Skip to content

පටුනට යන්න

මළවුන් නැවත නැඟිටුවනු ලබන බව ඔබට කොතරම් විශ්වාසද?

මළවුන් නැවත නැඟිටුවනු ලබන බව ඔබට කොතරම් විශ්වාසද?

මළවුන් නැවත නැඟිටුවනු ලබන බව ඔබට කොතරම් විශ්වාසද?

“ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන බව . . . මමත් දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිමි.”—ක්‍රියා 24:15.

1. නැවත නැඟිටීම පිළිබඳ කාරණය නිසා සැන්හෙඩ්‍රිනය තුළ ආරවුලක් ඇති වුණේ කෙසේද?

පාවුල් ඔහුගේ තුන්වන මිෂනාරී ගමන අවසන් කර යෙරුසලමේ සිටින විට සිදු වූ දෙයක් සලකා බලමු. මෙය සිදු වුණේ ක්‍රිස්තු වර්ෂ 56දීයි. රෝමවරුන් පාවුල්ව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට යුදෙව් මහාධිකරණය වන සැන්හෙඩ්‍රිනය ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාවක් ලැබුණා. (ක්‍රියා 22:29, 30) වට පිට බලන විට පාවුල් දුටුවා එහි සද්දුසිවරුන් සහ පරිසිවරුන් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම එක් විශේෂ කාරණයක් සම්බන්ධයෙන් එකඟ වුණේ නැති බව ඔහු දැන සිටියා. ඒ, නැවත නැඟිටීම පිළිබඳ කාරණයයි. සද්දුසිවරුන් නැවත නැඟිටීමක් විශ්වාස නොකළ අතර පරිසිවරු එය විශ්වාස කළා. ඒ කාරණය ගැන තමා විශ්වාස කළ දෙය පාවුල් විස්තර කළේ මෙසේයි. “පුරුෂයෙනි, සහෝදරයෙනි, මම පරිසිවරයෙක් වෙමි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක් වෙමි. මාව විනිශ්චය කරනු ලබන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැනය.” පාවුල් පැවසූ මේ දෙය නිසා රැස්ව සිටි අය අතර මහත් ආරවුලක් හටගත්තා.—ක්‍රියා 23:6-9.

2. පාවුල් නැවත නැඟිටීම පිළිබඳව තමා විශ්වාස කළ දෙය ගැන කතා කිරීමට සූදානම්ව සිටීමට හේතුව කුමක්ද?

2 පාවුල් නැවත නැඟිටීම පිළිබඳව තමා විශ්වාස කළ දෙය ගැන කතා කිරීමට සූදානම්ව සිටීම පුදුමයක් නොවෙයි. (1 පේතෘස් 3:15) ඊට හේතුව වසර කිහිපයකට කලින් ඔහු දමස්කයට යන අවස්ථාවේදී නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඔහුට දර්ශනය වී ඔහු සමඟ කතා කිරීමයි. ඒ අවස්ථාවේදී පාවුල් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “ස්වාමිනි, මා කුමක් කිරීමට අවශ්‍යද?” එවිට යේසුස් උත්තර දුන්නේ, “නැඟිට, දමස්කයට යන්න. ඔබට කිරීමට නියමිත සියල්ල එහිදී ඔබට කියනු ලැබේ” කියායි. පාවුල් දමස්කයට පැමිණි විට යේසුස්ගේ ගෝලයෙක් වන අනනියස් පාවුල්ව සොයාගෙන ඇවිත් ඔහුට මෙසේ පැවසුවා. “අපේ මුතුන්මිත්තන්ගේ දෙවි, තමාගේ කැමැත්ත දැනගන්නත් ධර්මිෂ්ඨ තැනැත්තාව [එනම් නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ව] දකින්නත්, ඔහුගේ කටහඬ අසන්නත් ඔබව තෝරාගෙන තිබේ.”—ක්‍රියා 22:6-16.

නැවත නැඟිටීම ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම

3, 4. නැවත නැඟිටීම පිළිබඳව පාවුල් නිසැකකමකින් යුතුව කතා කළ ආකාරය විස්තර කරන්න. ඔහුගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

