Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න

යෙහෝවාගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න

යෙහෝවාගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න

“ඔබගේ වචනය විශ්වාස කරමි.”—ගීතාවලිය 119:42.

1. බයිබලයේ 119වන ගීතිකාවේ ලේඛකයා කවුරු විය හැකිද? ඔහු ගැන ඔබට පැවසිය හැක්කේ කුමක්ද?

එකසිය දහනවවන ගීතිකාවේ ලේඛකයා යෙහෝවාගේ වචනයට දැක්වූයේ මහත් ඇල්මකි. ඔහු බොහෝදුරට යූදාහි විසූ හෙසකියා රජු විය හැකියි. දේවානුභාවයෙන් ලිවූ මෙම ගීතිකාවේ සඳහන් හැඟීම් හෙසකියාගේ බව අපට පෙනී යන්නේ ඔහු යූදාහි රජු ලෙස සේවය කරන අතරතුරේදීම “යෙහෝවාට ඇලුම්ව” සිටි නිසාය. (2 රාජාවලිය 18:3-7) එක් දෙයක් පැහැදිලියි. එනම්, මෙම ගීතිකාකරු දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් තබාගැනීමට ආශාවෙන් සිටි බවයි.—මතෙව් 5:3.

2. එකසිය දහනවවන ගීතිකාවේ තේමාව කුමක්ද? මෙම ගීතිකාව සකස් කර තිබෙන්නේ කෙසේද?

2 එකසිය දහනවවන ගීතිකාවේ මූලික තේමාව වනුයේ දෙවි පවසන දේවල ඇති වටිනාකමයි. * මතක තබාගැනීමට උපකාරයක් වශයෙන් මෙම ලේඛකයා මෙම ගීතිකාවේ පද හෙබ්‍රෙව් භාෂාවේ අකාරාදියට අනුව සකස් කර ඇති බවක් පෙනී යයි. හෙබ්‍රෙව් භාෂාවෙන් ලියා ඇති මෙම 119වන ගීතිකාව කොටස් 22කට බෙදා ඇති අතර, ඒ එක් එක් කොටස පද හෝ පේළි 8කින් සමන්විතය. මුල් කොටසේ සෑම පේළියක්ම ආරම්භ වෙන්නේ හෙබ්‍රෙව් අකාරාදියේ මුල් අකුරෙනුයි. දෙවන කොටසේ සෑම පේළියක්ම ආරම්භ වන්නේ හෙබ්‍රෙව් අකාරාදියේ දෙවන අකුරෙනුයි. මේ පිළිවෙත කොටස් 22ම අනුගමනය කරනු ලබන නිසා හෙබ්‍රෙව් අකාරාදියේ අකුරු 22ම එම ගීතිකාවේ නියෝජනය වේ. දෙවිගේ වචනය, ව්‍යවස්ථාව හෙවත් නීතිය, සාක්ෂි හෙවත් සිහිගැන්වීම්, මාර්ග, ශික්ෂා පද හෙවත් අණ පණත්, ආඥාවන්, විනිශ්චයන්, කියමන් හා පනත් යන මේවා ගැන මෙම ගීතිකාවේ කතා කෙරේ. හෙබ්‍රෙව් බයිබලයේ නිවැරදි පරිවර්තනයක් අනුසාරයෙන්, 119වන ගීතිකාව ගැන මෙම ලිපියේදී සහ ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරෙනවා ඇත. අතීතයේ විසුවාවූද වර්තමානයේ වෙසෙන්නාවූද යෙහෝවාගේ සේවකයන්ගේ අද්දැකීම් ගැන අප කල්පනා කරද්දී, දේවානුභාවයෙන් ලියා ඇති මෙම ගීතිකාව කෙරෙහි අපගේ අවබෝධය වැඩි විය යුතු අතර, දේවවචනය වන බයිබලය කෙරෙහි අපගේ කෘතඥතාවද වැඩි විය යුතුයි.

දෙවි පවසන දේට කීකරු වීම සන්තෝෂයට හේතු වේ

3. නිර්දෝෂව ජීවත් වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිලි කරන්න. ඒ සඳහා ආදර්ශයක් දෙන්න.

3 සැබෑ සන්තෝෂය රඳා පවතින්නේ දෙවිගේ නීතියට කීකරු වීම මතයි. (ගීතාවලිය 119:1-8) අප එසේ කීකරු වෙනවා නම්, අප ‘නිර්දෝෂ මාර්ගයේ යන’ අය හැටියට යෙහෝවා අපව ගණන් ගනී. (ගීතාවලිය 119:1) නිර්දෝෂ අය කීමෙන් අදහස් කරන්නේ අප පරිපූර්ණ අය යන්න නොවේ. ඉන් අඟවන්නේ අප දෙවි කැමති දේ කිරීමට බලවත් උත්සාහයක් ගන්නා බවයි. නෝවා “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුව ඔහුගේ පරම්පරාවන්හිදී නිර්මලව සිටියේය. නෝවා [සැබෑ] දෙවි සමඟ හැසුරුණේය.” එම විශ්වාසවන්ත පුද්ගලයා වූ නෝවා සහ ඔහුගේ පවුලේ අය ජලගැල්මෙන් බේරී ජීවත් වුණේ ඔවුන් යෙහෝවා කී විදිහට ජීවත් වන්නට උත්සාහ දැරූ නිසයි. (උත්පත්ති 6:9; 1 පේතෘස් 3:20) ඒ හා සමානව මේ ලෝකයේ අවසානයෙන් අපට බේරී ජීවත් වීමට හැකි වන්නේ අපත් ‘දෙවිගේ ශික්ෂා පද උත්සාහයෙන් පැවැත්වුවහොත්’ පමණයි. වෙනත් වචනවලින් කිවහොත් අප ඔහුගේ කැමැත්ත කළ යුතුයි.—ගීතාවලිය 119:4.

