Skip to content

පටුනට යන්න

නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව ඔබට බලපාන ආකාරය

නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව ඔබට බලපාන ආකාරය

නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව ඔබට බලපාන ආකාරය

“[ඔබ] ස්වකීය හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේය.”—ගීතාවලිය 145:16.

1-3. සමහරුන්ට ඇත්තේ කුමන බලාපොරොත්තුවද? උදාහරණ දෙන්න.

මීට අවුරුදු කිහිපයකට පෙර එංගලන්තයේ සිදු වූ හදිසි රිය අනතුරකින් 12දෙනෙක් මිය ගියා. එම අනතුර ගැන විස්තර කරමින් පොලිස් නිලධාරීන් කිව්වේ එය “මහ අපරාධයක්” කියයි. මිය ගිය 12දෙනා අතරින් 6දෙනෙකු එකම පවුලක අයයි. ඒ අය නම් අවුරුදු නවයක් වයසැති ක්‍රිස්ටෆර්, ඔහුගේ අයියා, ඔවුන්ගේ මාමා සහ නැන්දා වගේම ඒ දෙදෙනාගේ පුතුන් දෙන්නයි. ඔවුන් සියලුදෙනාම එදා උදේ ගත කළේ මැන්චෙස්ටර් නුවර අසල ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදෙමිනුයි. මෙම සිදුවීම ගැන විස්තර කරන පිබිදෙව්! සඟරාවේ මෙසේ සඳහන් වුණා. ‘ඔවුන්ගේ අදහස වුණේ හවස් වරුවේ බ්ලැක්පූල් නමැති නගරය අසල පිහිටි මුහුදු වෙරළට ගොස් විනෝද වෙන්නයි. රිය අනතුර සිදු වුණේ එහෙට යන අතරතුරෙයි.’

2 එම අනතුරට කලින් රාත්‍රියේදී ක්‍රිස්ටෆර් ඔහුගේ පවුලේ අය සමඟ සභාවේ රැස්වීමක් වන පොත් පාඩමට සහභාගි වී තිබුණා. එදා රැස්වීමේදී සාකච්ඡා කර තිබුණේත් මරණය ගැනයි. ක්‍රිස්ටෆර්ගේ පියා ඒ ගැන මතක් කරමින් මෙසේ පැවසුවා. “ක්‍රිස්ටෆර් පුතා සාමාන්‍යයෙන් ගොඩාක් ගැඹුරට දේවල් ගැන හිතන කෙනෙක්. එදා රැස්වීමේදී, දේවපාලනය යටතේ පොළොවට ගෙනෙන ආශීර්වාද ගැනත් අනාගතය ගැන ඔහුට තිබෙන බලාපොරොත්තුව ගැනත් ඔහු ඉතා පැහැදිලිව කතා කළා. අපි ඒ ගැන දිගින් දිගට කතා කරද්දී ක්‍රිස්ටෆර් මෙහෙම කිව්වා. ‘යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීම ලොකු ආශීර්වාදයක්. මොකද අපි මැරුණත් දේව පාලනය යටතේ මේ පොළොවේම නැවතත් එකට ජීවත් වෙන බව අපි දන්නවා.’ එයා කියපු වචනවල වැදගත්කම අපිට දැන් තමයි තේරෙන්නේ.” *

