සරණාගත කඳවුරක එක්රැස්වීමක් බලාපොරොත්තුවේ පහන් දල්වයි
සරණාගත කඳවුරක එක්රැස්වීමක් බලාපොරොත්තුවේ පහන් දල්වයි
කකූමා සරණාගත කඳවුර පිහිටා තිබෙන්නේ සුඩානයේ දේශ සීමාවට යාබදව කෙන්යාවේ උතුරු ප්‍රදේශයේයි. එහි 86,000කට වඩා වැඩි ජනකායක් සිටිනවා. මෙම ප්‍රදේශය ඉතා වියළියි. එහි උෂ්ණත්වය කොපමණද කියනවා නම්, දවල් කාලයේදී සෙල්සියස් අංශක 50 දක්වා උෂ්ණත්වය ඉහළ නඟිනවා. මෙම කඳවුරේ සාමාන්‍යයෙන් නිතරම පාහේ දකින්නට තිබෙන දෙයක් තමයි, අවතැන් වූ විවිධ ප්‍රජාවන් අතර නිතරම ඇති වන ප්‍රචණ්ඩකාරී ගැටුම්. ඒ නිසා මේ කඳවුරේ බොහෝදෙනෙක් තම දිවි ගෙවන්නේ හරිම කලකිරීමකින්. එහෙත් ඒ අතර යම් බලාපොරොත්තුවක් ඇතිව ජීවත් වන අයත් මෙහි ඉන්නවා.
මේ අය අතරින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙවැනි බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන අය බව කියන්නට පුළුවන්. මන්ද ඔවුන් ඉතා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන නිසා. ඔවුන් මෙම කඳවුරට කිලෝමීටර් 120ක් ඈතින් දකුණු දෙසට වෙන්නට පිහිටි ලෝඩ්වා කියන කුඩා සභාවේ සාමාජිකයෝ. ඊළඟ සභාවට කෙනෙකුට වාහනයකින් යෑමට පැය අටක පමණ කාලයක් ගත වෙනවා.
මෙම කඳවුරේ සිටින අයට ලෙහෙසියෙන්ම කඳවුරෙන් පිටට යෑම අසීරු නිසා, බොහෝදෙනෙකුට හැකියාවක් නැහැ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් සහ සමුළුවලට සහභාගි වෙන්න. ඒ නිසයි මෙම කඳවුර ඇතුළෙම විශේෂ දින එක්රැස්වීමක් පැවැත්වීමට සැලසුම් යෙදුණේ.
උතුරු දෙසට ගමන් කිරීම
මෙම කඳවුරට කිලෝමීටර් 480ක් ඈතින් පිහිටා ඇති එල්ඩරෙට් නගරයේ වෙසෙන සාක්ෂිකරුවන් 15දෙනෙක් කැමැත්තෙන්ම මෙම එක්රැස්වීමට සහභාගි වෙන්න ඉදිරිපත් වුණා. මේ සඳහා ඔවුන්ට සිදු වුණා ඔවුන්ගේ නගරයේ සිට උතුරු දෙසට ඉතා දුෂ්කර ගමනක් යන්න. බයිබලය පාඩම් කරන කෙනෙකුත් මේ ගමනට සහභාගි වුණා. ඒ විතරක් නොවෙයි, ඔහුගේ කුඩා බස් රථයත් ලබා දුන්නා. ඒ වගේම රියැදුරෙකුත් සැපයුවා. ඉතින් මේ හැමෝටම මේ ගමනට සහභාගි වීමට හැකි වුණා. ඔවුන්ගේ දැඩි ආශාව වූයේ මෙම කඳවුරේ සිටින සහෝදරයන්ව දිරිගන්වන්නයි.