3 පසු කාලයකදී පාවුල්ට සිදු වුණා ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා ඉදිරියේ පෙනී සිටින්න. ඒ අවස්ථාවේදී පාවුල්ට විරුද්ධව යුදෙව්වන් කළ චෝදනාව ටෙර්ටුලස් නම් “කථිකයෙකු” විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. පාවුල් යම් නිකායක නායකයෙකු බවත් කැරලි ඇති කරන්නෙකු බවත් ඔහු මෙහිදී කියා සිටියා. කිසිම පැකිලීමකින් තොරව පාවුල් එයට පිළිතුරු දුන්නේ මේ විදිහටයි. “මම මේ දේ ඔබ ඉදිරියෙහි පිළිගනිමි. එනම් ඔවුන් ‘නිකායක්’ ලෙස හඳුන්වන නමස්කාර පිළිවෙතට අනුව, මම මාගේ මුතුන්මිත්තන්ගේ දෙවිට පරිශුද්ධ සේවය පිරිනමමි.” ඉන් පසුව ඔහු ආරවුලට ලක් වූ කාරණය ගැන කතා කරමින් කියා සිටියේ, “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන බව මේ මිනිසුන් බලාපොරොත්තු වන්නාක් මෙන් මමත් දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිමි” කියායි.—ක්‍රියා 23:23, 24; 24:1-8, 14, 15.

4 මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට පමණ පසුව ෆීලික්ස්ගේ නිලයට පත් වූ පෝර්ෂස් ෆෙස්ටස්, සිරකරුවෙකු ලෙස සිටි පාවුල්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඊට සහභාගී වන ලෙස හෙරොද් අග්‍රිපා රජුට ආරාධනා කළා. ‘යේසුස් නම් මිය ගිය කෙනෙකු ජීවත්ව සිටින බව’ පාවුල් තරයේ කියා සිටි බවත්, ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ අය එය පිළි නොගන්නා බවත් ෆෙස්ටස්, අග්‍රිපා රජුට පැහැදිලි කළා. පාවුල් ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “දෙවි මළවුන්ව නැඟිටුවන බව විශ්වාස කළ නොහැකියයි ඔබ නිගමනය කර ඇත්තේ මන්ද?” ඉන් පසුව පාවුල් ඒ ගැන මෙසේ විස්තර කරනවා. “දෙවිගෙන් වන උපකාරය මා ලැබූ නිසා, මම අද දක්වා ලොකු කුඩා දෙපිරිසටම සාක්ෂි දරමින් සිටිමි. නමුත් මතු සිදු වනු ඇතැයි අනාගතවක්තෘවරුන්ද මෝසෙස්ද පැවසූ දේවල් හැර වෙන කිසිවක් මා කියා නැත. එනම්, ක්‍රිස්තුස් වධ විඳින්න යුතුව තිබුණු බවත්, ඔහු මළවුන්ගෙන් නැවත නැඟිටුවනු ලබන පළමුවැන්නා හැටියට මේ ජනයාට සහ අන්‍යජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීමට යන බවත්ය.” (ක්‍රියා 24:27; 25:13-22; 26:8, 22, 23) නැවත නැඟිටීම පිළිබඳව පාවුල් මොන තරම් නිසැකකමකින් යුතුව කතා කළාද! පාවුල් වගේ අපටත් පුළුවන් නැවත නැඟිටීම ගැන කිසිම සැකයකින් තොරව කතා කරන්න. නමුත් මිනිස්සු ඊට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? බොහෝ දුරට පාවුල්ගේ කාලයේ මිනිස්සු දැක්වූ ප්‍රතිචාරයට සමාන ප්‍රතිචාරයක් අපටත් බලාපොරොත්තු විය හැකියි.

5, 6. (අ) නැවත නැඟිටීම ගැන කතා කරමින් සිටි ප්‍රේරිතවරුන්ට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද? (ආ) නැවත නැඟිටීම ගැන විශ්වාසයකින් යුතුව කතා කිරීමට නම් අප කළ යුතු ඉතා වැදගත් දෙය කුමක්ද?

5 පාවුල්ගේ දෙවන මිෂනාරී ගමනේදී (ක්‍රි.ව. 49-52දී පමණ) සිදු වූ සමහර දේවල් ගැන සලකා බලමු. මේ අවස්ථාවේදී ඔහු සිටින්නේ ඇතන්ස් නුවරයි. බොහෝ දෙවි දේවතාවන්ව විශ්වාස කළ මිනිසුන් සමඟ කතා කරද්දී, දෙවි මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීම සඳහා මිනිසෙකු පත් කර තිබෙන බව සැලකිල්ලට ගන්නා මෙන් පාවුල් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මේ මිනිසා යේසුස්. මියගොස් සිටි යේසුස්ව නැවත නැඟිටුවීමෙන් දෙවි මේ පිළිබඳව සහතිකයක් දී තිබූ බව පාවුල් පැහැදිලි කළා. ඔහුට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද? “මළවුන්ගෙන් නැඟිටීමක් ගැන ඔවුන් ඇසූ විට, සමහරු සරදම් කරන්න පටන්ගත්හ. අන් අය, ‘මේ ගැන ඔබ කියන දේ අපි වෙන වෙලාවක අසන්නෙමු’ යයි කීවෝය.”—ක්‍රියා 17:29-32.

