Skip to content

පටුනට යන්න

භාෂා පරිවර්තනයට මහඟු ආධාරකයක් වූ බයිබලය

භාෂා පරිවර්තනයට මහඟු ආධාරකයක් වූ බයිබලය

භාෂා පරිවර්තනයට මහඟු ආධාරකයක් වූ බයිබලය

බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිගේ කැමැත්ත වන්නේ රාජ්‍යයේ ශුභාරංචිය “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” ප්‍රකාශ කිරීමයි. (එළිදරව් 14:6) සිය ලිඛිත වචනය සියලු මිනිසුන් කියවා පහසුවෙන් තේරුම්ගැනීමත් දෙවිගේ කැමැත්තය. එම අරමුණ ඉටු කරගැනීම සඳහා බයිබලය ලෝකයේ වෙනත් කිසිම පොතකට වඩා වැඩි භාෂා ගණනකට පරිවර්තනය කර ඇත. පරිවර්තකයන් දහස් ගණනක් දෙවිගේ අදහස් වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීම සඳහා බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැය කර තිබේ.

බයිබලය යනු පරිවර්තනයට ලක් වූ පොතක් පමණක්ම නොවේ. බොහෝ අවස්ථාවලදී, වෙනත් පොත් පරිවර්තනය කිරීම සඳහා බයිබලය ආධාරකයක් ලෙසද යොදාගෙන තිබේ. යම් පොතක් යම් භාෂාවකට පරිවර්තනය කිරීමේදී යම් වචනයක් විවිධ බයිබල් පරිවර්තන තුළ පරිවර්තනය කර ඇති ආකාරය සසඳා බැලීම මගින් එම වචනය සඳහා නිසි යෙදුම සොයාගැනීමට එම පොතේ පරිවර්තකයන්ට හැකි වී තිබේ. දැන් දැන් සිදු වන දෙයක් නම්, පොත් පරිවර්තනය කිරීමේදී පරිගණකයකට දත්ත කැවීමෙන් පරිගණකයට පරිවර්තනය සිදු කිරීමට සැලැස්වීමයි. මෙසේ කිරීමේදී බයිබලය පරිවර්තන ආධාරකයක් ලෙස යොදාගැනේ.

එහෙත්, පරිගණකයක් විසින්ම කරන පරිවර්තනයක් සාර්ථක එකක් නොවේ. ඇතැම් විශේෂඥයන්ට මෙම කාරණය හැඟී ගොස් තිබේ. ඊට හේතුව කුමක්ද? භාෂාවක් යනු වචන සමූහයක් පමණක්ම නොවන නිසාය. සෑම භාෂාවකටම ඊටම ආවේණික වූ වචන සංයෝජන, භාෂා රීති, රීතිවලින් බැහැර වන අවස්ථා, වාග් සම්ප්‍රදායන් සහ ව්‍යංගයෙන් කියන වචන ඇත. මේ සියල්ලම පරිගණකයකට හුරු කරවන්නට උත්සාහ කළ අයට එතරම් සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වී නැත. පරිගණකයක් විසින්ම පරිවර්තනය කරන ලද පාඨයක් කියවා තේරුම්ගැනීමද ඉතා දුෂ්කර වී තිබේ.

එහෙත්, පරිගණක විද්‍යාඥයෝ මේ සඳහා දැන් අලුත් ක්‍රම සොයමින් සිටිති. “භාෂා පරිවර්තනය සඳහා අප නව ක්‍රම අත්හදා බලමින් සිටිනවා” යයි ෆ්‍රාන්ස් යෝසෙෆ් ඕක් නමැති ප්‍රධාන පෙළේ පරිගණක පරිවර්තන විශේෂඥයා පවසයි. ඔබට හින්දි භාෂාවෙන් ලියවී තිබෙන කොටසක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට වුවමනා වී ඇතැයි සිතන්න. මෙම භාෂා දෙකෙන් එකම අදහස් සහිත පාඨ දෙකක් ගන්න. අනතුරුව එම පාඨ දෙක පරිගණකයකට ඇතුල් කරන්න. පරිගණකය එම පාඨ දෙක සසඳා බලයි. නිදසුනක් වශයෙන්, ඉංග්‍රීසියෙන් “නිවස [house]යන වචනයට හින්දි භාෂාවේ ඊට අදාළ වචනය දකින හැම විටකදීම පරිගණකය තීරණය කරන්නේ එම ඉංග්‍රීසි වචනයට ඊට අදාළ හින්දි වචනය යෙදිය යුතු බවයි. පරිගණකය තෝරාගන්නා වචනයට ළඟින් ඇති වචන, එනම් “ලොකු,” “කුඩා,” “පැරණි,” හෝ “අලුත්” වැනි වචන, විශේෂණ පද ලෙස බොහෝදුරට සැලකේ. මේ නිසා, පරිගණකය විසින් අදාළ වචන සහ වචන සංයෝජනවල ලැයිස්තුවක් පිළියෙල කෙරේ. එම ලැයිස්තුගත කිරීමට දවස් කිහිපයක් හෝ සති කිහිපයක් ගත විය හැකි අතර, පරිගණකයට අලුතින් ලැයිස්තුගත වී ඇති වචන හා යෙදුම් අලුත් පරිවර්තනයක් කිරීමේදී සම්බන්ධ කරගනී. මින් බිහි වන පරිවර්තනය, ව්‍යාකරණ හා රටාව අතින් දුර්වල තත්වයක පැවතියද මූලික අදහස් හා අරුත් තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය.

පරිගණකයෙන් බිහි වන පරිවර්තනයක සාර්ථකත්වය හා ගුණය රඳා පවතින්නේ පරිගණකය විසින් සංසන්දනය කිරීම සඳහා මූලිකව පරිගණකයට ඇතුල් කරන ලද නිවැරදි දත්තයන් හා එම දත්තවල ප්‍රමාණය මතයි. මෙහිදී බයිබල් පරිවර්තනය අතිසුවිශේෂයි. මන්ද එය ඉතා පරෙස්සමින් භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති අතර, පහසුවෙන් කෙනෙකුට ලබාගත හැකි නිසාය. එලෙසම එහි වචන ලක්ෂ ගණනක් අඩංගුය. මේ අනුව පරිගණකයක් අලුත් භාෂාවකට හුරු කිරීමේදී ආධාරකය ලෙස මෙම පර්යේෂකයා මුලින්ම තෝරාගත්තේ බයිබලයයි.