Skip to content

පටුනට යන්න

දැනුත් සදහටමත් දැනුම ලබාගැනීම

දැනුත් සදහටමත් දැනුම ලබාගැනීම

දැනුත් සදහටමත් දැනුම ලබාගැනීම

ජර්මානු ජාතික වෛද්‍යවරයෙකු වන උල්රිච් ස්ටෘන්ස් සදහටම තරුණව සිටීම (ජර්මන් ප්‍රකාශනයකි) යන තේමාව යටතේ පොත් ගණනාවක් ලිව්වා. යම් පුද්ගලයෙක්, හොඳින් ශාරීරික ව්‍යායාම්වල යෙදී, හොඳ පෝෂ්‍යදායක ආහාර ලබාගෙන සුවදායක ජීවිත රටාවක් ගත කරමින් සිටින්නේ නම්, ඔහුට වඩාත් හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගත හැකි බවත්, ඔහුට දිගු කල් ජීවත් විය හැකි බවත් මෙම ලේඛකයා මේ පොත්වල පැහැදිලිව ප්‍රකාශ කළා. එහෙත් ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් යම් කෙනෙකුට සදාකල් ජීවත් විය හැකි බවක් නම් ඔහු කියා සිටින්නේ නැහැ.

කෙසේවෙතත් අප ලබන එක්තරා දැනුමක් නිසා අපට සදාකාලයටම ජීවත් වෙන්නට පුළුවනි. අනෙක් අතට, ඔබට සදාකල් ජීවත් වන්නට හැකියාව ලැබීමෙන්, ඉතා ප්‍රයෝජනවත් දැනුම් සම්භාරයක් ලබාගන්නටත් පුළුවන්. දෙවිට යාච්ඤා කරමින් යේසුස් කීවේ මෙයයි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) අපි පළමුව, “සදාකාල ජීවනය” යන යෙදුමේ තේරුම දැනගනිමු. ඉන්පසු එම දැනුමට ඇතුළත් වන්නේ කුමක්ද කියාත් එය අපට ලබාගත හැකි ආකාරයත් වටහාගනිමු.

බයිබලයේ පවසන විදිහට යෙහෝවා දෙවි මෙම පෘථිවිය සැබෑ පාරාදීසයක් බවට පත් කරන අතර, සදාකාලයටම ජීවත් වීමට සුදුසු පරිසරයක් තමයි එහි තිබෙන්නේ. පොළොව පාරාදීසයක් බවට පත් කරන්නට නම්, නෝවාගේ දවස්වල ජලගැල්ම වගේම ඉතා ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගන්නට දෙවිට සිදු වෙනවා. මතෙව් 24වන පරිච්ඡේදයේ 37 සිට 39 දක්වා පදවල යේසුස් අප ජීවත් වන කාලය ‘නෝවාගේ දවස්වලට’ සමාන කළා. ඒ කාලයේ මිනිසුන් තමන් සිටින තත්වය ගැන ‘කිසි තැකීමක් කළේ’ නැහැ. ඒ වගේම ඔවුන් නෝවා දේශනා කළ පණිවුඩය කිසිම ගානකට ගත්තෙත් නැහැ. “නෝවා නැවට ඇතුල් වූ දවස” ගත වූ පසු, ඒ පණිවුඩයට ඇහුම්කන් දෙන්නට අකමැති වූ සියල්ලන්වම ජලගැල්මෙන් ගසාගෙන ගියා. ඉතිරි වුණේ නෝවා සහ ඔහුගේ නැවේ සිටි අය පමණයි.

ඒ හා සමානම ‘දවසක්’ අපගේ කාලයේදීද පැමිණෙන බව යේසුස් ඇඟවූවා. මේ ගැන දැනගන්නට කැමති අයට මේ දවසින් බේරීමටත්, සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවක් ඇති කරගන්නටත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, මළවුන්වද නැවත ජීවත් කරවනු ලබන අතර, ඔවුන් කවදාවත් නැවත මිය යන්නේ නැහැ. (යොහන් 5:28, 29) යේසුස් මෙම අදහස් දෙක ප්‍රකාශ කළ ආකාරය ගැන සැලකිල්ලට ගන්න. මළවුන්ගේ නැවත නැඟිටීම ගැන ඔහු මාර්තාට කීවේ මෙයයි. “ජීවත්ව සිටින, මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම කිසි කලක මිය යන්නේ නැත.” දැන් තිබෙන සාක්ෂිවලින් පැහැදිලිව පෙනී යන්නේ එම “දවස” ඉතා ළඟ බවයි. ඉන් අදහස් කරන්නේ ඔබ ඇතැම්විට ‘කිසිදා මිය යන්නේ නැති’ බවයි.—යොහන් 11:25-27.

