Skip to content

පටුනට යන්න

නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?

නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?

නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?

“මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය.”—යොහන් 5:28, 29.

1. ඇවිළෙන පඳුරෙන් නික්මුණු හඬ පැවසුවේ කුමක්ද? පසු කලෙක මෙම සිද්ධිය ගැන කතා කළේ කවුද?

මීට අවුරුදු 3,500කට පෙර හොරෙබ් කන්ද අසල මෝසෙස් තම මාමණ්ඩි වූ යෙත්‍රෝගේ බැටළුවන් බලාගනිමින් සිටි අවස්ථාවේදී සුවිශේෂ අද්දැකීමක් ලැබුවා. යෙහෝවාගේ දූතයෙක් ඇවිළෙන කටු පඳුරක් මැද සිටිනවා ඔහු දුටුවා. ඒ ගැන බයිබල් වාර්තාවෙහි මෙසේ සඳහන් වෙනවා. “ඔහු බැලුවේය. බලන්න, පඳුර ගිනි ඇවිළෙමින් තිබුණු නමුත් දාලා නොගියේය.” ඊළඟට පඳුරෙන් නික්මුණු හඬක් ‘මම ඔබේ පියාගේ දෙවිය, ආබ්‍රහම්ගේ දෙවිය, ඊසාක්ගේ දෙවිය, යාකොබ්ගේ දෙවියයි’ පැවසුවා. (නික්මයාම 3:1-6) ඉන් සියවස් ගණනාවකට පසුව ක්‍රි.ව. පළමු සියවසේදී දෙවිගේ පුත්‍රයා වන යේසුස් මේ සිද්ධිය ගැන කතා කළා.

2, 3. (අ) මියගොස් සිටින ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් ගැන අපට තිබෙන බලාපොරොත්තුව කුමක්ද? (ආ) පිළිතුරු ලබාගත යුතු ප්‍රශ්නය කුමක්ද?

2 ඒ අවස්ථාවේදී යේසුස් කතා කරමින් සිටියේ නැවත නැඟිටීමක් විශ්වාස නොකළ සද්දුසිවරුන් සමඟයි. ඔහු මෙසේ පැවසුවා. “මෝසෙස් කටු පඳුර ගැන වාර්තාවේ යෙහෝවාව ‘ආබ්‍රහම්ගේ දෙවි, ඊසාක්ගේ දෙවි සහ යාකොබ්ගේ දෙවි’ කියා හැඳින්වීමෙන් මළවුන්ව නැඟිටුවනු ලබන බව හෙළි කළේය. ඔහු මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවි කෙනෙක්ය. මන්ද, ඔහුගේ දෘෂ්ටියෙන් ඒ සියල්ලෝම ජීවමානව සිටිති.” (ලූක් 20:27, 37, 38) මින් අදහස් කළේ බොහෝ කලකට පෙර මියගිය ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් යන අය දෙවිගේ මතකයේ තවමත් සිටින බවයි. යෝබ් මෙන් ඔවුන්ද මරණයෙන් “නිදහස” ලබන තෙක් ‘බලා සිටිනවා.’ (යෝබ් 14:14) ඒ නිදහස ඔවුන් ලබන්නේ දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී ඔවුන් නැවත නැඟිටුවනු ලබන විටයි.

3 මිනිස් ඉතිහාසය පුරාම මිනිසුන් බිලියන ගණනක් මියගොස් ඇති බව අප දන්නා කරුණක්. ඒ අයවත් නැවත නැඟිටුවනු ලබයිද? මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීමට පෙර අප දේවවචනය තුළින් තවත් කාරණයක් සලකා බැලිය යුතුයි. එනම්, මරණයේදී සිදු වන්නේ කුමක්ද යන්නයි.

මරණයේදී සිදු වන්නේ කුමක්ද?

4. (අ) මරණයේදී සිදු වන්නේ කුමක්ද? (ආ) ෂෙයෝලය යන වචනය පැහැදිලි කරන්න.