3 මීට අවුරුදු ගණනකට පෙර එනම් 1940දී ඕස්ට්‍රියානු ජාතික ෆ්‍රාන්ස්ට සිදු වූ දෙය සලකා බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වූ ඔහු තම ආගමික ස්ථාවරය අත්හැරීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔහුව හිස ගසා මරන බවට තීන්දු කළා. බර්ලින් නුවර පිහිටි රැඳවුම් කඳවුරේ සිට ඔහු තම මවට ලියූ ලිපිය සලකා බැලීම වටියි. “අම්මා දන්නවා මට හමුදාවට බැඳෙන්න බැහැයි කියලා. ඒක මගේ විශ්වාසයන්ට පටහැනි දෙයක්. එහෙම කළොත් මම දෙවිට විරුද්ධවයි ක්‍රියා කරන්නේ. ඒක ලොකු පාපයක්. මට නැවත නැඟිටීමක් ලැබෙන්නෙත් නැහැ. . . . ඉතින් මගේ ආදරණීය අම්මා ඇතුළු ඔබ සැමට යමක් කියන්න තිබෙනවා. මා කියන්න යන දේ ගැන බය වෙන්න එපා. අද මගේ තීන්දුව මට ලැබුණා. ඒ මරණ දඬුවමයි. තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ හෙට උදේටයි. මට සිදු වෙන්න යන්නේ අතීතයේ සිටි සැබෑ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට සිදු වූ දෙයයි. ඒ අයට වගේ දෙවි මටත් ශක්තිය දී තිබෙනවා මෙයට මුහුණ දෙන්න. . . . ඔයාලත් මරණය දක්වාම ඇදහිල්ලේ ස්ථිරව සිටියොත් නැවත නැඟිටීමේදී අපිට පුළුවන් වෙයි ආයෙත් හමුවෙන්න. . . . නැවත හමුවෙමු.” *

4. මේ අද්දැකීම් ඔබට බලපාන්නේ කෙසේද? අපි ඊළඟට සලකා බලන්න යන්නේ කුමක් ගැනද?

4 මෙවැනි අද්දැකීම් කියවද්දී අපගේ හදවත් උණු වී යනවාට සැකයක් නැහැ. ක්‍රිස්ටෆර්ට සහ ෆ්‍රාන්ස්ට නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව ලොකු බලපෑමක් ඇති කළා. එවැනි දෙයක් සිදු වන බවට ඔවුන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. නැවත නැඟිටීම ගැන අපට තිබෙන බලාපොරොත්තුව ශක්තිමත් කිරීමටත් යෙහෝවා දෙවි සඳහා අපට තිබෙන ප්‍රේමය වැඩි කිරීමටත් අපි නැවත නැඟිටීම ගැන තවත් තොරතුරු සලකා බලමු. විශේෂයෙන් අප සලකා බලන්න යන්නේ නැවත නැඟිටීමෙන් ඉටු වන දේ සහ මෙය පෞද්ගලිකව අපට බලපෑ යුතු ආකාරය ගැනයි.

පොළොවේ සිදු වන නැවත නැඟිටීම පිළිබඳ දර්ශනයක්

5, 6. එළිදරව් 20:12, 13හි සඳහන් ප්‍රේරිත යොහන් දුටු දර්ශනයෙන් හෙළි වන්නේ කුමක්ද?

5 යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේ සිදුවීම් පිළිබඳ ප්‍රේරිත යොහන් දුටු දර්ශනයට පොළොවේ සිදු වන නැවත නැඟිටුවීමත් ඇතුළත් වුණා. “මම, මිය ගිය ලොකු කුඩා සියල්ලන් . . . දුටිමි. . . . මුහුද එහි සිටි මළවුන්ව භාර දුන්නේය. මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දුන්නේය” කියා ඔහු පැවසුවා. (එළිදරව් 20:12, 13) මරණ නින්දේ පසුවන අයට එනම් මිනී වළේ (හේදීසය හෝ ෂෙයෝලය) සිටින අයට නැවත නැඟිටීමක් ලැබෙන බව මින් පැහැදිලි වෙනවා. ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් මෙය ඔවුන්ට අදාළ වෙනවා. මුහුදට බිලි වූ අයවත් ඒ අවස්ථාවේදී නැවත නැඟිටුවනු ලබයි. මෙය යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ අරමුණ වෙයි.

6 ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේ ආරම්භයේදී සාතන්ව බැඳ ආගාධයට දමනු ලබන බව බයිබලයේ සඳහන් වෙනවා. ඉන් අදහස් වෙන්නේ ඔහු කිසිවක් කළ නොහැකි තත්වයක සිටින බවයි. එම නිසා නැවත නැඟිටුවනු ලබන අයටත් මහත් පීඩාවෙන් බේරී ජීවත් වෙන අයටත් ඒ පාලන සමයේදී සාතන්ගේ මුළා වීම්වලට හසු වීමට සිදු වන්නේ නැහැ. (එළිදරව් 20:1-3) අවුරුදු දහසක් ඔබට දීර්ඝ කාලයක් ලෙස පෙනුණත් යෙහෝවාට එය “එක දවසක්” හා සමානයි.—2 පේතෘස් 3:8.

7. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී පුද්ගලයන්ව විනිශ්චය කරන්නේ කුමක් පදනම් කරගෙනද?

7 යොහන් දුටු ඒ දර්ශනයට අනුව ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේදී විනිශ්චයක් සිදු වෙයි. ප්‍රේරිත යොහන් ඒ ගැන ලීවේ මෙයයි. “මම, මිය ගිය ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරිපිට සිටගෙන සිටිනවාත්, අකුළන ලියවිලි දිගහරිනු ලබනවාත් දුටිමි. තවත් අකුළන ලද ලියවිල්ලක් දිගහරින ලදි; ඒ ජීවන ලියවිල්ලය. ඒ ලියවිලිවල ලියා තිබුණු දේවල්වලට අනුව, මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. . . . ඔවුහු එකිනෙකා තම තමාගේ ක්‍රියාවලට අනුව විනිශ්චය කරනු ලැබුවෝය.” (එළිදරව් 20:12, 13) මේ පදවලට අනුව පුද්ගලයෙක්ව විනිශ්චය කරනු ලබන්නේ ඔහු මිය යන්නට කලින් කළ හෝ නොකළ දේ අනුව නොවේ. (රෝම 6:7) මෙහිදී, විනිශ්චයට පදනම ඉදිරියේදී දිගහරිනු ලබන“ලියවිලි” හා සම්බන්ධ බව ඔබ දකින්න ඇති. මේ අනුව පුද්ගලයෙකුගේ නාමය ජීවන ලියවිල්ලේ සඳහන් වන්නේ ඉදිරියේදී ‘දිගහරිනු ලබන ලියවිලිවල’ තොරතුරු දැනගත් පසු ඔහු කරන දේවලට අනුවයි.

ලැබෙන්නේ ‘ජීවනයේ නැවත නැඟිටීමක්ද විනිශ්චයේ නැවත නැඟිටීමක්ද?’

8. නැවත නැඟිටුවනු ලබන අයට කුමක් සිදු විය හැකිදැයි විස්තර කරන්න.

8 යොහන් දුටු දර්ශනයේ කලින් අවස්ථාවක යේසුස්ට මරණයෙත් මිනී වළෙහිත් යතුරු” ඇති බවට සඳහන් වෙනවා. (එළිදරව් 1:18) “ජීවනයේ ප්‍රධාන නියෝජිතයා” ලෙස යෙහෝවා විසින් පත් කර තිබෙන්නේ ඔහුවයි. එමනිසා “ජීවතුන්ව සහ මළවුන්ව විනිශ්චය” කිරීමට බලතල ඔහුට දී තිබෙනවා. (ක්‍රියා 3:15; 2 තිමෝති 4:1) ඔහු මෙම විනිශ්චය කිරීමේ කටයුත්ත සිදු කරන්නේ මරණ නින්දෙහි පසු වන අයව නැවත ජීවත් කරවීමෙනුයි. ඒ ගැන පැහැදිලි කරමින් යේසුස් මෙසේ පැවසුවා. “මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට යහපත් දේ කළ අය ජීවනය සඳහා නැවත නැඟිටීමකටද, පිළිකුල් දේ කළ අය විනිශ්චය සඳහා නැවත නැඟිටීමකටද පිටතට එන්නෝය.” (යොහන් 5:28-30) එසේ නම් අතීතයේ ජීවත් වූ විශ්වාසවන්ත ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට අනාගතයේදී සිදු වන්නේ කුමක්ද?

9. (අ) නැවත නැඟිටුවනු ලබන අය ඉගෙනගන්න යන්නේ කුමන දේවල් ගැනද? (ආ) සියලුදෙනාම කුමන අතිමහත් කාර්යයේ සහභාගි වනවා ඇද්ද?