යේසුස් ඉන්පසු මාර්තාගෙන් මෙසේ ඇසුවා. “ඔබ මෙය විශ්වාස කරනවාද?” “එසේය ස්වාමිනි” කියා ඇය පිළිතුරු දුන්නා. යේසුස් ඒ ප්‍රශ්නයම ඔබෙන් අද ඇසුවා නම්, ඔබගේ පිළිතුර කුමක් වෙයිද? මිය නොයා සදාකල් ජීවත් වීමට හැකියයි විශ්වාස කිරීම ඔබට ඉතා අසීරු දෙයක් වෙන්නට පුළුවන්. එසේ වුවත්, ඔබට එය විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ නම්, එය විශ්වාස කිරීමට ඔබ කැමති වේවි. ඔබ ‘කිසිදා මිය යන්නේ නැත්නම්’ ඔබට කොපමණ දේවල් ඉගෙනගත හැකිදැයි මඳක් සිතා බලන්න. මීට පෙර සීමිත ආයු කාලයක් තිබූ නිසා ඔබට භුක්ති විඳීමට නොහැකි වූ දේවල් ඔබට කිසිදු බාධාවක් නැතිව භුක්ති විඳිය හැකියි. මිය ගොස් සිටින ඔබේ නෑදෑ හිතවතුන්ව නැවත හමුවීමට ලැබීම ගැන සිතා බලන්න! එවැන්නක් අද්දැකීමට ඉවහල් වන දැනුම කුමක්ද? එම දැනුම ඔබට ලබාගන්නට පුළුවන් කොහොමද?

ජීවනය ලබා දෙන දැනුම ලැබීමට අපට අවස්ථාවක් තිබේ

දෙවි සහ ක්‍රිස්තුස් පිළිබඳ දැනුම ලබාගැනීමට අපට බැරිද? ඇත්තෙන්ම පුළුවන්. දෙවි කර ඇති දේවල් පිළිබඳව දැනුම ලබාගැනීමට නිමක් නැති බව ඇත්තයි. එහෙත් “දැනුම” හා “සදාකාල ජීවනය” යන වදන්වලින් යේසුස් අදහස් කළේ තාරකා ශාස්ත්‍රය හෝ වෙනත් විද්‍යාත්මක දැනුමක් ගැන නම් නොවෙයි. හිතෝපදේශ 2වන පරිච්ඡේදයේ 2 සහ 5 පදවල අඟවන්නේ බයිබලයේ සඳහන් “වචන” හා “ආඥාවන්” ‘දෙවි ගැන දැනගැන්මට’ මූලික අඩිතාලම බවයි. යේසුස් ගැන සඳහන් කරමින් යොහන් 20:30, 31හි අඟවන්නේ බයිබලයේ ලියා ඇති දේවල් අපට “ජීවනය ලැබෙන පිණිස” ප්‍රමාණවත් බවයි.

මේ නිසා යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් ගැන බයිබලයේ සඳහන් දැනුම, ඔබට සදාකාල ජීවනය ලබාගත හැකි ආකාරය පෙන්වා දීමට ප්‍රමාණවත්. බයිබලය වනාහි අතිසුවිශේෂී පොතක්. යෙහෝවා දෙවි ඉතා කාරුණික ලෙස එහි අදහස් ලිවීමට බලය දුන්නේ අවම අධ්‍යාපනයක් ලබා සිටින අයට පවා ඉතා පහසුවෙන් එය තේරුම්ගෙන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම ලබාගැනීමට හැකි වන පරිදියි. ඒ හා සමානව කාරණා ලෙහෙසියෙන් අවබෝධ කරගැනීමේ හැකියාවක් ඇති, ඒ සඳහා කාලය හා අධ්‍යයන ක්‍රම උපයෝගි කරගත හැකි අයටත් ශුද්ධ ලියවිලිවලින් අලුත් යමක් ඉගෙනගැනීමට හැකි වෙනවා. ඔබට මේ ලිපිය කියවන්නට පුළුවන් නම්, ඉන් පෙනෙන්නේ ඔබටත් යම් දේවල් ඉගෙනගන්නට පුළුවන් බව නොවේද? එසේනම් ඔබ එම හැකියාව යොදාගත යුත්තේ කොහොමද?