4 බොහෝ ආගම්වල කියන්නේ මරණයෙන් පසු ජීවිතයක් තිබෙන බවයි. නමුත් බයිබලයේ සඳහන් වන්නේ මියගිය අය ‘කිසිවක් නොදන්නා’ තත්වයක සිටින බවයි. එම නිසා ජීවත්ව සිටින්නන්ට බයිබලයේ මෙලෙස අවවාද කර තිබෙනවා. “ඔබේ අතින් කරන්ට ලැබෙන කොයි දෙයක් නමුත් ඔබේ වීර්යයෙන් කරන්න; මක්නිසාද ඔබ යන මිනීවළේ [හෙබ්‍රෙව්, ෂෙයෝලයේ] ක්‍රියාවක්වත් උපායක්වත් දැනගැන්මක්වත් ප්‍රඥාවක්වත් නැත.” (දේශනාකාරයා 9:5, 10) යමෙක් මියගිය විට ඔහු වේදනා විඳින ස්ථානයක සිටින බවක් හෝ වෙනත් භවයක් ලබන බවක් හෝ ඉන් අදහස් වන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වන්නේ ඒ පුද්ගලයා දූවිලි බවට පත්වීමයි. (උත්පත්ති 3:19) දේශනාකාරයා පොතෙන් උපුටාගත් බයිබල් පදයේ මිනීවළ සඳහා හෙබ්‍රෙව් භාෂාවෙන් “ෂෙයෝලය” යන වචනය භාවිත කර තිබෙනවා. බොහෝදෙනෙකුට මෙය නුහුරු වචනයක්. මෙම හෙබ්‍රෙව් වචනය සෑදුණු ආකාරය පැහැදිලි කරගැනීමත් අමාරුයි. දේවවචනය වන බයිබලය ෂෙයෝලය යන වචනය භාවිත කරන්නේ යම් විශේෂිත ස්ථානයකට නොව නමුත් යමෙක් මියගිය විට ඔහු මරණය නමැති නින්දෙහි පසු වන බව දැක්වීමටයි.

5, 6. යාකොබ් ෂෙයෝලයට යන්න කැමති වීමෙන් අදහස් කළේ කුමක්ද? මීට කලින් එහි තැන්පත් කර තිබුණේ කාවද?

5 “ෂෙයෝලය” යන වචනයෙන් මරණයෙන් පසු ජීවිතයකට යොමු දක්වන්නේ නැති බව මතු දැක්වෙන සිද්ධියෙන් පැහැදිලි වෙනවා. එම වචනය මුලින්ම දක්නට තිබෙන්නේ උත්පත්ති 37:35හියි. එහි සඳහන් වන්නේ යාකොබ් පැවසූ වචනයි. ඔහු පැවසුවේ “මම වැලපෙමින්ම මාගේ පුතු වෙත මිනීවළට [හෙබ්‍රෙව්, ෂෙයෝලයට] යන්නෙමි” කියයි. තම ආදරණීය පුත් යෝසෙප් මියගොස් ඇති බව සිතූ යාකොබ් මහත් දුකින් පැවසුවේ තමාටත් මියයෑමට අවශ්‍ය බවයි. පසු අවස්ථාවකදී යාකොබ්ගේ වැඩිහිටි දරුවන් නවදෙනා බාලම දරුවා වූ බෙන්ජමින්ව රැගෙන ආහාර ලබාගැනීමට ඊජිප්තුවට යෑම සඳහා අවසර දෙන මෙන් යාකොබ්ගෙන් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ යාකොබ් මෙසේ පැවසුවා. “නුඹලා සමඟ මාගේ පුත්‍රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණයි. නුඹලා යන අතරමඟදී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස්ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරා [හෙබ්‍රෙව්, ෂෙයෝලයට] දමන්නහුය.”—උත්පත්ති 42:36, 38, නව අනුවාදය.

6 නමුත් ඇත්තටම යෝසෙප් මිය ගොස් සිටියේ නැහැ. ඔහු ඊජිප්තුවේ ආහාර පරිපාලකයා ලෙස වැඩ කරමින් සිටියා. මෙය දැනගත් යාකොබ් ඉතා සතුටින් ඊජිප්තුවට ගොස් තමාගේ පුතා මුණගැසී තමාගේ මරණය දක්වාම ඔහු සමඟ එහි ජීවත් වුණා. යාකොබ් මිය යද්දී ඔහුගේ වයස අවුරුදු 147යි. ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ පියා වූ ඊසාක් සහ සීයා වූ ආබ්‍රහම් තැන්පත් කර තිබූ කානාන් දේශයේ මක්පේලා නම් භූමියේ පිහිටි ගුහාවේ ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබුවා.—උත්පත්ති 47:28; 49:29-31; 50:12, 13.