6 මීට අවුරුදු කිහිපයකට පෙර ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයෙන් ටික කලකට පසුව පේතෘස්ටත් යොහන්ටත් මීට සමාන ප්‍රතිචාරයක් ලැබුණා. මේ අවස්ථාවේ පැන නැඟුණු මතභේදයේදීත් මුල් තැන ගත්තේ සද්දුසිවරුයි. ක්‍රියා 4:1-4 සිදු වූ දෙය මෙසේ වාර්තා කරනවා. “ඔවුන් දෙදෙනා ජනයාට කතා කරමින් සිටියදී, නායක පූජකයෝද දේවමාලිගාවේ අධීක්ෂකයාද සද්දුසිවරුද ඔවුන් වෙතට කඩා වැදුණහ. මන්දයත්, ඔවුන් දෙදෙනා ජනයාට උගන්වමින්ද, යේසුස්ගේ නැවත නැඟිටීම උදාහරණයක් වශයෙන් ගෙන මළවුන්ගේ නැවත නැඟිටීම ගැන පැහැදිලිව ප්‍රකාශ කරමින්ද සිටි හෙයින් මොවුහු කුපිතව සිටියහ.” කෙසේවෙතත් තවත් සමහරු හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. ඒ ගැන වාර්තා වෙන්නේ මෙසේයි. “ඒ කතාවට සවන් දුන් අයගෙන් බොහෝදෙනෙකු අදහාගත් අතර, පුරුෂයන්ගේ ගණන පන්දහසක් පමණ දක්වා වැඩි විය.” නැවත නැඟිටීම ගැන අපට තිබෙන බලාපොරොත්තුව ගැන කතා කරද්දී මිනිස්සු එලෙසම විවිධ ප්‍රතිචාරයන් දක්වයි කියා අපටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මෙම ඉගැන්වීම සම්බන්ධයෙන් අපට තිබෙන විශ්වාසය ශක්තිමත් කරගැනීම ඉතා වැදගත්. එය ක්‍රිස්තියානීන් හැටියට අපගේ ඇදහිල්ලට සම්බන්ධ කාරණයක්.

නැවත නැඟිටීම අපගේ ඇදහිල්ලට සම්බන්ධ වන අයුරු

7, 8. (අ) පළමු ශතවර්ෂයේ කොරින්ති සභාවකට ලිවූ ලිපියක සඳහන් පරිදි ඇදහිල්ලෙන් පලක් නැතිවීමට හේතුව කුමක්ද? (ආ) නැවත නැඟිටීම ගැන නිවැරදි අවබෝධය නිසා සැබෑ ක්‍රිස්තියානීන්ව බොරු ක්‍රිස්තියානීන්ගෙන් වෙන් කර හඳුනාගත හැක්කේ කෙසේද?

7 පළමුවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් වූ සියලුදෙනාටම නැවත නැඟිටීම විශ්වාස කිරීම පහසු දෙයක් වුණේ නැහැ. මෙවැනි අය කොරින්ති සභාවෙත් සිටියා. පාවුල් ඔවුන්ට මෙසේ ලිව්වා. ‘මා මුලින්ම ඔබට භාර දුන්නේ මටත් ලැබුණු දේය. එනම්, ශුද්ධ ලියවිල්ලට අනුව ක්‍රිස්තුස් අපේ පාප උදෙසා මිය ගිය බවත්, ඔහුව භූමදාන කළ බවත්, එසේය, ශුද්ධ ලියවිල්ලට අනුව ඔහු තුන්වන දා මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ බවත්ය.’ මෙය සත්‍යයක් වූ බව ඔප්පු කිරීම සඳහා නැවත නැඟිටුවනු ලැබූ ක්‍රිස්තුස් “සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩිදෙනෙකු ඉදිරියේ එක විටම පෙනී සිටි” බව පාවුල් පැහැදිලි කළා. මේ සහෝදරයන්ගෙන් වැඩිදෙනෙක් ඒ වන විටත් ජීවතුන් අතර සිටියා. (1 කොරින්ති 15:3-8) ඔහු තවදුරටත් මෙසේ තර්ක කළා. “ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැඟිටුවනු ලැබුවේයයි දේශනා කරනවා නම්, මළවුන්ගේ නැවත නැඟිටීමක් නැතැයි ඔබ අතරේ සිටින සමහරුන් කියන්නේ කෙසේද? ඇත්තෙන්ම, මළවුන්ගේ නැවත නැඟිටීමක් නැත්නම් ක්‍රිස්තුස්ද මළවුන්ගෙන් නැඟිටුවනු ලැබුවේ නැත. එහෙත් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැඟිටුවනු නොලැබුවේ නම්, නිසැකවම අපේ දේශනා කිරීමෙන් පලක් නැත. අපේ ඇදහිල්ලෙන්ද පලක් නැත.”—1 කොරින්ති 15:12-14.

