Skip to content

පටුනට යන්න

නැවත නැඟිටීම අනර්ඝ බලාපොරොත්තුවක්!

නැවත නැඟිටීම අනර්ඝ බලාපොරොත්තුවක්!

නැවත නැඟිටීම අනර්ඝ බලාපොරොත්තුවක්!

බොහෝදෙනෙක් මළවුන්ගේ නැවත නැඟිටීමක් ගැන විශ්වාස කරනවා. ඉස්ලාම් ධර්මයේ ශුද්ධ ග්‍රන්ථය වන කුර්ආන්හි නැවත නැඟිටීම ගැන සඳහන් වන පරිච්ඡේදයක්ම තිබෙනවා. නැවත නැඟිටීම විස්තර කිරීමට එහි භාවිත කර තිබෙන්නේ පුනරුත්ථාන දිනය යන යෙදුමයි. එහි 75වන පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ මෙයයි “මම පුනරුත්ථාන දිනය ගැන ප්‍රමාණ කොට [දිවුරා] කියමි. . . . ඔහුගේ ඇටකටු එක්රැස් කරන්නට අපි නොහැක්කෙමුයයි මිනිසා සිතන්නේද? . . . පුනරුත්ථාන දිනය කවරදාදැයි ඔහු ප්‍රශ්න කරයි. . . . (එසේ කළ) ඔහු මළවුනට පණදෙන්නට බලසම්පන්න නොවේද?”—සූරා 75:1-6, 40.

“අවසානයේදී නපුර සම්පූර්ණයෙන්ම ඉවත් වීම, පොදු නැවත නැඟිටුවීමක් සිදුවීම, අන්තිම විනිශ්චයක් සහ ධර්මිෂ්ඨයන් සඳහා පොළොව පවිත්‍ර තත්වයකට ගෙන එනු ලැබීම ගැන ශරතුස්ත්‍රවාදය නමැති ආගම අදහන්නන් අතර විශ්වාසයක් තිබේ” කියා බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් වෙයි.

එන්සයික්ලොපීඩියා ජුඩෙයිකාහි නැවත නැඟිටීම ගැන විස්තර කර තිබෙන්නේ, “අවසානයේදී මළවුන් තම මාංසමය ශරීර ඇතිව නැඟිට මේ පොළොවේ නැවත ජීවත් වීම පිළිබඳ විශ්වාසයක්” ලෙසටයි. නමුත් මිනිසා තුළ අදෘශ්‍යමාන අමරණීය යමක් තිබෙනවාය යන අදහස යුදෙව් ආගමට ඇතුල් වී තිබෙන නිසා වියවුල්සහගත තත්වයක් ඇති වී තිබෙන බව සඳහන් කරන එම පොතේම තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “සරලව කියනවා නම් නැවත නැඟිටීමේ විශ්වාසය හා මිනිසා මිය යද්දී ඔහුගේ ශරීරයෙන් පිට වී යන අමරණීය යමක් තිබෙනවාය යන විශ්වාසය එකිනෙකට පටහැනියි.”

හින්දු ආගමට අනුව මිනිසා නැවත නැවත ඉපදෙනවා. ඔහුට නැවත මිනිස් ශරීරයක් හෝ සත්ව ශරීරයක් ලැබී ඉපදිය හැකියි. මෙය සත්‍යය වන්නට නම් මිනිසා මිය යන විට ඔහුගේ සිරුරෙන් වෙන් වී ජීවත් වන යමක් තිබිය යුතුයි. හින්දු ආගමේ එය හඳුන්වන්නේ ආත්මය ලෙසයි. හින්දු ආගමේ ශුද්ධ ග්‍රන්ථයක් වන බගවත් ගීතයේ සිරුරෙන් වෙන් වී ජීවත් වන ආත්මය ගැන සඳහන් වෙන්නේ මෙයයි. ‘මුළු ශරීරයට සම්බන්ධ වී තිබෙන ආත්මය විනාශ නොවන දෙයකි. මරණයෙන් පසුව එය ශරීරයෙන් පිට වී යයි. කිසිම කෙනෙකුට එය විනාශ කරන්න බැහැ.’