‘තම සෙනඟට එකතු කරනු ලැබීම’ යන්නෙහි අදහස

7, 8. (අ) ආබ්‍රහම්ගේ මරණයේදී සිදු වූයේ කුමක්ද? පැහැදිලි කරන්න. (ආ) වෙනත් අය ගැන බයිබලයේ සඳහන් දෙය විස්තර කරන්න.

7 යෙහෝවා දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ස්ථිර කරමින් ඔහුගේ වංශය බොහෝ වන බව ඔහුට පොරොන්දු වුණා. ආබ්‍රහම්ට අවසානයේදී සිදු වන දේද දෙවි ඒ අවස්ථාවේදී පැහැදිලි කළා. “එහෙත් ඔබ සමාදානයෙන් ඔබේ පියවරුන් වෙතට යන්නෙහිය. ඉතා මහලු වයසේදී තැන්පත් කරනු ලබන්නෙහිය.” (උත්පත්ති 15:15) උත්පත්ති 25:8ට අනුව මෙම වචන සැබෑ වුණා. “ආබ්‍රහම් වයසින් පූර්ණව මහල්ලෙකුව හොඳ මහලු වයසේදී නැසී ගිය අතර, තමන් සෙනඟට එකතු කරන ලද්දේය.” මෙම පදයෙහි සඳහන් වන “සෙනඟ” කවුරුන්ද? ආබ්‍රහම්ගේ මුතුන්මිත්තෙකු වූ නෝවාගේ පුත් ෂෙම් දක්වා ලැයිස්තුවක් උත්පත්ති 11:10-26හි සඳහන් වෙනවා. මින් පැහැදිලි වන්නේ ඔහුගේ මුතුන්මිත්තන් මරණය නමැති නින්දෙහි පසු වූවාක් මෙන් ඔහුද ඔවුන් සමඟ මරණය නමැති නින්දෙහි පසුවන බවයි.

8 “සෙනඟට එකතු කරන ලද්දේය” යන මේ යෙදුම හෙබ්‍රෙව් ලියවිල්ලෙහි අවස්ථා කිහිපයකදීම සඳහන් වෙනවා. ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල් සහ මෝසෙස්ගේ සහෝදර වූ ආරොන් යන දෙදෙනා ගැන කතා කරද්දීත් එම යෙදුම යොදා තිබෙනවා. එම නිසා ඔවුන් දෙදෙනා නැවත නැඟිටුවීමක් බලාපොරොත්තුවෙන් මරණ නින්දෙහි පසුවන බව පැවසීම නිවැරදියි. (උත්පත්ති 25:17; ගණන් කතාව 20:23-29) මෝසෙස්ව තැන්පත් කළ ස්ථානය රහසක් වුවත් ඔහුද මරණ නින්දෙහි පසුවන බව සත්‍යයක්. (ගණන් කතාව 27:13; ද්විතීය කතාව 34:5, 6) එසේම මෝසෙස්ට පසු ඊශ්‍රායෙල් ජාතියේ නායකයා ලෙස සිටි යෝෂුවාද ඔහුගේ සමකාලීනයන්ද මරණ නින්දෙහි පසු වෙනවා.—විනිශ්චයකාරයෝ 2:8-10.

9. (අ) ෂෙයෝලය” යන හෙබ්‍රෙව් වචනයටත් “හේදීසය” යන ග්‍රීක් වචනයටත් ඇත්තේ එකම අදහස බව බයිබලයෙන් පැහැදිලි කරගත හැක්කේ කෙසේද? (ආ) මරණ නින්දෙහි පසුවන අය ගැන තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