8 ඇත්තෙන්ම නැවත නැඟිටීම පිළිබඳ ඉගැන්වීම කොතරම් වැදගත් ඉගැන්වීමක්ද කිවහොත් එය සැබවින්ම සිදු වන දෙයක් හැටියට පිළිගනු ලැබුවේ නැත්නම් ක්‍රිස්තියානි ඇදහිල්ලෙන් පලක් නැහැ. නැවත නැඟිටීම පිළිබඳ නිවැරදි අවබෝධය තුළින් සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් බොරු ක්‍රිස්තියානීන්ව වෙන් කර හඳුනාගත හැකියි. (උත්පත්ති 3:4; ගීතාවලිය 146:3, 4) මේ නිසා සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම්වල “ප්‍රාථමික” හෙවත් මූලික ඉගැන්වීමක් හැටියට පාවුල් නැවත නැඟිටීමේ ඉගැන්වීමත් සඳහන් කරනවා. මේ ඉගැන්වීම් හොඳින් අවබෝධ කරගනිමින් ‘මේරූභාවය කරා ඉදිරියටම යෑම’ අපේ අධිෂ්ඨානය විය යුතුයි. දෙවි ඵම උත්සාහයට නිසැකවම ආශීර්වාද කරන බවත් පාවුල් කියා සිටියි.—හෙබ්‍රෙව් 6:1-3.

නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව

9, 10. නැවත නැඟිටුවීම ගැන බයිබලයේ සඳහන් කරන දෙයින් අදහස් කරන්නේ කුමක්ද?

9 නැවත නැඟිටීම සම්බන්ධයෙන් අපගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගැනීම සඳහා අපි මෙම ප්‍රශ්න සලකා බලමු. නැවත නැඟිටීම ගැන බයිබලයේ සඳහන් කරන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? නැවත නැඟිටීම පිළිබඳ ඉගැන්වීම යෙහෝවා දෙවිගේ ප්‍රේමය කැපී පෙනෙන්නට සලස්වන්නේ කොහොමද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්නා විට අප දෙවිට තවත් ළං වන අතර මෙම බලාපොරොත්තුව ගැන අන් අයටත් කියා දීමට අපට හැකි වෙනවා.—2 තිමෝති 2:2; යාකොබ් 4:8.

10 “නැවත නැඟිටුවීම” යන සිංහල යෙදුමේ ඊට අදාළ ග්‍රීක් වචනයේ මූලික අදහස ගැබ් වී තිබෙනවා. නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව බයිබලයේ විස්තර කර තිබෙන්නේ මිය ගොස් සිටින කෙනෙක් නැවත ජීවත් වන බවට තිබෙන ස්ථිර විශ්වාසයක් හැටියටයි. තවදුරටත් එහි සඳහන් වෙන්නේ මිය ගොස් සිටින එම පුද්ගලයාව නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට තිබෙන බලාපොරොත්තුවට අනුව බවයි. එනම් මනුෂ්‍යයෙකු හැටියට මේ පොළොවේ ජීවත් වීමට හෝ අදෘශ්‍යමාන කෙනෙකු ලෙස ස්වර්ගයේ ජීවත් වීමටයි. නැවත නැඟිටුවනු ලැබීම යන මෙම පුදුමාකාර බලාපොරොත්තුව තුළින් පිළිබිඹු වන යෙහෝවා දෙවිගේ ප්‍රේමය, ප්‍රඥාව සහ බලය ගැන අපි මවිතයට පත් වෙන්නේ නැද්ද?

11. දෙවිගේ අභිෂේක ලත් සේවකයන්ට තිබෙන්නේ නැවත නැඟිටීම පිළිබඳ කිනම් ආකාරයේ බලාපොරොත්තුවක්ද?