4. අපට සන්තෝෂය හා යහපත් ප්‍රතිඵල අද්දැකිය හැක්කේ කුමක් කිරීමෙන්ද?

4 අප ‘සිතේ අවංකකමින් යෙහෝවාට ස්තුති කර, ඔහුගේ පනත් පවත්වන්නේ’ නම්, යෙහෝවා අපව කිසිදා අත්හරින්නේ නැත. (ගීතාවලිය 119:7, 8) ඊශ්‍රායෙල්හි නායක යෝෂුවා ‘ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ල කරන පිණිස එය රෑ දාවල් කියවන’ ලෙසට දී තිබුණු ආඥාවට කීකරු වූ බැවින් දෙවි ඔහුව අත්හැරියේ නැත. ඔහුගේ මාර්ගය සපල වූයේත්, ඔහුට ශුභ සිද්ධ වූයේත් මේ නිසාය. (යෝෂුවා 1:8) යෝෂුවා මිය යන්නට කලින් දෙවිට ප්‍රශංසා කරමින් සිටි අතර, ඊශ්‍රායෙලිතයන්ට මෙසේ සිහිගැන්වීමට ඔහුට හැකි විය. “ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක් දෙයක්වත් නිෂ්ඵල නොවූ බව ඔබ සියල්ලෝ මුළු හෘදයෙන්ද ආත්මයෙන්ද දන්නහුය.” (යෝෂුවා 23:14) යෝෂුවා සහ 119වන ගීතිකාවේ ලේඛකයා අද්දුටුවාක් මෙන්, අපටත් සන්තෝෂය හා යහපත් ප්‍රතිඵල අද්දැකිය හැකි වන්නේ අප විසින් යෙහෝවාට ප්‍රශංසා කිරීම සහ ඔහුගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීම මතයි.

යෙහෝවාගේ වචනය අපව පවිත්‍රව තබයි

5. (අ) දෙවි ඉදිරියේ පවිත්‍රව සිටීමට කෙනෙකුට හැකි ආකාරය පෙන්වා දෙන්න. (ආ) බරපතළ පාපයක් කර ඇති යෞවනයෙකුට කිනම් උපකාර ලබාගත හැකිද?

5 අපට දෙවි ඉදිරියේ පවිත්‍රව සිටිය හැක්කේ අප ඔහුගේ වචනය පරෙස්සමින් හෙවත් කල්පනාකාරීව පිළිපැද්දොත් පමණි. (ගීතාවලිය 119:9-16) අපගේ දෙමාපියන් ආදර්ශවත් අය නොවුවත් අපට දෙවි ඉදිරියේ පවිත්‍රව සිටිය හැකියි. හෙසකියාගේ පියා රූප වඳින්නෙකු වුවද, හෙසකියා තම ‘මාර්ග පවිත්‍ර කරගෙන’ සිටියේය. ඒ කෙසේද? ඔහු විසූ දේශය මිථ්‍යා ආගමික බලපෑමට හසු වී තිබුණත් ඔහු ‘පවිත්‍රව’ සිටියේ බොහෝදුරට මෙම මිථ්‍යා ආගමික බලපෑම්වලට හසු නොවී සිටීමෙන් විය හැකියි. අද දින දෙවිට සේවය කරන තරුණයෙකුට මෙය අදාළ වන්නේ කෙසේද? ඔහු බරපතළ පාපයක් කළායයි සිතමු. ඔහු පසුතැවිලි වී, යාච්ඤා කර, දෙමාපියන්ගේ සහ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ ප්‍රේමණීය උපකාරය පතනවා නම්, හෙසකියා මෙන් ඔහුටත් ඔහුගේ ‘මාර්ගය පවිත්‍ර’ කරගෙන කල්පනාවෙන් දේවවචනය පිළිපැදිය හැකියි.—යාකොබ් 5:13-15.

6. ‘තම මාර්ගය පවිත්‍ර කරගෙන, දෙවිගේ වචනය කල්පනාවෙන් පිළිපැද්දාවූ කාන්තාවෝ දෙදෙනා කවරහුද?