9 සියවස් ගණනාවකට පසුව දාවිත්ව ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍ර 12හි රජු හැටියට පත් කරනු ලැබුවා. දාවිත් මියගිය විට ඔහු ‘තමන් පියවරුන් සමඟ සැතපුණු’ බව සඳහන් වෙනවා. (1 රාජාවලිය 2:10) ඔහුත් මරණ නින්දෙහි පසු වෙනවාද? මෙය පැහැදිලි කිරීමට ප්‍රේරිත පේතෘස් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී පැවසූ දේ සලකා බැලීම වටිනවා. දාවිත්ගේ මරණය ගැන කතා කළ ඔහු “ඔබ මාගේ ආත්මය ෂෙයෝලයෙහි තිබෙන්ට නාරින්නේය” යන බයිබල් පදය උපුටා දක්වමින් දාවිත් තවමත් සොහොනෙහි මරණ නින්දේ පසුවන බව සඳහන් කළා. (ගීතාවලිය 16:10) ඉන් පසුව පේතෘස් එම පදය යේසුස්ට අදාළ කරමින් පැවසුවේ දාවිත් ‘ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටුවීම කලින් දැක ඒ ගැන කතා කළ’ බවයි. ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. දාවිත් “ක්‍රිස්තුස්ව මිනී වළෙහි [හේදීසයේ, පාදසටහන] නැවතී සිටින්න ඉඩහරිනු නොලැබූ බවත් ඔහුගේ මාංසය කුණු වූයේ නැති බවත් කීවේය මෙම යේසුස්ව දෙවි නැවත නැඟිටෙවුවේය. සැබෑ වූ එම කාරණය ගැන අපි සියල්ලෝම සාක්ෂිකරුවෝ වන්නෙමු.” (ක්‍රියා 2:29-32) පේතෘස් ග්‍රීක භාෂාවෙන් “හේදීසය” යන වචනය භාවිත කළා. එම වචනය “ෂෙයෝලය” යන හෙබ්‍රෙව් වචනයට සමානයි. එම නිසා ෂෙයෝලය සහ හේදීසය යන වචන දෙකම මියගිය අය නැවත නැඟිටීමක් බලාපොරොත්තුවෙන් මරණ නින්දෙහි පසුවන බව දැක්වීමට යොදාගනු ලබනවා.

අධර්මිෂ්ඨයන් ගැන කුමක් කිව හැකිද?

10, 11. අධර්මිෂ්ඨයනුත් මරණ නින්දෙහි පසුවන බව අපට පැවසිය හැක්කේ කිනම් උදාහරණවලින්ද?

10 අධර්මිෂ්ඨයන් මියගිය විට සිදු වන දේ දැනගැනීම සඳහා බයිබලයෙන් උදාහරණ කිහිපයක් සලකා බලමු. මෝසෙස් ඊශ්‍රායෙල් ජාතියව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන කාන්තාරයෙහි ගමන් කරන අතරතුරේදී කෝරා, දාතාන් සහ අබිරාම් යන තිදෙනාගේ මූලිකත්වයෙන් මෝසෙස්ට විරුද්ධව කැරැල්ලක් හටගත්තා. කැරලිකාරයන්ගෙන් වෙන්වීමට උපදෙස් දුන් මෝසෙස් ඊශ්‍රායෙල් ජනතාවට මෙසේ පැවසුවා. “මේ මනුෂ්‍යයෝ සියලු මිනිසුන්ට පැමිණෙන සාමාන්‍ය මරණයකින් මියයන්නෝ නම් නොහොත් සියලු මිනිසුන්ට සිද්ධ වන ලෙස ඔවුන්ට සිද්ධ වන්නේ නම් යෙහෝවා මා නොඑව්වේය; එහෙත් යෙහෝවා අලුත් දෙයක් කරන්නේ නම් භූමිය ඇගේ මුඛය ඇර ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගන්නී නම් ඔවුහු පණපිටින් පාතාලයට [හෙබ්‍රෙව්, ෂෙයෝලයට] යන්නෝ නම් යෙහෝවා මේ මනුෂ්‍යයන් විසින් හෙළා දක්නා ලද බව ඔබ තේරුම්ගන්නහුය.” (ගණන් කතාව 16:29, 30) කෝරා සහ ඔහුගේ පැත්ත ගත් ලෙවීවරුන් 250දෙනා මියගියේ ස්වර්ගයෙන් එවූ ගින්නක් මාර්ගයෙනුයි. අනික් කැරලිකාරයන් සියලුදෙනාව පොළොව මගින් ගිලගනු ලැබුවා. මෙසේ මෝසෙස් පැවසූ ලෙස ඔවුන්ට අත් වූයේ සාමාන්‍ය මරණයක් නොවෙයි. ඒ වුණත් ඔවුනුත් මරණ නින්දෙහි පසුවන බව කියන්න පුළුවන්.—ගණන් කතාව 26:10.