11 යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසුව ඔහුට ලැබුණේත් ඔහුගේ අභිෂේක ලත් සහෝදරයන්ගේ නැවත නැඟිටුවීමෙන් පසුව ඔවුන්ට ලැබෙන්නෙත් ස්වර්ගයේ සේවය කිරීම සඳහා සුදුසු අදෘශ්‍යමාන ස්වරූපයක්. (1 කොරින්ති 15:35-38, 42-53) යේසුස් සහ මෙම අභිෂේක ලත් සහෝදරයන් දේවරාජ්‍යයේ පාලකයන් හැටියට සේවය කරනු ඇති අතර එම රාජ්‍යය තුළින් මෙම පොළොව පාරාදීසයක් බවට පත් කරනු ලබයි. උත්තම පූජකයා වන යේසුස් යටතේ අභිෂේක ලත් අය රාජකීය පූජකයන් හැටියටද සේවය කරනවා. ප්‍රතිඵලයක් ලෙස පාරාදීස පොළොවේ ජීවත් වන මිනිසුන්ට ක්‍රමානුකූලව බොහෝ උපකාර ලැබෙයි. එයට පදනම වන්නේ යේසුස්ගේ ජීවිත පූජාවයි. (හෙබ්‍රෙව් 7:25, 26; 9:24; 1 පේතෘස් 2:9; එළිදරව් 22:1, 2) ඒ අතරතුරේදී අභිෂේක ලත් අයගෙන් තවමත් පොළොවේ ජීවත් වෙන ඉතිරි අය දිගටම දෙවි ඉදිරියේ පිළිගත හැකි තත්වයක සිටින්න උත්සාහ කරනවා. ඔවුන්ගේ මරණයෙන් පසුව අදෘශ්‍යමාන ස්වරූපයකින් ස්වර්ගයට නැවත නැඟිටුවනු ලැබීමෙන් ඔවුන්ට ඔවුන්ගේ “විපාකය” ලැබේවි. (2 කොරින්ති 5:1-3, 6-8, 10; 1 කොරින්ති 15:51, 52; එළිදරව් 14:13) “අපි ඔහුගේ මරණයට සමාන මරණයක් විඳීමෙන් ඔහු සමඟ එක් වී සිටිමු නම්, අප ඔහුගේ නැවත නැඟිටීමට සමාන නැවත නැඟිටීමක් අද්දැකීමෙන් ඔහු සමඟ එක් වන්නේමය” කියා පාවුල් ලිව්වා. (රෝම 6:5) නමුත් නැවත නැඟිට පොළොවේ ජීවත් වීමට බලාපොරොත්තු වන අය ගැන කුමක් කිව හැකිද? මෙම බලාපොරොත්තුව ඔවුන්ව දෙවිට වඩාත් සමීප කරවන්නේ කොහොමද? ආබ්‍රහම්ගේ ආදර්ශයෙන් අපට පුළුවන් බොහෝ දේවල් ඉගෙනගන්න.

නැවත නැඟිටීම සහ යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වය

12, 13. නැවත නැඟිටීම ගැන විශ්වාස කරන්න ආබ්‍රහම්ට තිබුණේ කිනම් ප්‍රබල හේතුවද?

12 ආබ්‍රහම්ව බයිබලයේ විස්තර කර තිබෙන්නේ “යෙහෝවාගේ මිත්‍රයා” ලෙසටයි. ඔහුට තිබුණේ විශිෂ්ට ඇදහිල්ලක්. (යාකොබ් 2:23) හෙබ්‍රෙව් පොතේ 11වන පරිච්ඡේදයේ ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන පාවුල් සඳහන් කළ විට ඔහු ආබ්‍රහම්ගේ ඇදහිල්ල ගැන තුන් වතාවක් කතා කළා. (හෙබ්‍රෙව් 11:8, 9, 17) තුන්වෙනි වතාවට ආබ්‍රහම්ගේ ඇදහිල්ල ගැන සඳහන් කරද්දී ඔහු කතා කළේ ආබ්‍රහම් තම පුත්‍රයා වූ ඊසාක්ව පූජා කිරීමට කීකරුව ඉදිරිපත් වෙද්දී දැක්වූ ඇදහිල්ල ගැනයි. ඊසාක් මාර්ගයෙන් තමාට වංශයක් දෙන බවට යෙහෝවා දෙවි දුන් පොරොන්දුව ගැන ආබ්‍රහම්ට දැඩි විශ්වාසයක් තිබුණා. ඊසාක්ව පූජා කිරීමට තමාට සිදු වුණත් “මළවුන්ගෙන් පවා ඔහුව නැඟිටුවන්න දෙවිට හැකි බව [ආබ්‍රහම්] නිගමනය කළේය.”