බෞද්ධ ධර්මය හින්දු ආගමට වඩා වෙනස්. මරණයෙන් පසුව මිනිසාගේ සිරුරෙන් පිට වී යන දෙයක් ගැන බෞද්ධ ධර්මයේ උගන්වා නැහැ. කෙසේවෙතත් අද කාලයේ පෙරදිග රටවල්වල වෙසෙන බෞද්ධයන් බොහෝදෙනෙක් මරණයෙන් පසුව ශරීරයෙන් පිට වී වෙනත් ශරීරයක ඉපදෙන්න උත්සාහ කරමින් සැරිසරන අමරණීය ආත්මයක් ගැන විශ්වාස කරනවා. *

නැවත නැඟිටීම ගැන ඇති වී තිබෙන වියවුල

ක්‍රිස්තියානි පල්ලිවල පවත්වන අවමංගල්‍ය දේවමෙහෙයන්වලදී මරණයෙන් පසුව ශරීරයෙන් පිට වී යන ආත්මයක් ගැනත් නැවත නැඟිටීමක් ගැනත් සඳහන් කරනු ලබනවා. නිදසුනක් හැටියට එංගලන්ත සභාවේ පූජකයන් බොහෝවිට අවමංගල්‍ය මෙහෙයන්වලදී මෙවැනි දෙයක් පවසනවා. ‘අපෙන් වෙන් වූ අපගේ ආදරණීය සහෝදරයාව සර්ව බලධාරී දෙවියන් තම දයාව නිසා තමා ළඟට ගැනීමට කැමති වූ හෙයින්, අපි ඔහුගේ ශරීරය භූමදාන කරමු. භූමියේ දූවිලිවලින් සෑදූ දෙය නැවත භූමියට එකතු වේ. අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් මොහුව නැවත නැඟිටුවා මොහුට සදාකාල ජීවනය දානය කරන බවට වූ සහතිකය ගැන අපි බලාපොරොත්තුවෙන් සිටිමු.’—The Book of Common Prayer.

ඉහත සඳහන් වූ අදහස් ගැන කෙනෙකුගේ සිතේ මෙවන් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. බයිබලයේ සඳහන් වෙන්නේ නැවත නැඟිටීමක් ගැනද? නැත්නම් මරණයෙන් පස්සේ ශරීරයෙන් පිට වී යන අමරණීය යමක් ගැනද? ප්‍රංශ ජාතික රෙපරමාදු මහාචාර්යවරයෙකු වන ඔස්කා කුල්මාන් පැවසූ දෙය සලකා බලන්න. ‘මළවුන්ගේ නැවත නැඟිටීම පිළිබඳ ක්‍රිස්තියානි බලාපොරොත්තුව සහ මරණයෙන් පසුව ශරීරයෙන් පිට වී යන අමරණීය යමක් පිළිබඳ ග්‍රීක විශ්වාසය අතර ලොකු වෙනසක් තිබෙනවා. . . . පසු කාලවලදී ක්‍රිස්තියානි පල්ලි මගින් මෙම විශ්වාසයන් දෙක අතර සම්බන්ධයක් ඇති කරගෙන තිබෙනවා. එම නිසා සාමාන්‍ය ක්‍රිස්තියානි භක්තිකයන් මෙම විශ්වාසයන් දෙක පටලවා ගන්නවා. නමුත් මා ඇතුළු විද්වතුන් බහුතරයක් සත්‍යය කියා පිළිගන්න දේ අප නොසඟවා පැවසිය යුතු බව මම විශ්වාස කරනවා. . . . නව ගිවිසුමේ සම්පූර්ණ පණිවුඩයම නැවත නැඟිටීමේ විශ්වාසය මත පදනම් වී තිබෙනවා. . . . මරණයේදී මිනිස් ශරීරයෙන් කිසිවක් වෙන්ව නොගොස් මිනිසා සම්පූර්ණයෙන්ම මියයයි. දෙවි විසින් මියගිය පුද්ගලයාව නැවත මැවීම මගින් ඔහුව නැවත ජීවත් කරනු ලබනවා.’—අමරණීය ආත්මයද මළවුන්ගේ නැවත නැඟිටීමද?, ඉංග්‍රීසියෙන්.