9 පුරාණයේ යෙහෝවාට විශ්වාසවන්තව ජීවත් වූ අය නැවත නැඟිටිද්දී ඔවුන් විශ්වාස කළ පොරොන්දු ඉටු වී තිබෙන ආකාරය ඔවුන්ට දැකගත හැකි වෙයි. බයිබලයේ මුල්ම අනාවැකිය ලෙස සලකන උත්පත්ති 3:15හි, සඳහන් ස්ත්‍රියගේ වංශය කවුද යන්න දැනගන්නා විට ඔවුන්ට කොතරම් සතුටක් ඇති වේවිද! පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් බවත්, ඔහු මරණය දක්වා විශ්වාසවන්තව සිටිමින් තම ජීවිතය පූජාවක් ලෙස දුන් බව දැනගැනීමෙනුත් ඔවුන් ප්‍රීතියෙන් ඉපිල යාවි. (මතෙව් 20:28) ඒ වන විටත් පොළොවේ ජීවත්ව සිටින අය යෙහෝවාගේ මහත් කරුණාව හා දයාව යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රකාශ වී ඇති ආකාරය ඔවුන්ට සතුටින් පැහැදිලි කරාවි. පොළොව සම්බන්ධයෙන් යෙහෝවා අරමුණු කළ දේ දේවරාජ්‍යය තුළින් ඉටු වන අයුරු දකින ඔවුන් හද පත්ලෙන්ම යෙහෝවාට ප්‍රශංසා කරන්න පෙලඹෙනවා නිසැකයි. තම ප්‍රේමණීය ස්වර්ගික පියාණන් වන යෙහෝවාට සහ ඔහුගේ පුත්‍රයාට තම ආදරය හා ගෞරවය පෙන්වන්න ඔවුන්ට කදිම ප්‍රස්තාවක් උදා වෙයි. නැවත නැඟිටුවනු ලබන බිලියන ගණන් අයට යේසුස්ගේ ජීවිත පූජාව ගැන හා ඉන් ප්‍රයෝජන ලබන ආකාරය ගැන දැනුවත් කරන්න ඔවුන්ට සිදු වෙයි. එමනිසා ජීවත්ව සිටින සියලුදෙනාම එම අතිමහත් කාර්යයේ සතුටින් සහභාගි වනවා නොඅනුමානයි.

10, 11. (අ) දහස් අවුරුදු පාලනයේ සියලුදෙනා ඉදිරියේ තිබෙන්නේ කුමන උතුම් ප්‍රස්තාවද? (ආ) අප සිතා බැලිය යුත්තේ කවර කාරණයද?

10 උදාහරණයකට ආබ්‍රහම් නැවත නැඟිටිද්දී තමා බලාපොරොත්තුවෙන් සිටි “නුවර” එනම් දේවරාජ්‍යයේ පාලනය යටතේ ජීවිතය කොතරම් යහපත් අතට හැරී ඇද්දැයි ඔහුට දැකගන්න පුළුවන් වෙයි. (හෙබ්‍රෙව් 11:10) නොයෙක් පරීක්ෂා මැද යෙහෝවාට සේවය කළ වෙනත් අයට තම ජීවිත ආදර්ශය මහත් ධෛර්යයක් ගෙනදුන් බව යෝබ්ට දැනගන්න ලැබෙයි. දෙවිගේ මඟ පෙන්වීමෙන් තමා ලියූ අනාවැකිවල ඉටුවීම ගැන දැනගැනීමට දානියෙලුත් බොහෝ සෙයින් උනන්දු වෙයි. ඇත්තටම ඔවුන් කොතරම් සතුටු වේවිද!

11 නැවත නැඟිටුවනු ලබන අයට හා මහත් පීඩාවෙන් බේරී ජීවත් වන අයට පොළොව සහ එහි වැසියන් සඳහා යෙහෝවා අරමුණු කර ඇති දේ ගැන බොහෝ දේ ඉගෙනගන්න සිදු වෙයි. ඔවුන් සැමට සදාකල් ජීවත් වීමේ හා යෙහෝවාට සැමදා ප්‍රශංසා කිරීමේ ප්‍රස්තාව තිබෙන නිසා දහස් අවුරුදු පාලනය තුළදී ඔවුන් ඉගෙනගන්නා දෙයින් ඔවුන්ට ඉමහත් සතුටක් ලැබේවි. කොහොම වුණත්, ලියවිලිවලින් ඉගෙනගන්නා දේවල් පිළිපැදීමට අප එකිනෙකා පෞද්ගලිකව බැඳී සිටින බව අමතක නොකළ යුතුයි. මෙම අත්‍යවශ්‍ය තොරතුරු සිතට ගෙන ඒ අනුව අපි ජීවත් වෙන්න යනවාද? අපව සැබෑ නමස්කාරයෙන් ඉවත් කිරීමට සාතන් අවසාන වරට දරන උත්සාහයට එරෙහිව සිටීමට, අපව සූදානම් කරවන්නේ එයයි.