13 ආබ්‍රහම්ගේ ස්ථිර ඇදහිල්ල දුටු විට ඊසාක් වෙනුවට සතෙකුව පූජා කිරීමට යෙහෝවා ආබ්‍රහම්ට අවස්ථාව සලසා දුන්නා. මෙම අවස්ථාවේදී ඊසාක් මරණයෙන් ගැලවුණු නිසා සංකේතාත්මක ආකාරයකින් යෙහෝවා ඔහුව නැවත නැඟිට්ටුවා කියා පවසන්න පුළුවන්. පාවුල් මෙය මෙසේ පැහැදිලි කළා. “ඇත්තෙන්ම [ආබ්‍රහම්] සංකේතාත්මක ආකාරයකින් [ඊසාක්ව] මරණයෙන් නැවත ලබාගත්තේය.” (හෙබ්‍රෙව් 11:19) ඒ විතරක් නෙවෙයි, නැවත නැඟිටීම ගැන විශ්වාස කිරීමට ආබ්‍රහම්ට ඒ වන විටත් ප්‍රබල හේතුවක් තිබුණා. ඒ තමයි දරු පල නැතුව සිටි ආබ්‍රහම් සහ සාරාට මහලු වයසේදී දරුවෙකු බිහි කිරීමේ හැකියාව යෙහෝවා දෙවි ඔවුන්ට ලබා දී තිබීම.—උත්පත්ති 18:10-14; 21:1-3; රෝම 4:19-21.

14. (අ) හෙබ්‍රෙව් 11:9, 10ට අනුව ආබ්‍රහම් බලා සිටියේ කුමක්ද? (ආ) ආබ්‍රහම් පාරාදීස පොළොවේදී දේවරාජ්‍යයෙන් ආශීර්වාද ලබන්න නම් ඔහුට සිදු විය යුත්තේ කුමක්ද? (ඇ) අපට දේවරාජ්‍යයෙන් ආශීර්වාද ලබාගත හැක්කේ කොහොමද?

14 පාවුල් ආබ්‍රහම්ව විස්තර කරන්නේ විදේශිකයෙකු සහ කූඩාරම්වල වාසය කළ කෙනෙකු හැටියටයි. එමෙන්ම ආබ්‍රහම් “සැබෑ අත්තිවාරම් ඇති නුවර ගැන බලා සිටියේය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවි” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 11:9, 10) මෙය යෙරුසලම වගේ පොළොවේ තිබෙන නුවරක් නොවෙයි. යෙරුසලම දේවමාලිගාව පිහිටා තිබූ ස්ථානයයි. නමුත් ආබ්‍රහම් බලා සිටි නුවර සංකේතාත්මක එකක්. එය ස්වර්ගයේ පිහිටා ඇති දේවරාජ්‍යයයි. මෙය සෑදී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් සහ ඔහු සමඟ පාලනයේ හවුල් වන්නට යන 1,44,000දෙනාගෙනුයි. ස්වර්ගයේ ගෞරවනීය තත්වයක සිටින 1,44,000දෙනාව “ශුද්ධ නුවර වන නව යෙරුසලම” යනුවෙන්ද ක්‍රිස්තුස්ගේ “මනාලිය” යනුවෙන්ද හඳුන්වා තිබෙනවා. (එළිදරව් 21:2) වර්ෂ 1914දී යෙහෝවා දෙවි දේවරාජ්‍යයේ රජු ලෙසට යේසුස්ව පත් කරමින් යේසුස්ගේ සතුරන් මැද පාලනය කිරීමට ඔහුට අණ කළා. (ගීතාවලිය 110:1, 2; එළිදරව් 11:15) දේවරාජ්‍යය මගින් පොළොව පාලනය වන කාලයේදී එහි ආශීර්වාද ලබන්න නම් “යෙහෝවාගේ මිත්‍රයා” වූ ආබ්‍රහම් නැවත ජීවත් විය යුතුයි. ඒ හා සමානව අපටත් දේවරාජ්‍යයේ ආශීර්වාද ලැබෙන්න නම් අප මෙම දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානයෙන් බේරී ජීවත් වන මහත් සමූහයේ සාමාජිකයන් හැටියට හෝ මළවුන්ගෙන් නැවත නැඟිටුවනු ලබන අය හැටියට දෙවි ගෙනෙන පාරාදීස පොළොවෙහි ජීවත් විය යුතුයි. (එළිදරව් 7:9, 14) නමුත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපට ලැබී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද?

නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුවට පදනම වන දෙවිගේ ප්‍රේමය

15, 16. (අ) බයිබලයේ තිබෙන මුල් අනාවැකිය නැවත නැඟිටීම පිළිබඳ අපගේ බලාපොරොත්තුවට පදනම සපයන්නේ කොහොමද? (ආ) නැවත නැඟිටීම ගැන අපට ඇති විශ්වාසය අපව යෙහෝවා දෙවිට සමීප කරවන්නේ කෙසේද?