11 තවත් උදාහරණයක් සලකා බලන්න. දාවිත් රජුගේ කාලයේ ඔහුගේ විරුද්ධකාරයෙකු වූ ෂිමෙයිට දඬුවම් දීම සම්බන්ධයෙන් තම පුත් සලමොන්ට දාවිත් මෙසේ උපදෙස් දුන්නා. “ඔහුට දඬුවම් නොකර නාරින්න; ඔබ [නැණවත්] මිනිසෙකු බැවින් ඔහුට කළ යුතු දේ කුමක්දැයි ඔබ දන්නෙහිය. ඔහුගේ මහලු වයසේදී ලේ වගුරුවා මැරෙන්න [හෙබ්‍රෙව්, ෂෙයෝලයට යන්න] සලස්වන්න.” මෙය ඉටු කරමින් ඔහුව ඝාතනය කිරීමට සලමොන් බෙනායාට අණ කළා. (1 රාජාවලිය 2:8, 9, 44-46, න.අ.) මේ හා සමාන ඉරණමක් ඊශ්‍රායෙලයේ හිටපු දුෂ්ට සෙන්පති යෝවබ්ටත් අත් වුණා. “ඔහුට මහලු වයසේදී සැනසිල්ලෙන් මැරෙන්න [හෙබ්‍රෙව්, ෂෙයෝලයට යන්න] ඉඩ” ලැබුණේ නැහැ. බෙනායා ඔහුවත් ඝාතනය කළා. (1 රාජාවලිය 2:5, 6, 28-34, න.අ.) මෙම සිදුවීම් දෙකින්ම දාවිත් දේවානුභාවයෙන් රචනා කළ ගීතිකාවක සත්‍යතාව ඔප්පු වෙනවා. ඒ “දුෂ්ටයෝ, එනම් දෙවි මතක නැති කරන සියලු ජාතීහු ෂෙයෝලයට හැරී යන්නෝය” කියායි. (ගීතාවලිය 9:17) මෙම දුෂ්ට අයව ඝාතනය කළත් ඔවුන්ද මරණ නින්දෙහි පසුවන බව මින් පැහැදිලියි.

12. අහිතොපෙල් කියන්නේ කවුද? ඔහුගේ මරණයේදී සිදු වූයේ කුමක්ද?

12 දාවිත්ගේ උපදේශකයෙකු වූ අහිතොපෙල් සම්බන්ධයෙන් සිදු වූ දේද සලකා බලමු. දාවිත් ඔහු කෙරෙහි කොතරම් විශ්වාසය තැබුවාද කියනවා නම්, ඔහු දුන් උපදෙස් යෙහෝවා දෙවිගෙන් ලැබෙන උපදෙස් හැටියටයි දාවිත් සැලකුවේ. (2 සාමුවෙල් 16:23) කනගාටුවට කරුණක් නම්, මේ විශ්වාසවන්ත සේවකයා ද්‍රෝහී වී දාවිත්ගේ පුත් අබ්සලොම්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එකතු වීමයි. සිදු වූ දේ ගැන දුක් වූ දාවිත් මෙසේ ලිව්වා. “මට නින්දා කළේ සතුරෙක් නොවේ; එසේ වී නම් ඉවසන්ට පුළුවන්කම තිබුණේය; මට විපක්ෂව තමාම උසස් කරගත්තේ මට වෛර වූ තැනැත්තේ නොවේ; එසේ වී නම් ඔහු කෙරෙන් සැඟවී යන්ට තිබුණේය. . . . මරණය ඔවුන්ට හදිසියෙන් පැමිණේවා; ඔවුහු පණපිටින් වළට [ෂෙයෝලයට] බසිත්වා; මක්නිසාද ඔවුන් මැද ඔවුන්ගේ වාසස්ථානය දුෂ්ටකම ඇත.” (ගීතාවලිය 55:12-15) මේ අනුව අහිතොපෙල් සහ ඔහුගේ සගයන්ද මියගොස් මරණ නින්දෙහි පසුවන බව කිව හැකියි.

ගෙහෙන්නාව කීමෙන් අදහස් වන්නේ කුමක්ද?

13. යූදස්ට “විනාශයේ පුත්‍රයා” කියා කියන්නේ ඇයි?

