Skip to content

පටුනට යන්න

මැසිඩෝනියාවේ අවශ්‍යතාවක් සපුරාලීම

මැසිඩෝනියාවේ අවශ්‍යතාවක් සපුරාලීම

මැසිඩෝනියාවේ අවශ්‍යතාවක් සපුරාලීම

“මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න.” (ක්‍රියා 16:9) ප්‍රේරිත පාවුල්ට දර්ශනයකින් පෙනී සිටි එක්තරා මිනිසෙකු පැවසූ මෙම වදන්වලින් ඇඟවූයේ නව ප්‍රදේශයක දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ඇති අවශ්‍යතාවයි. එම නව ප්‍රදේශ අද දින අයත් වන්නේ ග්‍රීසියේ ඇතැම් නගරවලටයි.

මැසිඩෝනියාවේ ජනගහනය දෙස බලන කල, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එම රටේ දේශනා කිරීමට නියමිත ජන සංඛ්‍යාවේ අනුපාතය එක් කෙනෙකුට 1,840දෙනෙක්. ඒ රටේ බොහෝදෙනෙකුට කිසිම දවසක යෙහෝවා දෙවි ගැන අහන්නවත් ලැබිලා නැහැ. මේ අනුව පෙනී යන්නේ මේ රටේ ජනතාවට දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම දැඩි අවශ්‍යතාවක්ව පවතින බවයි.—මතෙව් 24:14.

එම අවශ්‍යතාව සපුරාලීමට දෙවි යම් මාර්ගයක් විවෘත කර තිබෙනවා. වර්ෂ 2003 නොවැම්බර් මාසයේ එක්තරා දිනක, ස්කෝප්යේහි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මැසිඩෝනියානු කාර්යාලයට අනපේක්ෂිත දුරකථන ඇමතුමක් ලැබුණා. එය ලැබුණේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ මැසිඩෝනියානු ආයතනයෙන්. එම ආයතනය සාක්ෂිකරුවන්ට ආරාධනා කර සිටියේ නොවැම්බර් 20වන දා ආරම්භ වීමට නියමිතව තිබූ දින තුනක් පුරා පැවැත්වෙන සල්පිලේ එක් කුටියක් වෙන් කරගන්නා ලෙසයි. එහිදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තම විශ්වාසයන් පැහැදිලි කිරීමට අවස්ථාවක් උදා කරගත හැකි බව එම ආයතනය කියා සිටියා. කිසිදා දේවරාජ්‍යයේ ශුභාරංචිය අසා නැති දහස් ගණනක් මිනිසුන්ට දේශනා කිරීමට එය මොන තරම් කදිම අවස්ථාවක්ද!

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සහෝදරයන් මැසිඩෝනියානු භාෂාවෙන් නිකුත් කර ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විවිධ ප්‍රකාශන එම සල්පිලේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කළා. නැරඹීමට එන අයට පහසුවෙන් බයිබල් පොත් පත් ලබාගත හැකි වන විදිහට ඒවායේ සාම්පල කිහිපයක් ඔවුන් කුටියේ ප්‍රදර්ශනය සඳහා තැබුවා. මේ නිසා බොහෝදෙනෙකුට සත්‍යය නමැති ජීවනදායක වතුර නොමිලේ ලබාගැනීමට අවස්ථාව පෑදුණා.—එළිදරව් 22:17.

පැමිණ සිටි නරඹන්නන් විශේෂයෙන්ම ඔවුන්ගේ සිත්ගත් පොත් පත් ලබාගන්නටයි උත්සාහ කළේ. යෞවන අය අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු සහ පවුලේ සන්තෝෂයට රහස * යන පොත් ඒ අතරින් විශේෂයි. පැමිණි අයගෙන් 98දෙනෙක් ඔවුන්ගේ ලිපින දී තමන්ව හමුවීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව එවන ලෙස ඉල්ලා සිටියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන යහපත් සේවය සහ ඔවුන්ගේ පොත් පත්වල ගුණාත්මකභාවය ගැන බොහෝදෙනෙක් ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කළා.

එක් පියෙක් ඔහුගේ පොඩි පුතුගේ අතින් අල්ලාගෙන මෙම කුටියට පැමිණියා. දරුවන් සඳහා යම් පොත් පත් තිබේදැයි ඔහු ඇසුවා. සාක්ෂිකරුවන් ඔහුට පෙන්නුවේ මගේ බයිබල් කතන්දර පොතයි. * එය හොඳින් පෙරළා බැලූ ඔහු මිල කීයදැයි විමසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපන සේවය කරනු ලබන්නේ ස්වේච්ඡා සම්මාදම්වලින් බව ඔහු දැනගත් විට ඉන් සිදු වුණේ ඔහුගේ කුතුහලය තවත් වැඩිවීමයි. (මතෙව් 10:8) ඔහු ඒ පොත සිය පුතුට පෙන්වූයේ, “පුතා මේ බලන්න ලස්සන පොතක්. මම හැමදාම මේකෙන් ඔයාට කතන්දරයක් කියවන්නම්!” කියමින්.

දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයෙක් කුටියට පැමුණුණා. ඔහු ආගම් ගැන, විශේෂයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන උනන්දුවක් දැක්වූ තැනැත්තෙක්. දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය * (සිංහලෙන් නැත) නමැති පොත පෙරළා බැලූ මහාචාර්යවරයා මෙසේ කිව්වා. “මේ පොතේ තොරතුරු ඉතාමත් තර්කානුකූල විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ යම් තොරතුරු පොතක සඳහන් විය යුත්තෙත් මේ විදිහටයි.” පසුව ඔහු උගන්වන පාසැලේ සිසුන් කිහිපදෙනෙක්ද මෙම කුටියට පැමිණ ඔහු ලබාගත් පොතේ පිටපත් ඉල්ලා සිටියා. ඔහු ලබාගත් මේ පොත කියවා බැලීමට ඔවුන්ටත් වුවමනා වුණා. ඔවුන්ගේ අදහස වූයේ ඔහු පාඩම්වලදී මෙම පොතේ තිබෙන තොරතුරු යොදාගනු ඇති බවයි.