කෙන්යාවේ ශීතල බටහිර කඳුකර ප්‍රදේශයෙන් මේ ගමන ආරම්භ වුණේ උදේ පාන්දරයි. ගල් වළවල් සහිත කඳුකර මාර්ගය තරණය කර මොවුන් ඉන් පසුව ගමන් කළේ උෂ්ණාධික තැනිතලාවකයි. මඟ දෙපස එළුවන් සහ ඔටුවන් රංචු පිටින් ඒ නිසරු භූමියේ ලෑටි ගාන සැටි ඔවුන්ට දකින්නට ලැබුණා. ඒ පළාතේ ගෝත්‍රික වැසියන් ඔවුන්ගේ සම්ප්‍රදායික ඇඳුමින් සැරසී පලිස්, දුනු, ඊතල අරගෙන ගමන් කරනවාත් මේ අය දුටුවා. පැය 11ක් පමණ ගමන් කළායින් පසුව, මේ ගමනේ යෙදුණු අයට හැකි වුණා ලෝඩ්වා ප්‍රදේශයට ළඟා වෙන්නට. දූවිල්ල වගේම හරිම රස්නයක් ඒ පළාතේ තිබුණේ. විසිදාහක පමණ ජනතාවක් ඒ ප්‍රදේශයේ සිටියා. ඔවුන් එහි ළඟා වෙද්දී කඳවුරේ සිටි සාක්ෂිකරුවන් ඉතා සාදරයෙන් මේ අමුත්තන්ව පිළිගත්තා. මදක් විවේක ගත්
මේ අමුත්තන් ඊළඟට සූදානම් වුණේ සතිඅන්තයේ තිබෙන එක්රැස්වීමේ වැඩකටයුතුවලට ලැහැස්ති වෙන්නයි.පසු දා උදෑසන ඒ අවට සිරි නරඹන්නට මේ අමුත්තන්ට අවස්ථාවක් ලැබුණා. කෙන්යාවේ විශාලතම විල වන ටර්කානා විල සංචාරකයන් අනිවාර්යයෙන්ම නරඹන්නට යන තැනක්. කිලෝමීටර් ගණනාවක් දිගට ගන වනාන්තරයකින් වට වී තිබෙන මේ විල ලෝකයේ වැඩිම කිඹුල්ලු සංඛ්‍යාවක් වාසය කරන විලයි. ඉහළ ලුණු සාන්ද්‍රණයක් සහිත ජලය පිරුණු මේ විල අවට වෙසෙන කිහිපදෙනෙක් මේ විලේ පිහිටෙන් ජීවත් වෙන අයයි. එදා සැන්දෑවේ එම සභාවේ පැවැත්වුණු දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ සේවා රැස්වීමට සහභාගි වෙන්නට මේ අමුත්තන්ට හැකි වුණා. මේ සභාවට ඉතා අලංකාර රාජ්‍ය ශාලාවක් තිබෙනවා. එය සෑදුවේ සීමිත සම්පත් ඇති රටවල රාජ්‍ය ශාලා ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 2003 වසරේදීයි.
විශේෂ දින එක්රැස්වීම
විශේෂ දින එක්රැස්වීම පැවැත්වුණේ ඉරිදා. ලෝඩ්වා සභාවේ අයටත් මේ අමුත්තන්ටත් එදා උදේ අටට ඒ කඳවුරට ඇතුල් වීමට අවසර ලැබුණා. මේ සහෝදරයන්ට ඕනෑ කළේ වේලාසනින්ම මෙම වැඩසටහන ආරම්භ කරන්නටයි. සුඩාන් රටේ දේශ සීමාව දෙසට පාළු වංගු සහිත පාරක් වැටී තිබුණා. මේ පාර දෙපස උස් කඳු පිහිටා තිබුණා. කකූමා ගම්මානය දක්වාම මෙම පාර වැටී තිබුණා. වැස්ස නිසා කඳවුරට යන පාරේ තැනින් තැන වතුර රැඳී තිබුණා. ගෙවල් වැඩි හරියක් ගඩොල්වලින් සාදා තහඩු සෙවිලි කරලයි තිබුණේ. ඉතියෝපියානුවන්, සෝමාලි ජාතිකයන් සහ සුඩාන් ජාතිකයන් සහ තවත් ජාතීන්වලට අයත් අය තම තමන්ට වෙන් කර ඇති ප්‍රදේශවලයි ජීවත් වුණේ. ඉතින් පැමිණි මේ අමුත්තන්ව සරණාගතයන් සාදරයෙන් පිළිගත්තා.