මරණය සහ නැවත නැඟිටීම ගැන සාමාන්‍ය මිනිස්සුන්ගේ සිතේ අවුල්සහගත තත්වයක් ඇතිවීම පුදුමයක් නොවෙයි. එම අවුල නිරවුල් කිරීමට නම් අපි බයිබලයේ කියා තිබෙන්නේ කුමක්ද යන්න ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. මන්ද මිනිසාගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි විසින් හෙළි කරන ලද සත්‍ය ඉගැන්වීම් එහි අඩංගු වී තිබෙන නිසයි. නැවත නැඟිටවනු ලැබූ සිද්ධීන් පිළිබඳ වාර්තා ගණනාවක් බයිබලයේ සඳහන් වෙනවා. ඉන් හතරක් අපි දැන් පරීක්ෂා කර බලමු. ඒවා නැවත නැඟිටීම ගැන කුමක් හෙළි කරනවාද කියාත් අපි සලකා බලමු.

“නැවත නැඟිටීම මාර්ගයෙන් ස්ත්‍රීන්ට තම මළවුන්ව නැවත ලැබිණ”

ක්‍රිස්තියානි ආගම වැලඳගත් යුදෙව්වන්ට ලියද්දී ප්‍රේරිත පාවුල් ඇදහිලිවන්ත කාන්තාවන් ගැන පැවසුවේ, ඔවුන් ‘නැවත නැඟිටීම මාර්ගයෙන් තම මළවුන්ව නැවත ලැබුවා’ කියායි. (හෙබ්‍රෙව් 11:35) ඒ කාන්තාවන්ගෙන් එක් කෙනෙක් මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටි සීදොන් අසල ෆිනීෂියානු නගරයක් වන සාරෆෙත්හි ජීවත් වුණා. ඇය වැන්දඹුවක්. දරුණු සාගතයක් තිබුණ කාලයක ඇය දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ එලියාව තම නිවසට සතුටින් පිළිගෙන ඔහුට ආගන්තුක සත්කාරය පෙන්වා තිබුණා. නමුත් මෙම කාන්තාවට ඉතාමත්ම දුක්බර දෙයක් සිදු වුණා. ඇගේ පුතා අසනීප වෙලා මිය ගියා. එලියා වහාම ඒ දරුවාව තමා නැවතිලා සිටි උඩුමහල් කාමරයට ඔසවාගෙන ගොස්, ඔහුව ජීවත් කරවන්න කියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලා සිටියා. ආශ්චර්යයක් සිදු වෙමින් “ඔහු ප්‍රාණවත් විය.” එලියා ඔහුගේ මවට ඔහුව භාර දෙමින් මෙහෙම කිව්වා. ‘බලන්න, ඔබේ පුතා ජීවත්ව සිටියි.’ ඇය කුමක්ද කළේ? “ඔබ දෙවිගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන යෙහෝවාගේ වචනය සැබෑ බවත් දැන් දනිමි” කියා ඇය සතුටින් ප්‍රකාශ කළා.—1 රාජාවලිය 17:22-24.

එක්තරා ත්‍යාගශීලී යුවළක් සාරෆෙත් නගරයට කිලෝමීටර් 100ක් පමණ ඈතින් ජීවත් වුණා. බිරිඳ ඔවුන් විසූ ෂුනෙම් නගරයේ ප්‍රසිද්ධ කාන්තාවක්ව සිටියා. ඒ යුවළ එලියාට පසු අනාගතවක්තෘ ලෙස පත්වූ එලිෂාගේ ඕනෑ එපාකම් ගැන සොයා බැලුවා. ඔවුන්ගේ නිවසේ උඩුමහල් කාමරයක එලිෂාට නවාතැන් සැපයීමට ඔවුන් කැමති වුණා. දරු පල නැති නිසා ශෝකයෙන් පසු වූ ඔවුන්ට පිරිමි දරුවෙක් ලැබුණු විට ඒ ශෝකය ප්‍රීතියක් බවට පත් වුණා. ඒ දරුවා ටිකක් ලොකු වුණාට පස්සේ, පුරුද්දක් හැටියට ඔහු ගොයම් කපන්නන් සමඟ තම පියා වැඩ කළ කෙතට ගියා. දිනක් ඉතා දුක්බර දෙයක් සිදු වුණා. ඒ දරුවා තම හිස කකියනවා කියා කෑගසන්නට පටන්ගත්තා. මෙහෙකරුවෙක් ඉක්මනින්ම නිවසේ සිටි ඔහුගේ මව ගාවට ඔහුව ඔසවාගෙන ගියා. ඇය ඔහුව උකුළේ තියා තුරුල් කරගත්තා. ටික වේලාවකින් ඔහු මිය ගියා. ශෝකයෙන් කැලඹුණු ඒ මව එලිෂාගේ උපකාරය ලබාගන්න තීරණය කළා. ඇය මෙහෙකරුවෙකු සමඟ වයඹ දිසාවේ කර්මෙල් කන්ද පිහිටි ප්‍රදේශයේ එලිෂා නතර වෙලා සිටි තැනට ගියා.