6 රාහබ් සහ රූත් ගැන කල්පනා කරන්න. ඔවුන් ජීවත් වූයේ 119වන ගීතිකාව ලිවීමට බොහෝ කලකට පෙරය. නමුත් ඔවුහු ‘තම මාර්ග පවිත්‍ර කරගත්හ.’ රාහබ් කානානීය ජාතික ගණිකාවක් වී සිටියත්, ඇගේ ඇදහිල්ල නිසා ඇය යෙහෝවාට නමස්කාර කරන තැනැත්තියක් බවට පත් වූවාය. (හෙබ්‍රෙව් 11:30, 31) මෝවබ් ජාතික රූත් ඇගේ දෙවිවරුන්ව පසෙකලා යෙහෝවාට සේවය කළාය. එලෙසම ඇය යෙහෝවා ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතියට එකඟව ජීවත් වූවාය. (රූත් 1:14-17; 4:9-13) ඊශ්‍රායෙල් ජාතියට අයත් නොවූ මෙම කාන්තාවෝ දෙදෙනාම ‘දෙවිගේ වචනය කල්පනාවෙන් පිළිපැද්ද’ අතර, යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන් මිත්තනියන් වීමේ භාග්‍යය ලැබූහ.—මතෙව් 1:1, 4-6.

7. දානියෙල් සහ ඔහුගේ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා දෙවි ඉදිරියේ පවිත්‍රකම රැකගනිමින් ආදර්ශයක් තැබුවේ කෙසේද?

7 බයිබලයේ කියන්නේ ‘මනුෂ්‍යයාගේ බාල කාලයේ පටන් ඔහුගේ හෘදයේ කල්පනා නපුරුව තිබෙන’ බවයි. නමුත් සාතන්ගේ පාලනය යටතේ තිබෙන මෙම දූෂිත ලෝකයේ පවා යෞවනයන්ට දෙවි ඉදිරියේ පවිත්‍රව ජීවත් විය හැකියි. (උත්පත්ති 8:21; 1 යොහන් 5:19) දානියෙල් සහ අනෙක් හෙබ්‍රෙව් තරුණයෝ තිදෙනා බැබිලෝනියේ වහල්භාවයේ සිටින විට, ‘දෙවිගේ වචනය කල්පාකාරීව පිළිපැද්දාහ.’ නිදසුනක් වශයෙන් ඔවුහු ‘රාජ භෝජන’ අනුභව නොකරමින් තමන්ව කිලිටු කර නොගෙන සිටියෝය. (දානියෙල් 1:6-10) බැබිලෝනිවරු මෝසෙස්ගේ නීතියෙන් තහනම් කරන ලද අපවිත්‍ර සතුන් කෑමට ගත්හ. (ලෙවී කතාව 11:1-31; 20:24-26) ඔවුන් සතුන්ගේ මස් කන විට රුධිරය ඉවත් නොකළ අතර, එලෙස මස් කෑම රුධිරය පිළිබඳව දෙවි දුන් නීතියට පටහැනි විය. (උත්පත්ති 9:3, 4) මෙම හෙබ්‍රෙව් තරුණයන් හතරදෙනා රාජ භෝජන අනුභව කිරීම ප්‍රතික්ෂේප කළේ මන්දැයි අපට සිතාගත හැකියි! දේවභක්තිය විදහා පෑ මෙම තරුණයෝ දෙවි ඉදිරියේ පවිත්‍රකම රැකගෙන අපහට තබා තිබෙන්නේ කදිම ආදර්ශයකි!

විශ්වාසවන්තව සිටීමට දේවවචනය ආධාරකයකි

8. දෙවිගේ නීතිය තේරුම්ගෙන එය අදාළ කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමන ආකල්පයක් ඇතිව සිටීමෙන්ද?

8 අප යෙහෝවාට විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය වැදගත්ම සාධකය නම් දේවවචනයට ඇලුම් කිරීමයි. (ගීතාවලිය 119:17-24) මෙම ගීතිකාව ලියූ ලේඛකයාගේ ආකල්පය අපටත් තිබෙනවා නම්, දෙවිගේ නීතියේ තිබෙන “ආශ්චර්යවත් දේ” තේරුම්ගැනීමට අප තුළ මහත් ආශාවක් ඇති වෙයි. අප නිතරම ‘යෙහෝවාගේ විනිශ්චයන් කෙරෙහි ආශාවක්’ ඇති කරගෙන, ‘ඔහුගේ සාක්ෂි [සිහිගැන්වීම්] අපගේ ප්‍රීතිය’ කරගන්නවා ඇත. (ගීතාවලිය 119:18, 20, 24) අප යෙහෝවාට කැපවී වැඩි කලක් ගත වී නැතිවා විය හැකියි. නමුත් අපි ‘දෙවිගේ වචනයේ අමිශ්‍ර කිරිවලට දැඩි ආශාවක් වර්ධනය කරගෙන’ තිබෙනවා කියා පැවසිය හැකිද? (1 පේතෘස් 2:1, 2) අප බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන අවබෝධයක්ද ලබාගත යුතුය. දෙවිගේ නීතිය තේරුම්ගෙන ඒවා අදාළ කරගැනීමට වඩාත් හොඳ තත්වයක අපි සිටින්නේ එවිටයි.

9. අප කීකරු විය යුත්තේ දෙවිගේ නීතිවලටද නැතහොත් මිනිස් නීතිවලටද යන ප්‍රශ්නය පැන නඟින විට අප කළ යුත්තේ කුමක්ද?