එක්රැස්වීම පැවැත්වුණේ පුහුණු මධ්‍යස්ථානයකයි. එහි බිත්තිවල ඇඳ තිබූ රූපවලින් සරණාගතයන්ගේ ජීවිතයේ බියකුරු බව මොනවට කියා පෑවා. නමුත් එහි රැස්වූවන්ගේ සිත් තුළ දැල්වෙමින් තිබුණේ බලාපොරොත්තුවේ පහන් කියා කියන්නට පුළුවන්. සෑම කතාවක්ම ඉංග්‍රීසි භාෂාවෙන් සහ ස්වාලී භාෂාවෙන් ඉදිරිපත් කෙරුණා. භාෂා දෙකම චතුර ලෙස කතා කළ හැකි ඇතැම් කථිකයන් තමා එක භාෂාවකින් කී දේ අනික් භාෂාවට පරිවර්තනය කළා. “අපගේ සිත සෝදිසි කිරීම” යන ආරම්භක කතාව ඉදිරිපත් කළේ කඳවුරේ සිටි සුඩාන ජාතික සහෝදරයෙක්. අනෙක් කතා ඉදිරිපත් කළේ ඈත සිට ආ සහෝදරයන්.
සෑම එක්රැස්වීමකම තිබෙන විශේෂ දෙයක් තමයි, බව්තීස්මය. බව්තීස්ම කතාව අවසානයේදී හැම කෙනෙකුගේම ඇස් යොමු වෙලා තිබුණේ එහි බව්තීස්ම වීමට සිටි එකම තැනැත්තා දෙසටයි. ඒ ගිල්බට්. වර්ෂ 1994දී තම රටේ සිදු වූ සමූල ඝාතනවලදී ඔහු තම පියා සමඟ පලා ආ කෙනෙක්. මුලින් ඔවුන් සිතා සිටියේ ආරක්ෂාව පතා බුරුන්ඩි රටට පලා යන්නටයි. නමුත් ඔවුන්ට ඉක්මනින්ම තේරුණා ඒ රටෙත් ඉන්න එක එතරම් ආරක්ෂිත නැහැ කියලා. ගිල්බට් සයරේ රටටත්, ඉන්පසුව ටැන්සානියාවටත් පලා ගියා. සමහරක් අවස්ථාවලදී කැලේ සැඟ වී සිටින්නට ඔහුට සිදු වුණා. අන්තිමේදී තමයි කෙන්යාවට ආවේ. බව්තීස්ම කතාව දුන් සහෝදරයා, කැපවූ සහෝදරයෙකු ලෙසට එතැන සිටි අයට ගිල්බට්ව හඳුන්වා දෙද්දී බොහෝදෙනෙකුගේ ඇස් සතුටු කඳුලින් පිරී ගියා. එතැන සිටි 95දෙනා ඉදිරියේ කථිකයා ඇසූ ප්‍රශ්න දෙකට ගිල්බට් “එසේය” කියා උත්තර දුන්නේ මහත් විශ්වාසයකින්. ඔහු සමඟ තවත් සහෝදරයන් කිහිපදෙනෙක් වලක් අතින් හාරා, කඳවුර තුළ ඔහුගේ කුඩා පැල්පතේ වහල සෙවිල්ලා තිබුණු ආවරණය වළට එළලා තිබුණා. බව්තීස්ම වීමට ඔහුට මොන තරම් උනන්දුවක් තිබුණාද කියනවා නම්, පාන්දරම ඔහු කළේ වතුර බාල්දි එක එක අරන් ඇවිත් ඒ වළ ඔහුම පිරවීමයි.
