය යුතුයි. ඒ වෙනුවට අපි යෙහෝවාගේ නියෝගයන් පැවැත්වීමට උත්සුක වෙමු. ‘අපගේ සියලු මාර්ග දෙවි ඉදිරියේ’ බව මතක තබාගනිමු. (ගීතාවලිය 119:168; හිතෝපදේශ 15:3) එවිට, අප සතු “මහත් සමාදානය” නැති කර දැමීමට කිසිම දෙයකට හෝ කිසිම කෙනෙකුට නොහැකි වේ.

22. (අ) අප දෙවිට කීකරු වන්නේ නම් අපට භුක්ති විඳිය හැකි වරප්‍රසාදය කුමක්ද? (ආ) ක්‍රිස්තියානි සභාවෙන් ඈත් වී සිටින අය අප සැලකිය යුත්තේ කෙසේද?

22 අප යෙහෝවාට සෑමවිටම කීකරු වෙන්නේ නම්, ඔහුට නොකඩවා ප්‍රශංසා කිරීමේ වරප්‍රසාදය අපට තිබේ. (ගීතාවලිය 119:169-176) දෙවිගේ අණ පනත්වලට එකඟව ජීවත් වීමෙන්, අප දෙවිගේ සුරක්ෂිතභාවය භුක්ති විඳිනවා පමණක් නොව ‘අපගේ මුඛයෙන් දිගටම යෙහෝවාට ප්‍රශංසා කරනවා ඇත.’ (ගීතාවලිය 119:169-171, 174) මෙම අන්තිම දවස්වලදී අපට තිබෙන ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදය වන්නේ එයයි. ජීවත් වෙමින් යෙහෝවාට දිගටම ප්‍රශංසා කිරීමට ගීතිකාකරුට වුවමනා විය. නමුත් හෙළි කර නැති යම් ආකාරයකින් ඔහු ‘මංමුළා වූ බැටළුවෙකු’ වී සිටියේය. (ගීතාවලිය 119:175, 176) ක්‍රිස්තියානි සභාවෙන් මංමුළා වී ගිය ඇතැම් අය තවමත් දෙවිට ප්‍රේම කරනවා විය හැකි අතර, ඔහුට ප්‍රශංසා කිරීමට කැමැත්තෙන් සිටිනවා විය හැකියි. එම නිසා ඔවුන්ට උපකාර කිරීමට අපි හැකි සියල්ලම කරමු. එවිට ඔවුන්ට නැවතත් දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගත හැකියි. එලෙසම යෙහෝවාගේ සේවකයන් සමඟ යෙහෝවාට ප්‍රශංසා කිරීමේ පංගුකාරයන් වීමටද ඔවුන්ට හැකි වේ.—හෙබ්‍රෙව් 13:15; 1 පේතෘස් 5:6, 7.

අපේ මාවතට සදාකාලික ආලෝකයක්

23, 24. එකසිය දහනවවන ගීතිකාවෙන් ඔබ නෙළාගත් ප්‍රයෝජන මොනවාද?

23 එකසිය දහනවවන ගීතිකාවේ පැති රාශියකින් අපට ප්‍රයෝජන ගත හැකියි. නිදසුනක් වශයෙන් දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමට මෙම ගීතිකාව අපට මහෝපකාරී වේ. මන්ද සැබෑ සන්තෝෂය පැමිණෙන්නේ ‘දෙවිගේ ව්‍යවස්ථාවට එකඟව හැසිරීමෙන් හෙවත් නීතියට අනුව ජීවත් වීමෙන්’ බව ඉන් පෙන්වන නිසායි. (ගීතාවලිය 119:1) තවද ‘දෙවිගේ වචනයේ මූලික හරය සත්‍යය’ බවද ගීතිකාකරු අපට මතක් කර දෙයි. (ගීතාවලිය 119:160) දෙවිගේ මුළු ලිඛිත වචනය කෙරෙහි අප තුළ ඇති අගය මෙම ගීතිකාව මගින් වැඩි කළ බවට කිසිදු සැකයක් නැත. මේ නිසා 119වන ගීතිකාව ගැන මෙනෙහි කිරීම, අපව පොලඹවාලිය යුත්තේ ශුද්ධ ලියවිලි ඉතා කඩිසර ලෙස අධ්‍යයනය කිරීමටය. ගීතිකාකරු නිරතුරුවම දෙවිට කන්නලව් කළේ “ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව” කියායි. (ගීතාවලිය 119:12, 68, 135) තවද ඔහු මෙසේද කන්නලව් කළේය. “යහපත් විනිශ්චයත් ඥානයත් මට ඉගැන්නුව මැනව. මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කළෙමි.” (ගීතාවලිය 119:66) අපත් ඒ හා සමානව යාච්ඤා කිරීම කොතරම් හොඳද!

24 දෙවි අපට උගන්වන විට ඔහු සමඟ කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගැනීමට අපට හැකියි. තමා දෙවිගේ සේවකයෙකු බව ගීතිකාකරු නැවත නැවතත් කියා සිටී. ඇත්තෙන්ම ඔහු යෙහෝවාව අමතන්නේ “මම ඔබගේය” යන හද ස්පර්ශ කරන වචනවලිනි. (ගීතාවලිය 119:17, 65, 94, 122, 125; රෝම 14:8) යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස යෙහෝවාට සේවය කිරීමටත් ඔහුට ප්‍රශංසා කිරීමටත් ලැබෙන වරප්‍රසාදය කොතරම් උතුම්ද! (ගීතාවලිය 119:7) ඔබ දේවරාජ්‍යය ගැන දේශනා කරමින් දෙවිට ප්‍රීතියෙන් සේවය කරන කෙනෙක්ද? එසේනම්, ඔබ සෑමවිටම දෙවිගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඔබේ මාවත ආලෝකවත් කිරීමට එයට ඉඩහරින්න. එතුළින් යෙහෝවා ඔබට දිගටම අනුබල දෙන බවත් මේ වරප්‍රසාදය සමඟින් ඔහු ඔබට දිගටම ආශීර්වාද කරන බවත් නිසැක වන්නට ඔබට පුළුවන.

ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?

• අප දේවවචනයට ඇලුම් කළ යුත්තේ මන්ද?

• අප දෙවිගේ වචනයෙන් ශක්තිය ලබන්නේ කෙසේද?

• අප යෙහෝවාගේ සිහිගැන්වීම්වලින් ප්‍රයෝජන ලබන්නේ කිනම් ආකාරවලින්ද?

• යෙහෝවාගේ ජනයා සුරක්ෂිතභාවය හා සමාදානය භුක්ති විඳින්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

අපට දෙවිගේ ආලෝකය ලැබෙන ප්‍රභවය දේවවචනයයි

[17වන පිටුවේ පින්තූරය]

අප යෙහෝවාගේ සිහිගැන්වීම්වලට ඇලුම් කරනවා නම්, ඔහු කවදාවත් අපව “බොර” ලෙස සලකන්නේ නැත

[18වන පිටුවේ පින්තූර]

අප දිනපතා බයිබලය කියවනවා නම්, අප යාච්ඤා කරන විට අපට උපකාරවත් වන බයිබල් පද සැණෙකින් අපේ මතකයට නැඟිය හැක