9 අප දෙවි දෙන සිහිගැන්වීම්වලට ඇලුම් කරනවා විය හැකියි. නමුත් යම් හේතු නිසා “අධිපතියෝ” අපට විරුද්ධව කතා කරනවා නම් තත්වය කුමක්ද? (ගීතාවලිය 119:23, 24) වර්තමානයේ බලධාරීන් බොහෝවිට අපට බල කරන්නේ දෙවිගේ නීතියට කීකරු වෙනවා වෙනුවට මිනිසුන්ගේ නීතිවලට කීකරු වන ලෙසයි. මිනිස් නීති දෙවිගේ නීති හා ගැටෙන විට අපි කුමක් කරමුද? අප දෙවිගේ වචනයට දක්වන ඇලුම්කම යෙහෝවාට විශ්වාසවන්තව සිටීමට අපට උපකාරවත් වේ. යේසුස්ගේ ගෝලයන් විරුද්ධවාදිකම්වලට ලක් වන විට, ඔවුන් දෙවිට කීකරු වූවා සේ අපත් “කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.”—ක්‍රියා 5:29.

10, 11. ඉතා දුෂ්කර පරීක්ෂා යටතේදී පවා අපට යෙහෝවාට පක්ෂපාතව සිටිය හැකි ආකාරය ආදර්ශයක් මගින් පෙන්වා දෙන්න.

10 ඉතා දුෂ්කර තත්වයන් යටතේදී පවා යෙහෝවාට පක්ෂපාතව සිටීමට අපට හැකියි. (ගීතාවලිය 119:25-32) දිගටම දෙවි ඉදිරියේ විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය නම්, අප දෙවිගෙන් ඉගෙනගැනීමට කැමැත්තෙන් සිටිය යුතු අතර, ඔහුගේ උපදෙස් පතමින් ඉතා ඕනෑකමින් යාච්ඤා කළ යුතුයි. තවද අප “විශ්වාසකමේ මාර්ගයද” තෝරාගත යුතුයි.—ගීතාවලිය 119:26, 30.

11 එකසිය දහනවවෙනි ගීතිකාව ලියූ ලේඛකයා ලෙස සැලකෙන හෙසකියා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නන් අතර ජීවත් වුවත්, ඔහු “විශ්වාසකමේ මාර්ගය” තෝරාගත්තේය. තවද රාජකීය මළුවේ සේවය කළ අයගේ සරදම්වලටද ඔහු ලක් වූවා විය හැකියි. එවන් තත්වයන් හමුවේ ‘ශෝකය නිසා ඔහුගේ සිත උණු’ වී ගිය බවට කිසිදු සැකයක් නැත. (ගීතාවලිය 119:28) නමුත් හෙසකියා, දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ අතර, ඔහු යහපත් රජ කෙනෙකු ලෙස ජීවත් වෙමින්, “යෙහෝවා ඉදිරියෙහි යුතු දේ කළේය.” (2 රාජාවලිය 18:1-5) ඒ හා සමානව, දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් ඔහුට පක්ෂපාතව සිටිමින් පරීක්ෂා විඳදරාගැනීමට අපටත් හැකියි.—යාකොබ් 1:5-8.

යෙහෝවාගේ වචනය අපට ධෛර්යය ලබා දෙයි

12. ගීතාවලිය 119:36, 37 අපට පෞද්ගලිකව අදාළ කරගත හැක්කේ කෙසේද?

12 දෙවිගේ වචනයේ මඟ පෙන්වීම අනුගමනය කිරීමෙන්, පරීක්ෂා යටතේ ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය ධෛර්යය අපට ලැබේ. (ගීතාවලිය 119:33-40) අපි ඉතා යටහත් පහත් ලෙස යෙහෝවාගේ උපදෙස් පතමු. එවිට අපගේ ‘මුළු සිතින්’ දෙවිගේ නීතියට කීකරු වීමට අපට හැකියි. (ගීතාවලිය 119:33, 34) ගීතිකාකරු මෙන් අපද දෙවිගෙන් ඉල්ලා සිටින්නේ “මාගේ සිත ලෝභකමට නොව ඔබගේ සාක්ෂිවලට [සිහිගැන්වීම්වලට] යොමු කළ මැනව” කියායි. (ගීතාවලිය 119:36) ප්‍රේරිත පාවුල් මෙන් අපිත් “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න” උත්සාහ කරන්නෙමු. (හෙබ්‍රෙව් 13:18) අපගේ රැකියා ස්ථානයේ ස්වාමියා අප ලවා වංචනික දෙයක් කරවාගන්නට උත්සාහ කරනවා නම්, දෙවිගේ නීතිවලට ඇලී සිටීමට අප පසුබට වන්නේ නැත. යෙහෝවා සෑම විටම අප දරන උත්සාහයට ආශීර්වාද කරන බවට කිසිදු සැකයක් නැත. ඇත්තෙන්ම අප තුළ තිබෙන වැරදි නැඹුරුවාවන් සියල්ලම පාලනය කරගැනීමටද ඔහු අපට පිහිට වෙයි. එසේනම්, “නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා ඔබගේ මාර්ගවල මා හැසිරෙව්ව මැනව” කියා යාච්ඤා කරමු. (ගීතාවලිය 119:37) දෙවි පිළිකුල් කරන කිසිම දෙයකට ආශාවක් ඇති කරගැනීමට අපට කිසිදා වුවමනා නැත. (ගීතාවලිය 97:10) දෙවි පිළිකුල් කරන දේවලට ඇතුළත් වන කාමුක දර්ශන බැලීමෙන් හා භූතයන්ට සම්බන්ධ ක්‍රියාවලින් සම්පූර්ණයෙන් වැළකී සිටීමට ඉහත සඳහන් පරිදි යාච්ඤා කිරීම අපට මහත් සේ උපකාරවත් වේ.—1 කොරින්ති 6:9, 10; එළිදරව් 21:8.