13 මිනිසුන්ගේ මරණය ගැන කතා කරද්දී බයිබලයේ භාවිත කරන තවත් වචනයක් නම් ගෙහෙන්නාවයි. එම වචනය ශ්‍රේෂ්ඨ දාවිත් වූ යේසුස්ට ද්‍රෝහී වූ යූදස් ඉස්කාරියොත්ගේ මරණයට අදාළ වන ආකාරය සලකා බලන්න. යේසුස්ගේ ප්‍රේරිතයෙකු වූ ඔහු කළ ද්‍රෝහීකම අහිතොපෙල් කළ දේට වඩා බරපතළ දෙයක් වුණා. යූදස් ක්‍රියා කළේ දෙවිගේ ඒකජාතක පුත්‍රයාට විරුද්ධවයි. යේසුස් තම අවසාන රාත්‍රියේ දෙවිට යාච්ඤා කරද්දී මෙවැනි දෙයක් පැවසුවා. “මා ඔවුන් සමඟ සිටියදී, ඔබ මට දුන් ඔබේ නාමය නිසා මම ඔවුන්ව ආරක්ෂා කළෙමි. මම ඔවුන්ව පරෙස්සම් කළෙමි. ශුද්ධ ලියවිලි පාඨය ඉටු වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙකු විනාශ නොවීය.” (යොහන් 17:12) මෙහිදී යූදස්ව හඳුන්වන්නේ “විනාශයේ පුත්‍රයා” හැටියටයි. යේසුස් මින් අදහස් කළේ යූදස් මියගිය විට ඔහුව නැවත නැඟිටුවනු නොලබන බවයි. දෙවි ඔහුව සිහි කරන්නේ නැහැ. එමනිසා ඔහුගේ මරණය ගැන කතා කරද්දී ෂෙයෝලය නොව ගෙහෙන්නාව යන්න අදාළ වෙනවා. ගෙහෙන්නාව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

14. ගෙහෙන්නාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

14 “ගෙහෙන්නාව” යන වචනයේ තේරුම “හින්නොම්ගේ නිම්නය” යන්නයි. යේසුස්ගේ කාලයේ සිටි මිනිසුන්ට මෙය හුරුපුරුදු වචනයක්. ඊට හේතුව හින්නොම්ගේ නිම්නය භාවිත කළේ නගරයේ කුණු කසළ පුලුස්සන ස්ථානයක් ලෙසයි. ඝාතනය කරනු ලැබූ අපරාධකාරයන්ගේ මළ සිරුරුද මෙහි පුලුස්සනු ලැබුවා. එයට හේතුව ඔවුන්ව සොහොනක තැන්පත් කිරීමට නොවටිනවායයි සැලකූ නිසයි. යේසුස් සිය කන්ද උඩ දේශනාවේදීත් ගෙහෙන්නාව ගැන සඳහන් කළා. (මතෙව් 5:29, 30) පසු අවස්ථාවකදී ඒ කාලයේ විසූ ආගමික නායකයන්ව හෙළා දකිමින් ඔහු පැවසුවේ මෙම නායකයන් තම ආගමට හරවාගත් අය ‘ගෙහෙන්නාවට සුදුස්සන්’ බවට පත් කරන බවයි. (මතෙව් 23:15) එම වචනය භාවිත කිරීමෙන් යේසුස් අදහස් කළ දේ, අසා සිටි අයට පැහැදිලි වුණා. ගෙහෙන්නාව යන්නෙන් සම්පූර්ණ විනාශයක් අදහස් වන අතර යමෙකුගේ මරණය සම්බන්ධයෙන් එය භාවිත වෙනවා නම් එවැනි කෙනෙකුට නැවත ජීවත් වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගෙහෙන්නාව යන්න යූදස් ඉස්කාරියොත්ගේ මරණයට අදාළ වන බව පැහැදිලියි. නමුත් මෙම වචනය තවත් අයගේ මරණයට අදාළ වෙනවාද?

15, 16. ගෙහෙන්නාව යන වචනය භාවිත වන්නේ කාගේ මරණ සම්බන්ධයෙන්ද? ඊට හේතුව පැහැදිලි කරන්න.

15 පළමු මනුෂ්‍ය යුවළ වූ ආදම් සහ ඒව තුළ කිසි පාපයක් තිබුණේ නැහැ. ඔවුන් ඉදිරියේ සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව තිබුණා. නමුත් ඔවුන් හිතාමතාම දෙවිට අකීකරු වෙමින් සාතන්ගේ පැත්ත ගත්තා. යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න ඔවුන්ට බැහැ. එම නිසා ඔවුන්ට උරුම වුණේ සදාකාලික ජීවනය නොව සදාකාලික මරණයයි. ගෙහෙන්නාව යන්න ඔවුන්ගේ මරණය සම්බන්ධයන් භාවිත කරන්නේ එනිසයි.