12. නැවත නැඟිටුවනු ලබන අයව දැනුවත් කිරීමේ හා පොළොව පාරාදීසයක් බවට පත් කිරීමේ කාර්යයට බාධාවක් නැතුව අපට සහභාගි විය හැක්කේ මන්ද?

12 යේසුස්ගේ ජීවිත පූජාව තුළින් මනුෂ්‍යවර්ගයාට ලැබෙන ආශීර්වාදද මෙහිදී සඳහන් කළ යුතුයි. එමනිසා නැවත නැඟිටුවනු ලබන අය නැඟිටින්නේ දැන් මිනිසාට තිබෙන රෝග හා ආබාධ නැතුවයි. (යෙසායා 33:24) බිලියන ගණනක් නැවත නැඟිටුවනු ලබන නිසා ඔවුන්ව දැනුවත් කිරීම මොන තරම් විශාල කාර්යයක්දැයි සිතිය හැකියි. නමුත් සියලුදෙනාටම නිරෝගී සෞඛ්‍යයක් තිබෙන නිසා කිසිම බාධාවක් නැතුව එම කාර්යයට සහභාගි වීමට හැකි වෙයි. ඒ වගේම මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමේ දැවැන්ත කටයුත්තටද ඔවුන් සහභාගි වෙයි. මෙයින් යෙහෝවාට කොතරම් ප්‍රශංසාවක් ඇති වේවිද!

13, 14. සාතන්ව මුදාහරිනු ලබන්නේ මන්ද? පෞද්ගලිකව අපට කුමන තේරීමක් කළ හැකිද?

13 දහස් අවුරුදු පාලනයෙන් පසුව සාතන්ව මුදාහරිනු ලබයි. ඒ අවස්ථාවේදී මනුෂ්‍යයන්ව නොමඟ යැවීමට ඔහු අවසාන වරට උත්සාහ කරයි. සාතන්ගේ එම දුෂ්ට බලපෑමට හසු වන සියලුම මිනිසුන්ට අද්දකින්න සිදු වන්නේ විනාශයක්. එළිදරව් 20:7-9ට අනුව ‘ස්වර්ගයෙන් ගින්දර ඇවිත් ඔවුන්ව නාස්ති කර දමයි.’ දහස් අවුරුදු පාලනය තුළදී නැවත නැඟිටුවනු ලබන අයත් ඒ විනාශ වන අය අතර සිටීවි. ඔවුන්ගේ නැවත නැඟිටීම ‘විනිශ්චය සඳහා නැවත නැඟිටුවීමක්’ වන්නේ ඒ නිසයි. එනමුත් තම නැවත නැඟිටුවීමෙන් පසු යෙහෝවාට විශ්වාසවන්තව සිටින අයට සදාකාල ජීවනය නමැති දීමනාව ලැබෙයි. එනිසා ඔවුන්ට ලැබෙන්නේ “ජීවනය සඳහා නැවත නැඟිටීමක්.”—යොහන් 5:29.

14 නමුත් දැන් ජීවත් වන අපට නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව සහනයක් ගෙනදෙන්නේ කෙසේද? අනාගතයේදී එයින් ආශීර්වාද ලබන්න සුදුසු තත්වයක සිටින්න අපි දැන් කුමක් කළ යුතුද?

අප දැන් සිතට ගත යුතු දේ

15. නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව දැනුත් අපට ධෛර්යයක් හා ශක්තියක් විය හැක්කේ කෙසේද?