මෙම කුටියේ පැවති පොත් පත් ප්‍රදර්ශනය නිසා බොහෝදෙනෙකුට පළමු වරට බයිබලයේ සත්‍යයන් දැනගැනීමට අවස්ථාවක් සැලසුණා. බිහිරි ළමුන් කිහිපදෙනෙක්ද එහි පැමිණියේ තමන්ටත් ලබාගත හැකි යමක් එහි තිබෙනවාද යන්න සොයා බැලීමටයි. එක් සාක්ෂිකරුවෙක් එතැන සිටි ගැහැනු ළමයෙකුගේ උපකාරය ඇතුව සංඥා භාෂාවෙන් එම ළමුන්ට ඉතා කෙටියෙන් කතාවක් ඉදිරිපත් කළා. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා * යන පොතේ ඇති පිංතූරු පෙන්වමින් ඔහු විස්තර කළේ යේසුස් බිහිරි අය ඇතුළු අසනීප වූවන්ව සුව කළ බවයි. ඒ හා සමානව අද දින ජීවත් වන අයවද යේසුස් ඉතා නුදුරු අනාගතයේදී සුව කරනු ඇතැයි බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන දැනගැනීමෙන් ඔවුන් මහත් සේ සතුටට පත් වුණා. ඔවුන්ගෙන් කිහිපදෙනෙක් බයිබලය අධ්‍යයනය කිරීමට උපකාරවත් වන පොත් පත් කිහිපයක් ලබාගත්තා. ඒ නිසා ඔවුන්ව ගොස් හමුවීමට සංඥා භාෂාව දන්නා සාක්ෂිකරුවෙකුව යැවීමට සැලසුම් යෙදුවා.

මැසිඩෝනියානු භාෂාවට අමතරව, ඇල්බේනියානු, ඉංග්‍රීසි සහ තුර්කි භාෂාවලින්ද පොත් පත් ප්‍රදර්ශනය කර තිබුණා. මැසිඩෝනියානු භාෂාව නොදන්නා එක් පුද්ගලයෙක් ඉංග්‍රීසි භාෂාවෙන් යම් පොත් පත් ඉල්ලා සිටියා. ඉංග්‍රීසි බසින් පළ වී ඇති මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කිහිපයක් ලබාගත් ඔහු තමා තුර්කි භාෂාව දන්නා බව පැවසුවා. තමාගේම භාෂාවෙන් පළ කර ඇති පොත් පත් දුටු විට ඔහුට තම ඇස් අදහාගන්නට බැරි වුණා. ඔහු තේරුම්ගත් දෙය නම්, සියලුමදෙනාට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑදී පැහැදී සිටින බවයි.

එම සල්පිලේදී මොන තරම් අපූරු සාක්ෂියක් දීමට හැකි වුණාද! බොහෝදෙනෙක් බයිබල් සත්‍යය කෙරෙහි උනන්දුවක් දක්වනවා දැකීම මොන තරම් සතුටට හේතුවක්ද! ඇත්තෙන්ම, දේවරාජ්‍යයේ ශුභාරංචිය මැසිඩෝනියාවේ තව තවත් පැතිරී යෑමට යෙහෝවා දෙවි මාර්ගය විවෘත කිරීම මොන තරම් සතුටට කාරණයක්ද!

[පාදසටහන]

^ 6 ඡේ. මෙම ප්‍රකාශන යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

^ 7 ඡේ. මෙම ප්‍රකාශන යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

^ 8 ඡේ. මෙම ප්‍රකාශන යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

^ 9 ඡේ. මෙම ප්‍රකාශන යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

[9වන පිටුවේ කොටුව⁄පින්තූර]

සුවිශේෂී අවස්ථාවක්!

වර්ෂ 2003 මැයි 17වන දා, මැසිඩෝනියාවේ සහෝදරයන්ට සුවිශේෂී දවසක්. ඊට හේතුව ස්කෝප්යේ නුවර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයක් එදින විවෘත කිරීමයි. වසර දෙකක් පුරා එහි ඉදි කිරීමේ කටයුතු කෙරීගෙන ගිය අතර, දැන් එය කලින් තිබූ කාර්යාලය මෙන් හතර ගුණයකින් විශාල කර තිබෙනවා.

මෙහි ප්‍රධාන ගොඩනැඟිලි තුනක් තිබෙනවා. ඒවායේ, පරිපාලන හා පරිවර්තන කාර්යාල මෙන්ම නේවාසික කාමර, මුලුතැන්ගෙය හා ලොන්ඩරිය පිහිටා තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ගයි පියර්ස්, කැප කිරීමේ කතාව දීමට පැමිණ සිටියා. විවිධ රටවල් දහයකින් පැමිණ සිටි අයත් එම වැඩසටහනට සහභාගි වුණා. අලුතෙන් තැනූ මෙම අලංකාර ගොඩනැඟිලි දැකීමෙන් පැමිණ සිටි හැමෝම මහත් සේ සතුටට පත් වුණා.

[8, 9වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බල්ගේරියාව

මැසිඩෝනියාව

ස්කෝප්යේ

ඇල්බේනියාව

ග්‍රීසිය

[8වන පිටුවේ පින්තූරය]

ස්කෝප්යේ, මැසිඩෝනියාව