Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“දරුවන් බිහි කිරීම තුළින් ඔවුන්ට ආරක්ෂාව සැලසෙනු ඇත” කියා ක්‍රිස්තියානි භාර්යාවන් ගැන පාවුල් ලීවේ ඇයි?—1 තිමෝති 2:15.

මෙම පදයේ අවට පාඨ සම්බන්ධය පාවුල් අදහස් කළ දෙය ගැන කියාපාන්නේ කුමක්ද? මේ අවස්ථාවේදී දේවානුභාවයෙන් ලියමින් සිටි ඔහු, ක්‍රිස්තියානි සභාවේ සිටින ස්ත්‍රීන්ට තිබෙන වැඩ කොටස සම්බන්ධයෙන් උපදෙස් දෙමිනුයි සිටියේ. ඔහු මෙසේ ලියුවා. “ස්ත්‍රීන් විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිනවාට මම කැමැත්තෙමි. කොණ්ඩ මෝස්තරවලින්වත් රනින්වත් මුතුවලින්වත් ඉතා මිල අධික වස්ත්‍රවලින්වත් නොව, දෙවිට භක්තිවන්තව සිටින බව ප්‍රකාශ කරන ස්ත්‍රීන්ට ඔබින ආකාරයට යහපත් ක්‍රියා තුළින් සැරසී සිටිනවාට කැමැත්තෙමි.” (1 තිමෝති 2:9, 10) පාවුල් තම ක්‍රිස්තියානි සහෝදරියන්ට උනන්දු කරමින් සිටියේ විනීත ලෙස හැසිරෙන ලෙසටයි. චාම් ආකාරයකින් ඇඳ පැළඳ සිටීමටයි. එමෙන්ම යහපත් ක්‍රියාවලින් “සැරසී” සිටින ලෙසයි.

ඊළඟට පාවුල් සභාවේ මූලිකත්වය පිළිබඳ විධිවිධානය ගැන පැහැදිලි කරමින් ලිව්වේ මෙයයි. “නිශ්ශබ්දව සිටීමට මිස, ඉගැන්වීමටවත් පුරුෂයා කෙරෙහි අධිකාරිය ඇතිව සිටීමටවත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි.” (1 තිමෝති 2:12; 1 කොරින්ති 11:3) මෙම විධිවිධානය ස්ථාපිත කිරීමට හේතුව විස්තර කරමින් ඔහු පැවසුවේ සාතන්ට රැවටුණේ ආදම් නොව නමුත් ඒව කියායි. ඇය “සම්පූර්ණයෙන්ම රැවටී වරදට වැටුණාය.” ඒව කළා හා සමාන වැරදි කිරීමෙන් වැළකී සිටීමට ක්‍රිස්තියානි ස්ත්‍රියකට හැක්කේ කෙසේද? පාවුල් පිළිතුරු දෙයි. “එහෙත් ස්ත්‍රීන් දිගටම ඇදහිල්ලෙන්ද ප්‍රේමයෙන්ද ශුද්ධකමින්ද හොඳ සිහිකල්පනාවෙන් යුක්තව සිටිනවා නම්, දරුවන් බිහි කිරීම තුළින් ඔවුන්ට ආරක්ෂාව සැලසෙනු ඇත.” (1 තිමෝති 2:14, 15) පාවුල් මෙයින් අදහස් කළේ කුමක්ද?