15 මෑතකදී ඔබේ පවුලේ කෙනෙකු හෝ හිත මිතුරෙකු මරණය නිසා ඔබට අහිමි වෙන්න ඇති. එම දුකින් ගොඩ ඒමට ඔබ සෑහෙන වෑයමක් දරනවාත් ඇති. නමුත් නැවත නැඟිටීම ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසා ඔබේ සිතට ධෛර්යයක් හා ශක්තියක් ලැබෙයි. සත්‍යය නොදන්නා අයට නම් එසේ හැඟෙන්නේ නැහැ. තෙසලෝනික සභාවේ සාමාජිකයන්ව සනසමින් පාවුල් මෙසේ ලිව්වා. “බලාපොරොත්තුවක් නැති අන් අය මෙන් ඔබත් ශෝක නොවන පිණිස, මරණයේ සැතපී සිටින අය ගැන ඔබ නොදැන සිටිනවාට අපි කැමති නොවෙමු.” (1 තෙසලෝනික 4:13) ඒ පාරාදීස පොළොවේ දර්ශනය ඔබේ සිතේ මවාගන්න. නැවත නැඟිටුවනු ලබන අයව ඔබ සතුටින් පිළිගන්නා ආකාරය ඔබට පෙනෙනවාද? මෙවැනි දේවල් ගැන නිතරම මෙනෙහි කිරීමෙන් ඔබේ පවුලේ අයව හෝ හිතමිතුරන්ව නැවත දැකගැනීමේ බලාපොරොත්තුව තව තවත් ස්ථිර වෙයි.

16. ඔබ පාරාදීස පොළොවේදී නැවත නැඟිටින කෙනෙක් නම් ඔබේ හැඟීම් විස්තර කරන්න.

16 ආදම්ගේ අකීකරුකම නිසා උරුම වූ ශාරීරික ආබාධවලින් ඔබත් වේදනා විඳිනවා ඇති. සමහරවිට ඔබට මාරාන්තික රෝගයක් තිබෙන්න පුළුවන්. මේ හේතුවෙන් ඇති වන ශෝකය නිසා ඔබේ බලාපොරොත්තුව නැති වෙන්න දෙන්න එපා. එනම් දිනක, හොඳ සෞඛ්‍ය තත්වයකින් යුතුව පාරාදීස පොළොවේ නැවත නැඟිටීමයි. ඒ අවස්ථාවේදී ඔබව පිළිගැනීමට බලා සිටින අයගේ ප්‍රීතිමත් මුහුණු දකිද්දී ඔබ අනිවාර්යයෙන්ම දෙවිගේ ප්‍රේමණීය කරුණාව වෙනුවෙන් ඔහුට ස්තුති කරාවි.

17, 18. අප සිතට ගත යුතු වැදගත් කාරණා දෙක කුමක්ද?

17 අපි දැන් සිතට ගත යුතු වැදගත් කාරණා දෙකක් සලකා බලමු. ඉන් පළමුවැන්න වන්නේ යෙහෝවා දෙවිට දැන් සිටම මුළු සිතින් සේවය කිරීමේ වැදගත්කමයි. අපගේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන අතර, ආත්ම පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කිරීම තුළින් යෙහෝවා දෙවිටත් අසල්වැසියන්ටත් අපි අපගේ ප්‍රේමය පෙන්වනවා. අපගේ අධිෂ්ඨානය වන්නේ විරුද්ධවාදිකම් හෝ පීඩා නිසා අපගේ ආදායම් මාර්ගය හෝ අපගේ නිදහස අපට අහිමි වුණත්, කුමන ගැටලු ප්‍රශ්නවලට අපට මුහුණ දෙන්න සිදු වුණත් ඇදහිල්ලේ ස්ථිරව සිටීමටයි. මෙවැනි පීඩා නිසා අපට මරණයට මුහුණ දීමට සිදු වුණොත්, යෙහෝවා දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් පක්ෂපාතව සිටීම සඳහා නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව අපව ශක්තිමත් කරයි. ඒ විතරක් නෙවෙයි, දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ සහ අන් අයට සත්‍ය මාර්ගයට ඒමට උපකාර කිරීමේ වැඩයේ අපි උද්‍යෝගයෙන් හවුල් වීමෙන් යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන් සඳහා ලබා දෙන්න යන සදාතනික ආශීර්වාද ලබාගැනීමට අපටත් හැකි වෙයි.

