Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“මම පරිසිවරයෙක් වෙමි” යයි ප්‍රේරිත පාවුල් යුදෙව්වන්ගේ ඉහළ උසාවිය වූ සැන්හෙඩ්‍රිනය ඉදිරියේ පැවසූ හෙයින්, ඔහු තම ක්‍රිස්තියානි ස්ථාවරය අත්හැරියායයි පැවසිය හැකිද?

ක්‍රියා 23:6හි පාවුල් පැවසූ දේ අවබෝධ කරගැනීම සඳහා අප එම පදයේ අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගත යුතුයි.

යෙරුසලමේදී යුදෙව්වන්ගේ මැර ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව, පාවුල් රැස්ව සිටි සමූහයාව ඇමතීය. තමා ‘ගමාලියෙල්ගේ පාමුල ඉගෙනගත් බවත්, මුතුන් මිත්තන්ගෙන් පැවත ආ නීතියේ නියම පිළිවෙළට අනුව පුහුණුව ලැබූ’ බවත් ඔහු එහිදී සඳහන් කළේය. සමූහයා පාවුල් කියමින් සිටි දෙයට යම් වේලාවක් සවන් දීගෙන සිටියද, ඔවුන් අවසානයේදී කුපිත වූ විට ඔහුව හමුදා කඳවුරට ගෙන යන ලෙස සේනාධිපති අණ කළේය. පාවුල්ට කසයෙන් තැළීමට මොහොතකට පෙර ඔහු මෙසේ පැවසීය. “වරදකරුවෙකු ලෙස ඔප්පු නොකළ රෝම පුරවැසියෙකුට කසයෙන් තළන්න ඔබට නීතියෙන් අවසරයක් ඇද්ද?”—ක්‍රියා 21:27–22:29.

ඊළඟ දවසේ, සේනාධිපති පාවුල්ව යුදෙව් ඉහළ අධිකරණය වූ සැන්හෙඩ්‍රිනයට ගෙන ආවේය. එහි සිටි අය දෙස හොඳින් බැලූ පාවුල්, සැන්හෙඩ්‍රිනයේ සද්දුසිවරුන් හා පරිසිවරුන් සිටි බව දුටුවේය. අනතුරුව ඔහු මෙසේ කීය. “පුරුෂයෙනි, සහෝදරයෙනි, මම පරිසිවරයෙක් වෙමි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක් වෙමි. මාව විනිශ්චය කරනු ලබන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැනය.” මෙහි ප්‍රතිඵලය වූයේ පරිසිවරුන් හා සද්දුසිවරුන් අතර භේදයක් හටගැනීමයි. “මන්ද සද්දුසිවරුන් නැවත නැඟිටීමක්වත් දේවදූතයන්වත් ආත්මයන්වත් නැතැයි කියන නමුත්, පරිසිවරු ඒ සියල්ලම ඇති බව ප්‍රසිද්ධියේ පවසති.” පරිසිවරුන්ගේ නිකායට අයත් සමහරු, “මේ මිනිසා අත කිසි වරදක් අපට නොපෙනේ” කියා කෝපයෙන් වාද කරන්නට වූහ.—ක්‍රියා 23:6-10.

පාවුල් ඉතා උද්‍යෝගයෙන් ක්‍රියා කළ ක්‍රිස්තියානියෙකු වූ බැවින් තමා පරිසිවරයෙකු ලෙස දැන් ක්‍රියා කරමින් සිටින බව සැන්හෙඩ්‍රිනය ඒත්තුගත් බව සිතන්නට නුපුළුවන. තමන්ගේ නිකායෙන් වෙන්ව ගිය කිසිවෙකුව පිළිගන්නට කිසිම පරිසිවරයෙක් සූදානමින් සිටියේද නැත. එම නිසා, තමා පරිසිවරයෙක්යයි පාවුල් කී විට එය වචනයේ පරිසමාප්තියෙන්ම ගත යුතුයි කියා පැවසිය නොහැකියි. එතැන සිටි පරිසිවරුද පාවුල් ඇත්තටම අදහස් කළ දේ වටහාගත් බවද සිතිය හැකියි.

මළවුන් නැවත නැඟිටුවීම පිළිබඳ බලාපොරොත්තුව සම්බන්ධයෙන් තමාව විනිශ්චය කරනු ලබනවායයි කීමේදී පාවුල් පැහැදිලිවම අදහස් කර සිටියේ මේ කාරණය සම්බන්ධයෙන් තමා පරිසිවරයෙකුට සමාන බවය. මේ කාරණය සම්බන්ධයෙන් යම් මතභේදයක් ඇති වූ විටදී, පාවුල් දැරූ අදහස් සමාන වූයේ පරිසිවරුන්ට මිස, නැවත නැඟිටීම ගැන විශ්වාස නොකළ සද්දුසිවරුන්ට නොවේ.

ක්‍රිස්තියානියෙකු හැටියට පාවුල් විශ්වාස කළ දෙය, නැවත නැඟිටීම, දේවදූතයන් සහ නීතියේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පරිසිවරුන්ට තිබූ විශ්වාසයන්ට පටහැනි වූයේ නැත. (ෆිලිප්පි 3:5) ඒ අර්ථයෙන් පාවුල් තමාවද පරිසිවරයෙකුට සමාන කළ අතර, සැන්හෙඩ්‍රිනයේ සිටි අය ඔහු කී වචන තේරුම්ගත්තේ මේ පසුබිම තුළයි. මේ අනුව දැඩි මතදාරී පුද්ගලයන් සිටි යුදෙව් අධිකරණයට කතා කරද්දී පාවුල් තමාගේ මුල් පසුබිම ප්‍රයෝජනයට ගත්තේය.

පාවුල් තම ස්ථාවරය අත්හැරියේ නැති බවට තිබෙන හොඳම සාක්ෂිය නම්, ඔහු දිගටම යෙහෝවාගේ අනුමැතිය ඇතිව සිටීමය. ‘තමා පරිසිවරයෙකු’ යයි කී දා රාත්‍රියේදී යේසුස් ඔහුට කීවේ මෙයයි. “ධෛර්යවත් වන්න! මන්ද, ඔබ යෙරුසලමේදී මා සම්බන්ධ කාරණා ගැන සම්පූර්ණ සාක්ෂියක් දුන් ලෙසම, රෝමයේදීත් සාක්ෂි දැරිය යුතුය.” මින් පෙනී යන්නේ පාවුල්ට දෙවිගේ අනුමැතිය තිබූ බවයි. ඒ අනුව, පාවුල් තම ක්‍රිස්තියානි ස්ථාවරය ඇත්හැරියේ නැති බව නිගමනය කළ යුතුයි.—ක්‍රියා 23:11.