සිදු වූ දෙය ගැන දැනගත් විගස අනාගතවක්තෘවරයා තම මෙහෙකරුවා වූ ගෙහාසීව මුලින්ම පිටත් කර යැව්වා. මෙහිදී දරුවා ඇත්තටම මැරිලා කියා ගෙහාසීට වැටහුණා. මේ අතරතුර එලිෂාද දරුවාගේ මව සමඟ එම නගරයට ආවා. ඔවුන් පැමිණි විට කුමක්ද සිදු වුණේ? දෙවනි රාජාවලිය 4:32-37හි මෙසේ සඳහන් වෙයි. “එලිෂා ගෙට ආ විට බලන්න, ළමයා මැරී ඇඳේ බාවා උන්නේය. ඔහු ඇතුල් වී ඒ දෙදෙනා සිටිද්දී දොර පියා යෙහෝවාට යාච්ඤා කළේය. ඔහු උඩට ගොස් ළමයා පිට වැතිර තමන් කට ඔහුගේ කටේද තමන් ඇස් ඔහුගේ ඇස්වලද තමන් අත් ඔහුගේ අත්වලද තබා ළමයා පිට තමාම දිග ඇරුණේය. ළමයාගේ මාංසය උණුහුම් විය. එවිට ඔහු හැරී ගොස් ගෙයි එහා මෙහා වරක් ඇවිද උඩට ගොස් ඔහු පිට තමන්ම දිග හැරුණේය. ළමයා හත් වරක් කිඹිස ඇස් ඇරියේය. ඔහු ගෙහාසී කැඳවා: ඒ ෂුනෙම්මිය ස්ත්‍රියට අඬගසන්නයයි කීය. ඔහු ඇයට අඬගැසීය. ඇය ඔහු ළඟට ආ කල: ඔබේ පුත්‍රයා ගන්නයයි කීය. ඈ ඇතුල්ව ඔහුගේ පාමුල වැටී බිමට නැමී ඇගේ පුත්‍රයා වඩාගෙන පිටතට ගියාය.”

සාරෆෙත්හි වැන්දඹුව වගේම ෂුනෙම් කාන්තාවත් දැනගෙන සිටියා මෙය දෙවිගේ බලය නිසා සිදු වූ දෙයක් කියලා. දෙවි ඔවුන්ගේ ආදරණීය දරුවන්ට නැවත ජීවිතය ලබා දුන් විට මෙම කාන්තාවන් දෙදෙනාම අද්දැක්කේ පුදුම ප්‍රීතියක්!

යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී සිදු කළ නැවත නැඟිටීම්

වසර 900කට පමණ පසුව ෂුනෙම් සිට මදක් උතුරට වෙන්න පිහිටා තිබූ නායින් නුවරට පිටින් නැවත නැඟිටීමක් සිදු වුණා. කපර්ණවුමේ සිට ගමන් කරමින් සිටි යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ ගෝලයන් නායින් නුවරෙහි දොරටුව ළඟට පැමිණි විට, අවමඟුල් පෙරහැරක් දුටුවා. මිය ගොස් සිටියේ වැන්දඹුවකගේ එකම පුත්‍රයායි. ඇයව දුටු යේසුස් ‘අඬන්න එපා’ කියා ඇයට පැවසුවා. ඊළඟට සිදු වූ දෙය වෛද්‍යවරයෙක් වූ ලූක් මෙහෙම විස්තර කරනවා. “එසේ කියා [යේසුස්] ළඟා වී දෙණයට අත තැබූ විට, එය උසුලාගෙන ගිය අය නතර වූහ. ඔහු, ‘තරුණය, නැඟිටින්නැයි මම ඔබට කියමි!’ යයි කීවේය. එවිට මිය ගොස් සිටි මිනිසා ඉඳගෙන කතා කරන්න පටන්ගත්තේය. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය.” (ලූක් 7:14, 15) මෙම ආශ්චර්යය දැක්ක සියලුදෙනාම දෙවිට ප්‍රශංසා කළා. දකුණු දෙසින් පිහිටි යුදය සහ ඒ අවට දිස්ත්‍රික්කය පුරාම ඒ නැවත නැඟිටීම පිළිබඳ ආරංචිය පැතිර ගියා. යොහන් බව්තීස්තගේ ගෝලයන්ටත් මේ ගැන ආරංචි වෙලා ඔවුන් ඒ ගැන යොහන්ට දැනුම් දුන්නා. යේසුස්ව සොයා ගොස්, ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි ගැලවුම්කරු ඔහුද කියා විමසන්නයයි යොහන් තම ගෝලයන්ට අණ කළා. ඔවුන්ට යේසුස්ව සම්බ වූ විට යේසුස් ඔවුන්ට මෙහෙම කිව්වා. “ගොස්, ඔබ ඇසූ දුටු දේ යොහන්ට කියන්න: අන්ධ අය පෙනීම ලබති, කොර වී සිටි අය ඇවිදිති, ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරනු ලබයි, බිහිරි අයට ඇසෙයි, මළවුන්ව නැඟිටුවනු ලබයි, දිලිඳුන්ට ශුභාරංචිය පවසනු ලැබේ.”—ලූක් 7:22.

යේසුස් සිදු කළ නැවත නැඟිටුවීම් අතරින් ඉතාමත්ම ප්‍රසිද්ධ නැවත නැඟිටීම වන්නේ ඔහුගේ සමීප මිත්‍රයෙක් වූ ලාසරුස්ව නැවත නැඟිටුවීමයි. යේසුස් බෙතානියේ පිහිටි ලාසරුස්ගේ නිවසට පැමිණෙන විට ලාසරුස් මිය ගිහින් දින හතරක් ගතවෙලා තිබුණා. සොහොන් ගෙයි හේත්තු කර තිබූ ගල ඉවත් කරන්න කියා යේසුස් අණ කළ විට මාර්තා ටිකක් අදිමදි කළා. “ස්වාමිනි, ඔහු මිය ගොස් දවස් හතරක් වන බැවින් දැන් ගඳ ගසනවා ඇති” කියා ඇය පැවසුවා. (යොහන් 11:39) නමුත් ලාසරුස්ගේ ශරීරය නරක් වී තිබුණත් ඔහුව නැවත නැඟිටුවීම සඳහා එය බාධාවක් වුණේ නැහැ. යේසුස් ලාසරුස්ට හඬගැසූ වහාම “මිය ගොස් සිටි මිනිසා පිටතට ආවේය. ඔහුගේ අත් පා රෙදි පටිවලින් ඔතා තිබුණු අතර, ඔහුගේ මුහුණද රෙදි කඩකින් ඔතා තිබිණ.” මේ සිදුවීමෙන් පස්සේ යේසුස්ගේ සතුරන් ක්‍රියා කළ ආකාරය දෙස බලද්දී, ඇත්තෙන්ම ඒ මිනිසා ලාසරුස් බව ඔප්පු වෙනවා.—යොහන් 11:43, 44; 12:1, 9-11.

නැවත නැඟිටීම් පිළිබඳ මෙම වාර්තා හතරෙන් අපට පැහැදිලි වෙන්නේ කුමක්ද? ඒ හැම පුද්ගලයෙක්ම නැවත නැඟිටීමේදී වෙනස් වෙලා සිටියේ නැහැ. ඔවුන්ගේ කිට්ටු නෑදෑයන් පවා ඔවුන්ව හඳුනාගත්තා. නැවත නැඟිට්ට කිසිම කෙනෙක් ඔවුන් මිය ගොස් සිටි කෙටි කාලය තුළදී යමක් අද්දැක්ක බව බයිබලය් සදහන් වන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ ඹවුන් කිසිවක් දැන නොසිටි බවයි. පෙනෙනාකාරයට නැවත නැඟිටින විට ඔවුන්ට හොඳ සෞඛ්‍ය තත්වයක් තිබුණා. යේසුස් පැවසූ පරිදි එය ඔවුන් ටික වෙලාවකට නිදාගෙන නැවත අවදි වුණා හා සමාන දෙයක් වුණා. (යොහන් 11:11) ඒත් යම් කාලයක් ගත වුණාට පසුව මේ සෑම කෙනෙක්ම නැවතත් මිය ගියා.