වැඩසටහනේ පස්වරු සැසිවාරයේ තිබූ විශේෂාංගයක් නම්, සරණාගත කඳවුරේ සිටි සහෝදරයන් සිටින තත්වය ගැන අද්දැකීම් විස්තර කිරීමයි. එක සහෝදරයෙක් ගහක් යට නිදාගෙන සිටි පුද්ගලයෙකුට කතා කළ ආකාරය විස්තර කළා.
“ගහක් යට හැම වෙලාවේම ඉඳගෙන ඉන්න එක ආරක්ෂාවක් කියලා ඔයා හිතනවාද?”
“ඔව්” කියා පිළිතුරු දුන් ඒ තැනැත්තා, ඒ එක්කම “හැබැයි රෑට නම් එහෙම ඉන්න බැහැනේ” කියාත් පැවසුවා.
ඊට පස්සේ අපගේ සහෝදරයා මීකා 4:3, 4 පදවල අදහස ඔහුට කිව්වා. “ඔවුහු එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද හිඳින්නෝය; කිසිවෙක් ඔවුන්ව භය නොගන්වන්නේය.” “මේ බලන්න, දෙවිගේ රාජ්‍යය ආවාම ගහක් යට ඕනෑම වෙලාවක කිසිම භයක් නැතුව ඉන්න පුළුවන්.” මේ සංවාදයේ ප්‍රතිඵලයක් හැටියට ඒ තැනැත්තා බයිබලයේ ඉගැන්වීම් ගැන සඳහන් පොතක් මේ සහෝදරයාගෙන් ලබාගත්තා.
මේ කකූමා කඳවුරට ඇවිත් සිටි එක්තරා සහෝදරියකගේ පවුලේ තුන්දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වී තිබුණා. කඳවුරේ සිටින සහෝදරයන් ගැන ඈ කීවේ මෙහෙමයි. “මේක හරිම අමාරු තැනක්. ඒත් මේ සහෝදරයන් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තියාගෙන ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ එතරම් හොඳ තැනක නෙවෙයි. ඒත් ඔවුන් ඉතා සන්තෝෂයෙන් යෙහෝවා දෙවිට සේවය කරනවා. ඔවුන්ට දෙවි සමඟ හොඳ සම්බන්ධයක් තියෙනවා. මනසේ සාමය තියාගෙන යෙහෝවාට සේවය කරන්න ඒකෙන් මටත් ලැබුණේ විශාල ධෛර්යයක්. මම කිසි දෙයක් ගැන කණගාටු වෙන්නේ නැහැ!”
දන්නෙම නැතුව එක්රැස්වීමේ අවසානයටත් ඇවිල්ලා. අන්තිම කතාව දුන් කථිකයා පැවසුවේ රටවල් අටකින් සහෝදර සහෝදරියන් මෙම එක්රැස්වීමට පැමිණ සිටින බවයි. බෙදී තිබෙන ලෝකයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන එක්සත්කම හා ප්‍රේමය මෙම එක්රැස්වීම මගින් පැහැදිලිවම ඔප්පු වෙන බව සරණාගත කඳවුරේ සිටි එක් සහෝදරයෙක් පැවසුවා. ඔවුන්ගේ සහෝදරත්වය සැබෑ ක්‍රිස්තියානි සහෝදරත්වයක්.—යොහන් 13:35.