ස්ත්‍රියකගේ ගැලවීම රඳාපවතින්නේ දරුවන් බිහි කිරීම මතයි යන අදහස සමහර බයිබල් පරිවර්තකයන් ලබා දෙන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේවෙතත් පාවුල්ගේ වදන්වලට මෙය නිවැරදි අර්ථකථනයක් නොවේ. ඊට හේතුව ගැලවීම ලබන්නට නම් කෙනෙක් යෙහෝවා දෙවිව දැන හඳුනා ගත යුතු බවත්, යේසුස්ව විශ්වාස කළ යුතු බවත්, ඇදහිල්ල ක්‍රියාවෙන් පෙන්විය යුතු බවත් බොහෝ බයිබල් පදවල පැහැදිලිව පෙන්වා තිබෙන නිසයි. (යොහන් 17:3; ක්‍රියා 16:30, 31; රෝම 10:10; යාකොබ් 2:26) ඒ විතරක් නොවෙයි, ඇදහිලිවන්ත කාන්තාවන්ට කිසිම කරදරයකින් තොරව දරු ප්‍රසූතිය සිදු වන බව පාවුල් අදහස් කළේ නැහැ. ඇදහිලිවන්ත මෙන්ම නොඇදහිලිවන්ත යන දෙපක්ෂයේම කාන්තාවන්ට කිසිම කරදරයකින් තොරව දරුවන් බිහි වී තිබෙනවා. ඒ වගේම කනගාටුවට කරුණක් වන්නේ, ඇදහිලිවන්ත මෙන්ම නොඇදහිලිවන්ත කාන්තාවන්ද දරු ප්‍රසූතියේදී මිය ගොස් තිබීමයි.—උත්පත්ති 35:16-18.

පාවුල් ලියූ මෙම ලිපියේම පසු අවස්ථාවකදී කාන්තාවන් සම්බන්ධයෙන් දෙන උපදෙස්වලින් අදහස් කළ දෙය තේරුම්ගන්න අපට උපකාරවත් වෙනවා. ඔහු වයසින් අඩු ඇතැම් වැන්දඹුවන් ගැන අනතුරු අඟවන්නේ මෙලෙසයි. “ඔවුහු නිකරුණේ ගෙයින් ගෙට ඇවිදිමින්, කාලය නාස්ති කරන්න ඉගෙනගනිති. එසේය, කාලය නාස්ති කරන්න පමණක් නොව, ඔවුන් කතා නොකළ යුතු දේ ගැන කතා කරමින්, ඕපාදූප කියන්නියන් වීමටත්, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන්නියන් වීමටත් ඉගෙනගනිති.” පාවුල් මෙවැනි අයට දුන් උපදෙස කුමක්ද? ඔහු කීවේ “යෞවන වැන්දඹුවන් විවාහ වනවාටත්, දරුවන් ලබනවාටත්, ගේ දොර බලා කියා ගන්නවාටත්, නිග්‍රහ කිරීමට කිසි පෙලඹවීමක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි” කියායි.—1 තිමෝති 5:13, 14.

පවුල් විධිවිධානය තුළ කාන්තාවන්ට තිබෙන ප්‍රයෝජනදායක වැඩකොටස පාවුල් හුවා දක්වයි. ‘දරුවන් බිහි කිරීම සහ ගේ දොර බලා කියා ගැනීම’ වැනි වැඩකටයුතු සමඟම “දිගටම ඇදහිල්ලෙන්ද ප්‍රේමයෙන්ද ශුද්ධකමින්ද හොඳ සිහිකල්පනාවෙන් යුක්තව සිටින” කාන්තාවක් දිරිගන්වනසුලු නොවන දේවල් වෙතට පහසුවෙන් ඇදී යන්නේ නැහැ. එසේ කිරීමෙන් ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමට ඇයට හැකි වෙයි. එය ඇයට ‘ආරක්ෂාවක්’ වෙයි. (1 තිමෝති 2:15) සාතන්ගේ උගුල්වලින් වැළකී සිටීමට මෙමගින් බොහෝ තරුණ කාන්තාවන්ට හැකි වෙයි.

පාවුල් තිමෝතිට ලියූ වදන් කාන්තාවන් සහ පුරුෂයන් වන අප සියලුදෙනාටම සිහි කරන්නේ ප්‍රයෝජනදායක දේවල්වල නියැලී සිටීමටයි. දේවවචනය සියලුම ක්‍රිස්තියානීන්ට දෙන උපදෙස මෙයයි. “ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න.”—එෆීස 5:15.