මිය ගිය අයව යළි හමුවීමේ අනර්ඝ බලාපොරොත්තුව

කලින් ලිපියේ අපි සඳහන් කළ ඔවන් නම් දරුවාගේ හදිසි මරණයෙන් ටික කලකට පසුව ඔහුගේ පියා අසල්වැසියෙකුගේ නිවසට ගියා. එහිදී මේසයක් උඩ තිබුණු පුංචි පත්‍රිකාවකට ඔහුගේ අවධානය යොමු වුණා. ඒ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පැවැත්වීමට නියමිත වූ ප්‍රසිද්ධ කථාවක් ගැන දැනුම් දෙන පත්‍රිකාවක්. “මරණයේදී සිදු වන්නේ කුමක්ද?” යන ඒ ප්‍රසිද්ධ කථාවේ තේමාව ගැන ඔහු උනන්දු වුණා. ඔහුගේ මනසේ තිබුණේත් ඒ ප්‍රශ්නයම නිසා ඔහු ඒ කතාවට සවන් දෙන්න ගියා. මරණයේදී සිදු වන දේ ගැන බයිබලයේ කියන දේ ඒ කතාව තුළින් දැනගන්න ලැබුණාම ඔහු ලොකු සහනයක් ලැබුවා. මළ අය දුක් විඳින්නේ නැති බව ඔහුට දැනගන්න ලැබුණා. නිරාගින්නේ වද විඳිනවා හෝ දේවදූතයෙකු වෙනවා වෙනුවට, ඔවන් ඇතුළු මිය ගිය අය සියල්ලෝම නැවත නැඟිටීමේ කාලය එන තුරු කිසි දුකක් හෝ සතුටක් නොවිඳිමින් මරණ නින්දෙහි සැතපී සිටින බවත් ඔහුට දැනගන්න ලැබුණා.—දේශනාකාරයා 9:5, 10.

ප්‍රේමණීය කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව ඔබේ පවුලේ අයත් විඳ ඇද්ද? මිය ගිය ඒ ප්‍රේමණීය අය දැන් සිටින්නේ කොහේද, ඔවුන්ව නැවත දකින්න ලැබේවිද, කියා ඔවන්ගේ පියා වගේ ඔබත් ඔබේ පවුලේ අයත් කල්පනා කරනවාද? එහෙම නම් නැවත නැඟිටීම පිළිබඳව බයිබලය තවදුරටත් පවසන දෙය සලකා බැලීමට අපි ඔබට උනන්දු කරන්න කැමතියි. ‘නැවත නැඟිටීම සිදු වන්නේ කවදාද? ඇත්තෙන්ම නැවත නැඟිටින්නේ කවුද?’ කියා සමහරවිට ඔබ කල්පනා කරනවා ඇති. ඊළඟ ලිපිවල මෙම ප්‍රශ්න මෙන්ම ඊට සම්බන්ධ වෙනත් ප්‍රශ්න ගැනත් සාකච්ඡා කරනු ලබන නිසා, ඒ ලිපිද කියවන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

[පාදසටහන]

^ 6 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය (සිංහලෙන් නැත) නමැති පොතේ 150-4 දක්වා පිටු බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

පිරිමි ළමයෙකුව නැවත ජීවත් කරවන්න කියා එලියා යෙහෝවාගෙන් අයැද සිටියා

[5වන පිටුවේ පින්තූරය]

ෂුනෙම් කාන්තාවගේ පුත්‍රයාව නැවත නැඟිටුවීම සඳහා යෙහෝවා එලිෂාව යොදාගත්තා

[6වන පිටුවේ පින්තූරය]

නායින් නුවර වැන්දඹුවගේ පුත්‍රයාව යේසුස් නැවත නැඟිට්ටෙව්වා

[7වන පිටුවේ පින්තූරය]

මිය ගිය අපගේ පවුලේ සාමාජිකයන්ව නැවත නැඟිටීමේදී අපට දකින්න ලැබෙයි!