18 අප සිතට ගත යුතු දෙවෙනි කාරණය, අපේ පව්කාර නැඹුරුවාව නිසා ඇති වන පරීක්ෂාවලට අප මුහුණ දෙන ආකාරය හා සම්බන්ධ වෙනවා. නැවත නැඟිටීම පිළිබඳව අපට තිබෙන දැනුම සහ යෙහෝවාගේ මහත් කරුණාව සඳහා අප දක්වන අගය නිසා ඇදහිල්ලේ ස්ථිරව සිටීමට වූ අපගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි. “ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම නොකරන්න” කියා ප්‍රේරිත යොහන් අනතුරු ඇඟෙව්වා. “යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම්, පියාණන් කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මන්ද, ලෝකයේ තිබෙන සියල්ල—එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්—පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය. තවද, ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:15-17) “සැබෑ ජීවිතය” සමඟ සසඳද්දී ලෝකය ඉදිරිපත් කරන ධන සම්පත් ආදි ආකර්ෂණීය දේවල්වලට ඇත්තේ අඩු අගයක්. (1 තිමෝති 6:17-19) අනික් අතට දුරාචාරයේ නියැලීමට අපව පොලඹවනු ලැබුවත් අපට ස්ථිරව සිට ඊට විරුද්ධ විය හැකියි. එසේ නොකර දිගටම දෙවිව අසතුටු වන විදිහට ජීවත් වී මෙම දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානයට කලින් මිය ගියොත් නැවත නැඟිටීමක් නොලබන අය අතර අපත් සිටින බව අප දන්නා කරුණක්.

19. අප මතක තබාගත යුතු වඩාත්ම වැදගත් කාරණය කුමක්ද?

19 අප මතක තබා ගත යුතු වඩාත්ම වැදගත් කාරණය වන්නේ දැනුත් සදහටමත් යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීම සඳහා උතුම් වරප්‍රසාදයක් අපට තිබෙන බවයි. (හිතෝපදේශ 27:11) අපගේ මරණය දක්වා හෝ මේ දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානය දක්වා දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමෙන් දෙවිගේ පාලනය සාධාරණද යන්න පිළිබඳ ප්‍රශ්නයේදී අපි සිටින්නේ කාගේ පැත්තේද යන්න යෙහෝවා දෙවිට පෙන්වන්න අපිට හැකි වෙයි. මහත් පීඩාවෙන් බේරී ජීවත් වීමෙන් හෝ නැවත නැඟිටුවනු ලැබීමෙන් පාරාදීස පොළොවක ජීවත් වීමට ලැබීම මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වෙයිද!

අප ආශා කළ දේ ඉටු වන දා

20, 21. නැවත නැඟිටීම පිළිබඳව තිබෙන සමහර ප්‍රශ්නවලට පිළිතුරු නොලැබුණත් දිගටම විශ්වාසවන්තව දෙවිට සේවය කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.

20 නැවත නැඟිටීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී පිළිතුරු නොලැබූ සමහර ප්‍රශ්න තිබෙනවා. කලින් විවාහ ජීවිත ගත කළ අය වෙනුවෙන් යෙහෝවා කුමක් කරයිද? (ලූක් 20:34, 35) මිය ගිය අයව එම ප්‍රදේශයේදීම නැවත නැඟිටුවයිද? ඔවුන්ගේ නැවත නැඟිටුවීම සිදු වන්නේ ඒ අයගේ පවුලේ සාමාජිකයන් සිටින ස්ථානයට කිට්ටුවෙන්ද? නැවත නැඟිටීම සම්බන්ධයෙන් මෙවැනි තවත් ප්‍රශ්න බොහොමයක් තිබෙනවා. මේ නිසා යෙරෙමියාගේ වදන් සිතේ තබාගැනීම වටියි. “යෙහෝවා බලා සිටින්නවුන්ටත් ඔහු සොයන ආත්මයටත් ඔහු යහපත්ය. යෙහෝවාගෙන් ලැබෙන ගැලවීම ගැන පතමින් නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට යහපත.” (විලාප ගී 3:25, 26) සුදුසු කාලයේදී සෑහීම ගෙන දෙන ආකාරයකින් යෙහෝවා දෙවි අපගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයයි. මේ ගැන අපට නිසැක වෙන්න පුළුවන් කොහොමද?