16 ආදම්ගේ වැඩිමල් පුත් කායින් ගැන කුමක් කිව හැකිද? ඔහු තම සහෝදරයා වූ ආබෙල්ව මරා දැම්මා. පසුව ඔහුව පිටුවහල් කරනු ලැබුවා. කායින් ගැන කතා කරමින් ප්‍රේරිත යොහන් පැවසුවේ ඔහු සාතන් නම් “දුෂ්ටයාගෙන් වූ” කෙනෙකු බවයි. (1 යොහන් 3:12) එම නිසා ඔහුගේ දෙමාපියන් මෙන් ඔහුගේ මරණය සම්බන්ධයෙන් ගෙහෙන්නාව භාවිත වන බව සිතීම සාධාරණයි. (මතෙව් 23:33, 35) කායින්ට වඩා වෙනස්ව ආබෙල් ගත කළේ ධර්මිෂ්ඨ ජීවිතයක්. මේ ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා වටිනා පූජාවක් දෙවිට ඔප්පු කළේය. ඒ ඇදහිල්ල නිසා දෙවි ඔහුගේ පඬුරු ගැන සාක්ෂි දුන් බැවින්, ඔහු ධර්මිෂ්ඨයෙකු බවට ඔහුට සාක්ෂියක් ලැබිණ. ඔහු මිය ගියත්, ඒ ඇදහිල්ල මාර්ගයෙන් ඔහු තවම කතා කරන්නේය.” (හෙබ්‍රෙව් 11:4) මරණ නින්දෙහි පසු වන ආබෙල්ටත් නැවත නැඟිටීමක් ඇති බව මින් පැහැදිලි වෙනවා.

“පළමුවන” නැවත නැඟිටීම සහ “වඩා උතුම්” නැවත නැඟිටීමක්

17. (අ) මෙම ‘අන්තිම කාලයේ’ මියයන අයට සිදු වන්නේ කුමක්ද? ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට ඇති බලාපොරොත්තුව කුමක්ද? (ආ) තම මරණයට ෂෙයෝලය යන්න භාවිත වන්නන්ට සහ ගෙහෙන්නාව යන්න භාවිත වන අයට කුමක් බලාපොරොත්තු විය හැකිද?

17 මේ ‘අන්තිම කාලයේ’ මියයන අයට කුමක් සිදු වෙනවාදැයි මෙම ලිපිය කියවන බොහෝදෙනෙකුගේ හිතේ පැනනඟින ප්‍රශ්නයක් විය හැකියි. (දානියෙල් 8:19) අන්තිම කාලයේ සිදුවීම් ගැන බොහෝ තොරතුරු පළ කරන එළිදරව් පොතේ 6වන පරිච්ඡේදයේ අසරුවන් හතරදෙනෙකුගේ ගමන ගැන විස්තර සපයනවා. මෙම අසරුවන්ගෙන් අන්තිම කෙනාගේ නාමය මරණය වන අතර ඔහු පිටුපසින් හේදීසය ගමන් කරන බවත් සඳහන් වෙනවා. මෙහිදී හේදීසය භාවිත කරන්නේ අකාලයේ මියගිය අයගේ තත්වය විස්තර කිරීමටයි. ඔවුන් අකාලයේ මියයන්නේ කලින් සඳහන් කළ අසරුවන්ගේ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසටයි. එනමුත් දෙවි පොරොන්දු වන අලුත් ලෝකයේදී මේ අයගෙන් බොහෝදෙනෙකුව නැවත නැඟිටුවනු ලබයි. (එළිදරව් 6:8) මේ අනුව බලන කල ෂෙයෝලය (හේදීසය) භාවිත වෙද්දී මරණ නින්දෙහි පසුවන අයට නැවත නැඟිටීමක් තිබෙනවා. එනමුත් කෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ගෙහෙන්නාව භාවිත වෙද්දී එවැනි කෙනෙකුට නැවත නැඟිටීමක් ලැබෙන්නේ නැහැ. ඔහුට සදාකාල විනාශයක් හිමි වෙයි.