[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]
සුඩානයේ අනාථ දරුවෝ
වර්ෂ 1983දී ආරම්භ වූ සුඩානයේ සිවිල් යුද්ධය නිසා, මිලියන පහක පමණ ජනතාවකට උන් හිටි තැන් අහිමි වී තිබෙනවා. ඒ අය අතුරින් ළමුන් 26,000කට පමණ තමන්ගේ දෙමාපියන් අහිමි වුණා. ඔවුන්ගෙන් දහස් ගණනක් ඉතියෝපියාවේ සරණාගත කඳවුරුවලට පලා ගිය අතර එහි ඔවුන් වසර තුනක් පමණ රැඳී සිටියා. එතැනින්ද ඔවුන්ට පලා යෑමට සිදු වුණා. ඒ නිසා ඔවුන් ආපසු සුඩානය හරහා වසරක පමණ කාලයක් ගමන් කොට කෙන්යාවේ උතුරු ප්‍රදේශයට පැමිණියා. සොල්දාදුවන්ගෙන්, සොරුන්ගෙන් සහ වනසතුන්ගෙන් එල්ල වූ හිරිහැරවලට ගොදුරු වූ මේ ළමුන්ගෙන් කෙන්යාවේ උතුරු ප්‍රදේශය දක්වා ආවේ ඔවුන්ගෙන් අඩක් පමණයි. කකූමා කඳවුරේ රැඳවියන් අතර වැඩිම පිරිස වන්නේ මේ ළමයින්. සහනාධාර ලබා දෙන පිරිස් මේ අයව සුඩානයේ අනාථ දරුවන් ලෙස හඳුන්වන්නට පටන්ගත්තා.
කකූමා කඳවුර දැන් සුඩානයෙන්, සෝමාලියාවෙන්, ඉතියෝපියාවෙන් සහ වෙනත් රටවල් ගණනාවකින් පැමිණි සරණාගතයන්ගේ නිවහනක්. කඳවුරට පැමිණෙන සරණාගතයෙකුට ගෙයක් සාදාගැනීම සඳහා මූලික ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ වහළට ආවරණද ලබා දෙනවා. සෑම සරණාගතයෙකුටම මාසයකට දෙවරක් පිටි කිලෝ 13ක්ද, බෝංචි කිලෝ 1ක්ද, උයන තෙල් සහ ලුණු ලැබෙනවා. මේ සරණාගතයන්ගෙන් බොහෝදෙනෙක් කරන්නේ තමන්ට අවශ්‍ය අනෙකුත් දේවල් මිලට ගැනීම සඳහා තමන්ට ලැබෙන මෙම සලාකයෙන් කොටසක් විකිණීමයි.
මේ දරුවන්ගෙන් සමහර අයට තමන්ගේ දෙමාපියන්ව නැවත හමු වුණා. එහෙම නැත්නම්, වෙනත් රටවල ඔවුන්ව පදිංචි කරලා. නමුත් සරණාගත කඳවුරේ නිලධාරියෙක් පවසන විදිහට, “මේ දූවිලිවලින් ගහන, මැස්සන්ගේ විමානයක් බඳු කකූමා කඳවුරේ තවමත් දහස් ගණනක් දෙනෙක් ජීවත් වෙනවා. මෙහි ඔවුන් ආහාර ලබාගන්නේ හරිම අමාරුවෙන්. ඒ වගේමයි ඔවුන්ට හරි හැටි අධ්‍යාපනයක් ලැබෙන්නේත් නැහැ.”
[හිමිකම් විස්තර]
Refugees International අනුග්‍රහයෙනි
[23වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
කෙන්යාව
කකූමා කඳවුර
ටර්කානා විල
ලෝඩ්වා
එල්ඩරෙට්
නයිරෝබි
[23වන පිටුවේ පින්තූරය]
කකූමා කඳවුරේ ජලය බෙදා දෙන්නේ සලාක ක්‍රමයටයි
[23වන පිටුවේ පින්තූරය]
කෙන්යානු ජාතික සාක්ෂිකරුවන් තමන්ගේ සහෝදරයන්ව දිරිගැන්වීමට ඉතා අසීරු ගමනක යෙදෙමින්
[23වන පිටුවේ පින්තූරය]
කඳවුරේ ජීවිතය හරිම අසීරුයි
[24වන පිටුවේ පින්තූරය]
විශේෂ පුරෝගාමියෙක් ඉදිරිපත් කරන කතාවක් මිෂනාරිවරයෙක් පරිවර්තනය කරයි
[24වන පිටුවේ පින්තූරය]
බව්තීස්ම තටාකය
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
සලාක ක්‍රමයට ජලය බෙදීම සහ කකූමා අනාථ කඳවුර: Refugees International අනුග්‍රහයෙනි