15 අපව ධර්මිෂ්ඨ අය හැටියට ගණන්ගනු ලැබීමට හා දෙවිගේ මිත්‍රයන් හැටියට සලකනු ලැබීමට ඉවහල් වන්නේ කුමක්ද? අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන් සමඟ අපට තිබෙන කිට්ටු සම්බන්ධය සහ ආබ්‍රහම්ගේ වගේ අපට තිබෙන ශක්තිමත් ඇදහිල්ල මෙන්ම දේවනීතිවලට අප දක්වන කීකරුකමයි. අප මෙසේ කරනවා නම් දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී ප්‍රයෝජන ලබන්න අපට හැකි වේවි. ඇත්ත වශයෙන්ම බයිබලයේ උත්පත්ති 3:15හි සඳහන් මුල්ම අනාවැකිය නැවත නැඟිටීමේ බලාපොරොත්තුවට සහ දෙවි සමඟ මිත්‍රත්වයට පදනම සපයා තිබෙනවා. එහි සාතන්ගේ හිස පොඩි කිරීම ගැන පමණක් නොවෙයි, දෙවිගේ ස්වර්ගික සංවිධානය නියෝජනය කරන ස්ත්‍රියගේ වංශයේ විලුඹ පොඩි කිරීම ගැනත් පුරෝකථනය කර තිබෙනවා. විලුඹ පොඩි කිරීම සිදු වුණේ වධකණුව මත යේසුස්ව මරනු ලැබූ විටයි. ඔහුව තුන්වන දවසේ නැවත නැඟිටුවනු ලැබීම විලුඹට සිදු වූ ඒ තුවාලය සුව වුණා හා සමානයි. මේ නිසා ඔහුට හැකි වෙනවා “මරණය ගෙන ඒමට බලය ඇති තැනැත්තාව එනම්, යක්ෂයාව නැති” කිරීම සඳහා ස්ථිර පියවර ගැනීමට.—හෙබ්‍රෙව් 2:14.

16 “දෙවි අපට තම ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම, ක්‍රිස්තුස් අප උදෙසා මිය යෑමෙනි” කියා පාවුල් අපට මතක් කරනවා. (රෝම 5:8) අපට දෙවි පෙන්වා තිබෙන මහත් කරුණාව වෙනුවෙන් අප තුළ තිබෙන කෘතඥතාව ඇත්තෙන්ම අපව යේසුස්ටත් අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන්ටත් තව තවත් ළං කරවනවා.—2 කොරින්ති 5:14, 15.

17. (අ) යෝබ් කුමන බලාපොරොත්තුව ගැනද සඳහන් කළේ? (ආ) යෝබ් 14:15හි යෙහෝවා ගැන හෙළි කරන්නේ කුමක්ද? ඒ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

17 නැවත නැඟිටීම ගැන බලා සිටි තවත් කෙනෙක්, යෝබ්. ඔහු ක්‍රිස්තියානි යුගයට පෙර ජීවත් වූ ඇදහිලිවන්ත මිනිසෙක්. සාතන් ඔහුට ගොඩාක් පීඩා කළා. යෝබ්ගේ බොරු යහළුවන් නැවත නැඟිටීම ගැන කතා කළේ නැතත් යෝබ් මෙම බලාපොරොත්තුව නිසා සහනයක් ලැබුවා. ඔහු මෙසේ ඇසුවා. “මනුෂ්‍යයෙක් නැසුණොත් නැවත ජීවත් වන්නේද?” ඔහුම එයට පිළිතුරු දෙමින් “මාගේ නිදහස පැමිණෙන තෙක් . . . බලා සිටින්නෙමි” යනුවෙන් පැවසුවා. තම දෙවි වූ යෙහෝවාව අමතමින් ඔහු මෙසේ කියා සිටියා. “ඔබ අඬගසන්නේය; මම උත්තර දෙන්නෙමි.” අපගේ ප්‍රේමණීය මැවුම්කරුගේ හැඟීම් වටහාගනිමින් යෝබ් ප්‍රකාශ කළේ මෙයයි. “ඔබ අතින් කළ වැඩට ඔබ ආශා වන්නේය.” (යෝබ් 14:14, 15) ඇත්තෙන්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව මිය ගිය සියලුදෙනාම නැවත නැඟිටින තුරු ඔහු ඉතාම ආශාවෙන් බලා සිටිනවා. අප අසම්පූර්ණව සිටියත් දෙවි අපට පෙන්වන ප්‍රේමය සහ මහත් කරුණාව ගැන මෙනෙහි කරද්දී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපව දෙවිට තව තවත් ළං කරනවා.—රෝම 5:21; යාකොබ් 4:8.

18, 19. (අ) දානියෙල්ට නැවත ජීවත් වීමට අවස්ථාවක් ලැබෙයිද? (ආ) ඊළඟ ලිපියේ අප සලකා බලන්නේ කුමක්ද?