13. පීඩාවට ලක් වූ යේසුස්ගේ ගෝලයන් සාක්ෂි දැරීම සඳහා අවශ්‍ය ධෛර්යය ලබාගත්තේ කෙසේද?

13 අපට දේවවචනය පිළිබඳව නිවැරදි දැනුමක් තිබෙනවා නම්, සාක්ෂි දැරීමට අපට අවශ්‍ය ධෛර්යය ඒ මගින් ලැබේ. (ගීතාවලිය 119:41-48) ඇත්තෙන්ම අපට ‘නින්දා කරන්නාට උත්තර දීමට’ අපට ධෛර්යය තිබිය යුතුයි. (ගීතාවලිය 119:42) සමහර අවස්ථාවලදී යේසුස්ගේ ගෝලයන් මෙන් අපද පීඩාවට ලක් වෙනවා විය හැකියි. එවන් අවස්ථාවලදී ගෝලයන් යාච්ඤා කළේ මෙසේයි. “යෙහෝවා, . . . සම්පූර්ණ නිර්භීතකමින් ඔබේ වචනය දිගටම කතා කරන්න ඔබේ දාසයන්ට අවසර දෙන්න.” මෙලෙස යාච්ඤා කිරීමට අපටද පුළුවන. ගෝලයන් කළ යාච්ඤාවට පිළිතුරු ලැබුණේ කෙසේද? “එවිට ඒ හැමදෙනාම ශුද්ධාත්මයෙන් පූර්ණව දෙවිගේ වචනය නිර්භීතව කතා කළහ.” විශ්වයේ අධිපති වන අපගේ දෙවි එදා ගෝලයන්ට නිර්භීතකම දුන්නා සේම අද දිනත් අපට ඔහුගේ වචනය නිර්භීතව කතා කිරීමට අවශ්‍ය ධෛර්යය දෙනවා ඇත.—ක්‍රියා 4:24-31.

14. පාවුල් මෙන් අපටද ධෛර්යයෙන් යුතුව සාක්ෂි දැරීමට කුමක් උපකාරවත් වෙයිද?

14 කිසිම භයක් හෝ ලජ්ජාවක් නැතිව නිර්භීතව සාක්ෂි දැරීමට අවශ්‍ය ධෛර්යය ලබාගැනීමට නම් අප යම් දෙයක් කළ යුතුයි. එනම්, අප “සත්‍ය වචනයට” ඇලුම් වී ‘දෙවිගේ නීතිය සෑම කල්හිම පැවැත්විය යුතුයි.’ (ගීතාවලිය 119:43, 44) දෙවිගේ වචනය ඉතා ඕනෑකමින් අප අධ්‍යයනය කරන විට, ‘රජුන් ඉදිරියෙහි දෙවිගේ [සිහිගැන්වීම්] ගැන කතා කිරීමට’ එය අපට ශක්තිය දෙයි. (ගීතාවලිය 119:46) යාච්ඤාවෙන් සහ යෙහෝවාගේ ශුද්ධාත්මයෙන් අපට ලැබෙන උපකාරයෙන් නිවැරදි දෙය නිසි ආකාරයට කීමට අපට හැකි වේ. (මතෙව් 10:16-20; කොලොස්සි 4:6) පාවුල් පළමු සියවසේ විසූ පාලකයන්ට දෙවිගේ සිහිගැන්වීම් ගැන කතා කළේ මහත් ධෛර්යයකිනි. නිදසුනක් වශයෙන් ඔහු රෝම ආණ්ඩුකාර ෆීලික්ස්ට සාක්ෂි දැරූ අතර, මෙම ආණ්ඩුකාරයා “ක්‍රිස්තුස් යේසුස් පිළිබඳව වූ ඇදහිල්ල ගැන ඔහු කී දේට සවන් දුන්නේය.” (ක්‍රියා 24:24, 25) එලෙසම ආණ්ඩුකාර ෆෙස්ටස් සහ අග්‍රිපා රජ ඉදිරියෙහිද පාවුල් සාක්ෂි දැරීය. (ක්‍රියා 25:22–26:32) යෙහෝවාගේ පිහිට ඇතුව අපටද ධෛර්යයෙන් යුතුව සාක්ෂි දැරිය හැකි අතර, අප “ශුභාරංචිය ගැන ලජ්ජා” නොවිය යුතුයි.—රෝම 1:16.