ලොව වටා බොහෝදෙනෙකුගේ අද්දැකීම්වලින් පෙන්වන්නේ බයිබලයේ දැනුම ලැබිය හැකි හොඳම ක්‍රමය නම්, තව කෙනෙකුගේ උපකාරය ඇතුව බයිබලය අධ්‍යයනය කිරීමයි. නෝවාගේ දවස්වල විසූ අයට ඔහු තමා ලබා සිටි දැනුම දෙන්නට උත්සාහ කළා වගේම අද දිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආශාව වන්නේ ඔබේ නිවසට පැමිණ ඔබ සමඟ බයිබලයේ සඳහන් කාරණා ගැන සාකච්ඡා කිරීමයි. ඔවුන් මේ සඳහා පොත් දෙකක් යොදාගන්නවා. ඒ, දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව සහ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම * නමැති පොතයි. දෙවිට ඇදහිලිවන්තව සිටින අයට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙන්නට හැකි බවට දී තිබෙන පොරොන්දුව විශ්වාස කිරීම දැන් ඔබට අපහසු වුණත්, මෙම බයිබල් සාකච්ඡාවන් මගින් ඔබට ඒ පොරොන්දුව ගැන විශ්වාසය හා නිසැකකම වර්ධනය කරගැනීමට පුළුවනි. ඔබ සදාකල් ජීවත් වෙන්නට කැමති නම් නැතහොත් එය විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙනවාද කියා සොයා බලන්නට කැමති නම්, ඔබ කළ යුත්තේ කුමක්ද? බයිබලය අධ්‍යයනය කිරීමට ඔබට තිබෙන මෙම ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගන්නැයි අපි ඔබට ආරාධනා කරමු.

බයිබලය අධ්‍යයනය කිරීමට කොපමණ කාලයක් ගත වේවිද? ඉහත සඳහන් කළ පිටු 32කින් යුත් විවරණිකාව භාෂා සිය ගණනකින් පරිවර්තනය කර තිබෙනවා. එහි කෙටි පාඩම් 16ක් ඇතුළත්. ඔබට සතියකට පැයක් වෙන් කරන්න පුළුවන් නම්, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත මාර්ගයෙන් බයිබලයේ මූලික විෂයන් අධ්‍යයනය කිරීමට ඔබට අවශ්‍ය වන්නේ මාස කිහිපයක් පමණයි. මෙම පොත් බොහෝදෙනෙකුට ඉතා පුළුල් දැනුමක් ලබාගැනීමටත් දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් වර්ධනය කරගැනීමටත් හැකියාව ලබා දී තිබෙනවා. දෙවි තමන්ට සැබවින්ම ප්‍රේම කරන අයට ආශීර්වාද කරනවා වගේම, ඔවුන්ට සදාකාල ජීවනයද දීමට බලාපොරොත්තු වෙනවා.

අපට ඇත්තෙන්ම ජීවනය ගෙන දෙන දැනුම පහසුවෙන්ම ලබාගන්නට පුළුවන්. බයිබලය අඩු තරමින් කොටස් වශයෙන් භාෂා 2,000කට වඩා වැඩියෙන් දැන් පරිවර්තනය කර තිබෙනවා. රටවල් 235ක වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා කැමතියි ඔබට මෙවැනි පොතක් මාර්ගයෙන් දැනුම ලබා දීමට පෞද්ගලිකව උපකාර කරන්න. ඒ මගින් ඔබට පුළුවන් තව තවත් දැනුම වැඩි කරගන්න.