18 දානියෙල් දිගු කාලයක් ජීවත් වූ අනාගතවක්තෘවරයෙක්. ඔහු තම ජීවිත කාලය පුරාම දෙවිට ඇදහිලිවන්තව සේවය කළා. මොහුව දේවදූතයෙක් හැඳින්වූයේ ‘බොහෝ සෙයින් ප්‍රේම ලත් මනුෂ්‍යයෙක්’ හැටියටයි. (දානියෙල් 10:11, 19) ක්‍රිස්තු පූර්ව 617දී දානියෙල්ව පිටුවහල් කරනු ලැබුවා. පර්සියාවේ රජ වූ කෝරෙෂ්ගේ පාලනයේ තුන්වෙනි වසරේදී, එනම් ක්‍රිස්තු පූර්ව 536දී දානියෙල් දර්ශනයක් දැක්කා. මින් ටික කලකට පසුව ඔහු මිය යන්නට ඇති. මේ කාලය පුරාම ඔහු යෙහෝවා දෙවිට පක්ෂපාතව සේවය කළා. (දානියෙල් 1:1; 10:1) ඊට කලින් කෝරෙෂ්ගේ පාලන සමයේ තුන්වන වසරේදීද දානියෙල් දර්ශනයක් දුටුවා. ඔහු දැක්කේ ලෝක අධිරාජ්‍යයන් පිළිවෙළින් බලයට එන ආකාරය හා අවසානයේදී මහත් පීඩාව සිදු වන ආකාරයයි. (දානියෙල් 11:1–12:13) දානියෙල්ට එම දර්ශනය හරිහැටි අවබෝධ නොවූ නිසා “මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේද” කියා එම දර්ශනය ඔහුට ලබා දුන් දේවදූතයාගෙන් ඔහු ඇසුවා. ඊට පිළිතුරු දෙමින් එම දේවදූතයා ‘නුවණැත්තෝ තේරුම්ගන්නා’ “අන්තිම කාලය” ගැන කතා කළා. ඒ කාලය එන තුරු දානියෙල් සිටින්නේ කොහේද? ඔහුට ලැබෙන විපාකය කුමක්ද? “නුඹ සැතපී, දවස්වල අන්තිමයේ දී නුඹේ කොටස භුක්ති විඳීමට නැඟිටින්නෙහිය.” (දානියෙල් 12:8-10, 13, නව අනුවාදය) ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමයේදී ‘ධර්මිෂ්ඨයන්ව නැවත නැඟිටුවද්දී’ දානියෙල්වද නැවත නැඟිටුවනු ලබන අතර මේ පොළොවේ ජීවිතය භුක්ති විඳීමට ඔහුට අවස්ථාව ලැබෙයි.—ලූක් 14:14.

19 අප ජීවත් වෙමින් සිටින්නේ අන්තිම කාලයේ අවසාන භාගයේයි. අප ඇදහිලිවන්තයන් වූ මුල් කාලයට වඩා දැන් අප සිටින්නේ ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමයට ඉතා ආසන්නවයි. එම නිසා අපගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘ආබ්‍රහම්, යෝබ්, දානියෙල් සහ වෙනත් ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් සමඟ ආශ්‍රය කරන්න, මම පාරාදීස පොළොව උදා වෙද්දී සිටීවිද?’ අපි යෙහෝවා දෙවි සමඟ සමීප සම්බන්ධයක් පවත්වමින් ඔහුගේ ආඥාවලට කීකරු වෙනවා නම් නව ලොව උදා වෙද්දී අපිත් අනිවාර්යයෙන්ම එහි සිටීවි. නැවත නැඟිටුවනු ලබන්නේ කාවද යන්න දැනගැනීම සඳහා අපි නැවත නැඟිටීම ගැන තවදුරටත් ඊළඟ ලිපිය තුළින් සලකා බලමු.

ඔබට මතකද?

• පාවුල් නැවත නැඟිටීම ගැන කතා කරද්දී ඔහුට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

• නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මගින් සැබෑ ක්‍රිස්තියානීන්ව බොරු ක්‍රිස්තියානීන්ගෙන් වෙන් කර හඳුනාගත හැක්කේ කොහොමද?

• ආබ්‍රහම්, යෝබ් සහ දානියෙල් නැවත නැඟිටීම ගැන විශ්වාසයෙන් සිටි බව අප දන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා ඉදිරියේ පෙනී සිටි පාවුල් නැවත නැඟිටීම ගැන පූර්ණ විශ්වාසයකින් කතා කළා

[10වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටීම ගැන ආබ්‍රහම්ට විශ්වාසයක් තිබුණේ ඇයි?

[12වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව යෝබ්ට සහනයක් ගෙන දුන්නා

[12වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටින ධර්මිෂ්ඨයන් අතර දානියෙල්ද සිටියි