දෙවිගේ වචනයෙන් අපට සහනය ලැබේ

15. වෙනත් අය අපට අපහාස කරන විට දේවවචනය සැනසීමක් වන්නේ කෙසේද?

15 යෙහෝවාගේ වචනය අපට දෙන සැනසීම ස්ථිර සහනයකි. (ගීතාවලිය 119:49-56) අපට විශේෂයෙන් සහනය අවශ්‍ය කරන අවස්ථාවන් උදා වේ. අප යෙහෝවා ගැන ධෛර්යවන්තව නිර්භීතව සාක්ෂි දැරුවත්, “උඩඟු වූවෝ” හෙවත් දෙවි ගැන කිසිදු තැකීමක් නැති අහංකාර පුද්ගලයෝ සමහරක් අවස්ථාවලදී ‘අපට බොහෝ සේ අපහාස කරති.’ (ගීතාවලිය 119:51) එහෙත් අප දෙවිට යාච්ඤා කරන විට, දේවවචනයේ පවසා ඇති දිරිගැන්වෙන වදන් අපට මතක් විය හැකි අතර, ඒ මගින් අපට ‘සැනසීම’ අද්දැකිය හැකියි. (ගීතාවලිය 119:52) අපට ඒ සැනසීම අද්දැකිය හැක්කේ කෙසේද? අප කන්නලව් කරන අවස්ථාවලදී අපට ශුද්ධ ලියවිල්ලේ සඳහන් යම් නීතියක් හෝ ප්‍රතිපත්තියක් මතක් වෙන්නට පුළුවන. මේ මගින් අප සිටින පීඩාකාරී තත්වයට මුහුණ දීමට අවශ්‍ය සැනසීම හා ධෛර්යය අපට ලැබෙයි.

16. පීඩා තිබුණත් දෙවිගේ සේවකයන්ගේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?

16 ගීතිකාකරුට අපහාස කළ මෙම අහංකාර පුද්ගලයෝ ඊශ්‍රායෙල් මිනිස්සු වූහ. එනම් දෙවිට කැපවූ ජාතියකට අයත් අය වූහ. එවන් අය ගීතිකාකරුට අපහාස කිරීම මොන තරම් අපරාධයක්ද! එහෙත් අපි ඔවුන්ට සමාන නොවෙමු. දේව නීතියෙන් කිසිවිටෙකත් ඉවත නොයෑමට අපි අදිටන් කරගනිමු. (ගීතාවලිය 119:51) වසර ගණනාවක් පුරා නාට්සිවරුන්ගේ පීඩාවලට හා ඊට සමාන වෙනත් පීඩාවලට ලක් වූ දෙවිගේ සේවකයන් දහස් ගණනක් දේවවචනයේ සඳහන් නීති සහ ප්‍රතිපත්ති උල්ලංගනය කළේ නැත. (යොහන් 15:18-21) යෙහෝවාගේ නීතිවලට කීකරු වීම බරක් නොවේ. මන්දයත් ඔහුගේ අණ පණත් අපට සැනසීම ලබා දෙන ගීතිකා මෙන් වන නිසාය.—ගීතාවලිය 119:54; 1 යොහන් 5:3.

යෙහෝවාගේ වචනය අගය කරන්න

17. දෙවිගේ වචනය සඳහා ඇති අගය කුමක් කිරීමට අපව පොලඹවයිද?

17 දෙවිගේ වචනය පිළිපැදීමෙන් අපි එය අගය කරන බව පෙන්වමු. (ගීතාවලිය 119:57-64) ගීතිකාකරු ‘යෙහෝවාගේ වචන පැවැත්වීමට’ පොරොන්දු වූ අතර ‘දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා දෙවිට ස්තුති කිරීමට මධ්‍යම රාත්‍රියෙහි නැඟිට්ටේය.’ අප රාත්‍රියේදී අවදි වුවහොත් ඒ මොහොත දෙවිට යාච්ඤාවෙන් අපේ කෘතඥතාව පළ කිරීමට යොදාගැනීම කොතරම් හොඳද! (ගීතාවලිය 119:57, 62) දෙවිගේ වචනය කෙරෙහි අප තුළ ඇති අගය දෙවිගෙන් ඉගෙනගැනීමට අපව පොලඹවන අතර, ‘යෙහෝවාට භය වන සියල්ලන්ගේ සමාගම්කාරයන්’ සමඟ ඇසුරු කිරීමට, එනම් දෙවිට සැබෑ ගරුබියක් දක්වන පුද්ගලයන්ව ඇසුරු කිරීමට අපට ප්‍රස්තාව තිබේ. එය මොන තරම් ප්‍රීතියක්ද! (ගීතාවලිය 119:63, 64) මීටත් වඩා හොඳ ඇසුරක් සොයාගත හැක්කේ කාටද?

18. ‘දුෂ්ටයන්ගේ ලණු අප වටා එතෙන’ විට, අප කරන යාච්ඤාවන්ට යෙහෝවා පිළිතුරු දෙන්නේ කෙසේද?