18. “පළමුවන නැවත නැඟිටීම” ලබන අයට හිමි වන්නේ කුමක්ද?

18 දැන් ප්‍රේරිත යොහන් නැවත නැඟිටීම ගැන පැවසූ දෙයක් සලකා බලමු. ඔහු පැවසුවේ “පළමුවන නැවත නැඟිටීමට පංගුකාරකමක් ඇති තැනැත්තා සන්තෝෂවත්ය, ශුද්ධය. දෙවන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත. ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය; අවුරුදු දහස පුරා ඔහු සමඟ රජකම් කරන්නෝය.” ක්‍රිස්තුස් සමඟ පාලනයට හවුල් වන අයට “පළමුවන නැවත නැඟිටීම” හිමි වන බව මෙයින් පැහැදිලි වෙනවා. නමුත් සෙසු මිනිසුන්ට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?—එළිදරව් 20:6.

19. ඇතැම් අය “වඩා උතුම් නැවත නැඟිටීමක්” ලබන්නේ කෙසේද?

19 දෙවිගේ සේවකයන් වූ එලියාගේ සහ එලිෂාගේ කාලයේ සිටම නැවත නැඟිටීමේ ආශ්චර්යය මගින් ඇතැම් මිනිසුන් ආශීර්වාද ලැබුවත් පසු කාලයේදී ඔවුන් නැවතත් මියගියා. ඔවුන් ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “නැවත නැඟිටීම මාර්ගයන් ස්ත්‍රීන්ට තම මළවුන්ව නැවත ලැබිණ. නමුත් තවත් අය ඊට වඩා උතුම් නැවත නැඟිටීමක් ලබන පිණිස, මිදීමේ මිලයකින් නිදහසක් පිළි නොගෙන වධ වින්දෝය.” මින් පැහැදිලි වන්නේ දෙවිට විශ්වාසවන්තව සිටි අයට කිසිදා නැවත මිය නොයෑමේ බලාපොරොත්තුව ඇති නැවත නැඟිටීමක් තිබෙන බවයි. ඔවුන්ට ලැබෙන්නේ සදාකාල ජීවනයයි! මෙය “වඩා උතුම් නැවත නැඟිටීමක්” වනවා නිසැකයි.—හෙබ්‍රෙව් 11:35.

20. ඊළඟ ලිපියේ සාකච්ඡා කරන තොරතුරු මොනවාද?

20 යෙහෝවා මෙම දුෂ්ට සමාජ ක්‍රමය විනාශ කිරීමට පෙර අප ඔහුට විශ්වාසවන්තව මියගියොත් “වඩා උතුම් නැවත නැඟිටීමක්” ලැබෙයි කියා අපටත් බලාපොරොත්තු විය හැකියි. එය වඩා උතුම් වන්නේ සදාකාල ජීවනයේ ප්‍රස්තාව අප ඉදිරියේ තිබෙන නිසයි. යේසුස් පොරොන්දු වුණේ මෙසෙයි. “මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. . . . [ඔවුහු] පිටතට එන්නෝය.” (යොහන් 5:28, 29) මීළඟ ලිපියේ නැවත නැඟිටීම අපට බලපාන ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමටත්, ආත්ම පරිත්‍යාගශීලී ස්වාභාවයකින් සේවය කිරීමටත් එය අපව පොලඹවන ආකාරය සලකා බලමු.

ඔබට මතකද?

• යෙහෝවාව “ජීවතුන්ගේ” දෙවි ලෙස හඳුන්වා තිබෙන්නේ ඇයි?

• ෂෙයෝලය භාවිත කරන්නේ කවුරුන් සම්බන්ධයෙන්ද?

• ගෙහෙන්නාව භාවිත කරන්නේ කවුරුන් සම්බන්ධයෙන්ද?

• ඇතැම් අයට “වඩා උතුම් නැවත නැඟිටීමක්” හිමි වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් මෙන් මරණ නින්දෙහි පසු වන අයට නැවත නැඟිටීමක් තිබෙනවා

[16වන පිටුවේ පින්තූර]

ආදම්, ඒව, කායින් සහ යූදස් ඉස්කාරියොත් යන අයගේ මරණ සම්බන්ධයෙන් ගෙහෙන්නාව භාවිත වන්නේ ඇයි?