පෞද්ගලිකව අධ්‍යයනය කිරීම

දෙවි සමඟ ඔබ ඇති කරගන්නා සම්බන්ධය ඔබත් දෙවිත් අතර තිබෙන පෞද්ගලික සම්බන්ධයක්. එය පවත්වාගෙන යෑමටත් එය ශක්තිමත් කරගැනීමටත් හැක්කේ ඔබට පමණයි. ඔබට සදාකාල ජීවනය දීමට හැක්කේද දෙවිට පමණයි. ඒ නිසා, ඔබ දෙවිගේ වචනය වන බයිබලය දිගටම අධ්‍යයනය කළ යුතුයි. යම් කෙනෙක් ඔබේ නිවසට නිතිපතා පැමිණ ඔබ සමඟ බයිබලය ගැන සාකච්ඡා කරනවාට ඔබ කැමති නම්, ඒ සඳහා කාලය වෙන් කිරීම ඔබට පහසුවක් වේවි.

බයිබලයේ සහ බයිබලය අධ්‍යයනය කිරීමට ඉවහල් වන ආධාරක පොත් පත්වල “දෙවි ගැන දැනගැන්ම” අඩංගු වෙනවා. ඒ නිසා ඒවා ආරක්ෂා කරගැනීම ඔබ සතු වගකීමක්. (හිතෝපදේශ 2:5) අවුරුදු ගණනාවක් ඔබට ඒවා පාවිච්චි කරන්නට පුළුවන්. දියුණු වෙමින් පවතින සමහර රටවල පාසැල් සිසුන් ඉගෙනගන්නේ අච්චු පොත් භාවිතයට වඩා සවන් දීමෙන් හා නිරීක්ෂණයෙන්. උදාහරණයක් හැටියට බෙනින් නමැති රටේ භාෂා 50කට වඩා වැඩි සංඛ්‍යාවක් කතා කරනවා. ඒ රටේ යම් පුද්ගලයන්ට පුළුවන් භාෂා හතරක් හෝ පහක් කතා කරන්න. නමුත් මේ අයට ඒ භාෂාවලින් අච්චු පොත් තිබිලා නැහැ. ඒ වගේම ඔබත් එතරම් මූලික අධ්‍යාපනයක් නොලැබූ කෙනෙක් නම්, සවන් දීමෙන්, නිරීක්ෂණය කිරීමෙන් සහ කල්පනා කිරීමෙන් ඔබට යම් දේවල් ඉගෙනගන්නට පුළුවන් නම්, එය ඔබට ආශීර්වාදයක් වේවි. අනෙක් අතට පොත් පත් ආධාරයෙන් අධ්‍යයනය කිරීමත් මහත් ප්‍රයෝජනයක්.

ඔබ ජීවත් වන නිවස ඉතා කුඩා එකක් වුවත්, ඔබගේ බයිබලය හා බයිබල් අධ්‍යයන ආධාරක පොත් පත්වලට කුඩා තැනක් වෙන් කරගන්න. ඒවා පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි වන පිණිස පරෙස්සමින් තබාගන්න. ඒවාට හානි වෙන්න ඉඩ තබන්න එපා.

පවුලක් හැටියට අධ්‍යයනය කිරීම

ඔබ දෙමාපියෙක් නම්, ඔබ ලබාගනිමින් සිටින දැනුම ලබාගැනීමට ඔබ ඔබේ දරුවන්ටත් උපකාර කළ යුතුයි. දෙමාපියන් සාමාන්‍යයෙන් තම දරුවන්ට යම් වෘත්තියක් හෝ ශිල්පයක් උගන්වනවා. කෑම උයන්න වගේම ගොවිතැන්, වඩු වැඩ, ධීවර කර්මාන්තය සහ වෙළඳාම වැනි වෘත්තීන් මෙහිදී සඳහන් කළ හැකියි. එහෙත් බොහෝ දෙමාපියෝ තම දරුවන්ට සදාකාල ජීවිතය ලබන්න අවශ්‍ය දැනුම ලබා දෙන්නේ නැහැ.