18 අප අපේ මුළු හෘදයෙන් යාච්ඤා කරන විට සහ අපට උගන්වන ලෙස යටහත් පහත් ලෙස යෙහෝවාගෙන් ඉල්ලා සිටින විට, අපි මුළු සිතින් යෙහෝවාගේ කරුණාව ඉල්ලන්නෙමු. එසේ දෙවිගේ කරුණාව ඉල්ලන්නේ ඔහුගේ අනුග්‍රහය හෙවත් අනුමැතිය ලැබීමේ අදහසිනි. විශේෂයෙන්ම ‘දුෂ්ටයන්ගේ ලණු අප වටා එතුණ විට’ අප දෙවිට යාච්ඤා කළ යුතුයි. (ගීතාවලිය 119:58, 61) අප වටා එතුණු සතුරන්ගේ ලණු කපා දැමීමට යෙහෝවාට හැකි අතර, එවිට රාජ්‍යය ගැන දේශනා කිරීමට හා මිනිසුන්ට දෙවි ගැන දැනගැනීමට උපකාර කිරීමට අවශ්‍ය නිදහස අපට ලැබේ. (මතෙව් 24:14; 28:19, 20) අපගේ වැඩකටයුතු තහනම් කරනු ලැබ ඇති රටවල වතා ගණනාවකදී මෙය සැබෑවක් වී තිබේ.

දෙවි පවසන දේ කෙරෙහි ඇදහිල්ල තබන්න

19, 20. ‘දුක් පැමිණීම යහපතක්’ වන්නේ කෙසේද?

19 දෙවි සහ ඔහුගේ වචනය කෙරෙහි අපට තිබෙන ඇදහිල්ල මගින් දුෂ්කරතා විඳදරාගැනීමටත් ඔහුගේ කැමැත්ත කිරීමටත් අපට හැකියි. (ගීතාවලිය 119:65-72) ගීතිකාකරුට එරෙහිව උඩඟු වූවන් ‘බොරුවක් යෙදුවත්,’ ගීතිකාකරු ගායනා කළේ ‘මට දුක් පැමිණීම යහපත’ කියායි. (ගීතාවලිය 119:66, 69, 71) යෙහෝවාගේ සේවකයන්ට දුක් පීඩා පැමිණීම යහපතක් විය හැක්කේ කෙසේද?

20 අප දුක් පීඩාවලට මුහුණ දෙන විට අප ඉතා ඕනෑකමින් යෙහෝවාට කන්නලව් කර ඔහුට ළං වීමට උත්සාහ කරන බවට කිසිදු සැකයක් නැත. අප වැඩි කාලයක් දෙවිගේ වචනය අධ්‍යයනය කර එය අදාළ කරගැනීමට දැඩි උත්සාහයක් දරනවා විය හැකියි. එය වඩාත් ප්‍රීතිමත් ජීවිතයකට හේතු වේ. නමුත් අප එවන් අසීරු තත්වයන්ට මුහුණ දෙන විට, අප තුළින් නොඉවසිලිවන්තකම හා උඩඟුකම වැනි නුසුදුසු ලක්ෂණ මතු වේ නම් කුමක් කළ හැකිද? දෙවිගේ වචනයේ හා බලයේ උපකාරය ඇතුව ඉතා ඕනෑකමින් යාච්ඤා කිරීමෙන් අපට එවන් නුසුදුසු ගුණාංග නැති කරගත හැකි අතර, ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගත’ හැකියි. (කොලොස්සි 3:9-14) එපමණක්ද නොව අප දුෂ්කරතා විඳදරාගන්නා විට අපගේ ඇදහිල්ලද ශක්තිමත් වේ. (1 පේතෘස් 1:6, 7) පාවුල් තමන්ට මුහුණ දීමට සිදු වූ පීඩා නිසා යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමට ඉගෙනගත්තේය. (2 කොරින්ති 1:8-10) අපත් දුක් පීඩා විඳින විට එයින් යමක් ඉගෙනගන්නවාද?

සෑමවිටම යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න

21. දෙවි උඩඟු වූවන්ව ලජ්ජාවට පත් කරන විට කුමක් සිදු වේද?

21 යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමට දෙවි පවසන දේ සෑමවිටම අපට හොඳ පදනමක් ලබා දෙයි. (ගීතාවලිය 119:73-80) අප සැබවින්ම අපේ මැවුම්කරුවාණන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබනවා නම්, අපට ලජ්ජා වීමට කිසිදු හේතුවක් නැත. නමුත් අනික් අය කරන දේවල් නිසා අපට සැනසීම අවශ්‍ය වන අතර, ගීතිකාකරු මෙන් අපටද “උඩඟු වූවන් . . . ලජ්ජා වෙත්වා” යයි හැඟී යා හැකියි. (ගීතාවලිය 119:76-78) යෙහෝවා එවන් අයව ලජ්ජාවට පත් කරන විට, ඔවුන්ගේ නපුරු මාර්ගයන් හෙළි වන අතරම යෙහෝවාගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් වෙයි. දෙවිගේ ජනයාට පීඩා කරන අයට කිසිදු යමක් නොලැබෙන බවට අපට සහතික විය හැකියි. නිදසුනක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නැති කර දැමීමට ඔවුන්ට කවදාවත් හැකි වී නැත. හැකි වෙන්නෙත් නැත. මන්ද සාක්ෂිකරුවෝ දැඩි සේ දෙවිව මුළු හදින්ම විශ්වාස කරන නිසාය.—හිතෝපදේශ 3:5, 6.