21 යෙහෝවා දෙවි ගැන ගීතිකාකරු ලිවූ මෙම ගීතිකාව ගැන ගැඹුරින් සිතා බලන්න. “[ඔබ] ස්වකීය හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේය.” (ගීතාවලිය 145:16) කාලයාගේ ඇවෑමත් සමඟ අපගේ ආශාවන් වෙනස් වෙනවා. කුඩා කාලයේදී අපට තිබුණු බලාපොරොත්තු දැන් වෙනස් වෙලා. අප අද්දකින දේවල් නිසා හෝ අපගේ අපේක්ෂා නිසා හෝ ජීවිතය දෙස අපි බලන ආකාරය වෙනස් වෙනවා. ඒ කෙසේ වෙතත් අප පිරිසිදු හදවතකින් ආශා කරන සෑම දෙයක්ම පාරාදීස පොළොවේදී යෙහෝවා අනිවාර්යයෙන්ම ඉටු කරයි කියා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

22. යෙහෝවාට ප්‍රශංසා කිරීමට අපට හොඳ හේතු තිබෙන්නේ ඇයි?

22 දැන් කළ යුතු වැදගත්ම දෙය වන්නේ දෙවිට විශ්වාසවන්තව සිටීමයි. “භාරකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්තව සිටීමයි” කියා පාවුල් පැවසුවේ එනිසයි. (1 කොරින්ති 4:2) දෙවිගේ රාජ්‍යය පිළිබඳ මහිමාන්විත ශුභාරංචියේ භාරකරුවන් වන්නේ අපියි. හමුවන සියලු දෙනාට මෙම ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ උද්‍යෝගයෙන් සහභාගි වීම තුළින් ජීවනයේ මාර්ගයේ සිටින්නට අපිට හැකි වෙයි. අප සියලු දෙනාටම “විපත්තිද බලාපොරොත්තු නොවූ සිදුවීම්ද” පැමිණෙන බව අමතක නොකරමු. (දේශනාකාරයා 9:11, NW) හෙට දවසේදී කුමක් වේවිද කියා අපට කියන්න බැහැ. එමනිසා අනාගතයට ධෛර්යයෙන් යුතුව මුහුණ දීම සඳහා නැවත නැඟිටීම සම්බන්ධයෙන් ඔබට තිබෙන නිසැකකම දිගටම පවත්වාගන්න. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය ඇරඹීමට කලින් ඔබ මිය යයි කියා පෙනෙන්නට තිබුණොත්, ඔබ අනිවාර්යයෙන් නැවත නැඟිටුවනු ලබන බවට තිබෙන සහතිකය ඔබට සහනයක් වේවා! යෙහෝවා ඔබව නැවත නැඟිටුවන කාලයේදී ඔබටත් යෝබ් පැවසූ මෙම වදන් පැවසීමට හැකි වෙයි. “ඔබ අඬගසන්නේය; මම උත්තර දෙන්නෙමි.” තම මතකයේ රැඳී සිටින සියලු දෙනාවම නැවත නැඟිටුවීමට මහත් ආශාවකින් සිටින යෙහෝවා දෙවිට ප්‍රශංසා ලැබේවා!—යෝබ් 14:15.

[පාදසටහන්වල]

^ 2 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන පිබිදෙව්! සඟරාවේ 1988 අගෝස්තු 8 කලාපයේ 9වන පිටුව බලන්න.

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom, නමැති පොතේ 662වන පිටුව බලන්න.

ඔබට මතකද?

• දහස් අවුරුදු පාලනයේදී මිනිසුන්ව විනිශ්චය කරනු ලබන්නේ කුමන පදනමක් මතද?

• සමහරුන්ට ‘ජීවනයේ නැවත නැඟිටීමක්’ සහ වෙනත් අයට ‘විනිශ්චයේ නැවත නැඟිටීමක්?’ ලැබෙන්නේ ඇයි?

• නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව අපට දැන් සහනයක් වන්නේ කොහොමද?

• නැවත නැඟිටීම ගැන අප තවමත් නොදන්නා දේ සම්බන්ධයෙන් ගීතාවලිය 145:16හි තිබෙන ප්‍රතිපත්තිය ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූර]

නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව දැන් අපව ශක්තිමත් කරන්නේ කොහොමද?