ඔබ සිටින තත්වයට අනුව, ඔබට සිතෙන්නට පුළුවන් ඒ වගේ දේවල් දරුවන්ට උගන්වන්නට ඔබට කාල වේලාව නැහැ කියලා. මේ ගැන දෙවිටත් හොඳින් වැටහෙනවා. එහෙත් මීට බොහෝ කාලයකට පෙරාතුව දෙවි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන්ට උගන්වන ලෙසයි. දෙවි මෙසේ පැවසුවා. “ඔබේ පුත්‍රයන්ට [හෝ දූවරුන්ට] ඒවා මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.” (ද්විතීය කතාව 6:7) මේ පදයේ තිබෙන මූලික අදහසට අනුව, ඔබේ දරුවන්ට ඉගැන්වීමට ඔබටම කියා වැඩසටහනක් පිළියෙල කරගන්නා මෙන් අපි ඔබට යෝජනා කරමු. පහත සඳහන් සටහන බලන්න.

1. “ඔබ ගෙයි හිඳින කලද”: මීට පෙර යම් කෙනෙක් ඔබේ නිවසට පැමිණ ඔබ සමඟ සතියකට වරක් බයිබලය ගැන සාකච්ඡා කළාක් මෙන්, ඔබේ දරුවන් සමඟ සතිපතා බයිබල් පාඩමක් කරන්න. ඕනෑම වයසක දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන පරිදි පිළියෙල කරන ලද බයිබලය අධ්‍යයනය කිරීමට ඉවහල් වන ආධාරක පොත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පළ කොට තිබෙනවා.

2. “මාර්ගයෙහි යන එන කලද”: ඔබ ජීවිතයේ යම් යම් කාරණා ගැන හෝ ජීවිතයට අවශ්‍ය යම් යම් උපදෙස් මඟ පෙන්වීම් දෙන්නාක් මෙන්ම යෙහෝවා ගැනද දරුවන්ට විවිධ අවස්ථාවලදී කතා කරන්න.

3. “සයනය කරන කලද”: සෑම රාත්‍රියකදීම ඔබේ දරුවන් සමඟ යාච්ඤා කරන්න.

4. “නැඟිටින කලද”: බොහෝ පවුල් සෑම උදෑසනකම බයිබලයෙන් පාඨයක් සාකච්ඡා කිරීමෙන් ලැබෙන ආශීර්වාද අද්දැක තිබෙනවා. මේ සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම * නමැති කුඩා පොතක් පාවිච්චි කරනවා.

දියුණු වෙමින් පවතින රටවල දෙමාපියන් බොහෝදෙනෙක් තමන්ගේ දරුවන්ට හොඳ ලෞකික අධ්‍යාපනයක් ලබා දීම සඳහා දරන්නේ මහත් උත්සාහයක්. මේ අන්දමින් දරුවා වැඩි වියට පත් වුණාම ඔහුට පුළුවන් දෙමාපියන්ව රැකබලා ගන්න. එහෙත් ඔබ බයිබලය අධ්‍යයනය කර එලෙසම කිරීමට දරුවන්ට උගන්වනවා නම්, ඔබ ලබාගන්නේ ඔබටත් ඔබේ මුළු පවුලටත් සදාකාලයටම ජීවත් වීමට ඉවහල් වන දැනුමක්.

අප කවදා හෝ සෑම දෙයක්ම දන්නාවූ පුද්ගලයන් වේවිද? නැහැ. අප සිටින පොළොව නිමක් නැති විශ්වයේ නොනැවතී ගමන් කරන්නාක් මෙන්, අපට ලබාගැනීමට තිබෙන දැනුමටද ඉමක් කොනක් නැහැ. ඇත්තෙන්ම දේශනාකාරයා 3:11හි පවසන්නේ මෙයයි. “[දෙවි] සියලු දේ ඒ ඒ කාලයට හොබිනා ලෙස සෑදුවේය; දෙවි පටන්ගැන්මේ සිට කෙළවර දක්වාම කළ වැඩ මනුෂ්‍යයාට දැනගන්ට බැරි නමුත් ඔහු සදාකාලය ඔවුන්ගේ සිත්වල පිහිටෙව්වේය.” එවන් දැනුමක් ලබාගැනීමෙන් ලැබෙන සතුට කිසිදා නැති වෙන්නේ නැහැ.

[පාදසටහන්වල]

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

^ 23 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘සදාකාල ජීවනය නම් මේය. ඔවුන් දැනුම ලබාගැනීමය’

[7වන පිටුවේ පින්තූර]

දැනුත් සදහටමත් දැනුම ලබාගැනීමට ඔබේ පවුලට උපකාර කරන්න