22. තමා “දුමෙහි තැබූ සම්භාජනයක්” මෙන්යයි ගීතිකාකරුට හැඟුණේ ඇයි?

22 අපට පීඩා කරනු ලබන විට දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය ශක්තිමත් කරන්නේ දෙවි පවසන දේ මගිනි. (ගීතාවලිය 119:81-88) උඩඟු වූවන් ගීතිකාකරුට පීඩා කරමින් සිටි නිසා, තමා “දුමෙහි තැබූ සම්භාජනයක්” මෙන්යයි ඔහුට හැඟුණි. (ගීතාවලිය 119:83, 86) බයිබලය ලියනු ලැබූ කාලවලදී සත්ව හම්වලින් භාජන සාදනු ලැබූ අතර, වතුර, වයින් සහ වෙනත් ද්‍රාවණ පුරවා තැබීමට ඒවා භාවිත කරන ලදි. සම්භාජනවල කිසිදු ද්‍රාවණයක් දමා නැති අවස්ථාවලදී ඒවා කාමරයක දුම් මැස්සක එල්ලා තබනු ලැබීය. ඒවා නිකම්ම එල්ලා තබා තිබෙන නිසා හැකිළී යයි. අසීරුතා හෝ පීඩා නිසා අපත් “දුමෙහි තැබූ සම්භාජනයක්” මෙන්යයි අපට කවදා හෝ හැඟී ගොස් තිබෙනවාද? එසේනම් යෙහෝවා කෙරෙහි දැඩි සේ විශ්වාසය තබා මෙසේ යාච්ඤා කරන්න. “ඔබගේ කරුණාව ලෙස මා ජීවත් කළ මැනව. එවිට ඔබේ මුඛයේ [සිහිගැන්වීම්] පවත්වන්නෙමි.”—ගීතාවලිය 119:88.

23. අප ගීතාවලිය 119:1-88හි තොරතුරු සාකච්ඡා කරද්දී සලකා බැලුවේ කුමක්ද? තවද ගීතාවලිය 119:89-176 දක්වා තොරතුරු අධ්‍යයනය කරන්නට බලා සිටින අපට අපෙන්ම කුමක් අසාගත හැකිද?

23 අපි 119වන ගීතිකාවේ මුල් කොටස සලකා බැලුවෙමු. ඉන් එක්තරා දෙයක් අපි ඉගෙනගත්තෙමු. එය නම්, යෙහෝවාගේ සේවකයන් ඔහුගේ වචනය කෙරෙහි විශ්වාස කොට, ඔහුගේ පනත්, ආඥා, ව්‍යවස්ථාව හෙවත් නීති, සාක්ෂි හෙවත් සිහිගැන්වීම්වලට ඇලුම් කරන නිසා ඔහු ඔවුන්ට ප්‍රේමණීය කරුණාව දක්වන බවයි. (ගීතාවලිය 119:16, 47, 64, 70, 77, 88) තවද දෙවිට කැපවූ අය ඔහුගේ වචනය රක්ෂා කරන විට දෙවි මහත් සේ සතුටට පත් වෙයි. (ගීතාවලිය 119:9, 17, 41, 42) ඔබ මෙම අලංකාර ගීතිකාවේ ඉතිරි කොටස අධ්‍යයනය කර බලන්නට කැමති ඇති. එසේනම්, ඔබ ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මාගේ මාර්ගය එළිය කරන්නට මම යෙහෝවාගේ වචනයට ඇත්තටම ඉඩ දෙනවාද?’

[පාදසටහන]

^ 2 ඡේ. දෙවිගේ වචනය යන්නෙන් අදහස් කරන්නේ දේවවචනය වන මුළු බයිබලයේ අඩංගු දේවලට නොව යෙහෝවා දෙවි පවසන දේවලටයි, එනම් දෙවි ඉදිරිපත් කරන පණිවිඩයටයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• සැබෑ සන්තෝෂය රඳා පවතින්නේ කුමක් මතද?

• යෙහෝවාගේ වචනය අපව ඔහු ඉදිරියේ පිරිසිදුව තබන්නේ කෙසේද?

• දෙවිගේ වචනය අපට ධෛර්යය හා සැනසීම ලබා දෙන්නේ කිනම් ආකාරවලින්ද?

• යෙහෝවා ගැන සහ ඔහුගේ වචනය ගැන අපට විශ්වාසයක් තිබිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූර]

රූත්, රාහබ් සහ බැබිලෝනියේ වහලුන් වී සිටි හෙබ්‍රෙව් තරුණයෝ ‘දෙවිගේ වචනය කල්පනාකාරීව පිළිපැද්දෝය’

[12වන පිටුවේ පින්තූරය]

පාවුල් ඉතා ධෛර්යයෙන් යුතුව ‘රජුන් ඉදිරියෙහි දෙවිගේ සිහිගැන්වීම් ගැන කතා කළේය’